Saturday, December 28, 2013

ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ පරිසරයට තර්ජනයක්‌?

ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ පරිසරයට තර්ජනයක්‌? (Micro plastics - a threat to environment?)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-12-25

http://www.vidusara.com/2013/12/25/feature1.html



ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ හෙවත් මයික්‍රෝ ප්ලාස්‌ටික්‌ (පසජරදචක්‌sඑසජි) යන වචනය මෙන්ම ඒ මොනවා ද යන්න පිළිබඳව ඇතැම් විට ඔබ අසා නොමැති විය හැකි ය. මේ නමින් ම කියෑවෙන ආකාරයට, ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ යනු බෙහෙවින් කුඩා ප්‍රමාණයේ ප්ලාස්‌ටික්‌ ය. මේවා පිළිබඳ විද්‍යාත්මක අර්ථ දැක්‌වීමේ නිශ්චිත එකඟතාවක්‌ දැකිය නොහැකි බවක්‌ පෙනේ. එක්‌ අර්ථදැක්‌වීමකට අනුව ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ යනුවෙන් හඳුන්වනු ලබන්නේ මිලිමීටර් 1 ප්‍රමාණයට වඩා කුඩා ප්‍රමාණයේ ප්ලාස්‌ටික්‌ අංශු ය. කෙසේ වෙතත් ඇතැම් විට මිලිමීටර් 5ට වඩා කුඩා අංශු ද මේ වර්ගයට අයත් කර දක්‌වා තිබේ. මේ අනුව කුඩා ප්‍රමාණයේ ප්ලාස්‌ටික්‌ අංශු ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ලෙස වර්ග කරනු ලබන බව පැහැදිලි ය.

මේ කුඩා ප්‍රමාණයේ ප්ලාස්‌ටික්‌ අංශු පරිසරයට එකතු වන්නේ කෙසේ ද යන්න වැදගත් කරුණකි. ලෝකයේ භාවිත කරනු ලබන ප්ලාස්‌ටික්‌ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ප්‍රවාහයෙන් අතුරුදන් වේ. මේ අතරින් යම් ප්‍රමාණයක්‌ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ලෙස පරිසරයට එක්‌ වන බව විශ්වාස කළ හැකි ය.

ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ප්‍රභව


ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ පරිසරයට එක්‌ වන ආකාර කිහිපයක්‌ පිළිබඳව යෝජනා වී තිබේ. ඒවා මෙසේ ය.

1. සෘජු හෝ වක්‍ර භාවිතය සඳහා නිපදවනු ලබන ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ - විවිධ ප්‍රයෝජන සඳහා නිපදවනු ලබන කුඩා ප්‍රමාණයේ ප්ලාස්‌ටික්‌ අංශු මීට අයත් ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, කාර්මික උල්ලේඛ (abrasive) හා ජෙල් වැනි රූපලාවන්‍ය නිෂ්පාදන මීට ඇතුළත් වේ. එසේ ම මේවා ඇතැම් කර්මාන්තවල පූර්වග ද්‍රව්‍ය (precursor) ලෙස ද යොදාගැනේ. මේවා 'ප්‍රාථමික ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌' ලෙස ද හැඳින්වේ.

2. විශාල ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ හා කැබැලි කුඩා කොටස්‌වලට කැඩී බිඳී යැමෙන් නිපදවෙන ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ - පරිසරයේ දී යාන්ත්‍රික සාධක නිසා සහ සූර්යාලෝකයට ලක්‌ වීමෙන් ප්ලාස්‌ටික්‌ කැඩී බිඳී යන අතර මේ තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැක්‌කේ සාගර පරිසරයේ ය. මේවා 'ද්විතීයික ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌' ලෙස හඳුන්වනු ලැබේ.

3. කෘත්‍රිම රෙදි සේදීමේ දී - කෘත්‍රිම රෙදි සේදීමේ දී රෙදි අතර ඇති නූල් විවර සෑදෙමින් ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ අංශු පරිසරයට නිකුත් වීම සිදුවිය හැකි ය. මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන අනුව පරිසරයේ ඇති මිලිමීටර් 1ට අඩු ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ අතරින් වැඩි ප්‍රමාණයක්‌ නිකුත් වන්නේ කෘත්‍රිම රෙදි සේදීමේ දී බව පෙනී ගොස්‌ තිබේ.

ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ හා ඒවායේ පරිසර බලපෑම්


ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ මෑතක්‌ වන තුරු සැලකුණේ එතරම් පරිසර හානියක්‌ සිදු නො වන ද්‍රව්‍යයක්‌ ලෙසිනි. එහෙත් පර්යේෂණවලින් හෙළි වන කරුණු අනුව, ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ නිසා පරිසරයට ඇති වන බලපෑම් පිළිබඳව විද්‍යාඥයන් ගේ වැඩි අවධානයක්‌ දැන් දැන් යොමු වී ඇත. ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ යනු වර්ධනය වෙමින් පවත්නා පාරිසරික ගැටලුවක්‌ ලෙස මේ වන විට පිළිගැනීමට ලක්‌ ව ඇත.

ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ නිසා වැඩි ගැටලුවක්‌ ඇති වී තිබෙන්නේ සාගර හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව ය. ප්ලාස්‌ටික්‌ භාවිතය ඉහළ යන බැවින් ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ පරිසරයට එකතු වීම දිගින් දිගට ම සිදු වනු ඇත. කෙසේ වෙතත් සාගර පරිසරයේ දැකිය හැකි ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ සාන්ද්‍රණයේ වර්ධනයක්‌ වැඩි වීමක්‌ දැකිය නොහැකි බව ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී තිබීම ද වැදගත් කරුණකි. මේවා පරිසරයෙන් ඉවත් වන ක්‍රම පිළිබඳව අවබෝධයක්‌ නොමැති බව ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දී ඇති කරුණකි.

2008 වර්ෂයේදී ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ හා ඒවායේ බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්‌ පවත්වන ලදි. එසේ ම ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ හා එහි බලපෑම් පිළිබඳව ජගත් මට්‌ටමේ ඇගැයීමක්‌ සිදු කිරීම හා සම්බන්ධ සාකච්ඡා මාලාවක්‌ මේ වන විට පැවැත්වෙමින් තිබේ. ඒ අනුව සකස්‌ කරනු ලබන ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ පිළිබඳ ජගත් ඇගැයීම් වාර්තාව 2014 නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක දී ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.

හඳුනාගෙන ඇති පාරිසරික බලපෑම්


ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌වල පාරිසරික බලපෑම් වඩාත් වඩාත් වාර්තා වී ඇත්තේ ඒවා වඩාත් අධිකව සාන්ද්‍රණය වී ඇති සාගර පරිසර පද්ධතිවලිනි. මේවා ආකාර දෙකකින් දැක්‌විය හැකි ය. ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනයේ දී ඒවාට ඇතුළත් වූ විවිධ කාබනික සංයෝග ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ හරහා විවිධ සාගර ජීවීන් ගේ ශරීරගත වීම පිළිබඳ වාර්තා ඉන් පළමුවැන්න වන අතර, සාගරයේ ඇති විවිධ දිගු කල් පවත්නා කාබනික දූෂක වැනි හානිකර රසායනික ද්‍රව්‍ය මේ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ අංශුවලට අධිශෝෂණය වීමෙන් පසුව ජීවීන් ගේ ශරීරගත වීම දෙවැනි ආකාරයයි. එනම් ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ප්‍රවාහන ඒකකයක්‌ සේ ක්‍රියා කරයි.

