Thursday, January 28, 2016

ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක්‌ එපා කියන්නේ ඇයි?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 27.02.2016, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2016/01/27/feature4.html


ලෝකයේ රටවල් සෙසු රටවල් සමඟ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබීමේ අරමුණ අදාළ රටවලට අෙන්‍යාන්‍ය වශයෙන් ප්‍රතිඵලදායක වන ආකාරයේ වෙළෙඳාමක්‌ වර්ධනය කරගැනීම ය. මෙවැනි නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් මගින් සාමාන්‍යයෙන් සිදු වන්නේ ඒවාට සම්බන්ධ වන රටවල් අතර වෙළෙඳාම සඳහා වූ බාධක ඉවත් කිරීම ය. මීට අදාළ රටවල් එකඟ වන භාණ්‌ඩ සඳහා තීරු බදු ලිහිල් කිරීම වැනි පියවර ඊට ඇතුළත් ය. ජගත් මට්‌ටමේ දී මෙවැනි වෙළෙඳ ගිවිසුම් පවතී. සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ නිසා ජාත්‍යන්තර වෙළෙඳාම වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජනා වී ඇති වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකාවට කෙතරම් වාසිදායක එකක්‌ වේ ද යන්න ගැටලුසහගත ය. භාණ්‌ඩවලට පමණක්‌ නො ව සේවාවලට හා ආයෝජන සඳහා ද බලපාන සේ ඇති කරගැනීමට නියමිත බව පැවසෙන මේ එකඟතාව සඳහා මුලින් යෝජනා වූයේ කලකට ඉහත දී සාකච්ඡාවට ලක්‌ වූ 'සීපා' නම් කෙටි යෙදුමෙන් හැඳින්වෙන ගිවිසුම ය. පසුව 'එට්‌කා' නම් ගිවිසුමක්‌ අත්සන් තබන බව සඳහන් විය. කෙබඳු නමකින් හඳුන්වනු ලැබුව ද, ඉන්දියාව සමඟ කිසියම් වූ ගිවිසුමක්‌ අත්සන් තැබීමට රජය සූදානම් බව පැහැදිලි ය. මුලින් මේ වසරේ පෙබරවාරියේ අත්සන් කිරීමට නියමිත බව පැවසුණු ගිවිසුම ලබන ජූනි මාසයේ පමණ අත්සන් තැබෙන බව පසුගිය දා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ය.

FTA සිට CEPA හෝ ETCA දක්‌වා

ඉන්දියාව සමඟ රජය පුළුල් වෙළෙඳ ගිවිසුමත් අත්සන් කරනු ලබන්නේ 1998 වර්ෂයේ දී ය. නිදහස්‌ වෙළෙඳ ගිවිසුම (Free Trade Agreement – FTA හෙවත් ISFTA) නම් එම ගිවිසුම 2000 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මෙය භාණ්‌ඩ වෙළෙඳාම සම්බන්ධ වූවකි. මේ සමඟ දෙරට අතර වෙළෙඳාම වර්ධනය වුව ද සමස්‌තයක්‌ ලෙස වෙළෙඳ ශේෂයේ වාසිය පැවතුණේ ඉන්දියාවට ය.

මේ තත්ත්වය හමුවේ දෙරට අතර වඩා පුළුල් ගිවිසුමක්‌ ඇති කරගැනීමට යෝජනා විය. 'සීපා' හෙවත් පූර්ණ ආරථික සහයෝගිතා ගිවිසුම (Comprehensive Economic Partnership Agreement - CEPA) ගිවිසුම නම් වූ එය පළමුව සාකච්ඡාවට ලක්‌ වූයේ පසුගිය සන්ධාන රජය සමයේ 2005 වර්ෂයේ දී ය. සාකච්ඡා වට දහ තුනකින් පසුව මේ ගිවිසුම පිළිබඳ කටයුතු 2008 ජුලි මාසය වන විට සම්පූර්ණ විය. සීපා ගිවිසුම යටතේ භාණ්‌ඩ වෙළෙඳාම පුළුල් කිරීම අපේක්‌ෂා කළ අතර, ඊට අමතරව, සේවා හා ආයෝජන ද ඇතුළත් කිරීමට නියමිත විය. එසේ ම ආර්ථික සහයෝගිතාව ද එහි ඇතුළත් විය. මේ පිළිබඳව ඒ කාලයේ දී ව්‍යාපාර අංශවලින්, දේශීය ව්‍යාපාරිකයන් ගෙන් හා විද්වත් වෘත්තිකයන් ගෙන් සැලකිය යුතු විරෝධයක්‌ පැනනැගිණි. එවකට පැවැති නිදහස්‌ සන්ධාන රජය සීපා ගිවිසුම පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන ගියේ නැත. ඊට බලපෑවේ සීපා යෝජනාවලිය ගැන වූ ගැටලු හා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම නිසා ඇති වී තිබෙන ගැටලු විසඳාගැනීමේ අවශ්‍යතාවයි.

කෙසේ වෙතත් සීපා ගිවිසුම ඇති කරගැනීමේ අදහස ඉන්දියාව අත්හැර නො තිබිණි. සන්ධාන රජය පරාජයට පත් වීමෙන් පසුව සීපා ගිවිසුම යළිත් වරක්‌ කරළියට ආවේ පසුගිය වර්ෂය මුල දී ය. මේ නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වූ පාර්ශ්වවලින් ඒ ගැන විරෝධතා පළ විය. පසුගිය වර්ෂය අවසානයේ දී වර්තමාන රජය ප්‍රකාශ කළේ සීපා ගිවිසුම අත්සන් නො කරන බවත්, ඒ වෙනුවට ඉන්දියාව සමඟ 'එට්‌කා' හෙවත් ආර්ථික හා තාක්‌ෂණික සහයෝගිතා ගිවිසුමක්‌ (Economic and Technology Co-operation Agreement - ETCA) අත්සන් කරන බවත් ය. එය සීපා ගිවිසුමට වඩා වෙනස්‌ වූවක්‌ ලෙස බලධාරීන් පෙන්වා දී තිබුණ ද, එහි බලපෑම තීරණය වන්නේ නමින් නො ව අන්තර්ගත කරුණුවලිනි. මේ යෝජිත ගිවිසුම මෙරට සැම දෙනා ගේ ම සැලකිල්ලට ලක්‌ විය යුතු දෙයක්‌ බව යෝජිත ගිවිසුමට එල්ල වී ඇති විරෝධතා අනුව පෙනේ.

පැවැති ගිවිසුමේ වාසි කාට ද?

ඉන්දියාව වැනි විශාල රටක්‌ හා ශ්‍රී ලංකාව වැනි කුඩා රටක්‌ අතර ඇති කරගන්නා වෙළෙඳ ගිවිසුමකින් ඇති විය හැකි අවාසි හා අහිතකර බලපෑම් ගැන අවධානය යොමු කළ යුතු ය. විශේෂයෙන් භාණ්‌ඩවලට අමතරව සේවා අංශය ද ආවරණය කරන ආකාරයේ වෙළෙඳ ගිවිසුමක දී මේ තත්ත්වය වැදගත් ය.

අද වන විට වසර 15ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක ඉන්දු-ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම පැවැති කාලයේ දී මෙරට හා ඉන්දියාව අතර වෙළෙඳාම වර්ධනය වී ඇත. 2003 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 241.1ක්‌ පමණ වූ මෙරටින් ඉන්දියාවට අපනයනය කරන ලද භාණ්‌ඩවල වටිනාකම 2014 වන විට මිලියන 625ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මෙය මෙරට වෙළෙඳ ද්‍රව්‍ය සඳහා ඉන්දියානු වෙළෙඳපොළ පුළුල් වීම පිළිබඳ සාධකයක්‌ ලෙස ගත හැකි ය. එහෙත් මේ අතරින් ඇතැම් අපනයනවල හිමිකාරිත්වය ඉන්දියානු ව්‍යාපාරිකයන් සතු වූ අතර මේ නිසා ඉන් ලංකාවට ලැබුණු වාසිය වඩාත් අඩු ය. නිදසුනක්‌ ලෙස වනස්‌පති තෙල් හා තඹ අපනයනය දැක්‌විය හැකි ය. අනෙක්‌ අතට නිදහස්‌ වෙළෙඳ ගිවිසුම යටතේ පවා මෙරට නිෂ්පාදන ද්‍රව්‍ය අපනයනය කිරීමට යැමේ දී බදු නො වන වෙනත් සීමාවලට ලක්‌ වීමට සිදු වූ අවස්‌ථා පිළිබඳව මෙරට ව්‍යාපාරිකයන් ගේ පැමිණිලි තිබේ.

