Monday, September 4, 2017

(කලට) ​මියගිය ප්‍රේමය

ධනේෂ් විසුම්පෙරුම

--------------------------

සිතේ ඇති වූ ප්‍රේමයක් මියගිය ද එය දකින විට හා සිහිපත් වන​ විට අයෙකුගේ​ සිතේ ඇති වන්නේ​ සිහින්​ දුකක් වැනි හැඟීමකි. නැත්නම් උපේක්ෂාවකි. එහෙත් මගේ සිතේ ඉපදී​,​ වසර ගණනාවක් පැවැති එක් ප්‍රේමයක් ගැන දැන් ​මට ​ඇත්තේ අමුතුම හැගීමකි. ​ඇය​​ අද​ දකින විට සි​තට කිසිත් නොහැඟේ එදා මසිතේ පැවැති අන්ධ ප්‍රේමය ගැන අද මට​ ඇති වන්නේ ​මා ගැනම දුකකි.​ එදා ඇය වෙනුවෙන් හා ඈ ගැන සෙවීමට මා ගත කළ කාලය ගැන මහත් කණගාටුවකි. ඒ ප්රේමය වෙනුවෙන් ​ඇතැමුන් සමාජයේ හා ෆේස් බුක් පුරා හඬා වැළපෙනු දැකින විට ඇති වන්නේ නම් හාස්‍යයකි. සමහරුන් තුළ පැවැති ඒ ප්‍රේමය දැන් දැන් වෙෙරයක් බවට පත්ව​න​ ඇති බව​ද​ පෙනේ.​ කලක් පෙම් කළ ඇයට මට නම් වෙෙර කරන්නටද නොහැකිය.​
ඒ​ ඇය ක්‍රිකට්ය. ඒ ප්‍රේමය ක්‍රික​ට්වලට බැඳි ප්‍රේමයයි.​
මම ක්‍රිකට් රසිකයකු වූයේ​ බොහෝ​ කුඩා ​කාලයේදී ය. එය එකල දෙවැනි වූයේ පො​ත්පත් කියැවීමට තිබූ ආසාවට පමණි. එවකට රූපවාහිනි​යෙන් ක්‍රිකට් තරඟ​ විකාශ​ය වූයේ කලාතුරකින් බැවින් අප කළේ ක්‍රිකට් ඇසීම ය​ (ක්‍රිකට් බලන්නට නම් මගේ එතරම් කැමැත්තක් කවදාවත් නොවූ බව කිව යුතු ය)​. 1980 දශකය වූ ඒ කාලයේදී අපේ රට මුහුණදුන් ජාත්‍යන්තර තරග මෙන්ම කොළඹ ප්‍රධාන පාසල් මහා ක්‍රිකට් තරග පවා ගුවන්විදුලියේ​ සජීවීව​ විකාශය වීය. මේ සිය​ලු තරග අතපසු නොකර ඇසුවා පමණක් නොව, අපේ රට මුහුණදුන් තරග පිළිබඳව වාර්තා පවා තබා ගතිමි. පුවත්පත් වාර්තා එකතු කළෙමි.​ ඒ වෙනුවෙන්ම පුවත්පත් මිලදී ගැනීමි.​ එදා සිතේ රැඳුණු ඇතැම් සිදුවීම් තවමත් මතකය.​​ ඊට එදා උන් විස්තර ප්‍රචාරකයන්ගේ දක්ෂතාවයද බලපායි.
වරක් එක් ​​ආනන්ද-නාලන්ද ​මහා ක්‍රිකට් ​තරගයක දී තමන් රැකගත් උඩපන්දුව​ක් සතුටට යළි​ත්​ උඩ දැමීමට ගොස් එය අත්හල​ නාලන්දා ක්‍රීඩකයෙක් (අද ඔහු ප්රකට චරිතයකි) සම්බන්ධ සිදුවීම​ එවැනි සිදුවීමකි. ඒ නිසා පිතිකරු නොදැවුණු අයකු ලෙස විනිශ්චයකරු විසින් තීරණය කරන ලදි. ​රාජකීය-ශාන්ත තෝමස් නිල් හටනකදී පිටියේ (සරවනමුත්තු?)​​​ ඈත කෙලවරක සිට විකට්ටුවටම පන්දුව එල්ල කළ ක්‍රීඩකයෙක් ගැන විචාරකයන් කතා කළ අවස්ථාවක් මට මතකය.
