Wednesday, July 17, 2013

ඇමෙරිකානු බල්ලන් ගේ ආසියානු නෑකම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-07-17, පි. 2-3
http://www.vidusara.com/2013/07/17/feature1.html



බල්ලන් මිනිසාට බොහෝ සේ සමීප සත්ත්ව විශේෂයකි. අදින් වසර 15,000ක්‌ තරම් ඈත කාලයක දී මිනිසුන් විසින් ගෘහාශ්‍රිතකරණය කරනු ලැබූ දා පටන් මිනිස්‌ ඇසුරේ සිටි සත්ත්ව විශේෂයක්‌ සේ බල්ලන් දැක්‌විය හැකි ය. මේ නිසා අද වන විට ඇතැම් බලු වර්ගවලට මිනිස්‌ වාසයෙන් තොර ව පැවතීම පවා අසීරු ය. වර්තමානයේ දී අප සතු විද්‍යාත්මක සාධක අනුව, නැඟෙනහිර ආසියාවේ දකුණුදිග ප්‍රදේශ බල්ලන් ගේ සම්භවය හෙවත් ගෘහාශ්‍රිතකරණය සිදු වූ ප්‍රදේශය සේ සැලකේ.

ගෘහාශ්‍රිත බල්ලන් අයත් වන්නේ Canis familiaris නම් එක්‌ ජීවී විශේෂයකට වුවත්, මේ වන විට ලෝකයේ විවිධ බලු වර්ග හෙවත් වරිග (breeds) පවතී. ලෝකයේ ජීවත් වන ක්‌ෂීරපායි විශේෂ අතරින් රූපවිද්‍යාත්මකව (Morphological) වැඩි ම විවිධත්වයකින් යුක්‌ත විශේෂය බල්ලන් ය. මේ විවිධ බලු වර්ගවල දැකිය හැකි ප්‍රමාණයේ හා සංන්‍යාසයික (conformation) විවිධත්වය, බල්ලන් අයත් වන Canidae කුලයේ සතුන් අතර ඇති ප්‍රමාණයේ හා සංන්‍යාසයික විවිධත්වය ඉක්‌මවා යයි. මිනිසුන් විසින් කාලාන්තරයක්‌ තිස්‌සේ තෝරා අභිජනනය කරනු ලැබීම මේ ආකාරයෙන් බල්ලන් ගේ හැඩය, වර්ණය හා හැසිරීමේ වෙනස්‌කම් ඇති වීමට දැඩි ලෙස බලපෑ හේතුවක්‌ බව පැහැදිලි ය.

උතුරු හා දකුණු ඇමෙරිකානු මහාද්වීපවලට හෙවත් නවලෝකයට 15 වැනි සියවස අග දී යුරෝපීයයන් පැමිණීමට පෙර හෙවත් පූර්ව-කොලොම්බියානු (Pre-Colombian) යුගයේ දී ඇමෙරිකාවේ විවිධ බලු වර්ග රැසක්‌ වාසය කළ බවට ඓතිහාසික සාධක හා පුරාවිද්‍යාත්මක සාධක ද තිබේ. විශේෂයෙන් ම දින නිර්ණය කර ඇති පුරාවිද්‍යාත්මක දත්ත අනුව අදින් වසර 10,000ත් 8,500ත් අතර පමණ කාලයකට පෙර ඇමෙරිකාවේ විසූ ස්‌වදේශිකයන් බල්ලන් ඇති කළ බවට හෙළි ව ඇත. ඇමෙරිකාව ජනාවාස කළ දකුණු සයිබීරියානුවන් ආසියාවේ සිට ඇමෙරිකාවට පැමිණියේ අදින් වසර 15,000කට තරම් පෙර නම්, බල්ලන් ආසියාවේ සිට පැමිණි පිරිස්‌ විසින් කිසියම් කලක එහි ගෙන එන ලද බව සිතීම අසීරු කරුණක්‌ නො වේ.

ඇමෙරිකාවේ ස්‌වදේශිකයන් විසින් ඇති කරන ලද විවිධ බලු වර්ග ගණනාවක්‌ පිළිබඳව ඇමෙරිකාව ජනාවාස කරගත් යුරෝපීයයන් ද වාර්තා කර ඇත. මේ ඇතැම් බලු වර්ගවලට ස්‌වදේශිකයන් දැඩි ආකර්ෂණයක්‌ දැක්‌වූ බවට ද සාධක පවතී. එසේ ම ඇතැම් බලු වර්ග මේ ජනතාවට බොහෝ ප්‍රයෝජනවත් සේවා ලබා දී ඇත. ප්‍රවාහන කටයුතු හා දඩයම සඳහා යොදාගත් ආක්‌ටික්‌ බලු වර්ග මේ සඳහා මනා නිදසුනකි.



