මේක අන්තර්ජාතික හෑල්ලක්. ප්‍රබන්ධ කතාවක්.
My Writings - Dhanesh Wisumperuma
Saturday, January 17, 2026
ලියුම් දෙකක කතාවක්
Friday, November 14, 2025
අදත් අසන යොවුන් ගී
ධනේෂ් විසුම්පෙරුම
2025-11-10
ජාතික තරුණ සේවා සභාවෙන් රටට ලැබුණු එක් සුන්දර දෙයක් තමයි යොවුන් ගීත...
1980 දශකයේ දී යොවුන් ගීත විශාල සංඛ්‍යාවක් බිහිවුණා. ඒ අතරින් සමහර ගීත ඉතාම ජනප්‍රිය ගීත බවට පත් උනා වගේම අද දක්වාම අසන්නයට ලැබෙනවා. එසේම මේ සමහර ගීත පසුකාලීනව වෙනත් ගායක ගායිකාවන් විසිනුත් නැවත ගායනා කරනු ලැබුවා.
මේ සටහනේ දැක්වෙන්නේ එවැනි මතකයේ රැඳුණු යොවුන් ගී කීපයක්. මේ බොහොමයක් වීඩියෝ ඒ කාලේ නිතර රේඩියෝවෙන් ඇහුන ඒවා - කැසට්පටවලින් අහපු ඒවා - රූපවාහිනියෙන් දැකපු ඒවා.
මේ හඬවල් හිමි සමහරක් අද විශිෂ්ට ගායක ගායිකාවන්. ඒත් ඒ සමහර හඬවල් පසුකාලීනව නෑසි යෑම කණගාටුවක්.
මේ පිටුවේ ගීත පෙළගස්වා ඇත්තේ ගීතයේ මුල් වචනයේ අකාරාදි පිළිවෙලටයි. සවන් දිය හැකි, බොහෝ විට රූපවාහිනී මුල් පටිගත කිරීම් සඳහා වන සබැඳීත් මීට ඇතුළත්.
අහන්න ආරාධනා කරනවා.
තවත් හමුවන ගීත, මෙතැනට එක් කරනු ඇති.
අවසන් යාවත්කාලීන කිරීම: 2025-11-10
කුසුමට ලංවී
තවලම් අපි යනවා (ඈත හමායන මද සුළඟේ)
ගායනය- වන්ද්‍රසේන හෙට්ටිආරච්චි, වන්ද්‍රලේඛා පෙරේරා හා පිරිස
පද - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත
https://www.youtube.com/watch?v=sHPd2znd2Q8
දොර කවුළුවෙන් එබී බලා
ගායනය- මාෂල් ජනතා හා චන්ද්‍රලේඛා පෙරේරා
පද - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත
https://www.youtube.com/watch?v=cizvo46VC2g
මට එපා ඔබේ
මා දෑසෙ වේදනා
මා හද සැලෙනා ගී හඬ මුමුණා
තනුව - ෂර්ලි වෛජයන්ත
සීත කඳුයායේ ගයන ගී රාවේ....
ගැයුම - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි හා චන්ද්‍රලේඛා පෙරේරාපද - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත
https://www.youtube.com/watch?v=1xiCXbEV2qo
Friday, October 24, 2025
පමා වී සිදු වූ හමුවීම්
එතකොට මතක් උනේ වසන්ත කුමාර කොබවක ලියපු, කසුන් කල්හාර, උරේෂා රවිහාරි හා ඉන්දිකා උපමාලි ගයන ගීයක මුල් පද දෙපේලියයි.
"පමාවී පිපුණු මල් සුවඳයි
පමාවී පිපුණු මල් සුවඳයි"
ජීවිතේ සමහර දේ ලැබෙන්නේ පමා වී තමයි.
Monday, October 20, 2025
ඉතුරු සල්ලි Dynamics (2024 සිට)
ධනේෂ් විසුම්පෙරුම
(අවසන් යාවත්කාලීන කිරීම - 2025 ඔක්තෝබර් 20)
සටහන: 2024 සිට ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන බස් රථවල සාමාන්‍ය සේවාවල ආරම්භක ගාස්තු අවස්ථා දහය වූයේ රු. 27, 35, 45, 56, 66, 77, 86, 90, 97 හා 104 ලෙස ය. මේ නිරීක්ෂණ ඒ අනුව ය.
1. රු 27 හෙවත් 30 ටිකට්ටුව
1.1 වන නිරීක්ෂණය - රු. 27ට ඉතිරි ලැබීම වාසනාවකි!
රුපියල් 27 ටිකට් එකට අපි මාරු 27ක් දුන් විටක ඇර, හරියටම 27ක් අරන් අපට ඉතුරු දුන් දවසක් නම් මතකයේ නැත.
පහළ සඳහන්, ගෙවල් ළඟ පාරේ පවා එසේය. ඉදහිට රු. 2ක් ඉතුරු අවස්ථා ඇතත් ඒ දින ගණන 2% ක් පමණ විය යුතුය.
නොදන්නා කෙනෙක් ඒ සෙක්ෂන් එකේ ගාන ඇහුවොත් කොන්දොස්තර කියන්නේ රුපියල් 30යි කියා ය. කෙනෙක් හරියටම 27ක් දුන්නොත් එයාලගේ මූණු අමුතු වෙන හැටි බලන්න වටිනවා.
රුපියල් තුනක් අතේ නැති එක හරි කියමු. ඒත් 27 ටිකට් දෙකක් ගත්තාම වෙන දේ ඊටත් අපූරු ය. එවිට අපෙන් ගත යුත්තේ 54කි. අඩු ගානේ පහක් තියනවාද කියා අපෙන් අහන ව්‍යවස්ථා ගණන 5% විතර විය යුතුය. කෙලින්ම 60ක් ගන්නවාය. ලංකාවේ ගණිත අධ්‍යාපනය ගැන ලාම්පු කණගාටුවක් දැනෙන්නේ ඒ වෙලාවටය. එහෙම අමුත්තක් දැනෙන්නේ ගණන් පාස් කරන එකේ අමාරුව දන්නා නිසා ය.
2. රුපියල් පහේ නිරීක්ෂණ
2.1 වන නිරීක්ෂණය - ඉතුරු 5 දෙන විදිය වෙනස්
මෙය Facebook පෝස්ටුවක් ලෙස - 2025 සැප්තැම්බර් 17
3. ඉතුරු නොදෙන/ නොමැති බව ඇඟවීම
Sunday, August 31, 2025
රාමායණයේ රාවණ සෙවීම!
