Thursday, September 13, 2012

"යුරේන් රූ" - සුන්දර සිතුවම් එකතුවක්

පසුගිය සති අන්තයකදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී "යුරේන් රූ" නමින් පැවැති චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට අවස්ථාවක් ලැබිණි. අපූරු චිත්‍ර සමූහයකින් යුක්ත වූ එය එය පවත්වන ලද්දේ යුරේන් අතුකෝරල නම් අප හිතවතකු විසිනි.

මේ සිතුවම් ස්වාභාවිකවාදී ශෛලිය අනුගමනය කරමින් නිමැවූ චිත්‍ර බව පෙනුනි. මාතෘකා ලෙස ගතහොත් වනජීවන්, පරිසරය, මිනිසුන් හා ස්වාභාවික දර්ශන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථානද ඔහුගේ තෙලිතුඩට හසුව තිබිණි. මේ ස්වාභාවිකවාදී ශෛලිය නිසාම මේ චිත්‍ර රස විඳීමට මට වැඩි අවස්ථාවක්ද සැලසිණි.


සහෘදයකුට විස්තර කරන යුරේන්

යුරේන්ට පරිසරය පිළිබ‍ඳ විමසිලිමත් ඇසක් ඇති බව පෙනේ. ඔහුට ඒ ගැන උනන්දුවක් ලැබුනේ කෙසේදැයි මම දැන ගැනීමට කැමැත්තෙන් සිටියෙමි. ඒ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයෙන් ලද ආභාෂය නිසා බව ඔහු කීවේය. මීට පෙර මා දැක තිබූ ඔහුගේ චිත්‍ර ඇ‍ඳි සටහන් පොතක පිටි කිහිපයක්ද මේ ප්‍රදර්ශනයට එක්ව තිබිණි. ඒවා ඔහු පාසල් වියේදී හා ඒ ආසන්න කාලයේදී ඇති පක්ෂි සිතුවම් විය.

යුරේන් අතුකෝරල ගැනද කෙටි හෝ සටහනක් තැබීම මැනැවැයි මට සිතේ. මා ඔහු හ‍ඳුනාගත්තේ වසර කිහිපයකට පෙර වුවත් ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සාමාජිකයකු ලෙස 1990 දශකයේ මුල් භාගයේ සිට මම ඔහු නමින් දැන සිටියෙමි. පුරාවිද්‍යාව පිළිබඳ තිබූ ඇල්ම නිසා ඔහු එහි සාමාජිකත්වය ලබා ඇත්තේ පාසල් සමයේදීමය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් පුරාවිද්‍යාව පිළිබ‍ඳ විශේෂ උපාධිය හා කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද හාදාරා තිබේ. මේ වන විට ඔහු ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරයි.

මේ පසුබිම මැද ඔහුට තව බොහෝ දුර යා හැකි බව සිතමි. එලෙසින්ම පතමි. (කැමරාව තවමත් මට නුහුරු නිසා මේ ඡායාරූප එතරම් හොඳ තත්ත්වයේ නොතිබිය හැකිය.)

ධනේෂ් විසුම්පෙරුම
2012-08-22

Monday, September 3, 2012

ජගත් පරිසර විමසුම 138 (Global Environmental Watch, 138)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-08-29, පි. 11 (Vidusara, 2012-08-29 p.11)
Vidusara: http://www.vidusara.com/2012/08/29/feature3.html


විමසුම - පර්යටන පක්‌ෂීන්ට ඇති තර්ජන පිළිබඳ විමසීමක්‌
පුවත් සැකෙවින් - ආක්‌ටික්‌ සාගර අයිස්‌ වාර්තාගත අඩුවීමක?/ උතුරු ඇමෙරිකානු වායු දූෂකවලින් අඩක්‌ වෙනත් රටවලින්/ දේශගුණ වෙනස්‌ වීම වවුලන්ටත් බරපතළයි

විමසුම
පර්යටන පක්‌ෂීන්ට ඇති තර්ජන පිළිබඳ විමසීමක්‌

අපේ පරිසරයේ ජීවත් වන පක්‌ෂීන් අතරින් පර්යටන පක්‌ෂීන් මිනිසුන් ගේ විශේෂ අවධානයකට ලක්‌ ව ඇති පක්‌ෂි කාණ්‌ඩයකි. ඔවුන් ගේ පර්යටන රටාවේ ඇති විශේෂත්වය ම මේ අවධානය සඳහා හේතු වේ. මිනිසුන් විසින් තනාගැනුණු දේශසීමා හා මායිම් මේ පර්යටනය සඳහා කිසිදු බලපෑමක්‌ ඇති නො කරන අතර ඔවුහු තම අභිජනන බිම් හා පර්යටන සමයේ වාසය කරන බිම් අතර වාර්ෂිකව පර්යටනය කරති. එහෙත් මේ පක්‌ෂීන් ගේ පැවැත්ම සඳහා ප්‍රදේශ දෙකේ ම අදාළ පරිසර පද්ධති ආරක්‌ෂා වීම වැදගත් ය. මේ නිසා ඔවුන් ගේ පර්යටන භූමි ප්‍රදේශ ආරක්‌ෂා කිරීම පිළිබඳව ද ලෝකයේ අවධානය යොමු වී ඇත. තෙත්බිම් ආරක්‌ෂා කිරීම පිළිබඳ රම්සා සම්මුතිය ඇති වන්නේ මේ පර්යටන පක්‌ෂීන් සම්බන්ධව ඇති වූ අවධානය නිසා ය. එසේ ම පර්යටනය කරන ජීවී විශේෂ පිළිබඳ සම්මුතිය (බොන් සම්මුතිය) මෙවැනි ජීවී විශේෂ සම්බන්ධ පොදු ගිවිසුමක්‌ ලෙස හැඳින්විය හැකි ය.

ලෝකයේ මෙවැනි සම්මුති හා විවිධ වැඩසටහන් තිබුණ ද මේ පක්‌ෂි කාණ්‌ඩය තර්ජනයකට ලක්‌ ව තිබේ. පසුගිය දා ප්‍රකාශයට පත් සමාලෝචනයක ප්‍රතිඵලවලට අනුව වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන පර්යටන පක්‌ෂීන් ගේ පැවැත්මට බලපාන සාධක ගණනාවක්‌ තිබේ. මෙහි දී සෞම්‍ය කලාපීය ප්‍රදේශවල අභිජනනය කරන හා තෙත්බිම් ප්‍රදේශවල සිසිර සෘතුව ගත කරන පක්‌ෂි විශේෂ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පක්‌ෂි විශේෂවලට බලපාන සාධක 45ක්‌ පමණ මේ පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ බලපෑම් ස්‌වාභාවික, දිගුකාලීන, වර්තමාන මානව කටයුතු හා අනාගත තර්ජන ලෙස කාණ්‌ඩගත කර ඇත.

ස්‌වාභාවික තර්ජන හා ක්‍රමික වෙනස්‌ වීම්

පර්යටන පක්‌ෂීන් මුහුණ දෙන ස්‌වාභාවික තර්ජන පහක්‌ මෙහි දී සමාලෝචනයට ලක්‌ කර තිබේ. මේ අතර මුල්තැනක්‌ ගන්නේ මහා සුනාමි තත්ත්වවල දී පරිසර පද්ධතිවලට ඇති විය හැකි හානිය විශාල වීම ය. එසේ ම ගිනි කඳු පිපිරීම් නිසා ද මේ පක්‌ෂීන්ට වාසස්‌ථාන වන කුඩා දූපත් ආදිය විනාශ වීමට හැකි ය. භූමිකම්පා මඟින් ඩෙල්ටා ප්‍රදේශ හා අන්තර් උදම් කලාප පවා විතැන් විය හැකි අතර එවැනි සිදුවීමක්‌ ඇතැම් විට පර්යටන පක්‌ෂීන් ගේ වාසස්‌ථාන වෙනස්‌ කිරීමට බලපෑමට ඉඩ තිබේ. එමෙන් ම කුණාටු වැනි තත්ත්ව නිසා මේ පක්‌ෂීන්ට වැදගත් වන භූමි ප්‍රදේශ විනාශ විය හැකි ය.

මේ අතර ක්‍රමිකව සිදු වන වෙනස්‌වීම් අතර වැදගත් තැනක්‌ ගන්නා බලපෑමක්‌ ලෙස කලාපීය වශයෙන් සිදු වන දේශගුණ වෙනස්‌ වීම හඳුනාගෙන තිබේ. මේ නිසා පක්‌ෂීන්ට ඇති වන අහිතකර තත්ත්ව බොහෝ සේ ප්‍රකට ඒවා ය. දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇති වන මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා වෙරළාශ්‍රිත පක්‌ෂීන් ගේ ගොදුරුබිම් හා වාසස්‌ථාන විනාශ වීමට හා වෙනස්‌ වීමට ඉඩ තිබේ. ඉහළ යන මුහුදු මට්‌ටම සමඟ ගොඩබිම තුළට වන්නට නව අන්තර් උදම් කලාපයක්‌ ඇති වීමට ඇති අවස්‌ථාව බොහෝ ප්‍රදේශවල මේ වන විට දැකිය හැකි මානව සංවර්ධන කටයුතු නිසා සීමා වී තිබේ.

වර්තමාන මානව මූලික තර්ජන

වර්තමානයේ ඇති වී තිබෙන මානව මූලික තර්ජන විසි එකක්‌ හඳුනාගෙන තිබේ. ඒ අතර වඩා වැදගත් වන්නේ, කෘෂිකර්මයේ වර්ධනය, වෙරළබඩ තෙත්බිම් හා උදම් කලාප මානව සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම හා වෙරළබඩ පරිසර පද්ධතිවල දැකිය හැකි සුපෝෂණයයි.

මේ අතරින් කෘෂිකාර්මික කටයුතුවල දැකිය හැකි වර්ධනය නිසා ඇතැම් පක්‌ෂි වාසභූමි වෙනස්‌ වී තිබේ. එවැනි ප්‍රදේශවලට හුරු වීමට නොහැකි පකෂීන් වඳ වී යා හැකි ය. එසේ ම කෘෂිකර්මයේ දී යොදාගන්නා ඇතැම් නව තාක්‌ෂණික ක්‍රමවේද පක්‌ෂීන්ට බලපෑමට ඉඩ තිබේ. නිදසුනක්‌ ලෙස අඩු ජල ප්‍රමාණයක්‌ මගින් සිදු කරනු ලබන වී වගාව නිසා පක්‌ෂි වාසස්‌ථාන අඩු වූ අවස්‌ථා වාර්තා වේ.

මානව කටයුතු සඳහා යොදාගෙන ඇති වෙරළබඩ පරිසර පද්ධති අතර කඩොලාන බිම් හා උදම් ප්‍රදේශ හා වෙනත් එවැනි පරිසර පර්යටන පක්‌ෂීන්ට වැදගත් පරිසර පද්ධති වේ. මේවා ලුණු ලේවා, ජලජීවී වගාව හා ගොඩනැඟිලි මානව ඉදි කිරීම් සඳහා යොදාගැනීම ඉහළ ගොස්‌ තිබේ. එසේ ම පරිසර දූෂණය ද අහිතකර බලපෑමක්‌ ඇති කළ හැකි සාධකයකි.

වෙරළබඩ පරිසර පද්ධති සුපෝෂණයට ලක්‌ වීම ද පක්‌ෂීන්ට අහිතකර වේ. මේ නිසා ඇති වන අසමතුලිතතාව පක්‌ෂීන්ට අයෝග්‍ය විය හැකි ය. මේවා හැර, දඩයම් කිරීම, ආක්‍රමණික ජීවී විශේෂ හා මේ පක්‌ෂීන් ගේ ගොදුරු පරිසරයෙන් ඉවත් කිරීම ද මේ ජීවීන්ට තර්ජනයක්‌ වේ.

අනාගත තර්ජන

මේ අතර උක්‌ත අධ්‍යයනයේ දී අවධානය යොමු වී ඇති සාධක වර්ගයක්‌ ලෙස අනාගතයේ දී තර්ජනයක්‌ විය හැකි සාධක දැක්‌විය හැකි ය. එවැනි සාධක 13 ක්‌ හඳුනාගනෙ තිබේ. නිදසුනක්‌ ලෙස මිලිමීටර් 5ට අඩු ප්‍රමාණයේ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය ඉහළ යැම නිසා පක්‌ෂීන් ගේ ආහාර දාමයේ යම් යම් වෙනස්‌වීම් ඇති වේ. එසේ ම මිනිසුන් විසින් වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඇති කරනු ලබන නව විනෝදාත්මක කටයුතු ද අනාගත තර්ජනයක්‌ විය හැකි ය.

මේ අධ්‍යයනය මගින් පර්යටන පක්‌ෂීන් ගේ අනාගතය පිළිබඳව වැදගත් පණිවිඩයක්‌ ලබා දෙන බව පෙනේ. ඒ නිසා අදාළ ගැටලු අවම කිරීමට කටයුතු කළ හැකි ය. එසේ ම ක්‍රමවේද යොදාගනිමින් අනෙක්‌ පක්‌ෂි කාණ්‌ඩ සඳහා ද මේ ආකාරයෙන් යම් ඇගැයීමක්‌ සිදු කළ හැකි නම් වැදගත් බව උක්‌ත අධ්‍යයනයේ දී පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය( Mammal Review, DOI:
10.1111/j.1365-2907.2012.00214.x)

පුවත් කෙටියෙන්

ආක්‌ටික්‌ සාගර අයිස්‌ වාර්තාගත අඩුවීමක?

ඉදිරි සති කිහිපයක කාලය තුළ ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ ඇති අයිස්‌ මට්‌ටම මෙතෙක්‌ වාර්තාවූ අඩු ම මට්‌ටම දක්‌වා පහළ යැමට ඉඩ ඇති බව පසුගිය සතියේ වාර්තා විය. ලෝකයේ උතුරු අර්ධගෝලයේ ග්‍රීෂ්ම සෘතුව පවත්නා කාලය තුළ ඇති වන මේ අයිස්‌ දිය වීම සැම වර්ෂයක දී ම දැකිය හැකි ය. මෙතෙක්‌ වාර්තා වී ඇති අඩු ම මුහුදු අයිස්‌ ප්‍රමාණය වාර්තා වී තිබුණේ 2007 වර්ෂයේ දී ය. එහෙත් ඉදිරි දින තුළ මේ තත්ත්වය ඇති විය හැකි ය. මේ වන විට ආක්‌ටික්‌ සාගර කලාපයේ වේගවත් අයිස්‌ දියෑවීමක්‌ දැකිය හැකි ය. ඒ අනුව ග්‍රීෂ්ම සෘතුව අවසන් වී නැවත අයිස්‌ සෑදීම ආරම්භ වීමට පෙර දියෑවෙන උපරිම මට්‌ටම වාර්තාගත මට්‌ටමට ළඟා වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.

මේ තත්ත්වය සඳහා ගෝලීය උණුසුම් වීම බරපතළ ආකාරයෙන් බලපාන බව පැහැදිලි ය. මේ තත්ත්වය හා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම අතර පැහැදිලි සම්බන්ධයක්‌ තිබේ. අප යළි යළිත් පෙන්වා දී ඇති ආකාරයට මේ තත්ත්වය වැළැක්‌වීමට කිසිදු පියවරක්‌ ගෙන නොමැති වීම ලෝකය හමුවේ ඇති අභියෝගයයි.

උතුරු ඇමෙරිකානු වායු දූෂකවලින් අඩක්‌ වෙනත් රටවලින්

උතුරු ඇමෙරිකාවේ වායු දූෂණය සහ දේශගුණ වෙනස්‌ වීම සඳහා බලපාන වාතිලන අංශුවලින් අඩක්‌ පමණ ප්‍රමාණයක්‌ වෙනත් මහාද්වීපවල ජනනය වන ඒවා බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මේ අතරින් වැඩි ප්‍රමාණය කාර්මික වායු දූෂක නො ව දූවිලි බව ද මෙහි දී හෙළි වී තිබේ.

