Thursday, December 13, 2018

ප්ලාස්‌ටික්‌ පිළිබඳව 'නැවත සිතා බැලීම' වැදගත්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 12.12.2018 පි. 7,18 (Vidusara)

http://www.vidusara.com/2018/12/12/feature3.html



ඉවත ලන ප්ලාස්‌ටික්‌ නිසා ලෝකයේ ඇති වී තිබෙන ගැටලු පිළිබඳ ව බොහෝ දේ පසුගිය කාලය පුරා සාකච්ඡා වී ඇත. මිනිසුන්ගේ ජීවිත කෙතරම් පහසු තත්ත්වයකට පත් කළ නිෂ්පාදනයක්‌ වුවත් ප්ලාස්‌ටික්‌ ස්‌වාභාවික තත්ත්ව යටතේ දිරාපත් නො වීමෙන් මේ තත්ත්වය ඇති වී තිබෙයි. ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය පරිසරයට එක්‌ වී අවසානයේ දී මුහුදට එක්‌ වීම නිසා ඇති වී තිබෙන්නේ බරපතළ තත්ත්වයකි. ප්ලාස්‌ටික්‌ කොටස්‌ කුඩා ප්ලාස්‌ටික්‌ කැබැලි බවට පත් ව, ආහාර දාමයට එක්‌ වීම නිසා මේ වන විට සතුන් සැලකිය යුතු ගණනාවකගේ ශරීරවල ප්ලාස්‌ටික්‌ කැබැලි ඇතුළත් බව සොයාගෙන ඇත. මේ නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳ ව තවමත් ප්‍රමාණවත් අවබෝධයක්‌ නොමැති තරම් ය.

මේ තත්ත්වය විසඳීම සඳහා මූලික ව යෝජනා වී ඇති 3R සංකල්පය පිළිබඳව ද ලෝකය බෙහෙවින් දැනුවත් ය. එමඟින් පැවසෙන්නේ අඩු කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) හා ප්‍රතිචක්‍රිකරණය (Recycle) පිළිබඳ ව ය. මෙහි දී අඩු කිරීම වඩාත් වැදගත් වන්නේ වරක්‌ පමණක්‌ භාවිත කර ඉවත දමනු ලබන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන සම්බන්ධ ව ය. එසේ ම ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ නිෂ්පාදනය අඩු කිරීම සඳහා ඒවා නැවත භාවිත කිරීම වැදගත් වෙයි. අනෙක්‌ අතට භාවිතයෙන් පසුව පරිසරයට එකතු වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම සඳහා ප්‍රතිචක්‍රිකරණය බෙහෙවින් ඵලදායක ය.



නැවත සිතා බැලීම


කෙසේ වෙතත් මීට අමතර ව ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව 'නැවත සිතා බැලීම' වැදගත් බවට වූ අදහසක්‌ මෑත කාලයේ දී සාකච්ඡාවට ලක්‌ ව තිබෙයි. එයට හේතුව වන්නේ පෙර සඳහන් පියවර මඟින් පමණක්‌ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව විසදා ලීමට අපහසු බව අද වන විට පැහැදිලි බැවිනි. නිදසුනක්‌ ලෙස සැම ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනයක්‌ ම ප්‍රතිචක්‍රීකරණය කිරීම පහසු නො වෙයි. ඇතැම් ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනවලට විවිධ භෞතික ලක්‌ෂණ හා වර්ණ ආදිය ලබා දීම සඳහා එක්‌කර ඇති වෙනත් රසායන ද්‍රව්‍ය හේතුවෙන් ඒවා ප්‍රතිචක්‍රීකරණය අපහසු වී ඇත.

මේ තත්ත්වය හමුවේ ප්ලාස්‌ටික්‌ ගැටලුව විසඳා ලීම සඳහා යෝග්‍ය පියවරක්‌ ලෙස ප්ලාස්‌ටික්‌වල ස්‌වභාවය වෙනස්‌ කිරීම හා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන ක්‍රමවේදවල වෙනස්‌කම් සිදු කිරීම වැනි අංශ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු යෑයි ඇතැම් විද්‍යාඥයන් අදහස්‌ කරන බව පෙනෙයි. ඒ අනුව මේ ඇතැම් කරුණු පිළිබඳ ව මූලික වෙනස්‌කම් හෙවත් නැවත සිතා බැලීමක්‌ (Rethinking) කළ යුතු වෙයි.

නිදසුනක්‌ ලෙස ජෛව හායනයට ලක්‌ වන ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව මෙවැනි වෙනස්‌කමක්‌ කළ යුතු වෙයි. ඒවා හායනයට ලක්‌ වන බැවින් ආහාර ඇසුරුම් වැනි දිගු කලක්‌ භාවිතය සඳහා යොදාගැනීම අපහසු ය. එබැවින් කළ යුත්තේ කෙටිකාලීන ව හා එක්‌ වරක්‌ පමණක්‌ භාවිත වන ආවරණ වැනි ද්‍රව්‍ය සඳහා මේවා යොදාගැනීම ය. නිදසුනක්‌ ලෙස වරක්‌ පමණක්‌ භාවිත වන ආහාර උපකරණ සඳහා සහ ඇතැම් ක්‌ෂණික ආහාර, කෙටි වේලාවකට ආවරණය කිරීම සඳහා මෙවැනි ජෛව හායනයට ලක්‌ වන ප්ලාස්‌ටික්‌ ආවරණ යොදාගත හැකි ය.


