Monday, July 1, 2013

නූතන මිනිසා දකුණු ආසියාවට පැමිණියේ ටෝබා විදාරණයට පෙර ද? පසු ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-06-26, පි. 2-3
http://www.vidusara.com/2013/06/26/feature1.html


නූතන මානවයා වන Homo sapiens මානවයා අප්‍රිකාවේ බිහිවූ බවට ඇති අදහස පිළිබඳව මේ වන විට විවාදයක්‌ නැත. එහෙත් ඔහු අප්‍රිකාවෙන් පිට වූයේ කවර දා ද යන්න හා ලෝකයේ අනෙක්‌ ප්‍රදේශවලට පිවිසියේ කවර දා ද යන්න පිළිබඳව ඇත්තේ තරමක විවාදාත්මක තත්ත්වයකි. මේ පිළිබඳව ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ විද්‍යාත්මක විධි ක්‍රම භාවිත කරමින් බොහෝ පර්යේෂණ පැවැත්වේ. මේ මත පදනම් ව, මානව ව්‍යාප්තියේ නොයෙක්‌ අවස්‌ථා සඳහා වඩා ඈත මෙන්ම වඩා මෑතකාලීන දින වකවානු ලබා දී තිබේ.

මෙවැනි එක්‌ වැදගත් සිදුවීමක්‌ වන්නේ නූතන මානවයා අප්‍රිකාවෙන් නික්‌මුණේ කිනම් දිනයක දී ද යන්න ය. එසේ ම, ඔහු ආසියා මහාද්වීපයට හා විශේෂයෙන් දකුණු හා අග්නිදිග ආසියාවට පැමිණියේ කවර දා ද යන්න ගැන ද ගැටලු තිබේ. මෑත දී ප්‍රකාශයට පත් පර්යේෂණ කිහිපයකින් මේ පිළිබඳ මතවාදවල ඇති විවිධත්වය මනාව පෙන්වා දෙයි.

මිනිසුන් අප්‍රිකාවෙන් නික්‌මුණේ කවර දා ද?

මේ සම්බන්ධව සැලකිය යුතු කාලයත් තිස්‌සේ පැවැති විශ්වාසය වූයේ නූතන මානවයා අදින් වසර 60,000කට (ඇතැම් විට 50,000ත් 70,000ත් අතර ලෙස දැක්‌වෙන) කාලයේ දී අප්‍රිකාවෙන් නික්‌මුණු බවය. මයිට්‍රොකොන්ඩී්‍රය ඩීඑන්aඒ ම`ගින් කළ අධ්‍යයන ම`ගින් ද මේ මතය සඳහා සාක්‌ෂි ලැබී ඇත. නූතන මානවයා මිහිතලයේ ජනිත වන්නේ අදින් වසර 200,000ක්‌ පමණ කාලයකට පෙර බැවින් මේ මතවාදය සඳහා වැඩි පිළිගැනීමක්‌ ද පවතී.

එහෙත් පසු කලක ප්‍රකාශයට පත් අධ්‍යයන අනුව මේ දිනය වඩා ඈතට ගෙන යා හැකි බවක්‌ පෙනෙන්නට තිබිණි. නිදසුනක්‌ ලෙස ආසියාවේ රටවලින් හමු වූ නූතන මිනිසා විසින් නිර්මාණය කරන ලද බව සැලකෙන ශිලා මෙවලම් වසර 74,000කට වඩා පැරැණි බව පෙන්වා දෙන ලදී. මේ මෙවලම් හමු ව තිබුණේ වසර 74,000කට පෙර පුපුරා ගිය ටෝබා ගිනි කන්දෙන් පිට වූ අළු පතිත වූ ස්‌තරයට යටින් වීම නිසා මේ පැරැණි දින වකවානුව ඉදිරිපත් ව තිබිණි. (මේ තරම් පැරැණි කාලයකට අදාළ පුරාවස්‌තු කාබන් කාල නිර්ණයට ලක්‌ කිරීමට නොහැකි අතර මේ නිසා ටෝබා අළු තට්‌ටුව කාලනිර්ණය සඳහා යොදාගන්නා එක්‌ සාපේක්‌ෂ ක්‍රමයකි.) එහෙත් එය, මිනිසා අප්‍රිකාවෙන් පිටත් වූ බව පිළිගත් දිනට වඩා පැරැණි යුගයකට අයත් වීම එහි දී මතු වූ එක්‌ ගැටලුවක්‌ විය.

