Saturday, May 19, 2012

ජගත් පරිසර විමසුම 123 (Global Environmental Watch, 123)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-05-16, පි. 11 (Vidusara, 2012-05-16, p.11)
http://www.vidusara.com/2012/05/16/feature3.html

විමසුම - ඉඩම් කොල්ලය නැවැත්වීමට එක්‌සත් ජාතීන් ගේ මාර්ගෝපදේශ
ප්‍රමුඛ පුවත - ජෛවවිවිධත්වය අඩුවීමෙන් භාෂාවේ හා සංස්‌කෘතියේ විවිධත්වය අඩු වේ?
පුවත් සැකෙවින් - තෙත්බිම් විනාශ වීම හා ජනගහන වර්ධනය / බ්‍රිතාන්‍යයේ බිත්තර හොරෙකුට දුන් අපූරු දඬුවම/ 'සාගර ජෛව විවිධත්වය' ජෛවවිවිධත්ව දිනය - මැයි 22


විමසුම
ඉඩම් කොල්ලය නැවැත්වීමට එක්‌සත් ජාතීන් ගේ මාර්ගෝපදේශ

වර්තමානයේ දී ලෝකයේ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා වැදගත් ප්‍රවණතාවක්‌ සේ ඉඩම් කොල්ලය දැක්‌විය හැකි ය. එහි දී සිදු වන්නේ දියුණු වෙමින් පවත්නා හෝ දුප්පත් රටවල ඇති ඉඩම් මහා පරිමාණ වශයෙන් දියුණු රටවල් හෝ බහුජාතික සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. ආර්ථික වශයෙන් ඇති ප්‍රයෝජන නිසා මෙන්ම ඇතැම් රටවල ඇති දූෂිත පාලන තන්ත්‍රවල අවශ්‍යතාව නිසා ද මෙවැනි ඉඩම් කොල්ලකෑම් සඳහා දුප්පත් රටවල ආණ්‌ඩු පෙලැඹී තිබේ.
මේ තත්ත්වය 2007-08 අතර කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා වේගවත් විය. ලෝකය පුරා මේ ආකාරයෙන් මිල දී ගැනීමට ලක්‌ ව ඇති ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර මිලියන 200ක්‌ පමණ බව ගණන් බලා තිබේ. ප්‍රමාණාත්මකව සඳහන් කරන්නේ නම් එය ප්‍රමාණයෙන් බ්‍රිතාන්‍යය තරම් වේ. මේ ආකාරයෙන් වැඩි ඉඩම් ප්‍රමාණයක්‌ අත්පත් කරගෙන ඇත්තේ ආසියානු හා අප්‍රිකානු රටවලිනි. ඒවා වැඩි වශයෙන් කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදාගැනෙන බවක්‌ පෙනෙන්නට ඇත.

මේ ආකාරයෙන් ඉඩම් කොල්ලකෑම නිසා අදාළ ඉඩම් පිහිටා ඇති රටේ විවිධාකාර ගැටලු ඇති විය හැකි ය. ඉන් වඩා වැදගත් වන්නේ පාරිසරික හා සමාජයීය වශයෙන් ඇති විය හැකි ගැටලු ය. ඉඩම් කොල්ලය හේතුවෙන් තමන් දිගු කලක්‌ තිස්‌සේ වාසය කළ භූමිය අහිමි වූ හා එම භූමියෙන් පලවා හරින ලද පිරිසේ ප්‍රමාණය ද සුළුපටු නො වේ.

