ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-08-29, පි. 11 (Vidusara, 2012-08-29 p.11)
Vidusara: http://www.vidusara.com/2012/08/29/feature3.html
විමසුම - පර්යටන පක්‌ෂීන්ට ඇති තර්ජන පිළිබඳ විමසීමක්
පුවත් සැකෙවින් - ආක්‌ටික් සාගර අයිස් වාර්තාගත අඩුවීමක?/ උතුරු ඇමෙරිකානු වායු දූෂකවලින් අඩක් වෙනත් රටවලින්/ දේශගුණ වෙනස් වීම වවුලන්ටත් බරපතළයි
විමසුම
පර්යටන පක්‌ෂීන්ට ඇති තර්ජන පිළිබඳ විමසීමක්
අපේ පරිසරයේ ජීවත් වන පක්‌ෂීන් අතරින් පර්යටන පක්‌ෂීන් මිනිසුන් ගේ විශේෂ අවධානයකට ලක් ව ඇති පක්‌ෂි කාණ්‌ඩයකි. ඔවුන් ගේ පර්යටන රටාවේ ඇති විශේෂත්වය ම මේ අවධානය සඳහා හේතු වේ. මිනිසුන් විසින් තනාගැනුණු දේශසීමා හා මායිම් මේ පර්යටනය සඳහා කිසිදු බලපෑමක් ඇති නො කරන අතර ඔවුහු තම අභිජනන බිම් හා පර්යටන සමයේ වාසය කරන බිම් අතර වාර්ෂිකව පර්යටනය කරති. එහෙත් මේ පක්‌ෂීන් ගේ පැවැත්ම සඳහා ප්‍රදේශ දෙකේ ම අදාළ පරිසර පද්ධති ආරක්‌ෂා වීම වැදගත් ය. මේ නිසා ඔවුන් ගේ පර්යටන භූමි ප්‍රදේශ ආරක්‌ෂා කිරීම පිළිබඳව ද ලෝකයේ අවධානය යොමු වී ඇත. තෙත්බිම් ආරක්‌ෂා කිරීම පිළිබඳ රම්සා සම්මුතිය ඇති වන්නේ මේ පර්යටන පක්‌ෂීන් සම්බන්ධව ඇති වූ අවධානය නිසා ය. එසේ ම පර්යටනය කරන ජීවී විශේෂ පිළිබඳ සම්මුතිය (බොන් සම්මුතිය) මෙවැනි ජීවී විශේෂ සම්බන්ධ පොදු ගිවිසුමක් ලෙස හැඳින්විය හැකි ය.
ලෝකයේ මෙවැනි සම්මුති හා විවිධ වැඩසටහන් තිබුණ ද මේ පක්‌ෂි කාණ්‌ඩය තර්ජනයකට ලක් ව තිබේ. පසුගිය දා ප්‍රකාශයට පත් සමාලෝචනයක ප්‍රතිඵලවලට අනුව වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන පර්යටන පක්‌ෂීන් ගේ පැවැත්මට බලපාන සාධක ගණනාවක් තිබේ. මෙහි දී සෞම්‍ය කලාපීය ප්‍රදේශවල අභිජනනය කරන හා තෙත්බිම් ප්‍රදේශවල සිසිර සෘතුව ගත කරන පක්‌ෂි විශේෂ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පක්‌ෂි විශේෂවලට බලපාන සාධක 45ක් පමණ මේ පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ බලපෑම් ස්‌වාභාවික, දිගුකාලීන, වර්තමාන මානව කටයුතු හා අනාගත තර්ජන ලෙස කාණ්‌ඩගත කර ඇත.
ස්‌වාභාවික තර්ජන හා ක්‍රමික වෙනස් වීම්
පර්යටන පක්‌ෂීන් මුහුණ දෙන ස්‌වාභාවික තර්ජන පහක් මෙහි දී සමාලෝචනයට ලක් කර තිබේ. මේ අතර මුල්තැනක් ගන්නේ මහා සුනාමි තත්ත්වවල දී පරිසර පද්ධතිවලට ඇති විය හැකි හානිය විශාල වීම ය. එසේ ම ගිනි කඳු පිපිරීම් නිසා ද මේ පක්‌ෂීන්ට වාසස්‌ථාන වන කුඩා දූපත් ආදිය විනාශ වීමට හැකි ය. භූමිකම්පා මඟින් ඩෙල්ටා ප්‍රදේශ හා අන්තර් උදම් කලාප පවා විතැන් විය හැකි අතර එවැනි සිදුවීමක් ඇතැම් විට පර්යටන පක්‌ෂීන් ගේ වාසස්‌ථාන වෙනස් කිරීමට බලපෑමට ඉඩ තිබේ. එමෙන් ම කුණාටු වැනි තත්ත්ව නිසා මේ පක්‌ෂීන්ට වැදගත් වන භූමි ප්‍රදේශ විනාශ විය හැකි ය.
