අවුරුදු තිහකටත් එහා අතීතයේ අපේ "සෝෂල් නෙට්වර්ක්" සයිට් එකක් අද පෙනෙන හැටියි මේ.
මේ නුගේගොඩ හන්දියේ, නාවල පාර පටන්ගන්න තැන ඇති කඩ පෙළයි. අද මේ පාර අයිනේ වැටක් ගහලා තිබ්බත් එදා කරගම්පිටිය පැත්තෙන් එන 176 හෙට්ටියාවත්ත බස් නැවැත්තුවේ මෙතන පේන කඩ ඉදිරියේයි. නුගේගොඩින් හරවන ඒවා පොටෝ එකේ දකුණු පැත්තට වෙන්න ඇති අද නවත්වන තැනම නැවැත්තුවා. ඒ කාලේ තිබ්බ අංක 173 තොටළඟ හා අංක 4 කොටුව (කොළකවය) බස් නැවැත්තුවේ ඊට ටිකක් ඉදිරියට වෙන්නයි.
මේ පරණ තාලේ තනිමහල් කඩ පේළියේ එදා කඩ කාමර හතරක් තිබ්බා. දකුණු අත පැත්තේ කෙලවරේ පිහිටයේ අදත් තියන 'දොඩම්පේ ස්ටෝර්ස්' එක. වම් කෙලවරේ තිබුනේ 'විජය ඔසුසල' - ඒකත් අද තියනවා 'නව විජය ඔසුසල' නමින් (පරණ ගොඩනැගිල්ලෙම වගේ). විජය ඔසුසල අසලම ඇති අනෙක් කඩේ තට්ටු දෙකකට හදලා. ඒ කාලෙත් වහලා තිබ්බා වගේ මතක එක් කඩ කාමරයක් අද වන විට කැඩිලා.
පාරෙ හා පේමන්ට් එකට වඩා පොඩ්ඩක් පහළින් තමයි මේ කඩ කාමර ටික තිබ්බේ. පොඩ්ඩක් වලක් වගේ. මා දුටු විිිදියට අදත් ඒක එහෙමයි. ඒකට හේතුව මේ ගොඩනැගිලි හැදුවට පස්සේ කාලෙක පාර උස්සපු එක වෙන්න ඕන. ඉතින් ඒ කාලෙ "වල බහිනව" කියපු එකට නියම අර්ථය ඒක!
ඉතින් මේක අපි ලාවට වල බැහැපු සෝෂල් නෙට්වර්ක් සයිට් එක... ඒක උනේ මෙහෙමයි -
ඒ 1989-1992 අතර කාලය. උදේ පාසැල් ගිහින් එහෙමම වගේ හවස රොටරියේ උසස් පෙළ පන්ති ඇරිලා ආවම අපි නවතින්නේ මෙතන... මගේ පංතිවලින් තුනක් විතර තිබ්බේ සතියේ දවස්වල. සඳුදා පාලිත දේවරාජා සර්ගේ බොටනි පංතිය. බ්‍රහස්පතින්දා දෙව්රුවන් සර්ගේ කෙමිස්ට්‍රි පංතිය. සිකුරාදා පිසික්ස් පංතිය.
ඉතින් අපි මෙතන රැඳී ඉන්න හේතුව තමයි සීසන් එකෙන් ලංගම බස්වල යන්න අපට සිදු වීම. ඒ කාලෙ ලංගම බස් අඩුයි වගේම, ඉස්කෝල ළමයි ගොඩක් හිටියම කරගම්පිටියෙ ඉදල එන බස් සමහර විට මෙතන නවත්වන්නේ නැහැ. ඒ නිසා සමහර දවස්වල අපි පැය කාලක් බාගයක් මෙතන ඉන්නවා. මෙතන ඉදලා බස් හෝල්ට් තුනක් ඈත තියන විජයබා මාවතට යන්න ඕන මමත් පැය බාගෙ මෙතන හිටපු දවස් තියනවා. පයින් ගියා නං මට යන්නේ මිනිත්තු පහළොවයි. ඒ උනාට නාවල, රාජගිරිය වගේම ඊටත් එහා යන යාලුවො දාල යන්න බෑනෙ...