එක්‌සත් ජාතීන් ගේ මාර්ගෝපදේශ


මේ ගැටලු හේතුවෙන් සැලකිය යුතු කලක පටන් මේ පිළිබඳව විවිධ පාර්ශ්වවල අවධානය යොමු වී තිබිණි. ඒ නිසා අදාළ කරුණ සම්බන්ධව මැදිහත් වූ එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ ලෝක ආහාර සුරක්‌ෂිතභාවය පිළිබඳ කමිටුව (Committee on World Food
Security) මඟින් ඉඩම් කොල්ලය පාලනය කිරීම සඳහා කිසියම් මාර්ගෝපදේශයක්‌ සකස්‌ කර තිබේ. 2009 වර්ෂයේ පටන් වසර තුනක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ මේ හා සම්බන්ධ විවිධ පිරිස්‌වල සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව මේ එකඟතාව ඇති කරගෙන තිබේ.

මේ මාර්ගෝපදේශ නම් කර ඇත්තේ 'ආහාර සුරක්‌ෂිතභාවය පිළිබඳ සන්දර්භයේ දී ඉඩම්, ධීවර හා වනාන්තර පිළිබඳ භුක්‌තිය වගකීමෙන් පාලනය කිරීම සඳහා වූ ස්‌වේච්ඡා මාර්ගෝපදේශ' (Voluntary Guidelines on theResponsible Governance of Tenure ofLand,Fisheries and Forests in the Context ofNational Food Security) යනුවෙනි(මූලාශ්‍රයhttp://www.fao.org/nr/tenure/voluntaryguidelines/en/)

උක්‌ත මාර්ගෝපදේශවල ඇති මූලික අරමුණ නම් ඉඩම්, ධීවර සම්පත හා වනාන්තර සඳහා ආරක්‌ෂිත ප්‍රවේශය වැඩිදියුණු කිරීම හා ඇතැම් විට බොහෝ දුප්පතුන් ඇතුළත් මිලියන ගණනක්‌ වන ජනතාවක ගේ අයිතීන් ආරක්‌ෂා කිරීම මඟින් ආහාර සුරක්‌ෂිතතාව හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වේ. මෙය ඉතා පැහැදිලි අරමුණකි. අදාළ භූමිය හා වෙනත් සම්පත් ඉතා දිගු කාලයක්‌ තිස්‌සේ භාවිත කළ මේ ජනතාව ආරක්‌ෂා කිරීම හා ඔවුන් ගේ භුක්‌තිය තහවුරු කිරීම මෙහි අරමුණයි.

මේ මාර්ගෝපදේශ මඟින් ආවරණය වන අංශ අතර පහත සඳහන් අංශ හඳුනාගත හැකි ය.

* නීත්‍යනුකූල ඉඩම් භුක්‌තිය පිළිබඳ හිමිකම් සැලකිල්ලට ගැනීම

* භුක්‌තිය පිළිබඳ හිමිකම් ලියාපදිංචියේ දී හා අන්සතු කිරීමේ දී යහපිළිවෙත් අනුගමනය

* භුක්‌තිය පරිපාලනය කිරීමේ පද්ධති දරාගත හැකි වීම හා ළඟා විය හැකි වීම

* බලෙන් ඉවත් කළ ජනතාව නැවතත් පදිංචි කිරීම හා භුක්‌තිය පැහැර ගැනීම පාලනය

* දේශීය ප්‍රජාව ගේ අයිතීන්

* කෘෂිකාර්මික ප්‍රදේශවල ආයෝජන වගකීම් සහගත හා විනිවිදභාවයෙන් යුක්‌ත වීම

* භුක්‌තිය පිළිබඳ ගැටලුවල දී ඒවා විසඳා ගැනීමේ ක්‍රමවේදයක්‌ තිබීම

* නාගරික ප්‍රදේශ ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වීම සම්බන්ධව කටයුතු කිරීම

මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වේ ද?


කෙසේ වෙතත් මේ ස්‌වේච්ඡා මාර්ගෝපදේශ ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වේ ද යන්න නම් ගැටලු සහිත ය. විශේෂයෙන් මේ මාර්ගෝපදේශවල ඇතුළත් ප්‍රතිපත්ති අදාළ රටවල් තම ඉඩම්, ධීවර සම්පත හා වනාන්තර පාලනයේ දී යොදාගනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. එහෙත් ඉඩම් කොල්ලයේ යෙදී ඇති රටවල ආණ්‌ඩු මෙන්ම වාණිජ අරමුණු ඇති සමාගම් මෙවැනි ක්‍රියාවලියක්‌ සඳහා දායක වේ ද යන්න තරමක්‌ සැකසහිත ය.