මේ අතර එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ කිසියම් ප්‍රදේශයකින් ලැබුණු ශිලා මෙවලම් කාලනිර්ණයෙන් නූතන මානවයා අප්‍රිකාවෙන් නික්‌මෙන්නට ඇත්තේ වර්ෂ 100,000ත් 125,000ත් අතර කාලයක බව යෝජනා කර තිබේ. මෙය මෙතෙක්‌ පුළුල් ලෙස පිළිගත් දිනය තවත් වර්ෂ හැට දහසකින් පමණ ඈතට යෑවීමකි. එපමණක්‌ නො ව මේ මානවයන් අප්‍රිකාවෙන් පිටතට පැමිණි මාවත ද පිළිගත් මතයට වඩා වෙනස්‌ මාවතක්‌ විය හැකි බව මේ අධ්‍යයනයෙන් යෝජනා කර තිබිණි. (මූලාශ්‍රය( 2011 මැයි 24 දින විදුසර පුවත්පතේ පළ වූ 'මානවයා අප්‍රිකාවෙන් නික්‌මුණු දිනය තවත් ඈතට යයි?' නම් ලිපිය බලන්න.)

කෙසේ වෙතත් මේ මතවාදයේ පෙන්වා දෙන ආකාරයට අප්‍රිකාවෙන් නික්‌මීම අසාර්ථක නික්‌මීමක්‌ විය හැකි බව ඇතැම් විට දක්‌වා ඇත. එනම්, අදාළ දින වකවානුවල දී අප්‍රිකාවෙන් නික්‌මුණු මානවයා ගේ ව්‍යාප්තිය සීමාසහිත වූ අතර ලෝකය පුරා ව්‍යාප්ත වීමක්‌ නො වූ බව ය.

එහෙත් නූතන මානවයා වඩා ඈත කාලයක දී අප්‍රිකාවෙන් නික්‌මුණු මතය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මේ මාසයේ පළ වූ එක්‌ පර්යේෂණයකින් යෝජනා කර ඇත්තේ මිනිසා අප්‍රිකාවෙන් නික්‌මීම වඩා සංකීර්ණ සිදුවීමක්‌ ලෙස ය. මෙහි දී අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එක්‌ තනි නික්‌මීමක්‌ හා වෙරළබඩ ප්‍රදේශ ඔස්‌සේ මිනිසුන් ව්‍යාප්ත වීමක්‌ සම්බන්ධව අදහස්‌ දැක්‌වීමට ඇති සාධක අඩු බව ය. ෆොසිල, පුරාවිද්‍යාත්මක හා වෙනත් සාධක ම`ගින් වෙනත් මත සඳහා ද අවස්‌ථාවක්‌ ලැබෙන බව පෙන්වා දෙන මේ පර්යේෂකයන් නූතන මිනිසුන් අප්‍රිකාවෙන් කිහිප වරක්‌ පිට වන්නට ඇති බවත්, විවිධ මාර්ග ඔස්‌සේ ඔවුන් ව්‍යාප්ත වන්නට ඇති බවත්, වෙනත් පුරාතන Homo ගණයේ මානවයන් හා අන්තරාභිජනනය කරන්නට ඇති බවත් ය. ඔවුන් මෙහි දී පෙන්වා දෙන්නේ නූතන මානවයන් ටෝබා විදාරණයට පෙර ඉන්දියාවට පැමිණ සිටි බව ය. (Quaternary International, DOI: 10.1016/j.quaint.2013.01.0088)

මිනිසා ගේ ව්‍යාප්තිය හා සම්බන්ධ ප්‍රවේණික සාධක

මේ අතර පසුගිය දා නිකුත් වූ තවත් ප්‍රවේණික හා පුරාවිද්‍යාත්මක අධ්‍යයන වාර්තාවකින් මානවයා අප්‍රිකාවෙන් නික්‌මුණේ වසර 60,000ක පමණ කාලයක දී බවට ඇති මතවාදයට ශක්‌තියක්‌ ලබා දී තිබේ. ඒ සඳහා අදාළ පර්යේෂකයන් පිරිස යොදාගෙන ඇත්තේ යුරේසියානු උපමහාද්වීපයට අයත් ප්‍රදේශවල වෙසෙන ජනතාව ගෙන් ලබාගත් මයිට්‍රොකොන්ඩී්‍රය ඩීඑන්ඒ විශ්ලේෂණයක්‌ හා ශිලා මෙවලම් පිළිබඳ නැවත අධ්‍යයනය කිරීමකි. මේ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ නූතන මානවයන් මුලින් ම ඉන්දියාවට පැමිණියේ අදින් වසර 50,000ත් 55,000ත් අතර කාලයක දී බව ය. එසේ ම ඔවුන් පළමුව වෙරළබඩ ප්‍රදේශවල ස්‌ථානගත වූ බවත්, පසුව ගංගා ඔස්‌සේ මහාද්වීපයේ අභ්‍යන්තරයට සංක්‍රමණය වූ බවත් ඔවුන් ගේ මතයයි. මේ අනුව නූතන මානවයා ඉන්දියාවට පැමිණියේ ටෝබා විදාරණයට පසුව බව පැහැදිලි ය.