ඉතින් අපි එතන ඉන්න උන්ට මචං කියලා සෙට් වෙනවා - ඒක ඉතින් කවුරු හරි ඇක්ටිව් ඉන්නව දැක්කම, හේතුවක් නැතිවත් Hi කියලා චැට් කරන්න සෙට් වෙනවා හා සමානයි.
ඉතින් අපි ඒවට චැට් ගෘප් කියමු. මෙතන සමහර දවස්වලට චැට් ගෘප් කීපයක් ඇක්ටිව් උනා. කොල්ලෝ ඉන්න ඒව තමයි වැඩිම. ඒ වගේම කෙල්ලන්ගෙත් චැට් ගෘප් තිබ්බ දවසුත් තිබ්බා - ඒත් ඉතින් සීසන් කෙල්ලො ටික. මේ ගැවසෙන්නේ එකම සෙට් එක. හැබැයි හැමෝම හැමදාම නෑ - මොකද පංති වෙනස් වන නිසා. මං හිටියේ සඳුදා හා බ්‍රහස්පතින්දා තමයි වැඩි වශයෙන් (සිකුරාදා පංතියෙ මේ පැත්තට එන යාලුවො හිටියෙ නැති තරම්).
ඉතින් අපේ මේ සෝෂල් නෙට්වර්ක් එකේ අද තියන සෝෂල් නෙට්වර්ක්වල තියන දේවල්ම තිබ්බා. ඒක එක දේවල් ගැන අපි කතා කරනවා. සමහර ඒවා සීරියස් කතා. සමහර ඒවා ඕපදූප. ඒව ඉතින් දැන් තියන ගෘප්වල මාතෘකා වගේම තමයි. යන්නෙ කොහෙහෙමල්ලෙ පොල් කතාත් ඕන තරම්!
ඒ වයසෙදි විය යුතු විදියටම වැඩි කතා බහක් තිබ්බේ බඩු හෙවත් කෑලි හෙවත් කෙල්ලෝ ගැනයි. මොකද එතැනින් අපේ පංතිවල වගේම වෙන පංතිවලට යන ළමයිනුත් යනවනේ.
ඉතින් ඔතන දී අපිත් හරියට සෝෂල් මීඩියා ප්‍රොපයිල් වගේනේ. එතනින් යන එන, බස් නැවතුමේ ඉන්න ගෑණු ළමයිනුත් ප්‍රොපයිල් තමයි. ඉතින් ලස්සන ප්‍රොපයිල් එකක් (ගෑණු ළමයෙක්) දැක්කම ඒ දිහා බලනවා - එයාලට එයාලව ලොක් කරන්න බැරි නිසා ප්‍රොපයිල් පොටෝ එක ඉතින් පබ්ලික් තමයි. ලයික් දානවා, හාට් රියැක්ෂන් දානවා. වොයිස් මැසේජ්වවලින් (විසිල් හෝ ඇහෙන්න දාන සූ සද්ද) රියැක්ට් කරන අවස්ථාත් තියනවා. හැබැයි ඒ ප්‍රොපයිල් එක නොදන්න එකක් නම් එන්නේ ඇන්ග්‍රි රියැක්ෂන්. බ්ලොක් වෙන්නත් පුළුවන් - අනිත් හෝල්ට් එකෙන් බස් එකට නගිනවා එතකොට එයාලා. සමහර කාන්තා ප්‍රොපයිල්වල පිරිමි හිමිකරුවන් හෝ ට්‍රයි කරන වෙන්න හිමිකරුවන් ඒ වෙලාවට ඇන්ග්රි රියැක්ෂන් දානවා. අද භාෂාවෙන් කියනවා නම් 'ටිපර් වෙනවා'.
