ධනේෂ් විසුම්පෙරුම
http://www.vidusara.com/2012/09/05/feature3.html
විදුසර (Vidusara), 2012-09-05, පි. 11
විමසුම - අපෘෂ්ඨවංශීන් අතරින් පහෙන් පංගුවක් වඳ වීමේ අවදානමක
පුවත් සැකෙවින් - ආහාර අර්බුදයක් අත ළඟ ද?/ ආක්‌ටික් සාගර අයිස් මට්‌ටම අඩු ම මට්‌ටමේ/ ලාබදායක සූර්ය කෝෂ තාක්‌ෂණයේ දියුණුවක්
විමසුම
අපෘෂ්ඨවංශීන් අතරින් පහෙන් පංගුවක් වඳ වීමේ අවදානමක
අපේ ලෝකයේ ජීවත් වන ජීවීන් අතර කොඳුඇට පෙළක් නොමැති ජීවීන් හෙවත් අපෘෂ්ඨවංශීන් කෙරෙහි ඇති අවධානය සාපේක්‌ෂව අඩු ය. මේ වර්ගයට අයත් ජීවීන් අතර විවිධ කෘමීන් හා වෙනත් සන්ධිපාදිකයන්, ගොළුබෙල්ලන් ඇතුළත් මෘද්වංශීන්, ගැඩවිලුන් හා කූඩැල්ලන් ඇතුළත් ඇනෙලිඩාවන්, නෙමටෝඩාවන් ආදීන් අයත් වේ.
අපෘෂ්ඨවංශීන් අතර ජෛවවිවිධත්වය ඉතා ඉහළ ය. ලෝකයේ ජීවත් වන ජීවී විශේෂ අත§න් 79%ක් පමණ අපෘෂ්ඨවංශීන් බව ගණන් බලා ඇත. මේ ප්‍රමාණය භෞමික ජීවී විශේෂ පිළිබඳව සැලකීමේ දී 96%ක් පමණ තරම් ඉහළ විය හැකි ය. එහෙත් අපෘෂ්ඨවංශීන් අතින් කොරල් ජීවීන්, සමනළයින් වැනි ඇතැම් වර්ගවල සතුන් අපේ වැඩි අවධානයකට ලක් වුව ද සෙසු අපෘෂ්ඨවංශීන් එතරම් අවධානයට ලක් ව නැත. නිදසුනක් ලෙස ගත හොත් පර්යේෂණ ලේඛන අතරින් 69%ක් ම ලියෑවී ඇත්තේ ප්‍රමාණයෙන් 3%ක් පමණක් වන පෘෂ්ඨවංශීන් පිළිබඳව ය. ප්‍රමාණයෙන් 79%ක් වන අපෘෂ්ඨවංශීන් ගැන ලියෑවී ඇත්තේ 11%ක් තරම් අඩු ප්‍රමාණයකි. එසේ ම වර්තමානයේ විස්‌තර කරනු ලබන ජීවී විශේෂ අතරින් ඉතා අධික ප්‍රතිශතයක් අපෘෂ්ඨවංශීන් ය. එහෙත් අපෘෂ්ඨවංශීන් අතරින් අප වැඩි විස්‌තරයක් දන්නේ විශේෂ අතරින් 1%කටත් අඩු ප්‍රමාණයක් පිළිබඳව ය.
අපේ එතරම් සැලකිල්ලකට ලක් නො වුව ද ඔවුන් මේ පරිසරයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොටස්‌කරුවන් පිරිසකි. ස්‌වාභාවිකව දැකිය හැකි පරිසර පද්ධති සේවා අතර සැලකිය යුතු කාර්ය රැසකට මේ ජීවීන් ගෙන් දායකත්වයක් ලැබේ. නිදසුනක් ලෙස මීමැස්‌සන් හා වෙනත් කෘමීන් මගින් සිදු වන පරාගනය හා ගැඩවිලුන් විසින් අපද්‍රව්‍යවල ඇතුළත් පෝෂක ප්‍රතිචක්‍රීකරණය කිරීම මිනිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන සංසිද්ධි අතර වේ. අනෙක් අතට කොරල්පර පරිසර පද්ධති බොහෝ ජීවී විශේෂ රැසකට වාසස්‌ථාන හා අභිජනන භූමි සපයන අපූරු පරිසර පද්ධතියකි.
අපෘෂ්ඨවංශීන් මුහුණ දෙන තර්ජනය
අපෘෂ්ඨවංශීන් පිළිබඳව අපේ ඇති අඩු අවධානය නිසා මේ වන විටත් ඔවුන් තර්ජනයකට ලක් ව ඇති අතර එය තවදුරටත් නො සලකා හැරීමෙන් අනාගතයේ දී තවත් බොහෝ ගැටලුවලට මුහුණ දීමට අපට සිදු විය හැකි ය. ලන්ඩන් සත්ත්ව විද්‍යාත්මක සංගමය (Zoological Society of London) මගින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අපෘෂ්ඨවංශීන් පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යයන වාර්තාවකින් මේ බව හෙළි කර තිබේ.