කෙසේ වෙතත් මේ කාලය ඇතුළත ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කර ඇති භාණ්‌ඩවල වටිනාකම මීට වඩා බෙහෙවින් වැඩි ය. 2003 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1075ක්‌ පමණ වූ ඉන්දියානු ආනයනවල වටිනාකම 2014 වන විට මිලියන 3977ක්‌ පමණ තෙක්‌ වර්ධනය වී ඇත. මේ මුළු කාලය ඇතුළත වෙළෙඳ ශේෂයේ වාසිය තිබුණේ ඉන්දියාව දෙසට ය.


සේවා අංශය විවෘත කිරීමේ බලපෑම්

කෙසේ වෙතත් පෙර සඳහන් කළ ආකාරයට ම සීපා ගිවිසුමේ මෙන්ම ඒ වෙනුවට ඇති කරගන්නා වෙනත් ගිවිසුමක වැදගත් ම අංශය වන්නේ සේවා අංශයේ යම් යම් ක්‌ෂේත්‍ර විවෘත කිරීමයි. වෘත්තික ක්‌ෂේත්‍ර ද මේ ආකාරයෙන් විවෘත වීමට අවස්‌ථාව තිබේ. පසුගිය දා රජයේ අමාත්‍යවරයකු ප්‍රකාශ කළ ආකාරයට යම් යම් අංශවල සේවා ඉන්දියාවට විවෘත කිරීමට යෝජනා වී ඇත. ඒ අතර තොරතුරු තාක්‌ෂණ අංශය හා නැව් නිර්මාණය යන අංශය ද වෙයි. මේ සඳහා වෛද්‍ය හා නීති ක්‌ෂේත්‍රය අදාළ නො වන බව අවධාරණය කර තිබිණි. මේ අංශවලින් පැනනැගුණු විරෝධය මීට බලපාන්නට ඇත. (වෛද්‍ය හා ඉංජිනේරු අංශවල වෘත්තිකයන් යෝජිත වෙළෙඳ ගිවිසුම පිළිබඳව අවධානය යොමු කර තිබිණි.)

මේ තත්ත්වය සැලකිය යුතු කරුණකි. විශේෂයෙන් එරට තොරතුරු තාක්‌ෂණ වෘත්තිකයන් විශාල පිරිසක්‌ අර්ධකාලීනව රැකියා කරන පිරිස්‌ වෙති. ඔවුන් මෙරට රැකියා සඳහා ආකර්ෂණය විය හැකි ය. වාර්ෂිකව ඉන්දියාවෙන් පිට වන උපාධිධාරීන් ගණන විශාල ප්‍රමාණයක්‌ වන අතර මේ උපාධිවල ගුණාත්මක බව පිළිබඳ ගැටලු තිබිය හැකි වුව ද, ව්‍යාපාරිකයන් ලාබ ශ්‍රමය සොයන බැවින් ඔවුන් සඳහා වැඩි ඉල්ලුමක්‌ ඇති වීමේ අවස්‌ථාවක්‌ තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට විවෘත කරන හෝ අනාගතයේ දී විවෘත කරනු ලබන සෙසු අංශවලටද පොදු ය. මේ සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළට ඉන්දියානු ශ්‍රමිකයන් පැමිණීම සිදු විය හැකි ය.

ලාබ ශ්‍රමය සුලබ ඉන්දියාවේ විරැකියා අනුපාතය ද ඉහළ අගයක්‌ ගනී. එරට තරුණ පිරිස්‌ අතර විරැකියා ප්‍රතිශතය 2013 වර්ෂයේ දී 12.8ක්‌ පමණ විය. ඉහළ අධ්‍යාපනයක්‌ ලද ඉන්දියානුවන් අතර විරැකියාව ඉහළ වීම ද විශේෂයකි. අපේ රටට ආසන්න ව පිහිටා ඇති තමිල්නාඩුවේ පශ්චාත් උපාධිධාරීන් ගෙන් 13.5%ක්‌ පමණ පිරිසක්‌

විරැකියාවෙන් පසු වෙති. එසේ ම ඉන්දියාවේ උපාධිධාරීන් අතරින් වැඩි ම විරැකියාව වන 30% අගය ඇත්තේ ඊට යාබද කේරළ ප්‍රාන්තයේ ය. මෙවැනි තත්ත්වයක දී සේවා අංශය විවෘත කිරීමෙන් සුදුසුකම් සහිත ඉන්දියානුවන් මෙරට රැකියාවලට යොමු වීම ඉහළ යා හැකි ය. (මේ තත්ත්වය විමසීමේ දී අප සැලකිය යුත්තේ අද වන විට සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ සුළු රැකියා කරන ඉන්දියානුවන් පිරිස ගැන ය. එසේ කරමින් තිබිය දී අත්අඩංගුවට ගත් පිරිස්‌ ගැන ද පුවත්පත් වාර්තාවල සඳහන් වේ).

එවැනි තත්ත්වයක දී මෙරට ශ්‍රම බලකායේ රැකියා නියුක්‌තියට බලපෑමක්‌ විය හැකි ය. ශ්‍රී ලාංකිකයන්ට මෙරට අදාළ ක්‌ෂේත්‍රවල ඇති රැකියා අවස්‌ථා අඩු විය හැකි අතර, වැටුප් පරිමාණ පවා පහළ යැම සිදු විය හැකි ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් මෙරට ශ්‍රම බලකායට හිමි විය යුතු රැකියා අවස්‌ථා විදේශිකයන්ට ලැබීමට ඉඩ තිබේ. දැනටමත් උපාධිධාරීන් රැකියා නොමැති ව සිටින තත්ත්වයක්‌ හමුවේ, අනාගතයේ දී ඔවුන් ගේ රැකියා වෙළෙඳපොළ විදේශ රටකට විවෘත කිරීම ගැටලු සහගත කරුණකි. මේ තත්ත්වය අපේ රටේ විරැකියාව වර්ධනය වීමට තුඩු දිය හැකි අතර, සුදුසුකම් ලත් වෘත්තිකයන් රට හැර යැමෙන් ඇති වන බුද්ධිගලනය උග්‍ර වීමට ද ඒ තත්ත්වය බලපෑ හැකි ය. එසේ ම තොරතුරු තාක්‌ෂණය වැනි අංශයක රැකියා සොයාගැනීම මෙරට තරුණ තරුණියන්ට අසීරු වුව හොත්, එවැනි අංශවල අධ්‍යාපනය ලැබීමට ඔවුන් අතර ඇති උනන්දුව අඩු වීමෙන් අදාළ අංශයේ සමස්‌ත පිරිහීමක්‌ පවා ඇති විය නොහැක්‌කේ නො වේ.

ගිවිසුම ගැන තවත් කල්පනා කළ යුතුය

මේ සියලු කරුණු අනුව පෙනෙන්නේ ඉන්දියාව සමඟ මෙවැනි වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වඩා පුළුල් සාකච්ඡාවක්‌ ඇති කිරීම අත්‍යවශ්‍ය බව ය. යෝජිත ගිවිසුම ගැන අදහස්‌ දක්‌වමින් රජයේ දේශපාලන නියෝජිතයකු පසුගිය දා ජනමාධ්‍ය වෙත පවසා තිබුණේ 100%ක්‌ වාසිදායක ගිවිසුම් ඇති කරගත නොහැකි බවයි. එය සත්‍යයකි. එහෙත් එවැනි අවස්‌ථාවක දී යම් ගිවිසුමකින් සිදු විය හැකි අවාසිය ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතු වේ. එසේ නො වුව හොත් ඇති විය හැක්‌කේ බරපතළ තත්ත්වයකි.