චන්ද්‍රිකා තාක්‌ෂණය යොදාගනිමින් වායු දූෂක පිළිබඳව සිදු කර ඇති මේ පර්යේෂණය අනුව වෙනත් කලාපවලින් පැමිණෙන දූවිලි අංශු උතුරු ඇමෙරිකාවේ දී වායු ගෝලයේ ඉහළ මට්‌ටම්වලට යම් බලපෑමක්‌ ඇති කරයි. ඒ අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව හා මැද පෙරදිග කලාපයේ ජනනය වන දූවිලි උතුරු ඇමෙරිකානු ප්‍රදේශවලට පැමිණේ. මේ අතරින් සියයට 87.5ක්‌ ම පැසිපික්‌ කලාපය හරහා පැමිණෙන බව අනාවරණය වී ඇත.

මෙහි දී වැදගත් කරුණු දෙකක්‌ තිබේ. ඉන් පළමුවැන්න උතුරු ඇමෙරිකානු රටවල වායු දූෂණය පාලනයෙන් පමණක්‌ වාතිලයන අංශු මගින් වන වායු දූෂණය වැළැක්‌වීම අසීරු වීම ය. අනෙක්‌ කරුණ වන්නේ ආසියානු රටවල කාර්මික වායු දූෂණයට වඩා වැඩි වාතිලන අංශු ප්‍රමාණයක්‌ කාලගුණ තත්ත්ව හා කාන්තාරණය නිසා ජනනය වීම ය. (මූලාශ්‍රය( Science, DOI: 10.1126/science.1217576)

දේශගුණ වෙනස්‌ වීම වවුලන්ටත් බරපතළයි

දේශගුණ වෙනස්‌ වීම වවුල් විශේෂ අතරින් විශාල සංඛ්‍යාවක ගේ පැවැත්ම සඳහා ඉදිරියේ දී දැඩි බලපෑමක්‌ එල්ල කළ හැකි බව පසුගිය දා පළ වූ අධ්‍යයනයකින් හෙළි කර තිබේ. යුරෝපීය හා වයඹදිග අප්‍රිකානු ප්‍රදේශවල ජීවත් වන වවුල් විශේෂ යොදාගත් මේ අධ්‍යයනයට අනුව උෂ්ණත්වය ඉහළ යැම මේ වන විට ද වවුල් විශේෂ ගණනාවකට ගැටලුවක්‌ බවට පත් ව තිබේ.

වවුලන් ගේ ජීවිතයේ බොහෝ අංශ සඳහා වෙනස්‌ වන පාරිසරික තත්ත්ව බලපානු ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් වවුලන් ගේ ආහාර ගැනීම, ශිශිරතරණය, ප්‍රජනනය, වර්ධනය හා ව්‍යාප්තිය වැනි අංශ සඳහා බලපෑම් ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, දේශගුණ වෙනස්‌ වීම නිසා ඉහළ යන ජල ආතතියක්‌ ඇති ප්‍රදේශවල ජීවත් වන වවුල් විශේෂවලට ජලය සොයා වැඩි දුරක්‌ පියැඹීමට සිදු වීම දැක්‌විය හැකි ය. එසේ ම කෘමීන් ආහාරයට ගන්නා විශේෂවලට ද ආහාර සොයාගැනීම සඳහා වැඩි ප්‍රදේශයක්‌ පුරා ගමන් කිරීමට සිදු විය හැකි ය.

මේ ආකාරයෙන් වවුලන් දේශගුණ වෙනස්‌ වීමෙන් වැඩි බලපෑමට ලක්‌ වීම සඳහා විශේෂයෙන් හේතු වන කරුණු ගණනාවක්‌ තිබේ. ඉන් එකක්‌ වන්නේ ඇතැම් විශේෂවල ව්‍යාප්තිය කුඩා ප්‍රදේශයකට සීමා වීම ය. නිදසුනක්‌ ලෙස මේ සතුන් ඇතැම් විට උස්‌ උන්නතාංශයක හෝ අක්‌ෂාංශ ප්‍රදේශවල වාසය කිරීම දැක්‌විය හැකි ය. එසේ ම ඇතැම් වවුල් විශේෂවල ව්‍යාප්තිය සඳහා ඇති අවස්‌ථා සීමාසහිත වීම ද මෙවැනි කරුණු අතර වේ. ඉදිරියේ දී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සමඟ මේ තර්ජන තවත් බරපතළ වීමට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් අඩු අවධානයකට ලක්‌ ව සිටින වවුලන්, ක්‌ෂීරපායී විශේෂ අතර වැදගත් පාරිසරික සේවාවක්‌ ඉටු කරන ජීවී විශේෂ කාණ්‌ඩයකි. ඇතැම් විට මේ සේවා මිනිසාට සුවිශේෂ වැදගත්කමකින් යුක්‌ත ය. නිදසුනක්‌ ලෙස ඇතැම් භෝගවල පුෂ්ප පරාගණය වවුලන් විසින්ම සිදු වේ. එසේ ම ඇතැම් හානිකර කෘමි විශේෂ ආහාරයට ගැනීම මගින් පරිසරයේ සමතුලිතතාවක්‌ ඇති කිරීමට ද වවුලෝ දායක වෙති. එසේ නම් මේ අපූරු සත්ත්ව කාණ්‌ඩය

රැකගැනීම සඳහා කඩිනම් පියවරක්‌ ගැනීම වැදගත් වේ. වවුලන් අනාගතයේ දී දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව සිදු කරනු ලබන ඇගැයීම්වල දී වවුලන් පිළිබඳව ද කිසියම් වැඩි අවධානයක්‌ යොමු කිරීම වැදගත් බව මේ පර්යේෂණයෙන් අවධාරණය කරන ප්‍රධාන කරුණකි. (මූලාශ්‍රය( Mammal Review, DOI: 10.1111/j.1365-2907.2012.00214.x)

http://www.vidusara.com/2012/08/29/feature3.html

Thursday, August 23, 2012

ජගත් පරිසර විමසුම 137 (Global Environmental Watch, 137)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-08-22, පි. 11 (Vidusara, 2012-08-22 p.11)
http://www.vidusara.com/2012/08/22/feature3.html


විමසුම - නාය යැම්වලින් සිදු වන ජීවිත හානි අනතුර අඩු තක්‌සේරුවක
ප්‍රමුඛ පුවත - හුදෙකලා වූ වනාන්තරවල ක්‌ෂීරපායීහු වඳ වෙති
පුවත් සැකෙවින් - ආක්‌ටික්‌ ප්‍රදේශයේ අයිස්‌ දිය වීමත් වේගවත්/ ෆුකුෂිමා ඛේදවාචකයේ සෞඛ්‍ය බලපෑම්/ බ්‍රසීලයේ ආන්දෝලනාත්මක වේල්ලේ ඉදි කිරීම් අත්හිටුවයි



විමසුම

නාය යැම්වලින් සිදු වන ජීවිත හානි අනතුර අඩු තක්‌සේරුවක

නාය යැම් යනු ලෝකයේ දැඩි ලෙස සාකච්ඡාවට ලක්‌ වන ස්‌වාභාවික ආපදා වර්ගයකි. විශේෂයෙන් වර්ෂා සමයේ දී ඇති වන මේ ස්‌වාභාවික ආපදාව සඳහා මානව කටයුතු ද සැලකිය යුතු තරමින් හේතු වේ. විශේෂයෙන් අවිධිමත් භූමි භාවිතය මෙවැනි තත්ත්වයක්‌ සඳහා හේතු වන කරුණකි. මෙය ශ්‍රී ලංකාවේ අපට ද එතරම් නුපුරුදු ආපදාවක්‌ නො වේ. විශේෂයෙන් අධික වැසි කාල සමයේ දී නාය යැම් පිළිබඳව සිදු කරන අනතුරු හැඟවීම් අපට අසන්නට ලැබේ.

මේ ස්‌වාභාවික ආපදාව නිසා සිදු වන මානව ජීවිත හානි ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඉන් පෙනෙන වැදගත් ම කරුණ නම් නාය යැම් නිසා සිදු වන ජීවිත හානි ප්‍රමාණය පිළිබඳව අඩු තක්‌සේරුවක්‌ පවතින බව පෙන්වා දීම ය. එසේ ම නාය යැම් අවදානම අධික ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ද මේ අධ්‍යයනයෙන් උත්සාහ දරා තිබේ. ඊට ශ්‍රී ලංකාව ද අයත් වීම අපට වැදගත් කරුණකි.

නාය යැම්වල ජීවිත හානි කිහිප ගුණයකින් අධිකයි

මේ අධ්‍යයනය දිගුකාලීන දත්ත යොදාගෙන ඇති අධ්‍යයනයකි. එහි දී 2004 සිට 2010 අතර අවුරුදු හතක පමණ කාලය තුළ නාය යැම් නිසා සිදු වූ මරණ ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කර තිබේ. මේ කාලයේ දී නාය යැම් නිසා මිය ගිය මිනිසුන් ගණන පිළිබඳව මින් පෙර පැවැති ඇස්‌තමේන්තුව වූයේ 3000-7000 අතර ප්‍රමාණයකි. එහෙත් මේ අධ්‍යයනයේ දී මේ කාලය තුළ සිදු වූ නාය යැම්වලින් ඇති වූ හානිය පිළිබඳව නැවත විමසීමක්‌ සිදු කර ඇත. ඒ අදාළ සිදුවීම් පිළිබඳව දත්ත සමුදායක්‌ ඇති කිරීමෙනි. එහි දී භූමිකම්පා වැනි සිදුවීම්වලින් ඇති වූ නාය යැම් පිළිබඳව නො සලකා හැර තිබේ.

අධ්‍යයනයෙන් අනාවරණය වන කරුණු අනුව මේ වසර හතක කාලය තුළ ලෝකයේ සිදු වූ මාරක නාය යැම් 2620කින් මිය ගිය පුද්ගලයන් ගේ ප්‍රමාණය 32,322ක්‌ පමණ තරම් බව හෙළි වී තිබේ. එය කලින් සිතූ ප්‍රමාණය දස ගුණයක්‌ පමණ ඉහළ ය. මෙසේ නාය යැම්වලින් සිදු වන මරණ ප්‍රමාණය අඩුවෙන් වාර්තා වීමට හේතුවක්‌ වී ඇත්තේ බොහෝ නාය යැම්වලින් සිදු වන මරණ ප්‍රමාණය 10කට වඩා අඩු වීම ය. දත්ත එකතු කිරීමේ දී මරණ 10ට වඩා අධික ප්‍රමාණයක්‌ වාර්තා වූ සිදුවීම් පමණක්‌ වාර්තා වීම මෙවැනි සිදුවීම්වලට හේතු විය හැකි බව පෙන්වා දී ඇත. එසේ ම මේ අගය පවා අඩු තක්‌සේරුවක්‌ විය හැකි බව ද මේ පිළිබඳව සිදු කරන ලද සාකච්ඡාවල දී දක්‌වා තිබේ.

නාය යැම් සඳහා හේතු වන ප්‍රධාන සාධක වන්නේ කාලගුණ රටාව, වන විනාශය හා අවදානම් සහිත ප්‍රදේශවල ජන ඝනත්වයෙන් අධික මානව ජනාවාස පැවතීම බව ද මේ වාර්තාවේ පෙන්වා දී තිබේ. මේ අනුව අධික වර්ෂාපතනයකට ලක්‌ වන අධික බෑවුම් සහිත හා අධික ජනගහනයකින් යුක්‌ත ප්‍රදේශ නාය යැම්වල වැඩි බලපෑමකට ලක්‌ වීමට ඉඩ තිබේ. විශේෂයෙන් මේ කලාපයේ මෝසම් වැසිවල ප්‍රබලතාව නාය යැම් සඳහා බලපාන ප්‍රධානතම හේතුවකි.

මේ අධ්‍යයනයෙන් අනාවරණය වන කරුණු අනුව නාය යැම් යනු ගෝලීය මට්‌ටමේ ස්‌වාභාවික ආපදාවක්‌ සේ සැලකිය යුතු බව අවධාරණය කර තිබේ.

නාය යැම් අවදානම අධික ප්‍රදේශ - ශ්‍රී ලංකාවත් එකක්‌

මේ අධ්‍යයනයේ නිගමන අතර නාය යැම් අවදානම අධික වන ප්‍රදේශ හඳුනාගැනීම සඳහා විශේෂ අවධානයක්‌ යොමු වී තිබේ. නාය යැම්වලින් ජීවිත හානි වැඩි ප්‍රමාණයක්‌ සිදු වන්නේ ආසියාවේ ය. මින් වැඩි ආපදා ප්‍රමාණයක්‌ සිදු වන්නේ රටවල් ගණනාවකට අයත් වන හිමාලය කඳුකර ප්‍රදේශයේ ය. විශේෂයෙන් හිමාලයේ දකුණු ප්‍රදේශය නාය යැම් අවදානම අධික ප්‍රදේශයකි. එසේ ම චීනයේ ප්‍රදේශ දෙකක්‌ හා ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරය, ඉන්දුනීසියාවේ ප්‍රදේශ ද මේ අවදානම අධික ප්‍රදේශ අතර වේ. ශ්‍රී ලංකාව ද මෙවැනි නාය යැම් අවදානම අධික ප්‍රදේශයක්‌ ලෙස මේ වාර්තාවේ ඇතුළත් වේ. අනෙක්‌ කලාපවලින් වැඩි ම අවදානමක්‌ ඇති ප්‍රදේශ වන්නේ දකුණු ඇමෙරිකාවේ හා හයිටි දේශයේ ප්‍රදේශ කිහිපයකි.

මේ නාය යැම් අවදානම අධික ප්‍රදේශ හඳුනාගත හැකි වීමේ ඇති වැදගත්කම විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ඒ අනුව අදාළ රටවල හා ප්‍රදේශවල බලධාරීන්ට නාය යැම් අවදානම අධික ප්‍රදේශ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ හැකි ය. විශේෂයෙන් ඒ ප්‍රදේශවල භූමි භාවිතය සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් ය. නාය යැම් සඳහා හේතු වන වනාන්තර විනාශය මෙන්ම නාය යැම් නිසා ඇති වන ජීවීත හානි ප්‍රමාණය ඉහළ යැමට හේතු වන ලෙස අධික බෑවුම් සහිත ප්‍රදේශවල මානව ජනාවාස පිහිටුවීම ද පාලනය කිරීමට කටයුතු යෙදීමට බලධාරීන්ට ක්‍රියා කළ හැකි ය. මේ නිසා අපේ සාකච්ඡාවට ලක්‌ වූ පර්යේෂණයෙන් එවැනි අවස්‌ථාවක්‌ ද සපයා දී ඇති බව සඳහන් කළ යුතු ය. (මූලාශ්‍රයGeology,DOI: 10.1130/G33217.1&)

ප්‍රමුඛ පුවත
හුදෙකලා වූ වනාන්තරවල ක්‌ෂීරපායීහු වඳ වෙති

නිවර්තන කලාපීය වනාන්තර අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ තැනින් තැන හුදකලාව ඉතිරි ව ඇති කුඩා ප්‍රමාණයේ වනාන්නතර වේ. මේ වනාන්තර දිගු කාලයක්‌ තිස්‌සේ සිදු වූ වන විනාශයෙන් ඉතිරි වූ පරිසර පද්ධති ය. මේවායේ ජීවත් වන ක්‌ෂීරපායින් පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් ගෙන් විශාල ප්‍රමාණයක්‌ වඳ වීමට ලක්‌ වෙමින් ඇති බව ය.