විවිධ හානිකර පරිසර දූෂක ද්‍රව්‍ය ජීවීන් ගේ ශරීරවලට සංක්‍රමණය වීම සඳහා මේ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ක්‍රියා කරන ආකාරය පසුගිය දා වාර්තා වූ එක්‌ පර්යේෂණ වාර්තාවකින් හෙළි කර තිබේ. මෙහි දී ඔවුන් ඇනෙලිඩා වංශයට අයත් පණු විශේෂයක්‌ (lugworms - Arenicola marina) පිළිබඳව අවධානය යොමු කර ඇත. වෙරළාශ්‍රිතව හා නොගැඹුරු මුහුදේ වැලි අතර වෙසෙන මේ පණුවන් දිරා යන කාබනික ද්‍රව්‍ය ආහාරයට ගන්නා අතර ඒ සමඟ වැලි ද ශරීරගත වේ. අදාළ පරීක්‌ෂණයේ දී ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ සහිත සුලබ රසායනික දූෂක හා ආකලන ද්‍රව්‍ය ඇතුළත් වැලිවලට නිරාවරණය කළ පසුව පණුවන් ගේ ශරීර පටකවල මේ ද්‍රව්‍ය හමු වන සාන්ද්‍රණය ඒ ජීවීන් ගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි තරමට ඉහළ බව හෙළි වී තිබේ. පණුවන් ගේ ශරීරවල තිබූ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනයේ දී එක්‌ කරනු ලබන ආකලන ද්‍රව්‍යයක්‌ වන ට්‍රයික්‌ලෝසාන් අදාළ පණුවන් ගේ මරණ ඇති කිරීමට මෙන්ම පත්ලේ අවසාදිත වෙනස්‌ කිරීමට ඇති හැකියාව බලපාන තරම් ඉහළ වී තිබේ. මේ පණුවන් පක්‌ෂීන් හා මසුන් ගේ ගොදුරු බවට පත් වන බැවින් අදාළ රසායන ද්‍රව්‍ය ආහාර දාමය ඔස්‌සේ ඉහළ සිටින ජීවීන් ගේ ශරීරගත වීමට හැකි ය. එසේ ම ග්‍රීෂ්ම සෘතුවේ දී සිදු වන මේ සතුන් ගේ මරණවලට හේතුව ද මේ ප්ලාස්‌ටික්‌ වීමට ඉඩ ඇති බව ද අනුමාන කර ඇත. (මූලාශ්‍රයCurrentBiology, DOI: 10.1016/j.cub.2013.10.012)

උක්‌ත අධ්‍යයනය හා සමගාමී ව පළ වී ඇති තවත් අධ්‍යයනයකින් හෙළි ව ඇති ආකාරයට මේවා මේ ජීවීන් ගේ ශාරීරික ක්‍රියාකාරිත්වයට යම් බලපෑමක්‌ සිදු කරන බව ද තහවුරු වී ඇත. මීට බලපා ඇති සාධක සේ දක්‌වා ඇත්තේ ආහාර ගැනීමේ ක්‍රියාකාරිත්වය අඩු වීම, ආහාර මාර්ගයේ වැඩි කාලයක්‌ රැඳී තිබීම හා ප්‍රදාහය වැනි තත්ත්ව ඇති වීමයි. (මූලාශ්‍රයCurrent Biology,DOI: 10.1016/j.cub.2013.10.06)

මේ අතර ඉදිරියේ දී පළ කිරීම සඳහා පිළිගෙන ඇති අධ්‍යයනයකට අනුව සත්ත්ව ප්ලවාංග වැනි කුඩා ජීවීන් ආහාරයක්‌ සේ සිතා මේ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ආහාරයට ගැනීමට පෙලැඹීමක්‌ සිදු වේ. පරීක්‌ෂණාගාර තත්ත්ව යටතේ සිදු කරන ලද අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇත්තේ සත්ත්ව ප්ලවාංග වැනි ජීවීන් ආහාරයට ගන්නා ආහාර දාමයේ ඊට වඩා ඉහළ මට්‌ටම්වල සිටින ක්‍රස්‌ටේසියාවන් වැනි සතුන් ගේ ශරීරවලට ද ප්ලාස්‌ටික්‌ සාන්ද්‍රණය වන බව ය. ඒ අනුව ආහාර දාමයේ ඉහළ සිටින ජීවීන් ගේ ශරීරවල සාන්ද්‍රණය වන විෂ සහිත ද්‍රව්‍ය සඳහා ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ද හේතු විය හැකි බවක්‌ පෙනේ. (මූලාශ්‍රයEnvironmentalPollution, DOI: 10.1016/j.envpol.2013.10.013)

මේ ආකාරයෙන් ආහාර දාමයේ ඉහළ මට්‌ටම්වලට යන විට, මේ ප්ලාස්‌ටික්‌වලින් ලැබෙන රසායනික ද්‍රව්‍ය ජෛව සාන්ද්‍රණයට ලක්‌ වීම ගැටලුසහගත විය හැකි ය. මේ කරුණු අනුව සමස්‌තයක්‌ ලෙස ගත් විට තවත් පරිසර දූෂකයක්‌ සේ සැලකිය හැකි මේ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ පිළිබඳව විද්‍යාඥයන් තවදුරටත් අනාවරණය කරගත යුතු දේ බොහෝ බවක්‌ පෙනේ. විශේෂයෙන් එහි බලපෑම් පිළිබඳව පවා අද අප දන්නා දේ තවමත් අඩු බව පැහැදිලි ය.

http://www.vidusara.com/2013/12/25/feature1.html

No comments:

Post a Comment