ධනේෂ් විසුම්පෙරුම සහ මුදිත කරුණාමුනි
දිවයින ඉරිදා සංග්‍රහය, 2025-08-31
(අවසන් යාවත්කාලීන කිරීම - 2025-10-08)
රාවණ ගැන අපේ රටේ යළිත් කතාබහක් ඇති
වූයේ මීට දෙසතියකට පමණ පෙර දී ය. ඒ එක්තරා රජයේ ආයතනයක් මගින් රාවණ රජුගේ ගුවන්
යානා ඇති ස්ථානවලින් ඒවා ගොඩ ගැනීම සඳහා පර්යේෂණ කරන්නට යන බව සඳහන් පුවතක් ඇතැම්
පුවත්පතක පළ වූ අවස්ථාවේ දී ය. මේ පුවත පිළිබඳව ඇති වූ සංවාදය හමුවේ එය අසත්‍යයක්
බව සඳහන් පෞද්ගලික ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
කෙසේ වෙතත් මීට වර්ෂ කීපයකට පෙර ඒ
පිළිබඳව පර්යේෂණ සිදුකරන බව සඳහන් කරමින් අදාළ ආයතනය මගින් දැන්වීමක් පළ වූ බව අපට
මතක ය. ඒ මෑත කාලයේ රාවණ පිළිබඳ ඇති වූ සමාජ කථිකාවේ උපරිමයක් සේ සැලකිය හැකි
සිදුවීමයි.
රාවණ හා රාමායණය සම්බන්ධව මෑත දශක
එකහමාරකට මදක් වැඩි කාලයේ ඇති වී තිබෙන උනන්දුව හා රජයේ ආයතන විසින් ගත් පියවර ඒ
පිළිබඳව තතු දත්තවුන්ට රහසක් නම් නොවේ. වාල්මිකී විසින් රචිත ප්‍රබන්ධයක් වන
රාමායණයේ සඳහන් පරිදි ලංකාපුරයේ විසූ රාවණ නම් රජු අද අප වාසය කරන ශ්‍රී ලංකාවේ
විසූ ඓතිහාසික රජෙකු යැයි පවසන්නට මෙන්ම ඒ සඳහා සාධක දක්වන්නට ගත් ප්‍රයත්න රැසක්
දැකිය හැකි විය.
එනිසා රාමායණය,
සෘජුව ශ්‍රී ලංකා ඉතිහාසයට අතිරේක
ගැළපීම් කරමින් නිගමනයන් ගන්නා ව්‍යාපාරයන්ට මානව විද්‍යාත්මක විමසීමෙන් පිළිතුරු
සැපයීම අපගේ වගකීම වේ. මේ ලිපිය එම විමසීම උදෙසා තර්ක, සාධක, භාෂා, ඉතිහාස හා පුරාවිද්‍යා සාධක එකතු කරමින්, ජනප්‍රිය ප්‍රවාදය හා විද්‍යාත්මක සත්‍යය
අතර සීමා ඉතා පැහැදිලිව වෙන් කර දැක්වීමට ගන්නා උත්සාහයකි.
රාමායණය ප්‍රබන්ධයකි
රාමායණය යනු ජනප්‍රියතාවක් ගොඩනඟාගෙන
තිබූ කාව්‍ය ප්‍රබන්ධයකි. එය සම්ප්‍රදායගත පුරාණ, ජනකතා සහ ආගමික නියෝජන එකතු වෙමින් විවාදයට පණ
පුරන විශාල කථාවකි. ඒ කෘතිය සඳහා ඉන්දියාවේ පැවති විවිධ 'ජන කතා' පාදක කොට ගෙන තිබේ. අග්නි පුරාණ, කුර්ම පුරාණ, විෂ්ණූ පුරාණ, භාගවත පුරාණ, පද්ම පුරාණ වැනි කෘතිවල රාමායණ කතාව ඇතුළත්
වෙයි. දසරථ ජාතකය ම හෝ, එම ජාතක කතාවට මුල් වූ ජන කතාව හෝ දෙකෙන් එකක් හෝ රාමායණයට වස්තු වී
ඇති බව පෙන්වා දී තිබේ.
විවිධ උගතුන්ගේ අවධාරණය අනුව රාමායණයේ
විවිධ ‘ස්වරූප’ සම්පාදනය වන්නේ වරින් වර කොටස් එකතු කරමින් ය. වාල්මිකි විසින් හෝ
වාල්මිකි නමින් වූ කොටසක් ඇතැයි බොහෝ දෙනා පිළිගත්තත්, මුළු කථාවම දිගු කාලයක් තිස්සේ මුවින් මුවට ගිය
ජනප්‍රවාද ගහනයකින් හා පූජනීය සංකල්පවල ප්‍රචාරයෙන් සෑදුනු බව පෙනේ. දැනට
පිළිගැනෙන සාධක අනුව කාව්‍ය සංස්කෘතය හෙවත් ලෞකික සංස්කෘතය ක්‍රි.පූ. තෙවන
සියවසින් ඈතට නොයන අතර, සංස්කෘතය විධිමත් රීති මාලාවක් අනුව විග්‍රහ කළ පාණිනී විසූ කාලය ක්‍රි.ව.
සිවු වන සියවස පමණ වෙයි. එසේ නම් රාමායණය ක්‍රිස්තු වර්ෂ ආරම්භක සියවස් දෙක, තුන ඇතුළත රචනා වූවක් විනා, දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කෘතියක්
නොවන බව සැලකිය යුතු වෙයි.
රාමායණයේ එන ‘ලංකාපුරය’ පිළිබඳ සංකල්පය
ද නාමික සමානතාවක් හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකාවට සෘජුව සම්බන්ධ කිරීම කර තිබුණ ද, රාමායණයේ සඳහන් ලංකා පිහිටා ඇත්තේ ත්‍රිකූට
නමින් පුරාණෝක්තික පර්වතයක මස්තකයේ බව ද, එය විශ්වකර්ම විසින් නවරත්නයෙන් ගොඩනඟන ලද අති
අලංකාර නගරයක් ලෙස ද වර්ණනය වීම මේ කථා පුවතේ කල්පිත භාවය පැහැදිලි කරයි. එමෙන්ම
රාමායණයෙහි දැක්වෙන සෙසු ස්ථාන නාම සියල්ල ම පාහේ ගැළපෙනුයේ භාරතීය භූ දර්ශනයට
විනා අපේ දිවයිනේ පරිසරයට නම් නො වේ. එවැනි පුරාණ අලංකාර ලෝකය කාව්‍ය නිමාව සඳහා
යෙදූ ‘පසුබිමක්’ බව පෙන්වයි. භූගෝලීය හා පුරාවිද්‍යාත්මක අර්ථයෙන් සත්‍ය වස්තූන්ට
සෘජු සමානතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩ නොදෙන ලංකාපුරය හුදෙක් කවි කල්පිතයක් පමණක් විනා
ශ්‍රී ලංකාව නො වන බව පැහැදිලි ය.
ශ්‍රී ලංකාවේ දී රාමායණය
රාමායණය ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ
දැක්වෙන ආකාරය පිළිබඳව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ චාල්ස් ගොඩකුඹුර මහතා
විසින් ලියන ලදුව, The Ramayana Tradition in Asia නම් ලිපි සංග්‍රහයේ පළ වී ඇති ලිපිය වැදගත් ය.
එහි දී මෙරට සාහිත්‍යයේ හා ජන කතා ආදියේ රාමායණය පෙන්වා දී ඇති ආකාරය විස්තර කර
ඇත.
