Tuesday, August 22, 2017

නොඉඳුල් නිවර්තන වනාන්තර යනු හිතලුවක්‌ ද ?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.08.2017, පි. 05 (Vidusara)

http://www.vidusara.com/2017/08/16/feature1.html



වසර 45,000ක අතීතයක පටන් වැසි වනාන්තර වෙනස්‌ කළ මිනිස්‌සු නිවර්තන වනාන්තර එළිපෙහෙළි කිරීම හා වනාන්තරවල සෙසු වෙනස්‌කම් මිනිසුන් විසින් සිදු කරන්නේ මෑත කාලයේ පටන් බව සාමාන්‍ය පිළිගැනීම වේ. වඩාත් නිශ්චිතව පවසන්නේ නම් ඒ නූතන කෘෂිකර්මාන්තයේ හා කාර්මීකකරණයේ ආරම්භයේ සිට ය. එයට පෙර කාලයේ මේ වනාන්තර මිනිස්‌ වාසයට නොසුදුසු සේ සැලකුණු බැවින් ඇතැම් විට හරිත කාන්තාර (green deserts) ලෙස හඳුන්වා තිබේ. නූතන සංරක්‌ෂණ වැඩපිළිවෙළේ ද මූලික පදනම වන්නේ ද මේ වෙනස්‌කම් මෑත කාලයේ දී සිදු ව ඇත්තේ ය යන්න ය.

කෙසේ වෙතත් මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මිනිසුන් වනාන්තර භාවිත කිරීම හා වනාන්තරවල වෙනස්‌කම් සිදු කිරීම පිළිබඳ කතාව බොහෝ ඈත අතීතයකට දිව යයි. ඒ අනුව අඩු ම වශයෙන් වසර 45,000ක්‌ තරම් වත් ඈත කාලයක සිට මිනිසුන් නිවර්තන වනාන්තර වෙනස්‌ කිරීම සිදු කොට ඇත. ඒ සඳහා මිනිසුන් යොදාගෙන ඇති උපක්‍රම අතර, වනාන්තර පාලිත ගිනි තැබීම් සිදු කිරීම හා ශාක හා සතුන් කළමනාකරණය හා වනාන්තරවල ශාක වැස්‌ම මුළුමනින් ඉවත් කිරීම වැනි උපක්‍රම භාවිත වී තිබේ. අප්‍රිකාවෙන් පිට වූ මානවයා විසූ බොහෝ නිවර්තන වනාන්තරවල මෙවැනි කරුණු වාර්තා වී තිබේ.

මේ කරුණු හෙළි ව ඇත්තේ මිනිසුන් ඈත අතීතයේ සිට ජගත් මට්‌ටමින් නිවර්තන වනාන්තරවලට සිදු කර ඇති බලපෑම් පිළිබඳව සිදු කරන ලද පුළුල් විමර්ශනයක දී ය. මෙවැනි බලපෑම් සම්බන්ධව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතත්, මේ අධ්‍යයනයේ දී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති ඇති දත්ත සමාලෝචනයට ලක්‌ කර තිබීම නිසා එය වැදගත් වේ. මෙහි දී මිනිසුන් නිවර්තන වනාන්තරවලට බලපෑම් සිදු කළ අවධි තුනක්‌ සම්බන්ධව අවධානය යොමු කර ඇත. ඒ දළ වශයෙන් ගත හොත් දඩයක්‌කාර-ඵල වැල රැස්‌ කරන්නන් (hunter-gatherers) ලෙස ක්‍රියා කළ කාලය, කුඩා පරිමාණයෙන් කෘෂිකාර්මික කටයුතුවල නියෑළුණු කාලය හා මහා පරිමාණ නාගරික ජනාවාස පැවැති කාලය යනුවෙනි.

දඩයක්‌කාර-ඵලවැල රැස්‌ කරන්නන් ගේ කටයුතු


මිනිසුන් දඩයක්‌කරුවන් හා ඵල වැල රැස්‌ කරන්නන් වශයෙන් සිටි කාලයේ, අඩු වශයෙන් අදින් වසර 45,000කට පමණ පෙර සිට මිනිසුන් මේ ආකාරයෙන් වනාන්තරවල වෙනස්‌කම් සිදු කර ඇති බව හෙළි වී ඇත. එම වෙනස්‌කම් සැලකිය යුතු බරපතළ තත්ත්වයේ වෙනස්‌කම් වීම මෙහි දී අනාවරණය වී ඇති වැදගත් කරුණකි. මේ පිළිබඳව දැනට ඇති

පැරැණිතම කාල වකවානු ව වාර්තා වන්නේ අදින් වසර 45,000කට පමණ පෙර අග්නිදිග ආසියාවෙනි. ඒ නූතන මිනිසා මේ කලාපයට පැමිණි මුල් කාලයේ දී පමණ ය. එසේ ම ඔස්‌ටේ්‍රලියාවේ හා නව ගිනියාව වැනි රටවලින් ද මෙවැනි ගිනිතැබීම් පිළිබඳව සාධක ලැබේ. මේ ආකාරයෙන් වනාන්තතර එළි කිරීමෙන් මිනිසුන්ට ලැබුණු ප්‍රතිලාභය වූයේ ඔවුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන සතුන් හා ශාක බහුල වූ පරිසර වැඩි වශයෙන් ඇති කරගැනීමට හැකියාවක්‌ ලැබීම ය. ඒ 'වන වාටි' (forest edge) ලෙස ද හඳුන්වන වනාන්තරයට යාබද වූ පරිසරයක්‌ ඇති කරගැනීමෙනි. මේ සම්පත් ප්‍රදේශ (resource patches) ආශ්‍රිත ව විශේෂිත එහෙත් තිරසර ආකාරයේ දඩයම් ක්‍රමවේද යොදාගෙන තෝරාගත් සතුන් දඩයම් කර ඇති බව විශ්වාස කරනු ලැබේ. මීට ප්‍රයිමේටාවන් වැනි සත්ත්ව කාණ්‌ඩ ඇතුළත් විය.

එසේ ම මේ ආකාරයෙන් සිදු කරන ලද කටයුතුවල දී අපර ප්ලයිස්‌යොසීන (Late Pleistocene) යුගයේ දී වනාන්තරවල විසූ විශාල සතුන් ගේ වඳ වී යැම සඳහා මිනිසුන් ගේ මේ කටයුතු හේතු වූ බවට සාධක ඇතත් එම මතය තවමත් විවාදිත ය. මේ ආකාරයෙන් වඳ වී ගිය සතුන් අතර විවිධ විශාල ප්‍රමාණයේ සතුන් ඇත. මේ සඳහා මිනිසුන් ගේ බලපෑමක්‌ තිබිණි නම් එය වැදගත් වන්නේ මේ සතුන් ගේ වඳ වීමෙන් ඇති වූ වෙනස්‌ වීම් නිසා ය. ඒ නිසා වන ඝනත්වයේ, ශාක විශේෂ ව්‍යාප්තියේ, ශාක ප්‍රජනන යාන්ත්‍රණවල හා වනාන්තරවල ජීවන චක්‍රය වැනි කරුණුවලට සැලකිය යුතු බලපෑමක්‌ සිදු වූ බව මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

වනාන්තරවල ගොවිතැන් කිරීම


නිවර්තන වනාන්තර තුළ ගොවිතැන් කිරීම සම්බන්ධව පැරැණිතම සාධක ලැබී ඇත්තේ නව ගිනියාවෙනි. ඒ අදින් වසර 10,000කට පමණ පෙර පැවැති මුල් මධ්‍ය හොලෝසීන (Early-Mid Holocene) යුගයේ දී සිදු කරන ලද වගා කිරීම් ය. එසේ වගා කළ ශාක අතර විවිධ අල වර්ග හා කෙසෙල් වැනි භෝග වර්ග විය. මිනිසුන් මෙසේ වනාන්තරවල වගා කිරීමේ යෙදුණේ දඩයම හා ඵල වැල රැස්‌ කිරීම ද සිදු කරන අතර ය. මෙමගින් සැලකිය යුතු වැදගත් ප්‍රතිඵල ඇති වූ බව පැහැදිලි ය.

මිනිසුන් විසින් බොහෝ වනාන්තරවල වැවුණු ශාක හා ජීවත් වූ සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම ඇති වන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. මෙමගින් වනාන්තර පරිසර විද්‍යාව වෙනස්‌ වූ අතර එසේ ගෘහාශ්‍රිතකරණය කළ ශාක හා සතුන් මේ දක්‌වා මිනිසුන් ගේ ආහාර වේලට අයත් වේ.

කෙසේ වෙතත් එදා එම මිනිසුන් යොදාගත්තේ එම ප්‍රදේශයේ ම පැවැති ශාක හා සතුන් භාවිත කරගන්නා කෘෂි කාර්මික උපායමාර්ගයකි. ඒ නිසා ඉන් සැලකිය යුතු හා දිගු කල් පවත්නා ආකාරයේ පාරිසරික හානියක්‌ සිදු වී නොමැති බව විද්‍යාඥයන් ගේ අදහස වේ. එසේ ම මේ ජන කණ්‌ඩායම් කුඩා වූ අතර ඔවුන් වාසය කළ පරිසරයට ගැළපෙන ආකාරයේ යෑපුම් මට්‌ටමේ පද්ධති ඇති කරගෙන තිබීම මීට දායක වන්නට ඇත.

කෙසේ වෙතත් කෘෂිකාර්මික නිෂ්පාදනවල අවශ්‍යතාව ඉහළ ගිය විට තත්ත්වය වෙනස්‌ විය. විශේෂයෙන් බාහිරයෙන් හඳුන්වා දුන් කෘෂි පිළිවෙත් නිසා නිවර්තන වනාන්තර හා දූපත් පරිසර පද්ධතිවල දැඩි වෙනස්‌කම් ඇති වී තිබේ. අදින් වසර 2,400ක්‌ තරම් ඈත කාලයක දී අප්‍රිකාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශවලට ඇතැම් ධාන්‍ය වර්ග හා ගව පාලනය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දැඩි පාංශු ඛාදනයක්‌ ඇති වීම හා වනාන්තර ගිනි තැබීම් විශාල ලෙස සිදු වීම දැකිය හැකි ය. වී, කුරක්‌කන් හා මෙනේරි වැනි වගා කිරීම් හඳුන්වා දෙන ලද අදින් වසර 4000කට පමණ පෙර කාලයේ දී පමණ අග්නිදිග ආසියාවේ ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබේ. එහි දී ද විශාල නිවර්තන වනාන්තර ප්‍රදේශ ගිනි තබා හෙළි පෙහෙළි කොට ඇත. මෙය මෑත කාලයේ දී පාම් තෙල් ශාක වගා කිරීම සඳහා නිවර්තන වනාන්තර එළි පෙහෙළි කිරීම හා සමාන කළ හැකි ය. එයට ද හේතු වී ඇත්තේ ඉහළ ගොස්‌ ඇති ඉල්ලුමයි. මෙවැනි ක්‍රියාකාරකම් නිසා වනාන්තර ගිනි තැබීම පමණක්‌ නො ව ජෛව විවිධත්වය අඩු වීම, පාංශු ඛාදනය වේගවත් වීම හා අදාළ භූමි ප්‍රදේශය වන ගිනිවලට වඩාත් පහසුවෙන් ලක්‌ විය හැකි තත්ත්වයකට පත් වීම සිදු ව තිබේ. මෙය නිවර්තන වනාන්තර මුහුණ දෙන ඉතා බරපතළ තත්ත්වයකි.

වනාන්තර තුළ නගර බිහි වීම


නව තාක්‌ෂණික ශිල්ප ක්‍රම යොදාගනිමින් මෑත දී සිදු කර ඇති අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මිනිසුන් නිවර්තන වනාන්තර ඇතුළත සැලකිය යුතු තරම් විශාල නාගරික ජනාවාස ඇති කර තිබෙන බවයි. මීට පෙර අනුමාන කර නො තිබූ තරම් විශාල ප්‍රමාණයේ එවැනි ජනාවාස ඇමෙරිකාවෙන් හා අග්නිදිග ආසියාවෙන් හමු වී තිබේ. විශාල ලෙස ව්‍යාප්ත වූ මේ ජනාවාස ජාල ඇමසෝනියාව, මධ්‍යම ඇමෙරිකාව හා අග්නිදිග ආසියාවෙන් හමු වී ඇත. ඒවා නූතන යුගයේ මෙවැනි ජනාවාස හා නාගරික ජනාවාස පැවැතී ඇති කාලයට වඩා වැඩි කාලයක්‌ පුරා පැවැතී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

මේ පැරැණි නාගරික මධ්‍යස්‌ථානවලින් ඉගෙනගත හැකි දේ ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ දැනුම වර්තමාන නගර මුහුණ දෙන පාරිසරික අභියෝග ජයගැනී ම සඳහා ද යොදාගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාංශු ඛාදනය හා විශාල ජනගහනයකට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය කිරීමේ දී කෘෂිකාර්මික පද්ධතිවල අසාර්ථකත්වය අතීතයේ දී මෙන් ම අද දවසේ ද දැකිය හැකි වූ ගැටලු වේ. මායාවරුන් විසූ ඇතැම් ප්‍රදේශවල විසූ ජනතාව අතිරේක ආහාර භෝග ලෙස යොදාගත් ශාක වර්ග සමහරක්‌ වනාන්තර හෙළි පෙහෙළි කිරීමකින් තොර ව, පවත්නා වනාන්තරය ඇතුළත ම වගා කර ඇති බවට සාධක ලැබී ඇත. මෙය වනාන්තර වගා කිරීමක්‌ හෙවත් කිසියම් උදාහරණයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවල සිදු ව ඇත්තේ මීට වෙනස්‌ දෙයකි. එහි දී පරිසරයට දරාගත නොහැකි තරම් ප්‍රමාණයෙන් ඒක භෝග වගා කිරීම හා වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා ඉන්පසු දේශගුණයේ පවා වෙනස්‌කම් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ එම ප්‍රදේශයේ ජනගහනයේ පැහැදිලි අඩු වීමක්‌ සිදු වීම ය.

මේ වනගත උපනාගරික ප්‍රදේශ නූතන නගර සඳහා තිරසර ආකෘතියක්‌ ලෙස යොදාගැනීමට ඇති හැකියාව ගැන ද අවධානයක්‌ මේ වන විට යොමු වී ඇත. මේ වනාත්තර ආශ්‍රිත නාගරික ප්‍රදේශ දේශගුණ වෙනස්‌ වීම වැනි තත්ත්ව හමුවේ ඇතැම් අවස්‌ථාවල දී ආහාර සුරක්‌ෂිතතාව තහවුරු කරමින් ස්‌වාරක්‌ෂක කලාපයක්‌ සේ ක්‍රියා කර තිබීම මීට හේතුවයි. මේවායේ දැකිය හැකි ලක්‌ෂණ වන විවිධාංගීකරණය, විමධ්‍යගතකරණය හා නාගරික කෘෂිකාර්මික දිවි පෙවෙත මේ පද්ධතිවල දැකිය හැකි වූ ඔරොත්තු දීමට හේතුව විය හැකි බව මේ පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

සමස්‌තයක්‌ ලෙස ගත් විට මේ අධ්‍යයනයට සම්බන්ධ කරගත් ජගත් මට්‌ටමේ දත්ත අනුව කරුණු කීපයක්‌ පැහැදිලි ය. ඉන් එකක්‌ වන්නේ, නොඉඳුල් නිවර්තන වනාන්තර පද්ධති සේ සැලකිය හැකි වනාන්තර නොමැති විය හැකි බවයි. එසේ ම දැනට වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මිනිසුන් මේ වනාන්තරවලට කළ බලපෑම සිදු වී ඇති බවයි. ඒ අනුව සංරක්‌ෂණ ඉලක්‌ක තීරණය කිරීමේ දී භාවිත කළ හැකි එවැනි දර්ශීය වනාන්තර නොමැති තරම් වේ. අනෙක්‌ අතට නූතන සංරක්‌ෂණ උත්සාහයට ප්‍රයෝජනවත් වන වෙනත් කරුණක්‌ මෙහි දී හඳුනාගත හැකි ය. එනම්, නිවර්තන වනාන්තරවල පුරාවිද්‍යාත්මක ඉතිහාසය හා ඒවා අතීතයේ දී මිනිසුන් විසින් කෙසේ උපයෝගී කරගන්නා ලද්දේ ද යන්න ය.