බ්‍රසීලයේ අත්ලාන්තික්‌ වනාන්තර පිළිබඳව සිදු කරන ලද මේ අධ්‍යයනයයේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ වනාන්තර කැබැලි බවට පත් වීම හා දඩයම නිසා එහි නිවර්තන ජෛවවිවිධත්වයට දිගුකාලීන වශයෙන් ඇති වී තිබෙන බලපෑමයි. මේ අත්ලාන්තික්‌ වනාන්තරවලින් සියයට 90ක්‌ පමණ මේ වන විට විනාශ වී ඇති අතර ඉතිරි ව ඇති ඇතැම් වනාන්තර ඉතා කුඩා ඒවා ය. එවැනි හුදකලා වනාන්තර 196ක භූදර්ශනයේ මිනිසුන් විසින් සිදු කෙරී ඇති වෙනස්‌කම් හා වෙනත් බලපෑම් මගින් විශාල ක්‌ෂීරපායී සත්ත්වයන්ට ඇතිවිය හැකි බලපෑම් අවධානයට ලක්‌ ව තිබේ. මේ සඳහා වනජීවීන් පිළිබඳව සිදු කරන ලද සමීක්‌ෂණ හා සම්මුඛ සාකච්ඡා ආදිය භාවිත කර තිබේ.

එහි දී අනාවරණය වී ඇත්තේ අදාළ වනාන්තරවල දැකිය හැකි වූ වනගත ජීවී විශේෂ බෙහෙවින් වඳ වී ගොස්‌ ඇති බව ය. අනාවරණය වූ අන්දමට මේ වනාන්තරවල ස්‌වාභාවිකව වාසය කරන ක්‌ෂීරපායී විශේෂ 18ක්‌ අතරින් අධ්‍යයනයට ලක්‌ කළ කුඩා වන ප්‍රදේශවල සාමාන්‍යයෙන් දැකිය හැක්‌කේ විශේෂ 3.9ක්‌ පමණකි.

කෘෂිකර්මය වැනි මානව කටයුතු නිසා වනාන්තර මේ ආකාරයෙන් කැබැලිකරණය වී හුදකලා වීම සිදු වේ. ඉතිරි ව ඇති ප්‍රාථමික වනාන්තරවලින් සංරක්‌ෂණයට ලබා දෙන දායකත්වය ඇතැම් විට වාද විවාදවලට ලක්‌ වූවකි. මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ මෙවැනි කැබැලි වූ වනාන්තරවලින් ඉහළ ජෛවවිවිධත්වයකට වාසස්‌ථාන සපයා දෙනු ඇතැයි අපේක්‌ෂා කළ ද, එවැන්නක්‌ සඳහා මේ වන ප්‍රදේශවල සිදු වන දඩයම් කිරීම තදින් පාලනය කළ යුතු බව ය. කෙසේ වෙතත්, ශාක වැනි ජීවීන් ගේ සංරක්‌ෂණය සඳහා මේ හුදකලා වන බිම්වලින් ප්‍රයෝජනයක්‌ නොමැති බවක්‌ මින් අදහස්‌ නො කෙරේ. (මූලාශ්‍රයPLoSONE,DOI:10.1371/journal.pone.0041671)


පුවත් සැකෙවින් 
ආක්‌ටික්‌ ප්‍රදේශයේ අයිස්‌ දිය වීමත් වේගවත්

උතුරු අර්ධගෝලයේ ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ දැකිය හැකි අයිස්‌ දිය වීම සාමාන්‍යයෙන් අපේක්‌ෂා කළ මට්‌ටමට වඩා වේගවත් බව යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ චන්ද්‍රිකාවකින් ලබාගත් දත්ත අනුව පෙනේ. මේ අනුව 2004 වර්ෂයෙන් පසුව මේ ප්‍රදේශයේ වර්ෂයකට අයිස්‌ ඝන කිලෝමීටර 900ක්‌ පමණ දිය වේ. ඒ අගය මෙතෙක්‌ ඉදිරිපත් කර තිබූ පුරෝකථන බොහොමයකින් දක්‌වා තිබූ අයිස්‌ දිය වීමේ වේගයට වඩා සියයට 50කින් පමණ අධික ය.

ආක්‌ටික්‌ ප්‍රදේශය ලෝකයේ වෙනත් ප්‍රදේශවලට වඩා වේගයෙන් උණුසුම් වන බව පෙන්වා දී ඇත. එසේම අයිස්‌ දිය වීමත් සමඟ නිරාවරණය වන සාගරය මගින් වැඩි තාපයක්‌ අවශෝෂණය කර ගන්නා නිසා උණුසුම වැඩි වීම තවත් වේගවත් වීමට ද ඉඩ තිබේ. කෙසේ වෙතත් මේ තත්ත්වය දේශගුණ වෙනස්‌ වීමේ සෘජු ප්‍රතිඵලයක්‌ ද නැත හොත් ස්‌වාභාවික සාධකවල බලපෑම ද ඊට අයත් ද යන්න ගැන ගැටලුවත් ව තිබේ. මෑත දී ග්‍රීන්ලන්තයේ අයිස්‌ තට්‌ටු වේගයෙන් දිය වූ බව වාර්තා විය.

ෆුකුෂිමා ඛේදවාචකයේ සෞඛ්‍ය බලපෑම්

2011 වර්ෂයේ දී ජපානයේ සිදු වූ ෆුකුෂිමා ඛේදවාචකයේ සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අවධානය යොමු කළ පර්යේෂණ වාර්තා දෙකක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඉන් එකක අවධානය යොමු ව තිබුණේ අදාළ ඩයිච් බලාගාරයේ සේවකයන් ගේ මානසික තත්ත්වය පිළිබඳව ය. එහි දී හෙළි ව තිබූ පරිදි, අනතුරින් මාස තුනක පමණ කාලයකට පසු වත් අනතුරට ලක්‌ නො වූ බලාගාරයක සේවකයන්ට වඩා අදාළ අනතුරට ලක්‌ වූ න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් මානසික පීඩාවකට ලක්‌ ව සිට ඇත.

දෙවැනි අධ්‍යයනය සිදු කර ඇත්තේ අදාළ බලාගාරයට කිලෝමීටර් 22ක්‌ පමණ උතුරින් පිහිටා ඇති මිනාමිසෝමා නම් නගරයේ වැසියන් නිරාවරණය වී තිබූ සීසියම් මට්‌ටම පිළිබඳව ය. මේ නගරයේ ජනතාව අනතුරු අවස්‌ථාවේ ඉවත් කරනු ලැබූ අතර 2011 අගෝස්‌තු මාසය වන විට ඉන් අඩක පමණ පිරිසක්‌ ආපසු පැමිණ තිබිණි. ඉන්පසු මාස හයක කාලයක්‌ තිස්‌සේ කළ මේ අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇත්තේ මේ පිරිස විකිරණවලට නිරාවරණය වීම අඩු බව ය. මේ දක්‌වා සෞඛ්‍ය ගැටලු ද වාර්තා වී නැතත්, ඔවුන් ගේ සෞඛ්‍යය පිළිබඳව දිගට ම අවධානය යොමු කළ යුතු බව ද මෙහි සඳහන් වේ. (මූලාශ්‍රය Journalof American Medical Association, DOI:10.1001/jama.2012.9699 yd 10.1001/jama.2012.9839)

බ්‍රසීලයේ ආන්දෝලනාත්මක වේල්ලේ ඉදි කිරීම් අත්හිටුවයි

බ්‍රසීලයේ ඉදි කිරීමට නියමිත වූ වේල්ලක ඉදි කිරීමේ කටයුතු අත්හිටුවීමට බ්‍රසීලයේ අධිකරණයක්‌ තීරණය කර තිබේ. බෙලෝ මොන්ටෙ (Belo Monte) නම් මේ වේල්ල සිංගු නම් වූ ගංගාවක ඉදි කෙරෙන අතර, ඉදි කිරීමෙන් පසුව මෙය ලෝකයේ තෙවැනි විශාලතම ජල විදුලි ව්‍යාපෘතිය වීමට නියමිත විය. ඉන් වර්ග කිලෝමීටර 500ක්‌ පමණ ප්‍රදේශයක්‌ ජලයට යට වීමට නියමිත අතර 16000ත් 40000ත් අතර පිරිසක්‌ අවතැන් විය හැකි ය.

එරට අභියාචනාධිකරණයක්‌ තීරණය කර ඇත්තේ ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්‌ විය හැකි ස්‌වදේශික ජනතාව ගෙන් ඒ පිළිබඳව අදහස්‌ ප්‍රමාණවත් ලෙස නො විමසා ඊට අනුමැතිය ලබා දීමෙන් එරට බලධාරීන් නීති විරෝධී ව කටයුතු කර ඇති බවය. ඒ නිසා ඔවුන්ගේ ඔවුන් ගේ අදහස්‌ ලබා ගත යුතු බව අධිකරණය තීරණය කර තිබේ. එසේ නො කළ හොත් අදාළ සමාගමට දෛනික දඩයක්‌ ද නියම කර ඇත.

කෙසේ වෙතත් මේ අත්හිටුවීම තාවකාලික විය හැකි බව පෙනේ. ස්‌වදේශික ජනතාව ගේ එකඟතාව ලබාගත් පසු එය යළි ක්‍රියාත්මක විය හැකි ය. එහෙත් තාවකාලික වුවත් මෙය වැදගත් වන්නේ ජනතාව ගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමේ ලා වැදගත් තීරණයක්‌ වන නිසා ය. ෆොසිල ඉන්ධන වෙනුවට යෝග්‍ය බලශක්‌ති ප්‍රභව සෙවීමේ දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බ්‍රසීලය මේ වේල්ල ඉදි කිරීම කඩිනම් කිරීමේ යෙදී සිටියි.

http://www.vidusara.com/2012/08/22/feature3.html

ජගත් පරිසර විමසුම 136 (Global Environmental Watch, 136)

ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-08-15, පි. 11 (Vidusara, 2012-08-15 p.11)

http://www.vidusara.com/2012/08/15/feature3.html


විමසුම - දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?
ප්‍රමුඛ පුවත - පරිසරයෙන් ඒජන්ට්‌ ඔරේන්ඡ් 'ඉවත් කිරීම'
පුවත් සැකෙවින් - පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්/ කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි/ වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන

විමසුම
දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?

දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ තීරුව ඔස්‌සේ විමසා බැලීමට අප සිතුවේ මෑත කාලයේ දී ඒ සම්බන්ධව වාර්තා වූ ඇතැම් පුවත්වල ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් ලෝකයේ බරපතළ ම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇතැම් රටවල ජනතාව ගේ හා දේශපාලන නායකත්වයේ අවධානය අඩු වී ඇති තත්ත්වයක්‌ පැවතිය ද එහි වැඩි බලපෑමකට ලක්‌ විය හැකි දියුණු වන රටක්‌ ලෙස අප මේ පිළිබඳ ප්‍රවණතා ගැන අවධානය යොමු කළ යුතු වේ. ඒ ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳව වටහා ගැනීම සඳහා ය.

කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන ඉහළ මට්‌ටමක

2011 වර්ෂයේ දී ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය පෙර වර්ෂයට සාපේක්‌ෂව 3%කින් පමණ වර්ධනය වී ඇත. මේ වර්ධනය පසුගිය දශකයේ පැවැති සාමාන්‍ය වර්ධනය වන 2.7% ප්‍රමාණය ඉක්‌මවා තිබීම වැදගත් කරුණකි. එහෙත් මෑත කාලයේ වැඩි ම ප්‍රතිශත වර්ධනයක්‌ පැවතියේ 2010 දී ය. ඒ ලෝක ආර්ථික අර්බුදයෙන් පසු නැවත යථා තත්ත්වයට පත් වන අතර දී ය.

ප්‍රමාණාත්මකව ටොන් බිලියන 34ක්‌ වන මේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා දායකත්වය සපයා ඇති රටවල් හා ඒවායේ දායකත්වය මෙසේ ය. චීනය (29%), ඇමෙරිකාව (16%), යුරෝපා සංගමය (11%), ඉන්දියාව (6%), රුසියාව (5%) හා ජපානය (4%) මේ අතර ඉදිරියෙන් සිටින රටවල් වේ.

මේ අතර චීනයේ ඒක පුද්ගල කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය (වාර්ෂික) යුරෝපයේ මට්‌ටමට ආසන්න වී තිබේ. එය 2011 වර්ෂයේ දී 9%කින් වර්ධනය වූ අතර මේ වන විට ටොන් 7.2 මට්‌ටමේ පවතී. කාර්මික රටවල සාමාන්‍යය ටොන් 6ත් 19ත් අතර පවතී. යුරෝපා සංගමයේ එය ටොන් 7.5ක්‌ පමණ වේ. එහි විශේෂත්වය වන්නේ යුරෝපා සංගමයේ මේ අගය ගිය වර්ෂයේ දී 3%කින් අඩු වී තිබීම ය. ඇමෙරිකාවේ මේ අගය ටොන් 17.3ක්‌ පමණ වේ. මේ කරුණු හෙළි කර ඇත්තේ යුරෝපා කොමිසමට අයත් ආයතනයක්‌ හා තවත් ආයතනයක්‌ එක්‌ ව පළ කර ඇති zජගත් කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රවණතාZ නම් වාර්ෂික වාර්තාවෙනි. (මූලාශ්‍රයTrends in global CO2 emissions,
http://edgar.jrc.ec.europa.eu/CO2REPORT2012.pdf&)

සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව කේවල් කිරීම

මේ අතර පසුගිය සතියේ ඇමෙරිකාවේ ප්‍රධාන දේශගුණ සාකච්ඡාකරු වන ටොඩ් ස්‌ටර්න් පැවසූ කරුණක්‌ සම්බන්ධව යුරෝපා සංගමය හා කුඩා දූපත් රාජ්‍ය එකමුතුව වෙතින් විරෝධය පළ වී තිබේ. ඔහු පවසන ආකාරයට මිහිතලය උණුසුම් වීම සෙල්සියස්‌ අංශක දෙකකට අඩුවෙන් පවත්වාගත යුතු ය යන පිළිගත් ඉලක්‌කය නිසා දේශගුණ සාකච්ඡා අතරමඟ නැවතීමට හේතු විය හැකි ය. මේ නිසා දේශගුණ සාකච්ඡාවල දී දැඩි මතධාරී නො වී නම්‍යශීලී විය යුතු ය යන්න ඔහු පෙන්වා දී තිබේ. එහෙත් මේ අදහස දේශගුණ වෙනස්‌ වීමට එරෙහි සටන ආරම්භ වීමට පළමුව ම අත්හැර දැමීමක්‌ සේ දක්‌වා තිබේ.

මේ ඉලක්‌කය ඇමෙරිකාවේ විරෝධයට ලක්‌ වූ පළමු අවස්‌ථාව මෙය නො වේ. මේ වන විට ලෝකය එකඟ වී ඇති උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ තබා ගැනීම, දේශගුණ වෙනස්‌ වීමට විසඳුමක්‌ සොයා ගැනීම පමා කිරීමේ උපක්‍රමයක්‌ සේ දැක්‌විය හැකි ය. එසේ නො වුව හොත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් බරපතළ ඒවා විය හැකි බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාධක දැක්‌විය හැකි ය. 2010 දී පැවැති දේශගුණ සාකච්ඡාවල දී ලෝකය ම මේ ඉලක්‌කය පිළිබඳව තම එකඟතාව පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ ඉලක්‌කය පවා බරපතළ එකක්‌ විය හැකි බව තවත් බොහෝ අධ්‍යයනවලින් යෝජනා කර තිබේ. ඒ අනුව සරලව පවසන්නේ නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම හැකි තරම් අඩු මට්‌ටමක තබා ගත යුතු බව පැහැදිලි ය.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ පිළිවෙත හමුවේ ඇතැම් පාර්ශ්ව ඇමෙරිකාවේ සහායට පැමිණිය හැකි බව අප අමතක නො කළ යුතු ය. මේ අතර වේගයෙන් කාර්මිකකරණය වන දියුණු වන රටවල් ද විය හැකි ය. එසේ වුව හොත් එය දේශගුණ සාකච්ඡාවල හරය හෙවත් වැදගත් ම ඉලක්‌කය නො සලකා හැරීමක්‌ වනු ඇත.

