Sunday, December 11, 2022

අපේ කාලයේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු සමඟ...




මම මේ ඡායාරූපයේ පෙනී ඉන්නේ 'අපේ කාලයේ සමාජ ක්‍රියාකාරීන්' දෙදෙනෙකු එක්කයි. දකුණු කෙලවරේ ඉන්නේ පියසිරි මාතරගේ මහතායි. මැද ඉන්නේ පියසෝම බෙන්තොට මහතායි (ඡායාරූපයේ වම් කෙලවරේ ඉන්නේ මමයි). ඉතින් ඒ දෙන්නාම මට කලින් පරම්පරාවේ අය, ජ්‍යේෂ්ඨයන් බවත් කියන්න ඕන.

මේ දෙන්නටම පොදු වූ කරුණු කීපයක් තියනවා. ඉන් එකක් තමයි දෙන්නගේම නම්වලට "පිය" කෑල්ලක් තිබීම - පියසිරි හා පියසෝම. ඒ වගේම, ඔවුන් දහස් ගණනක් සිසුන්ට ගුරුහරුකම් දුන්න ගුරුවරුන් වීමත් ‌සමානකමක්. මේ දෙන්නම අම්පාර, පොලොන්නරුව වගේ රටේ දුෂ්කර පළාත්වල සේවය කරලා පසුව කොළඹ දිස්ත්‍රික්කයේ සේවයට ආවට පස්සේ එක්දාස් නවසිය අනූව දශකයේ දී නියමිත වයසට කලින් විශ්‍රාම ගියා. ඒ වගේම මේ දෙන්නම වගේ වාමාංශික දේශපාලනයට හා වෘත්තීය සමිති කටයුතුවලට සමීප සම්බන්ධයක් තිබ්බ අය (බෙන්තොට මහතා වැඩියෙන්). ඉන් පස්සේ ඒ දෙන්නාම සමාන වැඩවල වගේම වෙනස් වැඩවලිත් යෙදුනා.

මං මුලින්ම අඳුනගත්තේ පියසෝම බෙන්තොට මහතාව. ඔහු විශ්‍රාම ගත්තට පස්සේ පූර්ණ කාලීනව යොමු උනේ සමිති සමාජ කටයුතු සඳහා. හොරණ පැත්තේ පටන් ගත්ත 'පොදුජන හිමිකම් කමිටුව' (CPR) පිහිටුවන්න ඔහු මුල් උනා. ඒ හරහා ඇති වූ, 'ගමගෙදර' නමින් ක්‍රියාත්මක වූ පන් වගාව පිළිබඳ වැඩසටහන ඒ පිළිබඳ උනන්දු හැමෝම වගේ දන්න එකක්. අපෙන් ඈත්වෙමින් තිබ්බ පන් කර්මාන්තයට නව ජීවයක් දෙන්න ඒ සමිතිය හා ඒ ව්‍යාපෘතිය සමත් උනා. බාහිර අරමුදල් සමග කරගෙන ගිය මේ වැඩේ ඒ අරමුදල් නැති වූ පසුව අදත් දුෂ්කරතා මධ්‍යයේ වුවත් කරගෙන යනවා. ඒ බෙන්තොට මහතාගේ කාලය, ශ්‍රමය මෙන්ම මුදල් ද වැයකරමින්. ඉතින් ඒකෙ කටයුතුවලදී අපි හමුවෙලා දැන් වසර පහළොවක් විතර වෙනවා. අදටත් මම ඒ කටයුතු එක්ක හැකි පමණින් සම්බන්ධ වෙනවා.

පියසිරි මාතරගේ මහතා මම හඳුනාගන්නේ බෙන්තොට මහතාගේ කටයුත්තක දීයි. ඔහු විශ්‍රාම ගියාට පසු වැඩි වශයෙන් යොමු වුනේ පුවත්පත් කලාවට හා ලේඛන කටයුතුවලට. ඔහු ලියූ ඇතැම් කෘති රාජ්‍ය සම්මානයෙන් පුද ලද ඒවා. ඒ වගේම ඔහුත් 'පොදුජන හිමිකම් කමිටුව' නමින් සංගමයක් හෝමාගම ප්‍රදේශයේ හදනවා. ඒත් ඒක වැඩි කාලයක් පවතින්නේ නෑ. පස්සේ 'සංවේදී රසික සංසදය' නමින් තවත් කලාව හා සම්බන්ධ සමිතියක් බිහිකර කලක් කරගෙන යනවා. ඔහු මුල් වී 2018 දී පිහිට වූ 'කැලණිවැලි ලේඛක සංසදය' එක්ක මමත් ඉන් වසරකට පමණ පස්සේ සම්බන්ධ උනා. එහි සභාපති ලෙස ඔහු සිය කාලය, ශ්‍රමය මෙන්ම මුදලුත් වැය කරන ආකාරය ඒ සංසදයේ කටයුතුවලට සම්බන්ධ වන නිසා එදා සිට මමත් දන්නවා.

අපේ රටේ සමිති සංගම් ආදිය එක්ක කටයුතු කිරීම හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. සාමුහික  කටයුත්තක් කියලා පිටතට පෙනුනාට, ලංකාවේ සමිති බොහොමයක වැඩි බරක් දරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විසින්. ඒ සංගම්වලට බාහිර මුදල් ආධාර නොලැබෙන විට එහෙම ඇදගෙන යන එකත් ලේසි දෙයක් නොවෙයි. මොකද එතකොට හැමදේම කරන්න වෙන්නේ ස්වේච්ඡාවෙන් නිසා - ඒ කියන්නේ තමන්ගේ කාලය, ශ්‍රමය වගේම සමහර විට තමන්ගේ මුදලුත් වැය කරන්න වෙනවා. 

මම මේ ගැන හොදටම දන්නේ මමත් වසර තිහකට කිට්ටුව සංවිධාන කීපයක් එක්ක වැඩ කරල සහ දැනටත් වැඩ කරන නිසා. ඒ උනත් මේ කීව දෙදෙනා කළ කැපකිරීම්වල කිට්ටුවටවත් මට එන්න බෑ. ඔවුන් සම්බන්ධ සමිති සමාගම් සඳහා සිය කාලය හා ශ්‍රමය වගේම මුදලුත් ඔවුන් වැය කරන ආකාරය මම දැක තිබෙනවා. ඒ වගේම සමිති කටයුතු සඳහා දායකත්වය ලබා දිය යුතු අනෙක් අයගේ දායකත්වය නොලැබෙන අවස්ථාවල ඒ බරත් ඔවුන්ම කරට ගෙන සමිතිවල කටයුතු ඇදගෙන යන හැටි මම දකිනවා. ඔවුන්ට මේ සමාජමය කටයුතු ජීවිතය හා බද්ධ දෙයක් - කොටින්ම ඒ ඔවුන්ගේ ජීවිතයමයි.

ඉතින් සමිතිවල කටයුතු කරන විට මට ඇතැම් විට ඇති වන කලකිරීම් එක්ක මේ වැඩවලින් ඈත්වන්න සිතුණු අවස්ථා තිබුනත් ඒ වැඩවල තවදුරටත් ඉන්න හිතෙන්නේ බෙන්තොට හා මාතරගේ වගේ මහත්වරු කරන වැඩ දෙස බලලයි. ඇත්තෙන්ම මේ කටයුතුවලින් ලැබෙන ආත්ම තෘප්තිය විශාලයි.

පෞද්ගලිකත්වය මුල් කරගත් මේ සමාජය තුළ පොදු කාර්යයන් කීරීමේ දී ඔබ දෙදෙනා රටට දෙන ආදර්ශයට ස්තුතියි. ඒ වගේම, තවත් බොහෝ කාලයක් මේ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.


ධනේෂ් විසුම්පෙරුම

2022.12.11

ඡායාරූපය: ප්‍රමිත දිල්රුක් සූරියප්පෙරුම

Tuesday, November 22, 2022

ඊජිප්තු දේශගුණ සමුළුවේ දී මොකද වුනේ?

ධනේෂ් විසුම්පෙරුම

නියමිත කාලයට වඩා අතිරේකව පැය තිස්හයකටත් වඩා කාලයක් තිස්සේ දිග්ගැසුනු ඊජිප්තුවේ ශාම් එල් ෂේක් නගරයේ දී පැවැති දේශගුණ සමුළුව හෙවත් දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුව (COP27) පසුගිය 20 දා පෙරවරුවේ අවසන් විය. 

මේ සමුළුවේ දී ඇති වූ වැදගත් ප්‍රධාන පියවර පිළිබඳව මෙසේ සැකෙවින් දැක්විය හැකිය (සමුළුව අවසන නිකුත් වූ ශාම් එල්-ෂෙයික් ක්‍රියාකාරී සැලැස්ම සඳහා සබැඳිය ලිපිය පහළින් දැක්වේ).


අලාභ සහ හානි සඳහා වූ අරමුදලක්

දේශගුණ වෙනස් වීම නිසා සිදුවන විවිධ ආපදා ඇතුළත් අලාභ සහ හානි සඳහා මූල්‍ය සහාය ලබා දීමට ජගත් මට්ටමේ අරමුදලක් පිහිටුවීමට එකඟ වීම මෙවර සමුළුවේ දී  සිදු වූ වැදගත්ම සිදුවීමකි. මෙය ගංවතුර, නියඟය, කුණාටු වැනි දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ආපදාවලින් බැට කෑ දියුණුවන රටවල් දිගු කලක් තිස්සේ (UNFCCC සම්මුතිය ඇතිකරගත් දා පටන්ම වාගේ) ඉල්ලා සිටි දෙයකි. මෙය අවශ්‍ය වන්නේ එවැනි ආපදාවලින් හානියට පත්වන භෞතික හා සමාජයීය යටිතල පහසුකම් ආදිය ගොඩනැංවීම් සඳහාය. හරිතාගාර වායු විමෝචන අඩුකිරීම හා අනුහුරු වීම සඳහා වූ පියවර සඳහා අරමුදල් සපයන ලද නමුත්, දේශගුණ අලාභ සහ හානි සඳහා වූ වෙනම ප්‍රතිපාදන සැපයීමක් මෙතෙක් පැවතියේ නැත.