අනුරාධපුර
යුගයේ සිට රාමායණය උගතුන් වියතුන් අතර සම්භාව්‍ය ග්‍රන්ථයක් ලෙස සම්මානයට ලක් වූ
බව පැහැදිලි වන්නේ ඒ පිළිබඳව ඇතැම් කෘතිවල සඳහන් වන නිසාය. මෙරට රජකම් කළ කුමාරදාස
රජු විසින් කළ ජානකීහරණ කාව්‍යයේ වස්තුබීජය වූයේ ද රාමායණ කතාවයි. කෙසේ වෙතත් ඒ
සියල්ලේ රාමායණය සාහිත්‍ය කෘතියක් වූ බව පෙනේ. මේ කතා කෝට්ටේ කාලය වන විට සාමාන්‍ය
ජනතාව අතර ද තිබූ බව පෙනේ. ගිරා සංදේශයේ සඳහන් වන අම්බලමේ දී ඇති වන කතා අතර, රාම සීතා කතා තිබීම මීට නිදසුනකි.
රාමායණය
ඒ අයුරින් මෙරට සාමාන්‍ය ජනතාව අතර පැලපදියම් වන්නට ඇත්තේ ඒ කාලයේ දී දකුණු
ඉන්දියානු රාජ්‍ය සමඟ ඇති වූ ඇසුර හා සංක්‍රමණිකයන් සමඟ විය හැකි බව පෙනේ. ඉහත
අම්බලමේ කතා පිළිබඳ සඳහන් කරන ගොඩකුඹුර මහතා මේ අම්බලම් යනු විදේශීයයන් ද නවාතැන්
ගත් තැන් බව සඳහන් කරයි.
දකුණු
ඉන්දියාවේ වෙනත් කෘති සිංහල බසට නැගීම පිළිබඳ නිදසුන් කෝට්ටේ හා මහනුවර සමයේ දී
සැලකිය යුතු කරම් දැකිය හැකි නමුත් රාමායණය කෘතියක් ලෙස සිංහල බසින් මුලින්ම පළ වී
ඇත්තේ ක්‍රි.ව. 1841 දී පමණ බව
පී.බී. සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශය කෘතියේ සඳහන් වේ. ඒ ‘සිංහල රාමායණය’
හෙවත් ‘රාවණ සංහාරය’ නමිනි. එසේම 1880 දී
පමණ මේ ඇසුරින් ජෝන් ද සිල්වා විසින් සකස් කරන ලද රාමායන නාටකය මෙරට ජනතාව තුළ
රාමායණ කතාව පිළිබඳ යළි පිබිදීමක් ඇති කරන්නට ඇති බව සිතිය හැකිය. මේ බව පෙනෙන්නේ
උක්ත, 1841 දී පළ වූ
සිංහල රාමායණය කෘතියේ අයිතිය මිලට ගත් සී දොස් බස්තියන් එයට ශූද්ධියක් එක් කොට පළ
කළ නිසා ය.
සාමාන්‍ය ජනතාව ඇතැම් ඉතිහාස කරුණු
පිළිබඳ විශ්වාස කරන්නේ ඇතැම් ජනප්‍රිය නවකතාවල පැවසෙන කරුණු අනුව වීම අද දවසේ අප
නිතර දකින තත්ත්වයකි. ඒ අනුව ඉහත කී ආකාරයේ කෘති හා නාට්‍ය මගින් මෙරට ජනතාවට ඇති
වූ බලපෑම සුළු කොට තැකිය නොහැකිය.
21 වන
සියවස පුරා රාමායණය පිළිබඳව ලියූ ලිපි, කෘති ආදියේ දී මෙරට රාමායණයට සම්බන්ධ කිරීම සඳහා ගත් ප්‍රයත්න දැකිය හැකි
විය. ඒවා සමහරක් ස්ථාන නාම පදනම් කරගත් බව පෙනේ. මේ පිළිබඳව ද ගොඩකුඹුර මහතා සිය
ලිපියේ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. නිදසුනත් ලෙස ගතහොත් ‘සීතා’ හා සම්බන්ධ කර
ඇති ස්ථාන නාම ආදියේ දී ශීතල හඳුන්වන ‘සීත’ යන්න පසුව සීතා යනුවෙන් ගෙන ඇති බව ඔහු
දක්වා ඇත. එසේම රාවණ යන නාමය ඇතුළත් ඇතැම් ස්ථානවලට ඒ නම ලැබී ඇත්තේ ඒ නමින්
හඳුන්වනු ලබන ජලජ බෙල්ලෙකුගෙන් බව ඔහු පෙන්වා දී තිබේ.
‘රාමායන
මංපෙත’
මෑත කාලයේ දී රාමායනය හෝ රාවණ පිළීබඳව
තිබූ උනන්දුව වෙනත් මගක් ගත්තේ 2000 දශකයේ අග භාගයේ දී පමණ රාමායනය පදනම් කරගත් සංචරණයක් ආරම්භ කිරීම හා සමඟ ය.
‘රාමායන මංපෙත’ හෙවත් Ramayana Trail නම් වූ මේ උත්සාහයේ අරමුණ වූයේ ඉන්දියානු
සංචාරකයන් ආකර්ෂණය කරගැනීමයි. ඒ සම්බන්ධව ඉන්දියානු හා ශ්‍රී ලංකා බලධාරීන් විසින්
කළ සාකච්ඡා පිළිබඳව තොරතුරු ඉන්දියානු පුවත්පත් ආදියේ හා වෙබ් අඩවිවල අදත් දැකිය
හැකි ය.
ඒ
සඳහා එවකට රජයේ ආයතන ද උනන්දුවක් දැක්වූ බව රහසක් නොවේ. සංචාරක කර්මාන්තයට අදාළ
ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ඒ සඳහා පිටු පවා වෙන්ව තිබිණි. කෙසේ වෙතත්
පසුකාලයක දී ඒවා වෙබ් අඩවිවලින් ඉවත් කරන්නට කටයුතු කර තිබිණි.
රාමායණයට සම්බන්ධ ස්ථාන පාදක කරගත්
සංචරණ කටයුතු එසේ සිදුවෙමින් තිබිය දී රාවණ පිළිබඳ සෙවීමේ උනන්දුවක් මෙරට තුළ
යළිත් ඇති විය. ඒ රාවණ යනු මෙරට විසූ රජෙකි යන්න උත්කර්ෂයට නගමිනි. එය ඉහත කී
රාමායණ සංචරණයේ බලපෑමෙන් සිදුවූවක් විය හැකි බවක් අපට සිතෙන්නේ එවැනි සුවිශේෂි
උනන්දුවක් ඊට පෙර ඒ තරම් පැතිර නොතිබූ නිසාය. ඒ සමඟ රාවණ සම්බන්ධ පොතපත, සාකච්ඡා කණ්ඩායම් ආදිය ද ක්‍රමයෙන්
දැකිය හැකි විය. ඒ සමඟ මේ මතයට පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර වූ වාද විවාද ද ජනමාධ්‍ය
ඔස්සේ දැක ගත හැකි විය.
මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රාජකීය
ආසියාතික සමිතිය 2010 වර්ෂයේ දී සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය. ඒ සම්මන්ත්‍රණයේ දී
රාමායනය යනු ප්‍රබන්ධයක් යන්න මෙන්ම රාමායනය හා සම්බන්ධ කර ඉදිරිපත් කරන ලද විවිධ
සාධක පදනමක් නොමැති බවත් පෙන්වා දෙන ලද්දේ ඒ පිළිබඳ ප්‍රවීණයන් වූ විද්වතුන්
විසිනි.