මේ ඇමෙරිකානු බලු වර්ගවලට සිදු වූයේ කවරක්‌ ද යන්න පිළිබඳව ඇති එක්‌ මතයක්‌ වන්නේ යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ මේ දේශීය බලු වර්ග වඳ වී යන්නට ඇති බවයි. ඒ යුරෝපීයයන් ඇමෙරිකාවට රැගෙන ආ බල්ලන් නිසා ය. ඒ බල්ලන් සමඟ අභිජනනය වීම නිසා දේශීය බල්ලන් එක්‌කෝ වඳ වී යන්නට ඇති බව හෝ ඒ බල්ලන් ගේ ප්‍රවේණික ලක්‌ෂණ ක්‍රමයෙන් නැති ව යන්නට ඇති බව මේ මතයෙන් පැවසේ. එසේ ම මෙය ස්‌වදේශික ජනතාව ගේ සංස්‌කෘතිය විනාශ කරන්නට ගත් උත්සාහයේ ම කොටසක්‌ සේ ඇතැම් විට දක්‌වා ඇත. දකුණු ඇමෙරිකාවේ ඇතැම් ස්‌වදේශිකයන් ඔවුන් ගේ බල්ලන් ආරක්‌ෂා කරගැනීම සඳහා යම් යම් පියවර ගෙන තිබීම මීට නිදසුනකි.

ඇමෙරිකානු බලු වර්ගවල මුල් සෙවීම

වර්තමාන ඇමෙරිකානු බල්ලන් ගේ සම්භවය පිළිබඳව කිසියම් ආකාරයක මතභේද තිබූ බව පැහැදිලි ය. යුරෝපීය බල්ලන් නිසා දේශීය බලු වර්ගවලට කෙතරම් දුරට බලපෑමක්‌ සිදු වී ද යන්න ගැන ඇති මතභේදය මීට නිදසුනකි. පෙර සඳහන් පරිදි, පැරැණි දේශීය බලු ප්‍රභේද මුළුමනින් ම මැකී ගියේ ද යන්න හෝ යම් පමණකින් ක්ෂය වී ගොස්‌ තිබේ ද යන්න ගැටලුවකි. එසේ ම නිදහසේ සිටින බල්ලන් පිළිබඳව සිදු කර ඇති ඇතැම් අධ්‍යයනවලට අනුව වැඩි ගහන ගණනාවක්‌ යුරෝපීය බල්ලන් ගෙන් පැවත එන අතර හා ඇතැම් ගහන දේශීය බල්ලන් ගෙන් පැවත එන බව පෙනේ.

ඇමෙරිකාවේ බල්ලන් ගේ අතීතය පිළිබඳ මතභේද විසඳීමට සමත් පර්යේෂණයක්‌ පිළිබඳ තොරතුරු පසුගිය දා ප්‍රකාශයට පත් විය. බල්ලන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳව වන මේ අධ්‍යයනය බෙහෙවින් සවිස්‌තර ලෙස සිදු කරන ලද අධ්‍යයනයකි. මේ අධ්‍යයනයේ" ආසියාවේ, ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වන විට ජීවත් වන විවිධ බලු වර්ගවලින් සහ ඇමෙරිකාවේ පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් හමු වී ඇති බල්ලන් ගේ ඇටකටුවලින් ලබාගත් ප්‍රවේණික ද්‍රව්‍ය (මයිටොකොන්ඩී්‍රය ඩීඑන්ඒ) සංසන්දනය කිරීමක්‌ සිදු කර ඇත. යුරෝපයෙන් නිදර්ශක 639ක්‌, නැඟෙනහිර ආසියාවෙන් 889ක්‌, සයිබීරියාවෙන් 95ක්‌, අප්‍රිකාවෙන් 57ක්‌, නිරිතදිග ආසියාවෙන් 133ක්‌ හා ඉන්දියාවෙන් 59ක්‌ ආදි වශයෙන් ඇමෙරිකාවෙන් පිටත ප්‍රදේශවලින් විශාල නිදර්ශක ප්‍රමාණයක්‌ භාවිත කර ඇත. එසේ ම ඇමෙරිකානු නිදර්ශක අතර ඉනියුට්‌ ස්‌ලෙඩ් බල්ලන් (Sled dogs), කැනඩාවේ එස්‌කිමෝ, ග්‍රීන්ලන්ත හා ඇලස්‌කානු මලමුට්‌ (Malamute) යන ඇලස්‌කානු බලු වර්ග ද, උතුරු ඇමෙරිකානු බලු වර්ග වන මෙක්‌සිකානු චිහුවාහුවා (Chihuahuas), මෙක්‌සිකානු සොලාඉට්‌ස්‌ක්‌වින්ට්‌ලි (xoloitzcuintli) යන බලු වර්ග ද, දකුණු ඇමෙරිකානු බලු වර්ග වන පේරු රාජ්‍යයේ පෙරෝ සින් පෙලෝ යන ලෝම රහිත බල්ලන් (Peruvian perro sin pelo /Peruvian hairless dogs) ද ඇතුළත් වේ. මේ ඇමෙරිකානු බලු වර්ග අතරින් ගණනාවක්‌ ම ඇමෙරිකාවට යුරෝපීයයන් පැමිණීමට පෙර පටන් සිටි බලු වර්ග බවට සාධක තිබූ අතර ඔවුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ලබා ගැනීමේ දී ඔවුන් ගේ පෙළපත පිළිබඳව සැලකිලිමත් වී ඇති අතර නිදර්ශක ලබාගෙන ඇත්තේ අදාළ බලු වර්ගය ඔස්‌සේ ම අභිජනනය වූ බව දන්නා පරම්පරාවලිනි. එසේ ම නිදහසේ වෙසෙන බලු ගහන හෙවත් දඩාවතේ යන බලූ ගහන රැසකින් ද නිදර්ශක ලබාගෙන ඇත. අනෙක්‌ අතට මේ හා සංසන්දනය කිරීම සඳහා බොලීවියාව, පේරු, මෙක්‌සිකෝ හා ඇලස්‌කාවේ විසූ පැරැණි බල්ලන් ගේ ශේෂවලින් 19කින් ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගෙන ඇත.