එමෙන් ම ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රිකරණයේ දී සැලකිය යුතු ගැටලුවක්‌ වී ඇති, ප්ලාස්‌ටික්‌වලට එකතු කර ඇති විවිධ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක්‌ දැන් දැන් සාකච්ඡා වෙමින් තිබෙයි. ඒ අනුව ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණයේ දී වර්තමානයේ දී මූලික වශයෙන් යොදාගනු ලබන භෞතික වශයෙන් කැබැලි කොට අඹරා යළිත් ප්ලාස්‌ටික්‌ සෑදීම වෙනුවට වෙනත් ක්‍රමවේදයක්‌ යොදාගැනීමට යෝජනා කර ඇත. ඒ අනුව ප්ලාස්‌ටික්‌ රසායනික වශයෙන් ඒවායේ ඇතුළත් වන ද්‍රව්‍යවලට වෙන් කිරීමෙන් ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනයේ දී එකතු කර ඇති වෙනත් අවශේෂ රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම එම ක්‍රමවේදයයි.

තාක්‌ෂණයක්‌ නිසා ජනනය විය හැකි අතුරු ඵල වැනි කරුණු සම්බන්ධ ව මෙහි දී යම් අවධානයක්‌ යොමු විය යුතු බව පැහැදිලි ය.

නිදසුනක්‌ ලෙස PET හෙවත් පොලිඑතිලීන් ටෙරෙප්තැලේට්‌ බෝතලයක්‌ එහි මූලික තැනුම් ඒකකවලට වෙන් කරනු ලබන අතර එහි දී ඊට එකතු කර ඇති අවශේෂ ද්‍රව්‍ය වෙන් කර ඉවත් කළ හැකි ය. එමඟින් ලබා ගන්නේ මුල් ප්ලාස්‌ටික්‌ අමුද්‍රව්‍ය බැවින් ඒවා යොදා ගනිමින් සිදු කරන ඕනෑ ම නිෂ්පාදනයක්‌ තැනීමට හැකි ය. එසේ භාවිත කරන ලද ප්ලාස්‌ටික්‌ නැවතත් එම ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය සඳහා ම යොදාගැනීමට පියවර ගැනීම මේ විද්‍යාඥයන්ගේ යෝජනාව වෙයි. වීදුරු හා කඩදාසි සම්බන්ධ ව මෙය දැනටමත් ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් ඒවා තනා ඇති මූලික ම බහුඅවයවිකය දක්‌වා වෙන් කළ නො හැකි ප්ලාස්‌ටික්‌ වර්ග ද තිබිය හැකි ය. එවැනි අවස්‌ථාවල දී ඒවා කිසියම් මට්‌ටමකට වෙන් කරනු ලැබීමෙන් පසුව වෙනත් නිෂ්පාදනයක්‌ සඳහා යොදා ගැනීමට හැකි බව මේ විද්‍යාඥයන්ගේ අදහස වෙයි. නිදසුනක්‌ ලෙස ඉන්ධන නිෂ්පාදනය දැක්‌විය හැකි ය. ඇතැම් විට ඖෂධ වර්ග නිෂ්පාදනය සඳහා ද මේවා අවශ්‍ය විය හැකි ය. මෙමඟින් ප්ලාස්‌ටික්‌වලට යම් අගයක්‌ ලබා දීමට හැකි අතර, එමඟින් ඒවා පුළුස්‌සා හෝ පරිසරයට බැහැර කිරීමට වඩා ප්‍රයෝජනයක්‌ ලබාගැනීමට මිනිසුන් පෙලඹවිය හැකි ය. එමෙන් ම එවැනි ඉහළ වටිනාකමක්‌ දිය හැකි නම් මේ වන විට ද බැහැර කර ඇති ප්ලාස්‌ටික්‌ පරිසරයෙන් ඉවත් කිරීමට පවා මිනිසුන් පෙලඹවිය හැකි ය. එවැන්නකට බොහෝ දුර විය හැකි නමුත් සෛද්ධාන්තික ව මේ බව අනුමාන කළ හැකි ය.

අද වන විට ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ හායනය හා සම්බන්ධය සිදු කර ඇති පර්යේෂණ මඟින් ද වැදගත් සොයාගැනීම් සිදු කර ඇත. නිදසුනක්‌ ලෙස ඇතැම් වර්ගවල ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ජීරණය කළ හැකි බැක්‌ටීරියා හා එන්සයිම පිළිබඳ ව කරුණු අනාවරණය කරගෙන ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳ ව තවමත් ඇත්තේ පර්යේෂණ මට්‌ටමේ ය.

http://www.vidusara.com/2018/12/12/feature3.html

No comments:

Post a Comment