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළින්
පුරාවිද්‍යාත්මක දත්ත, ලේඛන, අභිලේඛන හා භාෂා සාධක සෙවීමේදී ද, රාවණා නම් ඓතිහාසික අයෙකු හෝ ‘රාවණ රාජධානිය’ක්
පිළිබඳ විශ්වාසදායක සලකුණු සොයාගත නොහැකි වී ඇති බව පෙන්වා දෙන ලදි. ක්‍රි.පූ.
තුන්වන සියවසේ සිට සියවස් කිහිපයක කාලය ආවරණය කරන බ්‍රාහ්මී ලිපි ගණනාවක් අතර
‘රාවණ’ යන පුද්ගල නාමය හෝ අද කියන වෘත්තාන්ත සම්බන්ධ සටහන් හමුවී නොමැති වීම, අද මට්ටමින් ප්‍රචලිත වන ව්‍යාජ-පුරාවිද්‍යාත්මක
ප්‍රයත්නයන්වලට (උදා: සීගිරිය/ඉසුරුමුණි ආශ්‍රිත වැරදි සම්බන්ධකම්) විවේචනාත්මක
අර්ථකථන අවශ්‍ය කරයි.
එසේම රාවණට හෝ රාමායණයට සම්බන්ධ යැයි
හුවා දැක්වෙන යුදගනාව, උස්සන්ගොඩ වැනි ස්ථානවල දැකිය හැක්කේ ස්වාභාවික භූදර්ශන බව පෙන්වා දී
තිබේ. ඒවා ඇති වීමට බලපා ඇති හේතු නූතන විද්‍යාව මගින් පැහැදිලි කර තිබේ.
මේ සියලු කරුණු කාරනා සලකා බලන විට, අවසාන වශයෙන් කිව යුත්තේ රාමායණය කියවිය යුත්තේ වචනාර්ථයෙන් පමණක් නොව සංකේතාර්ථ, ආගමික සංකල්ප හා සාහිත්‍යය යථාර්ථයන් එකලස් කළ කාව්‍යයක් ලෙස ය. එහි චරිත වන රාම, සීතා, රාවණ ආදිය භාරතීය භූසමාජීය දර්ශනයක් තුළ ගොඩනඟා ඇති කල්පිත නාට්‍යාකාර පරපුරකි. මේ සැකෙවින් ගෙනහැර පෑ කරුණුවලින් සනාථ වන්නේ රාමායණය ප්‍රබන්ධයක් බවත් එහි දැක්වෙන ලංකාපුරය මේ දිවයිනට සම කළ හැක්කේ නාමික වසයෙන් පමණක් බවත් ය. මෙහි හමු වන චරිත සත්‍ය වසයෙන් ජීවත් වූ චරිත නොව කවියකුගේ මනසෙහි පහළ වුණු මනස් පුතුන් පමණක් බවත් ය.
Tuesday, February 25, 2025
ඔබටත් සවන් දෙන්න කෙනෙක් ඉන්නව ද?
"අර x දන්නව නේද?"
"ඔව්. අහල තියනවා" මම කීවා. ඒ කියන අනෙක් කෙනාව මම හඳුනන්නේ නැතත් ශාස්ත්‍රීය කටයුතුවල යෙදුන කෙනෙක් නිසා නමින් දැනගෙන හිටියා.
"දවසක් එයා මට කතා කරල කීවා, වැදගත් දේකට අද හමු වෙන්න පුලුවන් ද කියලා. අපි කාලයක ඉදලා දන්න අයනෙ." දැන් ඔහු විස්තර කියනවා.
ඔහු තවදුරටත් මෙහෙම කීවා.
"ඒත් එදා හොඳ වෙලාවට මට යන්න හිතුනෙ නෑ..." එසේ කියද්දි ඔහුගේ මුවේ මදහසක් මම දුටුවා.
මම මොකුත් අහන්න පෙරම ඔහු හේතුවත් කීවා.
"ඊට දවසකට පස්සෙ තමයි X සුවිසයිඩ් කරගත්තේ. වෙඩි තියාගෙන."
"එදා මං ගියා නං මමත් කරදරේ වැටෙන්න ඉඩ තිබ්බා." ඔහු වැඩිදුරටත් කීවා.
මට කියන්න දෙයක් හිතට ආවෙ නෑ. මොහොතක් හිත නතර උනා.
ඒත් මට හිතුනෙ, ඔහු කලක් දන්නා හිතවතාගේ ජීවිතය බේරාගැනීමට තිබ්බ අවස්ථාවක් නේද ඒ නැති උනේ කියලයි... ඒ දිවි නසාගත් තැනැත්තාට හිතවතෙකු හා කතා කරන්න ලැබුනා නම්, ඔහු ඒ තීරණය නොගන්නට තිබුණා නේද?
එහෙම මිතූරෙකු ඔබටත් මටත් කතා කරන්න පුළුවන්. එහෙම උනොත් ඇහුම්කන් දෙන්න.
මොකද දවසක අපි උනත් ඒ වගේ තීරණාත්මක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්... එදාට අපට සවන් දෙන්න මිතුරෙක් නැති වෙන්න පුළුවන් නිසාම.
ධනේෂ් විසුම්පෙරුම
2025-02-24
Monday, February 3, 2025
නිදහසෙන් පසු ලංකාවේ දියුණුව - අංශ කිහිපයක් පිළිබඳ විමසීමක්
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2023-02-01 පි. 12-13
(මෙම ලිපිය අදින් වසර දෙකකට පෙර, 2023 වර්ෂයේ 75 වන නිදහස් සමරුව වෙනුවෙන් ලියවුනක් වන අතර, ඉන් පසුව යාවත්කාලීන කර තිබේ. අවසන්වරට යාවත්කාලීන කරන ලද්දේ: 2025-02-02).
1948 වර්ෂයේ පෙබරවාරි මස 4 වැනි දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් ඩොමීනියන් නිදහස ලබාගෙන 2023 වර්ෂයේ පෙබරවාරි 4 වැනි දාට වර්ෂ 75ක් සම්පූර්ණ විය. ඒ කාලය ඇතුළත මෙරට සිදු වී ඇති වෙනස්කම් කෙසේ ද යන්න පිළිබඳව විමසා බැලීම මේ ලිපියේ අරමුණ වේ.
පළමුව ඒ කාලය තුළ ඇති වී තිබෙන මූලික වෙනස්කම් පිළිබඳව වැදගත් දත්ත සමූහයක් පළමු වගුවේ දැක්වේ.
ආර්ථික වර්ධනය පිළිබඳව සලකන විට, දළ දේශීය නිෂ්පාදනය බොහෝදුරට අඛණ්ඩව වර්ධනය වී ඇති අතර 1990 දශකයේ සිට සිඝ්‍ර වර්ධනයක් පෙන්වයි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය හා ආදායම 2019-2020 වර්ෂවල දී යළිත් පහළ බැස තිබේ.