අපේ රටට ඇති විය හැකි අවාසි හා අයහපත් බලපෑම් බරපතළ විය හැකි නම් එවැනි ගිවිසුමකට එළැඹීමෙන් වැළකී සිටීමට ද රජයට හැකියාව තිබිය යුතු ය. ඉන්දියාව අපේ අසල්වැසි බලවත් රාජ්‍යයක්‌ වුව ද, අපේ රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට මෙරට ජනතාව වෙනුවෙන් පත් ව සිටින රජයකට හැකියාව තිබිය යුතු වේ. (2008 වර්ෂයේ දී එවකට පැවැති රජය සීපා ගිවිසුමට එළැඹීමෙන් වැළකී සිටි බව මෙහි දී සඳහන් කළ යුතු ය).

වර්තමාන රජය මේ පිළිබඳව සැලකිලිමත් නො වී ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කරන්නේ නම්, ඉන්දියානු බලපෑම හා දේශපාලන අවශ්‍යතා මත උක්‌ත ගිවිසුම ඇති කරගැනීමට වර්තමාන රජය පෙලඹී සිටින බවට එල්ල වී ඇති චෝදනාවට තල්ලුවක්‌ ලැබෙනු ඇත.

http://www.vidusara.com/2016/01/27/feature4.html

Wednesday, January 27, 2016

පරිගණකයෙන් නිර්මාණය කෙරුණු නූතන මානවයා ගේ හා නියෑන්ඩර්තාල් මානවයා ගේ පොදු පූර්වජයා

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.12.2015, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2015/12/30/viduindex.htm




මානව පරිණාමය යනු සත්ත්ව පරිණාමයේ එක්‌ අසිරිමත් කතාවකි. අද පොළොව මත වෙසෙන බුද්ධිමත් ම ජීවියා ලෙස සැලකෙන මිනිසුන් ඒ තත්ත්වය දක්‌වා කාලය සමග ක්‍රමයෙන් වෙනස්‌ වූ ආකාරය මේ කතාවෙන් දැක්‌වේ. ඒ කතාවේ අතීතයේ අපට පෙර ජීවත් වූ අපේ පූර්වජයන් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ ෆොසිල සාධක ආශ්‍රයෙනි. එහෙත් අප සතු ෆොසිල සාධක පිළිබඳ දැනුම සම්පූර්ණ එකක්‌ නො වේ. තවමත් මානව පරිණාමය කතාවේ හිස්‌තැන් සම්පූර්ණ කිරීම සඳහා යොදාගත හැකි ෆොසිල සාධක හමු වේ.

නියෑන්ඩර්තාල් මානවයා (Homo neanderthalensis) හා නූතන මානවයා (Homo sapiens) යන විශේෂ දෙකට පොදු වූ පූර්වජයකු සිටි බව අප දන්නා කරුණකි. මේ වන විට ඇති දත්තවලට අනුව අදින් වසර 781,000ත් 126,000ක්‌ පමණ අතීතයේ පැවැති මධ්‍ය ප්ලයිස්‌ටොසීන (Middle Pleistocene) සමයේ දී ඒ පොදු පූර්වජයා ගෙන් මේ මානව විශේෂ දෙක වෙන් වූ බව සැලකේ. එහෙත් මේ කාලයට අයත් ෆොසිල සාධක බෙහෙවින් අඩු බැවින්, මේ පොදු පූර්වජ මානවයා කෙබඳු වූයේ ද යන්න මෙතෙක්‌ අනාවරණය නො වූ කරුණක්‌ විය.

මේ පොදු පූර්වජයා පිළිබඳව සිදු කරන ලද අපූරු පර්යේෂණයක්‌ පිළිබඳව පසුගිය දිනක වාර්තා විය. ඒ උක්‌ත මානව විශේෂ දෙකේ ලක්‌ෂණ යොදාගනිමින්, ඔවුන් ගේ පොදු පූර්වජයා ගේ ත්‍රිමාන අතථ්‍ය (virtual) හිස්‌කබලක්‌ නිර්මාණය කිරීමට කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්‌ සමත් ව තිබූ පුවතයි.

පොදු පූර්වජයා නිර්මාණය

මේ අපූරු කටයුත්ත සඳහා වසර මිලියක දෙකක පමණ කාලයක්‌ පුරා පැතිර ගිය මානව ෆොසිල හිස්‌කබල් විශාල ප්‍රමාණයක්‌ මේ පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරන ලදි. එයට Homo erectus, නියෑන්ඩර්තාල් මානව මෙන්ම Homo sapiens ෆොසිල ද ඇතුළත් වේ. මේ ෆොසිල හිස්‌කබල්වල මතුපිට ඇති ඉම් සලකුණු (landmarks) 797ක්‌ හඳුනාගන්නා ලද අතර, ඒවායේ ඇති වී තිබෙන වෙනස්‌කම් හරහා කිසියම් පරිණාමීය රාමුවක්‌ ගොඩනගාගැනීමට ඔවුනට හැකියාව ලැබිණි. මේ වෙනස්‌කම් මත, හිස්‌කබල් ව්‍යqහයේ පරිණාමය පිළිබඳව කිසියම් කාලරාමුවක්‌ ගොඩනගාගැනිණි. එසේ ම නූතන මානවයා ගේ පරිලෝකනය කරන ලද හිස්‌කබලක්‌ ද සමග සමපාත කරන ලදි. මෙමගින් අතීතයේ විසූ පොදු පූර්වජයා ගේ හිස්‌කබල නිර්මාණය කරා යා හැකි ක්‍රමවේදයක්‌ නිර්මාණය කිරීමට මේ පර්යේෂකයන් පිරිස සමත් ව තිබේ.

මේ අනුව අදින් වසර 100,000ත් 800,000ත් අතර කාලයකට ඉහත දී පැවැති මධ්‍ය ප්ලයිස්‌ටොසීන යුගයේ දී ජීවත් වූ, නියෑන්ඩර්තාල් හා නූතන මානව යන විශේෂ දෙකේ පූර්වජයා තුළ මේ ලක්‌ෂණ නිරූපණය වූ ආකාරය දැක්‌වීමට හැකියාව ලැබී ඇත.

මානව පරිණාමයේ මේ බෙදීම සිදු වූයේ යෑයි අනුමාන කරනු ලබන කාලවකවානු තුනකට අදාළ වන හිස්‌කබල් තුනක්‌ පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට පර්යේෂකයන් පියවර ගෙන තිබේ. මේ දක්‌වා හමු වී ඇති ප්ලයිස්‌ටොසීන යුගයට අයත් මානව ෆොසිල ස්‌වල්පයක්‌ හා මේ ඩිජිටල් හිස්‌කබල් සංසන්දනය කිරීමට මේ පර්යේෂකයෝ ඉන්පසුව පියවර ගත් හ. ඉන් නූතන මිනිසා ගේ හා නියෑන්ඩර්තාල් මානවයා ගේ පොදු පූර්වජයා ගේ හිස්‌කබල කෙබඳු වන්නට ඇත් ද යන්න හා මේ වෙන් වීම සිදු වූයේ කවර දා ද යන්න තවදුරටත් නිශ්චිත වශයෙන් අවබෝධ කරගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත.



මේ අනුව උක්‌ත විශේෂ දෙකට පොදු වූ පූර්වජයා ගෙන් බෙදී ගොස්‌ මේ මානව විශේෂ දෙක ඇති වී තිබෙන්නේ අදින් වසර 700,000කට පමණ පෙර කාලයක දී බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. 1 රූපයේ දෙවැනි පේළියේ දැක්‌වෙන්නේ පරිගණක ආශ්‍රිතව ඔවුන් නිර්මාණය කළ හිස්‌කබල ය. කෙසේ වෙතත්, මීට පෙර සිදු කර ඇති DNA ආශ්‍රිත පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි මේ බෙදීම සිදු ව ඇත්තේ අදින් වසර 400,000කට පමණ ඉහත කාලයක " ය.

පොදු පූර්ජවයා ගේ ලක්‌ෂණ

මේ කල්පිත පොදු පූර්වජයා ගේ හිස්‌කබලේ නූතන මානවයා ගේ මෙන්ම නියෑන්ඩර්තාල් මානවයා ගේ ද ලක්‌ෂණ දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, නියෑන්ඩර්තාල් මානවයා ගේ දැකිය හැකි දිගැටි ස්‌වභාවයක්‌ ගත් හිස්‌කබලට හේතු වූ හිස්‌කබල පිටුපස ඇති කැපී පෙනෙන නෙරුමක මුල් අවස්‌ථාවක්‌ වන වර්ධනයක්‌ මෙහි දැකිය හැකි ය. මේ දිගැටි ස්‌වභාවය නිසා නියෑන්ඩර්තාල් මානවයන් ගේ අපර කපාල නෙරුම (occipital bun) ලෙස හඳුන්වන ලක්‌ෂණය විය.