මේ අතර ක්‍රමිකව සිදු වන වෙනස්‌වීම් අතර වැදගත් තැනක් ගන්නා බලපෑමක් ලෙස කලාපීය වශයෙන් සිදු වන දේශගුණ වෙනස් වීම හඳුනාගෙන තිබේ. මේ නිසා පක්‌ෂීන්ට ඇති වන අහිතකර තත්ත්ව බොහෝ සේ ප්‍රකට ඒවා ය. දේශගුණ වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා වෙරළාශ්‍රිත පක්‌ෂීන් ගේ ගොදුරුබිම් හා වාසස්‌ථාන විනාශ වීමට හා වෙනස් වීමට ඉඩ තිබේ. ඉහළ යන මුහුදු මට්‌ටම සමඟ ගොඩබිම තුළට වන්නට නව අන්තර් උදම් කලාපයක් ඇති වීමට ඇති අවස්‌ථාව බොහෝ ප්‍රදේශවල මේ වන විට දැකිය හැකි මානව සංවර්ධන කටයුතු නිසා සීමා වී තිබේ.
වර්තමාන මානව මූලික තර්ජන
වර්තමානයේ ඇති වී තිබෙන මානව මූලික තර්ජන විසි එකක් හඳුනාගෙන තිබේ. ඒ අතර වඩා වැදගත් වන්නේ, කෘෂිකර්මයේ වර්ධනය, වෙරළබඩ තෙත්බිම් හා උදම් කලාප මානව සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම හා වෙරළබඩ පරිසර පද්ධතිවල දැකිය හැකි සුපෝෂණයයි.
මේ අතරින් කෘෂිකාර්මික කටයුතුවල දැකිය හැකි වර්ධනය නිසා ඇතැම් පක්‌ෂි වාසභූමි වෙනස් වී තිබේ. එවැනි ප්‍රදේශවලට හුරු වීමට නොහැකි පකෂීන් වඳ වී යා හැකි ය. එසේ ම කෘෂිකර්මයේ දී යොදාගන්නා ඇතැම් නව තාක්‌ෂණික ක්‍රමවේද පක්‌ෂීන්ට බලපෑමට ඉඩ තිබේ. නිදසුනක් ලෙස අඩු ජල ප්‍රමාණයක් මගින් සිදු කරනු ලබන වී වගාව නිසා පක්‌ෂි වාසස්‌ථාන අඩු වූ අවස්‌ථා වාර්තා වේ.
මානව කටයුතු සඳහා යොදාගෙන ඇති වෙරළබඩ පරිසර පද්ධති අතර කඩොලාන බිම් හා උදම් ප්‍රදේශ හා වෙනත් එවැනි පරිසර පර්යටන පක්‌ෂීන්ට වැදගත් පරිසර පද්ධති වේ. මේවා ලුණු ලේවා, ජලජීවී වගාව හා ගොඩනැඟිලි මානව ඉදි කිරීම් සඳහා යොදාගැනීම ඉහළ ගොස් තිබේ. එසේ ම පරිසර දූෂණය ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි සාධකයකි.
වෙරළබඩ පරිසර පද්ධති සුපෝෂණයට ලක් වීම ද පක්‌ෂීන්ට අහිතකර වේ. මේ නිසා ඇති වන අසමතුලිතතාව පක්‌ෂීන්ට අයෝග්‍ය විය හැකි ය. මේවා හැර, දඩයම් කිරීම, ආක්‍රමණික ජීවී විශේෂ හා මේ පක්‌ෂීන් ගේ ගොදුරු පරිසරයෙන් ඉවත් කිරීම ද මේ ජීවීන්ට තර්ජනයක් වේ.
අනාගත තර්ජන
මේ අතර උක්‌ත අධ්‍යයනයේ දී අවධානය යොමු වී ඇති සාධක වර්ගයක් ලෙස අනාගතයේ දී තර්ජනයක් විය හැකි සාධක දැක්‌විය හැකි ය. එවැනි සාධක 13 ක් හඳුනාගනෙ තිබේ. නිදසුනක් ලෙස මිලිමීටර් 5ට අඩු ප්‍රමාණයේ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික් ප්‍රමාණය ඉහළ යැම නිසා පක්‌ෂීන් ගේ ආහාර දාමයේ යම් යම් වෙනස්‌වීම් ඇති වේ. එසේ ම මිනිසුන් විසින් වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඇති කරනු ලබන නව විනෝදාත්මක කටයුතු ද අනාගත තර්ජනයක් විය හැකි ය.