සමස්ත ආර්ථිකය සඳහා ඇතැම් අංශවල දායකත්වය විශාල වශයෙන් වෙනස් වී ඇති බවද ඉහත වගුව බැලූ විට පෙනේ. කෘෂිකර්මයේ දායකත්වය ඒ අතරින් කැපී පෙනෙන ලෙස අඩු වී ඇතත් ඊට හේතුව සෙසු අංශවල දායකත්වය වේගයෙන් ඉහළ යාම බව පෙනෙන්නේ කෘෂිකර්ම අංශයේ නිෂ්පාදනය හා වෙළෙඳපොළ වටිනාකම ඉහළ ගොස් ඇති නිසාය.
නිදහසෙන් පසුව ලංකාවේ සිදු වී ඇති සංවර්ධනය පිළිබඳව විවිධ ආකාරයේ අදහස් සමාජයේ දැකිය හැකිය. මේ කාලය තුළ විද්‍යාව හා තාක්ෂණයට අදාළ සහ සමාජ සුබසාධනය පිළිබඳ අංශ කීපයක් හා සංවර්ධනය සඳහා දර්ශක ලෙස යොදාගත හැකි අංශ පිළිබඳ සංසන්දනයක් සිදුකිරීම මේ ලිපියේ අරමුණ වේ. මේ සඳහා විශේෂයෙන් තෝරගෙන ඇත්තේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අංශයි. එසේම සංවර්ධනය සඳහා වැදගත් වන විදුලිය හා ප්‍රවාහනය යන අංශය ද විස්තර කර තිබේ. මේ සඳහා දත්ත ලබාගැනීමේ දී මහ බැංකු වාර්තා, ඒ ඒ දෙපාර්මේන්තුවල පාලන වාර්තා සහ Economic Progress of Independent Sri Lanka නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනය යොදාගෙන ඇත. එසේම කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග දැඩි ලෙස වෙනස් වූ අංශවල දත්ත සඳහා 2018 හෝ 2019 වර්ෂ යොදාගෙන තිබේ.
සෞඛ්‍යය
නිදහසින් පසු ගත වූ කාලය තුළ සෞඛ්‍ය අංශයේ සිදුව ඇති වෙනස්කම් අතරින් වැදගත් වෙනස්කම් සමහරක් 2 වන වගුවේ දැක්වේ. මේ කාලය ඇතුළත මෙරට සෞඛ්‍යය හා පෝෂණ අංශයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබෙන බව පෙනේ.2 වන වගුව - සෞඛ්‍ය අංශයේ වැදගත් දත්ත

මේ කාලය තුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවති අතර, මේ සඳහා රජය සාමාන්‍යයෙන් මුළු වියදමෙන් සැලකිය යුතු මුදලක් වැය කර තිබේ. නිදසුනක් ලෙස ගතහොත් 2019 දී මුළු දළ ජාතික නිෂ්පාදනයෙන් 1.63%ක් රජය සෞඛ්‍ය අංශය සඳහා වැය කර තිබේ. මේ කාලය ඇතුළත විශේෂ වැඩසටහන් මගින් වසූරිය හා මැලේරියාව වැනි රෝග මෙරටින් තුරන් කර දැමීමට ද හැකි වී තිබේ. එසේම වෙනත් රෝග සම්බන්ධව සිදුකරන ලද එන්නත්කරණයේ ද වර්ධනයක් ඇති වී තිබේ.
සෞඛ්‍ය අංශයේ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස නිදහසින් පසු දශක කීපයක කාලයේ දී මෙරට වාර්ෂික ජනගහන වර්ධන වේගය විශාල ලෙස ඉහළ ගොස් ඇත. 1953 දී එය 2.8%ක් ද, 1963 දී 2.7%ක් ද, 1972 දී 2.5%ක් ද වී තිබේ. සෞඛ්‍ය පහසුකම්වල වර්ධනය නිසා මරණ ප්‍රමාණය (මරණ අනුපාතිකය) වේගයෙන් අඩු වීම හා උපත් අනුපාතිකය වර්ධනය ඊට හේතු විය. පසුව උපත් අනුපාතිකය ද අඩුවීමත් සමඟ අද වන විට මේ වර්ධන වේගය 1% අවට අගයක පවතී. 1960 දශකයේ දී පවුල් සැලසුම හඳුන්වා දීම ද මීට දායක වී තිබේ.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනයේ ප්‍රතිඵලය 3 වන වගුවේ සඳහන් සංඛ්‍යාලේඛන අනුව පෙනේ. සාක්කලාපයේ වෙන් රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන රටක් බව පැහැදිලිය.
3 වන වගුව - සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනය පෙන්වන දර්ශක

අධ්‍යාපනය
නිදහසෙන් පසුව ගත වූ කාලයේ දී අධ්‍යාපනය සම්බන්ධව ද කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි බව ඒ පිළිබඳ දත්ත අනුව පෙනේ. එවැනි කරුණු කීපයක් 4 වන වගුවේ දැක්වේ. 2019 වර්ෂයේ දී අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.93%ක් වැය කර තිබේ. නිදහස් අධ්‍යාපනය මෙන්ම ස්වභාෂා අධ්‍යාපනය අනිවාර්ය කිරීම ද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූයේ මෙරට නිදහස ලැබූ කාලය හා සමගාමීවය. එසේම රජයට අයත් නොවූ හා වෙනත් ආයතන මගින් පාලනය කළ පාසල් 1960 දශකය මුල දී රජයට පවරා ගන්නා ලදි. 1961 මුල දී 4592 ක් වු රජයේ පාසල් ගණන 1963 වන විට 8221 පමණ දක්වා වර්ධනය වීමෙන් ඒ බව පැහැදිලිය.
4 වන වගුව - අධ්‍යාපන අංශයේ වැදගත් දත්ත

මේ කාලය ඇතුළත සිදුව ඇති ජනගහන වර්ධනයට හා සමගාමීව පාසැල් ගණන මෙන්ම, පාසල් ශිෂ්‍යයන් හා ගුරුවරුන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. ඉහත සඳහන් කර ඇති පරිදි සමස්තයක් ලෙස රටේ ජනගහනය තුන් ගුණයකින් පමණ ඉහළ යද්දී, සමස්ත පාසල් සිසුන් ගණන සිව් ගුණයකට ආසන්නව (1948 දී මිලියන 1.18ක සිට හා 2020 දී මිලියන 4.27ක්) පමණ ඉහළ ගොස් තිබේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනෙන වෙනස්කම් සිදු වී තිබේ. ඉන් එකක් වන්නේ විද්‍යා විෂයයන්ට යොමු වීමේ දැකිය හැකි වර්ධනයයි. පොදුවේ ගත් විට අධ්‍යාපනයට බොහෝ ප්‍රමිති හඳුන්වා දීම මේ වර්ෂ 75ක කාලය තුළ සිදු වී ඇත. සමස්තයක් ලෙස අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (SLQF) ද, වෘත්තීය පුහුණුව සඳහා ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) හඳුන්වා දී ඇත්තේ ද මේ කාලයේ දීය.
අධ්‍යාපනයේ ඇති වූ වර්ධනයේ ප්‍රධාන දර්ශකය ලෙස ගත හැක්කේ මෙරට සාක්ෂරතාවයේ හෙවත් කියැවීමේ හා ලිවීමේ හැකියාවේ සිදුව ඇති කැපී පෙනෙන වර්ධනයයි. 1948 දී 57.6ක් ලෙස පැවති සාක්ෂරතාවය 2020 වන විට 93%ක් පමණ වේ. සාක්ෂරතාවය අනුව අප පසුවන්නේ සාක් කලාපයේ දෙවැනි තැනය.