කෙසේ වෙතත් මෙවැනි වෙනම අරමුදලක් ඇති කිරීමට දියුණු රටවල් එකඟ නොවූ අතර, ඔවුන් පැවසූයේ පවත්නා අරමුදල් ඒ සඳහා යොමු කළ යුතු බවයි. ඒ විරෝධය මේ සමුළුවේ දී ද දැකිය හැකි වුවත් අවසාන දෙදින තුළ යුරෝපා සංගමය හා ඇමරිකාව මේ සඳහා එකඟ වූයේ අවදානම් ඇති රටවලට ප්‍රමුඛතාවය ලබා දීමට හා තවමත් දියුණුවන රටවල් ලෙස ගැනෙන ඇතැම් රටවල් ද ස්වේච්ඡාවෙන් ආධාර ලබා දීමට එකඟවිය යුතුය යන කරුණත් සමඟය. එහි දී අවධානය යොමු වූයේ ඉහළ විමෝචන ප්‍රමාණයක් නිකුත් කරන විශාල ආර්ථිකයක් ඇති දියුණුවන රටවල්ය.

මේ අරමුදල පිහිටුවන ආකාරය ගැන හෝ එයට අරමුදල් සැපයෙන ආකාරය හෝ අරමුදල් ලබා දෙන නිර්ණායක ආදිය ගැන නිශ්චිත පිළිවෙලක්, එකඟතාවයක් තවමත් සැකසී නැත. එසේම සිදුවන අලාභ සහ හානි සඳහා මේ සැපයෙන මුදල් ප්‍රමාණවත් වනු ඇතිද යන්න ද කිව නොහැකිය. එහෙත් මෙය සංකේතාත්මකව වුව ද වැදගත් කරුණක් වන්නේ සමස්තයක් ලෙස දේශගුණ සාධාරණත්වය හා සම්බන්ධව මෙය ඉතා වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක් වන බැවිනි. එය මුදල් හෝ වන්දිවලටත් වඩා සහයෝගීතාවය පිළිබඳ පිළිගැනීමක් සේ සලකනු ලබන බැවිනි බොහෝ දියුණුවන රටවල් ඇතුළු පාර්ශ්ව රැසක් මෙය සතුටුදායක මොහොතක් ලෙස සලකන ලදි. ඒ පැරිස් ගිවිසුමට පසුව දේශගුණ සටනේ ඇති වූ වැදගත්ම ඉදිරි පියවර ලෙසය.

 

උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම

ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම, පූර්ව කාර්මික අවධියේ දී ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවීමට නොදී පවත්වා ගැනීම පැරිස් දේශගුණ ගිවිසුමේ එක් ඉලක්කයකි. එහෙත් මේ වන විට පෙන්වා දී ඇති පරිදි මේ අගය ඉක්මවීම මීලඟ වර්ෂ පහ තුළ සිදුවීඹට සියයට 50ක අවස්ථාවක් පවතී. එසේම ඒ අගය ස්ථිර ලෙස ඉක්මවීම 2031 වන විට සිදු වීමට ද අවස්ථාවක් පවතී.

මේ අංශක 1.5 සීමාවේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ ඉලක්කය සඳහා කැපවන බව මේ සමුළුවේ දී යළිත් තහවුරු කරන ලද නමුත් ඒ සඳහා ගන්නා අතිරේක පියවරක් පිළිබඳව සඳහන් නොවේ. මේ සඳහා අවශ්‍ය එක් පියවරක් ලෙස සඳහන් වූ ලෝකයේ හරිතාගාර වායු විමෝචන උපරිම අගයට ළඟා වීම 2025 වර්ෂයේ දී හෝ ඊට පෙර සිදු කිරීමට ගෙන ආ යෝජනාවට එකඟතාවයක් පළ නොවීය. ලොක්යේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ට සීමා කිරීමේ දී විමෝචන ප්‍රමාණය උපරිමයට පැමිණ අඩු කිරීම කඩිනමින් සිදු කිරීම විද්‍යාත්මක දත්ත අනුව ඉතා වැදගත්ය. මේ පිළිබඳව දියුණු රටවල් මෙන්ම දියුණුවන රටවල් අතරින් දූපත් රාජ්‍යවල වැඩි උනන්දුවක් පැවති නමුත් සමුළුවේ දී ඒ පිළිබඳ වැදගත් වන තීරණයක් නොගැනීම කණගාටුවට කරුණකි.

මේ සඳහා හේතු වූ එක් කරුණක් වන්නේ පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම සම්බන්ධව ඇති වූ තත්ත්වයයි.


පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම

පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම පිළිබඳව මේ සමුළුවේ දී වැදගත් ඉදිරි පියවරකට පැමිණ නොමැති බව පෙනේ. සමස්තයක් ලෙස සියලු පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම පිළිබඳ තිබූ අදහස ඉදිරියට ගෙන යෑමට අපහසු වූ අතර, ගල්අඟුරු භාවිතය අඩු කිරීම (phase down) පමණක් සඳහන් වේ. එය බොහෝ දුරට 2021 වර්ෂයේ ග්ලාස්ගෝ සමුළුවේ දී ඇති වූ පොරොන්දුව හා සමානය. අනෙක් අතට මේ සම්පත් ඇති ඇතැම් දියුණුවන රටවල් ද මේ සීමා කිරීම් සඳහා එකඟ නොවූ බව පෙනේ.

එසේම මේ සමුළුවේ දී එකඟ වූ ක්‍රියාකාරී සැලැස්මේ  ඇත්තේ “අඩු විමෝචන හා පුනර්ජනනය කළ හැකි බලශක්තිය” ද අතුළුව (low emission and renewable energy) ගන්නා පියවර මගින් හරිතාගාර වායු විමෝචන අඩු හැරීම පිළිබඳවය. මේ මගින් ගල් අඟුරු වැනි පොසිල ඉන්ධනවලට වඩා විමෝචන අඩු ගෑස් භාවිතය සඳහා අවස්ථාවක් ලබා ගත හැකි බැවින් එහි යම් ආකාරයක හිදැසක් ලෙස නිරීක්ෂකයන් විසින් සඳහන් කර තිබේ. මේ සමුළුව සඳහා පොසිල ඉන්ධන ක්ෂේත්‍රයේ පිරිස්වල සහභාගිත්වය ඉහළ බව පෙන්වා දී තිබිණි.

කෙසේ වෙතත් මේ සමුළුවේ දී ඇති කරගත් වෙනත් වර්ධනය තුළ ඉදිරි සමුළුවල දී පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීමක් සිදු කරගත හැකිය යන අපේක්ෂාව ඇතැම් පාර්ශ්ව සතුව තිබේ.

ශාම් එල්-ෂෙයික් ක්‍රියාකාරී සැලැස්ම (Sharm el-Sheikh Implementation Plan) - https://unfccc.int/documents/624444 (මෙය Non-official session documents නම් ලේඛන කාණ්ඩට අයත් Advance unedited version සංස්කරණයකි).

2022.11.22

Monday, November 21, 2022

ඇඳුමෙන් මිනිසුන් මැනීම (කැම්පස් කතා 3)

මේක මං සරසවියේ දෙවන වසර ස්ටුඩන්ට් කාලෙ කතාවක්. අඩුම ගානෙ වසර 25කට කලින් උනේ.

අපි කීප දෙනෙක් මාස කීපයක්ම ආචාර්ය මණ්ඩලයේ මිස් කෙනෙක්ගේ පර්යේෂණයකට සහාය දුන්නා. ඒ සඳහා අපි ගම්පහ පැත්තේ ප්‍රකට විහාරයක් ආශ්‍රිත වනාන්තරකට ගියා. පර්යේෂණය පරිසරය ගැනයි. ඇතැම් අවස්ථාවල අපි කොල්ලො කීප දෙනෙක් ගියා. ඇතැම් දවස්වල මිස් අපිත් එක්ක ගියා.

දවසක් එහෙම ගිහින් ආපහු නුවරපාරට එන්න අතුරු පාරේ කඩයක් ගාවින් බස් එකේ නගින හිටියේ අර මිසුයි, මමයි විතරයි. ඒ කාලෙ අර ජර්නි බස් තිබ්බ දවස්. බස් එකේ සෙනග.

කොන්දොස්තර මෙහෙම කීවා.

"ඔය අක්කා ඇතුළට යන්න" - ඒ් අර මිස්ට.

"මහත්තයා මෙතනින් ඉස්සරහට යන්න" ඒ මට.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් "අක්කා" උනෙත්, මම "මහත්තයෙක්" උනෙත් ඇඳුම නිසා. මිස් එදා ඇඳලා හිටියේ කැෂුවල් ඇඳුමක්. ෆීල්ඩ් එකට යන්නනේ. මං සාමාන්‍ය විදියට ෂර්ට් එක ඇඳලා යට කරලා හිටියේ.

අද එතුමිය මහාචාර්යවරියක්.

2022.11.21

Thursday, November 17, 2022

ජීවනෝපාය හා කාලගුණය (තවදුරටත්)

දේශගුණ දිනපොත - 3

ධනේෂ් විසුම්පෙරුම


ආපහු වහින්න ගත්තනේ. මට මතක් උනේ මේ වැස්ස නිසා ජීවනෝපාය අහිමි වන අය ගැනයි. ඒ කීපයක් මීට කලින් කතා කළා - පලතුරු බීම, කිරි වගේ සීතල දේ අලෙවි කරන කඩවලට වැස්ස තද සීතල දවස්වලට බිස්නස් නෑ. උද්‍යාන අවට තියන මොබයිල් වෑන් සමහරක් වැස්ස දවස්වලට ඇත්තේ නෑ (- මිනිස්සු ඒ වගේ තැන්වලට එන්නේ නැති නිසා). වැස්ස වැඩි නං තුන් රෝදවලට හයර් නෑ වගේම බසුත් හිස් (- මහ වැසි දවසට මමත් වැඩිපුර ගෙදර ඉදලයි වැඩ. අත්‍යාවශ්‍ය දේකට ගියොත් හැර). ඉතින් මේ වගේ නිතර වහින්න ගත්තොත් මේ පිරිස් අසරණයි. ආදායම් නැති වෙනවා. එකක් මිනිස්සු ඒ වගේ දේ පරිභෝජනය අඩු කරන නිසා. අනෙක මිනිස්සු ගමන් බිමන් යෑමට අඩු වන නිසා.

ඒ වගේ ජීවනෝපාය ගොඩක් තියනවා. වීරසුමන වීරසිංහ මහතාගේ FB ගිණුමෙන් ගත් මේ ඡායාරූපය කියන්නේ ඒ වගේ කතාවක්... මේ වගේ විවෘත වීදි/ ජංගම කඩවලින් ජීවත්වන අය වැස්ස දවස්වලට පත්වන්නේ අසීරු තත්ත්වයකට - එකක් ඒ වගේ දිනවලට බිස්නස් නෑ. යන්න එන්නත් අමාරුයි. ඒ වගේම දිගටම වැස්සොත් තවත් ගැටලුවක් - මේ විකුණන සමහර දේවල් ගොඩක් කල්තියාගන්න බෑනේ.