එසේ ම ඔවුන් ඉන්දියාවේ ජවාලපුරම් ප්‍රදේශයෙන් ඉහත කී ටෝබා අළු ස්‌තරයට යටින් හමු වූ ශිලා මෙවලම් නැවත අධ්‍යයනය කර ඇති අතර ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ඒවා නියෑන්ඩර්තාල් මානවයන් විසින් නිපදවන ලද ඒවා විය හැකි බව ය. මේ ශිලා මෙවලම් නුතන මානවයන් විසින් තනන ලද ඒවා බව මුලින් ම යෝජනා කළ පර්යේෂකයා ඒ අදහස ඉවත් කරගෙන ඇති බව මෙහි දක්‌වා තිබේ. ඒ අනුව අදාළ ශිලා මෙවලම් හඳුනා නො ගත් පැරැණි මානවයන් පිරිසක්‌ විසින් භාවිත කරන්නට ඇති බව දක්‌වා ඇත. (මූලාශ්‍රයProceedings ofthe National Academy of Sciences,DOI: 10.1073/pnas.1306043110)

නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වීම හා ව්‍යාප්තිය පිළිබඳ කතාවේ දින වකවානු පිළිබඳව තවමත් නිශ්චිත අවසන් නිගමනයකට එළැඹීමට ඇති හැකියාව පිළිබඳ ගැටලු පවතියි. එහෙත් අප ඉහත දැක්‌වූ ප්‍රවේණික අධ්‍යයනය මේ අතරින් වඩාත් පිළිගත හැකි මතය කුමක්‌ ද යන්න යෝජනා කරයි. මේ අනුව නූතන මිනිසා ඉන්දියාවට පැමිණියේ වසර 60,000ත් 50,000ත් අතර කාලයක දී බව පැවසීම මේ වන විට ඇති සාක්‌ෂි අනුව නිවැරැදි බව පෙනේ.

ටෝබා යමහල් විදාරණය (Toba eruption)

ටෝබා ගිනිකන්ද යනුවෙන් හඳුන්වනු ලබන්නේ, වර්තමාන ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටා තිබූ ගිනිකන්දකි. එය අතීතයේ වරින් වර විශාල පිපිරීම් කිහිපයකට ලක්‌ වූ අතර එහි වඩාත් මෑත කාලයේ දී වඩාත් ප්‍රබල ම පිපිරීම සිදු වන්නේ අදින් වසර 74,000කට පමණ පෙර දී ය. (මේ පිපිරීම සඳහා අදින් වසර 69,000ත් 77,000ත් අතර කාලයක්‌ යෝජනා කර තිබුණු අතර, වඩා මෑතකාලීන අධ්‍යයනවලින් එය වසර 74,100ත් 75,900ත් අතර කාලයකට දින නියම කර තිබේ.)

මේ ගිනිකඳු විදාරණය ගත වූ වසර මිලියන දෙකක පමණ කාලය ඇතුළත සිදු වූ විශාලතම හා දරුණුතම පිපිරීම බව පෙන්වා දී ඇත. එය ගිනිකඳු පිපිරීම් දර්ශකයේ (Volcanic Explosivity
Index) ඒකක 8ක්‌ පමණ හෙවත් 'මහා-යෝධ' (Mega-colossal) වර්ගයට අයත් පිපිරීමක්‌ බව අනුමාන කෙරේ. ටෝබා සුපිරි විදාරණය (Toba Super-eruption) ලෙස ද හැඳින්වෙන මේ පිපිරීම 1980 දී ඇමෙරිකාවේ පුපුරා ගිය ශාන්ත හෙලේනා ගිනිකන්ද මෙන් පන් දහස්‌ වාරයක්‌ පමණ ප්‍රබල පිපිරීමකි. මෙහි දී නිකුත් වූ යමහල් ද්‍රව්‍ය ප්‍රමාණය ඝන කිලෝමීටර් 2800ක්‌ තරම් ය. මේ ප්‍රමාණය එවරස්‌ට්‌ කන්දේ පරිමාව මෙන් දෙගුණයක්‌ පමණ වේ. එසේ ම මෑත ඉතිහාසයේ අප දන්නා ක්‍රැකටෝවා (1883) හා පිනාතුබෝ (1991) ගිනිකඳු පිපිරීම්වල දී පිට වූ යමහල් ද්‍රව්‍ය ප්‍රමාණය පිළිවෙළින් ඝන කිලෝමීටර් 21ක්‌ හා 25ක්‌ පමණ තරම් අඩු වන නිසා ටෝබා විදාරණයේ ප්‍රබලතාව මනාව පැහැදිලි ය.

