Friday, February 24, 2012

දුම්කොළ භාවිතයේ අතීතය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක (Vidusara, 22-02-2012)

ධනේෂ් විසුම්පෙරුම
Published: Vidusara, 22-02-2012, p.9. http://www.vidusara.com/2012/02/22/feature5.html)



දුම්කොළ පිළිබඳව නො දන්නා අයකු නැති තරම් ය. දුම්පානය සඳහාත්, බුලත් විට හා වෙනත් එවැනි අවශ්‍යතා සඳහාත් ලෝකය පුරා ජනතාව භාවිත කරන ද්‍රව්‍යයක්‌ ලෙස දුම්කොළ හැඳින්වීමට හැකි ය. එයින් ලබාගන්නා ඇතැම් සංයෝග ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගැනෙන අතර පළිබෝධ නාශකයක්‌ ලෙස ද භාවිත කරනු ලැබේ. මේ නිසා දුම්කොළ ශාකය රටවල් රැසකට ආර්ථික වශයෙන් වැදගත් ශාකයකි.

එහෙත් දුම්කොළ ලෝකයේ ප්‍රචලිත වීමට පටන් ගෙන තවමත් වසර පන් සියයක්‌ තරම් වත් නොමැත. මේ කාලය තුළ දුම් බීම මානව සෞඛ්‍යයට ද තර්ජනයක්‌ වී අවසන් ය. (දුම්කොළ වගාවේ පාරිසරික හානි ද හඳුනාගෙන ඇති බව සඳහන් කළ යුතු ය) මෙහි ඇති ගැටලු නිසා 2003 වර්ෂයේ දී දුම්කොළ පාලනය සඳහා රාමුගත සම්මුතියක්‌ ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇති කරගන්නා ලදි. මෙය එක්‌සත් ජාතීන් ගේ සම්මුති පිළිබඳ ඉතිහාසය තුළ දී වඩාත් ඉක්‌මනින් අපරානුමත කරන ලද සම්මුතියක්‌ සේ සැලකේ. ශ්‍රී ලංකාව ද මෙහි පාර්ශ්වකරුවෙකි.

මිනිසුන් ගේ ජීවිත සමඟ සම්බන්ධ වී ඇති ශාකයක්‌ නිසා දුම්කොළ ශාකයේ නිජබිම හා මිනිසුන් දුම්කොළ භාවිත කිරීමේ ආරම්භය ලෝකයේ කොතැනක සිදු වී ද යන්න ඉතිහාසඥයන් මෙන්ම විද්‍යාඥයන් ගේ ද අවධානය යොමු වී ඇති කරුණකි.

මේ පිළිබඳව ඇති තොරතුරුවලට අනුව දුම්කොළ භාවිතයේ ආරම්භය සිදු වන්නේ ඇමෙරිකාවේ ය. 15 වැනි සියවස අවසානයේ පටන් ඇති වාර්තා හා පුරාවිද්‍යාත්මක දත්ත අනුව මේ බව පැහැදිලි ය. 15 වැනි සියවස අවසානයේ දී පමණ ක්‍රිස්‌ටෝපර් කොලම්බස්‌ විසින් වර්තමාන ඇමෙරිකා මහාද්වීපය හෙවත් නවලෝකය ''සොයාගනු ලැබූ'' කාලයේ දී (ඒ වන විටත් මිනිසුන් වාසය කළ මහාද්වීපයක්‌ යමකු විසින් 'සොයාගනු ලැබූයේ' කෙසේ ද යන්න අපට නම් ගැටලුවකි. ඒ එය හුදෙක්‌ ඔවුනට සාපේක්‌ෂ දෙයක්‌ පමණක්‌ වන නිසා ය. ඒ නිසා මේ යෙදුමේ යෝග්‍යතාව පිළිබඳව අපට ගැටලු පවතී.) එහි වාසය කළ ස්‌වදේශිකයන් දුම්කොළ පානය කරමින් සිටි බැව් සඳහන් වේ. ස්‌වදේශික ඇමෙරිකානුවන් දුම්කොළ භාවිත කළේ එහි ඇතුළත් ඖෂධමය බලපෑම නිසා සහ ඊට ලබා දී තිබූ ආගමික හා පූජනීය තත්ත්වය නිසා ය. ඔවුන් ගේ චිත්‍රවල මිනිසුන් මෙන්ම දෙවිවරුන් ද දුම්පානය කරන ආකාරය දැක්‌වේ. මේ සිදුවීමෙන් පසු දුම්කොළ සෙසු ලෝකයට හඳුන්වා දෙන ලද්දේ මූලික වශයෙන් යුරෝපීයයන් විසිනි.