වෙනත් වැදගත් අංශ සැකෙවින්
පොදුවේ රටේ සංවර්ධනයට බලපාන අංශ කීපයක් සම්බන්ධව කෙටියෙන් සාකච්ඡා කිරීමට අපි අදහස් කළෙමු. ඒ අතර විදුලිබලය, ප්‍රවාහනය වැනි අංශ වැදගත්ය.
(1) විදුලිය
ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව වන විට කොළඹ බලාගාර තුනක් සහ තවත් නගර 51ක කුඩා විදුලි සැපයුම් පද්ධති ක්‍රියාත්මක කරන ලදි. ඒ මූලික වශයෙන් තාප විදුලියෙනි. 1947 අග වන විට කොළඹ පැවති බලාගාරවල ස්ථාපිත ධාරිතාව මෙගවොට් 18ක් පමණ වූ අතර, ජනනය කළ විදුලිබලය ගිගාවොට් පැය 53ක් විය. කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශයේ විදුලි සැපයුම් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් ගණන 14,436ක් පමණක් විය. සමස්තයක් ලෙස ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් 8ක් විය.
2020 වර්ෂය වන විට මෙරට ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 4265 කි. ඊට ජලවිදුලිය (මෙගාවොට් 1383), ද්‍රව ඉන්ධන (මෙගාවොට් 1268), ගල්අඟුරු (මෙගාවොට් 900) සහ වෙනත් පුනර්ජනනීය ප්‍රභව (මෙගාවොට් 714)ක් අයත් වේ. ඒ වර්ෂයේ දී ජනනය කළ විදුලිබලය ගිගාවොට් පැය 15714ක් විය. ඒ වර්ෂයේ මුළු විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 7.213ක් වු අතර, 2016 වර්ෂය වන විට ද මෙරට ජනගහනයෙන් 99.3%කට විදුලි සැපයුම ලබා දී තිබිණි. 2020 වන විට මෙරට ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 686.7 දක්වා ඉහළ ගොස් ඇත.
(2) ප්‍රවාහනය
ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩි වර්ධනයක් සිදු වී ඇත්තේ මාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රයේ ය. ඒ වන විට පැවැති රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් 1948 අග වන විට නඩත්තු කළ කිලෝමීටර් 6,518ක් වු ඒ හා බී ශ්‍රේණිවල මාර්ග ප්‍රමාණය 2020 වන විට කිමී 12,225ක් පමණ දක්ව ඉහළ ගොස් තිබේ. මේ මාර්ග සහ අධිවේගී මාර්ග කිලෝමීටර් 312ක් ඇතුළත් ජාතික මහාමාර්ග අද මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වේ. (මෙම ජාතික මහාමාර්ග හැර, මෙරට සමස්ත මාර්ග පද්ධතියෙන් වෙනත් ආයතනවලින් පාලනය වන මාර්ග වර්ග තිබේ.)
1948 වර්ෂයේ දී මෙරට භාවිතයේ තිබූ සක්‍රිය මෝටර් රථ ප්‍රමාණය 47,810ක් වූ අතර, 2020 වන විට එය මිලියන 5.4 ඉක්මවා තිබේ. මේ අතරින් ප්‍රවාහන සේවා සඳහා වඩාත් වැදගත් වන්නේ පොදු මගී ප්‍රවාහනයයි. එනම් මාර්ගස්ථ මගී බස් හා දුම්රිය සේවයයි. මෙරට නිදහස ලබන විට පුද්ගලික සමාගම් 53ක් හා පුද්ගලයන්ට අයත් වූ බස් රථ බස් 2,583ක් පොදු මගී ප්‍රවාහනයට දායක විය. හිමිකරුවන්ගේ ඒකාධිකාරය යටතේ වූ පොදු මගී ප්‍රවාහනය විධිමත් වන්නේ 1958 වර්ෂයේ දී පොදු මගී බස් රථ ජනසතු කිරීම හා ලංගම බිහිවීම සමඟය. 1979 වර්ෂයේ දී පෞද්ගලික මගී ප්‍රවාහන සේවා යළි හඳුන්වා දෙන ලදි. 2019 වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,048ක් ද, පෞද්ගලික බස් රථ 18,562ක් ද මගී ප්‍රවාහනයේ යෙදී තිබේ.
1948 වර්ෂයේ දී මෙරට තුළ කිලෝමීටර් 1,438ක දුම්රිය මාර්ග ප්‍රමාණයක් තිබූ අතර මෙය 2020 වන විට 1,648ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. නිදහසෙන් පසුව නව දුම්රිය මාර්ග තැනී ඇත්තේ සුළු ප්‍රමාණයක් වුවත්, තනි මාර්ග ගණනාවක් ද්විත්ව මාර්ග බවට පත් කිරීම ද සිදු වී ඇත. නිදහස ලැබූ වර්ෂය වන විට ද දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබමින් තිබී ඇති අතර, ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද වැඩි වශයෙන් මාර්ග ප්‍රවාහනය වෙත ජනතාව යොමුවීමය. එය මෙන්ම, සේවක පිරිස ද දුම්රිය සේවයේ මෙන්ම ශ්‍රී ලංගමයේ ද අලාභ සඳහා හේතු වී ඇති බව ප්‍රකට කරුණකි.
(3) තොරතුරු තාක්ෂණය
තොරතුරු තාක්ෂණය අද ලෝකයේ වඩාත් වැදගත් අංශයකි. ලෝකය අද සාකච්ඡා කරන්නේ තොරතුරු ආර්ථිකයක් පිළිබඳවය. 1990 දශකයේ දී මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය හා යටිතල පහසුකම් පුළුල් වීම ආරම්භ විය. මේ කාලය තුළ ඇති වූ වර්ධනයත් සමඟ පුද්ගලිකව මෙන්ම කර්මාන්තයක් ලෙස ද වැදගත් වී තිබේ. 2021 වර්ෂයේ දී මෙරට පරිගණක සාක්ෂරතාව හෙවත් පරිගණකයක් තනිව භාවිත කිරීමේ හැකියාව පැවතියේ ජනගහනයෙන් 34.1%කටය. එය ප්‍රදේශය (නාගරික, ග්‍රාමීය හා වතු) වශයෙන්, පළාත් අනුව, වයස් කාණ්ඩය හා අධ්‍යාපන මට්ටම අනුව සැලකිය යුතු තරමින් වෙනස් වේ. රැකියාවල නියුතු පරිගණක පිළිබඳ දැනුවත් වයස 15-69 අතර පිරිස් අතර පරිගණකක සාක්ෂරතාවය 66.3%ක් වන අතර එය වෘත්තිය කාණ්ඩය අනුව වෙනෙස් වේ. (2021 වර්ෂයේ දී මෙරට ඩිජිටල් සාක්ෂරතාවය 57.2%ක් වේ. ඩිජිටල් සාක්ෂරතාවය යනු පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක් ටැබ් පරිගණකයක් හෝ ස්මාට් දුරකථනයක් තනිව භාවිත කිරීමේ හැකියාවයි. මෙම අගය පරිගණක සාක්ෂරතාවයට වඩා ඉහළ වීම ස්මාට් දුරකථන වෙත යොමුවීම පෙන්වන්නක් ලෙස සැලකේ)
2021 වර්ෂය වන විට මෙරට ඊමේල් හා අන්තර්ජාල දායකත්ව මිලියන 22.23ක් ඇත. පුද්ගලයින් දහසකට අන්තර්ජාල සම්බන්ධතා ගණන 1003.6කි. එය 2013 වර්ෂයේ දී පැවතී ඇත්තේ 97.6ක අගයකය. එසේම රට තුළ ජංගම දුරකථන මිලියන 29.9ක් භාවිතයට ගැනේ. සියලු වර්ගවල ජංගම දුරකථන ගතහොත්, පුද්ගලයන් 100කට දුරකථන 148.1ක් භාවිත වේ.