මේ අධ්‍යයනය මගින් පර්යටන පක්‌ෂීන් ගේ අනාගතය පිළිබඳව වැදගත් පණිවිඩයක් ලබා දෙන බව පෙනේ. ඒ නිසා අදාළ ගැටලු අවම කිරීමට කටයුතු කළ හැකි ය. එසේ ම ක්‍රමවේද යොදාගනිමින් අනෙක් පක්‌ෂි කාණ්‌ඩ සඳහා ද මේ ආකාරයෙන් යම් ඇගැයීමක් සිදු කළ හැකි නම් වැදගත් බව උක්‌ත අධ්‍යයනයේ දී පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය( Mammal Review, DOI:
10.1111/j.1365-2907.2012.00214.x)
පුවත් කෙටියෙන්
ආක්‌ටික් සාගර අයිස් වාර්තාගත අඩුවීමක?
ඉදිරි සති කිහිපයක කාලය තුළ ආක්‌ටික් සාගර ප්‍රදේශයේ ඇති අයිස් මට්‌ටම මෙතෙක් වාර්තාවූ අඩු ම මට්‌ටම දක්‌වා පහළ යැමට ඉඩ ඇති බව පසුගිය සතියේ වාර්තා විය. ලෝකයේ උතුරු අර්ධගෝලයේ ග්‍රීෂ්ම සෘතුව පවත්නා කාලය තුළ ඇති වන මේ අයිස් දිය වීම සැම වර්ෂයක දී ම දැකිය හැකි ය. මෙතෙක් වාර්තා වී ඇති අඩු ම මුහුදු අයිස් ප්‍රමාණය වාර්තා වී තිබුණේ 2007 වර්ෂයේ දී ය. එහෙත් ඉදිරි දින තුළ මේ තත්ත්වය ඇති විය හැකි ය. මේ වන විට ආක්‌ටික් සාගර කලාපයේ වේගවත් අයිස් දියෑවීමක් දැකිය හැකි ය. ඒ අනුව ග්‍රීෂ්ම සෘතුව අවසන් වී නැවත අයිස් සෑදීම ආරම්භ වීමට පෙර දියෑවෙන උපරිම මට්‌ටම වාර්තාගත මට්‌ටමට ළඟා වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.
මේ තත්ත්වය සඳහා ගෝලීය උණුසුම් වීම බරපතළ ආකාරයෙන් බලපාන බව පැහැදිලි ය. මේ තත්ත්වය හා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම අතර පැහැදිලි සම්බන්ධයක් තිබේ. අප යළි යළිත් පෙන්වා දී ඇති ආකාරයට මේ තත්ත්වය වැළැක්‌වීමට කිසිදු පියවරක් ගෙන නොමැති වීම ලෝකය හමුවේ ඇති අභියෝගයයි.
උතුරු ඇමෙරිකානු වායු දූෂකවලින් අඩක් වෙනත් රටවලින්
උතුරු ඇමෙරිකාවේ වායු දූෂණය සහ දේශගුණ වෙනස් වීම සඳහා බලපාන වාතිලන අංශුවලින් අඩක් පමණ ප්‍රමාණයක් වෙනත් මහාද්වීපවල ජනනය වන ඒවා බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මේ අතරින් වැඩි ප්‍රමාණය කාර්මික වායු දූෂක නො ව දූවිලි බව ද මෙහි දී හෙළි වී තිබේ.
චන්ද්‍රිකා තාක්‌ෂණය යොදාගනිමින් වායු දූෂක පිළිබඳව සිදු කර ඇති මේ පර්යේෂණය අනුව වෙනත් කලාපවලින් පැමිණෙන දූවිලි අංශු උතුරු ඇමෙරිකාවේ දී වායු ගෝලයේ ඉහළ මට්‌ටම්වලට යම් බලපෑමක් ඇති කරයි. ඒ අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව හා මැද පෙරදිග කලාපයේ ජනනය වන දූවිලි උතුරු ඇමෙරිකානු ප්‍රදේශවලට පැමිණේ. මේ අතරින් සියයට 87.5ක් ම පැසිපික් කලාපය හරහා පැමිණෙන බව අනාවරණය වී ඇත.