එහෙත් ඇත්ත වශයෙන් ම මෙහි දී අදාළ ඉඩම් හිමි රටේ රාජ්‍යවලට හා ආණ්‌ඩුවලට මේ සම්බන්ධව වැඩි වගකීමක්‌ තිබේ. මේ මාර්ගෝපදේශ ඔවුන්ට වඩාත් වැදගත් බව පෙනේ. ඉඩම් කොල්ලය වැළැක්‌වීම සඳහා සැබෑ අවශ්‍යතාවක්‌ තිබිය යුත්තේ ඔවුන්ට ය. ප්‍රතිපත්තියක්‌ තිබිය යුතු ය. එසේ ම ජනතාවට ද එවැනි අරමුණක්‌ තිබීම අවශ්‍ය වේ. එහෙත් අවාසනාවකට මෙන් මේ රටවල ආර්ථික තත්ත්වය අයහපත් වන බැවින් අදාළ රටවල ආණ්‌ඩු මෙවැනි ගිවිසුම් කරා එළැඹෙන ආකාරයක්‌ දැකිය හැකි ය. කෙසේ වෙතත් ඉඩම් කොල්ලය පාලනය කිරීම සඳහා වඩා සාර්ථක හා ඵලදායී පියවරක්‌ අනාගතයේ දී ගැනීම සඳහා මේ එකඟතාව වැදගත් ලියෑවිල්ලක්‌ වනු ඇතැයි අපට සිතේ.

ප්‍රමුඛ පුවත
ජෛවවිවිධත්වය අඩුවීමෙන් භාෂාවේ හා සංස්‌කෘතියේ විවිධත්වය අඩු වේ?

ජෛවවිවිධත්වය අහිමි වීම නිසා ඇති විය හැකි විවිධ බලපෑම් පිළිබඳව අපි බොහෝ දේ දනිමු. මේ බොහොමයක්‌ ස්‌වාභාවික පරිසරය හා මානව පරිසරය හා සම්බන්ධ කරුණු වේ. එහෙත් ජෛවවිවිධත්වය අහිමි වීම නිසා භාෂාවේ හා සංස්‌කෘතියේ ද යම් පරිහානියක්‌ ඇති විය හැකි බව පසුගිය දා පළ වූ පර්යේෂණ වාර්තාවක්‌ මඟින් යෝජනා කර තිබේ.

ලෝකයේ දැකිය හැකි භාෂා අතරින් සියයට 50ත් 90ත් අතර ප්‍රමාණයක්‌ මේ සියවස අවසන් වන විට අතුරුදන් වනු ඇතැයි යන්න වාග් විද්‍යාඥයන් ගේ මතය වේ. එසේ ම ඓතිහාසික වේගය මෙන් දහස්‌ ගුණයක්‌ තරම් වේගයකින් ජෛවවිවිධත්වය අහිමි වෙමින් තිබේ. මේ අංශ දෙකේ විවිධත්වය අතර භූගෝල විද්‍යාත්මක වශයෙන් ඇති සමානතාව පිළිබඳව මින් ඉහත කළ අධ්‍යයන මඟින් හෙළිදරව් කර ඇතත්, ඒවා අතර ඇති සම්බන්ධතාවක්‌ සම්බන්ධව විද්‍යාත්මක අනාවරණයක්‌ සිදු කර තිබුණේ නැත.