මේකට තියන විසඳුම මොකද්ද? එකක් තමයි පෙට්ටි කඩ වගේ ආවරණයක් තිබීම. එහෙම නැත්තං වැස්සට ආවරණයක් සහිත ජංගම ට්‍රයිසිකලයක් තිබීම. එතකොට වැස්සත් මේ අයට බිස්නස් එක කරගන්න පුළුවන්. ඒත් ඒ අඩුවෙන් - මොකද වැස්සම පාරේ මිනිස්සු අඩු වනවා (ඒත් ජංගම උනොත් එයාට පාරිභෝගිකයා ළඟට යන්න පුළුවන්). අනෙක තමයි අලෙවි කරන ද්‍රව්‍ය ගණන වැඩි කිරීම - විවිධාංගීකරණය... පොඩි පොඩි වෙනත් දේ විකුණන්න. මේ වෙනස්කම් කරන්න පටන් ගන්න යම් ආධාරයක් නං ඕන වෙයි.

මේ ආකාරයට වැස්ස අක්‍රමවත් වීම (අකල් වැසි ඇතුළුව), වැස්ස සුලබ වීම, කෙටි කාලයක් තුළ ඇතිවන තද වැස්ස (තීව්‍රතාව) වගේ වෙනස්කම් ලෝකයේ අද තියන දේශගුණ වෙනස් වීමේ ප්‍රතිඵල ලෙසයි විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ.

2022.11.17

Sunday, November 13, 2022

දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අභියෝගය හෙළි වන දේශගුණ සමුළුව

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2022.11.16, පි. 7

(මෙම ලිපිය එහි සඳහන් සමුළුව අවසන් වීමට පෙර ලියැවුනක් බව කරුණාවෙන් සලකන්න. සමුළුවේ ප්‍රතිදාන පිළිබඳව පසුව ලිපියක සඳහන් වේ.)

මේ දිනවල ඊජජිප්තුවේ ශාම් එල් ෂෙයික් නගරයේ දී දේශගුණ වෙනස් වීම පිළිබඳ වාර්ෂික සමුළුව පැවැත්වේ. නොවැම්බර් මස 6 දින ආරම්භ වූ එය 18 වන දින දක්වා පැවැත්වෙනු ඇත. මෙය දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුව බැවින් COP 27 නමින් හැඳින්වේ.

ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස් වීම සම්බන්ධව අද ලෝකය පසුවන්නේ කොතැන ද, එය වැළැක්වීමට ගෙන ඇති පියවරවල සාර්ථකත්වය මෙන්ම ඉදිරියේ දී ගනු ලබන පියවර මොනවාද යන්න මෙහි දී සාකච්ඡා කෙරේ. මේ පිළිබඳව මෑත දී පළ වූ වාර්තා අනුව පවත්නා තත්ත්වය බරපතළ බවත්, කඩිනමින් පියවර ගත යුතු බවත් පැහැදිලිය.

උෂ්ණත්වය ඉලක්ක අත්පත් කරගත හැකි ද?


පැරිස් ගිවිසුමේ දී ලෝකයේ රටවල් එකඟ වූයේ 2100 වර්ෂය වන විට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට හෝ හැකිනම් 1.5කට සීමා කිරීම වැදගත් බවයිය. ඒ කාර්මිකකරණයට පෙර පැවති උෂ්ණත්වයට සාපේක්ෂවය. පසුගිය වර්ෂයේ පැවැති සමුළුවේ දී මේ සෙල්සියස් අංශක 1.5 සීමාව යළිත් අවධාරණය කරන ලද්දේ දේශගුණ වෙනස් වීමේ බරපතළ අහිතකර බලපෑම් වැළැක්වීමට එහි ඇති වැදගත්කම නිසාය. මේ ඉලක්ක දෙක අතර ඇති වෙනස දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය මගින් පැහැදිලි කරන්නේ මෙසේය.

උෂ්ණත්වය ඉහළ යෑම අංශක දෙකක් නොව 1.5කට සීමා කළහොත්,
  • ඉහළ යන මුහුදු මට්ටම නිසා නිවාස අහිමිවන පිරිස මිලියන 10කින් අඩු වනු ඇත..
  • ජල සුරක්ෂිතතාවය අහිමිවන පිරිස 50%කින් අඩු වනු ඇත.
  • කොරල් පර අහිමි වීම 99%ක සිට 70%ක් දක්වා අඩු වනු ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් ලෝකයේ උෂ්ණත්වය අංශක 1.1කින් පමණ ඉහළ ගොස්ය. ඒ ඉහළ යෑම අංශක 1.5කට සීමා කිරීම ඉතා බරපතළ අභියෝගයක් බව පෙනේ.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් නිකුත් කරන ලද ‘දේශගුණ හිදැස වාර්තාව 2022’ (Emissions Gap Report 2022 -  මෙතැනින් බාගන්න) නම් වාර්තාවට අනුව ලෝකයේ ඉහළ යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ඉක්මවා යා නොදී සීමා කළ හැකි ප්‍රායෝගික ක්‍රියාපටිපාටියක් මේ දක්වා නොමැත. පසුගිය වර්ෂයේ දේශගුණ සමුළුවෙන් පසුව, හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඒ ඒ රාජ්‍ය විසින් ලබා දී ඇති සැලසුම් ද මේ උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම සඳහා “ප්‍රමාණවත් නොවේ”. ඒ නිසා උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 මට්ටමට සීමා කිරීම ඇත්තේ දැඩි අර්බුදයකය. මේ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන විමෝචන ඉලක්ක හා සත්‍ය වශයෙන් ඇති විය හැකි තත්ත්වය අතර වෙනසයි. ඊට අනුව කාබන් විමෝචන අඩු කිරීම සඳහා ඇති නව උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචන අඩු වන්නේ 1%ක් තරම් අඩු ප්‍රමාණයකිනි. මෙය අපේක්ෂිත ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු නොසලකා හැරිය හැකි අගයයකි.

ඉහත කී සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට නම්, වර්තමාන ප්‍රතිපත්ති අනුව 2030 වන විට විමෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 45%කින් පමණ අඩු කළ යුතු බව උක්ත වාර්තාවේ පැවසේ. එසේම උෂ්ණත්වය ඉහළ යෑම අංශක 2කට සීමා කිරීමට නම්, 2030 දී නිකුත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 30%කින් පමණ අඩු කළ යුතුය. මෙය පහසු කරුණක් නොවන බව පැහැදිලිය.

මේ අතර බලශක්ති පරිවර්තන කොමිසම (Energy Transitions Commission) මගින් සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කයට අත්පත් කරගැනීමට නම්, 2030 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු ප්‍රමාණය දක්වා තිබේ. ඒ අනුව 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගිගාටොන් 26.6ක් දක්වා අඩු කළ යුතුය. එහෙත් පසුගිය වර්ෂයේ සමුළුව වන විට ලබා දී තිබූ ප්‍රතිඥා ඉටු කරනු ලැබුවහොත් එය ගිගාටොන් 41.9ක් පමණ තරම් විය හැකිය. මේ අනුව විමෝචන තවත් කෙතරම් අඩු කළ යුතුද යන්න පැහැදිලිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ සමුළුවට පෙර පැවසුවේ කය දේශගුණ වෙනස්වීම කෙරේ ලෝකය නැවත අවධානය යොමු කළ යුතු බව හා එසේ නැතහොත්, මහා ව්‍යසනයකට මුහුණ දීමට ලෝකය සූදානම් විය යුතු බවයි.


උෂ්ණත්වය ඉහළ යා හැකි ප්‍රමාණය


ජගත් කාබන් ව්‍යාපෘතිය (Global Carbon Project) මගින් සමුළුව අතරතුර ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, කාබන් විමෝචන ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශ 1.5ට අගය ඉක්මවීම ඉදිරි වර්ෂ නවය ඇතුළත සිදුවීමට 50‍% ක පමණ අවස්ථාවක් තිබේ. මාසික බලශක්ති දත්ත යොදාගනිමින් ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගණන් බලා ඇති මේ වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී ලෝකයේ මුළු විමෝචන ප්‍රමාණය 1%කින් පමණ ඉහළ යා හැකිය. ඒ අගය වාර්තාගත මට්ටමක පවතිනු ඇති බව පැහැදිලිය.

පෙර සඳහන් කළ දේශගුණ හිදැස වාර්තාව 2022ට අනුව විමෝචන පාලනය කඩිනමින් කළ නොහැකි වුවහොත් හා තත්ත්වය වෙනස් නොවුවහොත් මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8කින් පමණ ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් පොරොන්දු වී ඇති, ජාතිකව නිර්ණය කළ දායකත්ව අතර ඇති සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ හැකි වුව ද ලෝකයේ උෂ්ණත්වය අංශක 2.4ත් 2.6ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් ප්‍රකාශ කර ඇති, බාහිර මූල්‍ය ආධාර ලැබිය යුතු කොන්දේසි සහිත ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කළ හැකිවුවහොත් උෂ්ණත්වය අංශක 2.4ක් ද, කොන්දේසි රහිත ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කළහොත් 2.6ක් ද වශයෙනි.

එසේම දේශගුණ ක්‍රියාකාරිත්ව විමසුම (Climate Action Tracker - මෙතැනින් පිවිසෙන්න) නම් විශේෂඥ කණ්ඩායම ද ප්‍රකාශ කර තිබුනේ අලුතින් ලබා දී ඇති ප්‍රතිඥා සමඟ වුවත්, ලෝකයේ උෂ්ණත්වය අංශක 2.7කින් ඉහළ යෑම සිදුවිය හැකි බවයි. එනම් තවත් ප්‍රබල පියවර ගැනීම වැදගත්ය.


ඉදිරි පියවර කෙසේ වේද?


