Monday, April 29, 2019

Homo luzonensis - පිලිපීනයෙන් හමු වූ ආදි මානව විශේෂය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.04.2019, පි. 08 (Vidusara)

http://www.vidusara.com/2019/04/24/feature1.html



අතීතයේ ජීවත් වූ ආදි මානව විශේෂයක්‌ පිළිබඳ තොරතුරු පිලිපීනයෙන් අනාවරණය කරගැනීමට පර්යේෂකයන් පිරිසක්‌ සමත් වී ඇත. මේ සාධක හමු වී ඇත්තේ පිලිපීනයේ ලුසොන් (Luzon) දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති කලාඕ ලෙන (Callao Cave) නම් ගුහාවක සිදුකරන ලද කැණීම්වලිනි. අදින් වසර 50,000 - 67,000 අතර කාලයක්‌ පමණ පැරැණි මේ ෆොසිල අයත් මානව විශේෂය නම්කර ඇත්තේ Homo luzonensis යනුවෙනි.

මේ කතාව ආරම්භ වන්නේ 2007 වර්ෂයේ දී මේ ලෙනෙහි සිදුකළ කැණීම්වලින් හමු වූ තුන්වැනි පාදකූර්චෝපරිය අස්‌ථියක්‌ අදින් වර්ෂ 67,000ක්‌ පමණ පෙර කාලයකට අයත් වූ බවට කාල නිර්ණය කිරීමත් සමඟ ය. එය පිලිපීනයේ මානව පැවැත්ම පිළිබඳ පැරැණි ම සාධකය විය. මේ අස්‌ථියේ පැවැති වක්‍රතාව හා ප්‍රමාණයෙන් වඩා කුඩා වීම සෙසු මානවයන්ට වඩා වෙනස්‌ ලෙස හඳුනාගන්නා ලදි. එහෙත් ඊට වඩා විශ්ලේෂණයක්‌ කිරීමට ප්‍රමාණවත් තරම් සාධක නො ලැබුණු බැවින් පර්යේෂකයන්ගේ නිගමනය වූයේ එය Homo ගණයට අයත් වූ මානවයකුට අයත් වූවක්‌ ලෙස ය. එම සොයාගැනීම පිළිබඳ ව 2010 දී ලිපියක්‌ ප්‍රකාශයට පත් කරන ලදි (මූලාශ්‍රය - Journal of Human Evolution, DOI: 10.1016/ j.jhevol.2010.04.008).

ඉන් පසුව වර්ෂ කිහිපය තුළ එම ලෙන තුළ වැඩිදුරටත් කැණීම් දියත් කළේ මේ මානවයා පිළිබඳ ව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගැනීමේ අපේක්ෂාවෙනි. අන්තර්ජාතික පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද මේ පර්යේෂණවල ප්‍රතිඵල අනුව එම ෆොසිල අයත් වන්නේ නව ආදි මානව විශේෂයකට යනුවෙන් නිගමනය කිරීමට හැකි වී ඇත.


ප්‍රාථමික හා භින්න ලක්ෂණ



කලාඕ ලෙනෙහි, කලින් ෆොසිල හමු වූ ස්‌තරයෙහි ම සිදුකරන ලද කැණීම්වලින් වැඩිහිටියන් දෙදෙනකුට හා ළමයකුට අයත් ෆොසිල 12ක පමණ ශේෂ හමු වී තිබෙයි. මෙහි දී වැඩිහිටියන්ට අයත් ඇඟිලි අස්‌ථි, පා ඇඟිලි අස්‌ථි හා දත් ද ළමයකුට අයත් ඌර්වස්‌ථියක්‌ හෙවත් කලවා ඇටයක්‌ හමු වී ඇත. මේ අස්‌ථි සියල්ල පිළිබඳ ව සිදුකරන ලද පුළුල් විශ්ලේෂණයක්‌ මඟින් මේ ෆොසිල අයත් වන්නේ Homo luzonensis නම් අලුත් ආදි මානව විශේෂයකට බව මේ මස මුල දී නේචර් සඟරාවේ පළ වූ පර්යේෂණ ලිපියක පළ විය.

මේ ෆොසිලවල ප්‍රාථමික (primitive) හා අත්පත් කරගත් හෙවත් භින්න (derived) ලක්ෂණ සමූහයක්‌ දැකිය හැකි වීම විශේෂයකි. මෙහි දී දැකිය හැකි වූ ඇතැම් ප්‍රාථමික ලක්ෂණ අතීතයේ විසූ ඔස්‌ට්‍රලෝපිතකස්‌ (Australopithecus afarensis) මානවයාට වඩාත් සමාන වී ඇත. Australopithecus මානවයන් මෙලොව ජීවත් වී වඳ වී ගියේ අදින් වසර මිලියන දෙකකට පමණ ඉහත දී වන අතර, ඔවුන් Homo ගණයේ මානවයන්ගේ පූර්වජයන් ලෙස සැලකෙයි (වසර මිලියන 3.1ක්‌ පමණ පැරැණි සුප්‍රකට ලුසී නම් මානව ඇටසැකිල්ල අයත් වන්නේ මේ ආදි මානව විශේෂයට ය).

