Sunday, December 1, 2013

දේශගුණ සාකච්ඡා:ඵලදායී ඉදිරි පියවරක්‌ පිළිබඳ අපේක්‌ෂා අනතුරේ?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara) 2013-11-20

http://www.vidusara.com/2013/11/20/feature2.html

 

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ වාර්ෂික සමුළුව පසුගිය සතිය මුල පෝලන්තයේ වෝර්සෝ නගරයේ දී ආරම්භ විය. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ 19 වැනි පාර්ශ්වකරුවන් ගේ සමුළුව වන මෙය දෙසතියක්‌ පමණ කාලයක්‌ රටවල්

රැසක විද්‍යාඥයන්, රජ්‍ය නිලධාරීන් හා දේශපාලන නායකයන් ගේ සහභාගිත්වයෙන් යුක්‌ත ව පැවැත්වේ. මෙහි මූලික අරමුණ වන්නේ දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා විසඳුමක්‌ සෙවීම ය. දැනට ඇති එකඟතාව අනුව 2015 වර්ෂය වන විට දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ගිවිසුමකට එළැඹීමට නියමිත අතර, නෛතික බැඳීමක්‌ සහිත ඒ ගිවිසුම 2020 වර්ෂය වන විට ක්‍රියාත්මක වනු ඇත.

දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධව විසඳුම් සෙවීමට ප්‍රමාණවත් තරම් කඩිනමක්‌ ලෝක නායකයන් අතර දැකිය නොහැකි වීම පරිසර අංශවල අවධානයට ලක්‌ ව ඇති ගැටලුවකි. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සම්මුතියට අත්සන් තබා දශක දෙකක පමණ කාලයක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවරක්‌ ගැනීමට මෙතෙක්‌ ලෝකය සමත් ව නැත. ඒ සඳහා ගත් එක ම පියවර වූ කියෝටෝ සන්ධානයෙන් අපේක්‌ෂා කළ ප්‍රතිඵල අත් වී නොමැත. එවැනි තත්ත්වයක්‌ යටතේ මේ සාකච්ඡා පැවැත්වෙන අතර දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු සතුටුදායක ඒවා නම් නො වේ. 

දේශගුණ වෙනස්‌ වීමේ තරම

 

වෝර්සෝ සමුළුවට මාස දෙකකට පමණ පෙර, දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය (IPCC) විසින් සකස්‌ කරනු ලබන පස්‌වැනි දේශගුණ ඇගැයීමේ පළමුවැනි වාර්තාව පළ විය. එහි සඳහන් වන පරිදි, ප්‍රධාන දේශගුණ බලපෑම් වන උෂ්ණත්වය ඉහළ යැම හා මුහුදු මට්‌ටම ඉහළ යැම මේ වන විට ද සිදු වෙමින් තිබේ. 1880-2012 අතර කාලය ඇතුළත ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 0.85කින් පමණ ඉහළ ගොස්‌ ඇති අතර, 1901-2010 අතර කාලයේ දී මුහුදු මට්‌ටම ඉහළ යැමේ ජගත් සාමාන්‍යය වර්ෂයකට මිලිමීටර් 1.7ක්‌ පමණ වේ. එසේ ම අනාගතයේ දී මේ බලපෑම් පිළිබඳ ඇති පුරෝකථන බරපතළ ය. (වැඩි විස්‌තර සඳහා 2013 ඔක්‌තෝබර් මස 2 වැනි දින විදුසර බලන්න).

මේ වාර්තාවට අනුව වර්තමාන ලෝකයේ වායුගෝලයේ හා සාගරයේ දැකිය හැකි උණුසුම් වීම සඳහා මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වය දායක වී ඇති බවට 95%ක්‌ තරම් ඉහළ විශ්වාසයක්‌ ඇත. එසේ නම්, එහි වගකීම මෙන්ම විසඳුම් සෙවීමේ වගකීම ද මිනිසුන් හට පැවරේ. මේ අනුව වර්තමාන සාකච්ඡා මාලාවේ දී වැඩි අවධානයක්‌ යොමු ව ඇති කරුණු කිහිපයක්‌ මෙසේ ය.