අනෙක්‌ අතට මේ කල්පිත පොදු පූර්වජයා ගේ කම්මුල් අස්‌ථිවල දැකිය හැක්‌කේ නූතන මානවයා ගේ ඇති මටසිලුටු ලක්‌ෂණ සහිත මුහුණට හේතු වූ ස්‌වභාවයේ ලක්‌ෂණ ය. නියෑන්ඩර්තාල් මානවයන් ගේ මේ ප්‍රදේශයේ ඇත්තේ වැඩි ඝනකමකින් යුක්‌ත වූ අස්‌ථි වන අතර මේ නිසා ඔවුන් ගේ මුහුණ වඩා ඉලිප්පුණු හා නෙරා සිටි ස්‌වභාවයක්‌ ගත්තේ ය.

හිස්‌කබලේ ඇහි බැමට ඉහළින් පිහිටා තිබූ අස්‌ථිමය වැටියේ මහත හා ඝනකම ස්‌වභාවය පොදුවේ සියලු ආදි මානවයන් අතර දැකිය හැකි ය. එය මුල් Homo ගණයේ මානවයන් ගේ හා නියෑන්ඩර්තාල් මානවයන් ගේ ද පැහැදිලිව පෙනේ. මේ කැපී පෙනෙන ගැටියක්‌ බඳු ස්‌වභාවය මේ කල්පිත පොදු පූර්වජයා ගේ ද හමු වේ. කෙසේ වෙතත් Homo sapiens මානවයන් ගේ මේ ලක්‌ෂණය දැකිය නොහැකි ය.

මේ අනුව මේ පොදු පූර්වජයා වඩාත් සමාන වන්නේ අතීතයේ සිටි නියෑන්ඩර්තාල් මානවයන්ට වන අතර, ගත වී ඇති කාලයත් සමඟ එය පුදුමයට කරුණක්‌ නො වන බව පර්යේෂකයන් ගේ මතයයි. ගත වී ඇති කාලයත් සමඟ නූතන මිනිසා ගේ අද දැකිය හැකි සියලු අංග වර්ධනය වී ඇත. විශේෂයෙන් අප්‍රිකාවේ විසූ සුළු ජන කොටසක ගේ සිට අද ලෝකය පුරා වාසය කරන බිලියන හතක්‌ පමණ වූ මිනිසුන් දක්‌වා වූ ඉතිහාසයක්‌ ඇති Homo sapiens නූතන මානවයන් ගේ පරිණාමීය ඉතිහාසයේ එවැන්නක්‌ සිදු විය හැකි ය.

මේ පොදු පූර්වජයා බිහි වන්නට ඇත්තේ ද අප්‍රිකාවේ බව මේ පර්යේෂකයන් ගේ අදහස වන අතර, ඔවුන් යුරේසියාවේ සැලකිය යුතු ප්‍රදේශයක්‌ පුරා ජීවත් ව සිටි බව ද සැලකේ. එමෙන් ම මේ පොදු පූර්වජයන් Homo heidelbergensis ලෙස හඳුන්වනු ලැබූ විශේෂයේ එක්‌ ගහනයක්‌ විය හැකි බවට මීට පෙර ඉදිරිපත් කර ඇති අදහස ද විය හැක්‌කක්‌ බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. Homo heidelbergensis මානවයෝ අදින් වසර 800,000ත් 1,300,000 පමණ කාලයකට පෙර බිහි වූ අතර අප්‍රිකාව, යුරෝපය හා බටහිර ආසියාව යන ප්‍රදේශවල ජීවත් වූ හ. ඔවුන් අදින් වසර 200,000ත් අතර කාලයකට පෙර වඳ ව ගිය බව සැලකේ.


නව ක්‍රමවේදයේ වැදගත්කම හා සීමා

මේ ආකාරයෙන් පරිගණක ආශ්‍රිත ව අතථ්‍ය ෆොසිල නිර්මාණය කිරීමේ තාක්‌ෂණය කිසියම් තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ ලෙස වැදගත් ය. විශේෂයෙන් පරිණාමීය ගැටලුවක්‌ විසඳාගැනීම සඳහා ෆොසිල සාධක නොමැති අවස්‌ථාවල දී කල්පිතයක්‌ පරීක්‌ෂා කිරීම සඳහා මේ තාක්‌ෂණය යොදාගැනීමට හැකියාව තිබේ. ඕනෑ ම සත්ත්ව කණ්‌ඩායමක්‌ සඳහා මෙය යොදාගත හැකි වීම මෙහි ඇති වැදගත් කරුණකි.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයේ ඇති සීමා කිහිපයක්‌ පිළිබඳව ද සඳහන් කළ යුතු වේ. ඉන් පළමුවැන්න වන්නේ මෙසේ පරිගණක ආශ්‍රිතව නිර්මාණය කරනු ලබන හිස්‌කබල හෝ අස්‌ථි නිවැරැදි ම සත්‍යය නො පෙන්විය හැකි බව ය. තවත් වැදගත් කරුණක්‌ වන්නේ මේ හිස්‌කබල හෝ වෙනත් අස්‌ථි කොටස්‌ අතථ්‍ය ලෙස නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ෆොසිල සාධකවල සම්පූර්ණ බව මත අදාළ නිර්මාණයේ ස්‌වභාවය ද තීරණය වන බව ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, නියෑන්ඩර්තාල් හා හෝමෝ සේපියන් මානවයන් අතර අන්තරාභිජනනයක්‌ සිදු වී ඇති බැවින්, මේ හිස්‌කබල් යොදාගැනීමේ දී එසේ නො වූ ඒවා භාවිත වූයේ ද යන්න එක්‌ වැදගත් කරුණකි.

කෙසේ වෙතත් මෙහි දී නවීන තාක්‌ෂණය යොදාගනිමින් පොදු පූර්වජයකු ගේ ස්‌වභාවය තේරුම්ගැනීමට යම් හැකියාවක්‌ ලැබී ඇත. එය නව්‍ය තාක්‌ෂණික උපක්‍රමයකි. ෆොසිල වාර්තාවේ ඇති අඩුපාඩු වළක්‌වාගැනීම සඳහා මේ නිසා කිසියම් සහායත් ලැබී තිබේ. අනාගතයේ සිදු කරන පර්යේෂණ මගින් සැබෑ ෆොසිල සොයාගැනීමට හැකි වුව හොත් මේ තාක්‌ෂණයේ නිවැරැදි බව කෙතරම් ද යන්න වටහාගත හැකි ය.

මේ අධ්‍යයනය පිළිබඳ වාර්තාව පළ වී ඇත්තේ Journal of Human Evolution සඟරාවේ ය.

http://www.vidusara.com/2015/12/30/viduindex.htm

සාගරයේ උණුසුම වැඩි වීමෙන් ඉන්දියානු සාගරයේ නිෂ්පාදිතාව අඩු වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 5, 13.01.2016 (Vidusara)

http://www.vidusara.com/2016/01/13/feature2.html



සාගර ආහාර ජාලයේ වැදගත් කාර්යයක්‌ සිදු කරන ජීවී කාණ්‌ඩයක්‌ ලෙස ශාක ප්ලවාංග දැක්‌විය හැකි ය. ඇසට නො පෙනෙන තරම් කුඩා ජීවී කාණ්‌ඩයක්‌ වන මේවා විශාල වශයෙන් දැකිය හැකි විට, ජලය මතුපිට කොළ පැහැයෙන් දිස්‌ වේ. මේ කොළ පැහැයට හේතුව වන්නේ ඒවායේ ඇතුළත් හරිතප්‍රද ය. ශාක ප්ලවාංගවල වැදගත්කම තීරණය වන්නේ එය ප්‍රාථමික නිෂ්පාදකයකු වීම නිසා ය. සාගරයේ ඉතා විශාල ප්‍රමාණවලින් හමු වන බැවින් ලෝකයේ සිදු වන සමස්‌ත ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියෙන් 50%ක්‌ පමණ සිදු කරන්නේ මේ ශාක ප්ලවාංග ය.