(මූලාශ්‍රය: Nature Plants, DOI: 10.1038/nplants.2017.93)

http://www.vidusara.com/2017/08/16/feature1.html

Tuesday, August 8, 2017

ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට නරක කාලයක්‌?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.08.2017, පි. 5 (Vidusara)


සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගැනීම සඳහා සිදු කරනු ලබන කටයුතු හේතුවෙන් ලෝකය පුරා පරිසරය තර්ජනයට ලක්‌ ව තිබේ. මේවායින් ඇති විය හැකි විවිධ පරිසර පද්ධතිවලට සිදු වන හානි, ඛණිජ හා වෙනත් සම්පත් සූරාකෑම, පරිසර දූෂණය, භූමියේ අයිතිය අහිමි වීම හා ජනතාව අවතැන් වීම වැනි විවිධ ගැටලුවලට එරෙහි ව ලෝකය පුරා සැම රටක ම පාහේ පරිසර ක්‍රියාකාරීහු සටන් කරති. මේ අරගල හෙවත් පාරිසරික ගැටුම්වල දී ඔවුන්ට ඇතැම් විට මුහුණ දීමට සිදු වන්නේ බරපතළ අභියෝගවලට ය. ඔවුන් ගේ හඩ නිහඩ කිරීමේ අරමුණින් එල්ල වන විවිධ තර්ජන මේ අභියෝග අතර වේ. මේ තර්ජන එල්ල වන පාර්ශ්ව ගණනාවක්‌ ද හඳුනාගත හැකි ය. අදාළ රටේ රාජ්‍ය තන්ත්‍රය හා ආරක්‌ෂක අංශ මේ අතර වේ. එසේ ම අදාළ පරිසර අපරාධවලට දායක වන සමාගම් හා ව්‍යාපාරිකයන් ගේ ආරක්‌ෂකයන් මෙන්ම ඔවුන් විසින් මෙහෙයවනු ලබන මැර කණ්‌ඩායම් මගින් ද මේ ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වේ. මේ තර්ජනවල අවසානය වන්නේ පරිසරය වෙනුවෙන් සටන් කළ ඇතැම් පරිසර ක්‍රියාකාරිකයන් මරාදැමීමයි. අතීතයේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන ඉතිහාසගත වී ඇත. බ්‍රසීලයේ ජීවත් වූ ෆ්‍රeන්සෙස්‌කෝ චිකෝ මෙන්ඩෙස්‌ ගේ ඝාතනය (1988), නයිජීරියානු බලධාරීන් විසින් කෙන් සාරෝ විවා එල්ලා මරනු ලැබීම (1995) එවැනි මතකයේ රැඳුණු සිදුවීම් කිහිපයකි.

එහෙත් මෑත කාලයේ දී පරිසර ක්‍රියාකාරීන්ට එවැනි තර්ජනයක්‌ නොමැත්තේ යෑයි සිතිය නොහැකි ය. ඇත්ත වශයෙන් ම මෑත කාලයේ දී ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට ඇති වී තිබෙන තර්ජනය ඉහළ ගොස්‌ තිබේ. පසුගිය දා ඒ සම්බන්ධව පළ වූ අධ්‍යයනයකින් හෙළි වන ආකාරයට පරිසරය ආරක්‌ෂා කිරීම සඳහා ඉදිරිපත් වී ඇති පරිසර ක්‍රියාකාරීන් ඝාතනය කිරීම මෑත වසර කිහිපයේ දී වාර්තාගත අන්දමින් ඉහළ ගොස්‌ ඇත.

මිහිතලයේ ආරක්‌ෂකයෝ වාර්තාව


Global Witness නම් කණ්‌ඩායම මේ පිළිබඳව අවධානය යොමු කර සිදු කරන ලද මේ අධ්‍යයනයේ වාර්තාව 'මිහිතලයේ ආරක්‌ෂකයෝ' (Defenders of the Earth) නමින් නිකුත් ව තිබේ. එම වාර්තාවට අනුව 2016 වර්ෂයේ දී පරිසර ක්‍රියාකාරීන් 200ක්‌ පමණ මරා දමා තිබේ. ඔවුහු තමන් වාසය කරන පරිසරය ආරක්‌ෂා කිරීම උදෙසා කටයුතු කළ හා ප්‍රජාවට නායකත්වය ලබා දුන් අය වෙති. මේ අනුව 2016 වර්ෂය ඇතුළත එක්‌ සතියක දී ලෝකය පුරා එවැනි ක්‍රියාකාරීන් හතර දෙනකු පමණ සාමාන්‍යයෙන් ඝාතනය කර ඇති බව පෙනේ.

මෙහි ඇති තවත් වැදගත්කමක්‌ වන්නේ පරිසර ක්‍රීයාකාරීන් ඝාතනය කරනු ලබන ගණන මෑත කාලයේ දී වර්ධනය වෙමින් ඇති බවයි. 2016 වර්ෂයේ දී මරා දැමුණු ක්‍රියාකාරීන් ගණන මීට වසර පහකට පමණ පෙර වර්ෂයක දී ඝාතනය කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ පමණ වේ. එසේ ම 2014 වර්ෂයේ දී ක්‍රියාකාරීන් 114ක්‌ පමණ ද, 2015 වර්ෂයේ දී 185ක්‌ පමණ ද මරා දමා ඇත. මෙසේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම වර්ධනය වන ප්‍රවණතාව මේ වන විට තවදුරටත් දැකිය හැකි බව ද ගාඩියන් පුවත්පත පෙන්වා දෙයි. එම පුවත්පතේ පළ වූ සංඛ්‍යාලේඛන අනුව 2017 වර්ෂයේ මුල් මාස පහක කාලය ඇතුළත ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන් 98 දෙනකු මරා දමා ඇත.

මෙසේ මිය යන්නේ කවුරුන් ද?


මෙසේ මරා දමා ඇති පිරිස්‌ අතර පරිසර ක්‍රියාකාරීහු, රාජ්‍ය නිලධාරීහු හා ස්‌වදේශික ජනතාව ගේ නායකයෝ සිටිති. වැඩි ම පරිසර ක්‍රියාකාරීන් පිරිසක්‌ මරුමුවට පත් ව ඇත්තේ බ්‍රසීලයේ ය. 2015 වර්ෂය ආරම්භයේ සිට මේ දක්‌වා බ්‍රසීලයේ පරිසර හා භූමිය පිළිබඳ ක්‍රියාකාරීන් 132ක්‌ පමණ විවිධ පිරිස්‌ විසින් මරා දමනු ලැබ ඇත. මෙසේ මිය ගිය වැඩි දෙනා ඇමසන් වනාන්තරයේ සිදු වන වනාන්තර විනාශයට එරෙහි ව සටන් කළවුන් ය. මේ ලයිස්‌තුවේ දෙවැනි තැනට එන්නේ කොලොම්බියාව බව පෙනේ. එහි මේ දක්‌වා මරා දමා ඇති පරිසර ක්‍රියාකාරිකයන් ගණන 85ක්‌ පමණ වේ. ක්‍රියාකාරීන් 75ක්‌ පමණ මරා දමා ඇති පිලිපීනය තෙවැනි තැන ගනියි. කෙසේ වෙතත්, පරිසර ක්‍රියාකාරීන් සඳහා වඩාත් ම භයානක රට වන්නේ හොන්ඩුරාස්‌ රාජ්‍යය බව පෙන්වා දී ඇත. ඒ, එරටේ සිදු ව ඇති ඝාතන සංඛ්‍යාව රටේ ජනගහනයට සාපේක්‌ෂව ගත් විට ඉහළ ම අගය ගැනීම නිසා ය. ලෝකයේ භූගෝලීය කලාපයක්‌ ලෙස ගත හොත් ලතින් ඇමෙරිකාව, පරිසර ක්‍රියාකාරීන් ගේ අවදානම ඉහළ ම කලාපයයි.

පරිසරය ආරක්‌ෂා කිරීම සිය රාජකාරිය සේ ගෙන කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සැලකූ විට පසුගිය වසර 10ක පමණ කාලයේ දී ලෝකය පුරා 800ක්‌ පමණ නිලධාරීන් පිරිසක්‌ සිය රාජකාරිය නිසා මරා දමා තිබේ. ඒ විශේෂයෙන් ම වනාන්තර ආශ්‍රිත ව සිදු වන දඩයම් හා වෙනත් පරිසර අපරාධවල යෙදෙන්නවුන් අතිනි. මේ ආකාරයෙන් 2016 වර්ෂයේ දී මරාදැමුණු අඩවි ආරක්‌ෂකයන් (rangers) අතරින් වැඩි ම පිරිස හෙවත් 60%ක්‌ පමණ මිය ගොස්‌ ඇත්තේ ආසියාවේ ය. ඉන් වැඩි ම ප්‍රමාණය අපේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

සමස්‌තයක්‌ ලෙස 2016 වර්ෂයේ දී සිදු වූ මරණ සම්බන්ධ දත්ත අනුව වැඩි ම මරණ ප්‍රමාණයක්‌ ඇති වී තිබෙන ගැටුම් වන්නේ තෙල් සඳහා සිදු කරන කැණීම් නිසා ඇති වී තිබෙන ගැටුම් ය. දෙවැන්න වී ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් සිදු කරන දැව හෙළීම් නිසා ඇති වී තිබෙන ගැටුම් ය. තෙවැනි තැන හිමි වන්නේ කෘෂිකාර්මික කටයුතු ය. කෙසේ වෙතත් ගත වන 2017 වර්ෂයේ දී මේ රටාව වෙනස්‌ වී ඇති අතර, මෙතෙක්‌ සිදු ව ඇති ඝාතන අතරින් වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ කෘෂි ව්‍යාපාර කටයුතු නිසා ඇති වූ ගැටුම් ය.

නො සලකා හැරෙන අපරාධ


මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම එතරම් බරපතළ ප්‍රතිවිපාක ඇති කරන අපරාධයක්‌ නො වන බවට හැගීමක්‌ ඇති වී තිබීම බව මේ පිළිබඳව අධ්‍යයනය කරන කණ්‌ඩායම් පෙන්වා දී ඇත. විශේෂයෙන් මෙසේ පරිසර අපරාධවලට එරෙහි ව පෙනී සිටින ක්‍රියාකාරීන් ආන්තික ජන කණ්‌ඩායම්, දේශපාලන වශයෙන් නො සලකා හැර ඇති ජනතාව හා නීතිමය පිළිසරණ අඩු වූවන් ය. ස්‌වදේශික ජනකොටස්‌ වැනි පිරිස්‌ මෙන්ම, ස්‌වාභාවික පරිසරය මත යෑපෙන ජන කණ්‌ඩායම්වල නියෝජිතයන් මීට නිදසුන් වේ. ඔවුන් තමන් ගේ රටේ හෝ තමන් ජීවත් වන ප්‍රදේශයේ සිදු කරන ඛණිජ හා තෙල් කැණීම්, වාණිජමය කෘෂිකර්මය, නීති විරෝධී වනාන්තර එළි කිරීම් හා වේලි තැනීම වැනි කටයුතුවලට එරෙහි ව කටයුතු කරන්නවුන් වන අතර ඔවුන් මේ අවදානමට දැඩි ලෙස පාත්‍ර ව තිබේ. එසේ ම මේ මරණවලින් පැවසෙන්නේ පවත්නා තර්ජනයේ මතුපිටින් පෙනෙන දෙය පමණකි. පරිසර විනාශයට එරෙහි ව හඩ නගන ප්‍රජා මේ වන විට පසු වන්නේ ඒවා සිදු කරන පාර්ශ්වවලින් දිගින් දිගටම එල්ල වන තර්ජනවලට ලක්‌ වෙමිනි. මේ පිරිස්‌වලට නිරන්තරව ඇති වන තර්ජනය මහත් ය. එසේ ම ඔවුන් ගේ සම්පත් අහිමි වීමේ අවදානමක්‌ ද ඇති අතර, එය පරිසරයට ද තර්ජනයක්‌ වේ.

එසේ ම මේ ආකාරයෙන් පරිසරය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් ඝාතනය කළවුන් නීතියේ රැහැනට හසු නො වන තරම් ය. මේ ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හෝ චෝදනා කර හෝ නොමැති වීම ද විශේෂයකි. මේවා සමහරක්‌ කුලී ඝාතන වන අතර, විවිධ සමාගම් හෝ ඇතැම් විට රාජ්‍ය ආයතන ඔවුන් මේ සඳහා යොදවාගෙන ඇත. මේ නිසා පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම ඇතැම් රටවල එතරම් තැකීමක්‌ නො කරන බවක්‌ පෙනේ. එසේ ම රාජ්‍ය ආරක්‌ෂක අංශ සමග සිදු කරනු ලබන ගැටුම්වල දී මිය යන පිරිස ද සැලකිය යුතු තරම් ය.

පරිසර ක්‍රියාකාරීන් වෙනුවෙන් හඩක්‌


මේ වන විට ලෝකය පුරා විවිධ ස්‌ථානවල පාරිසරික ගැටුම් 2,000ක්‌ පමණ පවත්නා බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත. මේවා ජලය, භූමිය, පරිසර දූෂණය, තම වාසභුමියෙන් පිටමං කිරීම හා ඛනිජමය සම්පත් සඳහා සිදු කරන කැණීම් නිසා ඇති වූ ඒවා ය. එසේ ම මේ ආකාරයේ ගැටුම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාර්තා නො වන නිසා සමස්‌ත ගැටුම් ප්‍රමාණය මීට වඩා අධික බව ඔවුන් ගේ අදහස වේ.

පරිසරය පිළිබඳ මෙවැනි ගැටුම් ව්‍යාප්ත වීමට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ දුප්පත් රටවල පිහිටා ඇති භූමිය හා සම්පත් වෙත විවිධ ධනවත් සමාගම් හා බලවත් රටවල අවධානය යොමු වීම ය. මෙය ගෝලීයකරණය නිසා දැනටමත් ව්‍යාප්ත වී යමින් ඇති ප්‍රවණතාවකි. එවැනි දුප්පත් රටවල දූෂණය රජයන පාලන තන්ත්‍රය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති දුර්වලතා නිසා මෙවැනි කටයුතු පහසු වී ඇත. එවැනි කටයුතු නිසා එම රටවල ඇති වන ජනතා විරෝධය මර්දනය කිරීමට එම සමාගම් හා ආණ්‌ඩු පෙලඹෙන අතර, ඔවුන් ගේ හඩ නිහඩ කිරීමට මිනිසුන් මරා දැමීමට පවා පෙලඹී තිබේ.

මේ තත්ත්වය හමුවේ පරිසර ක්‍රියාකාරිකයන් වෙනුවෙන් හඩනගන්නට හා ලෝකයේ අවධානය යොමු කරවන්නට හෝ සංවිධාන හා කණ්‌ඩායම් කිහිපයක්‌ ඉදිරිපත් ව ඇත. අප ඉහත කී වාර්තාව පළ කළ 'ග්ලෝබල් විට්‌නස්‌' නම් කණ්‌ඩායම එවැන්නකි. තවත් එවැනි කණ්‌ඩායම් ද මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කරයි.

ද ගාඩියන් පුවත්පත හා 'ග්ලෝබල් විට්‌නස්‌' කණ්‌ඩායම නව ව්‍යාපෘතියක්‌ දියත් කර ඇත. එහි අරමුණ වන්නේ මීළග වර්ෂය ඇතුළත දී පරිසරය ආරක්‌ෂා කිරීමට ඉදිරිපත් ව මිය යන්නවුන් ගේ මරණ පිළිබඳව වාර්තා කිරීම ය. එහි දී වනගත ව ඇති නොදියුණු යෑයි සම්මත රටවල් හා ප්‍රදේශ මෙන්ම කාර්මිකකරණය වූ රටවල සිදු වන සිදුවීම් ද වාර්තා කරන බව ඔවුන් පවසා තිබේ. එමගින් ජගත් මට්‌ටමින් යම් ජනමතයක්‌ ඇති කිරීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කරන බව පෙනේ. 'ආරක්‌ෂකයෝ' (The Defenders) නමින් දියත් කර ඇති මේ කටයුත්ත පිළිබඳ වැඩි විස්‌තර www.theguardian.com/environment/series/the-defenders වෙබ් ලිපිනයෙන් ලබාගත හැකි ය.

Global Witness මගින් ප්‍රකාශිත 'මිහිතලයේ ආරක්‌ෂකයෝ' නම් සම්පූර්ණ වාර්තාව පහත සබැඳියෙන් භාගත කරගත හැකි ය. www.globalwitness.org/en/campaigns/environmental-activists/defenders-earth/

http://www.vidusara.com/2017/08/02/feature1.html

රටට ඔවුන් අහිමි වී වසර 25යි

ධනේෂ් විසුම්පෙරුම


1992 අගෝස්තු මස 8 වැනි දිනය මට කිසිදා අමතක නොවන්නකි. එ් අදින් (08.08.2017) වසර 25කට පෙර සිදු වූ සිදුවීමක් නිසාය. එවකට මෙරට සිටි දක්ෂතම යුදහමුදා නිලධාරියකු වූ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා තවත් නිලධාරින් කිහිප දෙනෙකු යාපනයේ කයිට්ස් දූපතේ, අරාලි පොයින්ට් නම් ස්ථානයේදී බෝම්බයකට හසුව මිය ගියේ එදින නිසාය.

