Saturday, December 8, 2018

දේශගුණ අවදානම් සුචිය විමසීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.06.2018 (Vidusara)

http://www.vidusara.com/2018/06/20/feature2.html




ජගත් දේශගුණ අවදානම් සුචිය (Global Climate Risk Index) යනු මීට සති කිහිපයකට පමණ ඉහත දී ශ්‍රී ලංකාවේ ද තරමක්‌ සාකච්ඡාවට ලක්‌ වූ අන්තර්ජාතික සුචියකි. ඒ පසුගිය මැයි මාසයේ දී එම සුචියේ 2018 වර්ෂයේ සුචිය (Global Climate Risk Index 2018) ප්‍රකාශයට පත් වීමත් සමඟ ය. එම වාර්තාවෙන් ශ්‍රී ලංකාව අදාළ සුචියේ සිව්වැනි තැනට පත් ව ඇති බව වාර්තා විය.

වාර්ෂික ව ඇති වන ස්‌වාභාවික ආපදා තත්ත්ව පිළිබඳව සැලකිල්ලට ගනිමින් German Watch නම් ආයතනය විසින් සකස්‌ කරනු ලබන මේ සුචිය සඳහා මූලික දර්ශක හතරක්‌ යොදාගනු ලැබෙයි. ආපදා නිසා ඇති වූ මරණ ප්‍රමාණය, ජනගහනයේ 100 000ක්‌ සඳහා ඇති වී තිබෙන ආපදා මරණ ගණන, හානියේ වටිනාකම ක්‍රය ශක්‌ති සාම්‍යය ලෙස (ඇමෙරිකානු ඩොලර්වලින්) හා දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට හානිය යන දර්ශක මේවා වෙයි.

2018 සුචිය සකස්‌ කිරීම සඳහා ඔවුන් පදනම් කරගෙන තිබුණේ 2016 වර්ෂයේ දී ඇති වූ ආන්තික කාලගුණ තත්ත්ව හා සම්බන්ධ ආපදා නිසා වන, හානි පිළිබඳ දත්ත ය. (එහෙත් මේ පිළිබඳ ව සාකච්ඡාවට ගත් අය අතරින් මේ බව සැලකිල්ලට ගෙන තිබුණේ සුළු පිරිසක්‌ පමණකි.) මේ සුචිය අනුව ලංකාව පසු වන්නේ හයිටි, සිම්බාබ්වේ හා ෆීජී යන රාජ්‍යවලට පසුව වන අතර, ලංකාව ලබා ඇති අගය 11.50ක්‌ විය.

මේ පිළිබඳව මඳක්‌ විමසා බලන්නට අප සිතුවේ මේ සුචිය ප්‍රකාශයට පත් වූ පසුව එමඟින් අනාවරණය වූ කරුණු විවිධ පාර්ශ්ව විසින් දේශපාලනික අරුතකින් යොදාගැනීම නිසා ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇතැම් පිරිස්‌ විසින් මේ සුචියෙන් දැක්‌වෙන කරුණු, පවත්නා රජයේ අසාර්ථකකම දැක්‌වීමට යොදාගෙන තිබූ අතර තවත් පිරිස්‌ එසේ නො වන බව පෙන්වීමට උත්සාහ කර තිබිණි. ඇතැම් අයෙක්‌ සැබෑ ස්‌ථානය පෙන්වන රූප සටහනක්‌ වෙනුවට වෙනස්‌ කරන ලද දත්ත සහිත රූප සටහන් පිළියෙල කර සමාජජාලවලට එක්‌කර තිබෙනු දැකිය හැකි විය. මෙහි දී පළමුව සඳහන් කළ යුත්තේ මෙහි දී වැදගත් වන කරුණක්‌ වන්නේ මෙවැනි දේ දේශපාලනික ව නො ගැනීම වැදගත් බවයි. ස්‌වාභාවික ආපදා ඇති වීම ස්‌වාභාවික සිදුවීමකි. එයට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතු වන්නේ නම් එය බලයේ සිටින දේශපාලකයන් ගේ කටයුතුවලට වඩා හේතු විය හැක්‌කේ සමස්‌ත මිනිසුන්ගේ ම කටයුතුවල ප්‍රතිඵලයක්‌ වීමට ය. එබැවින් මෙවැනි කරුණුවල දී එවැනි දේ පිළිබඳ ව සැලකිය යුත්තේ වෙනත් ආකාරයකට ය. කෙසේ වෙතත් ඇති වූ ආපදාව කළමනාකරණයේ දී, පවත්නා රජයේ වගකීමක්‌ පවතී.