ප්ලවාංග-භක්‌ෂක මසුන් හා වෙනත් ජීවීන්, ඇතැම් මසුන් ගේ කීට අවස්‌ථා රැසක්‌ ම යෑපෙන්නේ මේ ප්‍රාථමික නිෂ්පාදකයා වන ශාක ප්ලවාංග ආහාරයට ගැනීමෙනි. මේ කුඩා මසුන් ආහාරයට ගන්නා විශාල මසුන් විශේෂ විශාල සංඛ්‍යාවක්‌ සාගරයේ ජීවත් වේ. මේ නිසා සාගර ආහාර ජාලයේ ආරම්භකයා හෙවත් ඊට පාදක වන ජීවී කාණ්‌ඩය වන්නේ ශාක ප්ලවාංග ය. මේ අනුව ශාක ප්ලවාංගවල වැදගත්කම ඉතා පැහැදිලි ය.

කෙසේ වෙතත් මේ ශාක ප්ලවාංග සාගරයේ සිදු වන විවිධ වෙනස්‌කම්වලට ද සංවේදී වේ. නිදසනක්‌ ලෙස ගත හොත් සාගරයේ උෂ්ණත්වය ඉහළ යැම, සාගරයේ දැකිය හැකි පෝෂක ප්‍රමාණය වැනි සාධක ගණනාවක්‌ ශාක ප්ලවාංගවල පැවත්ම සඳහා වැදගත් වන සීමාකාරී සාධක වේ. මෑතක දී සිදු කරන ලද මෙවැනි එක්‌ අධ්‍යයනයකින් දක්‌වා ඇති ආකාරයට ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශයේ ශාක ප්ලවාංගවල කැපී පෙනෙන අඩු වීමක්‌ වාර්තා වේ.

ශාක ප්ලවාංග අඩු වේ

ඉන්දියානු සාගරයේ බටහිර කලාපය යනු විශාලතම ශාක ප්ලවාංග අතිගහනයක්‌ (phytoplankton blooms) ඇති වන කලාපයකි. මේ කලාපය පදනම් කරගෙන සිදු කර ඇති උක්‌ත අධ්‍යයනයේ දී යොදාගෙන ඇති එක්‌ දත්ත සමූහයක්‌ වන්නේ බහුවිධ චන්ද්‍රිකා දත්ත මගින් ලබාගත් හරිතප්‍රද ප්‍රමාණය සම්බන්ධ දත්ත ය. මේ මගින් වසර 16ක පමණ අඛණ්‌ඩ කාලයක්‌ සඳහා වූ දත්ත රැස්‌ කරගෙන තිබේ. මේ වසර ප්‍රමාණය නිවර්තන සාගර කලාපවල ඇති වන කිසියම් ප්‍රවණතාවයක්‌ හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් යෑයි සිතනු ලබන ප්‍රමාණයට සමාන වන අගයකි. එසේ ම ඓතිහාසික වශයෙන් හරිතප්‍රදවල ප්‍රමාණය පිළිබඳ දත්ත ලබාගෙන ඇත්තේ බහුවිධ ආකෘතියක්‌ යොදාගැනීමෙනි.

මේ දත්ත මගින් හෙළි වී ඇති පරිදි මේ කලාපයේ ශාක ප්ලවාංගවල කැපී පෙනෙන අඩු වීමක්‌ දැකිය හැකි ය. වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, පසුගිය වසර හැටක පමණ කාලය ඇතුළත එහි ශාක ප්ලවාංග ප්‍රමාණය 20%ක්‌ පමණ ප්‍රමාණයකින් අඩු වී තිබේ. එසේ ම චන්ද්‍රිකා දත්ත අනුව, මෑත දී ගත වූ වසර 16ක පමණ කාලයේ දී මේ ප්ලවාංග අඩු වීම වඩාත් වේගවත් බව පෙනේ. ඒ ප්‍රමාණය 30%ක්‌ පමණ තරම් බව ද මේ පර්යේෂකයන්ගේ අදහස වේ.

සාගරයේ උණුසුම බලපාන අයුරු

මෙසේ සිදු වීමට හේතුව වන්නේ බටහිර ඉන්දියානු සාගරයේ සාමාන්‍ය උෂ්ණත්වයේ දැකිය හැකි වේගවත් වර්ධනයයි. මේ සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය පසුගිය ශතවර්ෂයක කාලය තුළ සෙල්සියස්‌ අංශක 1.2ක සාමාන්‍ය අගයකින් පමණ ඉහළ ගොස්‌ තිබේ. ලෝකයේ ගොඩබිම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැමේ සාමාන්‍යය වන සෙල්සියස්‌ අශක 0.8ක ප්‍රමාණය හා සංසන්දනය කරන විට මෙය විශාල අගයකි.

මේ උෂ්ණත්වය ඉහළ යැම ශාක ප්ලවාංගවල අඩු වීම සඳහා බලපාන ආකාරය ද ඔවුන් පැහැදිලි කර තිබේ. මෙසේ උෂ්ණත්වය ඉහළ යැම හා සමග සාගරයේ මතුපිට ජලයේ ඝනත්වය අඩු වන අතර, වැඩි ඝනත්වයකින් යුක්‌ත ජලය ඊට වඩා පහළ මට්‌ටමකින් පවතියි. සිරස්‌ ස්‌තරීභවනය (vertical stratification) ලෙස හැඳින්වෙන මේ තත්ත්වය හේතුවෙන් සාගරයේ මතුපිට හා පහළ ප්‍රදේශ අතර ජලය සිරස්‌ව මිශ්‍ර වීම සිදු නො වේ. මෙය වැදගත් වන්නේ පෝෂක අතින් වඩා පොහොසත් වන්නේ සාගරයේ වඩා ගැඹුරු ප්‍රදේශවල ඇති ජලය වීම නිසා ය. ශාක ප්ලවාංග වර්ධනය වන්නේ එAවායේ වර්ධනය සඳහා අවශ්‍ය තරම් ආලෝකයක්‌ ලැබෙන සාගර මතුපිට පිහිටා ඇති කලාපයේ ය. ආලෝකය තිබුණ ද සාගරයේ ගැඹුර මට්‌ටම්වල සිය සාගර ජලය මතුපිට වෙත නො පැමිණීම නිසා, ශාක ප්ලවාංගවල වර්ධනය සඳහා ප්‍රමාණවත් තරම් පෝෂණයක්‌ නො ලැබී යයි.

මේ තත්ත්වය නිසා වර්තමානයේ ඉහතා ඉහළ නිෂ්පාදිතාවක්‌ ඇති සාගර කලාපයක්‌ වන මේ සාගර ප්‍රදේශයේ අනාගතයේ දී පාරිසරික වශයෙන් දැඩි පිරිහීමක්‌ ඇති විය හැකි බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ. මේ සඳහා ඔවුන් භාවිත කර ඇති වදන වන්නේ 'පාරිසරික කාන්තාරයක්‌' (ecological desert) යන්න ය.

සෙසු පර්යේෂණවලට වඩා වෙනස්‌

කෙසේ වෙතත් මේ පර්යෙAෂණයෙන් හෙළි වූ කරුණු මේ විෂය සම්බන්ධව මෑතක දී සිදු කරන ලද වෙනත් පර්යේෂණවලින් අනාවරණය වූ කරුණුවලට වඩා වෙනස්‌ ය.

මීට පෙර ප්‍රකාශයට පත් වූ ඇතැම් පර්යේෂණ වාර්තා කිහිපයකින් ම දැක්‌වෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ පවත්නා ශාක ප්ලවාංග ප්‍රමාණයේ වේගවත් වර්ධනයක්‌ මෑත කාලයේ දී දැකිය හැකි බවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2006 වර්ෂයේ දී ප්‍රකාශිත එක්‌ පර්යේෂණයකට අනුව වෙනත් බොහෝ නිවර්තන කලාපීය සාගර ප්‍රදේශවල දළ ප්‍රාථමික නිෂ්පාදනයේ අඩු වීමක්‌ දැකිය හැකි වුවත් ඉන්දීය සාගර ප්‍රදේශයේ ප්‍රාථමික නිෂ්පාදනයේ වර්ධනයක්‌ ඇති වූ බවක්‌ පෙන්වා දෙයි (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature05317). එසේ ම බටහිර ඉන්දීය සාගරයේ ශාක ප්ලවාංගවල 350% පමණ වර්ධනයක්‌ ඇති බවට එක්‌ අධ්‍යයන වාර්තාවකින් සංඛ්‍යාත්මකව දක්‌වා තිබීම ද විශේෂයකි. එහි දී අදාළ තත්ත්වයට හේතුව සේ පෙන්වා දී ඇත්තේ මෝසම් සුළං වර්ධනය වීමයි. (මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.1106610).