Homo luzonensis සතු වූ ප්‍රාථමික ලක්ෂණ අතරින් එක්‌ ලක්ෂණයක්‌ වන්නේ පුරශ්චාර්වක දත් ප්‍රමාණයෙන් විශාල වීම හා ඉන් එකක අතිරේක දන්ත මූලයක්‌ තිබීම ය. මේ මානවයාගේ අත් හා පාදවල අස්‌ථිවල ද දැකිය හැකි වූ වක්‍රතාව ද ප්‍රාථමික ලක්ෂණයකි. එවැන්නක්‌ දැකිය හැක්‌කේ ගස්‌ නැඟීම සිදු කරන රුක්‌වාසී විශේෂවල ය. රුක්‌වාසී ජීවිතයකින් පොළාව මත ජීවත්වීමට හුරු වූ දා සිට නූතන මානවයාගේ මේ රුක්‌වාසී අනුවර්තන සියල්ල නැති විය. මේ නිසා අදින් වස ර 67,000කට පමණ පෙර විසූ මානව පූර්වජයකු ගෙන් රුක්‌වාසී අනුවර්තන බලාපොරොත්තු වීම අපේක්ෂා කළ නො හැකි කරුණකි.

එමෙන් ම පිලිපීනයෙන් සොයාගත් මානවයාගේ දැකිය හැකි භින්න ලක්ෂණ අතර කුඩා චාර්වක දත් තිබීම දක්‌වා ඇත. එය වඩාත් සමාන වන්නේ Homo sapiens හෙවත් නූතන මානවයාට ය.

Homo luzonensis මානවයාගේ අස්‌ථි ප්‍රමාණයෙන් කුඩා වීම තවත් සුවිශේෂ කරුණකි. දත් ප්‍රමාණයෙන් කුඩා වීම මෙහි දී පැහැදිලි ව හඳුනාගැනීමට හැකි ව ඇත. සාමාන්‍යයෙන් දත්වල ප්‍රමාණයෙන් ක්ෂරපායී සතුන්ගේ සමස්‌ත ශරීර ප්‍රමාණය නිරූපණය වෙයි. ඒ අනුව මේ මානවයා සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා මානවයකු වූ බව පර්යේෂකයන්ගේ මතය වෙයි.

කෙසේ වෙතත් මේ මානවයාගේ උස පිළිබඳ ව නිශ්චිත ව පැවසීමට තරම් මේ දත්ත ප්‍රමාණවත් නැත. ඔවුන්ගේ උස නිශ්චිත ව ගණනය කිරීමට නම් තවත් අස්‌ථි අවශ්‍ය ය. මේ මානවයන් ප්‍රමාණයෙන් කුඩා නම්, මානව පූර්වජයන් අතරින් ශරීර ප්‍රමාණයෙන් කුඩා වන දෙවන විශේෂය ඔවුන් ය. මෙවැනි පළමු විශේෂය වන්නේ ඉන්දුනීසියාවෙන් හමු වූ Homo floresiensis නම් විශේෂයයි.

මෙවැනි එකිනෙකට වෙනස්‌ වූ ලක්ෂණ එක්‌ වූ අවස්‌ථාවක්‌ වෙනත් මානව අස්‌ථි සැකිල්ලක දැකිය නො හැකි වීම පර්යේෂකයන්ගේ අවදානයට ලක්‌ වූවකි. ඒ අනුව මොවුන් නව විශේෂයක්‌ ලෙස නම් කිරීමට මෙය මූලික සාධකයක්‌ ලෙස ගෙන ඇත.


