මේක අමුතු කතාවකි.
මේ මගේ ගෙදර දොඩම් ගසය. මේකේ වයස අවුරුදු විස්සක් පමණ වේ. දොඩම් කුලයේම ගසක් ග්‍රාහකය ලෙස ගෙන, ඊට පැණි දොඩම් අංකුරයක් බද්ධ කරන ලද්දේ තාත්තා විසිනි.
ඔහු මේ ගස සිටුවා වසර දහයක් පමණ ගත වුව ද ඒ ගසේ ගෙඩි හැදුණේ නැත. තාත්තා ඒ ගැන බෙහෙවින් විස්සෝප වූ අතර ගසේ ගෙඩි හටගන්වන්නට ඔහු නොකළ දෙයක් නැත - ගසට වතුර නොදා සිටියේය, ගසේ බර එල්ලුවේය, ගහට පහර දුන් බවත් දුටු අය කියා ඇත. කොටින් ඔහු ඒ ගැන නොකළ දෙයක් නැතිවා විය හැකිය. ඒත් දොඩම් ගසේ ගෙඩි ආවේ නම් නැත!
අවසානයේ මේ ගසේ ගෙඩි හැදුනේය. ඒ 2013 වර්ෂයේ මැද හරියේය. එනම් තාත්තා මිය ගොස් මාස කීපයකට පසුවය. ඒ, මේ ගසට මොකක් කරන්න දැයි මගේ හිතවතුන් කීප දෙනෙකුගෙන් මා විමසමින් සිටි කාලයේ දීය.
මේ ගසේ දොඩම් හොඳ පැණි රසකින් යුක්ත විය. එහෙත් මුල්ම කන්න කීපයේ හැදුණු ගෙඩි මෙන් නොව පසුව ආ ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවිය. අපේ ගෙදර සිටි වැඩිහිටියෙකු පැවසූ විදිහට වරක් 'ආර්ථික සමීක්ෂණයකට' පැමිණි රජයේ නිලධාරිනියක් වත්තේ තියෙන්නේ මොනවද අසා, "ආ මේ දොඩම් ගසකුත් තියෙන්නේ" කියා පවසා සටහන් කරගන ඇත. ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවී ඇත්තේ එයින් පසු බව ඒ ඥාතින්ගේ අදහසයි. එය නිසැකව නොදනිමි. වසර ගණනාවකට පසුව දැන් ගෙඩි තරමක් හොඳය. ඒත් පෙරට වඩා කුඩා ප්‍රමාණයක තිබිය දී වැටෙයි.මෙවැනිම තවත් සිදුවීමක් හිතවතෙකුගේ නිවසක දී මම ඇසීමි. කොළඹ නගරයේ වූ එම ගෙවත්තේ මගේ හිතවතා සිටුවා ආදරයෙන් සාත්තු කළ වෙරළු ගසක් හොඳින් වැඩී ඇතත් එහි ගෙඩි හැදී නැත. ඔහු ඒ ගැන කණගාටු වූ බවත්, ඔහු මිය ගොස් මාස කීපයක් තුළ ඒ ගසේ වෙරළු ගෙඩි හැදුණු බවත් ඔහුගේ බිරිඳ මා සමඟ පැවසුවාය.
මේවා මෙසේ වන්නේ කෙසේදැයි නොදනිමි.
2024-10-25
සොබාදහම සහ මිනිස්සු අතර තියෙන සම්බන්ධය හරිම විස්මයජනකයි ඇතැම් වෙලාවක. මගේ පියාගේ සහෝදරයා සොබාදහම සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් තිබූ පරිසර ආදරවන්තයෙක්. ඔහුගෙ මරණින් පස්සෙ ගෙවත්තෙ තිබූ බොහොමයක් ගස් මැරිලා තියෙනවා.
ReplyDelete