එහෙත් අප මාතෘකා කරගත් අධ්‍යයනයේ කතුවරුන් පෙන්වා දෙන්නේ ශාක ප්ලවාංගවල වර්ධනයක්‌ දැක්‌වූ අධ්‍යයනවල අවධානයට ලක්‌ ව ඇත්තේ කෙටි කාලයක්‌ සඳහා අදාළ දත්ත බවයි. එහෙත් මෙවැනි කරුණක්‌ සම්බන්ධව පැහැදිලි කිරීම සඳහා වඩා දිගු කාලයක්‌ ආවරණය කරන පරිදි දත්ත ලබාගත යුතු වේ. අප සාකච්ඡා කරන අධ්‍යයනය දිගුකාලීන දත්ත යොදාගත් අධ්‍යයනයකි. කෙටිකාලීන වශයෙන් ශාක ප්ලවාංග ප්‍රමාණයේ යම් යම් කැපී පෙනෙන වෙනස්‌කම් ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස පෙර සඳහන් කරන ලද අධ්‍යයනවල දී යොදාගත් කාලවකවානුවේ දී ශාක ප්ලවාංගවල වර්ධනයක්‌ සිදු වී ඇත. විශේෂයෙන් 1998-2005 අතර කාලයේ දී මෙවැනි වර්ධනයක්‌ දැකිය හැකි වී ඇත. එසේ සිදු ව ඇත්තේ 1998 දී පැවැති එල් නිනෝ තත්ත්වය නිසා උණුසුම් වූ සාගරය ඉන් පසුව පැමිණි ලා නිනා තත්ත්වය නිසා සිසිල් වීමයි. එහෙත් වඩා දිගුකාලීන දත්ත අනුව සිදු ව ඇත්තේ ප්ලවාංගවල අඩු වීමකි. විශේෂයෙන් දේශගුණ ආකෘති මගින් දක්‌වා ඇති පරිදි දිගුකාලීන වශයෙන් සිදු වන්නේ උෂ්ණත්ව ඉහළ යැමක්‌ වන නිසා බටහිර ඉන්දීය සාගරයේ ඇති විය හැකි තත්ත්වය අවධානයට යොමු කළ යුතු තත්ත්වයකි.

ආහාර ජාලය සඳහා වූ බලපෑම

ශාක ප්ලවාංගවල වැදගත්කම වන්නේ ඒවා සාගර ආහාර ජාලයේ පදනම වීම බව ඉහත දක්‌වන ලදි. මේ නිසා ශාක ප්ලවාංගවල සුලබතාව මත සාගරයේ හමු වන විවිධ මසුන් ගේ සුලබතාවය තීරණය වේ. මේ අතර ධීවර කර්මාන්තය සඳහා ද වැදගත් වන මත්ස්‍ය විශේෂ ගණනාවක්‌ ද වෙයි. අප සාකච්ඡා කරන ඉන්දීය සාගර කලාපය සම්බන්ධයෙන් ද මෙය වැදගත් වේ.

ඉන්දීය සාගරයෙන් අල්ලාගනු ලබන ටූනා මත්ස්‍යයන් ප්‍රමාණය ලෝකයේ සමස්‌ත ටූනා අස්‌වැන්නෙන් 20%ක්‌ තරම් වේ. විශේෂයෙන් මේ මසුන් ගේ ව්‍යාප්තිය සඳහා බලපාන එක්‌ සාධකයක්‌ වන්නේ ශාක ප්ලවාංග සුලබතාවයි. ශාක ප්ලවාංග අඩු වීමත් සමඟ මේ මත්ස්‍ය නිෂ්පාදනයට යම් බලපෑමක්‌ විය හැකි ය.

මේ තත්ත්වයේ බලපෑම ධීවර කර්මාන්තයට හා මත්ස්‍ය නිෂ්පාදනයට පමණක්‌ සීමා නො වන බව ද පැහැදිලි ය. විශේෂයෙන් ඉන්දීය සාගර කලාපයේ රටවල ආහාර සුරක්‌ෂිතතාවට මෙන්ම ඒ කලාපයේ සිට සාගර නිෂ්පාදන අපනයනය කරනු ලබන රටවලට ද මෙය අහිතකර ලෙස බලපෑ හැකි ය. මේ වන විට ද කලාපයේ මත්ස්‍ය අස්‌වනු අඩු වී ඇති බවට සාධක තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පසුගිය දශක පහක පමණ කාලයක දත්ත පිළිබඳව සැලකූ විට ඉන්දීය සාගරයේ ටූනා මත්ස්‍ය අස්‌වැන්න 50%-90% අතර ප්‍රමාණයකින් අඩු වී තිබේ. මේ සඳහා බලපා ඇති එක්‌ කරුණක්‌ වන්නේ අධික ලෙස ධීවර කර්මාන්තයේ යෙදීම වුව ද, ශාක ප්ලවාංග අඩු වීම නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි ය.

අනෙක්‌ අතට මේ ශාල ප්ලවාංගවලින් සිදු වන සේවා අතර ඇත්තේ ආහාර නිෂ්පාදනය පමණක්‌ නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, සූර්යතාපය අවශෝෂණය කරගැනීමට ද හැකියාවක්‌ ඇති බැවින් සාගරයේ උෂ්ණත්වය අඩු කිරීම සඳහා ද මේ ශාක ප්ලවාංගවලින් යම් බලපෑමක්‌ ඇති වේ.

මේ සියලු හේතු නිසා ඉන්දීය සාගරයේ මේ කලාපයේ ඇති වන වෙනස්‌කම් පිළිබඳව වඩාත් හොඳින් නිරීක්‌ෂණය කිරීමේ ඇති වැදගත්කම ද මේ පර්යේෂකයන් අවධාරණය කර ඇත.

(මූලාශ්‍රය: Geophysical Research Letters, DOI: 10.1002/2015GL066979)

http://www.vidusara.com/2016/01/13/feature2.html

Monday, January 4, 2016

චෙන්නායි ගංවතුරෙන් ඉස්‌මතු වන ආන්තික වර්ෂාපතනයේ බලපෑම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.12.2015, පිටුව 5 (Vidusara)

http://www.vidusara.com/2015/12/09/feature1.html


පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නගරයේ ඇති වූ ගංවතුර නිසා ඇති වූ බරපතළ තත්ත්වය එරට පමණක්‌ නො ව ලෝකයේ බොහෝ දෙනා ගේ සාකච්ඡාවට ලක්‌ වූ කරුණක්‌ විය. නොවැම්බර් මාසයේ පටන් දකුණු ඉන්දියාවේ ඇති වූ කාලගුණ වෙනස්‌ වීමත් සමඟ ඉන්දියාවේ කොරමන්ඩල් වෙරළ තීරයේ පිහිටි ප්‍රදේශ ගණනාවකට ම දැඩි වර්ෂාපතනයක්‌ ලැබිණි. මේ නිසා තමිල්නාඩුව, ආන්ද්‍රd ප්‍රදේශ් හා පොන්ඩිචෙරි වැනි ප්‍රාන්තවල දැඩි ගංවතුර තත්ත්වයක්‌ ඇති විය.

කෙටි කාලයක්‌ තුළ ඇති වූ අධික වර්ෂාපතනය නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර මෙන්ම එරට සිව්වැනි විශාලතම නගරය වන චෙන්නායි නගරයේ විශාල ප්‍රදේශයක්‌ ගංවතුරට යට වූ අතර එය ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට හා එදිනෙදා ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක්‌ ඇති කළේ ය. විදුලිය, ජලය වැනි පොදු පහසුකම් අවහිර වූ අතර, ප්‍රවාහනය ඇනහිට තිබිණි. එසේ ම සෞඛ්‍ය ගැටලු ද ඇති වෙමින් තිබිණි. චෙන්නායි නගරයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගංවතුරින් යට වීම නිසා දින කිහිපයක්‌ ගුවන් කොටුපොළ වසා තැබීමට සිදු විය. 19 වැනි සියවසේ දී ආරම්භ කළ දින පටන් අඛණ්‌ඩව ප්‍රකාශයට පත් කරන ලද 'ද හින්දු' පුවත්පතේ මුද්‍රණය එක්‌ දිනයක දී අත්හිටුවීමට සිදු වූයේ ගංවතුරෙන් උද්ගත වූ ප්‍රවාහන අපහසුතා නිසා ය. මේ ගංවතුර නිසා නිසා ඇති වූ ආර්ථික බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක්‌ පමණ වන බව මූලික ගණන් බැලීම්වලින් හෙළි වී තිබේ.