පසුගිය වර්ෂයේ ග්ලාස්ගෝ දේශගුණ සමුළුවේ දී රටවල් පොරොන්දු වුයේ මේ සමුළුව ආරම්භ වන විට වඩාත් ඉදිරියට ගිය දියුණු කළ වැඩි අභිලාෂයක් ඇති ‘ජාතිකව නිර්ණය කළ දායකත්ව’ ලබා දීමට ය. එනම් ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ගන්නා පියවර තවත් දැඩි කිරීමටය. එහෙත් ඊජිප්තු සමුළුව ආරම්භ වන විට එසේ අලුත් ප්‍රතිඥා ලබා දී ඇත්තේ රටවල් 29ක් පමණකි. මේ නිසා සමුළුවේ දී සිදුවන දේ වඩා වැදගත්ය.

වාර්තාවල සඳහන් පරිදි පොසිල ඉන්ධන සඳහා සම්බන්ධතා ඇති පිරිස් දේශගුණ සමුළුවට සහභාගි වීම ඉහළ ගොස් ඇත. එය පසුගිය වසරට වඩා 25%ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස්ය. මෙය වැදගත් වන්නේ පොසිල ඉන්ධන වෙනුවට පිරිසිදු බලශක්තිය ශක්තිමත් වීම හරිතාගාර වායු විමෝචන පාලනය සඳහා වැදගත් නිසාය. මේ පිළිබඳව දැකිය හැක්කේ තරමක් මිශ්‍ර තත්ත්වයකි. යුරෝපයේ ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන වෙත යොමු වීම ඉහළ ගොස් ඇතැයි සඳහන්ය. ජර්මනියේ ගල්අඟුරු භාවිතය මේ වර්ෂයේ දී පෙරවර්ෂයට වඩා ඉහළ ගොස්ය. එසේම කාලසීමාව ඉක්මවා ගිය ගල්අඟුරු බලාගාර වසා දැමීම පමා කරන මෙන් බ්‍රිතාන්‍යය ද බලශක්ති සමාගම්වලට දැනුම් දී තිබේ. මේ සඳහා බලපා ඇත්තේ යුක්රේනයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයේ ප්‍රතිඵලය වන තිබෙන බලශක්ති අර්බුදයයි. කෙසේ වෙතත් යුරෝපයේ මෙන්ම ලෝකයේ දියුණු කාර්මික රටවල් ගණනාවක්ම පිරිසිදු බලශක්තිය සම්බන්ධ ආයෝජන ඉහළ නැංවීමට යොමුව ඇති බව අන්තර්ජාතික බලශක්ති ආයතනයේ (IEA) ‘ජගත් බලශක්ති විමසුම 2022’ (World Energy Outlook 2022, මෙතැනින් බාගන්න) නම් වාර්තාව පෙන්වා දෙයි. එහි දක්වා ඇත්තේ ලෝකය මේ අවස්ථාවේ දී මුහුණ දී ඇති තත්ත්වය වඩා තිරසර බලශක්ති පද්ධතියක් සඳහා යොමුවීමට අවස්ථාවක් බවයි. එහෙත් එය එසේම වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

මේ අතර ඊජිප්තු දේශගුණ සමුළුව අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුයේ ඇමරිකාව 2030 වන විට සිදුකරන බවට පොරොන්දු වී ඇති විමෝචන අඩුකිරීම සිදුකරන බවයි. එය 2005 මට්ටමට වඩා 50-52%ක් පමණ අඩුකිරීමක් වන අතර එරට දේශපාලන ත්තත්වය අනුව මෙය කෙතරම් ප්‍රායෝගික විය හැකි ද යන්න විචාරකයන් විමසා තිබේ. එසේම 2030 වන විට මීතේන් විමෝචන 30%කින් අඩු කිරීම උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට හැකි වැදගත්ම පියවරක් බව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. මෙය ද තරමක් විවාදාපන්න මාතෘකාවකි.

මේ දේශගුණ සමුළුව හා එහි දී ගන්නා තීරණ දේශගුණ සටනේ දී ඉතා වැදගත්ය. මේ සටහන ලියන අවස්ථාව වන විට එහි දී එළැඹෙන අවසන් තීරණ සම්බන්ධව යමක් කීමට කල් වැඩිය. කෙසේ වෙතත් ගන්නා තීරණ, දෙනු ලබන ප්‍රතිඥා හා ඇති වන එකඟතා නොව වැදගත් වන්නේ ඉදිරියේ ක්‍රියාත්මක කරන දේය.

මූලාශ්‍රය
Climate Action Tracker, https://climateactiontracker.org/

Friday, November 4, 2022

දේශගුණ අර්බුදයෙන් ලෝකය ගලවාගත හැකි ද?

ධනේෂ් විසුම්පෙරුම 

මේ සතියේ ඇරඹෙන දේශගුණ සමුළුවට පෙරවදනක් 


දේශගුණ වෙනස්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ වාර්ෂික සමුළුව ඊජිප්තුවේ ශාම් එල් ෂෙයික් නගරයේ දී නොවැම්බර් මස 6 දින ආරම්භ කිරීමට නියමිතය. එය උක්ත ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුවයි (COP 27). මේ සමුළුව පැවැත්වෙන්නේ විවිධ ආන්තික කාලගුණ තත්ත්වවලින් ලෝකයම දැඩි ලෙස පීඩාවට ලක් වූ කාලවකවානුවක දී ය. ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස් වීම සම්බන්ධව අද ලෝකය පසුවන්නේ කොතැන ද? මේ පිළිබඳව මෑත දී පළ වූ වාර්තා හා අදහස් කීපයක් විමසීමට අපි සිතුවෙමු. 

උෂ්ණත්ව ඉලක්කය ඉක්මවීම වැළැක්විය නොහැකියි? 


මේ සමුළුව ආරම්භ වීමට පෙර එක්සත් ජාතීන්ගේ ආයතනයකින් අනතුරු හැඟවීමක් සහිත වාර්තාවක් නිකුත් වී තිබේ. ඒ වාර්තාවට අනුව ලෝකයේ ඉහළ යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ඉක්මවා යා නොදී සීමා කළ හැකි ප්‍රායෝගික ක්‍රියාපටිපාටියක් මේ දක්වා නොමැත. මේ බව පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් නිකුත් කරන ලද වාර්තාවකිනි. එහි සඳහන් වන පරිදි පසුගිය වර්ෂයේ දේශගුණ සමුළුවෙන් පසුව, හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඒ ඒ රාජ්‍ය විසින් ලබා දී ඇති සැලසුම් ද මේ උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම සඳහා “ප්‍රමාණවත් නොවේ”. ඒ නිසා උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 මට්ටමට සීමා කිරීම ඇත්තේ දැඩි අර්බුදයකය. ‘දේශගුණ හිදැස වාර්තාව 2022’ (Emission Gap Report 2022) නම් මේ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන විමෝචන ඉලක්ක හා සත්‍ය තත්ත්වය අතර වෙනසයි. ඊට අනුව කාබන් විමෝචන අඩු කිරීම සඳහා ඇති නව උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචන අඩු වන්නේ 1%ක් තරම් අඩු ප්‍රමාණයකිනි. මෙය අපේක්ෂිත ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු නොසලකා හැරිය හැකි අගයයකි. 

ඉහත කී සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට නම්, වර්තමාන ප්‍රතිපත්ති අනුව 2030 වන විට විමෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 45%කින් පමණ අඩු කළ යුතුය. එසේම උෂ්ණත්වය ඉහළ යෑම අංශක 2කට සීමා කිරීමට නම්, 2030 දී නිකුත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 30%කින් පමණ අඩු කළ යුතුය. මෙය පහසු කරුණක් නොවන බව පැහැදිලිය. ඒ සඳහා කටයුතු කළ නොහැකි වුවහොත් හා තත්ත්වය වෙනස් නොවුවහොත් මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8කින් පමණ ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් පොරොන්දු වී ඇති, ජාතිකව නිර්ණය කළ දායකත්ව අතර ඇති සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ හැකි වුව ද ලෝකයේ උෂ්ණත්වය අංශක 2.4ත් 2.6ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් ප්‍රකාශ කර ඇති, බාහිර මූල්‍ය ආධාර ලැබිය යුතු කොන්දේසි සහිත ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කළ හැකිවුවහොත් 2.4ක් ද, කොන්දේසි රහිත ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කළහොත් 2.6ක් ද වශයෙනි. 

මේ වනවිට දන්නා පරිදි මේ සෙල්සියස් අංශක 1.5 සීමාව යනු දේශගුණ වෙනස් වීමේ බරපතළ අහිතකර බලපෑම් වැළැක්වීම නම් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සීමා කළ යුතු අගය ලෙස පැරිස් දේශගුණ ගිවිසුම මගින් ද පිළිගැනෙන ඉලක්කයයි. එය අත්පත් කරගත නොහැකි නම් ඉලක්ක කරගත යුතු අගය ලෙස සඳහන් වන්නේ අංශක 2යි. එහෙත් ඉහත සඳහන් වාර්තාවේ එන අගයයන් ඒ දෙකම ඉක්මවා යයි. 

 මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් බීබීසී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුනේ ලෝකය දේශගුණ වෙනස්වීම කෙරේ නැවත අවධානය යොමු කළ යුතු බවයි. එසේ නැතහොත්, මහා ව්‍යසනයකට මුහුණ දීමට ලෝකය සූදානම් විය යුතු බව ද ඔහු සඳහන් කර ඇත. මේ අතර ඊජිප්තුවේ විදේශ අමාත්‍ය ෂාමි ෂුක්රි, ද ගාඩියන් පුවත්පතට පවසා තිබුනේ සෙල්සියස් අංශක 1.5 ඉලක්කය මේ වන විට අන් කවරදාටත් වඩා දුර්වල එකක් වී ඇති බවයි. ඔහු මේ සතියේ ඇරඹෙන දේශගුණ සමුළුවේ සභාපති ධූරය දැරීමට නියමිත පුද්ගලයාය. 

පිරිසිදු බලශක්තිය ශක්තිමත් වීම 


එහෙත් තවදුරටත් අපේක්ෂා තබාගත හැකි තත්ත්ව පිළිබඳව ද ඇතැම් වාර්තාවලින් පෙන්වා දී තිබේ. අන්තර්ජාතික බලශක්ති ආයතනයේ (IEA) ‘ජගත් බලශක්ති විමසුම 2022’ (World Energy Outlook 2022) නම් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ලෝකය මේ අවස්ථාවේ දී මුහුණ දී ඇති තත්ත්වය වඩා තිරසර බලශක්ති පද්ධතියක් සඳහා යොමුවීමට අවස්ථාවක් බවයි. මේ වෙනස්කම් සඳහා බලපා ඇති මූලික සිදුවීම වන්නේ යුක්රේනයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය නිසා ඇති වී තිබෙන බලශක්ති අර්බුදයෙයි. යුරෝපයේ මෙන්ම ලෝකයේ වෙනත් ප්‍රදේශවල දියුණු කාර්මික රටවල් ගණනාවක්ම පිරිසිදු බලශක්තිය සම්බන්ධ ආයෝජන ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියකට එළැඹීම මේ සඳහා උදාහරණ ලෙස ඒ වාර්තාවේ දක්වා තිබේ. මේ රටවල් අතර බ්‍රිතාන්‍යය හා ජපානය ද වේ. මෙසේ පිරිසිදු බලශක්තිය වෙත යොමු වීම හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා හේතුවක් ද වේ. 