හරිතාගාර වායු සීමා කිරීම


දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ විසඳුමක දී හරිතාගාර වායු විමෝචන සීමා කිරීම අත්‍යවශ්‍ය අංගයක්‌ බව පුළුල් ව පිළිගැනේ. එහෙත් වර්තමාන සාකච්ඡාවල ඇති බරපතළ ම ගැටලුව වන්නේ ද මෙයයි. කියෝටෝ සන්ධානය යටතේ වායු විමෝචන සීමා කිරීම කළ යුතු වූයේ කාර්මික රටවල් පමණකි. ඒවා දියුණු පොහොසත් රටවල් ය. එහෙත් අනාගත ගිවිසුමක දී, සෙසු රටවල් ද යම් විමෝචන සීමා කිරීමක්‌ කළ යුතු බව දියුණු රටවල අදහසයි.

බ්‍රසීලය ඉදිරිපත් කර ඇති එක්‌ යෝජනාවක්‌ අනුව අනාගත ගිවිසුමක දී ඒ ඒ රටවල ඓතිහාසික විමෝචන ප්‍රමාණය සම්බන්ධව අවධානය යොමු කළ යුතු ය. චීනය ද පවසන්නේ ඓතිහාසික විමෝචන ප්‍රමාණය සැලකිල්ලට ගත යුතු බව ය. වර්තමාන ගැටලුව ක්‌ෂණිකව ඇති වූවක්‌ නො වන අතර කාලාන්තරයක්‌ මුළුල්ලේ දියුණු කාර්මික රටවලින් වායුගෝලයට එක්‌ වූ හරිතාගාර වායු විමෝචන මේ තත්ත්වයට හේතු වූ නිසා මේ අදහස පිළිබඳව වාදයක්‌ තිබිය නොහැකි ය. එහෙත් ආර්ථික හා දේශපාලනික හේතු නිසා ඇතැම් කාර්මික රටවල් දියුණු වන රටවල් ද වායු විමෝචන අඩු කළ යුතුය යන අදහසේ සිටියි. මෑත දී වැඩි ම වේගයකින් විමෝචන වර්ධනය වන්නේ දියුණු වන රටවලින් වීම ද මෙහි දී සැලකිල්ලට ලක්‌ ව ඇත. ගැටලුව ඇත්තේ මේ වගකීම කෙසේ බෙදී යා යුතු ද යන්න ගැන ය. මේ පිළිබඳ සාකච්ඡා ඉදිරියට නො යන බවක්‌ ද පෙනේ. අතැම් රටවල් සාකච්ඡා ඉදිරියට යැම ප්‍රමාද කිරීමේ උත්සාහයක යෙදෙන බව ද රහසක්‌ නො වේ.

අනෙක්‌ අතට, රටවල ඒක පුද්ගල විමෝචන පිළිබඳව ද වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව ද රටවල් සමහරක්‌ පෙන්වා දෙන කරුණකි. විමෝචන සීමා කිරීමේ දී මේ කරුණු සම්බන්ධව අවධානයක්‌ යොමු නො කළ හොත් සාපේක්‌ෂව අඩු සංවර්ධනයක්‌ දැකිය හැකි දියුණු වන රටවල සංවර්ධනයට යම් බලපෑමක්‌ ඇති විය හැකි බව පැහැදිලි ය.

කාලගුණ ආපදා කරළියට


මෑත කාලයේ දී ඇති වූ කාලගුණ ආපදා තත්ත්වය ද මේ සමුළුවේ දී කරළියට පැමිණ ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් මෑත දී සුළි කුණාටුවකින් ආපදාවට ලක්‌ වූ පිලිපීනයේ, ප්‍රධාන නියෝජිතයා වූ යෙබ් සානෝ සමුළුවේ දී පළ කළ අදහස්‌ කැපී පෙනෙයි. තම රටේ ඇති වූ ආපදාව මාතෘකා කර ගනිමින් දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමට කඩිනම් පියවරක්‌ ගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේ ය. දේශගුණ වෙනස්‌ වීම පාලනය සම්බන්ධව තීරණය ගනු ලබන්නේ 'අප නො වේ නම් කවුරුන් විසින් ද? අද නො වේ නම් කවදා ද? මෙතැන දී නො වේ නම් කොතැන දී ද?' යනුවෙන් ඔහු විමසා තිබිණි. (එය දෝහා නගරයේ පැවැති අවසන් දේශගුණ සමුළුවේ දී ද විමසන ලද පැනයකි.) එසේ ම මේ සමුළුවේ දී කිසියම් පියවරක්‌ ගන්නා තුරු තමන් ආහාර ගැනීමෙන් වළකින බව ද ඔහු පවසා තිබිණි. මීට ඇතැම් ක්‍රියාකාරී කණ්‌ඩායම්වල සහයෝගය ද ලැබී තිබිණි.
 