අප මෙහි දැක්‌වූයේ චෙන්නායි නගරය පමණක්‌ වුව ද, තමිල්නාඩු ප්‍රාන්තයේ තවත් දිස්‌ත්‍රික්‌ක ගණනාවක්‌ මෙන්ම දකුණු ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කිහිපයක ප්‍රදේශ ද මේ ගංවතුරේ බලපෑමට ලක්‌ ව තිබිණි.

චෙන්නායි නගරයේ ඇති වූ දැඩි ගංවතුර සඳහා බලපෑ එක්‌ හේතුවක්‌ ලෙස දක්‌වා ඇත්තේ කෙටි කාලයක්‌ තුළ අධික වර්ෂාපතනයක්‌ ලැබීම ය. පැය විසි හතරක්‌ තුළ එම නගරයට ලැබුණු වර්ෂාව මිලිමීටර් 374ක්‌ වූ අතර, නොවැම්බර් මාසයේ දී සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාව මෙන් තුන් ගුණයක පමණ වර්ෂාවක්‌ මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ලැබී තිබේ. මේ නිසා නගරයේ රැඳුණු අධික වැසි ජලය බැස යැම අවහිර වීම ද ගංවතුර තත්ත්වයට බලපෑ තවත් හේතුවකි. මේ සඳහා හේතු වී ඇත්තේ අක්‍රමවත් ලෙස හා ඇතැම් විට නීති විරෝධී ව සිදු ව ඇති සංවර්ධන කටයුතු ය. අක්‍රමවත් නාගරිකකරණය චෙන්නායි ගංවතුර සඳහා බලපා ඇතැයි ඉන්දියාවේ විද්‍යාව හා පරිසරය පිළිබඳ මධ්‍යස්‌ථානය (CSE) පෙන්වා දී තිබේ. විශේෂයෙන් චෙන්නායි නගරයේ ජලාශවල ධාරිතාව මෑත කාලයේ දී ක්‍රමයෙන් අඩු වී ඇති අතර ගංවතුර තත්ත්වයට එය ද හේතුවකි. 1980 දශකයේ දී චෙන්නායි නගරයේ පැවැති ජලාශ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක ධාරිතාව මේ වන විට අඩු වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, චෙන්නායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජලාශ 19ක ධාරිතාව, 1980 දශකයේ දී හෙක්‌ටයාර 1130ක්‌ වූ අතර 2000 දශකය වන විට එය හෙක්‌ටයාර 645ක්‌ පමණ තෙක්‌ අඩු වී ඇත. මේ නිසා වැඩි ජලය රඳවාගැනීමට මේ ජලාශවලට නොහැකි වීමෙන් ගංවතුර තත්ත්වය ඉහළ යයි. එමෙන් ම මේ ප්‍රදේශයට ඇදහැළෙන වර්ෂාපතනය ප්‍රදේශයට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයට වඩා බෙහෙවින් අධික බව හා ඊට දේශගුණ වෙනස්‌ වීම යම් සම්බන්ධයක්‌ ඇති බව ද මේ පිළිබඳ පර්යේෂකයන් ගේ අදහස වේ.


බැංකොක්‌ මහා ගංවතුර

මෙවැනි ම සිදුවීමක්‌ මීට වසර කිහිපයකට පෙර 2011 වර්ෂයේ දී තායිලන්තයේ ඇති විය. එරට මෝසම් වැසි සමයේ දී ඇති වූ අධික වැසි හේතුවෙන් ඒ වසරේ ජුලි මස සිට 2012 වර්ෂයේ ජනවාරි දක්‌වා රටේ උතුරු ප්‍රදේශවල හටගත් ගංවතුර තත්ත්වය පසුව රටේ දකුණුදිග ප්‍රදේශවලට ද බලපෑවේ ය. මේ නිසා කෘෂි බිම් විශාල ප්‍රමාණයක්‌ ද ජලයෙන් යට වූ අතර ම සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක්‌ එල්ල විය. සමස්‌තයක්‌ ලෙස තායිලන්තයේ පළාත් 77ක්‌ අතරින් 65කට පමණ බලපෑ මේ මහා ගංවතුර තත්ත්වය ජල පරිමාව හා බලපෑමට ලක්‌ වූ ජනතාව ගේ ගණන අනුව එරට මෙතෙක්‌ වාර්තා වී ඇති විශාලතම ගංවතුර වේ.



එරට අගනුවර වූ බැංකොක්‌ නගරය ගංවතුරින් යට වූයේ වසර අවසානය ආසන්නයේ දී වන අතර එය නගරයට වසර සියයකින් පමණ බලපෑ විශාලතම ගංවතුර බව වාර්තා වේ. නගරයට ආසන්න ව එරට පිහිටි ප්‍රකට කර්මාන්ත පුර හතක්‌ ම ගංවතුරේ බලපෑම නිසා දිගු කලක්‌ තිස්‌සේ වසා දමන ලදි. එපමණක්‌ නො ව, ඇතැම් ප්‍රකට කර්මාන්ත ශාලා වසා දැමීමට පවා මේ තත්ත්වය හේතු විය. මේ ගංවතුර නිසා ඇති වූ ආර්ථික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 45කට අධික බව ගණන් බලා තිබේ. ලෝක බැංකුව පවසන ආකාරයට මෙය ලෝකයේ වැඩි ම ආර්ථික හානියක්‌ ඇති වූ ස්‌වාභාවික ව්‍යසන අතරින් සිව්වැනි තැනට එයි. මේ ගංවතුර තායිලන්තයට පමණක්‌ නො ව ඇතැම් අංශවලින් සමස්‌ත ලෝකයට ම බලපෑවේ ය. ගංවතුරින් අඩපණ වූ කර්මාන්තශාලාවල සැපයුම් ඇණහිටීම හේතුවෙන් පරිගණක සඳහා අවශ්‍ය දෘඪ තැටි නිෂ්පාදනය හා සැපයුම පිළිබඳව හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු රැසක්‌ 2012 වර්ෂයේ දී ඇති විය.

බැංකොක්‌ ගංවතුර සඳහා බලපෑ හේතු අතර නගරය ජලගැලුම් නිම්නයක පිහිටා තිබීම, නගරය පහත් ප්‍රදේශයක පිහිටා තිබීම, නගරය ක්‍රමයෙන් ගිලා බසිමින් තිබීම හා එහි ජලාපවහන පද්ධතියේ ඇති ගැටලු ආදිය පෙන්වා දී තිබේ. එමෙන් ම සමස්‌තයක්‌ ලෙස අදාළ ගංවතුර තත්ත්වය සඳහා ද සාමාන්‍ය අගය ඉක්‌මවා ලැබුණු අධික වර්ෂාපතන තත්ත්වය ද හේතු වී ඇත. (මේ පිළිබඳව මතභේද ඇති බවක්‌ ඇතැම් වාර්තාවල දැක්‌වෙන නමුත්, කරුණු විමසා බලන විට පෙනෙන්නේ ඒ කාලයේ දී තායිලන්තයට අධික වර්ෂාපතනයක්‌ ලැබුණු බවයි.)

ආන්තික කාලගුණ තත්ත්ව හා දේශගුණ වෙනස්‌ වීම

මේ වාර්තාගත මට්‌ටමේ ගංවතුර සිදුවීම් දෙක සඳහා බලපෑ ආන්තික දේශගුණ තත්ත්වය වන්නේ අධික වර්ෂාපතනයයි. එසේ ම කෙටි කාලයක්‌ තුළ දැඩි වර්ෂාපතනයක්‌ පතිත වීම ද උක්‌ත තත්ත්වය සඳහා බලපා ඇත. මෙවැනි ආන්තික තත්ත්ව සඳහා දේශගුණ වෙනස්‌ වීම බලපාන බවට මේ වන විට සැලකිය යුතු පිළිගැනීමක්‌ තිබේ.