සුචිය පිළිබඳව විමසීම


මේ පිළිබඳ විමසීම සඳහා මේ සුචියේ මින් ඉහත වර්ෂවල දී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්‌ථාන හා දත්ත පිළිබඳ ව සලකා බැලීම වැදගත් බව පෙනෙයි. මේ සමඟ ඇති වගුවේ අදාළ සුචියේ 2006 සිට 2018 දක්‌වා කාලයට අයත් ශ්‍රී ලංකාවට අදාළ දත්ත දක්‌වා තිබේ. (මේ සුචිය සකස්‌ කිරීමේ දී යොදාගන්නා ලද දත්තවල යම් යම් සුළු වෙනස්‌වීම් සිදු කර ඇති බව ඔවුන් සඳහන් කර ඇතත් එම වාර්තාවල ඇතුළත් දත්ත මෙහි දී යොදාගෙන ඇත.)

ඒ අනුව පෙනෙන්නේ අපේ රට එක්‌ එක්‌ වර්ෂවල දී ගෝලීය දේශගුණ අවදානම් සුචියේ ලබා ඇති ස්‌ථානය බෙහෙවින් විචල්‍ය වී ඇති බවයි. එය තීරණය වී ඇත්තේ ඒ ඒ වර්ෂවල දී ඇති වී තිබෙන ස්‌වාභාවික ආපදා හානිය අනුව හා වෙනත් රටවලට බලපා ඇති ස්‌වාභාවික ආපදාවලින් ඒ රටවලට ඇති වී තිබෙන හානියේ තරම අනුව බව පෙනෙයි. මේ අනුව මේ සුචියේ ඒ ඒ රටවල් ලබන ස්‌ථාන ඒ ඒ වර්ෂවල දී ඇති වන ආපදාවලට හා සෙසු රටවල් මුහුණ දෙන ආපදාවලට සාපේක්‌ෂ බව පැහැදිලි ය.

නිදසුනක්‌ ලෙස දැඩි ගංවතුර තත්ත්ව ඇති වූ 2016 වර්ෂයේ දත්ත මඟින් සකස්‌ කර ඇති 2018 සුචියේ ශ්‍රී ලංකාව 04 ස්‌ථානය ලැබූ අතර, 2011 වර්ෂයේ දත්තවලට අදාළ 2013 සුචියේ 10 වැනි ස්‌ථානය ලබා ඇත. මේ සුචියේ දත්ත අනුව 2016 වර්ෂයේ ආපදා නිසා මරණ 99ක්‌ ඇති වී තිබෙන අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 1,623ක ආර්ථික හානියක්‌ ඇති වී තිබේ. එසේ ම 2011 වර්ෂයේ ස්‌වාභාවික ආපදා නිසා මරණ 106ක්‌ ද, ඇමෙරිකානු ඩොලර් මිලියන 602ක පමණ හානියක්‌ ද ඇති වී තිබෙයි.

අනෙක්‌ අතට දැඩි ස්‌වාභාවික ආපදා ඇති නො වූ වර්ෂ වන 2004, 2009 හා 2015 යන වර්ෂවලට අදාළ ව ප්‍රකාශයට පත් ව ඇති 2006, 2011 හා 2017 යන වර්ෂවල සුචිවල ශ්‍රී ලංකාවට හිමි වී ඇති ස්‌ථානය වන්නේ පිළිවෙළින් 92, 107 හා 98 යන ස්‌ථාන වෙයි.