පසුගිය දා පළ වූ අධ්‍යයනයට අනුව ලෝකයේ දැකිය හැකි විවිධ භාෂා අතරින් සියයට 70ක්‌ පමණ ප්‍රමාණයක්‌ දැකිය හැක්‌කේ ජෛවවිවිධත්වය අතින් උණුසුම් ස්‌ථාන (hotspots)වල ය. සංඛ්‍යාත්මකව පවසන්නේ නම් ලෝකයේ භාෂා අතරින් 3202ක්‌ පමණ හමු වන්නේ මේ උණුසුම් කලාප 35 තුළ ය. තවත් භාෂා 1622ක්‌ හමු වන්නේ ඉහළ ජෛවවිවිධත්ව වනගත ප්‍රදේශ (high biodiversity wildernessareas) පහක ය. පොදුවේ ගත් විට ලෝකයේ භාෂා 6900ක්‌ අතරින් 4800ක්‌ පමණ දැකිය හැක්‌කේ ජෛවවිවිධත්වයෙන් ඉහළ ප්‍රදේශවල ය.

මේ අනුව අදාළ අධ්‍යයනයෙන් යෝජනා කරන්නේ ජෛවවිවිධත්වය හායනයට ලක්‌ වීම හා අදාළ ප්‍රදේශවල දැකිය හැකි භාෂාව හා සංස්‌කෘතියේ ද පිරිහීමක්‌ සිදු විය හැකි බව ය.

ජෛවවිවිධත්වය හා වාග් විද්‍යාත්මක විවිධත්වය අතර ඇති මේ සම්බන්ධය සඳහා හේතු වී ඇති කරුණු තරමක්‌ සංකීර්ණ බව මෙහි දී පෙන්වා දී තිබේ. ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වන බවක්‌ ද දැකිය හැකි ය. එසේ ම මේ අතර දැඩි ක්‍රියාකාරී සම්බන්ධයක්‌ ඇති බවක්‌ ද දැකිය හැකි බව යෝජනා වී තිබේ.

අධ්‍යයනය මඟින් එවැනි භාෂා අතරින් කිහිපයක්‌ හෝ රැකගැනීමට හැකි වේ නම් එය ඉතා වැදගත් වේ. මේ මඟින් පෙන්වනු ලබන තවත් වැදගත් කරුණක්‌ වන්නේ මිනිසුන් හා පරිසරය අතර ඇති වෙන් කළ නොහැකි සම්බන්ධයයි. (මූලාශ්‍රය Proceedings of the National Academy of Sciences, DOI:10.1073/pnas.1117511109)


පුවත් සැකෙවින්


තෙත්බිම් විනාශ වීම හා ජනගහන වර්ධනය


ලෝකයේ තෙත්බිම්වලින් ආවරණය වී ඇති ප්‍රදේශයේ ප්‍රමාණය මෑත වර්ෂ පහළොවක කාලය තුළ සියයට 6කින් අඩු වී ඇති බව අධ්‍යයනයකින් අනාවරණය වේ. මේ තෙත්බිම් විනාශය වඩා බරපතළව සිදු වී ඇත්තේ නිවර්තන හා උපනිවර්තන කලාපවල වන අතර මෑත දශක දෙකක පමණ කාලයේ දී ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක්‌ සිදු වූ ප්‍රදේශවල මේ තත්ත්වය වඩා උග්‍ර ලෙස දැකගත හැකි ය.

1993 හා 2007 අතර කාලයේ දී ලෝකයේ තෙත්බිම් වෙනස්‌ වූ ආකාරය මේ අධ්‍යයනය සඳහා මාතෘකාව වී තිබේ. එහි දී යොදාගෙන ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප මඟින් පෙන්වන තොරතුරු ය. මේ අනුව ඉහත කරුණු හෙළි වී තිබේ. නාගරීකරණය, විවිධ සංවර්ධන කටයුතු හා ජලය අධික ලෙස ලබා ගැනීම මේ ආකාරයෙන් තෙත්බිම්වල විනාශය සඳහා හේතු වී ඇති බව පෙනේ.