ඒ සිදුවීම එදා රටේ සිටි, රටට ආදරය කළ සැමදෙනා හැඩ වූ දිනයක් විය. ලුතිනන් ජනරාල් කොබ්බෑකඩුවගේ හා එම බෝම්බයෙන්ම මියගිය මේජර් ජනරාල් විජය විමලරත්නයන්ගේ අවසන් කටයුතු සඳහා කොළඹ කනත්තට පැමිණි මහ සෙනඟින් එ් බව පැහැදිලිව පෙනිණි. අවමගුලට පැමිණි මහජනතාව එවකට පැවැති පාලනයට හා එහි නියෝජිතයන්ට දැඩි විරෝධයක් පළ කළ අාකාරයද දැකිය හැකි විය. එහිදී ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට කඳුළු ගෑස් හා බැටන් ප‍්‍රහාර එල්ල කරන්නටද සිදු විය.

මට මතක ඇති ආකාරයට කොබ්බෑකඩුවගේ අවසන් කටයුතු සිදු වූයේ සඳුදා දිනයේය. විමලරත්නගේ අවසන් කටයුතු සිදු වූයේ 12 වනදා හෙවත් බදාදා දිනදීය. එදින මා උසස් පෙළ විභාගයේ අවසන් ප‍්‍රශ්න පත‍්‍රයට (භෞතික විද්‍යාව විය යුතුය) පෙනී සිටි දිනය විය. විභාගයට පෙනී සිටි අප කිහිප දෙනෙකු එතැනින් විමලරත්නගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට ගියෙමු. කනත්ත ඇතුළටද අප ගිය අතර එහි ඇති වූ කලබලය අපටද යන්තමින් දැක ගත හැකි විය. එහෙත් ආපසු එද්දී කඳුළු ගෑස් ප‍්‍රහාරයට අපිද ලක්වීමු. (එ් මා මෙන්ම මා සමඟ සිටි ඉන්දික බැද්දේගමද කඳුළු ගෑස් ප‍්‍රහාරයක් අත් විඳි පළමු අවස්ථාව විය.) කනත්තේ ප‍්‍රධාන දොරටුව දෙසින් බොරැල්ල දෙසට වූ පාරේ යා නොහැකි වූ බැවින් අප ආපසු එද්දී රාජගිරිය දක්වා පා ගමනින් පැමිණීමට අපට සිදුවිය.

එ් දිනය සිහි වන විට ඩෝල්ටන් අල්විස්ගේ 'උඩඟු ලියන්' ගීතයේ එන මලක පැතුම නිතැතින්ම සිහි වේ.

'රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
රණවිරුවෙකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්...
මගේ පරම පැතුම එයයි...
එ මඟට මා විසි කරන්න..."


කොබ්බෑකඩුව-විමලරත්න වැනි රණවිරුවන් සටන් කළ අරමුණ සාක්ෂාත් කරගැනීමට අපට තවත් වසර ගණනාවක් ගත විය.

කියවන්න - 

1. ඒ විරුවන් සම්බන්ධව මේජර් ජනරාල් ලලින් ප‍්‍රනාන්දු (විශ‍්‍රාමික) විසින් 2006 වර්ෂයේදී Daily News පුවත්පතට ලියන ලද ලිපියක් - http://archives.dailynews.lk/2006/08/08/fea01.asp

2. එ් දින දෙකේ ඇති වූ තත්ත්වය විස්තර කරන UPI වාර්තාවක් - https://www.upi.com/Archives/1992/08/12/Violence-erupts-at-funerals-for-Sri-Lankas-top-brass/5170713592000/

Monday, July 17, 2017

බළල් ගෘහාශ්‍රිතකරණය මුලින් ම සිදු ව ඇත්තේ මෑතපෙරදිග දී

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 12.07.2017, පි. 6 (Vidusara)




බළලුන් යනු අතීතයේ සිට ම මිනිසුන්ට බොහෝ සමීප වූ සත්ත්ව විශේෂයකි. මී උවදුරට පිළියමක්‌ ලෙස මෙන්ම සුරතල් සතකු ලෙස ද ඇති කරන බළලුන් හා මිනිසුන් අතර සම්බන්ධයට සැලකිය යුතු ඉතිහාසයක්‌ ඇත. අතීතයේ යම් දිනයක බළලුන් ගෘහාශ්‍රිතකරණයට ලක්‌ වූ අතර ඒ කොතැනක කවර දා ද යන්න පැහැදිලි කිරීම මේ පිළිබඳ අවධානය යොමු කළ විද්‍යාඥයන් ගේ පර්යේෂණවලට පාදක ව තිබූ පැනයකි.

එහෙත් පසුගිය දා පළ වූ පර්යේෂණයකින් පෙන්වා දෙන ආකාරයට බළලුන් ගෘහාශ්‍රිතකරණය මුලින් ම සිදු වී ඇත්තේ මෑත පෙරදිග ප්‍රදේශයේ වන අතර පසුව පැරැණි ඊජිප්තුවේ ද එවැනි ගෘහාශ්‍රිතකරණයක්‌ සිදු ව ඇත. මේ සඳහා දායක වී ඇත්තේ එක ම වල් බළල් උප විශේෂයකි.

ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයක්‌


වනගත ව වෙසෙන වල් බළලා (Wild cat) හෙවත් Felis silvestris විශේෂයේ උප විශේෂ පහක්‌ ලෝකයේ දැකිය හැකි ය. එහෙත් ඒ අතරින් ගෘහාශ්‍රිතකරණය වූ බළලා පැවතෙන්නේ කුමන විශේෂයකින් ද යන්න පැහැදිලි නො වී ය. මේ සියලු උප විශේෂ පෙනුමින් එක හා සමාන වන බැවින් ගෘහාශ්‍රිත බළලා ඇති වීමට හේතු වූ බළල් උප විශේෂය බාහිර රූපාකාරයෙන් වෙන් කර හඳුනාගැනීම කළ නොහැකි දෙයක්‌ විය. මේ නිසා මේ අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයන් ගේ අවධානය යොමු වූයේ බළලුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය මගින් ඔවුන් ගේ සම්භවය පිළිබඳ ගැටලුවට විසඳුමක්‌ ලබාගැනීමට ය.

මේ සඳහා ඔවුන් විවිධ පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් ලබාගත් බළලුන් 209ක ගේ පමණ DNA දත්ත හදාරා ඇත. මේ සඳහා මෑත පෙරදිග, අප්‍රිකාව හා යුරෝපයෙන් ලබාගත් බළල් නිදර්ශකවලින් ලබාගත් මවු පාර්ශ්වයෙන් උරුම වන DNA හෙවත් mtDNA යොදාගෙන තිබේ. මේ පැරැණි DNA ලබාගැනීම සඳහා ලෝකයේ විවිධ ප්‍රදේශවලින් හමු වූ බළලුන් ගේ අස්‌ථි වැනි ශරීර කොටස්‌ යොදාගෙන ඇත. ඒවා අදින් වසර 100ක සිට 9,000ක්‌ පමණ දක්‌වා වූ කාල වකවානුවලට අයත් විය. එසේ ම මේ වන විට ලෝකයේ ජීවත් වන වල් බළලුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ද මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත. ඒ වල් බළල් විශේෂ අතරින් ගෘහාශ්‍රිත බළලුන්ට සම්බන්ධ වන්නේ කුමන විශේෂය ද යන්න අනාවරණය කරගැනීම සඳහා ය.

එක ම වල් බළල් විශේෂයකින් පැවත එයි


අධ්‍යයනයේ දී අනාවරණය වූ කරුණු අනුව අද ලෝකයේ දැකිය හැකි ගෘහාශ්‍රිත බළලුන් පැවත එන්නේ පෙර කී වල් බළල් උප විශේෂ අතරින් අප්‍රිකානු වල් බළලා ලෙස හඳුන්වන උප විශේෂය වන Felis silvestris lybica නම් උප විශේෂයෙනි. මේ වල් බළල් උප විශේෂය දැකිය හැක්‌කේ උතුරු අප්‍රිකාවේ හා මෑත පෙරදිග ප්‍රදේශයේ ය.

මෙහි දී හෙළි වී ඇති තොරතුරු අනුව බළලුන් ගෘහාශ්‍රිතකරණය වීම මුලින් ම සිදු ව ඇත්තේ මෑත පෙරදිග හෙවත් නිරිතදිග ආසියානු ප්‍රදේශවල බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ. මේ සඳහා හේතු වූයේ ඒ ප්‍රදේශවල විසූ මුල් ම ගොවීන් ගේ ධාන්‍යවලට මීයන් වැනි කෘන්තකයන් ගෙන් ඇති වූ හානිය විය හැකි ය. මේ සතුන් ගොදුරු කරගන්නා වල් බළලුන් ද එම කෘන්තකයන් දඩයම් කිරීමට මිනිස්‌ වාස ආශ්‍රිත ව වාසය කළ බව හා තමන්ට සිදු වූ සේවය නිසා ගොවීන් අතර වල් බළලුන්ට කැමැත්තක්‌ තිබෙන්නට ඇති බව සිතිය හැකි ය. එසේ කලක්‌ ගත වීමෙන් පසුව මිනිසුන් හා සමීප වී ගෘහාශ්‍රිතකරණය වන්නට ඇති බවත් මේ අනුව පෙනේ. ඒ අනුව මිනිසුන් විසින් බළලුන් අල්ලා ඇති කරන ලද බවට ඇති අදහස බැහැර වන බව පෙනේ. මේ ප්‍රදේශයෙන් ගෘහාශ්‍රිත බළලුන් මිනිසුන් සමග යුරෝපයට හා අප්‍රිකාවට ව්‍යාප්ත වී ඇත. මේ ව්‍යාප්තිය අදින් වසර 6,400කට පමණ පෙර ආරම්භ වූ බව පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ඉන් පසුව සිදු වූ තවත් ගෘහාශ්‍රිතකරණයක්‌ සම්බන්ධව ද මෙහි දී සාධක ලැබී තිබේ. ඊජිප්තුවේ අද වාසය කරන ගෘහාශ්‍රිත බළලා පැවත එන්නේ මුලින් ගෘහාශ්‍රිතකරණය වූ මෑත පෙරදිග ප්‍රදේශවලින් ගෙන ආ බළලුන් වෙතින් ද, එසේ නැත හොත් ඔවුන් පැවත එන්නේ ඊජිප්තුවේ ම සිදු වූ තවත් දෙවැනි ගෘහාශ්‍රිතකරණය ප්‍රතිඵලයක්‌ ලෙස ද යන්න මේ අධ්‍යයනයෙන් මතු වූ තවත් ගැටලුවකි. මේ දෙවැනි ගෘහාශ්‍රිතකරණය අදින් වසර 3,500කට පමණ පෙර සිදු ව ඇති අතර, ඉන් පසු එම බළලුන් මධ්‍යධරණි ප්‍රදේශවලට හා පැරැණි ලෝකයේ සෙසු රටවලට ව්‍යාප්ත වී තිබේ. එය සාර්ථක ව්‍යාප්ත වීමක්‌ සේ සැලකේ.

මේ ගෘහාශ්‍රිතකරණ සිදුවීම් දෙකට ම සම්බන්ධ වී ඇත්තේ අප්‍රිකානු වල් බළල් උප විශේෂය හෙවත් Felis silvestris lybica උප විශේෂයයි. බළලුන් ගේ ගෘහාශ්‍රිතකරණය සංකීර්ණ හා දිගුකාලීන ක්‍රියාවලියක්‌ වී ඇති බව පැහැදිලි ය.

බළලුන් ගේ ඇති වූ වෙනස්‌කම්


මේ ආකාරයෙන් මිනිසුන් සමග සමීප ලෙස වාසය කිරීමෙන් ගෘහාශ්‍රිතකරණය වූ බළලා තැනින් තැනට සංක්‍රමණය වූ මිනිසුන් සමග වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වූයේ ය. එය ගොඩබිමින් මෙන්ම නැව් මාර්ගයෙන් ද සිදු ව තිබේ. රට රටවල් අතර පැවැති වෙළෙඳාම ද මීට හේතු වූ මූලික සාධකයකි. වෙළෙඳ නැව්වල මීයන් දඩයම් කිරීම සඳහා යොදාගත් බළලුන් නිසා ගෘහාශ්‍රිත බළලුන් වෙනත් ප්‍රදේශවලට පැතිර ගියේ ය. බෝල්ටික්‌ මුහුද ආශ්‍රිත ව පිහිටා තිබූ වයිකිං ජනාවාසයකින් ඊජිප්තුවට සමීපතා දක්‌වන බළලුන් ගේ අස්‌ථි ආදිය හමු වීම මේ ව්‍යාප්තිය පෙන්වන සිදුවීමකි.

මේ අධ්‍යයනයේ දී බළලුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රියෙන් බළලුන් ගේ සමේ දැකිය හැකි රටා ගැන අපූරු කරුණු හෙළි වී තිබේ. පළමුව ගෘහාශ්‍රිතකරණය කරන ලද බළලුන් වැඩි වශයෙන් ම ඉරි සහිත සතුන් වූ අතර මුල් කාලයේ වඩාත් දැකිය හැකි වූයේ මේ සතුන් ය. එය වල් බළලුන් ගේ සමේ දැකිය හැකි වූ රටාව හා සමාන විය. මේ සඳහා වෙනත් පුරාවිද්‍යාත්මක සාධක ද දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස පැරැණි ඊජිප්තු චිත්‍ර ආදියේ දැක්‌වෙන්නේ ඉරි සහිත වූ බළලුන් ය. ශරීරයේ පැල්ලම් සහිත ස්‌වභාවයෙන් යුත් බළලුන් දැකිය හැකි වන්නේ මධ්‍යතන යුගයෙන් පසු ව ය. විශේෂයෙන් 18 වැනි සියවසේ දී පමණ සිට මේ තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි විය. වර්තමානය වන විට ගෘහාශ්‍රිත බළලුන් අතරින් 80%ක්‌ පමණ මේ පැල්ලම් සහිත (blotchiness) ස්‌වභාවයේ බළලුන් ය. එය වල් බළලුන් අතර දැකිය හැක්‌කේ ඉතා අඩුවෙනි.

මෙසේ බළලුන් ගේ සමේ රටාව වෙනස්‌ වීමට හේතුව ජානයක්‌ වන අතර එය සිදු ව ඇත්තේ බළලුන් අභිජනනයේ දී මිනිසුන් සිදු කළ තෝරාගැනීම නිසා බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. අතීතයේ දී මිනිසුන්ට බළලුන් ගේ පෙනුමට වඩා ඔවුන් ගේ හැසිරීම වැදගත් වී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් බළලුන් අභිජනනයේ දී අතීතයේ දී වඩා වැදගත් වූයේ ඒ සතුන්ට මීයන් ඇල්ලීමට පැවැති හැකියාවයි. එහෙත් පසු කලක බළලුන් ඇති කිරීමේ දී සමේ රටාව වැනි කරුණුවලට ද වැදගත්කමක්‌ හිමි වූ බව පෙනේ.

(මූලාශ්‍රය: Nature Ecology, DOI: 10.1038/s41559-017-0139)

http://www.vidusara.com/2017/07/12/feature2.html

Friday, July 14, 2017

පොලිතීන් තහනමට ජයවේවා, ඒත්........

(මේ ලිපිය ලියන ලද්දේ 2006 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පොලිතින් භාවිතය සඳහා පළමුවරට සීමා පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අවස්ථාවේදීය. එම තහනම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බව අප දන්නා කරුණකි. - ධනේෂ් විසුම්පෙරුම 14.07.2017)

ධනේෂ් විසූම්පෙරුම

විදුසර, 2006.12.27 (Vidusara)

http://www.vidusara.com/2006/12/27/feature1.html (in kaputa font)


තුනී පොලිතින් භාවිතය හා නිෂ්පාදනය තහනම් වූව ද මයික්‍රෝන 20ට වැඩි ඝනකමකින් යූක්ත පොලිතින් භාවිතය හෝ නිෂ්පාදනය තහනම් නො වේ. මේ නිසා වැඩි ඝනකමින් යූක්ත පොලිතින්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීටි හා ෂොපින් බෑග් වර්ග වෙළෙඳපොළට පැමිණිය හැකි ය. මේ වන විටත් ඇතැම් පොලිතින් නිෂ්පාදකයන් මේ සඳහා උනන්දු වී ඇත. මේවා වර්තමාන ලන්ච්ෂීටි හා ෂොපින් බෑග්වලට වඩා මිලෙන් අධික වනූ ඇත.