ලෝකයේ ජීවත් වන අපෘෂ්ඨවංශීන් පිළිබඳ මේ වාර්තාව පිළියෙල කර ඇත්තේ IUCN රතු ලැයිස්‌තුවේ ඇතුළත් වන අපෘෂ්ඨවංශීන් 12,621ක් පමණ විශේෂ ප්‍රමාණයක් පිළිබඳව සිදු කරන ලද සමාලෝචනයකිනි. මේ ප්‍රමාණය ලෝකයේ වාසය කරන බවට අනුමාන කර ඇති අපෘෂ්ඨවංශීන් අතරින් සියයට එකකටත් අඩු ප්‍රමාණයක් වුවත් එය මේ ජීවීන් මුහුණපා ඇති තත්ත්වය පෙන්වන සාධකයක් සේ ගත හැකි ය. මේ වාර්තාවෙන් හෙළි වන කරුණු අනුව ලෝකයේ ජීවත්වන සියලු අපෘෂ්ඨවංශීන් අතරින් පහෙන් එකක් පමණ ප්‍රමාණයක් වඳ වීමේ තර්ජනයකට ලක් ව සිටින බව පෙනේ.
මිරිදියේ ජීවත් වන අපෘෂ්ඨවංශීන් අතරින් 34%ක් පමණ වඳ වීමේ තර්ජනයකට ලක් ව සිටිති. තතු හීන (Data Deficient) කාණ්‌ඩයට ඇතුළත් ජීවීන් සියල්ල වඳ වීමේ තර්ජනයක සිටින්නේ යෑයි සිතුව හොත් මේ ප්‍රමාණය 56%ක් පමණ ද, එම කාණ්‌ඩයේ කිසිදු ජීවියකු තර්ජනයකට ලක් ව නොමැත්තේ නම් එය 23%ක් පමණ ද විය හැකි ය. නිදසුනක් ලෙස මිරිදිය ගොළුබෙල්ලන් දැක්‌විය හැකි ය. ඔවුන් අතරින් තුනෙන් එකක් පමණ වඳ වීමේ තර්ජනයට ලක් ව තිබේ. ඒ සඳහා මූලික හේතුවක් වන්නේ ඔවුන් සීමිත ප්‍රදේශයක ව්‍යාප්ත වීම හා සංචලතාවය අඩු වීම ය. (මෙය පෘෂ්ඨවංශීන් අතර ද දැකිය හැකි ය - මෙවැනි තත්ත්වයකට මුහුණ පා ඇති සත්ත්ව කාණ්‌ඩයක් වන උභය ජීවීන් අතර තර්ජනයට ලක් ව ඇති විශේෂ ප්‍රමාණය මේ හා සමාන මට්‌ටමක වේ.)
ගොඩබිම වාසය කරන අපෘෂ්ඨවංශීන් අතරින් 42%ක් වඳ වීමේ තර්ජනයට ලක් ව තිබේ. සාගරවාසී අපෘෂ්ඨවංශීන් අතරින් 25%ක් පමණ තර්ජනයට ලක් ව ඇති අතර එය තතු හීන කාණ්‌ඩය නොමැති ව හා ඇතුළත් ව 20% හා 45% අතර පරාසයක වේ. එහෙත් සාගර අපෘෂ්ඨවංශීන් අතරින් මෙතෙක් ඇගැයීමට ලක් ව ඇත්තේ සාගරයේ ජීවත් වන එවැනි ජීවීන් අතරින් සියයට 1ක් පමණ තරම් අඩු ප්‍රමාණයක් වීම නිසා ඒ පිළිබඳව නිශ්චිතව කීම අසීරු ය.
සමස්‌තයක් ලෙස ගත් විට ලෝකයේ අපෘෂ්ඨවංශීන් මුහුණ පා ඇති තර්ජනය පෘෂ්ඨවංශීන් හා ශාක මුහුණ දී ඇති තර්ජනයට සමාන තත්ත්වයක් ගන්නා බව පෙනේ. එහෙත් ඔවුන් අප අඩුවෙන් දන්නා ජීවී කාණ්‌ඩයක් වීම කණගාටුවට කරුණකි.