එහෙත් ඇමෙරිකාවේ ස්‌වදේශිකයන් ඊට වඩා ඈත කාලයක පටන් දුම්කොළ භාවිත කර ඇති බවට සාධක ඇත. ඇමෙරිකාවේ විසූ ස්‌වදේශිකයන් ගේ ශිෂ්ටාචාරවල නටබුන් අතර හමු වන චිත්‍ර හා රූපාක්‌ෂරවලින් ලියා ඇති තොරතුරු අනුව මේ බව පැහැදිලි ය. එහෙත් ඒ සඳහා නිශ්චිත භෞතික සාධක - එනම් දුම්කොළ - ඊට වඩා පැරැණි කාලයකින් මෙතෙක්‌ කලක්‌ ලැබී තිබුණේ නැත. එහෙත් මේ දින වකවානු පිළිබඳව නිශ්චිතව කරුණු දක්‌වන පර්යේෂණ වාර්තාවක්‌ පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් විය.

දුම්කොළ තිබුණු බඳුනක්‌

මේ අධ්‍යයනයේ දී මෙක්‌සිකෝවෙන් සොයාගන්නා ලද, ඇමෙරිකානු කොංග්‍රස්‌ පුස්‌තකාලයේ එකතුවක තිබූ පැරැණි මායා ශිෂ්ටාචාරයේ පශ්චාත් සම්භාව්‍ය සමයට (ව්‍යවහාර වර්ෂ 600-900 අතර කාලයට) අයත් බඳුන් රැසක ඇතුළත් ද්‍රව්‍ය පිළිබඳව පරීක්‌ෂා කර තිබේ. නවීන විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ යොදාගනිමින් සිදු කළ මේ විශ්ලේෂණයේ දී ඉන් එක්‌ බඳුනක්‌ භාවිත කර ඇත්තේ දුම්කොළ තැන්පත් කර තබා ගැනීම සඳහා බව නිශ්චිතව හෙළි වී තිබේ.

පැරැණි යුගයකට අයත් බඳුනක්‌ වූ එහි ඇතුළත් රසායනික ද්‍රව්‍ය සඳහා විශ්ලේෂණය කිරීමේ දී ඇති විය හැකි ගැටලු රැසකි. මෙවැනි බඳුනක්‌ භාවිත කළ කාලයේ දීම විවිධ ද්‍රව්‍ය එ තුළ තැන්පත් වීමට ඉඩ තිබේ. එසේ ම එවැනි බඳුනක්‌ භාවිතයෙන් පසු ඉවත දැමූ විට විවිධ ස්‌වාභාවික ක්‍රියාවලි නිසා රසායනික වශයෙන් විවිධ වෙනස්‌කම් ඇති වීමට ඉඩ තිබේ. ජලය නිසා සේදී යැම හා ක්‌ෂුද්‍ර ජීවීන් නිසා ඇති වන විපර්යාස මේ සඳහා නිදසුන් වේ. එපමණක්‌ නො ව පුරාවිද්‍යාත්මක අධ්‍යයනයකින් යළි අනාවරණය වී ගෙවී යන කාලය තුළ ද (එනම් ක්‌ෂේත්‍රයේ දී හා විද්‍යාගාර තුළ දී) එහි ඇති රසායනික ද්‍රව්‍යවල විපර්යාස ඇති විය හැකි ය.

එහෙත් උක්‌ත පර්යේෂණයේ දී යොදාගත් බඳුනේ අභ්‍යන්තරය හොඳින් ආරක්‌ෂා වී තිබී ඇත. මැටියෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රමාණයෙන් කුඩා මේ බඳුනේ අභ්‍යන්තරය පිරිසිදු කිරීමකට ලක්‌ කර නො තිබූ අතර ඊට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර වීමක්‌ ද සිදු වී නොමැති තරම් ය. එය මතුපිට 'ඔහු ගේ/ඇය ගේ දුම්කොළ සඳහා වූ නිවස්‌ යන අරුත් දෙන වැකියක්‌ මායා රූපාක්‌ෂරවලින් ලියා තිබේ.

නවීන ක්‍රමවේදයක්‌ යොදාගැනේ


මේ බඳුන ද ඇතුළත් බඳුන් එකතුවේ ඇතුළත් ද්‍රව්‍ය මේ අධ්‍යයනයේ දී නවීන ක්‍රමවේදයක්‌ මඟින් පරීක්‌ෂා කර තිබේ. වායු වර්ණලේඛශිල්පය/ස්‌කන්ධ වර්ණාවලිමිතිය (Gas Chromatography/Mass Spectrometry) හා ද්‍රව වර්ණලේඛශිල්පය/ස්‌කන්ධ වර්ණාවලිමිතිය (Liquid Chromatography/
Mass Spectrometry) යනු මේ සඳහා යොදාගත් ක්‍රමවේද වේ.

