ධනේෂ් විසුම්පෙරුම
අපි මේ කතා කරන්නේ රට තීරණාත්මක අවස්ථාවක තිබියදීය.
විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය නිසා අපට හැම පැත්තකින්ම පුවත් ලැබේ. ඒවායේ ඇති වැඩසටහන් ද ෆේස්බුක් හා සෙසු සමාජ මාධ්‍ය නිසා ද අපට සැහැල්ලුවෙන් සිටිය හැකිය (සමහරු ඒ සැහැල්ලුව උපරිමයෙන් ගන්නෙ ගොස් රිමාන්ඩ් වී සිටිති). මෙසේ සැහැල්ලුවෙන් හා විහිළුවෙන් සිටිය ද අපේ රට ඇත්තේ තීරණාත්මක අවස්ථාවකය.
මොහොතක් සිතන්න...
1934-35 වසරේ මාස හතක් තුළ 80,000කට අධික පිරිසක් මිය ගිය මැලේරියා වසංගතය ගැන. රටේ මිලියන එකහමාරකට එදා ඒ රෝගය වැළඳුණා. ඒ වැඩි පිරිසක් රෝගී වෙන්නේ හා මියයන්නේ රටේ තෙත් හා අතරමැදි කලාපවල. මැලේරියාව වියළි කලාප ලෙඩක් හැටියට ප්‍රසිද්ධ උනත්...
එදා ලෙඩේ වැඩියෙන්ම පැතිරුනේ දැදුරු-මහ-කැලණි හා කළු ගං නිම්නවල - කෑගල්ල, කුරුණෑගල, කොළඹ (එදා ගම්පහ තිබ්බෙ කොළඹට), කළුතර, රත්නපුර දිස්ත්‍රික්ක සහ මහනුවර, මාතලේ ආදි මහවැලි ගඟ නිම්නය ආශ්‍රිත දිස්ත්‍රික්ක. නිතර මැලේරියාව තිබුණු වියළි කලාපෙට වඩා එදා වසංගතය මේ ප්‍රදේශවල බරපතළ උනා.
එදා ගෙවල් පිටින් රෝගී උනා. හැකි විදියකට යම්කිසි බෙහෙතක් ගත්තු ඔවුන් එදා ඔවුන් මොකද කළේ?
- ඉන්ටර්නෙට් සොයාගෙන වත් නෑ. නූතන පරිගණක හා ජංගම දුරකථන නිපදවලත් නෑ.
- ඒ කීවෙ වෙබ් සයිට්වලට යන්න බෑ, යූටියුබ් යන්න බෑ. ෆේස්බුක් නෑ, අනිත් ඒවත් නෑ.
- රූපවාහිනිය රටට එන්න කියලා හිතල තිබ්බෙවත් නෑ. ඒ තාක්ෂණය ලෝකෙ තිබ්බෙත් මුල්අදියරක.
- එදා රේඩියෝ එකක් තිබ්බෙ එහෙමත් ගෙදරක. චැනල් තිබ්බෙ එකයි මට මතක විදියට.
- පත්තර නම් තිබ්බා. ඒ උනත් කන්නවත් සල්ලි නැතිව හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට මොන පත්තර ගැනිල්ලක්ද?
ඉතින් එදා ඒ මිනිස්සු කොහොම ඉන්න ඇතිද? අසනීප නිසා යන්න එන්න බෑ. සමහර විට ගෙදර හැමෝම එකවරටම ලෙඩ වෙලා. කෑමක් හොයාගන්න යන්න බෑ. සනීප උන අයගෙත් ශරීර ශක්තිය පිරිහිලා නිසා මහන්සි වී වගා කටයුත්තක්වත් කරගන්න බෑ. කුලී වැඩක් කරගන්නවත් බෑ. සමහර ගම්වල ජනගහනයෙන් 80%කට වඩා ලෙඩ උනා. ඒ සමඟම රටේ ආහාර හිඟයක්, සාගතයක් ආවා. රජයෙන් හා තවත් සංවිධානවලින් දුන් දෙයකින් තමයි යන්තම් පණ ගැටගසා ගත්තෙ. ("සූරියමල් ව්‍යාපාරය" හා "පරිප්පු මහත්තයා" (ඇන් ඇම්) කළ කාර්යය අදත් රටේ සිහිපත් කරන්නෙ එනිසයි.)