පරිණාමීය ඉතිහාසය



Homo luzonensis මානවයාගේ පූර්වජයන් හඳුනාගැනීම තවමත් පහසු නො වන්නේ ප්‍රමාණවත් සාධක නැති බැවිනි. ඉහත ෆොසිල හමු වූ ලෙනට ආසන්න ප්‍රදේශවල සිදුකරන ලද කැණීම්වලින් අදින් වසර 700,000ක්‌ පමණ කාලයකට පෙර දඩයම් කරන ලද රයිනෝසිරස්‌ සතුන්ගේ අස්‌ථි හා ගල් ආයුධ හමු ව ඇත. කෙසේ වෙතත් ඒ සතුන් දඩයම් කරන ලද්දේ මේ Homo luzonensis මානවයන් ම ද, නැත හොත් ඔවුන්ගේ පූර්වජයෙක්‌ ද යන්න නිශ්චිත ව කීමට නො හැකි ව ඇත්තේ සත්ත්ව ඇටකටු සමඟ මානව ශේෂ හමු වී නැති නිසා ය. මේ දක්‌වා පිලිපීනයෙන් ලැබී ඇති එක ම මානව ෆොසිල වන්නේ අදින් වසර 30,000කට පමණ කාලයකට පෙර විසූ බවට දින නියම කර ඇති නූතන මානව (Homo sapiens) ෆොසිලයකි. එම ෆොසිල සමහරක්‌ සාපේක්ෂ ව කුඩා ශරීර ඇති පුද්ගලයන්ගේ වුව ද ඒවායේ ප්‍රාථමික ශරීර ලක්ෂණ දැකිය නො හැක. එමෙන් ම ආසියාවේ විසූ සෙසු මානව විශේෂ හා මේ Homo luzonensis මානවයා අතර සම්බන්ධයක්‌ වී ද යන්න විමසීමට ද දැනට ඇති ෆොසිල සාධක ප්‍රමාණවත් නො වෙයි. එමෙන් ම මේ මානවයා ගෙන් පැරැණි DNA ලබාගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක වී ඇත.

එහෙත් මේ මානවයාගේ සම්භවය සෙවීමේ දී වැදගත් වන තවත් මානවයෙක්‌ පිළිබඳ සාධක තිබෙයි. ඒ ඉන්දුනීසියාවේ ตලෝරේස්‌ දූපතෙන් 2004 වර්ෂයේ දී අනාවරණය කරගත් හොබිට්‌ හෙවත් Homo floresiensis මානවයා ය. පිලිපීනයෙන් හමු වූ මානවයා මෙන් ම හොබිට්‌ මානවයා ද කුඩා ශරීරයක්‌, කුඩා මොළයක්‌ සහිත හා තවත් ප්‍රාථමික ලක්ෂණ දරන, එහෙත් වඩාත් මෑත යුගයක්‌ දක්‌වා ජීවත් වූ මානවයෙකි. හොබිට්‌ මානවයාගේ සම්භවය පිළිබඳ ව මත දෙකක්‌ පවතී. පළමු මතය අනුව ඔවුන් විශාල ශරීරයක්‌ හා විශාල මොළයක්‌ සහිත වූ Homo erectus නම් ආදි මානවයා ගෙන් පැවත එන අතර පසුව විසූ පරිසරයේ සීමිත සම්පත්වලට හැඩගැසී කුඩා වූ මානව විශේෂයකි. දෙවැනි මතයෙන් පැවසෙන්නේ වඩා ප්‍රාථමික මානව පූර්වජයකු ගෙන් පැවත එන ඔවුන් කිසියම් ක්‍රමයකින් අප්‍රිකාවේ සිට ආසියාවට සංක්‍රමණය වී ඇති බව ය. මෙවැනි පරිණාමීය මාවතක්‌ පිලිපීනයේ විසූ මානවයා සම්බන්ධ පැහැදිලි කිරීම් සඳහා ද යොදාගත හැකි බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එහෙත් ඒ සඳහා තවත් සාධක අවශ්‍ය ය.

අනෙක්‌ අතට Homo luzonensis මානවයා සම්භවය මෙන් ම දිගු කාලයක්‌ තිස්‌සේ පැවැත්ම කෙබඳු දැයි යන්න සැලකිය යුතු කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඔවුන් නූතන මානවයා (Homo sapiens), නියෑන්ඩර්තාල්, ඩෙනිසෝවන් හා Homo floresiensis වැනි වෙනත් ආදි මානව විශේෂ සමඟ සමකාලීන ව ජීවත් වී ඇත. ඒ අනුව ආසියානු කලාපය ද මානව පරිණාමික ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක්‌ සිදුකර ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් පිලිපීනය යනු සැලකිය යුතු කාලයක්‌ තිස්‌සේ මුහුදින් වට වී ආසියානු මහාද්වීපයෙන් වෙන් වී තිබූ විශාල ප්‍රමාණයේ දූපත්වලින් යුක්‌ත වූ භූමියකි. එවැනි භූමියක දී විශේෂීකරණය වීමට හැකියාව තිබෙයි. එබැවින් පිලිපීනයෙන් ආදි මානව විශේෂ හමුවීම සඳහා අවස්‌ථාව පවතී. මෙමඟින් පෙනෙන කරුණක්‌ වන්නේ ප්‍රාග් ඉතිහාසයේ අප තවමත් නො දන්නා දේ ඇති බවයි.

මූලාශ්‍රය : Nature, DOI: 10.1038/s41586-019-1067-9

No comments:

Post a Comment