මේ ක්‍රම දෙකෙන් ම අනාවරණය වී ඇත්තේ අප මාතෘකා කරගත් බඳුන තුළ නිකොටින් ඇතුළත් බව ය. නිකොටින් යනු දුම්කොළවල ඇතුළත් වන ප්‍රධාන සක්‍රිය රසායනික ද්‍රව්‍යයයි. එසේ ම මේ බඳුන තුළින් නිකොටින් ඔක්‌සිකරණය වූ විට සෑදෙන සංයෝග ද හමු වී තිබේ. එය සාමාන්‍යයෙන් දුම්කොළ වාතයට නිරාවරණය වීම හා බැක්‌ටීරියා ක්‍රියාකාරිත්වය නිසා සිදු විය හැකි දෙයකි. එහෙත් බඳුනේ තිබී භාවිත කරන ලද දුම්කොළ හා සම්බන්ධ කිසිදු රසායනික ද්‍රව්‍යයක්‌ හමු වී නොමැත. ඒ අනුව මෙය දුම්කොළ භාවිතයට පෙර තැන්පත් කර තැබීමට යොදාගත් බඳුනක්‌ ලෙස නිගමනය කර තිබේ. එසේ ම මේ භාණ්‌ඩ එකතුවේ වූ අනෙක්‌ බඳුන්වලින් නිකොටින් ඇතුළත් බවට සාධක කිසිවක්‌ නො ලැබීම ද වැදගත් ය.

උක්‌ත බඳුන අයත් කාලය අනුව ව්‍යවහාර වර්ෂ 700 පමණ කාලයේ දී මෙක්‌සිකෝවේ විසූ මායාවරුන් දුම්කොළ භාවිත කළ බවට මේ පර්යේෂණයෙන් නිගමනය කර තිබේ. මේ අනුව දුම්කොළ භාවිතය පැරැණි ශිෂ්ටාචාරයක්‌ වූ මායා ශිෂ්ටාචාරයේ විසූ ජනතාව විසින් සිදු කරන ලද බවට පැහැදිලි භෞතික සාධකයක්‌ ලබා දී තිබේ. එය මෙතෙක්‌ සිතා සිටියාට වඩා ඈත කාලයකට දුම්කොළ භාවිතය ගෙන යැමක්‌ ද වේ.

මෙය වැදගත් වන්නේ එය දුම්කොළ භාවිතයේ ඉතිහාසයට එළියක්‌ ලබා දීම නිසා හෝ මායා රූපාක්‌ෂරවලින් කියෑවෙන දේ බඳුන අභ්‍යන්තරයේ තිබීම තහවුරු කළ අවස්‌ථාවක්‌ නිසා හෝ පමණක්‌ නො වේ. එය ඉතා නවීන විශ්ලේෂණාත්මක රසායන විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ පුරාවිද්‍යාවේ භාවිතයක්‌ සඳහා යොදාගත් අවස්‌ථාවක්‌ ද වේ. සාමාන්‍යයෙන් මෙවැනි කාර්යයන් සඳහා යොදා නො ගන්නා මේ ක්‍රමවේදය පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා අනාගතයේ දී භාවිත කළ හැකි ය.

(මූලාශ්‍රය( Rapid Communications in Mass Spectrometry, DOI: 10.1002/rcm.5339)

දුම්කොළ ශාකය හා එහි ඓතිහාසික ව්‍යාප්තිය

දුම්කොළ යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන Nicotiana ගණයේ ශාක විශේෂ 67ක්‌ පමණ දැකිය හැකි බව කිව් උද්‍යානයේ වාර්තා අනුව පෙනේ. මින් වැඩි ප්‍රමාණයක නිජබිම වන්නේ උතුරු හා දකුණු ඇමෙරිකාව වන අතර තවත් සමහරක්‌ ඔස්‌ටේ්‍රලියාවේ හා දකුණු පැසිµsක්‌ කලාපයේ හමු වේ. එහෙත් වර්තමානයේ මිනිසුන් විසින් ප්‍රධාන වශයෙන් වගා කරනු ලබන්නේ Nicotiana tabacum ශාකයයි. Nicotiana rustica ශාකය ද තවත් එවැනි වගා කරන දුම්කොළ ශාකයකි. මේවා ඇමෙරිකාව නිජබිම් කරගත් දුම්කොළ ශාක වේ. Nicotiana tabacum ශාකය මිනිසුන් විසින් වගා කිරීමෙන් දෙමුහුම් කරන ලද විශේෂයක්‌ ලෙස මේ වන විට පිළිගැනේ. ඒ අනුව එය ස්‌වාභාවික පරිසරයේ හමු නො වන ශාකයක්‌ බව පෙනේ.