දිගු කලක් තිස්සේ අප අපේක්ෂා කළ පොලිතින් තහනම අවසානයේ දී ක්‍රියාත්මක වීමට යයි. ලබන ජනවාරි මස 1 වැනි දින පටන් ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව නීති අනූව ඝනකමින් මයික්‍රෝන විස්සට අඩූ පොලිතින් නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතය තහනම් වේ. පරිසර නීතියේ ප්‍රතිපාදන අනූව පරිසර අමාත්‍යවරයා විසින් 2006 ඔක්තෝබර් 10 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1466/5 දරන ගැසටි නිවේදනය අනූව මේ තත්ත්වය උදා වී ඇත. පරිසර නීතිය අනූව මෙම නියෝග කඩ කරන අයකු ඒ සඳහා වරදකරු වූව හොත් රුපියල් 10,000ක දඩයක් හෝ වසර දෙකක සිර දඬූවමක් හෝ ඒ දඬූවම් දෙකට ම යටත් වීමට සිදු වනූ ඇත.

මෙම නව නියෝගවලට අනූව පොලිතින් යනූවෙන් පොලිඑතිලින්, පොලිප්‍රොපිලින්, පොලිස්ටයිරින්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිඑතිලින් ටෙරිප්තලේටි හෝ වෙනත් සමාන අමූද්‍රව්‍යවලින් කරනූ ලබන නිෂ්පාදන අචහස් කෙරෙයි. මේ නිෂ්පාදන සඳහා

රැගෙන යාම, ඇසිරීම, එතීම හෝ ඇසූරුම් කිරීම සඳහා නිපදවන නිෂ්පාදන ඇතුළත් වේ. මේ නීති විශේෂයෙන් ම පාරිසරික වශයෙන් මේ වන විටත් හිසරදයක් වී ඇති ලන්ච් ෂීටි, ග්‍රොසරි බෑග් හා ෂොපින් බෑග් වර්ගවලට බලපායි.

කිසිදු සැකයක් නොමැති ව මෙම නියෝග අපේ රටෙි පාරිසරික අර්බූද පිළිබඳ කථාවේ, එසේත් නැත හොත් පරිසරය රැකගන්නට ක්‍රියාත්මක අරගලයේ වැදගත් සන්ධිස්ථානයකි.

පොලිතීන් හා පරිසරය

රටෙි පරිසරය සම්බන්ධයෙන් ඉතා බරපතල ගැටලූවක් බවට පත් ව ඇති පොලිතින් නිසා ඇති වන ගැටලූ අපි දිගු කලක පටන් අත්විඳිමින් සිටිමූ. මේවා පරිසරයට එක් වීම නිසා සිදු වන හානිය ඉතා විශාල ය. නිදසූනක් ලෙස පහසූවෙන් දිරාපත් නො වන පොලිතින් නිෂ්පාදන නිසා පරිසරය දූෂණය වීම, හා ජල මාර්ග අවහිර වීම වැනි තත්ත්ව අපි අත්දුටූවෙමූ. ඒ විනාශයේ තරම ප්‍රත්‍යක්ෂ කරගත්තෙමූ. මේ සඳහා තුනී පොලිතින් එනම් මයික්‍රෝන 20ට අඩූ ඝනකමක් ඇති පොලිතින්වලින් ඇති දායකත්වය අධික ය. මෙම නිෂ්පාදන වැඩි වාර ගණනක් භාවිතය ඉතා අසීරු ය. මේ නිසා බොහෝ විට එක් වරක් පමණක් භාවිතයෙන් පසූ ඉවත දෑමීමට සිදු වේ. (මෑත කාලයේ දී මෙවැනි පොලිතීන් නිෂ්පාදන ඇතැම් විට එක්වරක් වත් භාවිත කළ හැක්කේ අසීරුවෙනි. මේ සඳහා හේතු වී ඇත්තේ අමූද්‍රව්‍ය මිල ඉහළ යාම බව ද පැවසෙයි). පොලිතින් හා ප්ලාස්ටික්වලින් කෙරෙන කල් පවතින නිෂ්පාදන මෙන් නො ව මේවා නිසා පරිසරයට එකතු වන පොලිතින් ප්‍රමාණය අධික ය. එසේ ම මෙම තුනී පොලිතින් නිෂ්පාදන ප්‍රතිචක්‍රිකරණය ද අපහසූ වී ඇති බව පෙනේ. (අපේ රටෙි ප්‍රතිචක්‍රිකරණය කරනූ ලබන්නේ පරිභෝජනය කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් ඉතා සූළු ප්‍රමාණයකි. ඒ සඳහා ක්‍රමවත් හා පූළුල් උත්සාහයක් තවමත් දෑකගත නොහැකි ය.)

අපේ රටෙි ඒක පූද්ගල ප්ලාස්ටික් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 4.5ක් බව කලකට පෙර වාර්තා වී තිබිණිි. මෙය මේ වන විට තවත් වැඩි වී ඇතිවාට සැක නැත. මේ අතරට පොලිතින් නිෂ්පාදකයන් පවසන ආකාරයට එක් දිනක දී රටෙි භාවිත වන ලන්ච්ෂීටි මිලියන 5ක් ද ඇතුළත් ය. භාවිතයෙන් පසූව අනිවාර්යයෙන් ම ඉවත දැමෙන ලන්ච්ෂීටි භාවිතයේ තරම කෙබඳු දෑයි මෙම සංඛ්‍යාලේඛනවලින් සිතා ගත හැකි ය.

මේ තත්ත්වය හා ඒ සඳහා වන විසඳුම් පිළිබඳව ද එතරම් කලක පටන් සාකච්ඡා කර ඇත්තෙමූ. මෙි සඳහා යම් ආකාරයක සීමාකිරීම්, තහනමක් හෝ බදු හෝ දඩ වැනි ක්‍රමයක් හෝ ක්‍රම එකතුවක අවශ්‍යතාව පිළිබඳව යෝජනා වී තිබිණිි. අපි ද මේ පිළිබඳව විදුසර පූවත්පත මගින් ම කිහිප වරක් ම කතා කර ඇත්තෙමූ.

ලෝකයේ වෙනත් රටවල් ද මේ තත්ත්වයට මූහූණ දුන් අතර ඒ සඳහා පියවර ද ගෙන ඇත. බංග්ලාදේශය, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත හා දකුණූ අප්‍රිකාව මේ අතර වෙයි. බංග්ලාදේශය වැනි රටවල මේ තත්ත්වය වඩාත් සාර්ථක ය.

අපේ රටෙි පොලිතින් නිෂ්පාදන සීමා කිරීම හා තහනම් කිරීම පිළිබඳව මැතිවරණ පොරොන්දුවලින් ද සහතික දී තිබේ. එසේ ම කලින් කලට පත් වූ පරිසර අමාත්‍යවරුන් කිහිප දෙනකු දුන් පොරොන්දු ද අප ගේ මතකයේ තිබේ. කෙසේ වෙතත් මේ දක්වා මෙම තහනම ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් නො වී ය. අවසානයේ දී එය යථාර්ථයක් බවට පත් වීමට ආසන්න අවස්ථාවේ දී මේ පිළිබඳව මඳක් විමසා බැලීම සූදුසූ ය. විශේෂයෙන් මෙම තහනම මගින් පමණක් පොලිතීන් නිසා ඇති වී තිබෙන පරිසර දූෂණය ඇතුළු ගැටලූ වළක්වා ලිය හැකි ද යන්න විමසා බැලීම සූදුසූ ය.

තහනමේ බලපෑම

රජය ගෙන ආ නව තහනම නිසා ඇති විය හැක්කේ කෙබඳු බලපෑමක් ද යන්න මඳක් විමසා බැලීම වැදගත් ය. නිදසූනක් ලෙස රජය මෙමගින් බලාපොරොත්තු වනූයේ ඇතැම් වර්ගවල පොලිතින් නිෂ්පාදන නිෂ්පාදනය, අලෙවිය හා භාවිතය වැළැක්වීම ය. එමගින් මෙම ද්‍රව්‍ය පරිසරයට එකතු වීම වළක්වා පරිසර දූෂණය නවත්වා ලීම ය. නීති සම්පාදනය පමණක් නො ව මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් ද අවශ්‍ය ය. එවැන්නක් ද සැකසෙනූ ඇතැ යි අපේක්ෂා කරමූ. අදාළ නීති උල්ලංඝනය කරන්නවූන් අල්ලාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙන්ම දඬූවම් ලබා දීමට පියවර ගැනීම ද වැදගත් ය.

මෙම තහනම නිසි ආකාරයට ක්‍රියාත්මක වූව ද ඇති විය හැකි ගැටලු අතර වැදගත් කරුණක් වන්නේ ෂොපින් බෑග් සහ ලන්ච් ෂීටි සඳහා මේ වන විට පූළුල් විකල්පයක් නොමැති වීම ය. මේ වන විට පොලිතීන් සඳහා විවිධ විකල්ප භාවිතයට පැමිණ ඇතත් ඒ සූළු ප්‍රමාණවලිනි. සිලි සිලි බෑග් වෙනූවට අතීතයේ දී භාවිත කළ විවිධ පරිසර හිතකාමී බෑග් වර්ග දෑන් වෙළදපොළේ පවතී. මේ අතර රෙදි, හණ, පන් ආදියෙන් කළ බෑග් වර්ග තිබේ. මේවා අනාගතයේ ඇති විය හැකි ඉල්ලූම සමඟ ව්‍යාප්ත වනූ ඇත. එසේ ම ජෛව හායනයට ලක් වන පොලිතින් බෑග් නිෂ්පාදනය ද දෑන් දෑන් ප්‍රචලිත වෙමින් පවතී. මෙවැනි නිෂ්පාදන හා කර්මාත්න සඳහා යම් යම් සහන ආදිය ලබා දීම ඵලදායක විය හැකි ය. ලන්ච් ෂීටි වෙනූවට ආදේශයක් ලෙස මැතක දී කරළියට පැමිණි පදම් කළ කෙසෙල් කොළය තවත් හොඳ විකල්පයකි. අනෙක් අතට ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වූව ද කෑම පෙටිටිය මේ සඳහා හොඳ විකල්පයකි.

මෙම විකල්ප නිෂ්පාදන ද පූළුල් ව ව්‍යාප්ත වූව හොත් නියෝග යම් පමණකින් හෝ සාර්ථක වනූ ඇතැයි යන්න අප ගේ හැඟීමයි. එසේ ම එය අපේ ප්‍රාර්ථනාවයි. කෙසේ වෙතත් එහි දී වෙළෙඳ උපක්‍රම හා ජනතාව ගේ ආකල්පවලින් සැලකිය යූතු අභියෝගයක් එල්ල වනූ ඇත.

තුනී පොලිතින් භාවිතය හා නිෂ්පාදනය තහනම් වූව ද මයික්‍රෝන 20ට වැඩි ඝනකමකින් යූක්ත පොලිතින් භාවිතය හෝ නිෂ්පාදනය තහනම් නො වේ. මේ නිසා වැඩි ඝනකමින් යූක්ත පොලිතින්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීටි හා ෂොපින් බෑග් වර්ග වෙළෙඳපොළට පැමිණිය හැකි ය. මේ වන විටත් ඇතැම් පොලිතින් නිෂ්පාදකයන් මේ සඳහා උනන්දු වී ඇත. මේවා වර්තමාන ලන්ච්ෂීටි හා ෂොපින් බෑග්වලට වඩා මිලෙන් අධික වනූ ඇත.

එවැනි නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම තුළ නව නීති සඳහා ජනතාව කුමන ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න අනූව මෙම වැඩි ඝනකමක් ඇති ද්‍රව්‍යවල අලෙවිය තීරණය වනූ ඇත. ඇතැම් විට වැඩි මිලක් ගෙවා පූරුදු ආකාරයට ම ලන්ච්ෂීටි හා සිලි සිලි බෑග් වර්ග භාවිතයට ද ජනතාව යොමූ විය හැකි ය. ඒවා නැවත නැවතත් භාවිත කළ හැකි වූව ද පහසූව පමණක් ම සොයන පිරිස් ඒ සඳහා යොමූ වේ ද යන්න ද ගැටලූවකි. අප රටෙි ද පැතිර යන වරක් භාවිතයෙන් පසූ ඉවත දෑමීම ආඩම්බරයක් සේ සලකන ඩිස්පෝසබල් සංස්කෘතියට (මේ සඳහා යෝග්‍ය යෙදුමක් සොයාගත යූතු ය) අනූගත පිරිස් ලන්ච් ෂීටි හා ෂොපින් බෑග් නැවන නැවත භාවිතයට හූරු වේ ද යන්න සැක සහිත ය. එසේ වන්නේ ඒවායේ මිල මූදල් පසූම්බියට දෑනෙන ආකාරයේ ප්‍රමාණයකින් ඉහළ ගිය හොත් පමණකි. මේ නිසා අවසානයේ තුනී පොලිතින්වලින් සිදු වන පරිසර දූෂණය වෙනූවට වඩා ඝනකම පොලිතීන්වලින් සිදු වන පරිසර දූෂණයක් අපට අත්විඳින්නට සිදු විය හැකි ය. ඒ වැඩි ඝනකමක් සහිත ද්‍රව්‍ය නිෂ්පාදනයට වැය වන වැඩි සම්පත් භාවිතයක් සමගිනි. මේවා නිෂ්පාදනයට වැඩි පොලිතින් ප්‍රමාණයක්, වැඩි බලශක්තියක් අවශ්‍ය වේ. අප සිතන අකාරයට කටයූතු මේ ආකාරට ද සිදු වීමට ඉඩ තිබේ. මෙය තත්ත්වය දෙස අසූබවාදී ලෙස බැලීමක් නො ව ඇති විය හැකි තත්ත්වයක් දෙස විමසූම් ඇසින් බැලීමක් පමණකි.

මේ අනූව පෙනෙන්නේ තවදුරටත් පොලිතින් ලාබදායි භාණ්ඩයක් වන නිසා ඇතැම් විට මේ උත්සාහය ද බලාපොරොත්තු වන තරමට සාර්ථක නො විය හැකි බව ය. අපේ අදහස වන්නේ මෙවැනි පියවර ගණනාවක් ගෙන මිස මේ උවදුර පාලනය කරන්නට නොහැකි වන බව ය. 2003 නොවැම්බර් 12 දින විදුසරට අප ලියූ ලිපියකින් වරක් අප මයික්‍රෝන 30කට අඩූ පොලිතීන් තහනමක් හා පොලිතින් සඳහා බද්දක් අය කිරීම පිළිබඳව ද යෝජනා කළේ ඒ නිසා ය. ඒ වන විට රජය ගෙන ආ යෝජනා අනූව සෙස් බද්දක් පැනවීම මගින් පමණක් පොලිතින් අර්බූදය විසඳා ගැනීමට නොහැකි වී ඇති බව මේ වන විට පෙනී ගොස් ඇත. එමගින් පොලිතින් භාවිතය පසූගිය කාලය තුළ වර්ධනයක් මිස අඩූ වීමක් නම් සිදු වී නොමැත.

සුපුරුදු පරිදි මෙම නියෝගවලට එරෙහි ව කර්මාන්තකරුවන් ගේ පාර්ශ්වයෙන් හඬක් නැගී තිබේ. දෙසැම්බර් මාසය මූල දී මෙම තහනම පිළිබඳව නැවත සිතාබලන මෙන් හෝ එය ක්‍රියාත්මක කිරීම කල් දෑමීම සඳහා පියවර ගන්නා ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් ව තිබිණි. කෙසේ වෙතත් මේ ලිපිය ලියන මොහොත වන විට ද එවැනි තීරණයක් ගෙන නො තිබිණි.

කර්මාන්තකරුවන් පවසන්නේ දෑනටමත් නිෂ්පාදිත පොලිතින් අලෙවිය සඳහා කාලයක් අවශ්‍ය බව ය. කෙසේ වෙතත් 2006 වසරේ මූල් භාගය වන විට තුනී පොලිතින් වර්ග තහනම් කරන්නට යන බව රජය පවසා තිබූ අතර මෙවැනි තත්ත්වයක් ඇති නො වීමට පියවර ගැනීමට මේ කාලය ප්‍රමාණවත් ය. ගැසටි නිවේදනය පවා නිකුත් වූයේ පසූගිය ඔක්තෝබර් මාසයේ ය. තහනම ක්‍රියාත්මක නො වේ යැයි සිතමින් නො සිට අවශ්‍යතාව තිබේ නම් නිෂ්පාදකයන්ට මේ කාලය ද යම් පියවරක් ගැනීම සඳහා ප්‍රමාණවත් බන අපේ හැඟීමයි. ඇතැම් පොලිතින් නිෂ්පාදකයන් මේ වන විට ද නව නීතිවලට එකඟ ව විකල්ප පියවර ගෙන ඇති බව අප ද දන්නා කරුණකි.