ඉතින් ඒ වගේ ප්‍රොපයිල් එකකට ෆ්‍රෙන්ඩ් රික්වේස්ට එකක් දාලා ෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන්. ඕන නං ඉන් පස්සේ පුද්ගලිකව චැට් කරන්නත් සෙට් වෙන්න පුළුවන්. එහෙම උනාම ඒ ප්‍රොපයිල් එකේ පාස්වර්ඩ් එක අදාළ කොල්ලට ලැබෙනවා. සමහර වෙලාවට ඌ ඉන්පස්සේ අපේ නෙට්වර්ක් එකේ නෑ. අනිත් ෆ්‍රෙන්ඩ්ලා අන්ෆ්‍රෙන්ඩ් කරලා, අන්ෆලෝ කරලා වෙනම කතාවක් පටන් ගන්නවා. (ඌ වලෙන් ගොඩ ගියාද, වලට වැටුන ද කියලා කියන්න කල් වැඩි ඒ කාලෙ)
සමහරු ඉතින් එකම ප්‍රොපයිල් එකමයි ෆලෝ කරන්නේ. වෙන පෝස්ට් දිහා බලන්නේවත් නෑ. අපි නං එහෙමම හිටියෙ නෑ ඉතින්... තෝරාගත් ප්‍රොපයිල් ෆේවරිට්වලට ඇඩ් කරන් ෆලෝ කරන අතර, නෙට්වර්ක් එකේ එහා මෙහා ගියා අනෙක් ප්‍රොපයිල් හා පෝස්ට් බලබලා. අර "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද" කියලා පස්සේ කාලෙක සින්දුවකුත් තිබ්බේ!
අපි මෙතන චැට් කළේ පෞද්ගලික ඕපා දූප විතරක් නම් නෙවි. අද සෝෂල් මීඩියාවල වාගෙම දේශපාලනයත් කතා කළා... 1989 නොවැම්බර් 13 දින රෝහණ වීජේවීර ඝාතනය උන පුවත දැනගෙන අපි පංති ඇරිලා ආවෙ මෙතනට - එතන හිටිය හැම පැත්තටම සහාය දුන් අය. ඒ වගේම ඉදහිට දේශපාලන චරිතත් මෙතන ඉද්දි දැක්කා - කෝට්ටේ නගරසභා ඡන්දයට 1991 දී ඉදිරිපත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාව මම මුලින්ම දුටුවෙ මෙතන දි වෑන් එකක ඉදන් නගර සභා කැම්පේන් එක කරනකොටයි. ඒකත් මට හොඳටම මතකයි.
ඉතින් ඔය නෙට්වර්ක් එකේ රස්තියාදුව ඉවර වෙන්නේ හෙවත් ඩේටා ඉවරවෙන්නේ ලංගම බස් එකක් ආවම. ඒ සාමාන්‍යයෙන්176 හෙට්ටියාවත්ත බස් එකක්. ඒ කාලෙ නුගේගොඩ හරහා ගිය අංක 4 (කොටුව) කොළ කවය හා 173 (තොටළඟ) ලංගම බස් තිබ්බට ඒකෙ යන්න හිටියෙ කීප දෙනෙක් විතරයි. ඒ, ඒ බස් දෙක නාවල හන්දියෙන් නාරාහේන්පිට පැත්තට හරවන නිසා. ඒකෙ මට යන්න පුළුවන් නිසා මම යනවා, සමහර දවස්වලට... (හරියටම කිව්වොත් සීරියස්ලි ෆලෝ කරපු එක්තරා ප්‍රොපයිල් එකක් ඒ බස්වල යන දවස්වලට). එහෙම නැති වෙලාවට ඉතින් 176 ලංගමයක් එනකම් චැට් කර ඉන්නවා අනෙක් යාලුවො එක්ක.
ඒ මතක ඉතා සුන්දරයි. මෙතනින් යන හැම මොහොතකම මම ඒ අතීතයට යනවා...
එදා හිටපු උන් සමහරකගේ නම් එක්ක උනත් කියන්න පුළුවන්. ඒත් සමහර උන් නම් කියනවට කැමති වෙයිද දන්නේ නැති නිසා නිහඬ වෙන්නම්.
මට ඒ ගැන මෙහෙම හිතෙනවා. එදා සෝෂල් නෙට්වර්ක් එක පිසිකල් එකක්. හැබැයි අපට ඒක දැනුනා, තවමත් හොඳටම මතකයි. ඒ හා සමාන වූ දේ අද පරම්පරාව කරන්නේ වර්චුවල්. ඒත් දැන් ටිකකට කලින් චැට් කරපු දේවල් දැන් මතකයි ද?