ලෝකයේ අභියෝගය


මේ අනුව ලෝකය ඉදිරියේ ඇති අභියෝගය කවරේ දැයි ඉතා පැහැදිලි ය. ලෝකයේ ප්‍රධානතම හරිතාගාර වායුව වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ඉහළ යමින් තිබේ. ලෝකයේ උෂ්ණත්වය ද ඉහළ යමින් තිබේ. එහි බලපෑම් අපට මේ වන විටත් දැකිය හැකි ය. එහෙත් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඇතැම් රටවලට උනන්දුවක්‌ නොමැති තරම් ය. ඒ සඳහා හේතු වී ඇත්තේ ආර්ථික වර්ධනය හා සම්බන්ධ දේශපාලනික කරුණු ය. මේ නිසා මේ අර්බුදයට විසඳුම් සෙවීම දිනෙන් දින පමා වෙමින් තිබේ. ලෝකයේ ඉදිරියේ අද දවසේ ඇති අභියෝගය වන්නේ ලෝකයේ ම සහාය ලබාගත් විසඳුමක්‌ සෙවීම ය.



ප්‍රමුඛ පුවත
පරිසරයෙන් ඒජන්ට්‌ ඔරේන්ඡ් 'ඉවත් කිරීම'

දශක කිහිපයකට පෙර පැවැති වියට්‌නාම් යුද්ධයේ දී ඇමෙරිකානු හමුදා විසින් ඒජන්ට්‌ ඔරේන්ඡ් නම් කෘෂි රසායන ද්‍රව්‍යය භාවිත කිරීම ඇමෙරිකානුවන් විසින් සිදු කරන ලද මානුෂික නො වන ක්‍රියාවක්‌ ලෙස ප්‍රකට කරුණකි. ඒජන්ට්‌ ඔරේන්ඡ් යනු 2,4,5 ට්‍රයික්‌ලොරොෆීනොක්‌සිඇසිටික්‌ අම්ල හා 2,4 ඩයික්‌ලෝරොෆීනොක්‌සිඇසිටික්‌ අම්ල යන රසායනිකවල සම මිශ්‍රණයකි. ශාකවල පත්‍ර පතනය සඳහා හේතු වන මේ රසායන ද්‍රව්‍යය වියට්‌නාමයේ වනාන්තරවලට ගුවන් මගින් ඉසින ලද්දේ උතුරු වියට්‌නාමයේ සහාය ලද වියට්‌කොං ගරිල්ලා සේනා සැඟව සිටි වනාන්තර විනාශ කිරීම හා ආහාර සපයාගැනීම වැළැක්‌වීම සඳහා ය. එහෙත් අතිශයින් විෂ සහිත මේ රසායන ද්‍රව්‍යය ඉසීමෙන් විශාල පිරිසක්‌ මිය ගිය අතර ගත වූ කාලය තුළ එහි හානිකර බලපෑම්වලට විශාල පිරිසක්‌ ලක්‌ ව තිබේ. මේ අතර යුද්ධය හා කිසිදු සම්බන්ධයක්‌ නොමැති ළමයින් 150,000ක්‌ පමණ පිරිසක්‌ බරපතළ විකෘති තත්ත්ව සහිතව උපත ලබා තිබීම ඉතා කණගාටුදායක වේ.

මේ රසායන ද්‍රව්‍යයෙන් දූෂණයට ලක්‌ ව ඇති ප්‍රදේශයක්‌ පවිත්‍ර කිරීමට ඇමෙරිකානු අනුග්‍රහය ඇති ව ව්‍යාපෘතියක්‌ දියත් කර තිබේ. ඒජන්ට්‌ ඔරේන්ඡ් ගබඩා කර තැබූ දනෑංග් ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපළක මේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. රසායන ද්‍රව්‍යවලින් දූෂිතව ඇති පස්‌ යාන්ත්‍රිකව ඉවත් කර අධික උෂ්ණත්වයකට ලක්‌ කිරීමෙන් එහි ඇති ඩයොක්‌සින් විනාශ කිරීම මෙහි දී සිදු කිරීමට නියමිත ය. ඒජන්ට්‌ ඔරේන්ඡ් ගබඩා කර තැබූ හා ඒ නිසා අධික ලෙස දූෂණයට ලක්‌ වූ ස්‌ථාන ගණනාවක්‌ වියට්‌නාමයේ පවතී. 1975 වර්ෂයේ දී යුද්ධය නිමා වීමෙන් පසුව මෙවැනි පවිත්‍රකරණයක්‌ සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වී ඇත්තේ පළමු වරට ය.

මෙවැනි කාර්යයක්‌ සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වීම පසුපස දේශපාලනය ද ඇති බව සත්‍යයකි. අසල්වැසි චීනය සමඟ ඇති ගැටලු හා ඇමෙරිකාව හා වියට්‌නාමය අතර මෑත කාලයේ වර්ධනය වූ සම්බන්ධතා මීට හේතු වී ඇති බවක්‌ පෙනේ. මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීමෙන් බලපෑමට පත් ඇමෙරිකානු සෙබළුන්ට වන්දි ලබා දී ඇති ඇමෙරිකාව, විපතට පත් වියට්‌නාම වැසියන්ට වන්දි ලබා දීමට තවමත් ඉදිරිපත් නො වීම මීට සාධකයකි. වන්දි ඉල්ලා වියට්‌නාම වැසියන් ගොනු කළ නඩුවක්‌ වසර කිහිපයකට පෙර නිශ්ප්‍රභ කරන ලදි. එහෙත් වන්දි ඉල්ලා සිදු කරනු ලබන ව්‍යාපාරය අඩාළ නො වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.


පුවත් සැකෙවින්
පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්

සාගරයේ වෙසෙන ජීවීන් ගේ මරණ ප්‍රමාණය ඉහළ යැම සඳහා පාරජම්බුල කිරණ වර්ගයක්‌ (UVB) හේතු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මුහුදේ වෙසෙන ඇතැම් සත්ත්ව විශේෂ මෙන්ම ශාක විශේෂවල මරණ කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ යා හැකි ය. ඉන් වැඩි ම බලපෑමකට ලක්‌ වන්නේ ප්‍රොටිස්‌ටාවන්, ඇල්ගී, කොරල් හා ක්‍රස්‌ටේසියානුවන් ය. එසේ ම මසුන් ගේ බිත්තර හා මුල් අවස්‌ථාව ද මේ කිරණවල බලපෑමට ලක්‌ වීමට ඉඩ තිබේ.

මින් ඉහත දී සිදු කරන ලද අධ්‍යයන විමර්ශනය කිරීමෙන් හෙළි ව ඇති පරිදි මේ කාණ්‌ඩවල ජීවීන් ගේ ප්‍රමාණයේ අඩු වීම හා මේ කිරණ ඉහළ යැම සමගාමී වීම වේ. ඒ අනුව මෑත කාලයේ දී වාර්තා වී ඇති සාගර ජීවීන් ගේ අඩු වීමට බලපාන හේතුවක්‌ ලෙස මෙය ද නම් කළ හැකි බව පෙන්වා දී තිබේ. ම මේ තත්ත්වය සාගර සමස්‌ත ආහාර ජාලයට ම බලපෑම් ඇති කරයි. නිදසුනක්‌ ලෙස ඉහත කී කාණ්‌ඩවල ජීවීන් ගේ අඩු වීම ඒ මත යෑපෙන සත්ත්ව විශේෂවල ගහනය අඩුවීමට ද හේතු විය හැකි ය. නිදසුනක්‌ ලෙස ඇල්ගා ජීවීන් සාගරයේ ප්‍රධාන ම ප්‍රාථමික නිෂ්පාදකයන් ය. පාරජම්බුල කිරණවලින් සාගර ජීවීන්ට සිදු විය හැකි බලපෑම් පිළිබඳව මෙවැනි අධ්‍යයන මෙතෙක්‌ කලක්‌ සිදු කර නො තිබිණි. (මූලාශ්‍රයGlobal Ecology andBiogeography, DOI: 10.1111/j.1466-8238.2012.00784.x&)

කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි

කුඩා සුළං ටර්බයින නිසා වවුලන් ගේ ගහනවල ප්‍රමාණය අඩකින් පමණ අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. එවැනි ස්‌ථාන විස්‌සක්‌ පමණ ප්‍රමාණයක සිදු කර ඇති මේ අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇති පරිදි වවුල් ගහනය 54% දක්‌වා වූ ප්‍රමාණවලින් අඩු වීමට එය බලපෑ හැකි ය. එහෙත් පක්‌ෂි ගහනවලට ඉන් බලපෑමක්‌ වී නොමැත.

පරිසර හිතකාමී බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස සුළං බලයෙන් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ලබා දෙන සහන ව්‍යාපෘති නිසා ගොවිපොළ හා ගෘහාශ්‍රිතව මෙවැනි ටර්බයින බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. එහෙත් වනජීවීන්ට හානියක්‌ නො වී පිරිසිදු බලශක්‌තිය ද ලබා ගැනීමට නම්, වවුල් වාසස්‌ථානවල සිට මීටර් 20ක දුරක්‌ ඇතුළත කුඩා සුළං ටර්බයින ස්‌ථාපිත නො කළ යුතු බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ අනුව මේවා ස්‌ථාපනය කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පැහැදිලි ය. (මූලාශ්‍රයPLoS ONE, DOI:10.1371/journal.pone.0041177)


වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන

නිව්යෝර්ක්‌ නගරය පාදක කරගත් රාජ්‍ය නො වන සංවිධානයක්‌ මඟින් ලෝකයේ වඩාත් දූෂණයට ලක්‌ ව ඇති ස්‌ථාන දහයක්‌ නම් කර තිබේ. මේ ලේඛනයකට අනුව ඉන් මුල් දහය අතරට වැටෙන ස්‌ථාන තුනක්‌ ඉන්දියාවේ ද, දෙකක්‌ චීනයේ ද පිහිටා ඇත.

මේ ස්‌ථාන අතරින් සමහරක්‌ ලෝකයේ බරපතළ දූෂණයක්‌ පැවැති ස්‌ථාන වේ. නිදසුනක්‌ ලෙස බෝපාල් හා චර්නොබිල් දැක්‌විය හැකි ය.

උක්‌ත ආයතනය මෙවැනි ස්‌ථාන පිළිබඳව කරුණු සොයා බලන අතර, ලෝකයේ ඇති මෙවැනි ස්‌ථානවල පවත්නා පරිසර දූෂණය නිසා බලපෑමට ලක්‌ ව ඇති පිරිස ඉතා විශාල ය.

http://www.vidusara.com/2012/08/15/feature3.html

වන ගිනි පාලනය කිරීමට නම්....

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-08-22, පි. 05 (Vidusara, 2012-08-22 p.05)
http://www.vidusara.com/2012/08/22/feature4.html


ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි වනාන්තර ගිනි තැබීම් පිළිබඳව දිනපතා ම පාහේ ජනමාධ්‍ය ඔස්‌සේ වාර්තා වේ. ඒ අනුව පසුගිය මාස හතරක පමණ කාලය තුළ අපේ රටේ වියළි කලාපයේ වන ගිනි විශාල ලෙස ඉහළ ගොස්‌ ඇති බවක්‌ පෙනේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ ප්‍රකාශකයකුට අනුව මේ මස මුල වන විට මාස හතරක්‌ තුළ වන ගිනි 100ක්‌ වාර්තා වී තිබේ. ඉන් විනාශයට පත් වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 4000ක්‌ (අක්‌කර 10,000ක්‌) පමණ බව පැවසේ. මේ ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික බව පළමු වගුව විමසීමෙන් පෙනේ. (එහෙත් වගුවේ සඳහන් වන්නේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති වන ගිනි පමණක්‌ බව සැලකිය යුතු ය). ඊට හේතුවක්‌ ව ඇත්තේ මේ වර්ෂයේ පවත්නා දැඩි නියඟයයි.

මෙසේ ගිනි තබා ඇති ඇතැම් ස්‌ථාන ජාතික වනෝද්‍යාන, අභය භූමි හෝ රක්‌ෂිත වනාන්තර වැනි ආරක්‌ෂිත ප්‍රදේශ වේ. ඉන් විශාලතම ගින්න ඇති වූයේ ඉදල්ගස්‌හින්න-ඔහිය-පට්‌ටිපොල ප්‍රදේශයේ වනාන්තරයක ය. ඉන් හානි වූ ප්‍රමාණය හෙක්‌ටයාර 600ක්‌ තරම් ය. එසේ ම අගෝස්‌තු මාසයේ ම සෝමාවතී ජාතික වනෝද්‍යානයේ ගිනි දෙකක්‌ වාර්තා විය. ස්‌වාභාවික වනාන්තර මෙන්ම වන වගා ද මෙසේ ගින්නෙන් හානියට ලක්‌ වූ ස්‌ථාන අතර වේ.

වර්ෂයේ මේ කාලයේ රටේ වියළි හා අතරමැදි කලාපයේ වන ගිනි තැබීම් ඉහළ යැම පුදුමයක්‌ නො වේ. ජූනි-සැප්තැම්බර් දක්‌වා කාලය මේ ප්‍රදේශවලට ඉතා වියළි කාලයකි. මේ කාලයේ දී තෙත් කලාපයට වැසි ලැබෙතත් වියළි කලාපයට වර්ෂාවක්‌ නො ලැබේ. එහි වනාන්තර හා පතන් බිම් ආශ්‍රිතව දැකිය හැකි තෘණ හා වෙනත් පඳුරුමය ශාක මේ කාලය වන විට බෙහෙවින් වියළී ගොස්‌ තිබේ. මේ නිසා වනාන්තර ගිනි වේගයෙන් පැතිර යයි. වියළි සුළං, ගිනි මගින් සිදු වන හානිය ඉහළ යැම සඳහා ද බලපායි. මෙවැනි ගිනි වැඩි ප්‍රමාණයක්‌ වාර්තා වන්නේ ඌව පළාත හා මධ්‍යම පළාතේ නැඟෙනහිර බෑවුමේ පිහිටි ප්‍රදේශවලිනි. නකල්ස්‌ හෙවත් දුම්බර වනාන්තරය, නමුණුකුල හා ඌව පළාතේ කඳු ප්‍රදේශ වන ගිනි සඳහා ඉතා ප්‍රකට ස්‌ථාන වේ. (තෙත් කලාපයේ වන ගිනි තැබීම් ඉහළ යන්නේ එහි වියළිතම කාලය වන පෙබරවාරි-මාර්තු කාලයේ දී ය.)

වන ගිනි ඇති වන්නේ කෙසේ ද?

අපේ රටේ වනාන්තර ස්‌වාභාවිකව ගිනි නො ගන්නා බව මේ පිළිබඳ විශේෂඥ මතයයි. එසේ නම් වන ගිනි යම් කිසිවකු විසින් ඇති කරනු ලැබිය යුතු ය. මෙසේ ගිනි තබන්නේ හේතු කිහිපයක්‌ නිසා ය. සතුන් දඩයම් කිරීම හා ගවයන්ට අලුත් තෘණ ලබාගැනීම සඳහා වුවමනාවෙන් වනාන්තර ගිනි තැබීම දැකිය හැකි ය. හේන් හා වෙනත් වගා කටයුතු සඳහා වන බිම් එළි කර සිදු කරන ගිනිතැබීම් පැතිරී යැම ද වන ගිනි සඳහා හේතු වේ. විනෝදයට වනාන්තර ගිනි තැබීම ද මීට බලපායි. දැල්වෙන සිගරැට්‌ කොට ඉවත දැමීම හා ගෙවතුවල කසළ ගිනි තැබීම වැනි කටයුතු නිසා ද වන ගිනි ඇති විය හැකි ය.