මේ අනුව උක්‌ත අධ්‍යයනය ඉතා පුළුල් හා සංසන්දනාත්මක ප්‍රවේණික අධ්‍යයනයක්‌ සේ සැලකිය හැකි ය. එයින් හෙළි වන ප්‍රධාන කරුණු දෙකක්‌ පහත විස්‌තර වේ.

ඇමෙරිකානු බල්ලන් වඳ වී ගොස්‌ නැත

මේ අධ්‍යයනයෙන් හෙළි වූ එක්‌ කරුණක්‌ වූයේ ඇමෙරිකාවේ වර්තමාන බලු වර්ග හා පැරැණි ඇමෙරිකානු දේශීය බලු වර්ග අතර සෘජු ප්‍රවේණික බන්ධුතා ඇති බව ය. යුරෝපීය බලු වර්ග අතර දක්‌නට නොමැති ඓකදර්ශ (haplotype) මේ වර්තමාන ඇමෙරිකානු බලු දර්ශ අතර තිබේ. එසේ ම, මේ බලු වර්ග අතරින් යුරෝපීය මවු පාර්ශ්වීය සම්භවයක්‌ දැකිය හැක්‌කේ 30%ක්‌ හෝ ඊට අඩු ප්‍රමාණයක ගේ පමණකි. ඒ අනුව දේශීය බලු වර්ග ඇමෙරිකානු මහාද්වීපයෙන් වඳ වී ගොස්‌ නොමැති බව පැහැදිලි ය.

අනෙක්‌ අතට අධ්‍යයනයට ලක්‌ කළ බලු වර්ග ගණනාවක සම්භවය මෙහි දී පැහැදිලි වී ඇත. නිදසුනක්‌ ලෙස මෙක්‌සිකානු චිහුවාහුවා බලු වර්ගය මෙක්‌සිකෝවේ විසූ පැරැණි දේශීය බලූ වර්ගයකින් පැවත එන බව හෙළි වී ඇත. මේ බලු වර්ගය හා අතීතයේ මෙක්‌සිකෝවේ විසූ බලු වර්ගයකට පමණක්‌ සීමා වූ ඓකදර්ශයක්‌ තිබීම මීට හේතුවයි. ඒ අනුව චිහුවාහුවා වර්ගය මෑතක දී චීනයෙන් ගෙන ආ වර්ගයකට සම්බන්ධ බවට ඇති මතය බිඳ වැටේ. එසේ ම ආක්‌ටික්‌ ප්‍රදේශය පාදක කරගත් බලු වර්ග වන ඉනියුට්‌, එස්‌කිමෝ හා ග්‍රීන්ලන්ත බලු වර්ගවලට යුරෝපියානු බලපෑමක්‌ නොමැති බව හෙළිවී ඇත.