තර්ජනයට හේතු
මේ ජීවී කාණ්‌ඩවල සතුන් වඳ වීමේ තර්ජනයකට ලක් වීමට බලපා ඇති හේතු විවිධ වේ. එහෙත් ඉන් වැඩි ප්‍රමාණයක් මිනිසුන් විසින් සිදු කරන ලද ක්‍රියාවලිවල ප්‍රතිවිපාක සේ සඳහන් කළ හැකි ය. නිදසුනක් ලෙස ගත හොත් විවිධ හේතු නිසා සිදු වන වාසස්‌ථාන විනාශ වීම, පරිසර උෂ්ණත්වය ඉහළ යැම, ජල දූෂණය, වේලි ඉදි කිරීම වැනි කරුණු ප්‍රධාන වේ. මෙය අදාළ පරිසරය අනුව විවිධ ආකාරයෙන් බලපෑ හැකි ය. පරිසර දූෂණය හා වේලි ඉදි කිරීම මිරිදිය අපෘෂ්ඨවංශීන්ට බලපාන ප්‍රධාන සාධක වේ. එහෙත් ගොඩබිම වෙසෙන අපෘෂ්ඨවංශීන්ට වඩාත් බලපාන්නේ වාසස්‌ථාන අහිමි වීම ය. කෙසේ වෙතත් මේ විවිධ බලපෑම් නිසා පරිසරයේ සිදු වන වෙනස්‌වීම් මේ ජීවීන්ට බලපායි.
අප මේ නො සලකා හැර ඇති මේ අපෘෂ්ඨවංශීන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට කාලය පැමිණ ඇති බව පෙනේ. අනෙක් අතට ඔවුන් ගෙන් සිදු වන පාරිසරික සේවා පිළිබඳව සැලකූ විට අපෘෂ්ඨවංශීන් නොමැති ලෝකයක මිනිසුන් ගේ පැවැත්ම කොතෙක් කාලයක් යන තුරු පවතී ද යන්න විමසිය යුතු ය. මේ වාර්තාව එළිදක්‌වන ලද්දේ තවත් දින කිහිපයකින් කොරියාවේ ජේජුහි දී පැවැත්වෙන ලෝක සංරක්‌ෂණ සමුළුව අරමුණු කරගෙන ය. ඒ පිළිබඳ යම් අවධානයක් උක්‌ත සමුළුවේ දී ගනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. මෙහි දී සංරක්‌ෂණවේදීන් හා විද්‍යාඥයන් අත සැලකිය යුතු වගකීමක් තිබේ. කොඳු ඇට පෙළක් ඇති හා දියුණු හා බුද්ධිමත් ජීවියකු ලෙස මිනිසුන් වශයෙන් අප සියලු දෙනා ම මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ ආචාරධර්මීය වැදගත්කමක් ඇති බව පෙනේ. (මූලාශ්‍රයSpineless : Status and Trends of theWorld's Invertebrates, 2012, http://static.zsl.org/secure/files/spineless-reportonline-4mb-2026.pdf)
පුවත් සැකෙවින්
ආහාර අර්බුදයක් අත ළඟ ද?
මෑත කාලයේ ඇමෙරිකාෙවේ හා යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල වගාබිම්වලට නියඟයෙන් සිදු වූ හානිය නිසා ලෝකයේ ආහාර මිල ගණන් ඉහළ යා හැකි බව ලෝක බැංකුව පසුගිය දා නිකුත් කළ නිෙවේදනයක සඳහන් ෙවේ. නියඟයෙන් මේ වන විටත් ආහාර මිල ගණන් ඉහළ යමින් ඇති අතර නුදුරු අනාගතයේ දී ඇතැම් කලාපවල ආහාර හිඟයක් පවා ඇති වීමේ ඉඩක් ද පවතී.
ලෝක බැංකුෙවේ ආහාර මිල දර්ශකයේ (food price index) දැකිය හැකි වෙනස්‌කම් වලින් මේ බව පෙනේ, එහි අගය පසුගිය ජුලි මාසයේදී වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් තිබේ මෙය 2011 වර්ෂයේ ජුලි මාසයට වඩා සියයට 6 කින්ද, මෙතෙක් පැවැති ඉහළ ම අගයට වඩා සියයට 1කින්ද අධික ය. එය මෙතෙක් පැවැති ඉහළ ම අගය පසු කර තිබේ. පසුගිය ජුලි මාසයේ දී ඇමෙරිකාෙවේ ඉරිඟු මිල 25%කින් ද, සෝයාවල මිල 17%කින් ද, රුසියාවේ හා අවට රටවල් කිහිපයක තිරිඟු මිල 25%කින් ද ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ලෝකයේ සහල් මිල අඩු වී තිබීම ය.