වන ගිනි පිළිබඳ මාධ්‍ය වාර්තාවල බොහෝ විට සඳහන් වන්නේ වනාන්තරයක්‌ ගිනි ඇවිළී ඇති බවත්, ඒවා නිවීමට ගත් උත්සාහයත්, ඉන් කෙතරම් ප්‍රදේශයක්‌ විනාශ වූයේ ද යන්නත් ය. මෙහි දී අදාළ රාජ්‍ය නිලධාරීන් කෙතරම් කාර්යක්‌ෂ්ම වී ද හා සේවක පිරිස්‌ ප්‍රමාණවත් වී ද යන්න වැනි කරුණු ද සඳහන් වේ. අපේ රටේ මාධ්‍ය වාර්තාකරණයේ ඇති එක්‌ අංගයක්‌ වන්නේ ජනතාව අවුස්‌සනසුලු පුවත් ය. මේ නිසා වන ගිනි ඉහළින් හුවා දක්‌වන පුවත් අතර මේවා ගිනි ඇවිළී ඇත්තේ කෙසේ ද යන්න හා ඒවා ඇති කළේ කවුරුන් ද යන්න ගැන සඳහන් වූයේ ඉතා අඩුවෙනි.

වන ගිනි වැඩි වීමෙන් පෙනෙන්නේ වන ගිනි වැළැක්‌වීමේ වැදගත්කම පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රමාණවත් තරම් දැනුම්වත් වී නොමැති බව ය. වනාන්තර ගිනි තැබීමේ අහිතකර ප්‍රතිඵල බොහෝ දෙනා දන්නා කරුණු ය. දිය උල්පත් සිඳීයැම, ජෛවවිවිධත්වය හායනයට ලක්‌ වීම, නාය යැම් ඇති වීමේ ඉඩ වැඩි වීම ඉන් කිහිපයක්‌ පමණි. මේ බව දැන දැනත් වනාන්තර විනාශ කරන්නන් අපේ සමාජයේ සිටීම කණගාටුවට කරුණක්‌ පමණක්‌ නො වේ. දශක හතරක පරිසර අධ්‍යාපනයේ අසාර්ථකත්වය මින් යළිත් පෙනේ. කෙසේ වුවත් කුමන සමාජයක වුවත් අපරාධකරුවන් අතළොස්‌සක්‌ හෝ සිටින බැවින් ඒවා පාලනය කිරීම සඳහා නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම හා නීතිය දැඩි කිරීම අවශ්‍ය වේ.

වන ගිනි සඳහා අපේ රටේ නීතිය අනුව ලබා දිය හැකි දඬුවම් මෙසේ ය. 2009 අංක 65 දරන සංශෝධිත වන ආඥා පනත අනුව ගිනි තබනු ලබන වනාන්තර වර්ගය අනුව ලබා දිය හැකි දඬුවම වෙනස්‌ වේ. එය වසර දෙකත් හතත් අතර සිර දඬුවමක්‌ හා රු. 5,000ත් 200,000ත් අතර දඩයක්‌ හෝ මේ දෙක ම විය හැකි ය. එසේ ම මීට අමතරව සිදු කරන ලද හානියට වඩා අධික වූ වන්දියක්‌ ගෙවීමට ද නියම කළ හැකි ය.

එහෙත් වනාන්තර ගිනි තබන්නවුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් ගැටලුවක්‌ ඇති බව පෙනේ. ඒ ඔවුන් කොටු කර ගැනීමේ අපහසුවයි. අප දුටු පුවත් වාර්තා කිසිවක අදාළ අපරාධකරුවන් අල්ලා ගැනීමට හැකි වූ බවක්‌ සඳහන් නො වී ය. අදාළ අපරාධකරුවන් බොහෝ විට ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වීමත් මේ විනාශකාරී ක්‍රියාවලියේ කෙටිකාලීන ප්‍රතිලාභ යම් පිරිසකට ලැබීමත් නිසා තොරතුරු සපයාගැනීම අපහසු වන බව පෙනේ. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ ජනතාව ගේ සහයෝගය අවශ්‍ය බව නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පුවත්පතකට කර තිබූ ප්‍රකාශකින් ද පෙනේ.

ජුනි මාසයේ දී වාර්තා වූ පරිදි වනාන්තර ගිනි තබන පුද්ගලයන්ට එරෙහි ව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නට රජය තීරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ දඬුවම් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව ද වාර්තා විය. ඒ අනුව අමාත්‍යංශ කිහිපයක්‌ නියෝජනය වන කමිටුවක්‌ පත් කළ බව හා මාස හයක කාලයක්‌ තුළ ක්‍රියාකාරී සැලැස්‌මක්‌ සකස්‌ කිරීමට අපේක්‌ෂා කරන බව සඳහන් විය. අදාළ නීතිවල යම් සංශෝධනයක්‌ සිදු වන්නේ නම් එය මෙවැනි අපරාධවලින් ජනතාව ඈත් කිරීමට හේතු වන ආකාරයේ එකක්‌ වීම වැදගත් ය.

ගිනි වැළැක්‌වීමට සම්පත් ප්‍රමාණවත් ද?

මේ ආකාරයෙන් ඇති වන වන ගිනි වැළැක්‌වීමට අවශ්‍ය තරම් සම්පත් හා ප්‍රතිපාදන තිබේ ද යන්න අප විමසා බැලිය යුතු පැනයයි. මේ ගිනි නිවීමට බොහෝ විට මැදිහත් වූයේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ, වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හා ආරක්‌ෂක අංශවල නිලධාරීන් ය. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ද මෙහි දී විශේෂ වගකීමක්‌ දරයි. මේ අතරින් ආරක්‌ෂක අංශ වැදගත් වන්නේ මෙවැනි අවස්‌ථාවක අවශ්‍ය කරන ශ්‍රම සම්පත ඔවුන් සතු නිසා ය. ඔවුන් ඒ සඳහා යම් පුහුණුවක්‌ ද ලබා තිබිය හැකි ය. ගිනි නිවීම සඳහා ඇතැම් අවස්‌ථාවල ගුවන් හමුදා හෙලිකොප්ටර් ද යොදාගෙන තිබිණි. ඇතැම් අවස්‌ථාවල ප්‍රදේශවාසීන් ද පරිසර හා වෙනත් සවෙච්ඡා සංවිධාන සාමාජිකයන් ද ඊට සහාය දීඇත. මේ නිසා ඇති වූ විනාශය තරමක්‌ හෝ අවම කර ගැනීමට හැකි වූ බව පෙනේ.

අනෙක්‌ අතට අවශ්‍ය උපකරණ හා පහසුකම් රජයේ අදාළ නිලධාරීන් වෙත ලබා දීම ඉතා වැදගත් ය. පසුගිය දා වාර්තා වූ පුවතකට අනුව ගිනි නිවීම සඳහා අවශ්‍ය රථ අදාළ ප්‍රදේශවලට ලබා දීමට නියමිත වේ. මේ වනාන්තර බොහෝ විට මාර්ගවලින් යුක්‌ත නො වන බැවින් ඊට ගිනි නිවන රථ යා හැක්‌කේ ද සීමා සහිතව ය. අනෙක්‌ අතට හෙලිකොප්ටර් යොදාගැනීම යෝග්‍ය වුවත් දැඩි සුළං සහිත අවස්‌ථාවල දී ඇතැම් කාලගුණ තත්ත්ව යටතේ එය අසාර්ථක වූ අවස්‌ථා තිබේ. අනෙක්‌ අතට ගිනි නිවීම සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කළ හෙලිකොප්ටර් අපේ රටේ නොමැත. මේ නිසා වඩාත් වැදගත් වන්නේ මානව ශ්‍රමය පිළිබඳව සැලකිලිමත් වීම ය.

අපේ සූදානම ප්‍රමාණවත් ද?

වන ගිනි වැළැක්‌වීම හා පාලනය සඳහා වූ සූදානම කෙතරම් ප්‍රමාණවත් ද යන්න නම් ගැටලුවකි. මේ වර්ෂයේ නියං තත්ත්වයක්‌ ඇති වන බව කලක පටන් දැන සිටියෙමු. (අවම වශයෙන් විදුලිබල හා කෘෂිකර්ම බලධාරීන් හෝ ඒ බව දැන සිටි බව පෙනේ). නියඟය අපේ රටට අලුත් දෙයක්‌ නො වේ. සාමාන්‍යයෙන් වර්ෂ 3-4කට වරක්‌ දැඩි නියං තත්ත්වයක්‌ ඇති වන අතර, වසර දහයකට පමණ වරක්‌ ඉතා බරපතළ තත්ත්වයේ නියඟ ඇති වේ. එසේ නම් වන ගිනි තබන්නන්ට මේ කදිම අවස්‌ථාවක්‌ විය හැකි බව අදාළ බලධාරීන්ට කලින් ම දැනගෙන පෙර සූදානමක්‌ ඇති කර ගැනීමට හැකි ය. මෙය අත්‍යවශ්‍ය කටයුත්තකි.

ගිනි ඇති විය හැකි ප්‍රදේශවල වියළි කාලගුණයක්‌ ඇති වූ විට ගිනි පටි කැපීම වැනි කටයුතු කලින් ම සිදු කිරීම මේ සඳහා නිදසුනකි. ඇතැම් ප්‍රදේශවල මෙය සිදු කරන නමුත් සැම ප්‍රදේශයක ම එවැන්නක්‌ සිදු කරන බව නො පෙනේ. මෙවැනි වකවානුවල වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව දියත් කළ එක්‌ උපක්‍රමයක්‌ වූයේ ස්‌වේච්ඡා ගිනි නීවීම් සඳහා තරුණ කණ්‌ඩායම් යොදා ගැනීම ය. විශේෂයෙන් ගිනි ඇති විය හැකි හෝර්ටන්තැන්න හෙවත් මහඑළිය වැනි ප්‍රදේශවල හඳුනාගත් කාලවකවානුවල දී එය සිදු කෙරිණි. මේ ලියුම්කරු ද 1990 දශකය අගභාගයේ දී මෙවැනි කණ්‌ඩායමකට සම්බන්ධ වී ලද අත්දැකීම් අනුව පැවසිය හැක්‌කේ එය ගිනි වැළැක්‌වීමට පමණක්‌ නො ව පරිසර හිතකාමී නො වන වෙනත් කටයුතු පාලනය සඳහා ද ප්‍රයෝජනවත් වන බව ය. කෙසේ වෙතත් මෙවැනි පිරිස්‌ සඳහා කිසියම් පුහුණුවක්‌ ලබා දීම වැදගත් වේ.

ඉහත දී සඳහන් කළ ආකාරයට, මේ සියල්ලට ම වඩා ඵලදායී වන්නේ ගිනි ඇති වීමට බලපාන හේතු පාලනය කිරීමයි. මෙවැනි අවස්‌ථාවක දී රාජ්‍ය නො වන සංවිධාන හා ප්‍රජා සංවිධාන පාදක කරගෙන කළ හැකි කාර්යය සුවිශාල ය. පරිසර සංවිධාන මගින් ව්‍යාපෘති කිහිපයක්‌ අපේ රටේ ක්‍රියාත්මක වී ඇතත්, ව්‍යාපෘති අවසන් වූ පසු ජනතාව අතර කල් පවත්නා ආකල්පමය වෙනසක්‌ සිදු වී තිබේ දැයි විමසීමක්‌ කර නොමැත. එවැනි වැඩසටහන් ආදර්ශයට ගැනීමෙන් වාර්ෂිකව අදාළ කාල වකවානුවල යම් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්‌ දියත් කිරීම අත්‍යවශ්‍ය වේ. පාරිසරික අපරාධයක්‌ වන වනාන්තර ගිනි තැබීම් වළක්‌වාලීම රජයේ නිලධාරීන්ට තනි ව කළ හැකි නො වේ. ඊට මාධ්‍යවල හා ප්‍රජාව ගේ සහයෝගය අත්‍යවශ්‍ය ය. මේ තත්ත්වය ඇති කිරීමට අප සැවොම කටයුතු කළ යුතු ය.

(ස්‌තුතිය- වන ගිනි පිළිබඳ සංඛ්‍යාලේඛන ලබා දුන් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්‌ෂක ආර්. එස්‌. කුලතුංග මහතාට)

http://www.vidusara.com/2012/08/22/feature4.html

Thursday, August 9, 2012

ජගත් පරිසර විමසුම 135 (Global Environmental Watch, 135)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-08-08, පි. 11 (Vidusara, 2012-08-08, p.11)
http://www.vidusara.com/2012/08/08/feature3.html


විමසුම - කඩොලාන යොදාගෙන කාබන් තිර කිරීම ආර්ථික වශයෙන් ලාබදායී වේ
ප්‍රමුඛ පුවත - CFL බල්බවල විවෘත භාවිතය ආරක්‌ෂිත ද?

පුවත් සැකෙවින් - එක්‌සොන් වැල්ඩේස්‌ අවසන් ගමන ඉන්දියාවේ‌/ ඉන්දු පැසිෆික්‌ කලාපයේ කොරල් පර වඩා ඔරොත්තු දේ/ ගුවන් බද්දට විරුද්ධ සමුළුවක්‌

විමසුම
කඩොලාන යොදාගෙන කාබන් තිර කිරීම ආර්ථික වශයෙන් ලාබදායී වේ

දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා ගත හැකි පියවර අතර ශාකවල කාබන් ඩයොක්‌සයිඩ් තිර කිරීම ස්වාභාවික හා ප්‍රායෝගික පියවරක්‌ සේ දැක්‌විය හැකි ය. මේ පිළිබඳව බොහෝ අධ්‍යයන සිදු කර ඇති අතර වනාන්තර තුළ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන තැන්පත් කිරීම හෙවත් තිර කිරීම මේ වන විට පුළුල් ලෙස සාකච්ඡාවට ලක්‌ ව තිබේ. මේ අතරින් වැදගත් වන වනාන්තර වර්ග මොනවා ද යන්න ද සාකච්ඡාවට ලක්‌ වීමට තරම් වැදගත් බව කිව යුතු ය.

පසුගිය දා ප්‍රකාශයට පත් වූ මෙවැනි අධ්‍යයනයකට අනුව කාබන් ඩයොක්‌සයිඩ් වායුව තිර කිරීම සඳහා කඩොලාන යොදා ගැනීම ආර්ථික වශයෙන් ශක්‍ය වූ ක්‍රමවේදයකි. මේ සතියේ පරිසර විමසුම තුළින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අප සිතුවේ එහි ඇති දේශගුණ වෙනස්‌ වීම ඉක්‌මවා ගිය වැදගත්කම නිසා ය.

කාබන් තිර කිරීමේ දී කඩොලානවල කාර්යභාරය

කඩොලාන වනාන්තරවල ශාකවල ජෛව ස්‌කන්ධය තුළ හා පසේ තිර කළ හැකි කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය ඉහළ බව මේ වන විට පිළිගෙන ඇති කරුණකි. 2011 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව නිවර්තන වර්ෂා වනාන්තර මෙන් පස්‌ ගුණයක්‌ තරම් අධික කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ කඩොලානවල තිර කළ හැකි ය. ඒ සඳහා ශාක මෙන්ම කඩොලානවල පවත්නා පස ද දායක වේ. (බලන්න - ජගත් පරිසර විමසුම 71, විදුසර, 2011-05-11)

මෙහි දී අනාවරණය වී ඇති අන්දමට, කඩොලාන වනාන්තර ආරක්‌ෂා කළ හැකි නම් ඒවා යොදාගනිමින් ටොන් එකක්‌ සඳහා ඇමෙරිකානු ඩොලර් 4-10 අතර කරම් වියදමකින් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්‌සයිඩ් වායු අඩු කළ හැකි ය. මේ සඳහා වැඩි හැකියාවක්‌ පවතින්නේ ආසියානු හා ඕෂනියා කලාපයේ ඇති කඩොලාන වනාන්තරවලට ය. ලෝකයේ හිලව් කිරීමට ඇති සමස්‌ත කාබන් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්‌ පමණ ප්‍රමාණයක්‌ ඒ කලාපයේ වනාන්තර මඟින් හිලව් කළ හැකි ය. මේ පර්යේෂකයන් පවසන්නේ මේවා මඟින් කාබන් තිර කරන ප්‍රමාණය අනුව, සෙසු ප්‍රයෝජන නො සලකා හැරිය ද ඉන් ලැබෙන ප්‍රයෝජනය විශාල බව ය.