වෙනත් පරිසර පද්ධති හා සංසන්දය කරන විට තෙත්බිම්වලට ඇත්තේ දැඩි තර්ජනයක්‌ බව මෙයින් යළිත් තහවුරු වේ. ලෝකයේ පවත්නා සමස්‌ත බිම් ප්‍රමාණයෙන් සියයට 5ක්‌ පමණ තරම් ප්‍රදේශයකට තෙත්බිම් සීමා වී තිබීම මෙහි ඇති වැදගත්කම තහවුරු කරයි. තෙත්බිම් මඟින් ලැබෙන පාරිසරික සේවා ප්‍රමාණය විශාල ය. ඒ අතරින් ජල චක්‍රය පවත්වා ගැනීමේ දී දක්‌වන දායකත්වය ඉතා වැදගත් ය. එපමණක්‌ නො ව පරිසරය හා සම්බන්ධ තවත් අංශ ගණනාවක්‌ සඳහා තෙත් බිම්වලින් ඉතා වැදගත් මෙහෙයයක්‌ ඉටු වේ. (මූලාශ්‍රයGeophysical Research Letters,DOI: 10.1029/2012GL051276)

බ්‍රිතාන්‍යයේ බිත්තර හොරෙකුට දුන් අපූරු දඬුවම

දිගින් දිගට ම පක්‌ෂි බිත්තර සොරකම් කිරීමේ යෙදුණු බ්‍රිතාන්‍ය ජාතිකයකු හට ස්‌කොට්‌ලන්තයේ අධිකරණයක්‌ මඟින් තරමක බරපතළ දඬුවමක්‌ ලබා දී තිබේ. ඒ අනුව ඔහුට මාස හයක කාලයක සිර දඬුවමක්‌ නියම කර ඇති අතර ඔහු ගේ ජීවිත කාලය තුළ පක්‌ෂි අභිජනන කාලයේ දී ස්‌කොට්‌ලන්තයට ඇතුළු වීම ද තහනම් කර තිබේ.

මැතිව් ගොන්ෂෝ නම් මේ පුද්ගලයා කලක්‌ තිස්‌සේ මේ ආකාරයෙන් පක්‌ෂි බිජු එකතු කිරීමේ යෙදී ඇති අතර ඒ අතර ඇතැම් බෙහෙවින් දුර්ලභ පක්‌ෂීන් ගේ බිත්තර ද වේ. පරීක්‌ෂණවල දී ඔහු සතු ව තිබූ විශාල පක්‌ෂි බිත්තර එකතුවක්‌ හමු වී ඇති අතර මේ හා සමාන වැරැදි සඳහා ඔහු මින් පෙර ද දඬුවම් ලබා ඇති බව වාර්තා වේ.

'සාගර ජෛව විවිධත්වය' ජෛවවිවිධත්ව දිනය - මැයි 22

ජෛවවිවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය මැයි මාසයේ 22 දිනට යෙදේ. මේ වර්ෂයේ එහි තේමාව වන්නේ 'සාගර ජෛවවිවිධත්වයයි' (Marine biodiversity). සාගරය යනු, කොපමණ ජීවී විශේෂ ප්‍රමාණයක්‌ වෙසෙන්නේ ද යන්න පවා අප නිසි ලෙස නො දන්නා පරිසර පද්ධතියකි. එහෙත් මේ සාගරය මිනිසා ගේ විවිධ කටයුතු නිසා තර්ජනයට ද ලක්‌ වී තිබේ.

ජෛවවිවිධත්ව දිනය වාර්ෂිකව සැමරීමේ අරමුණ වන්නේ ජෛවවිවිධත්වය සම්බන්ධ කරුණු කෙරේ ලෝකයේ දැනුවත්භාවය හා අවධානය ඉහළ නැංවීම හා ඒ සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් සැපයීමට හැකි ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වීමය. වැඩි විස්‌තර සඳහා www.cbd.int/idb/2012 වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Source: http://www.vidusara.com/2012/05/16/feature3.html

No comments:

Post a Comment