අවසන් වශයෙන් පැවසිය යූත්තේ මෙම තහනම යෝග්‍ය හා අත්‍යවශ්‍ය මූලික පියවරක් පමණක් බව ය. එය සාර්ථක වේවා යි අපි ප්‍රාර්ථනා කරමූ. එහෙත් එමගින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කරගත හැකි වේ දෑ යි සැක සහිත ය. ඇතැම් විට ඒ සඳහා වඩා දෑඩි ක්‍රියාමාර්ග අවශ්‍ය විය හැකි ය.

http://www.vidusara.com/2006/12/27/feature1.html

Tuesday, June 27, 2017

මොරොක්‌කෝ පොසිල මගින් නූතන මානව සම්භවය තවත් ඈතට?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.06.2017පි 11,  (Vidusara)


http://www.vidusara.com/2017/06/21/feature6.html




Homo sapiens හෙවත් නූතන මානවයාගේ මෙතෙක්‌ අප දැන සිටි පැරැණි ම පොසිල අදින් වසර 195,000ක්‌ පමණ පැරැණි ය. ඒවා ලැබී ඇත්තේ නැෙගනහිර අප්‍රිකාවේ වර්තමාන ඉතියෝපියාව පිහිටා ඇති ප්‍රදේශයෙනි. අදින් වසර 160,000ක්‌ පමණ පැරැණි පොසිල ද එරටින් ලැබී තිබේ. ඒ අනුව නූතන මානවයා ගේ සම්භවය අදින් වසර 200,000ක්‌ පමණ කාලයකට පෙර සිදු වූ බව වැඩි දෙනා ගේ පිළිගැනීම ය. Homo heidelbergensis හෝ Homo rhodesiensis යන මානවයන් ගෙන් නූතන මානවයා අප්‍රිකාවේ දී සම්භවය වී ඇති බව මේ දක්‌වා ලැබී ඇති පොසිල සාධක මත පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ දිනය පිළිබඳව සැක මතු කරන අධ්‍යයන ද ඇතැම් විට ප්‍රකාශයට පත් ව ඇත. ඒවායින් නූතන මානවයා ගේ සම්භවය පිළිබඳ දිනය, වඩා ඈතට ගෙන යැමට යෝජනා කරයි. නිදසුනක්‌ ලෙස ගත හොත් දකුණු අප්‍රිකාවේ ෆ්ලෝරිස්‌බාද් ප්‍රදේශයෙන් හමු වූ අදින් වසර 259,000කට පෙර කාලයකට දින නියම කරන ලද හිස්‌ කබලක නූතන මානවයාට සමීප ලක්‌ෂණ ඇති බව එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී තිබිණි. ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් සිදු කරන ලද තවත් අධ්‍යයනයකට අනුව නූතන මානවයා ඔහු ගේ සමීපතම ඥාතියා වන නියෑන්ඩර්තාල් මානවයා ගෙන් වෙන් වූයේ වසර 500,000කට පමණ පෙර විය හැකි ය. මේ මාසය මුල ප්‍රකාශයට පත් වූ අධ්‍යයන දෙකකින් ද නූතන මානවයා ගේ සම්භවය පිළිබඳ දිනය අදින් වසර 300,000කට පමණ පෙර සිදු වූ බවට යෝජනා කර ඇත. එය මොරොක්‌කෝවෙන් හමු වූ මානව පොසිල සාධක මත පදනම් ව සිදු කරන ලද පර්යේෂණයකි. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature22336 හා 10.1038/nature22335) මේ ලිපිය ඒ අධ්‍යයන ආශ්‍රයෙන් සැකසුණකි.

මොරොක්‌කෝ කැණීමෙන් ලද පොසිල


උතුරු අප්‍රිකාවේ පිහිටි මොරොක්‌කෝවේ අත්ලාන්තික්‌ වෙරළට ආසන්න ව පිහිටා ඇති ජෙබෙල් ඉර්හුඩ් (Jebel Irhoud) නම් ස්‌ථානයෙන් මානව පොසිල මුලින් ම ලැබී ඇත්තේ අහම්බෙනි. ඒ 1961 වර්ෂයේ දී ඛනිජ සොයා සිදු කරන ලද කැණීමකිනි. ඒ අවස්‌ථාවේ දී ලැබුණු පොසිල මානව සාධක පිළිබඳව එම දශකයේ දී වැඩිදුර අධ්‍යයන සිදු කර ඇත. එහෙත් එම මානව පොසිල අස්‌ථි කොටස්‌ හා ගල් ආයුධවල නිශ්චිත භූගෝලීය වයස මෙතෙක්‌ අනාවරණය වී නො තිබිණි. ඒබැවින් එම මානව අස්‌ථි ශේෂ පිළිබඳව විවිධ මත ඉදිරිපත් විය. ඉන් එක්‌ අදහසකින් කියෑවුණේ එම ශේෂ උතුරු අප්‍රිකාවේ විසූ නියෑන්ඩර්තාල් මානවයන් ගේ බවයි. තවත් මතයකට අනුව ඒවා කිසියම් ආදි මානවයකුට අයත් වන අතර, ඔවුන් පසු කලක දී නූතන මානවයන් ගෙන් ප්‍රතිස්‌ථාපනය වී තිබේ.

මේ තත්ත්වය මත 2004 වර්ෂයේ සිට ජෙබෙල් ඉර්හුඩ් ස්‌ථානයේ වඩා පුළුල් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්‌ සිදු කර ඇත. එහි දී මානව අස්‌ථි ශේෂ 16ක්‌, ගල් ආයුධ හා සත්ත්ව අස්‌ථි ශේෂ

රැසක්‌ හමු වී තිබේ. මේ මානව අස්‌ථි ශේෂ අතර අවම වශයෙන් මිනිසුන් 5 දෙනකුට අයත් වූ හිස්‌කබල්, දත් හා දිගු අස්‌ථි තිබී ඇත. හිස්‌කබල් කොටස්‌, මුහුණේ හා හනු අස්‌ථි කොටස්‌ ඊට ඇතුළත් වේ. මේ සමග මධ්‍ය ශිලා යුගයට අයත් ගල් ආයුධ රැසක්‌ ද ලැබී තිබේ.

හමු වූ ගල් ආයුධ කාල නිර්ණයෙන් පොසිලවල කාලය නිර්ණය කර ඇති අතර, පොසිල අස්‌ථිවල ස්‌වභාවයෙන් පර්යේෂකයන් මේ නූතන මානවයා ගේ පැරැණි ම සාධක බව නිර්ණය කර තිබේ.

පොසිල කාලනිර්ණය


මේ කැණීම්වලින් මානව පොසිල සමග ලැබී ඇති ෆ්ලින්ට්‌ ගල් ආයුධ තාප සංදීප්තතා කාලනිර්ණයට (thermo luminescence) ලක්‌ කිරීමෙන් පෙනී ගොස්‌ ඇත්තේ ඒවා වසර 315,000ක්‌ තරම් පැරැණි බවයි. (පරාසයක්‌ ලෙස ගත හොත් එය වසර 280,000ත් 350,000ත් අතර කාලයකට අයත් වේ.) එසේ ම එම ස්‌ථානයෙන් මින් පෙර හමු වී ඇති දත් පිළිබඳව මානව දත් සම්බන්ධව සිදු කළ විකිරණශීලී යුරේනියම් කාලනිර්ණයකින් ඒ සඳහා වසර 286,000ක දිනයක්‌ ලැබී ඇත. (ඒවා මීට පෙර කාලනිර්ණය කර තිබුණේ වසර 160,000කට ය). එසේ ම මේ මානව පොසිල සමග හමු වී ඇති විවිධ සතුන් ගේ ශේෂ කාලනිර්ණය අනුව ද ඉහත ගල් ආයුධ සඳහා ලැබුණු දින වනවානු සනාථ කරන බව පර්යේෂකයන් ගේ අදහස වේ.

මේ කරුණු අනුව පොසිල වසර 300,000ක්‌ පැරැණි ය යන්න මේ පර්යේෂකයන් ගේ නිගමනයයි. ඒවා මීට පෙර Homo sapiens පොසිල සඳහා ලබා දී තිබූ පැරැණි ම දින වකවානුවලට වඩා වසර 100,000ක්‌ පමණ පැරැණි ය. වෙනත් ආකාරයකින් කිව හොත් මේ පර්යේෂණය මගින් නූතන මානවයා ගේ සම්භවය වසර 100,000ක්‌ පමණ කාලයකින් ඈතට ගෙන යයි.

නුතන මානව පොසිල බව හඳුනාගැනීම


ජෙබෙල් ඉර්හුඩ්වලින් ලැබුණු හිස්‌කබල් අයත් වූයේ කවර මානවයකුට දැයි හඳුනාගැනීමට ද මෙහි දී උත්සාහ දරා ඇත. එම පොසිලවල දත් නූතන මානවයා ගේ දත්වලට වඩා මදක්‌ විශාල ය. එහෙත් ඒවා නියෑන්ඩර්තාල් හෝ වෙනත් ආදි මානවයකු ගේ හෝ දත්වලට වඩා ගැළපෙන්නේ නූතන මානවයා ගේ දත්වලට ය. එසේ ම ලැබුණු මානව අස්‌ථි ශේෂ ආශ්‍රයෙන් ගොඩනගන ලද මුහුණ, නූතන මානවයා ගේ මුහුණ හා සමාන බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මේ පොසිල හිස්‌කබල් නූතන මානවයා ගේ හිස්‌කබලට වඩා මදක්‌ දික්‌ වූ ස්‌වභාවයක්‌ ගනියි. (නූතන මානවයා ගේ ස්‌නායු කපාලය හෙවත් හිස්‌කබලේ මොළය ඇතුළත ප්‍රදේශයේ හැඩය වඩා රවුම් ය). ඒ අනුව ජෙබෙල් ඉර්හුඩ් මානවයා ගේ ස්‌නායු කපාලය (brain case) හා මොළය නූතන මානවයා ගේ මොළයට වඩා වෙනස්‌ ආකාරයකට සංවිධානය වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ව්‍යqහවිද්‍යාත්මක ව නූතන මානවයා ගේ පරිණාමයේ අනුපිළිවෙළ සම්බන්ධ සාධක මින් ලැබෙන බවයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, නූතන මානවයා ගේ මුහුණේ ස්‌වභාවය ඇති වූයේ ඔවුන් ගේ මොළයේ හැඩය ඇති වීමට පෙර විය හැකි ය. මේ අනුව මොළයේ හැඩය හා ඇතැම් විට මොළයේ ක්‍රියාකාරීත්වය Homo
sapiens මානවයා ගේ පරිණාමය තුළ දී වෙනස්‌ වී ඇති බව පර්යේෂකයන් ගේ අදහසයි.

ජෙබෙල් ඉර්හුඩ්වලින් ලබාගත් මානව ශේෂවලින් DNA ලබාගැනීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වී තිබීම අවාසනාවකි.

මානව පරිණාමය සංකීර්ණය


නූතන මානවයා ගේ පරිණාමික ඉතිහාසය මේ අධ්‍යයනය මගින් වඩාත් සංකීර්ණ කර ඇති බව පෙනේ. පර්යේෂකයන්ට අනුව ජෙබෙල් ඉර්හුඩ් පොසිල නූතන මානවයා ගේ නම් ඒවායේ දින වකවානු වැදගත් ය. නැෙගනහිර අප්‍රිකාවෙන් ලැබුණු ශේෂ අනුව සාමාන්‍යයෙන් මානව සම්භවය සඳහා පිළිගන්නා දිනය වන්නේ අදින් වසර 200,000කට පමණ පෙර එය සිදු වූ බවයි. එහෙත් මේ නව පර්යේෂණය අනුව එම කාලය වසර 300,000 දක්‌වා ඈතට යයි. ඒවා මෙතෙක්‌ හමු වූ පැරැණිම නූතන මානව පොසිල වේ.

එසේ ම උතුරු අප්‍රිකාව ද මානව පරිණාමයේ වැදගත් තැනක්‌ ගන්නා බව හෙළි වී තිබීම ද වැදගත් කරුණකි. එසේ නම් මානව පරිණාමය සිදු වී ඇත්තේ නැෙගනහිර අප්‍රිකාවේ පමණක්‌ නො වේ. මේ අනුව පර්යේෂකයන් ගේ අදහස වන්නේ නූතන මානව විශේෂයේ මුල් ම සාමාජිකයන් අප්‍රිකානු මහාද්වීපයේ විවිධ ප්‍රදේශවල පරිණාමය වන්නට ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අදින් වසර 300,000කට පමණ ඉහත දී නූතන මානව විශේෂයේ යම් පැතිරීමක්‌ (dispersal) තිබූ බවයි. එසේ නැත හොත් ඒ ප්‍රදේශවල වාසය කළේ අපේ විශේෂයේ වඩා ප්‍රාථමික ආකාරයක්‌ විය හැකි ය. මේ කාලයේ දී සහරාව ගංගා හා විල් බහුල වූ ගහකොළින් වැසුණු පරිසරයක්‌ වූ අතර, නැෙගනහිර අප්‍රිකාවේ දැකිය හැකි වූ වන සතුන් මොරොක්‌කෝවේ මේ ප්‍රදේශවලද වාසය කළ බව මේ පොසිල සාධක අනුව පැහැදිලි ය.

කෙසේ වෙතත් මේ පර්යේෂණයෙන් හෙළි වී ඇති කරුණු පිළිබඳව මේ විෂය පිළිබඳ විද්‍යාඥයන් අතර කිසියම් මතභේදයක්‌ ඇති බවක්‌ පෙනේ. ඇතැම් අය ඒ නිගමන හා එකග වුව ද තවත් අය ඒ පිළිබඳ සැක කරන බව පෙනේ. මේ මානවයින් Homo sapiens විය හැකි ද යන්න ගැන මේ ඇතැම් විද්‍යාඥයන් සැක ඇති කර ඇත්තේ මේ හිස්‌කබල් හා නූතන මානවයා ගේ හිස්‌කබල් අතර යම් යම් වෙනස්‌කම් ඇති නිසා ය. විශේෂයෙන් කැපී පෙනන කම්මුල් හා නළලක්‌ නො තිබීම නිසා මොරොක්‌කෝ පොසිල නූතන මානවයා ගේ ලෙස නො සැලකිය යුතු බව එක්‌ විශේෂඥයකු ගේ මතය වී තිබේ. එසේ ම නූතන මානවයාට සමාන වූ මුහුණක්‌ ඇති ආදි මානව විශේෂයක්‌ පිළිබඳ සාධක මීට පෙර ස්‌පාඤ්ඤයෙන් ලැබී ඇති බව ද තවත් විද්‍යාඥයකු පෙන්වා දී ඇත.

ආහාරය පිළිබඳ සාධක


මොරොක්‌කෝ කැණීම් මත එම මානවයා ගේ ආහාරය සම්බන්ධව ද මෙහි දී කරුණු අනාවරණය වී ඇත. ඒ එම ස්‌ථානයෙන් හමු වූ විවිධ අස්‌ථි හා කවච වැනි සත්ත්ව ශේෂ අධ්‍යයනය කිරීමෙනි. එහි දී විවිධ සත්ත්ව විශේෂ 472ක්‌ පමණ විශේෂ මට්‌ටමට හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් මිනිසුන් විසින් ආහාරයට ගන්නා ලද විශේෂ හඳුනාගන්නා ලද්දේ කැපුම් සලකුණු හා කැඩීම් සලකුණු මගිනි. එසේ ම වෙනත් සතුන් විසින් මේ සතුන් ආහාරයට ගන්නා ලද බවක්‌ ඒ ලක්‌ෂණ අනුව පෙනී ගොස්‌ ඇත්තේ අඩු වශයෙනි.

හමු වී ඇති සාධක අනුව ගැසල් නම් ඇන්ටිලෝප් සතුන් මේ මානවයන් විසින් වැඩි වශයෙන් ආහාරයට ගනු ලැබ ඇති බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. එසේ ම සීබ්‍රා, ඉත්තෑවා, හාවා, ඉබ්බා හා මත්ස්‍යයන් වැනි වෙනත් සතුන් මෙන්ම පැස්‌බර බිත්තර ද ඔවුන් ආහාරයට ගෙන තිබේ. එසේ ම මෙහි දී හමු වූ කුඩා සතුන් ගණන අඩු වූ නිසා මේ මානවයන් දඩයම් කිරීමට උනන්දුවක්‌ දැක්‌වූ බව පර්යේෂකයන් ගේ අදහස වේ.

අධික වේගයට හේතුව සෙවීම (බස් කථා 3)

මේ කලකට පෙර සිදු වූ සිදුවීමකි. එදින සවස 3ට පමණ මිත‍්‍රයෙකු සමඟ මම පුරහල ප‍්‍රදේශයේ සිට 138 බසයක නැගී නුගේගොඩ දෙසට පැමිණෙමින් සිටියෙමි. අප පැමිණියේ රුක්මල්ගම බසයකය. ආසන ගණනටවත් සෙනඟ නොසිටි අතර අප අසුන් ගෙන සිටියේ පසුපස දොර අසළ පසුපසම අසුනේය.