මෙවැනි තත්ත්වයක්‌ මත නව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ වෙනත් කාබන් හිලව් කිරීමේ ක්‍රමවේදවලට සාපේක්‌ෂව කඩොලාන ජෛව ස්‌කන්ධය මේ පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම මඟින් කාබන් තිර කිරීම වඩා ලාභදායී බව ය. මේ නිගමනයට ඔවුන් පැමිණ ඇත්තේ ඒ පිළිබඳව සිදු කරන ලද සවිස්‌තර කරුණු සොයා බැලීමකින් පසු ව ය.

කඩොලානවලට නියම තැන ලැබී තිබේ ද?

මේ පර්යේෂණයෙන් අනාවරණය වන තොරතුරුවලට අනුව නිවර්තන වර්ෂා වනාන්තර මෙන්ම කඩොලාන වනාන්තර ද කාබන් තිර කිරීමේ ක්‍රමවේද සඳහා ඇතුළත් විය යුතු බව පෙනේ. නිදසුනක්‌ ලෙස මේ වන විට පිළිගැනීමට ලක්‌ ව ඇති වන විනාශයෙන් හා වන හායනයෙන් සිදු වන විමෝචන අඩු කිරීමේ යාන්ත්‍රණය (REDD) වැනි ක්‍රියාවලියක්‌ යටතේ කඩොලාන ද ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතු බව ඔවුන් නිර්දේශ කර තිබේ. ඊට වුවත් මෙය ඇතුළත් කිරීම සිදු කළ හැකි ය.

කෙසේ වෙතත් කඩොලාන මඟින් කාබන් තිර කිරීමේ ප්‍රායෝගිකත්වය තීරණය වන්නේ ලෝක කාබන් වෙළෙඳපොළේ ඒ සඳහා ඇති මිල ගණන් මත බව තවත් විද්‍යාඥයන් පවසා තිබේ. නිදසුනක්‌ ලෙස උක්‌ත පර්යේෂණය සඳහා යොදාගෙන ඇති කාබන් මිල ගණන් යල්පැන ගිය ඒවා බව දක්‌වා තිබිණි. එහෙත් වෙළෙඳපොළේ කාබන් මිල ගණන් උච්ඡාවචනය වන්නකි.

අනෙක්‌ අතට කඩොලාන වනාන්තර ආරක්‌ෂා කිරීමේ ඇති අනෙක්‌ ප්‍රයෝජන ද ඇතුළත් වූ විට මේ පරිසර පද්ධතිය සංරක්‌ෂණය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි බව පැහැදිලි ය. මේ අතර කඩොලාන ජෛවවිවිධත්වය මෙන්ම ධීවර කර්මාන්තයේ දී යොදා ගන්නා මත්ස්‍යයන් හා වෙනත් විශේෂවල අභිජනන බිම් ලෙස ක්‍රියා කිරීම විශේෂ ය. එසේ ම කඩොලාන මඟින් මිනිසුන්ට සෘජු ප්‍රයෝජන රාශියක්‌ ම ලැබේ.

කඩොලාන විනාශය වේගවත්

ලෝකයේ බරපතළ ම පාරිසරික අර්බුදය වැළැක්‌වීම සඳහා තවත් ක්‍රමවේදයක්‌ සොබාදහම යළිත් වරක්‌ මිනිසුන්ට පෙන්වා තිබේ. එහෙත් එයින් ප්‍රයෝජනයක්‌ ලබා ගැනීම සඳහා ලෝකය සතු කඩොලාන බිම් ප්‍රදේශ ප්‍රමාණය කෙතරම් ද යන්න මඳක්‌ විමසා බැලිය යුතු වේ. ලෝකයේ කඩොලාන වනාන්තර පවතින්නේ මුළු වනාන්තරවලින් සියයට 0.7ක්‌ පමණ ප්‍රමාණයකි. ඉතිරි ව ඇති මේ කඩොලානවලට ද වඩාත් වේගයෙන් විනාශ වෙමින් පවත්නා පරිසර පද්ධති අතර මුල් තැනක තිබේ. එයට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ මානව කටයුතු ය. නිදසුනක්‌ ලෙස සංචාරක කර්මාන්තයේ වර්ධනය නිසා කඩොලාන මඟින් ආවරණය වී පැවැති පරිසර පද්ධති රැසක්‌ විනාශ වී තිබේ. එසේ ම දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි මුහුදු මට්‌ටම ඉහළ යැම මඟින් ද මේ පරිසර පද්ධතියට එල්ල වී ඇති තර්ජනය මහත් ය. එවැනි තත්ත්වයක්‌ තුළ කඩොලාන ආරක්‌ෂා කිරීම සඳහා ද ඉහත කී ක්‍රමවේදය යොදාගත හැකි ය. (මූලාශ්‍රයProceedings of theNational Academy of Sciences, DOI:10.1073/pnas.1200519109

ප්‍රමුඛ පුවත
CFL බල්බවල විවෘත භාවිතය ආරක්‌ෂිත ද?

සංයුක්‌ත ප්‍රතිදීපන පහන් හෙවත් CFL විදුලි පහන් ඒවායේ අඩු විදුලි පරිහරණය නිසා ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය ය. එසේ ම බලශක්‌ති සංරක්‌ෂණයට ඉන් දක්‌වන දායකත්වය ද ඉහළ ය. මේ නිසා ලෝකයේ අද වන විට මේ වර්ගයේ විදුලි බුබුළු බෙහෙවින් ජනප්‍රිය ය. ඇතැම් රටවල මේ දක්‌වා භාවිත කළ සූත්‍රිකා පහන් භාවිතය අවසන් කිරීමට දින පවා නියම කර තිබේ.

කෙසේ වෙතත් මේ බල්බවලින් නිකුත් වන පාරජම්බුල කිරණ නිසා සමට යම් හානියක්‌ සිදු විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. විවිධ ප්‍රදේශවලින් ලබාගත් CFL විදුලි බුබුළු මඟින් නිකුත් වන පාරජම්බුල කිරණ ප්‍රමාණය හා ඒවායේ ඇති පොස්‌පරස්‌ ආවරණයේ අඛණ්‌ඩතාව පිළිබඳව නිරීක්‌ෂණය කර ඇත. මෙහි දී ඔවුන්ට පෙනී ගියේ පාරජම්බුල කිරණ කාණ්‌ඩ දෙකක්‌ (UVA හා UVC) සියලු ම බල්බවලින් නිකුත් වන බවයි. ඒවා පැමිණෙන්නේ බල්බවල ඇති පොස්‌පරස්‌ ආවරණයේ සිදුරු තිබූ ස්‌ථානවලින් විය හැකි බව ද මෙහි දී පෙන්වා දී ඇත.

මේ නිසා ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව පරීක්‌ෂණාගාර තත්ත්ව යටතේ (සැබෑ මිනිස්‌ පටක සෛල ගෙන පරීක්‌ෂණාගාරයක්‌ තුළ) කළ පරීක්‌ෂණවල දී හෙළි වී ඇත්තේ මිනිසා ගේ සමේ පටකවල සෛලවලට යම් හානියක්‌ සිදු කිරීමට මේ බල්බවලට නිරාවරණය වීම හේතු වන බව ය. මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි, තන්තු සෛල හා කෙරටින් නිපදවන කෙරටිනොසෛටවලට මින් හානි පැමිණිය හැකි ය. ඒ හානි අතර ප්‍රගුණන හැකියාව අඩු වීම, ප්‍රතික්‍රිsයාකාරී ඔක්‌සිජන් නිපදවීම ඉහළ යැම හා කොලැජන් සංකෝචනය වීමේ හැකියාව අඩු වීම වැනි තත්ත්ව වේ. මේ තත්ත්වය පෙර කී පාරජම්බුල කිරණ නිසා ඇති වන තත්ත්වවලට සමාන වේ. එසේ ම මෙවැනි තත්ත්වයක්‌ සාමාන්‍ය සූත්‍රිකා පහන් නිසා ඇති නො වන බව ද හෙළි වී තිබේ.

උක්‌ත අධ්‍යයනය CFL විදුලි පහන් නිසා සමට ඇති වන බලපෑම් පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනය අතර වැදගත් වේ. මේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි CFL විදුලි බුබුළු භාවිත කිරීමේ දී ඒවා තරමක්‌ ඈතක සිට භාවිත කිරීමටත් හැකි නම් බල්බය අතිරේක වීදුරු ආවරණයක්‌ තුළ යොදාගැනීමත් ආරක්‌ෂිත ය. ඉන් ඉහත කී හානිකර බලපෑම් වැළැක්‌විය හැකි අතර බලශක්‌ති පරිභෝජනය වැනි ප්‍රයෝජන ද අපට ලබා ගත හැකි ය. (මූලාශ්‍රය Photochemistryand Photobiology, DOI: 10.1111/j.1751-1097.2012.01192.x


පුවත් සැකෙවින්
එක්‌සොන් වැල්ඩේස්‌ අවසන් ගමන ඉන්දියාවේ

ලෝකයේ සිදු වූ විශාලතම තෙල් කාන්දුවකට හේතු වූ එක්‌සොන් වැල්ඩේස්‌ නෞකාව ගලවා කොටස්‌ කිරීම සඳහා ඉන්දියාවේ ගුජරාට්‌ ප්‍රාන්තයේ අලාං ප්‍රදේශයට ගෙනැවිත් තිබේ. ඇලස්‌කාව ආසන්නයේ දී 1989 වර්ෂයේ මේ නැව මුහුණ දුන් අනතුරේ දී කාන්දු වූ තෙල් ප්‍රමාණය ගැලුම් මිලියන 11ක්‌ තරම් වේ. මේ වන විට එහි නම වන්නේ 'ඔරියන්ටල් නයිස්‌ටි' යන්න ය.

ඉන්දීය බලධාරීන් නැවේ කිසිදු හානිකර ද්‍රව්‍යයක්‌ අඩංගු නොමැති බව තහවුරු කර ඇති නිසා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ එය ගලවා කොටස්‌ කිරීම සඳහා අවසර දිය හැකි බවයි. එහෙත් යම් ආකාරයකින් එහි හානිකර ද්‍රව්‍ය අඩංගු වුව හොත් ඒවා ඉවත් කිරීමේ වියදම අදාළ නැව හිමි සමාගම ගෙවිය යුතු බවට ද අධිකරණය නියෝග කර තිබේ.

මේ ආකාරයෙන් භාවිතයෙන් ඉවත් කළ නැව් ගලවා කොටස්‌ කිරීම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සිදු වන ක්‍රියාවලියකි. එහෙත් ඒ ක්‍රියාවලියේ ඇති පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් නිසා සමාජ හා පාරිසරික ක්‍රියාකාරීන් ගේ විරෝධයට ලක්‌ ව තිබේ.

ඉන්දු පැසිෆික්‌ කලාපයේ කොරල් පර වඩා ඔරොත්තු දේ

කොරල්පර ලෝකයේ තර්ජනයට ලක්‌ ව ඇති පරිසර පද්ධති අතර මුල් තැනකට වැටේ. විශේෂයෙන් එය බහුවිධ හේතු නිසා තර්ජනයකට ලක්‌ව තිබේ. කෙසේ වෙතත් මේ තර්ජන හමුවේ කොරල්පරවල පැවැත්ම තීරණය වීම සඳහා ඒවා පිහිටා ඇති ප්‍රදේශ මොනවා ද යන්න හේතු වන බව පසුගිය දා ප්‍රකාශිත සමාලෝචනයකින් පෙන්වා දී ඇත.

කැරිබියානු කලාපයේ කොරල්පරවලට වඩා ඉන්දු පැසිෆික්‌ කලාපයේ පිහිටි කොරල්පර ආතතිවලින් ඉක්‌මනින් යළි යථා තත්ත්වයට පත් වන බව මේ අනුව පෙන්වා දී තිබේ. මේ කොරල්පරවල ඉහළ ඔරොත්තු දීමට හේතුව ඒවායේ ඇති මුහුදු පැළෑටි ප්‍රමාණය සාපේක්‌ෂව අඩු මට්‌ටමක තිබීම ය. ඒවා වර්ධනය වන්නේ කැරිබියානු කලාපයේ මෙන් සිව් ගුණයක්‌ තරම් අඩු වේගයකිනි. මේ කාණ්‌ඩ දෙක අවකාශය සඳහා දැඩි තරගයක යෙදෙන සාගර පරිසර පද්ධති වේ.

කෙසේ වෙතත් මෙමඟින් පැවසෙන්නේ කොරල්පර ඉතා ම යහපත් තත්ත්වයක පවතින බව නම් නො වේ. ඒවාට ඇති තර්ජනය අති මහත් ය. එහෙත් මේ කොරල්පරවලට පැවැත්ම සඳහා වැඩි අවස්‌ථාවක්‌ තිබේ. (මූලාශ්‍රයTrends inEcology and Evolution, DOI:10.1016/j.tree.2012.04.007)

ගුවන් බද්දට විරුද්ධ සමුළුවක්‌

යුරෝපා සංගමය හඳුන්වා දී ඇති ගුවන් බද්දට එරෙහි රටවල් කිහිපයක රැස්‌වීමක්‌ ඇමෙරිකාව විසින් සංවිධානය කරනු ලැබ තිබේ. ඇමෙරිකාව, රුසියාව, චීනය හා ඉන්දියාව ඇතුළු රටවල් සමූහයක්‌ මීට විරෝධය පළ කළ ද යුරෝපය එය ක්‍රියාත්මක කරන බව පවසයි. ඒ අනුව 2012 වර්ෂයේ කාබන් විමෝචන සැලකිල්ලට ගැනීමෙන් පසු ඊට අදාළ බිල්පත් ලබන අප්‍රේල් මාසයේ සිට අදාළ සමාගම්වලට යොමු කිරීමට නියමිත ය.

යුරෝපා නො වන ගුවන් සමාගම් ඊට විරෝධය පළ කර ඇති අතර මීට සමාන පියවරක්‌ වෙනත් රටවල් ද අනුගමනය කිරීමෙන් ගැටලු ඇති විය හැකි බව ද පෙන්වා දී තිබේ. ඒ නිසා විකල්පයක්‌ ලෙස යොදාගත හැකි ජගත් මට්‌ටමේ විසඳුමක්‌ පිළිබඳව අවධානය යොමු වී ඇත. මේ අනුව වේගයෙන් වර්ධනය වෙමින් ඇති ගුවන් ප්‍රවාහන අංශයේ විමෝචන නිසා වන බලපෑම පාලනය සඳහා කිසියම් විසඳුමක්‌ ඇති වන බවක සේයා මතු වී ඇතත් ඒ ගැන කීමට තවමත් කල් වැඩි ය.

http://www.vidusara.com/2012/08/08/feature3.html

Thursday, July 26, 2012

ඉහළ කොත්මලේ කා ගේ ජයග්‍රහණයක්‌ ද?

ධනේෂ් විසුම්පෙරුම
http://www.vidusara.com/2012/07/25/feature4.html



ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය පසුගිය ජුලි මස 14 වැනි දින ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. මේ යටතේ තලවාකැලේ නගරයට නුදුරින් කොත්මලා ඔය හරහා මීටර 35.5ක උසකින් හා මීටර 180ක්‌ පමණ දිගකින් යුක්‌ත වේල්ලක්‌ තනා ඇති අතර වර්ග කිලෝමීටර් 0.25ක පමණ ප්‍රදේශයක්‌ පුරා පැතිර ඇති ජලාශයක්‌ ද ඉදි කර තිබේ. එහි සිට කිලෝමීටර් 13ක්‌ පමණ දිගු උමගක්‌ ඔස්‌සේ හරවා යවන ජල කඳ භාවිතයෙන් නියම්ගම්දොර ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරයේ දී මෙගවොට්‌ 75 ප්‍රමාණයේ විදුලිජනක දෙකක්‌ මඟින් විදුලිය නිපදවනු ලැබේ. ඉන් පිට වන ජලය එක්‌ වන්නේ කොත්මලේ ජලාශයටයි.