විවිධ දේශගුණ අවදානම් සුචි


ගෝලීය දේශගුණ අවදානම් සුචිය යනු දේශගුණ අවදානම් මත පදනම් ව සකස්‌ කරනු ලබන විවිධ සුචි අතරින් එකක්‌ පමණක්‌ බව පළමුව සඳහන් කළ යුතු ය. එය මේ වන විට සම්පූර්ණ දත්ත සහිත රටවල් 134ක්‌ පමණ 2015 දී ආවරණය කළේ ය. තවත් මෙවැනි එක්‌ සුචියක්‌ වන්නේ 'ND-GAIN ජාතික සුචිය' (ND-GAIN Country Index) නමින් හඳුන්වන ප්‍රධාන කාණ්‌ඩ 6ක්‌ ඔස්‌සේ වර්ග කරන ලද දර්ශක 45ක්‌ යොදාගනිමින් සකස්‌ කරනු ලබන සුචියකි. එයට රටවල් 181ක්‌ පමණ 2015 දී අයත් විය. තවත් එවැනි සුචියක්‌ වන්නේ 'INFORM - අවදානම් කළමනාකරණය සඳහා වූ සුචිය' (INFORM - Index for Risk Management) නම් සුචියයි. එයට ප්‍රධාන කාණ්‌ඩ තුනකට කාණ්‌ඩගත කරන ලද දර්ශක 48ක්‌ අයත් වූ අතර රටවල් 191ක්‌ ඇතුළත් විය. සිව්වැනි වැදගත් අවදානම් සුචිය වන්නේ 'ජගත් අවදානම් සුචිය' (World Risk Index) නමින් හඳුන්වනු ලබන මූලික කාණ්‌ඩ හතරක්‌ යටතේ ගොනු කර ඇති දර්ශක 28කින් සමන්විත වූ සුචියයි. මෙමඟින් රටවල් 171ක දත්ත සලකා බලා තිබෙයි.

මේ සුචි හතරෙහි ම 2015 වාර්තා පිළිබඳ ව සිදු කරන ලද එක්‌ සංසන්දනාත්මක විවරණයකට අනුව මේ සුචි සකස්‌ කිරීම සඳහා යොදාගන්නා දර්ශක මෙන් ම ක්‍රමවේද ද එකිනෙකට වෙනස්‌ වෙයි. මේ නිසා මේ සුචිවල වඩාත් අවදානම් රටවල් ලෙස පෙන්වා දෙන රටවල් එකිනෙකින් දැඩි ලෙස වෙනස්‌ වෙයි. මේ නිසා වඩාත් අවදානම් රට තීරණය කිරීම සඳහා මේ සුචි යොදාගැනීම ගැටලු සහිත බව මේ විවරණය පෙන්වා දී තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සංසන්දනය කරන ලද 2015 වර්ෂයේ දී එක්‌ එක්‌ සුචිවල මුල්තැනට පැමිණ ඇත්තේ වෙනස්‌ රටවල් ය. වඩාත් අවදානම් රටවල් 20 ලෙස මේ සුචි මඟින් දක්‌වා ඇති රටවල් සංසන්දනයේ දී, එම සුචි හතරෙහි ම හෝ අඩු වශයෙන් සුචි තුනකට හෝ පොදු වූ රටක්‌ නොමැති වීම තරමක්‌ විස්‌මයට හේතු වූ කරුණකි. කෙසේ වෙතත් රටවල් 19ක්‌ මේ සුචි හතරෙන් දෙකක හෝ වැඩි ම අවදානම් රටවල් 20 අතර ඇතුළත් වූ අතර, ඉන් රටවල් 08ක්‌ කිසියම් සුචි දෙකක මුල් රටවල් 10 අතර ඇතුළත් විය. අවදානම වැඩි ම රටවල් තුන අතර එක්‌ සුචියකට වඩා වැඩි වාර ගණනක්‌ වාර්තා වී තිබුණේ එක්‌ රටක්‌ පමණකි. සුචි දෙකක සඳහන් වූ එම රට මධ්‍යම ඇමෙරිකානු ජනරජයයි.

මේ අනුව පෙනෙන්නේ දේශගුණ අවදානම සම්බන්ධ සුචි භාවිතය මඳක්‌ සැලකිල්ලෙන් කළ යුත්තක්‌ වන බවයි. ස්‌වාභාවික ආපදා මෙන් ම ඒ ඒ රටවල ස්‌ථාන ද වාර්ෂික ව වෙනස්‌ වෙයි. ඒ නිසා අදාළ රටවල් ලබාගෙන ඇති ස්‌ථානයට වඩා මේ සුචිවල ඇතුළත් දර්ශක භාවිතය වඩාත් ඵලදායී විය හැකි ය.

No comments:

Post a Comment