ටෝබා යමහල් විදාරණයේ ප්‍රතිඵලය කෙතරම් ද යත්, ඒ නිසා වසර 6ත් 10ත් අතර කාලයක්‌ පැතිර තිබූ යමහල් ශීත සෘතුවක්‌ ඇති වූ බව පෙන්වා දී ඇති අතර උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 3ත් 5ත් අතර ප්‍රමාණයකින් අඩු වූ බව පෙනී ගොස්‌ තිබේ. එසේ ම මේ සිසිල් සමය වසර දහසක්‌ පමණ කාලයක්‌ පැවති බව පැවසේ. මේ නිසා සෙන්ටිමීටර් 25ක්‌ පමණ ඝනකම අළු තට්‌ටුවක්‌ දකුණු ආසියානු ප්‍රදේශයේ තැන්පත් වූ බව විශ්වාස කරනු ලැබේ. ගිනිකන්දට ආසන්න ව පිහිටා තිබූ ප්‍රදේශවල මීට වඩා වැඩි ඝනකම අළු තට්‌ටුවක්‌ තැන්පත් වී ඇත.

මේ තත්ත්වය නිසා ඒ වන විට අදාළ බලපෑමට ලක්‌ වූ ප්‍රදේශවල විසූ මිනිසුන්ට හෝ මිනිසුන් ගේ පූර්වජයන්ට සැලකිය යුතු බලපෑමක්‌ ඇති වූ බව පෙන්වා දී තිබේ. ඉන් මිනිසුන් වඳ වී නො ගිය ද ඒ වන විට සිටි මිනිසුන් අතරින් සැලකිය යුතු පිරිසක්‌ මේ නිසා මිය යන්නට ඇති බවත් ඒ නිසා මිනිසුන් අතර ප්‍රවේණික ගැටලු ඇති වූ බවත් සැලකේ. මේ නිසා මානව පරිණාමයේ යම් ප්‍රවේණික බාධකයක්‌ හෙවත් ගති අවරෝධනයක්‌ (Bottleneck) ඇති වූ බව පෙන්වා දී ඇත. 'ටෝබා ව්‍යසනවාදය' (Toba catastසෘophe theoසෘy) නමින් හැඳින්වෙන්නේ මේ සිදුවීමයි. එය නූතන මිනිසා කලින් අප්‍රිකාවෙන් නික්‌මුණු බවට ඇති මතයට සහයෝගයක්‌ ලබා දේ. කෙසේ වෙතත් අනෙක්‌ සතුන්ට මෙවැනි තත්ත්වයක්‌ උදා නො වීම නිසා මිනිසුන්ට පමණක්‌ එවැන්නක්‌ සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳව හා ඒ නිසා ම උක්‌ත මතවාදය පිළිබඳව සැක ඇති වී තිබේ. මේ ලිපිය සඳහා පාදක කරගත් Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ පර්යේෂණයෙන් ද පෙන්වා දෙන්නේ මේ හා සමාන අදහසකි.

ටෝබා ගිනිකන්ද පිහිටා තිබූ ප්‍රදේශයේ මේ පිපිරීමෙන් පසු විශාල විලක්‌ ඇති වී තිබේ. ටෝබා විල ලෙස හැඳින්වෙන මේ විල කිලෝමීටර් 100ක දිගකින් ද, කිලෝමීටර් 30ක පළලකින් ද යුක්‌ත වේ. එය ලෝකයේ විශාලතම යමහල් විල ද වේ.

http://www.vidusara.com/2013/06/26/feature1.html

No comments:

Post a Comment