එසේ ම අයාලේ යන බල්ලන් පරීක්‌ෂා කිරීමෙන් හෙළි වී ඇත්තේ ඔවුන් ගෙන් වැඩි බලු ගහන ප්‍රමාණයක්‌ යුරෝපීය බලු වර්ගවලින් පැවත එන බව ය. කෙසේ වෙතත් බොලීවියාවේ හා මෙක්‌සිකෝවේ දඩාවතේ යන බල්ලන් අතර දේශීය බලු වර්ගවල සම්බන්ධකම් ද ඇති බවක්‌ අනාවරණය වී ඇත. එසේ ම කැරොලයිනා බල්ලන් (Carolina dog) නම් එක්‌ දඩාවතේ යන බලු වර්ගයක්‌ පැවත එන්නේ පැරැණි දේශීය බලු වර්ගයකින් බවට තිබූ මතය ද මෙහි දී සනාථ වී තිබේ. ඔවුන් සතු එක්‌ ප්‍රවේණික සාධකයක්‌ නැඟෙනහිර ආසියානු බල්ලන්ට අදාළ වීම මේ සඳහා එක්‌ සාධකයකි.

ආසියාවෙන් ඇමෙරිකාවට ගිය බල්ලෝ

මේ අධ්‍යයනයෙන් පෙනී ගිය අනෙක්‌ වැදගත් කරුණ වන්නේ ඇමෙරිකාවේ දේශීය බලු වර්ග පැවත එන්නේ නැඟෙනහිර ආසියාවේ හා සයිබීරියානු බල්ලන් ගෙන් බවයි. ඇමෙරිකානු දේශීය බල්ලන්ට පමණක්‌ සීමිත වූ ප්‍රවේණික ලක්‌ෂණ නොමැති බව ද මෙහි දී හෙළි ව ඇත.

මේ අනුව ඔවුන් ගේ අතීත පූර්වජයෝ යම් දිනයක මිනිසුන් සමඟ ආසියාවත්, ඇමෙරිකාවත් යා කරන ලද බීජිං සමුද්‍ර සන්ධිය හරහා වැටුණු ගොඩබිම් මංපෙතක්‌ ඔස්‌සේ උතුරු ඇමෙරිකාවට පැමිණි බවක්‌ පෙනේ. මේ භූමිය ඇතැම් විට හඳුන්වනු ලබන්නේ බීජිං ගොඩබිම් සේතුව (Bering Land Bridge) යනුවෙනි. මේ සිදුවීම සිදුවන්නට ඇත්තේ අදින් වසර 15,000ත් 10,000ත් අතර කිසියම් කාලයක දී ය. මුහුදු මට්‌ටම අදට වඩා පහළ මට්‌ටමක පැවැති මේ කාලයේ දී, සැතපුම් දහසක්‌ පමණ පළල වූ ගොඩබිම් ප්‍රදේශයක්‌ පැවැති අතර ඒ හරහා නැඟෙනහිර ආසියාවේ (වර්තමාන රුසියාවේ නැඟෙනහිර කෙළවර) සිට වර්තමාන ඇලස්‌කාවට මිනිසුන් පිවිස තිබේ.

මේ අනුව ඇමෙරිකාවේ බල්ලන්ට ද මිනිසුන් හා තරම් ම පැරැණි අතීතයක්‌ පැවැති බව පැහැදිලි ය. මේ අනුව ඇමෙරිකාවේ වාසය කරන බල්ලන් එහි ආදිවාසීන් ගේ සංස්‌කෘතියේ ම කොටසකි. එය මේ ගහන ආරක්‌ෂා කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දෙන්නක්‌ බව අදාළ පර්යේෂකයන් දරන මතයයි.

මේ අනුව වෘකයන් ගෙන් බල්ලන් බිහි වීම හා ගෘහාශ්‍රිතකරණය ආසියාවේ දී සිදු වූ බවට ඇති මතය යළිත් තහවුරු වී ඇත. එසේ ම එය වඩා මෑත කාලයේ දී (වසර 8,500කට පමණ පෙර බවට) සිදු වූවාට වඩා වසර 15,000කට පෙර තරම් ඈත කාලයක දී සිදු වූ බව සිතීම වඩාත් සාධාරණ බව මේ අනුව පෙනේ. ඒ ඇමෙරිකාවෙන් හමු වන බල්ලන් පිළිබඳ පැරැණි ම සාධක වසර 10,000ක්‌ තරම් පැරැණි වන නිසා ය.

මිනිසුන් විසින් පරිසරයට සිදු කරන ලද බලපෑම පිළිබඳව පෙන්වන තවත් අධ්‍යයනයක්‌ ලෙස මේ සමස්‌ත පර්යේෂණය සැලකිය හැකි ය. අනෙක්‌ අතට මිනිසුන් විසින් පරිසරයට සිදු කරන ලදැයි මිනිසුන් විසින් සිතනු ලබන කරුණුවල යම් යම් වෙනස්‌කම් තිබිය හැකි බව ද මේ අනුව පෙනේ.

http://www.vidusara.com/2013/07/17/feature1.html

No comments:

Post a Comment