මෙවැනිම තත්ත්වයක් ‘දේශගුණ ක්‍රියාකාරිත්වයේ තත්ත්වය’ (State of Climate Action 2022) නම් ලෝක සම්පත් ආයතනය (WRI) මගින් නිකුත් කර ඇති වාර්තාවක ද සඳහන් වේ. ඊට අනුව ප්‍රවාහන අංශයේ වඩා තිරසර ඉන්ධනවලට මාරුවීමක් දැකිය හැකිය. මේ පිළිබඳව එහි දැක්වෙන වැදගත් කරුණු කීපයක් මෙසේය. බලශක්ති උත්පාදනය සම්බන්ධව ගත් විට, 2019 හා 2021 වර්ෂ අතර කාලයේ දී ලෝකයේ සූර්යබලයෙන් සිදුවන විදුලි ජනනය 47%කින් ද, සුළං විදුලිබල ජනනය 31%කින් ද ඉහළ ගොස් තිබේ. එසේම ප්‍රහාන අංශයේ දී වෙනස්කම් ඇති වී තිබේ. 2021 වර්ෂයේ දී අලෙවි වූ කාර් රථ අතරින් 9%ක් පමණ විදුලියෙන් ධාවනය වන කාර් රථ වේ. මෙය පෙර වර්ෂයේ අලෙවි වූ ප්‍රතිශතය මෙන් දෙගුණයකි. එසේම 2021 වර්ෂයේ දී අලෙවි වූ මුළු බස් රථවලින් 44%ක් පමණ විදුලි බස් රථ වේ. 2013 දී මේ ප්‍රමාණය 2%ක් පමණ වූ නිසා දශකයක් ඇතුළත දස ගුණයකින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, අප දැක් වූ මුල් වාර්තාවෙන් දැක්වෙන ආකරයට, මේ අපේක්ෂා සහගත පියවරවල පරිමාණය ඇති වී තිබෙන අර්බුදයට ප්‍රමාණවත් ද යන්න මෙම වාර්තාවෙන් ද පෙන්වා දී තිබේ. 2030 වන විට පැරිස් ගිවිසුමේ ඉලක්ක වෙත යෑමට නම් ඒ සඳහා සිදුකරන බොහෝ කාර්ය වේගවත් කළ යුතු මෙහි ද දක්වා තිබේ. 

මූලාශ්‍රය 
 The Closing Window – Climate crisis calls for rapid transformation of societies (Emission Gap Report 2022), www.unep.org/resources/emissions-gap-report-2022 


Wednesday, October 26, 2022

වැස්ස හා ජීවනෝපාය

දේශගුණ දිනපොත 2

ධනේෂ් විසුම්පෙරුම


මේ මුලින් කියන සිදුවීම් හතර සිදු උනේ පසුගිය සෙනසුරාදායි. එදා වැස්ස දවසක්. වැස්සේම උනත් හෝමාගම තිබ්බ රැස්වීමකට යන්න උනා. ඒ එද්දී තමයි මේ සිදුවීම් උනේ.
  • යාලුවෙක්ගෙ සෙරෙප්පුවක් කැඩුණා. හදාගන්න අයෙක් ටවුමේ පේන්න හිටියේ නෑ. උදේ ඉදන් වැස්ස නිසා වෙන්න ඇති. මොකද ඒ අය ඉන්නේ එළිමහනේ නිසා.
  • පොඩි තිබහක් ආවා. අපොයි... ටවුමෙ පලතුරු බීම කඩේ වහලා. කොහොමත් මේ වගේ වැහි දවස්වල සීතලේ බීම බොන්න එන්නේ කවුද? 
  • පාරෙ අනිත් පැත්තට ගියොත් පරක්කු වන නිසා මම තිබහ දරාගෙන ඉක්මනින් ආවා. ගෙවල් ගාව හන්දියේ කිරිකඩෙන් උණු කිරි එකක් බීවා. ඒ කඩේ කිරි පැකට් පුරෝලා. ඒව විකිනෙයි ද ඒ වගේ වැසි දවසක?
  • තවමත් වැස්ස නිසාත්, බඩගිනි නිසාත් තුන්රෝද රථයක ගෙදර ආවා. "අද නං ටිකක් හාඩප්" කියල දන්න කියන ඒ රියදුරත් කීවා. ඒකත් ඇත්ත, වැස්ස තද නං කවුද එළියට යන්නේ? තුන් රෝදවලට හයර් තියෙන්නේ පොද වැස්ස දවසටයි. "පොද වැස්සට අපි ආසයි" කියල සමහර තුන්රෝද රථවල ගහලත් තියෙන්නේ.
මේ සිදුවීම ලියන්න ඕන බව හිතුනේ ඊයේ (අඟහරුවාදා) නුගේගොඩ දී දැක්ක සිදුවීමකින්. තේ ඒකක් බොන්න කඩේකට ගිහින් ඉද්දී එතනට ආ තරුණියක් "නෙක්ටෝ එකක්" ඉල්ලුවා. මාත් ආස බීමක් නිසා කනට අමතරව ඇහැත් ඒ පැත්තට ගියා. "අනේ මිස් බෝතල් බීම ජාති නෑනේ. ගිය සතියෙ නම් පුරෝලා තිබ්බා. වැස්ස නිසා ගියෙම නෑනේ" කීව ඒ කඩේ තරුණයා ඒ තරුණියට අයිස්කෝපි එකක් වික්කා. 

මේකෙන් පේන්නේ වැස්ස අපේ අයගේ ජීවනෝපායට වගේම ජීවන රටාවටත් බලපාන හැටියි. දේශගුණ වෙනස් වීමත් එක්ක ඒ බලපෑම වැඩිවෙන්න පුලුවන්. ලංකාවේ වර්ෂාවේ තීව්‍රතාව ඉහළ යමින්. ඒ කියන්නේ යම් කාලයක දී වැටෙන වැස්සේ ප්‍රමාණය ඉහළ යමින්. ඒ නිසා නේ ක්ෂණික ගංවතුර දැන් නිතර අහන්න ලැබෙන්නේ. ඒ වගේ වැසි දින ගණනේ වෙනස්වීම් ගැනත් පර්යේෂණ වාර්තා තිබුනත් ඇතැම් පර්යේෂණ අනුව එය එහෙමම නෑ. මේ ගැන තව සොයාබලා ලියන්න ඕන.

ඉතින් බොහෝ අයට මේ වෙනස්වීම් අනුව ජීවනෝපාය වෙනස් කරනගන්න හෝ විවිධ කරගන්න වෙයි. ඒ වගේම හැඩගැහෙන්න හෙවත් අනුහුරුවෙන්න වෙයි. තව දවසක ඒ ගැන ලියන්නම්.

2022.10.26

Sunday, October 23, 2022

වහින කාල වෙනස්වෙලා?

දේශගුණ දිනපොත 1


ධනේෂ් විසුම්පෙරුම

ඉස්සර මන්නාරම පැත්තේ යන කාලෙ, එහේ යන්න කලින් වැස්ස ගැන ඇහුවම එහේ අය කියපු දෙයක් තමයි "දීපවාලිවලට කලින් එන්න" කියන එක.
ඒත් මේ අවුරුද්දේ දීපවාලියට කලින් ඉදලාම ඒ පැතිවලත් වහිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති නිවේදන අනුව, වියළි කළාපයේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාව වැටෙනවා. මේ ඊට නිදසුන් කීපයක් -

(1) 2022 ඔක්තෝබර් 12 දින ඌව, නැගෙනහිර, උතුර, උතුරුමැද හා මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන් වී තිබුණා (WW/T/22/10/12/01 - මෙතැනින් බලන්න).

එසේම, ගත වු දින දහයක කාලය තුළ වැඩිම වැස්ස ඇති වූ ප්‍රදේශ අතර වියළි කලාපයේ පිහිටි ප්‍රදේශ මෙසේයි.
(1) ඔක්තෝබර් 23 වන දින (අද) උදේ 6.30න් අවසන් වූ පැය විසිහතරේ දී මන්නාරමේ මුසලිවලට මිලිමීටර් 77ක වැස්සක් වැටිලා (නිවේදන අංක 2, WW/L/210/23/02 - සබැඳිය).
(2) නවකිරි ආරු (අම්පාර) - ඔක්තෝබර් 18 දින උදේ 8.30න් අවසන් වූ පැය විසිහතරේ දී මිමී 162ක් (සබැඳිය)
(3) දියබෙදුම (පොලොන්නරුව) - ඔක්තෝබර් 12 දින උදේ 8.30න් අවසන් වූ පැය විසිහතරේ දී මිමී 84.8ක් (සබැඳිය)

මේ අවුරුද්දේ දීපවාලි හෙට, ඔක්තෝබර් 24. මේ පේන විදියට වහින කාල වකවානු ටිකක් වෙනස් වෙලා වගේ.
මූලාශ්‍රය: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ FB පිටුවේ සඳහන් නිවේදන

2022.10.23

Sunday, October 9, 2022

හයිද්‍රාබාදයේ නොකියූ කථා

2012 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ සතියකට අධික කාලයක් ගත කිරීමට අප කීපදෙනෙකුට අවස්ථාව ලැබිණි. ඒ ජෛව විවිධත්වය පිළිබඳ අන්තර්ජාතික සමුළුවකට (COP 11) සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය වෙනුවෙන් ගිය අවස්ථාවේදීය. හයිද්‍රාබාදය ඒ කාලයේ දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනගරය ලෙස පැවති අතර, අද වන විට එය පසුව පිහිටුවන ලද ‌තෙලන්ගානා ප්‍රාන්තයේ අගනගරයයි.