ඇමෙරිකානුවන් දුම්කොළ භාවිත කළේ ද ඒවා මුලින් ම යුරෝපයට හඳුන්වා දී ඇත්තේ ද ඖෂධයක්‌ වශයෙනි. යුරෝපීයයන් විසින් දුම්කොළ ශාකය මෙන්ම දුම්බීම ද ලෝකයේ සෙසු රටවලට හඳුන්වා දෙන ලද්දේ 16 වැනි සියවසේ දී ය. දුම්කොළ යුරෝපයට හඳුන්වා දුන් දින වකවානු පිළිබඳ විශ්වසනීය සාධක රැසක්‌ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පෘතුගාලයට 1558 දී ද, ප්‍රංශයට 1556 දී ද, ස්‌පාඤ්ඤයට 1559 දී ද, බ්‍රිතාන්‍යයට 1565 දී ද යනුවෙනි. දුම්කොළවල උද්භිද විද්‍යාත්මක නාමය ලෙස භාවිත වන Nicotiana සඳහා මුල් වී ඇත්තේ ජීන් නිකොට්‌ (Jean Nicot) නම් ප්‍රංශ ජාතිකයා ය. ඒ කාලයේ පෘතුගාලයේ සිටි ප්‍රංශ තානාපතිවරයා වූ ඔහු 1560 දශකයේ මුල් කාලයේ දී මේ ශාකයේ බීජ ප්‍රංශයේ රැජනක්‌ වෙත යවා ඇත.

දුම්කොළ ශාකයේ ව්‍යාප්තිය පිළිබඳව සැලකිල්ලට ගත හොත් එය මුලින් ම බ්‍රිතාන්‍යයට පැමිණ දශක කිහිපයක්‌ ඇතුළත, එනම් 1614 වන විට ලන්ඩනයේ දුම්කොළ අලෙවි සල් 7000ක්‌ පමණ තිබූ බව හෙළි වී ඇත. එය මෙහි ජනප්‍රියතාව සඳහා මනා සාධකයකි. දුම්කොළ භාවිතය කිසියම් ආකාරයක මෝස්‌තරයක්‌ ලෙස පිළිගැනීමට ලක්‌ වූ බවට මේ අනුව සාධක තිබේ.

දුම්කොළ ශාකය බොහෝ පුළුල් පාරිසරික තත්ත්ව යටතේ වැවිය හැකි ශාකයකි. ඒ නිසා විවිධ දේශගුණික කලාපවල වැවේ. මේ නිසා ගත වූ වසර පන් සියයක පමණ කාලය තුළ එය ලෝකය පුරා ව්‍යාප්ත වීම දැකිය හැකි විය. පෙරදිග ප්‍රදේශවලට දුම්කොළ හඳුන්වා දෙන ලද්දේ ද පෘතුගීසින් හා ස්‌පාඤ්ඤ ජාතිකයන් විසිනි. ඒ 16 වැනි හෝ 17 වැනි සියවසේ මුල් භාගයේ දී පමණ ය. පෘතුගීසි ජාතිකයන් ඉන්දියාවට දුම්කොළ හඳුන්වා දුන්නේ ද මේ කාලයේ දී බව ද විශ්වාස කරනු ලැබේ.

අපේ රටට දුම්කොළ හඳුන්වා දෙන ලද්දේ පෘතුගීසින් විසිනි. පෘතුගීසි හමුදාවේ සිටි ජොආඕ රිබේරෝ නම් නිලධාරියකු විසින් රචනා කරන ලද කෘතියේ සඳහන් වන ආකාරයට 1638-1640 අතර කාලයේ දී ලංකාවේ වෙරළබඩ පෘතුගීසී පාලන ප්‍රදේශවල ඉහළ ම නිලධාරියා හෙවත් කපිතන්-ජනරාල් තනතුර දැරූ දොන් අන්තෝනියෝ මස්‌කරඤ්ඤස්‌, හමුදාවේ සිටි සියලු දෙනා දුම්කොළ භාවිත කළ යුතු බවට නියෝග දී ඇත. ඒ එක්‌ රෝගයක්‌ සඳහා ප්‍රතිකර්මයක්‌ ලෙසය. එසේ ම යුද්ධ හා ආක්‍රමණ කාලවල දී දුම්කොළ මිල ඉහළ ගිය බව ද ඇතැම් පෘතුගීසි වාර්තාවල සඳහන් වේ. ඒ අනුව දුම්කොළ සඳහා වූ වෙළෙඳපොළක්‌ ඉක්‌මනින් නිර්මාණය වූ බව පෙනේ. අපේ රටේ දුම්කොළ වගා කිරීම ද මේ කාලයේ දී ආරම්භ වූ බව විශ්වාස කළ හැකි ය. මෙරට වෙරළබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතේ පැවැති කාලයේ දී ද දුම්කොළ සැලකිය යුතු අංශයක්‌ විය.

http://www.vidusara.com/2012/02/22/feature5.html

No comments:

Post a Comment