​1982 දී පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ක්‍රිකට් තරගය ද මට මතකය. එය රූපවාහිනියෙන් විකාශය කළ බවක් මතකය. එහි රන්ජන් මඩුගල්ලේගේ තාක්ෂණික පිතිහරඹය හා රෝයි ඩයස් හා අර්ජුන රනතුංගගේ දක්ෂතා තවමත් සිහිපත් කළ හැකි ය. එසේම 1985දී ඉන්දියාව​ (ඔව් ඒ ඉන්දියාව පරදවමින් තමා!)​ පරදවා ලංකාව පළමු ටෙස්ට් තරගය ජයගත් ඓතිහාසික අවස්ථාව​ රූපවාහිනියෙන් විකාශය කළා මතකය. ඉන්දියාව වෙනුවෙන් එදා කැපී පෙනෙන ගැලවුම්කාර චරිතය රඟ දැක්වූ කපිල්දේව්ගේ කඩුල්ල ලබා ගැනීමට රුමේෂ් රත්නායක තම පන්දුවකටම ලබාගත් උඩපන්දුව ලබාගත් ආකාරය තවමත් මැවී පෙනේ. (එම තරඟය රූපවාහිනියෙන් සජීවීව විකාශය​ නොකළ අතර, තරඟය ජයගන්නා ආකාරයක් දිස් වූ බැවින් ජයවර්ධන ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙ​න් එදා තරඟයේ අවසන් සැසිය සජීවීව විකාශය කරන ලදි).
​එසේම මගේ පාසැල වූ ​රාජකීය විද්‍යාලයෙන්​ ශ්‍රී​ ලංකා කණ්ඩායමට වසර ගණනාවකින්​ ගිය ක්‍රීඩකයා පිට පිට ඉනිම දෙකකදී ​එල්.බී​.​ඩබ්ලිව්​.​ වී ලකුණු 0​ හා 1​ ලෙස දැවී ගිය අයුරු මම බලා සිටියේ ​ශෝකයෙනි. ඔහු කඩුල්ල මුවා කළ ආකාරයද හාස්‍යජනක විය. (ඉන් පසු ඔහු ගැන අසන්නට ලැබුනේ නැති තරම්ය.)
බටහිර ඉන්දීය කණ්ඩායම මගේ​ අන්තර්-ජාතික​ ක්‍රිකට් වීරයන් අතර විය. මා මේ පවසන්නේ 1980 දශකය මුල ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් දක්ෂතා පෙන්වු කණ්ඩායම ගැන ය. විවියන් රිචර්ඩ්ස් යටතේ ද ඔවුන් යම් දක්ෂතා දැක්වුවද කණ්ඩායම දිගටම පිරිහී ගිය බව රහසක් නො​වීය.
​ඒ කාලයේ ක්‍රිකට් යනු බොහෝ දෙනාගේ ජීවිතය විය. ක්‍රිකට් ගැන ලියැවුණු දේ බොහෝ විය. ක්‍රිකට් අයකුගේ ජීවිතයට සම්බන්ධ කරමින් ලියූ කුඩා ගුවන් විදුලි නාටකයක් ගැන ද මතකයක් තිබේ. මතක හැටියට එය සමන් අතාවුදහෙට්ටි ලියූවක් විය. පසුකලක ලංකා කණ්ඩායමේ ඉහළ පහළ යෑම් නිසා 1990 දශකයේ දී මානිගෙ තිරු ගණනාවකම මතු කළ හාස්‍යය තවමත් මතකය. එහෙත් ඒ වන විට මගේ ක්‍රිකට් ප්රේමය මිය ගොස් තිබිණි. මානිගෙ තීරුව බැලුවේ එය කියැවීමට තිබූ ආසාවට ය.