ඒ ගමනේ ආගිය තැන් ගැන ලිපි කීපයක් The Nation පුවත්පතට ලිවීමි (මේ ලිපියේ පහළ ලින්ක් ඇත). මෙතෙක් ලිවීමට නොහැකි වූ රසවත් අත්දැකීම් කීපයක් ලියා තැබීමට ඉතිරි වී ඇත. ඒවා මේ ලියන්නේ හරියටම වසර දහයකට පසුවය.

ලංකාව පිහිටයේ කොතැනක ද?

හයිද්‍රාබාදයේ අප නැවතී සිටි කාලය ඇතුළත එහි වැසියන් සමග ගැවසීමට හා අදහස් හුවමාරු කරගැනීමට අපට යම් අවස්ථාවක් ලැබිණි. අප සහභාගි වූ වැඩසටහනට සහභාගි වූ අය, නවාතැනේ මෙන්ම නගරයේ දී හමු වූ ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි වූ ආන්ද්‍රා වැසියන් සමඟ ද අපට කතා කරන්නට හැකි විය.  

එහි දී පෙනී ගිය කරුණක් වූයේ ඉංග්‍රීසි කතා කරන්නට හා අවබෝධ කරගන්නට හැකි වූ අය අතර පවා ලංකාව ගැන තිබූ අවබෝධය විවිධ වූ බවයි.

අප එහි ගිය කාලයේ හයිද්‍රාබාදය ආන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර විය


වරක් මගී බස් රථයක ගමන් කරද්දී මා සමග කතාවට වැටුණු අයෙකුට අප පැමිණි රට දැනගැනීමට අවශ්‍ය විය. අප ආවේ ශ්‍රී ලංකාවෙන් යැයි පැවසූ විට ඔහුට ඒ පිහිටියේ කොතැනදැයි දැනගැනීමට ද අවශ්‍ය විය. ඔහු පළමුව ඇසුවේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ද කියාය. එය එසේ නොවේ කියූ මම අප ඉන්දියාවට පහළින් පිහිටා ඇති වෙනම රටක් බව කී විට, තමිල්නාඩුවට මායිම් වන රටක්දැයි විමසා සිටියේය. ශ්‍රී ලංකාව පිළිබඳව ඔහු නොදැන සිටීම ගැන මට පුදුමයක් නොවූ අතර, තමන්ගේ රටේ මායිම නිසි ලෙස නොදැන සිටීම ගැන නම් මදක් පුදුම සිතුනි. එහෙත් මේ කතාව අපේ කට්ටියට කී විට ඔවුන් කීවේ "උඹේ ඉංග්‍රීසී මෑන්ට තේරුණාද දන්නේ නෑනේ" කියලාය.

අසල්වැසි රටේ ප්‍රධාන නගරයක වැසියෙකු ශ්‍රී ලංකාව කොතැනදැයි නොදැන සිටීම එක් ආකාරයකට විමතියට කරුණක් වුවත් එය සැමවිටම එසේ නොවීය.

තමිල්නාඩුවේ ක්‍රියාකාරිත්වය දැන සිටි හයිද්‍රාබාද් වැසියෝ ද සිටියහ. අප නැවතී සිටි එක් හෝටලයක කවුන්ටරයේ සිටි සේවකයන් අතර සිටි එක් මැදිවියේ අයෙක් අපේ රට පමණක් නොව රටේ පැවති බෙදුම්වාදී ගැටලුව ගැන ද දැන සිටියේය. එසේම තමිල්නාඩුව ඒ සම්බන්ධයෙන් කරන බලපෑම් ගැන ද ඔහු මනාව දැන සිටි බව පෙනුණි. තමිල්නාඩුව ලංකාව සම්බන්ධව දක්වන පිළිවෙත ගැන ඔවුන් එතරම් ප්‍රසන්න බවක් නොදැක්වූ බව අපට වැටහුණි. ඊට හේතුව වන්නට ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශ් හා තමිල්නාඩු ප්‍රාන්ත දෙක අතර ඇති ගැටලු පැවතීම වීමට ද හැකිය.


ක්‍රිකට් අප එක් කරයි!

ශ්‍රී ලංකාව ගැන නොදත් බොහෝ දෙනා අතර, ලංකාව පමණක් නොව ලංකාවේ ප්‍රකට පුද්ගලයන් ගැන ද දැන සිටි අය ද අපට හමු විය. ඒ අතරින් එක් පොලිස් නිලධාරියෙක් සුවිශේෂ විය. මතක හැටියට ඔහු මධ්‍ය මට්ටමේ නිලධාරියෙකි. ඔහු අපේ රට ගැන දැන සිටියේ ක්‍රිකට් නිසාය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවල දී ඔහුට ලැබුනු රාජකාරි නිසා අපේ රටේ ක්‍රීඩකයන් සමග කටයුතු කරන්නට මෙන්ම සේවා සපයන්නට ද අවස්ථාව ලැබී ඇත. එබැවින් ඔහුට අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් පවා මතකයේ තිබිණි. අප සමුළුවට යන එන අතර දිනපතාම පාහේ හමු වූ ඔහු ඒ හැම විටම කතා කළේ ක්‍රිකට් හා අපේ රටේ ක්‍රීඩකයන් ගැනමය. ඔහුට මෙරට ක්‍රීඩකයින් හමු වු තරග ගැනත් කතා කළා මතකය. ඒ නිසාම, අදාළ ආරක්ෂක මුරපොළවලදී ඔහු අපට දැක්වූ සිනහවෙන් පිරි හිතවත්කම ද මට තවමත් මතකය.

ලංකාවෙන් ආ අප්‍රිකානුවන්

වරක් අපේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් පමණක් තනිව රාත්‍රී ආහාරයට නගරයේ අවන්හලකට ගිය අවස්ථාවක දී අපූරු සිදුවීමක් සිදු වී තිබිණි. ඔවුන් කී පරිදි එහි සිටි අයෙක් ඔවුන්ගෙන් මෙසේ අසා ඇත.

"ඔයාලා මොන රටෙන් ද?"

"ශ්‍රී ලංකාවෙන්" යැයි කියූ විට තවත් අයෙක් ඒ කොතැනදැයි අසා තිබේ. ඒ අතර අපේ මිතුරන්ට ඇසී ඇත්තේ "අප්‍රිකාවේ රටක් වෙන්න ඇති" යනුවෙන් ඒ අයගෙන් කෙනෙක් පැවසූ ආකාරයයි!

මේ ගැන අපේ අදහස වූයේ, එහි සිටි අපේ මිතුරන් දෙදෙනාගේ ස්වරූපය දැකීමෙන් ඔවුන් එවැනි මතයකට එන්නට ඇති බවයි! ඒ බැවින්, මේ කතාව කිවූ පසු ඒ දෙන්නාට අපේ පිළිතුර වූයේ "අපිත් එක්ක යන්න කියන්නෙ ඕකනේ" යන්නය.

අපේ ශ්‍රී ලාංකික අප්‍රිකානු මිතුරන් අමනාප වන්නට ඉඩ ඇති බැවින් ‌ඒ දෙන්නාගේ පින්තූර ඇස් කපා හෝ දැමිය නොහැකිය. 


හයිද්‍රාබාදයේ කෑම!


කෑම ගැන කී බැවින් හයිද්‍රාබාදයේ කෑම ගැන නොකියාම බැරිය. ඒ දින කීපය තුළ අපට විවිධ ඉන්දියානු කෑම රසවිඳින්නට ලැබිණි. ඒ සමහරක් ලංකාවේ දී ආහාරයට ගෙන තිබූ ඒවාය. තෝසේ, ඉට්ලි ඒ අතර වූ අතර ඉන්දියානු කෑමවල රසේ වෙනසක් විය. මිරිස්වලින් තැනූ මිරිචි වඩ නම් මම රසබැලුවේ එහි දීය. 

මිරිචි වඩ


කෙසේ වෙතත් ඒ අතරින් 'හයිද්‍රාබාද් බිරියානි' වඩාත් සිත්ගත් ආහාරය විය. එය ඒ තරම්ම රසවත් විය. හයිද්‍රාබාද් බිරියානි එකේ තිබූ අතුරු ආහාරයක් වුයේ කපන ලද ලොකු ලූනු හෙවත් බොම්බයි ලූනු පෙතිය. ඒ ලූනු වර්ගය එසේ ආහාරයට ගන්නටම වවන එකක් බව සිතුනේ එහි සැර අඩු නිසාය. ලංකාවේ දී ඒ හා සමාන ලොකු ලූනු හමු වී ඇත්තේ ඉතා කලාතුරකිනි (අපේ රටේ ලොකු ලූනු යනු රතු ලූනුවලට ආදේශකයක් බව මට සිතේ. දැන් තියන ලොකු ලූනු සමහරක් සුද්ද කරද්දී රතු ලූනු සුද්දකරන විට වගේ සැරය).

මේ ගමනින් වසර කීපයකට පසුව මෑත දී නාවින්නේ අවන්හලක ‌දී හයිද්‍රාබාද් බිරියානි කෑමට ලැබිණි. එය මට හයිද්‍රාබාද් ගමන සිහිපත් කළේය.   


පොල් පටවන තුන්රෝද රථ


සාමාන්‍යයෙන් අපේ රටේ නම් තුන්රෝදයක තමන්ගේ අයකු මිස නොදන්නා අයෙකු රැගෙන යන්නේ කලාතුරකිනි. එහෙත් හයිද්‍රාබාදයේ තුන්රෝද රථයක ඇතැම්විට සෙනග කතාකර‌ගෙන යන්නේ රියැදුරාය. ඒ අනුව එක් ගමනකට අඩු ගානේ හත්අට දෙනෙකු එක් වෙති. රියැදුරාගේ දෙපස ද දෙදෙනෙකු ගමන් කරති. ගමන් ගාස්තුව ද එවිට අසාධාරණ නොවන බව පැවසේ.

මෙවැනි සේවාවක් ලංකාවේ දී එක් තැනක දී පසුව දැකගතිමි. ඒ රත්මලානේගොළුමඩම හන්දිය හා බොරුපන පාලම අතරය. වරක් මා දන්නා හඳුනන මහාචාර්යවරයෙකු ඔහුගේ නිවසට පැමිණීම සඳහා මට පාර කීමේ දී එන්නට කීවේ ඒ ආකාරයටය. යද්දී පයින් ගිය මම එද්දී ඒ ආකාරයට පැමිණියෙමි.