මේ අනුව ඉහළ කොත්මලේ ජල විදුලි බල ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට්‌ 150ක පමණ ධාරිතාවක්‌ අලුතෙන් එක්‌ වී තිබේ. මෙය පුනර්ජනනය කළ හැකි විදුලි ප්‍රභවයක්‌ වන නිසා වර්තමානයේ දී ඉතා වැදගත් වේ. ඒ අද අප මුහුණ දී ඇති විදුලි අර්බුදය නිසා ය. අපේ රටේ ජල විදුලිබල නිෂ්පාදනය අඩු වන විට ඒ හි`ගය පියෑවීම සඳහා තාප විදුලි බලාගාර මඟින් විදුලිය නිපදවීමට විදුලිබල මණ්‌ඩලයට සිදු වේ. මෙය විදුලිබල මණ්‌ඩලයේ පාඩුව ඉහළ නංවන අතර රටේ ආර්ථිකයට ද පාඩු සිදු කරයි. කෙසේ වෙතත් මෙරට ඉදි කළ හැකි විශාල ප්‍රමාණයේ ජල විදුලි බලාගාර අතරින් අවසන් බලාගාරය ඉහළ කොත්මලේ වේ.

ඉහළ කොත්මලේ ජලවිදුලි යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේ දී ය. මූල්‍යාධාර සොයා ගැනීමේ සිට ගත හොත් එය ඉදි කිරීමට වසර දහයක පමණ කාලයක්‌ ගත වී තිබේ. එහෙත් සත්‍ය වශයෙන් ඉහළ කොත්මලේ ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක්‌ පිහිටුවීම පිළිබඳ අදහසට වසර හතළිස්‌ පහක පමණ අතීතයක්‌ තිබේ.

ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ 'පරිණාමය'

මේ බලාගාර ව්‍යාපෘතියේ ආරම්භය සිදු වන්නේ 1968 දී පමණ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි සංවර්ධනය සඳහා පිළියෙල කළ සැලැස්‌මේ මේ ප්‍රදේශයේ වේලි ඉදි කළ හැකි ස්‌ථාන කිහිපයක්‌ හ`දුනා ගැනීමත් සම`ග ය. කෙසේ වෙතත් මහවැලි සැලැස්‌මේ ඒවා ඇතුළත් නො වී ය. ඉන් අනතුරුව 1985-1987 අතර කාලයේ දී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් පසු කැලිඩෝනියා ජලාශය හා තලවකැලේ ජලාශයක්‌ සාධ්‍ය ව්‍යාපෘති ලෙස යෝජනා කර තිබේ. කැලිඩෝනියා ජලාශ ව්‍යාපෘතිය මීටර 70ක්‌ උස්‌ වේල්ලකින් යුක්‌තව ඉදි කිරීමට සැලසුම් කර තිබූ අතර හා එහි දී තැනීමට නියමිත වූ ජලාශය වර්ග කිලෝමීටර් 2.25ක්‌ පමණ වපසරියකින් යුක්‌ත විය. තලවකැලේ ජලාශය මීටර් 20ක්‌ පමණ උස්‌ වේල්ලකින් සමන්විතව ඉදි කිරීමට යෝජනා කර තිබූ වර්ග කිලෝමීටර් 0.4ක්‌ පමණ විශාල ජලාශයක්‌ ද තැනීමට නියමිත විය. කැලිඩෝනියා ව්‍යපෘතිය යටතේ පවුල් 2,500ක්‌ පමණ ද, තලවාකැලේ ව්‍යාපෘතිය යටතේ පවුල් 200ක්‌ පමණ ද, අවතැන් විය හැකි බව එවකට පැවැති දත්ත අනුව ගණන් බලා තිබිණි. ඒ කෙසේ වෙතත් මේ ශක්‍යතා අධ්‍යයනය ද පරිසරය හා නැවත පදිංචි කිරීම් සම්බන්ධව ප්‍රමාණවත් නො වන බව පෙන්වා දී තිබිණි. විශේෂයෙන් කැලිඩෝනියා ජලාශ යෝජනාවෙන් පරිසරයට හා ජනතාවට සිදු වන හානිය විශාල විය.

මේ අතරින් තලවාකැලේ පිහිටුවීමට නියමිත ජලාශය පිළිබඳව 1994 සැප්තැම්බර් මාසයේ දී විදුලිබල මණ්‌ඩලය පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවක්‌ සකස්‌ කරන ලදි. එහි දී ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාව නැවත පදිංචි කරවීම හා දියඇලිවලට සිදු වන සෞන්දර්යාත්මක හානිය ප්‍රධාන බලපෑම් සේ දක්‌වා තිබේ. මෙය බෙහෙවින් විවේචනයට ලක්‌ විය. මේ නිසා පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාව මත ව්‍යාපෘතියට අනුමැතිය දීම මධ්‍යම පරිසර අධිකාරිය කිහිප වතාවක්‌ ම ප්‍රතික්‌ෂේප කළේ ය. එහි උපදෙස්‌ මත විකල්පයක්‌ ලෙස 1996 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලද යොක්‌ස්‌µර්ඩ්/ලි`දුල ව්‍යාපෘතිය සඳහා ද තක්‌සේරු වාර්තාවක්‌ සකස්‌ කරන ලද අතර භූ විද්‍යාත්මක තත්ත්ව හා ප්‍රායෝගික නො වන බව දක්‌වා පෙන්වා දෙන ලදි.

මේ නිසා ව්‍යාපෘති යෝජනාව තීරණයක්‌ නොමැති ව ඇදී ගියේ ය. 1998 දී මේ ව්‍යාපෘතියට යම් යම් කොන්දේසි සහිතව පරිසර අමාත්‍යාංශය ලබා දුන් අනුමැතියට එරෙහි ව පරිසර පදනම අධිකරණයේ පැමිණිලි කළේ ය. එහි දී ඇති කර ගත් එක`ගතා මත ව්‍යාපෘතියට 2000 වර්ෂයේ දී පරිසර හා වනසම්පත් අමාත්‍යාංශයේ අවසර ලැබේ. ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන මත 2003 අංක 1283/19 දරන ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශිත 'ජාතික පාරිසරික (ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය - නිරීක්‌ෂණ) නියෝග' මඟින් පාරිසරික බලපෑම් පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය දක්‌වා තිබේ. 2002 දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාගන්නා ලද අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ 2006 දී පමණ ය.

ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක්‌ ලෙස දක්‌වා තිබේ. අපට පෙනෙන ආකාරයට නම් මෙය පරිසරයේත්, ජනතාව ගේත්, විදුලිබල සැපයුමේත් කිසියම් ජයග්‍රහණයකි.

පාරිසරික බලපෑම් අවම කිරීම

මේ ව්‍යාපෘතියේ මුල් සැලසුම් නිසා සිදු වන්නට තිබූ විවිධ පාරිසරික ගැටලු මේ ව්‍යාපෘතිය නිසා වළක්‌වා ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වී තිබේ. එය පාරිසරික වශයෙන් යම් ජයග්‍රහණයක්‌ සේ සැලකිය හැකි ය. මෙහි දී වැදගත් වන කරුණ වන්නේ ජාතික පාරිසරික පනත යටතේ මේ ව්‍යාපෘතියට අදාළව 2003 වර්ෂයේ දී නියෝග කිහිපයක්‌ නිකුත් කිරීම වැදගත් සන්ධිස්‌ථානයකි.

තලවාකැලේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති සංචාරක ආකර්ෂණයක්‌ ඇති දිය ඇලි අතරින් හතකට පමණ මේ ව්‍යාපෘතියෙන් බලපෑමක්‌ ඇති විය හැකි මට්‌ටමක තිබිණි. ඒ අතරින් වැඩි ම බලපෑමක්‌ ඇති විය හැකි ව තිබුණේ ශාන්ත ක්‌ලෙයාර්, ඩෙවොන් හා රම්බොඩ යන දිය ඇලිවලට ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ජලාධාර ප්‍රදේශය ශාන්ත ක්‌ලෙයාර් දියඇල්ලේ 98%කින් ද, ඩොවොන් ඇල්ලේ 87%කින් ද අඩු වීමට නියමිත ව තිබිණි. ජලය ලබා ගැනීමෙන් තවත් දිය ඇලිවලට ද මෙවැනිම බලපෑම් ඇති වීමට නියමිත විය. එහෙත් ගත වූ කාලයේ දී ඇති වූ වෙනස්‌කම් නිසා මේ දියඇලි රැසක්‌ ආරක්‌ෂා කර ගැනීමට හැකි වී තිබේ. පෙර සඳහන් 2003 ගැසට්‌ නිවේදනයෙන් ද මේ පිළිබඳව ප්‍රතිපාදන සපයා දී තිබේ. ඊට අනුව ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ල සඳහා ජලය ඝන මීටර් 18000ක්‌ ද ඩොවොන් දිය ඇල්ල සඳහා ඝන මීටර් 47250ක පමණ ජල ප්‍රමාණයක්‌ ද දෛනිකව ජලාශයෙන් මුදා හළ යුතු වේ. මේ අනුව අවසානයේ ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතියෙන් සැලකිය යුතු බලපෑමකට ලක්‌ වන්නේ ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ල පමණක්‌ බව පෙනේ. ඒ අනුව දියඇලි රැසක්‌ පවත්වා ගත හැකි වීම එක්‌තරා ජයග්‍රහණයකි. දිය ඇලිවල සෞන්දර්යය හා සංචාරක කර්මාන්තය පසෙක තැබුව ද මේ දිය ඇලි රැක ගැනීමේ පාරිසරික වැදගත්කම් බොහෝ ය.

මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා ඇති වූ සුවිශේෂ ජයක්‌ ද තිබේ. ඒ 19 වැනි සියවසේ මැද භාගයේ දී සොයාගත් Ravana politissima නම් ශ්‍රී ලංකාවට ආවේණික ගොලුබෙල්ලා, ඉන්පසුව නැවත වාර්තා වන එක්‌ ප්‍රදේශයක්‌ මේ ප්‍රදේශය වීම නිසා ය. ජලාශ ප්‍රදේශයේ ජීවත් වූ මේ ජීවී ගහනය වෙනත් ප්‍රදේශයකට පරිස්‌ථාපනය කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ. මුල් ව්‍යාපෘතිය ඒ අයුරින් ම 1990 දශකයේ දී ක්‍රියාත්මක වූයේ නම් මේ පිළිබඳව නො දැන ම එම ගහනය අපට අහිමි වන්නට ඉඩක්‌ තිබිණි.

එසේ ම මින් පෙර ඉදි කිරීමට යෝජනා කර තිබූ විශාල පරිමාණයේ ජලාශය තැනුවේ නම් මේ ප්‍රදේශයේ පාරිසරික වශයෙන් මීට වඩා විශාල වෙනස්‌කම් සිදු වීමට ඉඩ තිබූ නිසා පොකුණක්‌ ලෙස හ`දුන්වන වර්තමාන ජලාශය ද පාරිසරික වශයෙන් යහපත් ජයග්‍රහණයකි.

ජනතාවට සිදු වන බලපෑම්

මේ ව්‍යාපෘතිය නිසා අවතැන් වන පිරිස්‌ හා ඒ හා සම්බන්ධ දේශපාලන හා සමාජයීය ගැටලු ද මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම සඳහා හේතු විය.

1994 පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවට අනුව නැවත පදිංචි කිරීමට සිදු වන්නේ පවුල් 432කි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන විට ජනාවාස නවයක පදිංචි ව සිටි පවුල් 497ක්‌ ස්‌ථාන හයක පමණ නැවත පදිංචි කර තිබේ. අතීතයේ මෙන් මේ 'සංවර්ධන අනාථයන්' ගේ ගැටලු අමතක කර ඔවුන් හුදකලා කොට දමා නොමැති අතර ඔවුන්ට අත්‍යවශ්‍ය (හා බොහෝ විට වඩා හොඳ තත්ත්වයේ) පහසුකම් සහිත නිවාස ද ලැබී තිබේ. ඔවුන් තම පරිසරයෙන් බොහෝ ඈත ප්‍රදේශයක නො ව තමන් වාසය කළ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවල ම නැවත පදිංචි කිරීම විශේෂයකි. වෙනත් යටිතල පහසුකම් ද සපයා දී තිබේ.

පෙර සඳහන් කර තිබූ පරිදි ඉදි කිරීමට නියමිත ව තිබූ කැලිඩෝනියා ජලාශය වැනි විශාල පරිමාණයේ ජලාශයක්‌ තැනුවේ නම් වැඩි පවුල් ප්‍රමාණයක්‌ අවතැන් වීමට ඉඩ තිබූ අතර ප්‍රදේශයේ පිහිටා තිබූ තේ වගාබිම් හා තවත් බොහෝ යටිතල පහසුකම් ද අහිමි වීමට ඉඩක්‌ පැවතිණි. එහෙත් වර්තමාන ජලාශයෙන් බරපතළ තත්ත්වයේ හානියක්‌ සිදු වී නැත.

විදුලිබල ජනනයේ වැදගත් පියවරක්‌

ජල විදුලිබලයේ ඇති අවශ්‍යතාව අපි මේ ලිපියේ මුලින් ම පෙන්වා දුනිමු. ඉහළ කොත්මලේ ඉදිකිරීමට නියමිත ව තිබූ බලාගාරයෙන් ගිගාවොට්‌ පැය 575ක්‌ නිෂ්පාදනය කරන්නට නියමිත ව තිබුණ ද, දැන් නිපදවනු ලබන්නේ ගිගාවොට්‌ පැය 409ක්‌ පමණකි. ඊට හේතුව පාරිසරික කරුණු පිළිබඳව සැලකිල්ලට ගැනීම නිසා සිදු කරන ලද වෙනස්‌කම් ය. පාරිසරික වශයෙන් ලැබී ඇති වාසි හා ප්‍රයෝජන සම`ග සංසන්දනය කර සැලකීමේ දී සාධාරණ බවක්‌ අපට නම් සිතේ.

රටේ විදුලි ජනනය ඉහළ නැංවීමට සිදු ව ඇති එක්‌ හේතුවක්‌ වන්නේ අපේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගොස්‌ තිබීම ය. පුරවැසියන් ලෙස අප අප ගේ පාරිසරික වගකීම් කෙතරම් දුරට ඉටු කර තිබේ ද යන්න පෙනෙන එක්‌ නිර්නායකයක්‌ වන්නේ බලශක්‌ති සංරක්‌ෂණයේ ලා අප දක්‌වන උනන්දුවයි. පාරිසරික කරුණු පිළිබඳ සැලකිල්ලක්‌ දක්‌වන පිරිස්‌ ලෙස අප අප ගේ ඒක පුද්ගල බලශක්‌ති පරිභෝජනය අඩු කිරීමට තවදුරටත් පියවර ගත යුතු බව අපේ හැ`ගීම ය. අපේ සම්පත් පරිභෝජනය තිරසාර විය යුතු ය.

මේ ව්‍යාපෘතියේ අතීතය දෙස සැලකිල්ලෙන් බැලීමේ දී අදාළ බලධාරීන් පරිසරය හා අවතැන් වන ජනතාව පිළිබඳව මුලසිට ම වැඩි සැලකිල්ලක්‌ දැක්‌වූයේ නම් ව්‍යාපෘතිය මීට වඩා කලින් ඉදි කර නිමා කළ හැකි ව තිබිණි. එසේ වූයේ නම් විදුලිබල මණ්‌ඩලය අද ලබන අතිවිශාල පාඩුව තරමක්‌ හෝ අඩු කරගැනීමට ද හැකියාව තිබිණි.