Sunday, January 19, 2025
වෙනස්වන කිරිබත් (කෑම)
Wednesday, October 30, 2024
නියැන්ඩර්තාල් මානවයින් වඳ වූ හේතුව පිළිබඳ නව අදහසක්
ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2024-10-30
නියැන්ඩර්තාල් මානව පොසිලයක් පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකින් ඔවුන්ගේ වඳවීම සඳහා බලපෑ හේතුව පිළිබඳ නව අදහසක් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, මේ Homo neanderthalensis ආදි මානවයින්ගේ වඳවීමට හේතු වී ඇති එක් කරුණක් විය හැක්කේ ඔවුන් ප්‍රවේණික වශයෙන් හුදකලා වීමයි.
ප්‍රංශයේ රෝන් නිම්නයේ ග්‍රොට් මැන්ඩ්‍රින් (Grotte Mandrin) නම් ලෙන් ආවරණයක් සහිත එක්තරා ප්‍රදේශයකින් හමු වී ඇති නියැන්ඩර්තාල් මානවයකුගේ දන්ත ශේෂ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදී ය. මේ ලෙන් ආවරණය වැදගත් ස්ථානයකි. හෝමෝ සේපියන්ස් මානවයින්ට මෙන්ම නියැන්ඩර්තාල් මානවයින්ට ද වාසස්ථාන වූ එකම ස්ථානය සේ සැලකෙන්නේ මේ ස්ථානයයි. එසේම අප්‍රිකාවෙන් පිටත දුනු ඊතල භාවිතය පිළිබඳව පැරණිම සාධක හමුවන්නේ ද මේ ස්ථානයේය.
අප මාතෘකා කරගන්නා නියැන්ඩර්තාල් දත් සහිත පොසිලය ඒ ස්ථානයෙන් හමු වී ඇත්තේ හමු වූයේ 2015 වර්ෂයේ දීය. එය 1979 වර්ෂයෙන් පසුව එරටින් හමුවූ පළමු නියැන්ඩර්තාල් මානවයින්ගේ ශේෂ විය. ‘තෝරින්’ ලෙස හඳුන්වා ඇති එම නව නියැන්ඩර්තාල් මානවයාගේ දත් 31ක්, හනුවේ කොටසක් හා ඇඟිලි අස්ථි පහක් පමණ ලැබී තිබේ. ඇතැම් විට සම්පූර්ණ මානව ඇටසැකිල්ලක් තිබිය හැකි බව සැලනෙ නමුත් ඒ ස්ථානයේ කැනීම් සිදුවන්නේ සෙමින්ය.
මූලික අධ්‍යයනවල දී අනාවරණය වූ පරිදි තෝරින්ගේ ජෙනෝමය සමාන වූයේ වසර 100,000ක් පමණ කාලයකට පෙර ජීවත් වූ මානවයින්ටය. එනම්, මේ පොසිලවලින් ලබාගත් DNA අවුරුදු 105,000ක් පමණ පැරණි Homo neanderthalensis ආදි මානවයින්ට සමානය. එහෙත්, මේ අස්ථි ශේෂ හමු වූ පුරාවිද්‍යාත්මක සන්දර්භය අනුව ඒවා වර්ෂ 40,000ත් 50,000ත් අතර කාලයකට අයත් වේ. මෙසේ ප්‍රවේණික ද්‍රව්‍ය හා පුරාවිද්‍යා සන්දර්භය වයස පිළිබඳව තිබූ වෙනස්කම පුරාවිදච්‍යාඥයන්ට ගැටලුවක් විය.
මේ නිසා තෝරින්ගේ වයස නිශ්චිතව නිර්ණය කිරීම සඳහා ඔවුන් අදාළ පොසිලයේ අස්ථි හා දත්වල ඇති රසායනික සමස්ථානික පිළිබඳව විශ්ලේෂණය කර තිබේ. ඒ මගින් අදාළ මිනිසා පරිභෝජනය කළ ජලයේ ස්වභාවය අනුව ඔවුන් වාසය කළ කාලයේ පැවති දේශගුණය පිළිබඳව කරුණු අනාවරණය වී ඇත. වසර 100,000 පමණ කාලයකට පෙර වාසය කළ නියැන්ඩර්තාල් මානවයකු ජීවත් වන්නේ වඩා උණුසුම් දේශගුණයක් ඇති තත්ත්වයක වන අතර, වසර 45,000කට පෙර කාලයක පැවති අයිස් යුගයේ පැවති දේශගුණය වඩා සිසිල්ය. මේ අනුව තෝරින් ජීවත් වී ඇත්තේ අවුරුදු 40,000-50,000 අතර කාලයක දී බව තහවුරු වී ඇත.
වඳ වී යෑමට හේතුවක්
වසර ගණනාවක් තිස්සේ උක්ත වෙනස්කම පිළිබඳව වැඩිදුරටත් සිදුකරන ලද අධ්‍යයන අවසානයේ දී පර්යේෂකයින් පැමිණි නිගමනය අනුව මේ මානවයා ඇතුළත් වන්නේ ඔවුන්ගේ සෙසු කණ්ඩායම්වලින් වසර පනස් දහසකවත් කාලයකට හුදකලා වී සිටි කණ්ඩායමකටය. මේ ප්‍රවේණික හුදකලා වීම මේ මානවයාගේ DNA වඩා පැරණි වීම සඳහා හේතු වී තිබේ. වෙනත් වචනවලින් කියන්‌නේ නම්, ‘තෝරින්’ නමින් හඳුන්වනු ලබන මේ පොසිලය අයත් වන නියැන්ඩර්තාල් ගහනයේ සාමාජිකයන් අනෙක් නියැන්ඩර්තාල් ගහන සමඟ ජාන හුවමාරු කර නොගෙන අවම වශයෙන් අවුරුදු 50,000ක් පමණ කාලයක් ගත කර ඇති බවයි. මෙයි ඇති අපුරුම කරුණ වූයේ එකිනෙකාට දින දහයනින් ගමන් කරන දුරකින් එකිනෙකට වෙනස් ගහන දෙකක් වසර පනස් දහසක් පමණ කාලයක් වාසය කර තිබීමයි.