ගාටා ගාටා ටිකදුරක් ගිය බසය හදිසියේම අධික වේගයෙන් ධාවනය වන්නට විය. පාරේ ඉන්නා සෙනග ගන්නවත් උනන්දුවක් නොමැති බවක් දිස්විය. වෙනත් බසයක් සමග රේස් එකක්වත් නොමැතිව එතරම් වේගයකින් රුක්මල්ගම බසයක් පැමිණීම නිතර 138 පාරේ ගමන් කරන මට පුදුමයක් විය. මගේ මිත‍්‍රයාටද එය එසේම විය.

මගේ මිත්‍රයා අපට මදක් දුරින් සිටි කොන්දොස්තරට අභිනයෙන් කතා කළේය. කොන්දොස්තරද අප අසළට පැමිණියේය.

"මල්ලි අරයා දවල්ට කාල නැද්ද?" මගේ මිත‍්‍රයා කොන්දොස්තරගෙන් ඇසුවේය.

"කවුද?" එ් කොන්දොස්තරගේ පැනයයි.

"ඩ‍්‍රැයිවර් මල්ලි" මගේ මිත‍්‍රයා ඇසුවේය

වික්ෂිප්ත වූ කොන්දොස්තර "එ් ඇයි?" කියා ඇසුවේය.

"නෑ මෙච්චර හයියෙන් යන හින්ද මං හිතුව තවම දවල්ට කාල නැද්ද කියලා" කියා අපේ මිත‍්‍රයා ඇසුවේය.

කොන්දොස්තර මොකුත්ම කීවේ නැත. බසයද අප බසින තැනට පැමිණ තිබිණි.

ප.ලි. - හයිලෙවල් පාරේ 158 බස් ධාවනය වන 'සාමාන්‍ය වේගයේ' ආරෝහණ පිළිවෙලට ගතහොත් මෙසේය. ඒ ඒ මාර්ගයේ ධාවනය වන බහුතර බස්වල වේගය අනුව මෙය ගණන් බලා අැත. එහෙත් සාමාන්‍ය වේගයට වඩා සෙමින් යන මෙන්ම වේගයෙන් ධාවනය කරන රියදුරන් සිටීමට ඉඩ තිබේ. එ්වාට ඉහත කතාවේ කී අාකාරයේ කරුණු හේතු විය හැකිය.

මත්තෙගොඩ < රුක්මල්ගම < අතුරුගිරිය < මහරගම < කොට්ටාව < හෝමාගම

Monday, June 12, 2017

1872 ගංවතුර සහ අපේ මිනිසුන්ගේ පරිත්‍යාගශීලී බව සුද්දන් දුටු හැටි...

ධනේෂ් විසුම්පෙරුම


දිවයින, 11.06.2017, පි. 02 (Divaina)

http://www.divaina.com/2017/06/11/feature28.html


1904 ගංවතුරේදි නිවාස වන්දිය රුපියල් 15යි




ගංවතුර හා නියඟය වැනි ස්‌වාභාවික ආපදා අපේ රටේද කලින් කල ඇති වේ. එවැනි අවස්‌ථාවලදී විපතට පත්වූවන්ට නොමසුරුව ආධාර කරන්නට ශ්‍රී ලංකාවේ සෙසු පුරවැසියෝ මැලි නොවෙති. විපතට පත් වූ අපේම සහෝදර සහෝදරියන්ට අවශ්‍ය ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදියද, ළමුන්ට අවශ්‍ය පොත් පත්, බේත් හේත් ආදියද ලබාදීමට සෙසු ජනතාව අතර විශාල උනන්දුවක්‌ දැකිය හැකිය. විපතකදී රජයෙන් ආධාර උපකාර ලබා දෙන්නේ මදක්‌ කල්ගත වීමෙන් පසුවය. එහෙත් ඊට පෙර විපතක්‌ සිදු වූ වහාම මහා පරිමාණයෙන්ද ආධාර උපකාර කිරීමට සාමාන්‍ය ජනතාව කටයුතු කරන ආකාරය මෑත කාලයේ ඇති වූ ගංවතුර, නියඟය මෙන්ම සුනාමිය අවස්‌ථාවේදීද අපි අත්දුටුවෙමු. බුදුදහමින් හැඩගැසුණු සමාජයක එවැනි නිර්ලෝභී පරිත්‍යාගශීලිත්වයක්‌ තිබීම අරුමයක්‌ නොවේ.

මෙය අපට එතරම් අලුත් දෙයක්‌ නොවූවද බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කළ සමයේ ඔවුන්ට එය තරමක්‌ නුහුරු වූවක්‌ විය. ඒ බව සිතෙන්නේ 19වන සියවසේ හා 20 සියවසේ මුල් කාලයේ ඇති වූ ගංවතුර ආපදා ඇති අවස්‌ථාවලදී දිසාපතිවරුන් හා උපදිසාපතිවරුන් මේ ගැන තබා ඇති සටහන් කියවන විටදීය.

1872 සැප්තැම්බර් මාසයේ කැලණි ගඟ නිම්නයේ ඇති වූ මහ ගංවතුර පිළිබඳ වාර්තාවලට අනුව එය දෙවැනි වූයේ 1820-30 දශකවලදී ඇති වූ ගංවතුර කිහිපයකට පමණි. කැලණි ගඟ දෙපස ඉතා විශාල ප්‍රදේශයක්‌ මේ අවස්‌ථාවේදී ගංවතුරින් යට විය. ඒ වන විට කැලණි ගඟ දෙපස අද අප දකින ගංවතුර වැළැක්‌වීමේ බැමි නොවීය. බොහෝ දේපොළ විනාශයට පත් විය. නිවාස තුන්දහසක්‌ පමණ මුළුමනින්ම විනාශයට පත්වී හතළිස්‌ දහසක පමණ පිරිසක්‌ අවතැන් වී ඇත. ඒ අවස්‌ථාවේදී ඔවුන්ට 'නවාතැන් හා ආහාර සඳහා තමන්ට වඩා වාසනාවන්ත වූ අසල්වැසියන්ගේ හා ආගන්තුකයන්ගේ සරණ පැතීමට' සිදු වූ බව බස්‌නාහිර පළාතේ දිසාපතිවරයා වූ චාල්ස්‌ ලෙයාඩ් සිය පාලන වාර්තාවේ සඳහන් කරයි. ඒ ගංවතුර අවස්‌ථාව 'මිනිසුන්ගේ කරුණාව පරීක්‌ෂාවට ලක්‌ කරන ලද අවස්‌ථාවක්‌' වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. යටත්විජිත ලේකම් තැනට දිසාපති විසින් යෑවූ ලිපියක ඔහු සඳහන් කරන්නේ 'පුද්ගලිකව ලබාදුන් ආධාර උපකාරවලින් අවශ්‍ය වූ සහන ලබාදීමට' හැකි වූ බවයි. ඔරු හිමියන් ඔරු පාරු ලබාදීමට පෙළැඹුණුq ආකාරයද ලිපි ලේඛනවල සඳහන් වේ. එම ගංවතුර අවස්‌ථාවේදී සෙස්‌සන් දැක්‌වූ සහාය පිළිබඳව එවකට මෙරට ආණ්‌ඩුකාරවරයා වූ විලියම් ග්‍රෙගරි කෙතරම් සතුටට පත්වීද යත් දොන් සයිමන් ගුණතිලක හා දොන් ජොහැන්නස්‌ අමරසේකර යන දෙදෙනා විශේෂයෙන් ඇගැයීමට ලක්‌ කර තිබේ.

සෙසු ගංවතුර අවස්‌ථාවලදීද ජනතාව මෙවැනි ආකාරයටම විපතට පත්වූවන්ට පිහිට වී තිබේ. 1904 වර්ෂයේ මැයි මාසයේදී යළිත් කැලණි ගඟේ ගංවතුරක්‌ ඇති වූ අවස්‌ථාවේදී මේ පරිත්‍යාගශීලී ස්‌වභාවය කැපී පෙනේ. එයද දිසාපතිවරුන්ගේ වාර්තාවල සඳහන් වේ. එම ගංවතුරින් කොළඹ හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවලට දැඩිව හානි සිදු ව ඇත. ආණ්‌ඩුකාරවරයා මහජන රැස්‌වීමක්‌ කැඳවූ අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස සහන අරමුදලක්‌ පිහිටුවා ඇත. ඊට රුපියල් 13,370ක මුදලක්‌ එකතු වී තිබේ. මේ මුදලෙන් රුපියල් 5,000ක මුදලක්‌ ලබාදුන්නේ ඒ. ජේ. ආර්. ද සොයිසා බව බස්‌නාහිර පළාතේ දිසාපති වූ ජෝර්ඡ් ෆවුලර් විශේෂයෙන් සඳහන් කරයි. ඒ දානපතියා අන් කවරකුත් නොව මෙරට ප්‍රකට දානපතියකු වූ චාල්ස්‌ හෙන්රි ද සොයිසාගේ දෙවැනි පුත්‍රයාය. (එය සැලකිය යුතු මුදලක්‌ වූයේ එවකට පළමු පංතියේ සිවිල් සේවා නිලධාරියකු වූ කොළඹ දිසාපතිවරයාගේ වාර්ෂික වැටුපද රුපියල් 17,000ක්‌ පමණ වූ නිසාය) තම පියා හා මව මෙන්ම ඔවුන්ගේ දරුවන්ද සමාජ සේවයේ යෙදී ඇත. මේ ආධාර අරමුදල පාලනය කිරීම සඳහා කමිටුවක්‌ පත් කර ඇති අතර, එහි සභාපතිත්වය දරා ඇත්තේ බස්‌නාහිර පළාතේ දිසාපතිවරයාය. එහි කටයුතු සම්බන්ධව වාර්තාවක්‌ද ප්‍රකාශයට පත්කර ඇත.

මෙසේ ජනතාව සහන සැපයීමට මැදිහත් වූ ආකාර දෙකක්‌ ඇති බව පෙනේ. එකක්‌ වන්නේ රජයේ අරමුදලකට මුදල් පරිත්‍යාග කිරීමය. නැතහොත් දිසාපති ඇතුළු රජයේ නිලධාරීන්ට මුදල් ලබාදීමය. අනෙක්‌ අතට ජනතාව විසින් විපතට පත්වූවන්ට ඍජුවම ආහාර හා නවාතැන් වැනි ආධාර ලබාදී ඇති බවද පැහැදිලිය.

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇති වූ ගංවතුර ගැන සඳහන් කරන එහි උපදිසාපති වූ වාල්ස්‌ වෝහාන් රජය ආධාර ලබාදෙන තුරු විපතට පත්වූවන් ජීවත් වූ ආකාරය ගැන සඳහන් කරමින් ඔහු ජනතාවගේ පරිත්‍යාගශීලිත්වය පසසයි. ඒ 'මිනිසුන්ට සහන අවශ්‍ය වූ ගංවතුර අවස්‌ථාවේදී ආහාර හා නවාතැන් ලබාදෙමින් ප්‍රදේශවාසීන් ලබාදුන් ආධාරය සිහිපත් කළ යුතුය' යනුවෙන් සඳහන් කරමිනි.

මේ අතර ගංවතුර අවස්‌ථාවලදී ජනතාව කිසිදු භේදයකින් තොරව ආධාර උපකාර කළ බවද වාර්තා අනුව පෙනේ. 1906 වර්ෂයේදී කළුගඟ උතුරා යැමෙන් ඇති වූ ගංවතුර අවස්‌ථාවේදී 'සියලුම පංතිවලට අයත් ජනතාව ආපදාවට පත් ගම්වැසියන්ට සහන සැලසීම සඳහා දායක වූ බැවින් ආපදාවෙන් මතු වූ දුෂ්කරතා සාර්ථකව වළක්‌වාගත හැකි වූ' බව කළුතර උපදිසාපති සඳහන් කරයි. 1913 ගංවතුර අවස්‌ථාවේදී විපතට පත්වූවන්ට ආධාර ලැබුණේ කුමන ප්‍රදේශවලින්ද යන්න බස්‌නාහිර පළාතේ දිසාපතිවරයා සඳහන් කරයි. ඒවා යාපනයෙන්, දකුණු පළාතෙන්, කුරුණෑගල වැනි පළාත්වලින් සහනාධාර ලැබී තිබිණි. එමෙන්ම සිංගප්පූරුව හා මලක්‌කා වැනි 'සමුද්‍රසන්ධි ජනපද' (Straights Settlements) ලෙස හඳුන්වන ලද බ්‍රිතාන්‍යය යටතේ පැවැති ජනපදවලින්ද ආධාර ලැබුණු බව සඳහන් වේ. මේ ජනපදවල විසූ ලාංකිකයන් මේ සඳහා මුල් වූ බව සිතිය හැකිය. අප මේ කතාකරන කාලයේදී ශ්‍රී ලංකාව හා අග්නිදිග ආසියානු කලාපයේ සෙසු රටවල් අතර ගණුදෙනු සිදු වූයේ නාවුක මාර්ග හරහා බව අප අමතක නොකළ යුතුය. එහෙත් අපේ රටේ ඇති වූ වැදගත් සිදුවීම් වෙනත් රටවල පුවත්පත්වලද පළ විය. ටෙලිග්‍රාප් මගින් පුවත් ලබාදීම දැකිය හැකිය.

1913 ඔක්‌තෝබර් මාසයේ කැලණි මිටියාවතේ ගංවතුර අවස්‌ථාවේදී මහජන පරිත්‍යාග එකතු නොකිරීමද විශේෂ සිදුවීමකි. ඊට හේතුව වූයේ පැරණි ගංවතුර අරමුදලේ මුදල් ඉතිරිව තිබීමය. ඒ ඊට පෙර ගංවතුර අවස්‌ථාවලදී එකතු වූ මුදල්ය. වර්තමානයේදී රජයෙන් මුදල් වෙනම වෙන්කරන තුරු රජය ආධාර ලබාදීම ආරම්භ නොවන තත්ත්වයත් සමඟ මෙය සංසන්දනය කළ හැකිය. එවැනි තත්ත්වයක්‌ තිබුණද ප්‍රදේශවාසීන් ඔහුට විශාල මුදල් ආධාර ලෙස ලබාදුන් බව බස්‌නාහිර පළාතේ දිසාපති සිය පාලන වාර්තාවේ සඳහන් කරයි. සහන සැපයීමට මුදල් තිබූ බැවින් එසේ ලද මුදල් මූලික වශයෙන් යොදාගත්තේ නිවාස හානි වූ දුප්පත් වැසියන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට බවද ඔහු පවසා ඇත. මේ මුදල් ලබාදුන් වැසියන්ට ස්‌තුති කිරීමට එය අවස්‌ථාවක්‌ කරගන්නා බවද එච්. ආර්. ෆ්‍රීමන් දිසාපතිවරයා සඳහන් කරයි. එසේම මේ ගංවතුර අවස්‌ථාවේදී පවා ජනතාව තුළ පැවැති ජීව ගුණය හා අෙන්‍යාන්‍ය උපකාරය පුදුම එළවන සුළු වූ බවද ඔහු සඳහන් කරයි. මෙය ආපදාවට පත්වූවන්ට උපකාර කිරීමේදී දේශීය මුලාදෑණිවරුන් තුළ ද දැකිය හැකි වූ බව හෙතෙම පවසයි. (මේ හර්බට්‌ රේනර් ෆ්‍රීමන් යනු පසුව නුවරකලාවියේ දිසාපතිවරයා ලෙස ද සේවය කර විශ්‍රාම යැමෙන් පසුව ප්‍රදේශයේ ජනතාවගේ ඡන්දයෙන් අනුරාධපුරයේ මන්ත්‍රීවරයා වූ සුදු ජාතිකයාය.)

1904 ගංවතුර අවස්‌ථාවේදී කෑගල්ලේ උපදිසාපතිවරයා ජනතාවට රජයෙන් ලබාදුන් වන්දි මුදල් සම්බන්ධවද සිය පාලන වාර්තාවේ කෙටියෙන් විස්‌තර කරයි. ඒ අනුව නිවාස විනාශ වූ තුන්කෝරළේ නිවාස හිමියකුට ලබාදුන් උපරිම මුදල රුපියල් 15ක්‌ වූ අතර, හතර කෝරළේ නිවාස හිමියකුට ලබාදී ඇති උපරිම මුදල රු. 20කි. එසේම එවැනි මුදලක්‌ ලබාදුන්නේ සුළු අවස්‌ථා ගණනකදී ඔහු සඳහන් කරයි. මුළු දිස්‌ත්‍රික්‌කයේම 184 දෙනෙකු සඳහා වන්දි වශයෙන් ලබාදී ඇති මුදල රු. 1054ක්‌ පමණක්‌ වූ අතර ඒ අනුව එක්‌ නිවාස හිමියකුට ලැබී ඇති මුදලේ සාමාන්‍යය රු. 5.73ක්‌ පමණ වේ.