තිරසාර සංවර්ධනයක්‌ සඳහා අපේ රටට අවශ්‍ය ව ඇත්තේ මෙයයි. අවශ්‍ය ව ඇත්තේ පරිසර සංරක්‌ෂණය ද සිදු කරමින් අවශ්‍ය විදුලිබල ජනනය ද සිදුකිරීම ය. අවශ්‍ය වන්නේ වඩා තිරසර විස`දුමකට එළැඹීම ය. ඕනෑ ම සංවර්ධන කටයුත්තක්‌ සඳහා මෙය යොදාගත හැකි ය. පරිසර හා ජනතා හිතකාමී පියවර ගැනීම රටක සංවර්ධනයක්‌ සඳහා අත්‍යවශ්‍ය ය.

Source: http://www.vidusara.com/2012/07/25/feature4.html 

Wednesday, July 18, 2012

Looking back at the origin: Department of Agriculture - One hundred years old

Dhanesh Wisumperuma
The Nation, 27 May 2012
http://www.nation.lk/edition/fine/item/6414-looking-back-at-the-origin.html

The Agriculture Department of Sri Lanka is one of the key departments when we consider the importance of agriculture to the country. Although agriculture sector’s contribution to the GDP (including the plantation sector, livestock and forestry) is only about 9.9 per cent of the country, about 33 per cent of the total employees are engaged in the sector and supports food security. Hence the vitality of a state sector agency for the development of the sector is obvious. According to the Department website, their objectives include; maintaining and increasing productivity and production of the food crop sector for the purpose of enhancing the income and living condition of the farmer and making food available at affordable prices to the consumer. The major functions of the DOA include research, extension, production of seed and planting material, regulatory services related to plant quarantine, soil conservation and pesticides.

However this article aims to look back at the origin of the department, that took place a century ago – the Department of agriculture was established in May 1912.

Promotion of agriculture


The idea to establish the department seems to be the ultimate result of the growing concern about subsistence agriculture during British administration of the country. For instance a clear interest of repairing ancient irrigation works in view of cultivating paddy and other subsistence crops could be seen since at least the mid 19th Century. There was a Central Irrigation Board concerned with irrigation and a department dedicated for Irrigation was created in 1900. Agricultural experiments of paddy and other crops were also carried out through the Department of Botanic Gardens and through Government Agents and their assistants. However the main interest of the government was on the plantation sector.
It seems that the development of agriculture was promoted in view of increasing consumable crop production the people as well as to reduce the burden of importing rice from India. Some of the tanks were repaired when expected beneficiaries agreed to pay a higher amount of tax for a certain period. The food imports were also heavy, for instance half the quantity of rice required for the local consumption was imported, mainly from India in early 1900s.

School gardens were another action taken to promote agriculture during the time period. This was initiated under the Department of Public Instruction (which was later renamed as Department of Education) in 1901 with five schools. It received the support of the Royal Botanic Gardens and ultimately it was transferred to that department in 1906. The School Gardens program was aimed to promote agriculture among the children, to encourage the students to plant at home and to pass the message to their parents. This is highlighted as a mode of practical learning, which changes the education system hitherto limited to theoretical studies. The program included vegetables, fruits, other useful plants and ornaments. It seems that this program targeted rural schools, and there were 236 schools with school gardens by 1912.

Meanwhile there was a general interest in agriculture in society. The Ceylon Agricultural Society was formed in 1904 which also received considerable support from the government. Its objectives included the promotion and extension of agriculture in Ceylon. In 1907, with all this as the backdrop, Christopher Drieberg, Superintendent of School Gardens stated in his contribution to the Twentieth Century Impressions of Ceylon, “…it may be expected that before long a central Department of Agriculture will be established.” The seeds sawn were about to blossom by 1911.

Origin of the Department of Agriculture

Addressing the Ceylon Legislative Council on April 24, 1911, the Governor, Sir Henry McCallum said that he had submitted a memorandum to the Secretary of State in Britain with four principal headings related to Agricultural Department and Training. The first item under this list was the establishment of a Department of Agriculture. He also said that the Secretary of State has approved of the scheme.

According to the records available, The Department of Agriculture was officially established in May 1912. It was done so by superseding the Department of Royal Botanic Gardens. All branches that functioned under the latter became a part of the Department of Agriculture. Robert Nunez Lyne was the first director appointed for the Department of Agriculture by the Secretary of State for Colonies in London. He had served as the Director of Agriculture in Zanzibar and was also in the service of Portuguese East Africa (present Mozambique) previously. He was a Fellow of the Linnean Society as well as the Fellow of the Royal Geographical Society. Lyne published two books, one ‘Mozambique; its agricultural development’ in 1913 and ‘Zanzibar in contemporary times: a short history of the southern East in the nineteenth century’ in 1905.

Lyne was appointed as the Director of the Department of Agriculture of then Ceylon for an annual salary of £ 1,000. However, he also received Rs 3,000 as the editor of the Tropical Agriculturalist and Journal of the Ceylon Agricultural Society which he held from 1912 to 1916. He was also appointed as the Registrar of Co-operative Credit Societies in February 1913 and Principal of the School of Tropical Agriculture in August 1915. He held these responsibilities apart from the Directorship of the Department of Agriculture.
According to his reports, Lyne took up duties as the Director on his arrival in Colombo on May 30, 1912, which date he mentioned as “the date the Department of Agriculture may be said to have superseded the Department of Royal Botanic Gardens.” (It is important to note that some other documents mention the date of assuming duties as May 20).


RN Lyne in 1914 (with kind permission of Don Just, Melbourne, Australia. www.justd.com) 
RN Lyne in 1914 (with kind permission of Don Just, Melbourne, Australia. www.justd.com)

Organization of the new department

Lyne’s main task was to prepare an organization plan for the new department. He commenced on this soon after assuming duties and it took about seven months to finalize the proposals. He submitted it in January 1913 and submitting the proposals he thanked the other officials of various sections that were now under him and functioned previously under the Royal Botanic Gardens.

The new department was incomplete until the new scheme comes out. A committee report on the public service prepared in September 1912 mentioned that Agricultural Department: “As this is a new Department, the final organization of which is still incomplete, it is not desirable to deal with the salaries of its members in this Report.”

McCallum, the then governor, who was about to leave the country accepted Lyne’s proposals and published as a Session Paper. These proposals or the scheme of organization contained a somewhat detailed plan for the Department; The title proposed was “Department of Agriculture, Ceylon” and Peradeniya was the proposed based for a variety of reasons – including the fact that many of the staff and offices are there, suitability of climate, availability of rail transport, and “there is no part of the island, leaving out the uninhabitable jungles, that cannot be reached from Peradeniya in one day.”

Lyne proposed to organize the department into seven divisions, all of which were under the Botanic Gardens previously. These included – Mycology and Botany, Entomology, Horticulture (including Botanic Gardens), Experimental Stations, Low Country Products and School Gardens, Chemistry and Rubber Research and Agricultural Education. The proposals included brief accounts of these divisions. Governor McCallum has mentioned these proposals “lucid and practical” in his review of the administration, published in February 1913. These were considered at a meeting of the Executive Council in April same year for at which Lyne was also present. These proposals were also published in a Session Paper.

With these proposals the Reginald E Stubbs, Acting Governor of Ceylon started a series of communications with the Secretary of State for the Colonies, Lewis Harcourt. There are suggestions as well as re-recommendations and Stubbs on June 4, 1913 requested secretary’s approval of the above general scheme of organizations stating, “Which sees to me to be well conceived and carefully thought out. Executive Council discusses the proposals and unanimously recommended that they should be approved at the earliest possible moment.”

Harcourt replied positively on July 16, 1913 after consulting the Director of the Royal Botanic Garden at Kew. Although the organizational structure was approved, the firm establishment of the department took some time. In April 1914, Lyne mentions that, “The department is not yet in complete working order, as there were three offices still vacant at the close of the year,” but he also mentioned that “at the same time, the Department as a whole has maintained a high level of activity.”With the new system the Department of Botanic Gardens, previously headed by a director, became a Division of the Department of Agriculture. The head of the Division of Botanic Gardens was a superintendent, with a lower salary. This division was to look after the four botanic gardens (including Peradeniya, Hakgala, Heneratgoda and Nuwara Eliya) and three Governors gardens at Colombo, Kandy and Nuwara Eliya. (This system continued until 2005, when the Botanic Gardens unit was transferred to a separate ministry and then made a department in 2006.)

Role of the Department

What was the early role of the Department of Agriculture in this early period? Did it only facilitate the promotion of plantation crops? The department was working on plantation crops and tobacco as well as on subsistence agriculture or crops cultivated for food, an area where facilitation had already begun. For instance, Maha Illuppallama experimental station mainly conducted research on rice and coconuts by 1914, and there are other such stations. Vegetable cultivation was encouraged through the school garden program and research was done on fruits and vegetables as well as their pests during this time.

That was the beginning. The role played by the Department during the rest of the century changed with time. There are criticisms about the role of the Department, although it is one of the best government sector agencies in the country. However the role of the department is further important at present as agriculture is facing serious debacles. Although there is a boom of subsistence agriculture in the country, which is partly subsidized by the state, there are serious challenges ahead – such as climate change.


Source: http://www.nation.lk/edition/fine/item/6414-looking-back-at-the-origin.html

Wednesday, July 4, 2012

එස්. එම්. සෙනෙවිරත්නයන්ට නිවන් සුව පතමි!

එස්. එම්. සෙනෙවිරත්නයන් අප අතරින් සමුගෙන ඇත.

සැලසුම් ශිල්පියකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු ඔහු, වසර තිස්පහක පමණ සේවා කාලයකින් පසු සහකාර කොමසාරිස් (වාස්තුවිද්‍යා) ලෙස විශ්‍රාම ගත්තේය. මේ කාලය තුළ ඔහු කළ කටයුතු බොහෝය. ඒ එකිනෙක සඳහන් කළ නොහැකි වුවත්, සීගිරි බිතුසිතුවම් මත තීන්න තැවරූ අවස්ථාවේ දී ඒවා යළි පිළිසකර කිරීමට ඔහු දුන් දායකත්වය විශේෂයෙන් සඳහන් කළ යුතුය. (සෙනෙවිරත්න මහතා දුන් දායකත්වය වෙනුවෙන් පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ 1967-68 පාලන වාර්තාවේ ස්තුති කර තිබේ)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බැහැර ඔහු කළ නිර්මාණ අතර ශ්‍රී ලංකා ජනරජ ලාංඡනය ඉතා වැදගත් නිර්මාණයකි. මේ පිළිබඳව 2001 වර්ෂයේ මැයි මස 22 දින ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය හා වෙනත් ලාංඡන‘ මැයෙන් ඔහු පැවැත්වූ දේශනය විශිෂ්ට දේශනයක් සේ හැඳින්විය හැකිය. ඔහු විසින් ජාතිය වෙනුවෙන් කළ මහඟු සේවා වෙනුනේ ඔහු කලාපති, කලාභූෂණ හා පුරාවිද්‍යා චක්‍රවර්තී යන සම්මානයෙන් පිදුම් ලබා ඇත. 
 
මා ඔහු හ‍ඳුනාගත්තේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයෙනි. 1990 ගණන්වල මුල් කාලයේ දී මා පුරාවිද්‍යා සංගමයට බැඳුණු සමයේ ඔහු එහි සාමාජිකයකු වූ බව මතකය. ඒ වන විට ඔහු විශ්‍රාමිකව සිටිය ද පුරාවිද්‍යා විෂය පිළිබඳ පැවැති උනන්දුව නිසා ඔහු හැකි හැමවිටම පුරාවිද්‍යා සංගමයේ කටයුතුවලට ද සම්බන්ධ විය. අසනීප තත්ත්වයෙන් පසු වූ අවස්ථාවල දී පවා තම දරුවකු සමග හෝ ඔහු සංගමයේ රැස්වීම්වලට පැමිණියේය. එසේම ඔහු සංගමයේ සාමාජික්වය සඳහා හඳුන්වා දුන් ශිෂ්‍යයින් ද විය.

පුරාවිද්‍යා සංගමයේ කටයුතු අතර ඉඩකඩ ඇති අවස්ථාවල දී අපට විවිධ මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට ද අපට අවස්ථාව ලැබිණි. එවැනි විටක ඔහු තම අත්දැකීම් විස්තර කරමින් ඇතැම් විටක ඔහු පෑ ප්‍රසන්න මදහස තවමත් මගේ මතකයේ රැදී ඇත.

මම ඔහුට නිවන් සුව පතමි.

ඔහු පිළිබඳ ලියැවුණු ලිපියක් - S M Senevirathne Creator of national crest (Daily News, 2011-7-27, Link)

Saturday, June 30, 2012

නරි බෑනා (යළිත්) නැරඹීමි

බොහෝ කලකට පසුව අද නරි බෑනා නරඹන්නට අවස්ථාවක් ලදිමි. ඉන් ලද ආස්වාදය හේතුවෙන් ද (සැලකිය යුතු දිනකින් මේ බ්ලොගයේ සටහනක් ද නොතැබූ බැවින් ද) කෙටි සටහනක් හෝ අදම තබන්නට සිතුවෙමි.


නරි බෑනා යනු මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ අමතක නොවන නාට්‍යයකි. මේ නාට්‍යය අඩ සියවසකටත් වඩා පැරණිය. එය දයානන්ද ගුණවර්ධනයන්ගේ පළමු වේදිකා නාට්‍යය නුවූවත් වඩාත් ප්‍රසිද්ධියට පත් පළමු නාට්‍යය බව පෙනේ. පළමුව 1961 නොවැම්බර් මාසයේ දී පමණ, එවකට ඔහු සේවය කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නාට්‍ය සංගමය මගින් පාසල් නාට්‍යයක් සේ නරි බෑනා නිෂ්පාදනය කර තිබේ. (බලන්න දයානන්ද ගුණවර්ධන වෙබ් අඩවියේ biography පිටුව හා 1998-02-12 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත).

දයානන්ද ගුණවර්ධනයන් විසින් සඳහන් කර ඇති පරිදි ජනකතා දෙකක් පදනම් කර ගනිමින් මේ නාට්‍යය නිර්මාණය කර ඇත. (මේ පිළිබඳ විස්තර සහ තවත් තොරතුරු ඇතුළත් 1962 දී පළ වී ඇති නරි බෑනා නාට්‍යය පොතේ පෙරවදන www.dayanandagunawardena.org/work/naribena වෙබ් පිටුවේ සඳහන් වේ)

නරි බෑනාහි ඇති වින්දනීයත්වයට හේතුව එහි ඇති ගීතවත්භාවය බව මට සිතේ. අපට කිසිදා අමතක නොවන ගීත දෙකක් මෙහි එයි. ඒ ‘කුමටද සොබනියෙ කඳුළු සලන්නේ‘ හා ‘ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි‘ යන ගීය. 

නරි බෑනා හා ජසයා සහ ලෙන්චිනා යන නට්‍ය ද්විත්වය නරඹන්නට ලැබුණු තැන ද අපූරුය. ඒ බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේ පිහිටි ජන රඟහලයි. එය නාට්‍යයක් නරඹන්නට බෙහෙවින් අපූරු වටපිටාවකි. හරිතවත් පරිසරය, ජනකලාවටම ඇරුණු වටපිටාව මෙන්ම නිදහස් තැනක් වීම ද මීට උපකාරී වන බව පෙනේ. (මේ බව වඩාත් තේරුම් ගත හැකි වූයේ මගේ සිව් හැවිරිදි දියණියගේ ප්‍රතිචාර නිසා බව ද සඳහන් කළ යුතුය.) කෙසේ වෙතත් වේදිකාවේ පිහිටීම හා ශාලාවේ ආලෝකවත් බව පාලනය කළ හැකි වූවා නම් වේදිකා නාට්‍ය සඳහා මේ රංගශාලාව තවදුරටත් යෝග්‍ය විය හැකි බවක් සිතේ.

වැඩිදුර කියැවීම සඳහා -

30-06-2012