මේ අධ්‍යයනය දක්වා විශ්වාස කරන ලද්දේ නියැන්ඩර්තාල් මානවයින් වඳවී යන අවස්ථාව වන විට ද ඒ මානව ගහන පැවතියේ ප්‍රවේණික වශයෙන් සමජාතීය (homogeneous) තත්ත්වයක බවයි. එනම්, ප්‍රවේණික වශයෙන් ඔවුන් අතර සමානකම් පැවති බවයි. එමෙත් මේ අධ්‍යයනයෙන් හෙළි වන තොරතුරු අනුව, බටහිර යුරෝපයේම එකිනෙකට වෙනස් නියැන්ඩර්තාල් ගහන දෙකක් තිබී ඇත. ප්‍රවේණික වශයෙන් එකිනෙකට වෙනස් වූ මේ ගහන දෙක සාපේක්ෂව සමීප ප්‍රදේශවල වාසය කර තිබීම එක් ආකාරයකින් පුදුමයට කරුණකි.
තෝරින් අයත් වූ කණ්ඩායම් කුඩා හා පිටතට විවෘත නොවූ ගහනයක් වීම නිසා මේ තත්ත්වය ඇති වූ බව සිතිය හැකිය. මෙය නියැන්ඩර්තාල් මානවයින්ගේ වඳවීම පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කරන්නකි. කුඩා ප්‍රමාණයේ ගහන තිබීම හා ඒවා සංස්කෘතික වශයෙන් හා ප්‍රවේණික වශයෙන් හුදකලා වීම කියම් ජීවි විශේෂයක් වඳවී යෑම සඳහා ප්‍රධානතම හේතුවක් බව දන්නා කරුණකි. අනෙක් අතට, මේ වඳවීම සිදුව ඇත්තේ යුරෝපයට නූතන මානවයින් පැමිණීම සිදු වූ කාලය ආසන්න කාලයක දීය.
නූතන මානවයින්ගේ ඇති වූ අභියෝගය
මේ වන විට අප දන්නා ආකාරයට, නූතන මානවයා හෙවත් Homo sapiens sapiens මානවයා සහ නියැන්ඩර්තාල් මානවයින් අතර අන්තර් අභිජනනය සිදු වී තිබේ. මේ පිළිබඳ ප්‍රවේණික සාධක අද දක්වා නූතන මානවයින් අතර දැකිය හැකිය. එහෙත් නියැන්ඩර්තල් හා නූතන මානවයින් අතර අන්තර් අභිජනනයක් සිදුව ඇති බවට සාධක නියැන්ඩර්තාල් මානව පොසිල තුළින් හමු වී නොමැත. තෝරින්ගේ ශේෂ ඇතුළත් ප්‍රවේණික ද්‍රව්‍යවලින් ද එවැන්නක් හමු වී නොමැත. මෙසේ අන්තර් අභිජනයක් පිළිබඳ සාධක නූතන මානව ගහන තුළ පමණක් දැකිය හැකි වීමෙන් පෙනෙන්නේ නියැන්ඩර්තාල් ගහනයේ ප්‍රජනනය කළ හැකි වයසේ සිටින සරු සාමාජිකයන් නූතන මානව ගහන හා එකතු වීම සිදුව ඇති බවයි. එය ද නියැන්ඩර්තාල් මානව ගහනයේ වඳවී යෑමට ඇති අවස්ථාව බෙහෙවින් ඉහළ නංවයි.
එසේම අලුතින් පැමිණි නූතන මානවයින් සමග ආහාර හා සම්පත් සඳහා තරග කරන්නට සිදුවීමත් නියැන්ඩර්තාල් මානවයින්ට බරපතළ වූ කරුණක් විය. මෙම ස්ථානයේ සාධක අනුව නියැන්ඩර්තාල් මානවයින් ඔවුන් වාසය කළ ප්‍රදේශයේ සතුටින් හා සියලු අවශ්‍යතා සම්පූර්ණ කරගනිමින් වාසය කර ඇති අතර, ඔවුන්ට වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමට අවශ්‍ය වී නොමැති බවක් පෙනේ.
එහෙත් ස්වභාවයෙන්ම මීට වෙනස් වූ නූතන මානවයින් වඩාත් ගවේෂණශීලී වූ මානවයන් විය. ඒ නිම්නයෙන් පසු අනෙක් නිම්නයේ කුමක් පවතී ද යන්න, ඔවුන්ට පෙනෙන ගංගාවෙන් අනෙක් පැත්තේ කුමක් පවතී ද යන්න ආදි කරුණු ඔවුන්ගේ අවධානයට ලක් විය. ඒ නිසා ගමන් කළ යුතු විය. එය නූතන මානවයාගේ සාර්ථකතවයට හේතු වූ බව රහසක් නොවේ.
මූලාශ්‍රය - https://www.cell.com/cell-genomics/fulltext/S2666-979X(24)00177-0
Friday, October 25, 2024
තාත්තාගේ දොඩම් ගසේ කතාව
මේක අමුතු කතාවකි.
මේ මගේ ගෙදර දොඩම් ගසය. මේකේ වයස අවුරුදු විස්සක් පමණ වේ. දොඩම් කුලයේම ගසක් ග්‍රාහකය ලෙස ගෙන, ඊට පැණි දොඩම් අංකුරයක් බද්ධ කරන ලද්දේ තාත්තා විසිනි.
ඔහු මේ ගස සිටුවා වසර දහයක් පමණ ගත වුව ද ඒ ගසේ ගෙඩි හැදුණේ නැත. තාත්තා ඒ ගැන බෙහෙවින් විස්සෝප වූ අතර ගසේ ගෙඩි හටගන්වන්නට ඔහු නොකළ දෙයක් නැත - ගසට වතුර නොදා සිටියේය, ගසේ බර එල්ලුවේය, ගහට පහර දුන් බවත් දුටු අය කියා ඇත. කොටින් ඔහු ඒ ගැන නොකළ දෙයක් නැතිවා විය හැකිය. ඒත් දොඩම් ගසේ ගෙඩි ආවේ නම් නැත!
අවසානයේ මේ ගසේ ගෙඩි හැදුනේය. ඒ 2013 වර්ෂයේ මැද හරියේය. එනම් තාත්තා මිය ගොස් මාස කීපයකට පසුවය. ඒ, මේ ගසට මොකක් කරන්න දැයි මගේ හිතවතුන් කීප දෙනෙකුගෙන් මා විමසමින් සිටි කාලයේ දීය.
මේ ගසේ දොඩම් හොඳ පැණි රසකින් යුක්ත විය. එහෙත් මුල්ම කන්න කීපයේ හැදුණු ගෙඩි මෙන් නොව පසුව ආ ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවිය. අපේ ගෙදර සිටි වැඩිහිටියෙකු පැවසූ විදිහට වරක් 'ආර්ථික සමීක්ෂණයකට' පැමිණි රජයේ නිලධාරිනියක් වත්තේ තියෙන්නේ මොනවද අසා, "ආ මේ දොඩම් ගසකුත් තියෙන්නේ" කියා පවසා සටහන් කරගන ඇත. ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවී ඇත්තේ එයින් පසු බව ඒ ඥාතින්ගේ අදහසයි. එය නිසැකව නොදනිමි. වසර ගණනාවකට පසුව දැන් ගෙඩි තරමක් හොඳය. ඒත් පෙරට වඩා කුඩා ප්‍රමාණයක තිබිය දී වැටෙයි.