ඒ ෂර්ට් එක


දිනක් අපට ඇඳුම් කඩ කීපයකට යන්නට අවස්ථාව ලැබිණි. එහි තිබූ ඇඳුම් අතර, රළු පෙනුමක් ඇති අඳුරු ගොාම කොළ පාට ෂර්ට් එකකට අපේ අය අතර සිටි සක්‍රිය පරිසර ක්‍රියාකාරීකයෙකු වූ තරුණයකු‌ගේ සිත ගියේය. එහි පරිසර හිතකාමී බවක් හෝ පරිසර හිතැති බවක් දැකිය හැකි වූ නිසාය. ඔහු ඒ කමිසයක් මිලට ගත්තේය. මතක හැටියට එහි මිල ඉන්දියානු රුපියල් පනහකි. එහි වූ අනෙක් ඇඳුම් ගත් විට ඒ අඩු මිලකි. 

කෙසේ වෙතත් එහි සිටි සේවිකාවන් ඒ කමිසය දීමෙන් පසු සිනාවෙමින් ඔවුන් අතර යමක් කී බව පෙනුණි. අසීරුවෙන් පසුව අසා දැනගත් පරිදි ඒ කමිස වර්ගය ඒ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ඇඳුමයි. මේ රූපයේ ඇත්තේ ඒ ඇඳුම ඇඳ සිටින හයිද්‍රාබාද් රියැදුරෙකි.

තුන්රෝද රථ රියැදුරන්ගේ ෂර්ට් එක!


උස් මිටි භේදය


අන්ද්‍රා ප්‍රදේශයේ අප නැවතී සිටි හයිටෙක් සිටි ප්‍රදේශයේ සැමතැනකම පාහේ දැකිය හැකි වූයේ එපාට්මන්ට් හෙවත් මහල් නිවාසය. ඒ තොරතුරු තාක්ෂණ දියුණුව නිසාය. එසේම ඉදිවෙමින් පවතින විවිධ ආයතන රැසක් ද දැකිය හැකි විය. කෙසේ වෙතත්, මේ මහා ගොඩනැගිලි ආසන්නයේ වූයේ කම්කරුවන් නැවතී සිටි නිවාසය. 
මේ තත්ත්වය අද වන විට වෙනස් වී ඇති දැයි නොදනිමි. 

හයිද්‍රාබාදයේ මගක් අසල දර්ශනයක්


හයිද්‍රාබාදයේ හයිටෙක් සිටි හෙවත් තොරතුරු තාක්ෂණය හා අනෙක් කර්මාන්ත සහිත ප්‍රදේශය අපේ සම්මන්ත්‍රණය පැවති ප්‍රදේශය විය. ඒ ප්‍රදේශයේ බොහෝ නව ගොඩනැගිලි තතා තිබු අතර, තවත් ගොඩනැගිලි තැනෙමින් තිබිණි. 

කෙසේ වෙතත් තාක්ෂණික දියුණුව තිබුන ද, කෘෂිකර්මය හා ගොවීන් සඳහා වැඩි සැලකිල්ලක් නොදැක්වීම නිසා ප්‍රාන්තයට ඒ දියුණුව ගෙන ආ චන්ද්‍රබාබු නායිදු 2004 දී පරාජයට පත්විය. අප එහි සිටි කාලයේ දී පවා ඇතැම් පිරිස් ඒ සිදුවීම සිහිපත් කළ ආකාරය දැකිය හැකි විය. එසේම ඒ ගැටුම ඒ කාලයේ දීද  පැවති බවක් පෙනිණි.


පාර පැනගන්න තිබ්බ අමාරුව


හයිද්‍රාබාදයේ අපට තිබූ එක් ගැටලුවක් වූයේ පාර හරහා පැනගැනීමට තිබූ අසීරුවයි. අප නිරීක්ෂණය කළ ආකාරයට පදිකයින්ට පාර පැනීම සඳහා සාමාන්‍යයෙන් වාහන නවත්වන්නේ නැත. වාහන එන අතර පරිස්සමෙන් පාර පැනගැනීමට අප දැනගත යුතුය. එවිට වාහන මදකට නවතිනු ඇත. එරට තවත් නගරවල තත්ත්වය එවැනි බව පසුව ඇසීමී. තැන් තැන්වල පාර මාරුවීම සඳහා ඉරි තිබ්බත් ජනතාව ද හැමතැනින්ම පාර මාරුවෙනු දැකිය හැකි විය. ඒ අනුව, "වාහන නතර නොකරන නිසා පදිකයින් හිතෙන හිතෙන තැන්වලින් පාර මාරුවනවාද?" නැතිනම් "පදිකයින් හිතෙන හිතෙන තැන්වලින් පාර මාරුවන නිසා වාහන නොනවත්වනවාද?" යන්න සිතාගත නොහැකි වූ ගැටලුවක් විය. ඒ ගැන නොසිතා පාර පැනීමට ඔවුන්ගේ ක්‍රමය ම භාවිත කළෙමු.

සමහරු පාර පනින්නට බලා සිටින අතර තවත් සමහරු පාර පනිති


හයිදාබාදයේ පැරණි නගරය සේ සැලකෙන සෙකුන්දරාබාද් ප්‍රදේශයේ දී ලිෆ්ට් එකක් සහිත පාර මාරුවන තැනක් දුටුවෙමි. පෙර කී ආකාරයෙන් වාහන ධාවනය වන තත්ත්වයක් තුළ එවැනි ලිෆ්ට් වැදගත් වන්නේ හුදෙක් ආබාධිතයන්ට පමණක් නොවේ. ඉන් වසරකට දෙක-තුනකට පසුව අපේ රටේ පාණදුරේ එවැන්නක් ඉදිකර තිබිණි (අන්තිමට පාණදුරේ ගිය කිහිප වතාවේ දීම එය අක්‍රිය බව දුටිමි).


බස් නවත්වන හැටි


එවැනිම තවත් අපූරු දෙයක් වූයේ බස්නවත්වන හැටිය. මංතීරු තුනක් ඇති පාරේ මැද මංතීරුවේම බස් නවත්වනු දැකිය හැකිවිය. අයිනේ සිටි මගීන් පාර මැදට ගොස් බස්වලට ගොඩ වූ ආකාරය ද දැකිය හැකිවිය.

මං තීරු තුනක් ඇති පාරේ මැද තීරුවේ නැවැත්වූ බසයක්


බස් මගී ප්‍රවාහනය

අපට ප්‍රවාහන පහසුකම් සැපයුනේ නිශ්චිත ‌වේලාවලට බැවින් ඇතැම් අවස්ථාවල අපි පොදු බස්රථවල ගමන් කළෙමු. හයිදරාබාදයේ (මෙන්ම ආන්ද්‍රා ප්‍රදේශයේම) මගී බස් ධාවනය රජය සතු සමාගමක් වන 'ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍ය මාර්ග ප්‍රවාහන සංස්ථාව' (Andhra Pradesh State Road Transport Corporation) නම් එරට රජයට අයත් සමාගමයි (ලාංඡනය බලන්න). කෙසේ වෙතත් බස් වර්ග කීපයක් මෙන්ම ගාස්තු වර්ග කීපයක්ම වූ බව අපි දුටුවෙමු. නගරයේ ඉතා හොඳ බස් සේවාවක් විය. බස්රථවල පහසුකම් කෙසේ වෙතත්, නිතර බස් ධාවනය වන බව දැකිය හැකි විය. (පසුව 2014 දී මෙම සමාගම දෙකඩ වී අද වන විට තෙලන්ගානා ප්‍රාන්තය සඳහා වෙනම සමාගමක් ක්‍රියාත්මක වේ. මේ සමාගම් දෙකේම රජය සතු බස් රථ මෙන්ම පුද්ගලික අංශයෙන් කුලියට ගත් බස් රථ ද ධාවනය වේ.)

Andhra Pradesh State Road Transport Corporation ලාංඡනය



මෙට්‍රො එක්ස්ප්‍රස් යනු සීමිත නැවතුම් ඇති නගර අතර ධාවනය ‌වන බස් රථය 


මේ බස්වල බොහෝ දුරට අපට හමු වූයේ කඩදාසි ටිකට්පත්ය. අප ගමන් කළ කිසිදු බසයත ටිකට් මැෂින් දුටු බවක් මට මතක නැත (ඒ තත්ත්වය අද වන විට වෙනස් වී තිබිය හැකිය).

ටිකට් රඳවනයක්

මේ බස්වල නිකුත් කළ ටිකට්පත් කීපයක් මෙසේය. මේවායේ සඳහන් වන ලාංඡනය ඉහත සඳහන් කළ Andhra Pradesh State Road Transport Corporation ආයතනයේය.

බස් ටිකට්පත් කීපයක්. මෙහි සඳහන් ලාංඡනය උක්ත සමාගමේය.


මේ බස්වල කාන්තාවන් සඳහා අසුන් ගණනාවක් වෙන් කර තිබිණි. කෙසේ වෙතත්, ඒවායේ කාන්තාවන් මෙන්ම පිරිමි ද ගමන් කරනු දැකිය හැකි විය. බොහෝ විට බස්වල ආසන හිස්ව තිබූ නිසා එය ඒ තරම් ගැටලුවක් නොවීය. බස් රථ ද ඕනෑ තරම් විය.

කාන්තාවන් සඳහා වෙන්කළ අසුන්


පොත් කඩේට ගිය ගමන


මගේ ගමනේ දී මට මිල දී ගැනීමට තිබූ පොත් දෙකක් මිලට ගැනීමට Orient Blackswan නම් ප්‍රකාශන ආයතනය සොයාගෙන හයිද්‍රාබාද් නගරයේ අනෙක් කෙලවරටම ගියෙමි. ඒ ගමනට අපේ නඩයේ තවත් අය ද එක් වූහ. ඒ ගමන ගියේ තුන්රෝද රියකය. පොත්කඩවලට අමතරව රෙදි කඩවලට ද නගරය බැලීමට ද එය උපකාරී විය.
ඒ පොත් සාප්පුවේ කාර්යාලය ඇතුළත දර්ශනයක්

ඉන්දියානු ගමනට කලකට පෙර සිට මා ඔවුන් සමඟ සන්නිවේදනය කර තිබූ බැවින් අප එන බව ඔවුහු දැන උන්හ. ඒ නිසා ඔවුන් අපට සැලකුයේ හුදෙක් පොත් ගන්නට ආ අය ලෙස පමණක්ම නොවේ. ලංකාවෙන් පැමිණ ඔවුන්ගේ පොත් හල සොයා පැමිණීම ගැන ඔවුන් බෙහෙවින් සතුටූ බව ද දැකිය හැකි විය. අප උනන්දු වන විෂය පිළිබඳව දැනුවත්ව ඒ සම්බන්ධ අපේ රටට ද අදාළ පොත් මොනවාද කියා පෙන්වීමට ඔවුහු කටයුතු කළහ. එපමණක් නොව අපේ රටේ ප්‍රකාශන ආයතනයකින් ඉදහිට ලැබෙන ආකාරයේ මිල අඩුකිරීමක්ද අපට ඔවුන් වෙතින් ලැබිණි.