මෙහි දී වැදගත් කරුණු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න උතුරු ඇමෙරිකානු රටවල වායු දූෂණය පාලනයෙන් පමණක් වාතිලයන අංශු මගින් වන වායු දූෂණය වැළැක්‌වීම අසීරු වීම ය. අනෙක් කරුණ වන්නේ ආසියානු රටවල කාර්මික වායු දූෂණයට වඩා වැඩි වාතිලන අංශු ප්‍රමාණයක් කාලගුණ තත්ත්ව හා කාන්තාරණය නිසා ජනනය වීම ය. (මූලාශ්‍රය( Science, DOI: 10.1126/science.1217576)
දේශගුණ වෙනස් වීම වවුලන්ටත් බරපතළයි
දේශගුණ වෙනස් වීම වවුල් විශේෂ අතරින් විශාල සංඛ්‍යාවක ගේ පැවැත්ම සඳහා ඉදිරියේ දී දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව පසුගිය දා පළ වූ අධ්‍යයනයකින් හෙළි කර තිබේ. යුරෝපීය හා වයඹදිග අප්‍රිකානු ප්‍රදේශවල ජීවත් වන වවුල් විශේෂ යොදාගත් මේ අධ්‍යයනයට අනුව උෂ්ණත්වය ඉහළ යැම මේ වන විට ද වවුල් විශේෂ ගණනාවකට ගැටලුවක් බවට පත් ව තිබේ.
වවුලන් ගේ ජීවිතයේ බොහෝ අංශ සඳහා වෙනස් වන පාරිසරික තත්ත්ව බලපානු ඇත. නිදසුනක් ලෙස ගත හොත් වවුලන් ගේ ආහාර ගැනීම, ශිශිරතරණය, ප්‍රජනනය, වර්ධනය හා ව්‍යාප්තිය වැනි අංශ සඳහා බලපෑම් ඇති විය හැකි ය. නිදසුනක් ලෙස ගත හොත්, දේශගුණ වෙනස් වීම නිසා ඉහළ යන ජල ආතතියක් ඇති ප්‍රදේශවල ජීවත් වන වවුල් විශේෂවලට ජලය සොයා වැඩි දුරක් පියැඹීමට සිදු වීම දැක්‌විය හැකි ය. එසේ ම කෘමීන් ආහාරයට ගන්නා විශේෂවලට ද ආහාර සොයාගැනීම සඳහා වැඩි ප්‍රදේශයක් පුරා ගමන් කිරීමට සිදු විය හැකි ය.
මේ ආකාරයෙන් වවුලන් දේශගුණ වෙනස් වීමෙන් වැඩි බලපෑමට ලක් වීම සඳහා විශේෂයෙන් හේතු වන කරුණු ගණනාවක් තිබේ. ඉන් එකක් වන්නේ ඇතැම් විශේෂවල ව්‍යාප්තිය කුඩා ප්‍රදේශයකට සීමා වීම ය. නිදසුනක් ලෙස මේ සතුන් ඇතැම් විට උස් උන්නතාංශයක හෝ අක්‌ෂාංශ ප්‍රදේශවල වාසය කිරීම දැක්‌විය හැකි ය. එසේ ම ඇතැම් වවුල් විශේෂවල ව්‍යාප්තිය සඳහා ඇති අවස්‌ථා සීමාසහිත වීම ද මෙවැනි කරුණු අතර වේ. ඉදිරියේ දී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සමඟ මේ තර්ජන තවත් බරපතළ වීමට ඉඩ තිබේ.
සාමාන්‍යයෙන් අඩු අවධානයකට ලක් ව සිටින වවුලන්, ක්‌ෂීරපායී විශේෂ අතර වැදගත් පාරිසරික සේවාවක් ඉටු කරන ජීවී විශේෂ කාණ්‌ඩයකි. ඇතැම් විට මේ සේවා මිනිසාට සුවිශේෂ වැදගත්කමකින් යුක්‌ත ය. නිදසුනක් ලෙස ඇතැම් භෝගවල පුෂ්ප පරාගණය වවුලන් විසින්ම සිදු වේ. එසේ ම ඇතැම් හානිකර කෘමි විශේෂ ආහාරයට ගැනීම මගින් පරිසරයේ සමතුලිතතාවක් ඇති කිරීමට ද වවුලෝ දායක වෙති. එසේ නම් මේ අපූරු සත්ත්ව කාණ්‌ඩය
රැකගැනීම සඳහා කඩිනම් පියවරක් ගැනීම වැදගත් වේ. වවුලන් අනාගතයේ දී දේශගුණ වෙනස් වීම සම්බන්ධව සිදු කරනු ලබන ඇගැයීම්වල දී වවුලන් පිළිබඳව ද කිසියම් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව මේ පර්යේෂණයෙන් අවධාරණය කරන ප්‍රධාන කරුණකි. (මූලාශ්‍රය( Mammal Review, DOI: 10.1111/j.1365-2907.2012.00214.x)
http://www.vidusara.com/2012/08/29/feature3.html
No comments:
Post a Comment