මෙවැනි ගංවතුර අවස්‌ථාවලදී රජය සහල් වැනි ආහාර ද්‍රව්‍ය ලබාදී ඇති බවද වාර්තාවල සඳහන් වේ. එසේම වනාන්තරවලින් දැව කපා ප්‍රවාහනය කරගත හැකි පුද්ගලයින්ට දැව හෙළීම සඳහා අවශ්‍ය බලපත්‍ර නොමිලේ ලබාදී තිබේ. ඒ නිවාස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය දැව දඬු ලබා ගැනීමටය. 1913 ඔක්‌තෝබර් මාසයේදී කැලණි හා කළු ගංගාවල හා මහ ඔයේ ජලය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර අවස්‌ථාවේදී මෙවැනි පියවරක්‌ බස්‌නාහිර පළාතේ දිසාපති විසින් ගෙන ඇත.

ආපදාවලදී විපතට පත්වූවන්ට සහනාධාර ලබාදීම සඳහා මාධ්‍ය ආයතනවල මැදිහත්වීම අද තරඟයක්‌ වී ඇත. ඇතැම් අය සිතනුයේ එය මෑත කාලයේ ආරම්භ වූවක්‌ බවයි. එහෙත් 19-20 සියවස්‌වල පවා මාධ්‍ය ආයතන විශේෂ අරමුදල් ආරම්භ කර මුදල් එකතු කර විපතට පත්වූවන්ට ආධාර කර තිබේ. මෙහි ඇති වැදගත්කම වන්නේ ආධාර ලබාදීමට පුද්ගලිකව ආපදා ප්‍රදේශවලට පැමිණිය නොහැකි ජනතාවට සිය පරිත්‍යාග අදාළ ආයතනයට ලබාදීමට හැකි වීමයි. එම මාධ්‍ය විසින් අවසානයේ සහනාධාර අවශ්‍ය පුද්ගලයින්ට ඒවා ලබාදෙනු දැකිය හැකිය.

මෙසේ මාධ්‍ය ආයතනවල මැදිහත් වීමෙන් ආධාර ලබාදීම අතීතයේදීද සිදුවී තිබේ. ඒ එදා පැවැති එකම මාධ්‍ය ආයතනවන පුවත්පත්වල මැදිහත්වීමෙනි. 1913 ඔක්‌තෝබර් ගංවතුර අවස්‌ථාවේදී සිලොනීස්‌ (Ceylonese) පුවත්පත ගංවතුර සහනාධාර ලබාදීමට මැදිහත්වීම එවැන්නකි. එහිදී ගංවතුර ආධාර අරමුදලක්‌ ආරම්භ කර ඇති පුවත්පත ආධාර අවශ්‍ය ජනතාව වෙත ඒවා ලබාදී තිබේ. මේ පිළිබඳව සඳහන් කරන කොළඹ වැඩබලන දිසාපති ෆ්‍රීමන්, සිලොනීස්‌ පුවත්පත දියත් කළ ආධාර ලබාදීමේ වැඩපිළිවෙලට ප්‍රශංසා කර තිබේ. එහිදී ඔවුන් විසින් සිදු කළ 'වඩාත් අසීරු කාර්යය වන ආධාර බෙදාදීම' පිළිබඳව ඔහු විශේෂයෙන් සඳහන් කර ඇත.

ලක්‌වැසියන් මෙසේ ආධාර එකතුකර උපකාර කර ඇත්තේ මෙරට ඇති වූ ගංවතුර වැනි ආපදාවලදී පමණක්‌ නොවේ. වාර්තාවලින් හෙළි වන පරිදි ඉන්දියාවේ ඇති වූ ආපදා අවස්‌ථාවලදී පිහිටුවන ලද අරමුදල්වලටද මෙරට සාමාන්‍ය වැසියන් ආධාර ලබාදී ඇත. අදත් අප මේ දකින්නේ එසෙ අනුන්ට උපකාරී කිරීමට ඉදිරිපත් වන ශ්‍රී ලංකාවාසීන් සතු දානපති පරිත්‍යාගශීලිත්වයයි. පරිත්‍යාගශීලිත්වය මත පදනම්ව මෑතක සිට ජගත් මට්‌ටමෙන් සකස්‌ කරනු ලබන දර්ශකයක්‌ වන World Giving Index හි 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාව පසුවන්නේ පස්‌වැනි ස්‌ථානයේය.

http://www.divaina.com/2017/06/11/feature28.html

Friday, June 9, 2017

අධික වර්ෂාපතනය ගෙන ආ ආපදාව ගැන පසු විපරමක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 07.06.2017, පි. 11, 24 (Vidusara)

http://www.vidusara.com/2017/06/07/feature5.html



2017 වර්ෂයේ මහ ගංවතුර හා නාය යැම් නිසා ඇති වූ හානිය බරපතළ ය. ඒ බව ආපදාව පිළිබඳ සංඛ්‍යාලේඛන අනුව පෙනේ. මේ ලිපිය ලියන ජූනි 3 දින ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය නිකුත් කළ දත්ත අනුව මේ ආපදාව නිසා 224 දෙනකු පමණ මිය ගොස්‌ ඇති අතර තවත් 72ක්‌ පමණ පිරිසක්‌ අතුරුදන් ව ඇත. මේ කාලය ඇතුළත පවුල් 179,376කට අයත් 698,289ක පමණ පිරිසක්‌ අපදාව නිසා බලපෑමට ලක්‌ ව සිටිය හ. නිවාස 2,093ක්‌ පමණ මුළුමනින් ම ද, තවත් නිවාස 11,056ක්‌ පමණ අර්ධ වශයෙන් ද හානියට පත් ව ඇත. ඇති වූ මහ ගංවතුර මෙන්ම නාය යැම් ද මේ විනාශය සඳහා හේතු වී තිබේ. වැඩි ම බලපෑමක්‌ ඇති වී ඇත්තේ රත්නපුර, මාතර, කළුතර හා ගාල්ල දිස්‌ත්‍රික්‌කවලට වුව ද මෙහි හානි දිස්‌ත්‍රික්‌ක 15කට බලපා ඇත.

මේ ආපදා තත්ත්වය සඳහා බලපෑ මූලික හේතුව ශ්‍රී ලංකාවේ බස්‌නාහිර, දකුණු හා සබරගමු පළාත්වලට නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග කෙටි කාලයක්‌ තුළ වැටුණු අධික වර්ෂාව විය හැකි බව වර්ෂාපතන දත්ත අනුව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මැයි මස 26 වැනි සිකුරාදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක කාලය ඇතුළත කුකුළේ ගග ප්‍රදේශයට මිලිමීටර් 553ක වර්ෂාපතනයක්‌ ලැබුණු බව වාර්තා විය. එසේ ම වීරකැටියෙන් මිලිමීටර් 495.5ක වර්ෂාපතනයක්‌ ද, ගාල්ලේ බටුවන්ගලින් මිලිමීටර් 395ක්‌ ද, පාදුක්‌කට මිලිමීටර් 387.2ක්‌ ද, රත්නපුරයෙන් මිලිමීටර් 348.5ක වර්ෂාපතනයක්‌ ද ලෙස අධික වර්ෂාපතනයක්‌ වාර්තා වී තිබිණි. වර්ෂාව වැඩි කාලයක්‌ අඛණ්‌ඩ ව පතිත වීම ද ගැටලුවක්‌ වී ඇති බව පෙනේ. වර්ෂාව පැය 48ක පමණ කාලයක්‌ තිස්‌සේ පතිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් උපුටා දක්‌වමින් පුවත්පත් වාර්තාවල පළ විය. එසේ ම මේ වර්ෂාපතනය තවදුරටත් පැවැතීම සඳහා බෙංගාල බොක්‌කේ ජනනය වූ 'මෝරා' සුළි කුණාටුව ඇති වීමට පසුබිම් වූ තත්ත්වය ද බලපෑමක්‌ ඇති කළ බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරයි.

මේ අනුව මෝසම් වැසි සමයේ කෙටි කාලයක දී අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක්‌ මේ වර්ෂයේ දී ලැබී ඇති බවක්‌ පෙනේ. එවැනි අධික වැසි ඇතැම් වර්ෂවල පමණක්‌ ඇති වී තිබෙන බව වාර්තා අනුව පැහැදිලි ය. වැසි මගින් වැටුණු ජලයෙන් සංතෘප්ත වූ පසකට ජලය තවදුරටත් උරාගැනීම අසීරු ය. වන වැස්‌මක්‌ තිබුණ ද එය සිදු විය හැකි ය. එවිට සිදු වන්නේ ජලය එම ගංගා නිම්න දිගේ පහළට ගමන් කිරීමයි. එමගින් ගංගා නිම්නයේ පහත් බිම්වල මහ ගංවතුරක්‌ ඇති විය හැකි ය. වතු වගා සඳහා කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවල කැළෑ එළිපෙහෙළි කිරීම අඩු මට්‌ටමක තිබූ 1872 වර්ෂය වන විට එහි සැලකිය යුතු වන ආවරණයක්‌ පැවතිය ද එම වර්ෂයේ ඇති වූ අධික වැසිවල ප්‍රතිඵලයක්‌ ලෙස ගෙග් පහළ ප්‍රදේශවල වාර්තාගත මහ ගංවතුරක්‌ ඇති වීම මීට නිදසුනකි. එකල කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කවල තෙත්බිම් ගොඩ කිරීම අවම වුව ද, බොහෝ ප්‍රදේශ ගංවතුරට යට විය.

2017 වර්ෂයේ ඇති වූ ගංවතුර දෙවැනි වන්නේ 2003 වර්ෂයේ ඇති වූ ගංවතුරට පමණක්‌ බව ඇතැම් පාර්ශ්වවලින් කියෑවෙනු අපට අසන්නට ලැබිණි. (තවත් අයට අනුව මෙවර ගංවතුර 2003 වර්ෂයට වඩා බරපතළ ය). 2003 යනු ජනතාව ගේ මතකයේ ඇති මෑත කාලයේ වූ වැඩි ම විනාශය ඇති වූ වර්ෂය වේ. කෙසේ නමුත් ඊට වඩා බරපතළ ගංවතුර අතීතයේ මේ කලාපයට ඇද වැටී තිබේ.

2003 ගංවතුර හා නාය යැම්


2003 වර්ෂයේ දී ඇති වූ ගංවතුර පිළිබඳව විමසා බැලීමේ දී එය ඇති වන්නේ 2003 මැයි මස 17 දින ආරම්භ වූ කෙටි කාලයක්‌ තුළ වැටුණු අධික වර්ෂපාතනය නිසා බව වාර්තාගත ය. ඒ අනුව මැයි 17 දින රත්නපුරයට මිලිමීටර් 345.2ක වර්ෂාපතනයක්‌ ලැබී ඇත. (රත්නපුරයට පමණක්‌ නො ව වෙනත් ප්‍රදේශවලට ද 2017 දී වැටුණු වර්ෂාපතනය මීට වඩා ඉහළ බව ඉහත සඳහන් දත්ත අනුව පැහැදිලි ය).

2003 දී ගංවතුරේ බලපෑමට ලක්‌ වූයේ මූලික වශයෙන් කළු ගග, නිල්වලා ගග හා ගිං ගග යන ගංගා නිම්න වේ. දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් විට රත්නපුර, මාතර, ගාල්ල, කළුතර, හම්බන්තොට හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ක ය. ගංවතුරේ බලපෑම අධික ව පැවතියේ රත්නපුර, මාතර හා කළුතර යන දිස්‌ත්‍රික්‌වල ය. එදා ගංවතුරින් යට වූ ප්‍රදේශ ඊට ලක්‌ වූ ආකාරය හා 2017 ගංවතුරෙන් යට වූ ආකාරය අතර යම් යම් සමානකම් තිබේ. විශේෂයෙන් කළු ගංගා නිම්නයේ හා නිල්වලා නිම්නයේ මේ සමානකම දැකිය හැකි ය. ජලයෙන් යට වූ ප්‍රදේශ මෙන්ම, ජලය බැස යැමේ දී ඇති වූ ප්‍රමාදයේ ද සමානකම් තිබේ. රත්නපුර, නෙළුව, මොරවක, අකුරැස්‌ස වැනි නගර අඩි ගණනක්‌ ජලයෙන් යට වූ අතර, මාතර හා තදාසන්න ප්‍රදේශවල ජලය බැස යැම සිදු ව ඇත්තේ සෙමිනි. 2003 දී ද මේ වර්ෂයේ මෙන්ම මාතර රෝහලේ වාට්‌ටු සමහරක්‌ ජලයෙන් යට වී ඇත. එසේ ම මේ ගංවතුර හා නාය යැම් නිසා සැලකිය යුතු පිරිසක්‌ මිය ගොස්‌ තිබේ. 2003 ජූනි 03 දින හැන්සාඩ් වාර්තාවට අනුව 2003 ගංවතුරින් මිය ගිය ගණන 235ක්‌ හා අතුරුදන් වූ පිරිස 19ක්‌ බව සඳහන් වේ. එසේ ම විපතට පත් පවුල් ගණන 138,924ක්‌ විය. නිවාස 9503ක්‌ සම්පූර්ණයෙන් ද, තවත් 30,688ක්‌ අර්ධ වශයෙන් ද හානියට ලක්‌ වී තිබිණි. (කෙසේ වෙතත් මේ දත්ත ඒ දිනවල ඇතැම් පුවත්පත් වාර්තාවල පළ වූ දත්තවලට වඩා අඩු අගයක්‌ ගන්නා බව මෙහි දී සඳහන් කළ යුතු ය).

කෙටි කාලයක්‌ තුළ ඇති වූ අධික වර්ෂාපතනය 2003 වර්ෂයේ ගංවතුර සඳහා හේතු වූ බව එදා විවාදයක්‌ නොමැති ව පිළිගැනුණු බව පෙනේ. 2003 මැයි 20 දින දිවයින පුවත්පතට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා පවසා ඇත්තේ එම ගංවතුර තර්ජනයට හේතුව එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක්‌ ඇදහැළීම බවයි. මේ ආපදාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා වී ඇති අතර, එදා විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබූ පරිදි "මින් පෙර නො වූ විරූ ආකාරයේ ධාරාණිපාත වර්ෂාවක්‌" ඇදහැළීමෙන් ඇති වූ "විශාල ජලධාරාවන් ගංගා ෙද්‍රdaණි හරහා ගලා යැමෙන්" එම ගංවතුර ඇති වී තිබේ.

2017 වර්ෂාපතන දත්ත අනුව මේ වර්ෂයේ කෙටි කාලයක දී වැටුණු වර්ෂාපතනය 2003 දී ලැබුණු වර්ෂාපතනයට ද වඩා අධික විය හැකි බවක්‌ පෙනේ. එවැනි වර්ෂාවක්‌ ගංගා නිම්න දිගේ පහළට ගමන් කරන විට පහත් ප්‍රදේශවල ගංවතුර ඇති වීම පුදුමයට හේතුවක්‌ නො වේ. එසේ ම කළු, ගිං හා නිල්වලා නිම්නයේ ගංවතුර එතරම් දුර්ලභ දෙයක්‌ නො වේ. "ගෙන් ගෙට දා කර වදාපු දරුවන් ගිංතොට නැන්දත් නැහැ දන්නේ - ගිංතොට නැන්ද ගෙ දූවරු හින්දයි ගගබඩ පත්තුව වැනසෙන්නේ" යන කවියෙන් ව්‍යංගයෙන් කියෑවෙන්නේ ද ගිංගග නිම්නයේ නිතර ඇති වූ ගංවතුර පිළිබඳ ව ය. මේ ගංගා නිම්නවල සාපේක්‌ෂව ඉහළ ප්‍රදේශවල පිහිටා ඇති ප්‍රදේශවල පහත්බිම් පවා සැම වසරක ම පාහේ ජලයෙන් මදක්‌ යට වන ප්‍රදේශ වේ. රත්නපුර, පාලින්ද නුවර මෙවැනි ප්‍රදේශ සඳහා නිදසුන් ය. ඇතැම් ප්‍රදේශවල ගංවතුර ගලන තුරු බලා සිටින්නේ යල කන්නයේ කුඹුරු වගා කිරීමට ය. ඒ ගංවතුරින් ලැබෙන රොන්මඩ තුළ තැන්පත් ව ඇති "ගං පෝර" ප්‍රයෝජනයට ගැනීමට ය. ඇතැම් ප්‍රදේශයක ඇති වන ගංවතුර ප්‍රමාණය ගණන් කොට කුඹුරු වැපිරීම සිදු කරනු ලැබේ. එහෙත් වෙනස වන්නේ 2003 හා 2017 යන වර්ෂ දෙකේ ඇති වී තිබෙන්නේ සාමාන්‍ය ගංවතුරක්‌ නො ව මහා ගංවතුරක්‌ වීමයි.