ෆොසිල ඉන්ධන පසුපස


ෆොසිල ඉන්ධන සඳහා ඇති අවධානය හා දියුණු රටවල් ඒ සඳහා ලබා දෙන සහනාධාර හේතුවෙන් දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම අවතක්‌සේරු වී ඇති බව ද අවධානයට ලක්‌ ව ඇති කරුණකි. මේ සහනාධාර ප්‍රමාණය දක්‌වන මෑත දී නිකුත් වූ වාර්තාවකට අනුව, දියුණු රටවල් දිළිඳු රටවල දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් වැළැක්‌වීම සඳහා ලබා දෙන ආධාර මෙන් සත් ගුණයක්‌ පමණ වන සහයෝගයක්‌ ෆොසිල ඉන්ධන කර්මාන්තයට ලබා දේ. දිගින් දිගට ම ඉහළ යමින් පවත්නා මේ ෆොසිල ඉන්ධන සහනාධාර නිසා හරිත ආයෝජන හා හරිත ආර්ථිකය වර්ධනය මෙන්ම කාබන් වෙළෙඳපොළේ දී කාබන් සඳහා සාධාරණ මිලක්‌ ලැබීමට ද බාධා ඇති වී තිබේ. මේ නිසා ෆොසිල ඉන්ධන සහනාධාරය කඩිනමින් නවත්වාලීමට පියවර ගන්නා මෙන් අදාළ වාර්තාව ම`ගින් ඉල්ලා තිබේ. (www.odi.org.uk/subsidies-change-the-game)

උෂ්ණත්වය ඉහළ යැම පාලනය කිරීම


ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 2ක සීමාවේ නවතාගැනීමට ලෝකයේ හරිතාගාර වායු ප්‍රමාණය පවත්වාගත යුතු මට්‌ටම පිළිබඳව ද මේ වන විට එකඟතාවක්‌ පවතී. එනම්, කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචනවලින් මනින්නේ නම්, 2020 වර්ෂය වන විට හරිතාගාර වායු ප්‍රමාණය ගිගාටොන් 44ක සීමාවේ පවත්වාගත යුතු ය. එහෙත් මේ දක්‌වා ලෝකයේ රටවල් පොරොන්දු වී ඇති විමෝචන අඩු කිරීමේ ඉලක්‌ක සියල්ල ගත්ත ද මේ අගයට වඩා ගිගොටොන් 8-12 තරම් අධික අතිරේක විමෝචන ප්‍රමාණයක්‌ නිකුත් වනු ඇති බව එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන ම`ගින් ප්‍රකාශිත වාර්තාවකින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් අවශ්‍ය පියවර ගන්නේ නම්, මේ විමෝචන ප්‍රමාණය අඩු කළ හැකි බව ද එහි සඳහන් වේ. (The Emissions Gap Report 2013,www.unep.org/pdf/UNEPEmissionsGapReport2013.pdf )

ආධාර අරමුදල් ප්‍රශ්නය


දියුණු රටවල් විසින් දියුණු වන රටවලට ලබා දීමට නියමිත මුදල් පිළිබඳ ප්‍රශ්නය ද සාකච්ඡාවල වැදගත් මාතෘකාවකි. දියුණු වන රටවල දේශගුණ වෙනස්‌ වීමට අනුහුරු වීම ඇතුළු කටයුතු සඳහා දියුණු රටවල් විසින් වාර්ෂිකව ගෙවීමට පොරොන්දු වී ඇති දේශගුණ ආධාර මුදල රැස්‌ කරන ආකාරය පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙළක්‌ තවමත් නොමැත.

2009 වර්ෂයේ දේශගුණ සමුළුවේ දී ඇති කරගත් මේ එකඟතාව අනුව 2020 වර්ෂය වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක්‌ දක්‌වා මේ මුදල ඉහළ නැංවිය යුතු ය. වෝර්සෝ සාකච්ඡාවල දී මේ සම්බන්ධව යම් සැලැස්‌මකට අපේක්‌ෂා කරන අතර මේ පිළිබඳව වර්ධනයක්‌ දැකිය නොහැක්‌කේ නම් අප්‍රිකානු රටවල් මෙවර සමුළුවෙන් ඉවත් ව යා යුතු ය යනුවෙන් අප්‍රිකානු සමාජ ක්‍රියාකාරීන් ගේ එකමුතුවක්‌ අදහස්‌ දක්‌වා තිබේ. මේ මුදල් ගෙවන තුරු එක්‌සත් ජාතීන් ගේ සාකච්ඡා ඉදිරියට නො යන බවක්‌ චීනය පෙන්වා දී තිබිණි.

දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම්වලට තදින් ලක්‌ වන දියුණු වන රටවලට ඊට මුහුණ දීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම නිසා මෙවැනි ආධාර මුදල්වල අවශ්‍යතාවක්‌ පවතී. එහෙත් මේ මුදල පෙරට දමා තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම යටපත් කිරීමේ අවශ්‍යතාවක්‌ ඇතැම් දියුණු රටවලට ඇති බවක්‌ පෙනෙන්නට තිබේ.

තවත් දියුණු රටවල් විසඳුමකින් ඈතට?


කෙසේ වෙතත් දියුණු රටවල් කිහිපයක්‌ මෑත දී ගෙන ඇති පියවර අනුව පෙනෙන්නේ සිදු වෙමින් ඇත්තේ සිදු නො විය යුතු දේ බව ය. ජපානය එරට හරිතාගාර වායු විමෝචන ඉලක්‌ක සංශෝධනය කරන බව පසුගිය සතියේ ප්‍රකාශයට පත් විය. එරට නව ඉලක්‌කය වන්නේ 2020 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 2005 වර්ෂයේ පැවැති මට්‌ටමෙන් 3.8%ක්‌ දක්‌වා අඩු කිරීම ය. 2020 වර්ෂය සඳහා කලින් පැවැති ඉලක්‌කය වූයේ 1990ට සාපේක්‌ෂව 25%කින් විමෝචන අඩු කිරීමයි. මේ අගය ප්‍රායෝගික නො වන බැවින් නව ඉලක්‌කයක්‌ ඇති කරගත් බව එරට රජය පවසයි. මේ නව ඉලක්‌කය අනුව 2020 වර්ෂය වන විට ජපානයේ හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 1990ට වඩා 3%කින් ඉහළ යනු ඇත. මේ සඳහා එක්‌ හේතුවක්‌ වන්නේ වර්තමානයේ එරට බලශක්‌ති ක්‌ෂේත්‍රයේ ෆොසිල ඉන්ධන භාවිතය ඉහළ යැම බව පෙනේ. ජපානයේ මේ තීරණය ගැන රටවල් හා කණ්‌ඩායම් රැසක අප්‍රසාදය දැනටමත් පළ වී ඇත.

මේ අතර කලින් පැවැති රජය ක්‍රියාත්මක කළ දේශගුණ බද්ද ඉවත් කිරීමට වර්තමාන ඔස්‌ටේලියානු රජය පියවර ගැනීමට එරෙහි ව ඔස්‌ටේ්‍රලියානුවෝ පසුගිය ඉරිදා සිය රට පුරා විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වූ හ. හැට දහසක්‌ පමණ පිරිසක්‌ සහභාගි වූ බවට අනුමාන කරන මේ උද්ඝෝෂණය, දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මෙතෙක්‌ කලක්‌ එරට පැවැති විශාලතම උද්ඝෝෂණ ව්‍යාපාරයයි. දිගු කලක්‌ තිස්‌සේ කියෝටෝ සන්ධානයෙන් ඈත් ව සිටි ඔස්‌ටේ්‍රලියාව ඊට සම්බන්ධ වූයේ ද පසුගිය රජය (කම්කරු පක්‌ෂ) සමයේ දී ය. අවාසනාවකට මෙන්, වර්තමාන සභාග රජය කාබන් බද්ද ඉවත් කිරීමට අදාළ නීති මේ සතිය මුල දී ගෙන ඒමට සූදානම්ව සිටියේ ය.

මේ සිදුවීම් දෙක දේශගුණ සටනේ පසුබෑමක්‌ සඳහා හේතු වන බව පැහැදිලි ය. විශේෂයෙන් හරිතාගාර වායු සීමා කිරීමට එකඟ නො වන හා විසඳුම් පමා කිරීමට තැත් කරන පාර්ශ්වවලට හා ඊට සහාය දෙන ෆොසිල ඉන්ධන කර්මාන්ත අංශයට මෙය කදිම අවස්‌ථාවකි.

ඉහත කරුණු හමුවේ, මේ සතියේ දී දේශගුණ සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡාවල දී කුමක්‌ සිදු වේ ද යන්න දෙස ලෝකය බලා සිටියි. සමුළුව නිමා වීමට නියමිත ව ඇත්තේ 22 වැනි දින ය. කෙසේ වෙතත් සාකච්ඡාවල සාධනීය වර්ධනයක්‌ සිදු වේ ද යන්න නම් සැකසහිත බව පැවසිය යුතු ව තිබේ.

http://www.vidusara.com/2013/11/20/feature2.html

No comments:

Post a Comment