2013 වර්ෂයේ දී නිකුත් වූ පස්‌වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවේ පළමු වාර්තාවේ දක්‌වා ඇති ආකාරයට ආන්තික කාලගුණ හා දේශගුණ තත්ත්වවල වෙනස්‌කම් 1950 දශකයෙන් පසුව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. මේ අනුව අධික වර්ෂාපතන තත්ත්ව ඇති විමේ අවස්‌ථා ගණන ඉහළ ගිය ප්‍රදේශ ප්‍රමාණය ඒවා පහළ ගිය ප්‍රදේශ ප්‍රමාණයට වඩා අධික ය. යුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ ද මෙවැනි අධික වර්ෂාපතන තත්ත්ව ඇති වීමේ වාර ගණන හෝ ඒවායේ තීව්‍රතාව ඉහළ ගොස්‌ ඇති බවට සාධක ඇත. වෙනත් මහාද්වීපවල ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබෙන බව පෙනේ. මේ කරුණු විද්‍යාත්මකව ගත් විට බෙහෙවින් තාර්කික ය. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යැම හා සමඟ වැඩි ජල ප්‍රමාණයක්‌ වාෂ්ප වන බැවින් වර්ෂාපතනය ඉහළ යැමේ වැඩි ඉඩක්‌ තිබේ. ඒ සඳහා වෙනත් සාධක ද එක්‌ වූ විට ආන්තික කාලගුණ තත්ත්ව සුලබ වීමට මෙන්ම එවැනි තත්ත්වයක දී ඇති වන තීව්‍රතාව ඉහළ යැමටද විශාල ඉඩක්‌ පවතියි.

ප්‍රකාශිත වෙනත් පර්යේෂණ අනුව ද මේ සඳහා තවත් සාධක තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, 2006 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේහි පිහිටි නිවර්තන කාලගුණ විද්‍යාව පිළිබඳ ඉන්දීය ආයතනය නම් ආයතනයක්‌ මගින් ප්‍රකාශයට පත් එක්‌ අධ්‍යයනයකට අනුව, ඉන්දියාවේ ආන්තික වර්ෂාපතන තත්ත්වවල සංඛ්‍යාතය (වාර ගණන) හා තීව්‍රතාව ඉහළ ගොස්‌ ඇත. එසේ ම මේ වර්ෂයේ දී ජර්මනියේ පර්යේෂණායතනයක්‌ පෙන්වා දී ඇති ආකාරයට පසුගිය වසර තිහක පමණ කාලයේ දී ඇති වූ අධික වර්ෂාපතන සිදුවීම් අතරින් 12%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සඳහා දේශගුණ වෙනස්‌ වීම හේතු වී ඇති බවයි.

නගර ආරක්‌ෂිත ද?

මෙවැනි තත්ත්වයක්‌ තුළ චෙන්නායි හා බැංකොක්‌ වැනි නගර පමණක්‌ නො ව, ගංවතුර තර්ජනයට ලක්‌ ව ඇති වෙනත් ප්‍රදේශ හා නගර සම්බන්ධයෙන් ලෝකයේ වැඩි අවධානයක්‌ යොමු විය යුතු ය. මේ ඇතැම් නගර හා ප්‍රදේශ මුහුදු මට්‌ටම ඉහළ යැමේ අහිතකර බලපෑමට ද ලක්‌ විය හැකි ප්‍රදේශ ද වේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එක්‌ ව සකස්‌ කරන ලද වාර්තාවකට අනුව ආසියාවේ මහා නගර අතරින් තුනක්‌ දේශගුණ වෙනස්‌ වීම නිසා තර්ජනයට ලක්‌ ව තිබේ. ඒ බැංකොක්‌, හෝචිමිං නගරය හා මැනිලා යන නගර ය. 2005 වර්ෂයේ දී ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස්‌ ප්‍රදේශයට බලපෑ කැතරිනා සුළිකුණාටුව වැනි ආන්තික තත්ත්ව ද මෙවැනි බලපෑම් අතර වේ.

කෙසේ වෙතත් මෙවැනි නාගරික ගංවතුර තත්ත්වයක දී ඇති වන හානිය වඩාත් උග්‍ර වීමට බලපාන වෙනත් හේතු ද තිබේ. එකක්‌ වන්නේ මේ අවදානම් තත්ත්වයේ ඇති නගරවල කලක පටන් දැකිය හැකි වේගවත් නාගරීකකරණයයි. වර්ධනය වන ජනගහනය නිසා මේ ප්‍රදේශවල ඇති වන ගංවතුර තත්ත්වයක දී ඇති සිදු විය හැකි ජීවිත හා දේපළ හානි මෙන්ම විපතට පත්වන්නන් ගේ ප්‍රමාණය ද ඉහළ යයි. එසේ ම මේ නාගරික ප්‍රදේශවල ඇති වී තිබෙන භූගෝලීය වෙනස්‌කම් ද මේ තත්ත්වය උග්‍ර කිරීමට බලපායි. නිදසුනක්‌ ලෙස මේ ප්‍රදේශවල තෙත් බිම් ගොඩ කිරීම නිසා වර්ෂා ජලය බැහැර කිරීමට පරිසරයක්‌ නොමැති තරම් ය.

නගර සම්බන්ධ ව ගත හොත්, ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ මෙන්ම පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ නගරය ද විටින් විට ඇති වන ජලගැලීම්වලින් පීඩා විඳියි. විශේෂයෙන් අධික වර්ෂාපතනයකින් පසුව ඇති වන ගංවතුර තර්ජනය මේ නගරවල කැපී පෙනෙන සිදුවීමකි. මේ නිසා ඇතැම් වර්ෂවල දී සුළු ගංවතුර තත්ත්ව ඇති වීම වසරකට කිහිප වරක්‌ ම සිදු වේ. 1992 වර්ෂයේ ජුනි මස මුල දී මෙන්ම යළිත් 2000 දශකයේ මුල් භාගයේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇති වූ ඉතා දැඩි ගංවතුර තත්ත්වය මෙහි වාර්තාගත අවස්‌ථා ලෙස දැක්‌විය හැකි ය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පරිසරයට මිනිසුන් විසින් සිදු කරනු ලැබ ඇති වෙනස්‌කම් ගැන අවධානයක්‌ යොමු වූයේ මේ අවස්‌ථාවල දී ය.

එසේ ම වර්ෂාව අපේක්‌ෂා නො කරන කාලවකවානුවල දී අධික වැසි හා ගංවතුර ඇති වීම අපේ රටේ බොහෝ ප්‍රදේශවල දැන් දැන් දැකගත හැකිය. නිදසුනක්‌ ලෙස ගත හොත්, සාමාන්‍යයෙන් අධික වර්ෂාවක්‌ අපේක්‌ෂා නො කරන කාල වකවානුවක්‌ වන මහ කන්නයේ වී අස්‌වනු නෙළන කාලයේ දී අධික වැසි ඇති වීම හා ක්‌ෂණිකව ඇති වූ ගංවතුර අවස්‌ථා මෑත කාලයේ දී වාර්තා වූවා අපට මතක ය. මෙවැනි සිදුවීම් මෙරට ජන ජීවිතයට දැඩි බලපෑම් කළ හැකි ආකාරයේ ඒවා ය.

මේ තත්ත්වය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නගරවල ඇති සුරක්‌ෂිත බව පිළිබඳ සාකච්ඡාවක්‌ සඳහා අවස්‌ථාව වේ. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම නිසා අනාගතයේ ඇති විය හැකි අවදානම ඉහළ යා හැකි ය. මේ වන විට ජගත් දේශගුණ සමුළුව ප්‍රංශයේ පැරිස්‌ නගරයේ දී පැවැත්වෙමින් ඇති අතර, චෙන්නායි ගංවතුර ද එහි අවධානයට ලක්‌ වනු නිසැක ය. (2013 වර්ෂයේ දී පෝලන්තයේ වෝර්සෝ නගරයේ දේශගුණ සමුළුව පැවැත්වෙමින් තිබිය දී පිලිපීනයේ ඇති වූ කුණාටුව ද මෙවැනි සාකච්ඡාවකට මග පෑදුවේ ය.)