ගංවතුර හානිය උග්‍ර කළ සාධක


කෙසේ වෙතත් සැම විටක දී ම මෙන් ගංවතුර නිසා ඇති වූ හානිය උග්‍ර කිරීම සඳහා බලපෑ සාධක කිහිපයක්‌ පැහැදිලිව හඳුනාගත හැකි ය.

තෙත්බිම් හා පහත් බිම් ගොඩ කිරීම ගංවතුරේ බලපෑම උග්‍ර කිරීම සඳහා බලපා ඇති බව සත්‍යයකි. තෙත්බිම්වලට වැසි ජලය එකතු වීම නිසා ඊට වඩා උස්‌ බිම් වැසි ජලයෙන් යට වීම වළකී. එහෙත් මේ වන විට බොහෝ ප්‍රදේශවල පහත්බිම් ප්‍රදේශ ගොඩ කර ඇති අතර ඒවායේ නිවාස හා වෙනත් ඉදි කිරීම් ද සිදු කර ඇත. මේ නිසා ජලය එක්‌රැස්‌ වීම සඳහා පහත් බිම් නොමැති බැවින්, ඒ අවට ප්‍රදේශ මෙන්ම කලින් ජලයෙන් යට නො වූ ප්‍රදේශ ද යට වීමේ අවස්‌ථාවක්‌ ඇත. අනෙක්‌ අතට 1947, 1969 වැනි තෙත්බිම් හා පහත්බිම් ගොඩ කිරීම අදට වඩා අඩු තත්ත්වයක පැවැති වර්ෂවල දී පවා මේ ප්‍රදේශවල මහා ගංවතුර තත්ත්ව ඇති වීම වැදගත් නිරීක්‌ෂණයකි. එම වර්ෂ මේ කලාපයෙන් අධික වර්ෂාපතනයක්‌ වාර්තා වී ඇති වර්ෂ අතර වේ. ඒ අනුව තෙත්බිම් හා පහත්බිම් ගොඩ කිරීම ගංවතුර සඳහා බලපෑ එක ම හේතුව නො වූ බව පෙනේ. කළු, ගිං හා නිල්වලා නිම්නයේ මෙවැනි බරපතළ ගංවතුර අතීතයේ වාර්තා වී තිබේ. ගංගා නිම්නයට පතිත වන අධික වර්ෂාපතනය තෙත්බිම් මගින් දරාගැනීමට නොහැකි තරම් විශාල අවස්‌ථාවල දී මහ ගංවතුර ඇති වේ.

දක්‌ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීම මේ ගංවතුර සඳහා හේතුව බව ද මෙවැනි තවත් මතයකි. එහෙත් ඉහත දැක්‌වූ ආකාරයට 2003 වර්ෂයේ මහා ගංවතුර ඇති වූ අවස්‌ථාවේ බලපෑමට ලක්‌ වූ ප්‍රදේශ හා 2017 ගංවතුරෙන් බලපෑමට ලක්‌ වූ ප්‍රදේශවල සැලකිය යුතු සමානතාවක්‌ තිබේ. බලපෑම ද ආසන්න වශයෙන් සමාන ය. එහෙත් 2003 වර්ෂය වන විට දක්‌ෂිණ අධිවේගී මාර්ගය ඉදි කර නො තිබිණි. එසේ ම මීට ඉහත ඇතැම් වර්ෂවල දී මේ කලාපයේ මේ ප්‍රදේශවල මෙවැනි ම මහා ගංවතුර ආපදා ඇති වී තිබේ. කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ පාලම් හා බෝක්‌කුවල පිහිටීම හා ප්‍රමාණය නිසා ඉහළ ප්‍රදේශවල සිට ගලා එන ජලය බැස යැම අවහිර වීමෙන් ඇතැම් ප්‍රදේශවලට බලපාන ගංවතුරක්‌ ඇති වීම සඳහා මේ මාර්ගය හේතු වන්නට පිළිවන. ඉතා අධික වැස්‌සක දී මේ අවදානම ඉහළ යා හැකි ය. එහෙත් එය සමස්‌ත ගංවතුරට හේතු වූවක්‌ බව ඉන් පැවසිය නොහැකි ය. එය කරුණු දෙකක්‌ නිසා වඩාත් පැහැදිලි වේ. ඉන් පළමුවැන්න අධිවේගී මාර්ගයට වඩා සැලකිය යුතු දුරකින් හා ගංගා නිම්නවල ඉහළින් පිහිටා ඇති රත්නපුර, මොරවක වැනි ප්‍රදේශ හා තරමක්‌ දුරින් පිහිටි පාලින්ද නුවර වැනි ප්‍රදේශ දැඩි ලෙස ජලගැල්මට ගොදුරු වීමයි. මේ ප්‍රදේශ ගංවතුරට ලක්‌ වන්නේ ගංවතුරේ මුල් අවස්‌ථාවේ දී ය. ඒ වන විට අදාළ ගෙග් ඉහළ නිම්නයට වැටුණු වැසි ජල ප්‍රවාහය අධිවේගී මාර්ගය පිහිටා ඇති ප්‍රදේශ කරා ගලා ගොස්‌ නැති තරම් ය. මේ ප්‍රදේශ අතීතයේ පටන් ම වාර්ෂිකව සුළු හෝ මහා ගංවතුරකට ලක්‌ වන බව වාර්තා මගින් සනාථ වේ. එසේ ම අධිවේගී මාර්ගයට වඩා පහළින් පිහිටා ඇති ප්‍රදේශ ද දැඩි ගංවතුරකට ලක්‌ ව තිබීම දෙවැනි කරුණය ය.

අධිවේගී මාර්ගය ගංවතුරට බලපෑ මූලික හෝ එක ම හේතුව නම්, ඊට පහළින් පිහිටා ඇති ප්‍රදේශ ගංවතුරට ලක්‌ විය හැක්‌කේ අඩුවෙනි. එහෙත් 2003 වැනි මහා ගංවතුරවල දී මෙන්ම මෙවර ද ගාල්ල, මාතර හා කළුතර යන දිස්‌ත්‍රික්‌ක තුනේ ම අධිවේගී මාර්ගයට පහළින් පිහිටා ඇති ප්‍රදේශ ද ගංවතුරට ලක්‌ වීම සාමාන්‍ය නිරීක්‌ෂණයකි. මේ ප්‍රදේශ සැම මෝසම් වැසි සමයක දී ම ගංගාවේ පහළට එන ජලකඳට ලක්‌ වී ගංවතුරේ බලපෑමට ලක්‌ වන ප්‍රදේශ වේ. එය මේ වර්ෂයේ මෙන් අධික වර්ෂාපතනයක්‌ සහිත වර්ෂවල දී මහ ගංවතුරක්‌ ද, සෙසු වර්ෂවල දී සාමාන්‍ය ගංවතුරක්‌ ද බවට පත් වේ.

ගංවතුර සම්බන්ධව මේ වෙරළාසන්න නාගරික ප්‍රදේශවල දී වැඩි අවධානයකට ලක්‌ විය යුතු කරුණක්‌ වන්නේ පහළ ප්‍රදේශවල ජලය ගලා බසින ඇළ මාර්ග හා කාණු පද්ධති අවහිර වීම වැළැක්‌වීමට පියවර ගත යුතු බවයි. මෙය ද ගංවතුර බැස යැමට බාධාවක්‌ වූ බව පැහැදිලි ය. එසේ ම ගංවතුර සමග ද කැළිකසළ විශාල ප්‍රමාණයක්‌ මේ ප්‍රදේශවලට පැමිණේ. අනෙකක්‌ තබා ආපදා සහන ලබා දෙන සමයේ දී ද පොලිතීන් හා ප්ලාස්‌ටික්‌ වැනි දිරා නො යන අපද්‍රව්‍ය විශාල ලෙස පරිසරයට එක්‌ වන ආකාරයක්‌ දැකිය හැකි ය. ඒවා නිසි ලෙස බැහැර නො කිරීම දැඩි පරිසර දූෂණයකට මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද හේතු විය හැකි කරුණකි.

නාය යැම් නිසා ඇති වන හානිය ඉහළ යැම සඳහා මානව මූලික කරුණු ගණනාවක්‌ බලපා ඇති බව පැහැදිලි ය. නාය යැමේ අවදානමක්‌ සහිත අධික බෑවුම් සහිත හායනයට ලක්‌ වූ බිම් ප්‍රදේශවල ජනාවාස ඉදි කර තිබීම ඊට මූලික හේතුවයි. මේ බිම් හායනයට ලක්‌ ව ඇත්තේ ද විවිධ භෝග වගා කිරීම, භෝග මාරු කිරීම වැනි මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ය. මේ ඇතැම් බිම් එළිපෙහෙළි කිරීමට නුසුදුසු බෑවුම් සහිත බිම් වේ. එසේ ම වාර්තා වන ආකාරයට නාය ගිය ඇතැම් ස්‌ථානවල ජනතාවට එම ස්‌ථානවලින් ඉවත් වන ලෙස මීට පෙර අනතුරු හගවා තිබේ. එහෙත් විවිධ හේතු නිසා සිය ගම් බිම් හැර දමා යැමට ජනතාව නො පෙලඹීම නාය යැම් හානිය ඉහළ යැමට හේතුවයි. එය අවාසනාවන්ත තත්ත්වයකි.

අනාගත ආපදා වැළැක්‌වීමට නම්


මේ අතර 2016 ඇති වූ ගංවතුර වැඩි වශයෙන් බලපෑවේ හා වැඩි හානියක්‌ සිදු කළේ කැලණි නිම්නයට ය. ඒ සඳහා මූලික හේතුව කැලණි ගංගාවේ ඉහළ ප්‍රදේශවලට අධික වැස්‌සක්‌ ලැබීම විය හැකි බව ඓතිහාසික ගංවතුර වාර්තා මත පදනම් ව විදුසර පුවත්පතට 2016 ජූනි 1 දින අප ලියූ ලිපියකින් යෝජනා කරන ලදි (මෙතැනින් බලන්න). 2017 නිරිතදිග මෝසමෙන් වැඩි වර්ෂාපතනයක්‌ ලැබුණේ කළු, ගිං හා නිල්වලා නිම්නවලට වන බැවින් වැඩි වශයෙන් බලපා ඇත්තේ රටේ නිරිතදිග කලාපයේ සෙසු ප්‍රදේශවලට ය.

දැන් ගංවතුර අවසන් ය. අවශ්‍ය ව ඇත්තේ විපතට පත් ජනතාවට සහන සැලසීම හා ඔවුන් ගේ ජීවිත යළිත් ගොඩනගාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පමණක්‌ නො වේ. මීළග වැසි සමයේ දී මෙවැනි අධික වර්ෂාපතනයක්‌ ඇති වුව හොත් විය හැකි හානිය අවම කරගැනීමට ගත හැකි පියවර හඳුනාගැනීම හා ක්‍රියාත්මක කිරීම ය. තෙත් කලාපයේ ප්‍රධාන ගංගා නිම්න ආශ්‍රිත ව හා ආසන්නයේ අපේ නගර හා ගම් පිහිටා ඇති ආකාරය අනුව හානිය මුළුමනින් ම අවම කිරීම සඳහා බොහෝ කාලයක්‌ ගත වනු ඇත. ඒ ගංවතුර හා නාය යැම් අවදානම් සහිත ප්‍රදේශවල වාසය කරන ජනතාව වෙනත් සුදුසු ස්‌ථානවල පදිංචි කරවන තුරු ය. එහෙත් එතෙක්‌ කල් ගංවතුර හා නාය යැම් වැනි ආපදාවක දී සිදු වන ජීවිත හානිය අවම කරගැනීම සඳහා ප්‍රායෝගික පියවරක්‌ ගැනීම අවශ්‍ය වේ.

මෙහි දී පැවසිය යුතු තවත් කරුණක්‌ ඇත. මෑත වසර හතරෙන් තුනක ම මැයි මාසවල දී අපේ රටේ සැලකිය යුතු තරම් බරපතළ ගංවතුර පිළිබඳව වාර්තා විය. ඒ 2014 දී කළු, කැලණි හා ගිං ගග නිම්න ප්‍රදේශවලිනි. 2016 දී ප්‍රධාන වශයෙන් කැලණි නිම්නයෙනි. දැන් 2017 දී කළු, ගිං හා නිල්වලා නිම්නවලිනි. මේ අප අත්විඳින්නේ ජගත් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පුරෝකථන අනුව පෙන්වා දී ඇති වර්ෂාපතන තීව්‍රතාවේ (rainfall intensity) ඇති වෙමින් පවත්නා වර්ධනය විය හැකි ය. වර්ෂාපතන තීව්‍රතාව යනුවෙන් අදහස්‌ කරන්නේ ඒකක කාලයක දී පතිත වන වර්ෂාපතනයයි. කෙටි කාලයක දී ඇති වන අධික වර්ෂාපතනයක්‌ යනු මේ වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යැමකි. අපේ රටේ වර්ෂාපතන තීව්‍රතාවේ ඉහළ යන ප්‍රවණතාවක්‌ දැකිය හැකි බව මෙරට සිදු කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ. එය එසේ නම් අප ඉදිරියේ දී මෙවැනි ආපදාවලට තවදුරටත් සූදානම් විය යුතු ම ය. ජාත්‍යන්තර මට්‌ටමේ දේශපාලනඥයන් වැන්නන් මෙන්ම අපේ රටේ තතු දන්නා ඇතැමුන් පවා දේශගුණ වෙනස්‌ වීම විශ්වාස නො කළ ද ඊට පෙර සූදානමක්‌ ඇති ව සිටීම යහපත් ය.

http://www.vidusara.com/2017/06/07/feature5.html

Tuesday, June 6, 2017

සරසවි ප්‍රේමය අසාර්ථකද? (බස් කතා 2)

2016 අවුරුද්දේ දවසක මා ගමන් කළ 138 බසයට විජේරාම හන්දියෙන් තරුණියක් නැගුනාය. ඇය හිඳ ගත්තේ මගේ අසුනට ඉදිරි අසුනේය. ටික වේලාවකින් ඇයට දුරකථන ඇමතුමක් ලැබිණි. හෙමින් ධාවනය වූ බසයේ ශබ්දය අඩු වූ අතර, ඇය ශබ්ද නගා කතා කළ නිසා, එ් සංවාදයෙන් අඩක් හෙවත් තරුණිය කී දේ මට ඇසිනි. එ් අනුව සාරාංශය මෙසේය.

අැය මෑතදී ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය හමාර කළ සිසුවියකි. ඇයට කතා කළේ සරසවි සිසුවකු බව කතා කළ දේ අනුව පැහැදිලි වූ අතර, ඔහු ඇයට වඩා පහළ වසරක සිසුවකු බව මල්ලී යනුවෙන් ආමන්ත‍්‍රණය කළ බැවින් පෙනිනි.

ටික වේලාවකින් මාතෘකාව වෙනස් විය. ඇගේ කතාවට අනුව පෙනී ගියේ කතා කළ සිසුවා පෙම්වතියක නොමැති වීමෙන් පීඩා විඳින්නකු බවයි. ඇය එම සිසුවාට උපදෙස් දෙමින් සරසවියේදී ඇති කරගන්නා පෙම් සම්බන්ධතා ගැන අපූරු කතාවක් කීවාය.

"දැන් කාලෙ කැම්පස් එක අැතුළෙ ඇති කර ගන්නා අෆෙයාර් හුඟක් හරියන්නේ නැහැ. එ්ක රිසර්ච්වලිනුත් පෙන්නල දීල තියන දෙයක්."

මට ගැටලු රැසක් ඇති විය - ඇත්තෙන්ම සරසවි ප්‍රේමය අසාර්ථක බව අලුත් පර්යේෂණ මගින් සොයාගත් දෙයක්ද? 'දැන් කාලෙ' යනුවෙන් සඳහන් කළේ අතීතයේ සරසවි තුළ ඇති වූ සම්බන්ධතා සියල්ල හෝ වැඩි ප‍්‍රමාණයක් සාර්ථකවී අැති නිසාද? බිඳවැටුණු සරසවි ප්‍රේමය නිසාම ලියැවුණ විරහ ගීත කෙතරම් තිබේද? මෙයාලා එ්වා අසා නොමැතිද?

එසේම පසුව මට තවත් ප්‍රශ්නයක් පැන නැගිණි. එ්, අපේ රටේ නූතන සරසවි සිසු සිසුවියන් මෙවැනි කරුණු ගැන තීරණ ගන්නේ මෙතරම් විද්‍යාත්මක ක්‍රමවලටද? යන්නය. එ් පැනය විසඳුණේ පසුගියදාක සරසවි ප්‍රේමය නිසා කියන තවත් මරණයක් ගැන අැසුණු පසුවය.

අනෙක් බස් කථා(ව) මෙතැනින් කියවන්න.