නියඟය වැනි භෝග වගා සඳහා බලපාන ස්‌වාභාවික දේශගුණික සාධක මිනිසුන්ට පාලනය කිරීම අසීරු ය. එහෙත් ඒ නිසා ආහාර මිල ඉහළ යැම හා ආහාර හිඟයක් ඇති වීම ලෝකයේ රටවල් රැසකට ගැටලු ඇති කළ හැකි තත්ත්වයකි. මේ නිසා අප්‍රිකානු රටවල් වැනි වැඩි අවදානමක් ඇති රටවල් අනාගතයේ දී ඇති විය හැකි මේ තත්ත්වය පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතු ව තිබේ. (මූලාශ්‍රය Food Price Watch” අගෝස්‌තු 2012)
ආක්‌ටික් සාගර අයිස් මට්‌ටම අඩු ම මට්‌ටමේ
ආක්‌ටික් සාගරයේ පා වන අයිස් තට්‌ටුවේ ප්‍රමාණය අඩු ම මට්‌ටමකට ළඟා වී ඇති බව පසුගිය අගෝස්‌තු 26 වැනි දා වාර්තා විය. ඒ අනුව 1979 වර්ෂයේ දී චන්ද්‍රිකා මගින් අයිස් තට්‌ටුවේ ප්‍රමාණය මැනීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ අඩු ම අයිස් මට්‌ටම මේ වර්ෂයේ දී වාර්තා වී තිබේ. එය ප්‍රමාණිකව දක්‌වන්නේ නම් වර්ග කිලෝමීටර් මිලියන 4ග10ක පමණ ප්‍රමාණයකි. මීට ප්‍රථම වාර්තා වූ අවම අයිස් ආවරණය වූයේ 2007 වර්ෂයේ සැප්තැම්බර් 18 දින වාර්තා වූ වර්ග කිලෝමීටර් මිලියන 4ග17 ප්‍රමාණය ය.
එසේ ම සාමාන්‍යයෙන් ආක්‌ටික් සාගරය මතුපිට ඇති අයිස් තට්‌ටුවේ අවම අගය දැකිය හැකි වන්නේ සැප්තැම්බර් මාසයේ දී ය. ඒ අනුව අයිස් දිය වීම තවදුරටත් සිදු විය හැකි බව පෙනේ. එසේ ම මේ පිළිබඳ නිශ්චිත සාමාන්‍ය අගයයන් ප්‍රකාශයට පත් වන්නේ ලබන ඔක්‌තෝබර් මාසයේ දී පමණ ය.
අයිස් අවරණයේ අඩු ම අගය වාර්තා වූ වර්ෂ හය ම 2007න් පසු උදා වී තිබේ. අයිස් ආවරණය මෙන්ම අයිස් තට්‌ටුවේ ඝනකම ද අඩු වී ඇති බව පෙන්වා දී තිබේ. මේ අනුව ලෝකයේ උණුසුම ඉහළ යැමේ ඇති බරපතළ ස්‌වභාවය පැහැදිලි ය. ඒ සඳහා මිනිසුන් ගේ ද යම් වගකීමක් තිබේ. (මූලාශ්‍රය ඇමෙරිකාවේ ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්‌ථානය http://nsidc.org/arcticseaicenews)
ලාබදායක සූර්ය කෝෂ තාක්‌ෂණයේ දියුණුවක්
පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභවයක් ලෙස සූර්ය බලශක්‌තියේ ඇති ඵලදායිත්වය සඳහා බලපා ඇති බරපතළ ම ගැටලුව වන්නේ ඒ සඳහා වන ප්‍රාග්ධනය තවමත් අධික වීම ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් සූර්ය කෝෂවල මිල අධික වීම ය. එහෙත් මෑත කාලයේ සිදු කර ඇති පර්යේෂණවලින් ලාබදායක ලෙස සූර්ය බලශක්‌තිය නිපදවීමේ උපක්‍රම යොදාගෙන ඇත. මෑත දී පළ වූ පර්යේෂණයකට අනුව අඩු වියදම් ද්‍රව්‍ය යොදාගනිමින් කෝෂ නිපදවිය හැකි ලාබදායක තාක්‌ෂණික ක්‍රමයක් සොයාගැනීමට හැකි වී තිබේ.
ඒ අනුව වර්ග මීටරයකට ඩොලර් 20ක පමණ මිලකට මේ ක්‍රමය මගින් සූර්ය කෝෂ නිපදවිය හැකි ය. එය සාමාන්‍ය සූර්ය කෝෂ මෙන් සියයට 75ක් පමණ අඩු මිලකි. මේවායේ බලශක්‌ති පරිවර්තනය ද සාපේක්‌ෂව ඉහළ ය. මේ සොයාගැනීම වැදගත් වන්නේ සූර්ය බලය අඩු වියදමින් නිෂ්පාදනය කිරීම ඉන් ප්‍රවර්ධනය කරන බැවිනි. (මූලාශ්‍රය Applied PhysicsLetters, DOI: 10.1063/1.4707377)
http://www.vidusara.com/2012/09/05/feature3.html
No comments:
Post a Comment