එදා ලංකාව පැවතියේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ. එදා පැවති රජය ජනතාවට බෙහෙත් දීම සඳහා එතෙක් පැවති රෝහල් හා බෙහෙත්ශාලාවලට අමතරව තාවකාලික වගෙම ජංගම බෙහෙත්ශාලා පවා දැම්මා. මදුරුවන් බෝවන ස්ථානවල එය වැළැක්වීමට පියවරගත්තා. (මැලේරියාව මර්ධනය සඳහා මෙරට බලධාරීන් ඊටත් බොහෝ කලක සිට විවිධ පියවර ගෙන තිබුණුු බව වාර්තාවල මොනවට සඳහන් වෙනවා. ක්විනින් දෙන්නේ 19 සියවසත දෙවන භාගයේ පමණ සිට. පළවෙනි මැලේරියා මර්දන මධ්‍යස්ථානය 1911දි හදන්නේ කුරුණෑගල. රජයේ මැලේරේයාවේදියෙක් පත්කරන්නේ 1921දි. මදුරුවන් බෝවන තැන් පිරවීම, හින්දවීම, තෙල් ගැසීම හා කීටයන් ආහාරයට ගන්නා මසුන් හඳුන්වා දීමත් කෙරුණා. ඉංග්‍රීසි මෙන්ම දේශීය නිලධාරීන් ද මේවායේ සේවය කළා. ලංකාවේ ඩීඩීටී ගහන්නේ 1946 සිට)
එදාට වඩා අද සාක්ෂරතාවය හොඳයි. සෞඛ්‍ය පහසුකම් හොඳයි. හැම ජනමාධ්‍යයක්ම තොරතුරු හා අවශ්‍ය පණිවුඩය ගෙනියනවා.
එහෙනම් ඇයි අපේ අය පිස්සු නටන්නෙ? අර ඇඳිරිනීති අවවාද නොතකා ඇවිදින්නෙ? ඒ මදිවට පාටි දාන්නෙ!
ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ආයතන ගණනකට බාරදීල ඊයෙ පෙරේදා ඒක සාර්ථකව කරගෙන යද්දි ඇඳිරි නීතිය නොතකා ජනතාව ඒ තොග කඩවලට ගිය නිසයි ඊයෙ අන්තිමට කඩ වහන්න උනේ. (මෙහෙ කට්ටියත්) එහෙම වැඩිපුර ගිහින් තියෙන්නේ සිල්ලර කඩවල කට්ටියලු - තොග මිලට අරන් පස්සේ වැඩිමිලට පස්ස දොරෙන් විකුණන්න. (එවැනි කඩේක ඊයේ පොල් රු. 125යි... මේ අයගේ අවස්ථාවාදිකම... ලැජ්ජයි!)
ඒ වගේම, රජය මගින් ආහාර ද්‍රව්‍ය හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසි ලෙස ගෙනයෑමට පියවර ගැනීමත් වැදගත්බව පැහැදිලියි.
මොකද අපේ පැත්තට කිසිම එකක් ආවෙ නෑ ඊයෙ දවසට නම්. මහරගමට අයත් ජනගහනය අධික නාගරික ප්‍රදේශයක්. මේ ගමේම සමහර පැතිවලට ඇවිත්.
ඉවසීමෙන් ඉමු. මේ රජය ඔවුන් සතු වගකීම කරාවි. මොකද මේක රටට වගේම ඔවුන්ටත් තීරණාත්මක අවස්ථාවක්.
ඒ වගෙම මේ ලද විවේකයෙදි වත්ත පිටියත් සූදානම් කරගනිමු. එන වැස්සෙදි මොනවහරි කන දෙයක් වවාගන්න.
(කියෙව්වට ස්තුතියි. එහෙනං දැන් වැඩ කරමු.)
වැඩි විස්තර අවශ්‍ය නම්, S.A. Meegamaගේ Famine, Fevers and Fear කෘතියේ මේ වසංගතය හා මැලේරියා මර්ධනය ගැන එන පරිච්ඡේදය කියවන්න. ඉන්ටර්නෙට් එකෙත් සෑහෙන විශ්ව්සනීය තොරතුරු තියනවා.
මුල් සංස්කරණ
(2020.03.28)
Fcebook පුවතට
මෙතැනින් පිවිසෙන්න. (අදහස් දැක්වීම් කියවන්න)
අරුණාලෝකය Facebook පිටුවේ පළකිරීමට
මෙතැනින් පිවිසෙන්න