ඉන්ස්ටන්ට් ලෑන්ස්කේප්


අප සහභාගි වූ සමුළුව පැවතියේ හයිද්‍රාබාද් නගරයේ පිහිටි විශාල සම්මන්ත්‍රණ ශාලාවකය. එම ප්‍රදේශය ආසන්නයේ මෙන්ම, ප්‍රධාන මාර්ගයේ ඒ ආසන්න ප්‍රදේශයේද මග ‌දෙපස මෙන්ම, මාර්ගය මැද දූපත් කොටස් ද මලින් පිරුණු ලොකු කුඩා පැළවලින් පිරී ගොස් තිබිණි. ඒවාට වතුර දමා නඩත්තු කරන ආකාරය ද දැකිය හැකි විය. කෙසේ වෙතත් ඒ කුඩා මල්පැළ ඉතා මෑත දී සිටවූ බව නම් පෙනෙන්නට තිබිණි.

ඉන්ස්ටන්ට් බව පෙනුණු ලැන්ඩ්ස්කේප් එකක්
 
මේ මල්වගාව ගැන අපේ උදේ-හවස සාකච්ඡා අතර ඇති වූ මාතෘකාවක් වූයේ මේ 'ඉන්ස්ටන්ට් ලෑන්ඩ්ස්කේපින්'  ඉන්දියානුවන් ලංකාවෙන් ඉගෙන ගත්තේද, නැතිනම් ලාංකිකයන් ඉන්දියාවෙන් ඉගෙන ගත්තේ ද යන්නය. ඒ කාලයේ දී මෙවැනි වැඩ කළ අපේ නායකයන්ගේ නම් ගම් ද ඒ කතාවට එක් වූ බව සඳහන් කළ යුතුය.


ජලය හා විදුලිය


ඒ කාලයේ හයිදරාබාදයේ දිවා කාලයේ විදුලි කප්පාදුවක් වූ බවක් මතකය. එහෙත් සම්මන්ත්‍රණය තිබූ ප්‍රදේශයේ එවැනි ගැටලුවක් වූයේ නැත. එසේම ජලය පිළිබඳ අර්බුදයක් ද වූ බවක් පැහැදිලි විය. බොහෝ ගොඩනැගිලි හෝටල  ආදියට ජලය සහයන ලද්දේ බවුසර් මගිනි. කෙසේ වෙතත් ජලය අවශ්‍ය පරිදි සම්පාදනය කිරීමට හෝටල් බලධාරීන් පියවර ගෙන තිබිණි.

හෝටලයකට ජලය සපයන බවුසරයක්


ගෑණු ලමයි දැක්කම හිතුන දේ - ලංකාවට නිදහස ලැබෙද්දි ඉන්දියාවට එක් නොකළෙ ඇයි?

හයිද්‍රාබාද් නගරය ඉන්දියාවෙ ප්‍රධානම IT hub එකකි. ඒ රටේ විවිධ පෙදෙස්වලින් පැමිණි තරුණ තරුණියන් එහි රැකියාවල නියුක්ත වූ බව දැකිය හැකි වුණා. අප නවාතැන් ගත් හෝටලයට එන, රෑට කෑම කන්න ගිය තැන්වල රෑ 9-10ටත් පාරේ සිටි පිරිස් අතර තරුණ-තරුණියන් බොහෝය.
ඉන්දියාවේ ගෑණු ළමයි ලස්සනයි (ඇත්ත කියන්න එපායැ). ඉතින් දවස් ගණනක් තිස්සෙ මේ සුන්දර මුහුණු දකින අපේ කණ්ඩායමේ සමහරු හිටියෙ ටිකක් වශීවෙලා හෝ ටිකක් තක්බීර් වෙලා වගේ. වරක් අපේ කණ්ඩායමේ අයෙක් මෙහෙම කීවා...
"සුද්දො අපිට නිදහස දුන්න වෙලාවෙ, ඉන්දියාවට එකතු කළේ නැහැනෙ! එහෙනං අපිත් මෙහෙනෙ!"
ඔහු ඉන් අදහස් කළේ ලංකාව එදා ඉන්දියාවෙ කොටසක් උනානම් ලංකාවෙ අයට හයිද්‍රාබාද් හා වෙනත් ඉන්දියානු නගරවලට පහසුවෙන් යන්න අවස්ථාව ලැබෙන බවයි... ඒ හුදෙක් ලස්සන ගෑණු ළමයි නිසාම රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය වචනයෙන් ‌හෝ පාවාදුන් මොහොතක් - හැබැයි විහිළුවට හා ඇති වූ දුක වහගන්න... මොකද එතැන අධිරාජ්‍ය විරෝධී වාමාංශිකයොත් හිටි නිසා!
(මේ කතාව මීට කලින් කියලා තිබ්බ එකක්.)


කියන්න බැරි කතා කීපයක් (මා විසින්ම) කපා හරින ලදි...

අදාළ මිත්‍රයන්ගේ ඉල්ලීම හේතුවෙන් මෙහි ලියන්නට බැරි කතා කීපයක් ඇති බව පමණක් මෙහි සඳහන් කරමි.‍ ඒත් ඒ සමහර කතා අපේ මිතුරන් හමුවන ඕපාදූප සැසිවාරවල දී කටගැසුම් ලෙස කියූ අවස්ථා ඇත. එහෙත් ඒ නම් ගම් රහිතවය (ඒ නිසා ඒ අය කලබල විය යුතු නැත). 


හයිදරාබාදයේ කියූ කතා (ලියු ලිපි)

1. Hyderabad The city, people and life, Nation, 04.11.2012

2. A different zoo and a village of culture at Hyderabad, The Nation, 11.11.2012

3. The Buddhist Heritage of Andhra Pradesh, The Nation, 25.11.2012


Saturday, October 1, 2022

ලිපිනයක් තේරීමේ තරම - Sorting an address

Historical Notes - ඉතිහාස සටහන් 01

ධනේෂ් විසුම්පෙරුම


තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ 1935 වර්ෂය සඳහා වූ පාලන වාර්තාවේ හයවැනි පිටුවේ, එවකට සිටි තැපැල්පතිවරයා වූ ජේ. ආර්. වෝල්ටර්ස් අපූරු කෙටි සටහනක් තබයි. ඒ තැපැල් තේරීම පිළිබඳවය. තැපැල් තේරීමේ කාර්යය සිදු කරනු ලබන්නේ තැපැල්කරුවන් විසින්ම බව පවසන ඔහු ඒ සඳහා ඔවුන්ට අතිරේක ගෙවීමක් කරනු ලබන බව කියයි. එය මාසයකට රු. 5ක් වන අතර වසර දහයක් සම්පූර්ණ වූ පසුව ඒ ගාස්තුව රු. 10 දක්වා ඉහළ නංවනු ලැබේ. විශේෂ අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත්, ඔවුන් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා තුනෙන්ම කටයුතු කරන අතර ඔවුන්ගේ කාර්යය ඉතා ප්‍රශංසනීය බව පවසන තැපැල්පතිවරයා වැරදි ලිපිනවලට ලිපි බෙදීම ගැන ඇති පැමිණිලි අඩු බව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන්ට තේරීමට සිදු වන ඇතැම් කාර්යයක් පිළිබඳව නිදසුනක් ලෙස ඔහු දක්වා ඇත්තේ එක්වරම ‌තෝරාගත නොහැකි වූ ලිපිනයක් නිවැරදි ලෙස තේරුම්ගැනීමයි. ඒ අනුව ලිපියක සඳහන් වී තිබූ ලිපිනය මෙසේය.

U. R. Kittarpiya
Pyan Bangas
Paccata Road
Bambalapitiya

තැපැල් ‌තෝරන්නවුන්ගේ දක්ෂතාවය නිසා මේ ලිපිය ද නිසි ලෙස තෝරා නිවැරදි ලිපිනයට බාර දුන් බව සඳහන් කරන තැපැල්පතිවරයා නිවැරදි ලිපිනය වාර්තාවේ වෙනත් තැනක සඳහන් කරන බව කියන්නේ පාලන වාර්තාව කියවන්නා තුළ කුතුහලයක් ජනනය කරමිනි. ලිපි තෝරන්නවුන් විසින් පැහැදිලි කරගත් නිවැරදි ලිපිනය වාර්තාවේ 24 වන පිටුවේ මෙසේ සඳහන් වේ.

U.R. Kittarpiya (servants name)
C/O P. N. Banks (DIG Police CID)
Paget Road
Bambalapitiya


කෙසේ ද ඒ තේරීම?

අදාළ සම්පූර්ණ ඉංග්‍රීසි සටහන මෙසේය.

"As in other countries, the sorting staff has difficulty occasionally in deciphering the addresses on letters. The work of sorting is done by postmen who are paid an extra sorting allowance of Rs. 5 per month, rising to Rs. 10 after ten years service and considering that they have to deal with addresses in English, Sinhalese and Tamil and that their educational attainments are by no means high the work they do is very creditable and the complaints of misdelivery are few. A letter was recently received addressed to:
U. R. Kittarpiya,
Pyan Bangas
Paccata Road
Bambalapitiya

It was correctly deciphered and delivered. Readers may wish to try their hand at interpreting it. The correct solution will be found on page E24."

"The address on the letter referred to in paragraph 18 was correctly deciphered as-
U R Kittarpiya (a servant's name)
C/o P. N. Banks Esqr (Deputy Inspector General of Police CID)
Paget Road
Bambalapitiya"

මූලාශ්‍රය - Annual Report of Post and Telegraph, 1935. p. E6, E24 

++++++++++++++++++++++++++
Historical Notes - ඉතිහාස සටහන්:- වෙනත් කාර්යයක් සඳහා කියැවීමේ දී හමුවන, සටහන් කළ යුතු වැදගත් සිදුවීම් හා සටහන් ආදිය මේ තේමාව යටතේ සඳහන් කර ඇත. මේ සඳහා විශ්වසනීය හා සමකාලීන ලේඛන යොදාගෙන ඇත. ඇතැම් මූලාශ්‍ර (උදා - පුවත්පත්) වෙනත් මූලාශුයකින් තහවුරු කරගෙන තිබේ.