ධනේෂ් විසුම්පෙරුම
මේ බ්ලොග් සටහනේ ඇත්තේ පාරිභෝගිකයා නොමග යවා හෝ රවටා තම වෙළෙඳ සැලේ භාණ්ඩ අලෙවි කිරීම සඳහා විවිධ ආයතනවල අය විසින් යොදාගත් වැරදුණු මාකටින් උපක්‍රම පිළිබඳ මගේ අත්දැකීම් සමූහයකි. මෙවැනි අවස්ථාවල දී පාරිභෝගිකයා ලෙස ඔබත් මමත් නොරැවටිය යුතු බව මගේ අදහසයි.
මේ පෝස්ටුව වරින්වර යාවත්කාලීන කරනු ලැබේ - අවසන් යාවත්කාලීන කිරීම: 2024-10-15.
= = = = = = = = = = = = =
1. පොත් වෙළෙන්දා කෙසේ කීවත් මිලට ගන්නා පාඨකයා පිටු පරීක්ෂා කළ යුතුය.
= = = = = = = = = = = = = = =
2. ක්ලේ කතාව
දවසක් නුගේගොඩ බෝගහ හන්දියට (හයිලෙවල් පාර/ ගුවන්පාලම ඇති හන්දිය) යන්න කම්මැලි නිසා සුපිරි වෙළඳසැල ඉදිරියේ තිබ්බ ප්‍රසිද්ධ පොත් සාප්පුවක නුගේගොඩ ශාඛාවට ගොඩ උනේ ක්ලේ පැකට් එකක් ගන්නයි. සාමාන්‍යයෙන් ක්ලේවල පොඩි භූමිතෙල් ගඳක්/සුවඳක් තියනවනේ. පිටරටින් ගෙනා ක්ලේවල එවැනි ගන්ධයක් තිබ්බාට ලංකාවෙ ප්‍රකට බ්‍රෑන්ඩ් එකකින් (X කියමු) හදන එවැනි ගඳක් නැති ක්ලේ නිෂ්පාදයක් තිබ්බා. මට ඒ නිසා ඒ වර්ගයෙන් තමයි එකක් ගන්න ඕන උනේ.
ඉතින් මං සාප්පුවෙන් ගිහින් ඇහුවා ක්ලේ තියනවද කියලා. එතන උන් තරුණිය පෙන්නුවෙ අර පිටරටින් ගේන වර්ග. බහුතරයක් චීන නිෂ්පාදන. මට ඕන උනේ අපේ රටේ හදන එකනේ. ඉතින් මං අර X වර්ගයේ නම කියලා ඒ වර්ගය නැද්ද කියලා ඇහුවා. ඒ තරුණිය ගත් කටටම කීවෙ
"X එකේ ක්ලේ එකක් නැහැ සර්" කියලා
මගේ උත්තරේ උනේ, "ඔයා ගිහින් බලන්න එහා පැත්තෙ හන්දියේ තියන Y බුක්ෂොප් එකට. ඔයාට ගන්න පුළුවන් X වර්ගයේ ක්ලේ පැකට් ඕන ගණනක්"
නිරුත්තර උන ඒ තරුණිය මට මොකුත්ම උත්තරයක් දුන්නේ නෑ.
පහුවදා හයිලෙවල් පාරෙ ඉදලා පයින් එන අතර මම X වර්ගයේ ක්ලේ පැකට් එකක් ගත්තා.
මං අර කී සුප්‍රකට පොත් සාප්පුවේ නුගේගොඩ ශාඛාව දැන් නැත.
පාඩම - මෙයාලා බලන්නේ අපට ඕන දේ දෙන්න නෙවයි. තියන දෙයක් ඇගේ ගහන්න. අපට ඕන දේ ගන්න අපි දැනගන්න ඕන.
= = = = = = = = = = = = = = = = = = = = =
3. තියන දේත් නෑ කියන අය!
බීඑම්අයිසීඑච් එකේ තිබ්බ ආහාර ප්‍රදර්ශනයක දී, දේශීය නිෂ්පාදන අලෙවි ආයතන අතරින් මම ආසම සමාගමක ස්ටෝල් එක දැක්ක මම ඉක්මනින් එතැනට ගියා. මොකද, එයාලගේ මම ආසම නිෂ්පාදන කීපයක් ගත හැකි වේය කියන අදහසින්. එදා ඒකෙ හිටපු අලෙවි ප්‍රවර්ධකයන් හා ප්‍රවර්ධිකාවන් ගණන කොච්චර ද යත්, විකුණන්න තිබ්බ නිෂ්පාදන වර්ග ගණනට පොඩ්ඩක් අඩු වෙන්න ඇති. කොහොම හරි මම සෙව්ව එක් නිෂ්පාදනයක් තිබ්බේ නැති නිසා මං මෙහෙම ඇහුවා...
"අර ඉස්සො රස පපඩම් එක තියනවද?"
"අපි ළඟ එහෙම එකක් නෑ සර්. මේ තියෙන්නේ අපේ ප්‍රඩක්ට්" කියලා වෙන ඒවා පෙන්වනවා.
"මං දැකලා තියනවනේ ඒක."
"නෑ සර් අපේ ඔක්කොම ප්‍රඩක්ස්ට් මෙතන තියනවා" ඔහු කියනවා.
"මම ඉස්සො රස පපඩම් එක ගන්නවනේ XXXX තියන ඔයාලගේ සුපර් මාකට් එකෙන්. එතකොට මේ ඒ කම්පැනිය නෙමෙයි ද?"
මගේ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඔහු සැනෙන් මගහැර ගියේය. අනෙක් අලෙවි නියෝජිතයන් ද මා හා කතාවට ආවේ නැත. මුවට නගාගත් සිනාවෙන් යුතුව මම කුටිය නරඹා එළියට පැමිණියෙමි.
පාඩම - එයාලා බලන්නේ තියන දේ විකුණන්නය. තමන්ගේ නිෂ්පාදන උනත් එසේය.
(මේ ආයතනයේ ඇතැම් නිෂ්පාදන ඇත්තේ මා ඉහතින් සදහන් කර ඇති, කොළඹ නගරයේ උප නගරයක ඇති කුඩා සුපර්මාකට් එකේ පමණය. වෙනත් සුපර්මාකට්වල හා කඩවල්වල ඇත්තේ මහා පරිමාණයෙන් කරන හා අලෙවිය අධික නිෂ්පාදන පමණකි.)
No comments:
Post a Comment