මගේ හිතේ ක්‍රිකට් ප්‍රේමය මිය ගියේ 1980 දශකය අග රටේ ​පැවැති කලබලකාරී වාතාවරණය​ හා අධ්‍යාපනය නිසා ක්‍රිකට් සඳහා වූ ඇල්ම තුනී වී ගියේ ය. පිටකොටුව බෝම්බය හා ඒ නිසා අතරමග දී අත්හැර දැමුණු නවසීලන්ත සංචාරය මට මතක ය. දකුණේ ඇති වූ කලබලකාරිත්වය සැකෙවින් දක්වන නන්දා මාලනීගේ "පන්දු කෙලින අතර ඉහළ පාසැල්වල අමනයින්" ගී පදය තවමත් සිතේ රැව් දෙයි. ක්‍රිකට් ආසාව අත්හැර දැමීම මා සිතා මතා ගත් තීරණයක් නොව ඉබේ සිදුවූවක් විය. එය "කලට මියගිය පෙමක්" බව මගේ අද අදහසයි.
1992 ලෝක කුසලාන තරගාවලිය මම බැලුවේ එහෙන් මෙහෙන් ය. එහි දී දකුණු අප්‍රිකානු කණ්ඩායම මුහුණ දුන් ඉරණම ක්‍රිකට් තවත් එපා කළේ ය.​ එංගලන්තය හා ඔවුන් අතර පැවැති අවසන් පූර්ව තරඟය වැස්ස නිසා කෙටි කරන්නට සිදු වූ තරගයෙන් ජයගැනීම සඳහා දකුණු අප්‍රිකාවට ලැබුණේ අසාධාරණ බවක් පෙනුණු ඉලක්කයකි. තරඟයෙන් පරාජය වී ඔවුන් පිටිය වටා ගිය හැටි මට මතක ය. ​​එම තරඟාවලියේ වඩාත් ජනප්‍රිය කණ්ඩායම වූයේද ඔවුන් ය.​ ඔවුන්ගේ රටේ පැවැති වර්ණභේදවාදී ප්‍රතිපත්ති නිසා කලක් ක්‍රිකට් පිටියෙන් තහනම් කරනු ලැබූ ඔවුන් යළිත් අන්තර්ජාතික තරගවලට පිවිස වැඩි කලක් ගතව තිබුනේ නැත.​​​ ඊට වසර කීපයකට පෙර ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ කෙප්ලර් වෙසල්ස් ආපසු සිය රට ගොස් ​එරටට නායකත්වය දුන් බව මතකය.
ඉන් පසුව ක්‍රිකට්වලින් ඈත්වීම වේගයෙන් සිදු විය. 1996 ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනූ තරඟය බලන්නට මට උවමනාවක් නොවීය (පසුව බැලීමි). ඒ වන විට ක්‍රිකට් නිසා මෙරට ජනතාව තුළ යම් ජාතික​ හැඟීමක් හෝ එකමුතුවක් ජනිත වීම පසුව​ ක්‍රිකට්වලින්​ මා දුටු එකම යහපත් බලපෑමයි.
දැන් මට ක්‍රිකට් නොබලා නොඅසා නොකියවා සිටිය හැකි ය. ලංකා කණ්ඩායම දිනන විට සතුටක් හෝ පරදිනවිට දුකක් දැන් මට ඇති නොවේ. ඒ කාලයේ මගේ තිබූ​, එහෙත් කලට මියගිය​ ක්‍රිකට් ප්රේමය ගැන ​හිස් හැගීමකි.​ මා විසින්​ කා දැමූ කාලය ගැන දුකකි. එදා ​දැකිය නොහැකි වූ 'දිනන විට හුරේ දාන පරදින විට හඬාවැටෙන​' අය ගැන කණගාටුවකි.
කාලය මැවු වෙනසක අරුමේ​...

2017-09-04
Facebook පෝස්ටුව හා කමෙන්ට් සඳහා click here-

No comments:

Post a Comment