ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012.02.08 (Vidusara)
http://www.vidusara.com/2012/02/08/feature3.html
2012.02.08 දින දී පළ වූ මුල් ලිපිය මෙම බ්ලොග් ලිපියේ දී සංශෝධනය කර ඇත. (අවසන්වරට සංශෝධනය කරන ලද්දේ 2021.03.15 දින දී ය).
අපේ ජනමාධ්‍ය මගින් ඔස්සේ පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණු ශීර්ෂ පාඨ කිහිපයක් පිළිබඳව අවධානය යොමු වීම මේ ලිපිය ලිවීම සඳහා මූලික හේතුව විය.
- ‘ප‍්‍රථම’ වතාවට ඉදි කෙරුණු පාවෙන අවන්හල
- ලොවේම ‘ප‍්‍රථම’ වතාවට ගුරුවරුන්ට විශ‍්‍රාම නිවහනක්
- ලෝකයේ බත්කූරන්ගේ ‘දීර්ඝතම’ පර්යටනය
- දකුණු ආසියාවේ ‘උසම’ කුළුණ
- දකුණු ආසියාවේ ‘විශාලතම’ වරාය
- මානව සංවර්ධනය අතින් දකුණු ආසියාවේ ‘පළමු’ තැන
- ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ ‘පළමු’ සූර්ය බලාගාරය
- ‘වැඩිම’ සංචාරක පිරිසකගේ පැමිණීම
මේවායේ දැකිය හැකි විශේෂණ පදය ඇතැම් විට අදාළ බලධාරියකු විසින් එක් කරන ලද්දකි. නැතහොත් වගකිවයුතු ආයතනයක් විසින් පවසන ලද්දකි. එසේත් නැතහොත් අඩු වශයෙන් පුවත්පතේ කර්තෘවරයකු විසින් එක් කරන ලද්දකි.
මෙවැනි විශේෂණ සහිත මේ සියල්ල අපේ රටේ දැකිය හැකි කිසියම් ආකාරයක සුවිශේෂ මානසික තත්ත්වයක් පිළිබඳ නිදසුනක් සපයන බවක් අපට සිතේ. මේ සියල්ල මගින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මෙතෙක් පැවැති තත්ත්වයට හෝ ඉදිකිරීමට හෝ සිදුවීමට වඩා වර්තමාන තත්ත්වය හෝ ඉදිකිරීම හෝ සිදුවීම වඩා සුවිශේෂී බවය. එය එවැනි ‘පළමුවැන්න’ විය හැකිය. නැතහොත් ‘විශාලතම’ හෝ ‘වැඩිම’ දේ විය හැකිය. එසේත් නැතහොත් ‘දීර්ඝතම’ දේ විය හැකිය. එසේත් නැතහොත් ‘උසම’ හෝ විය හැකිය. මේ ආකාරයෙන් මෙතෙක් පැවතියාට වඩා ඉදිරියෙන් පවත්නා බව පෙන්වීමට හෙවත් වාර්තාගත බව පෙන්වීමට සුදුසු (හෝ ඇතැම්විට නුසුදුසු) විශේෂණයක් යොදාගනිමින් අදාළ දේ හැඳින්වීම සිදුවේ. "වාර්තා පේ‍්‍රමය" හෝ "වාර්තා මානසිකත්වය" සේ හැඳින්වීමට හැකි මෙය කිසියම් උන්මාදයක් බවට පත්වෙමින් ඇති බවක් පෙනේ.
මෙහි කිසියම් අපූරු කරුණක් තිබේ. මේ වාර්තාගත බව සඳහා සලකා බැලීමේ දී පළමුව සලකා බලන්නේ ලෝකයේ පළමුතැනට ගත හැකි ද යන්න පිළිබඳවය. ලෝකයේ මුල් තැනට එන්නට නොහැකි නම් ඊළඟට සලකා බලන්නේ ආසියාවේය. ආසියාවේ ද මුල් තැනක නොමැත්තේ නම් ඊළඟට සොයා බලන්නේ දකුණු ආසියාවේ තත්ත්වය පිළිබඳවය. එසේත් නැතහොත් ලංකාවේ මුල් තැනට එන්නේ ද යන්න පිළිබඳවය. මේ කිසිවක පළමු තැනට හෝ විශාලතම දේ නොවන්නේ නම් ඊළඟට සලකා බලනු ලබන්නේ දෙවැනි තැනට එන්නේ ද යන්න ගැනය. ඉන් පෙනෙන්නේ කෙසේ හෝ කැපී පෙනෙන්නට උත්හාසයක් දරණ ආකාරයකි.
මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීම අදාළ ඉදිකිරීම හෝ සිදුවීම හෝ අන් කවරක් හෝ වේවා එය අනෙක් සමාන දේට වඩා ඉස්මතු කිරීම සඳහා දැරෙන උත්සාහයක් ලෙස මෙය හැඳින්වීමට හැකිය. කෙසේ වෙතත් මේ අතරින් ඇතැම් සංසන්දනය කිරීම් සිදුකරනු ලබන්නේ කිසිදු වගකීමක් හෝ ප‍්‍රමාණවත් සොයැබැලීමක් හෝ නොමැතිවය. ඇතැම්විට එවැනි කරුණු පිළිබඳව සංසන්දනය කිරීමක් කළ හැකි තරම් දත්ත පවා නොමැත. එසේම මෙවැනි මැනීම කරනු ලබන්නේ හුදෙක් පුද්ගලිකව හෝ ආයතනික වශයෙන් යම් කැපී පෙනීමේ අවශ්‍යතාවයක් මත බව පෙනේ. ඇතැම් විට මෙවැනි අවස්ථාවල දී අතපසු වීම් හා වැරදි ද සිදුවී ඇති බව ද පෙනේ. පහත සඳහන් සිදුවීම මේ සඳහා යෝග්‍යතම නිදසුන සේ සිතමු.
ජාතික විදුලිබල පද්ධතියට එක් වූ පළමු සූර්යබල විදුලි බලාගාරය කුමක්ද?
ජාතික විදුලිබල පද්ධතියට එක්වූ පළමු සූර්යබල විදුලි බලාගාරය පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ විවෘත වූ බව මාධ්‍යවල වාර්තා විය. එය ඉදිකරන ලද්දේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගොන්නොරුව ප‍්‍රදේශයේ ය. මේ පිළිබඳව සතුටු විය යුතු බව සැබැවි. විශේෂයෙන් දවසේ පැය දොළහක් පමණ කාලයක් තිස්සේ වසර පුරාම පාහේ හොඳින් සූර්යාලෝකය ලැබෙන රටක් ලෙස සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීමට උත්සාහ කිරීම යහපත් මෙන්ම පරිසර හිතකාමී වූවකි. සූර්ය බලයෙන් විදුලිය ජනනය කිරීමේ පිරිවැය තවමත් ඉහළ වුවත් නමුත් පිරිසිදු බලශක්තිය පිළිබඳව සලකා බැලීමේ දී එය වැදගත් කටයුත්තක් වන අතර මෙය අනාගතය වෙනුවෙන් ගත් ඉදිරි පියවරක් සේ හැඳින්වීමට ද හැකිය. ලංකාවේ විවිධ පුද්ගලයින් විසින් සූර්යබල පැනල භාවිත කළ ද එ්වායේ නිපදවන ලද ජාතික පද්ධතියට එක්ව නොමැති බව ද මේ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවල පෙන්වා දී තිබිණි.
එහෙත් හම්බන්තොට ඉදි වූ සූර්යබල බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක්වූ පළමු සූර්යබල විදුලි බලාගාරය ද යන ගැටලූව අපට ඇතිවේ. ඒ 2002 වර්ෂයේ ජනවාරි මාසයේ දී බත්තරමුල්ලට නුදුරු පැලවත්ත ප‍්‍රදේශයේ පිහිටි පුද්ගලික මාධ්‍ය ආයතනයක දී ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක්කරන බව පවසමින් සූර්යබල විදුලි බලාගාරයක් විවෘත වූ නිසාය. එය ද එදා හඳුන්වා දී තිබුණේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කරන පළමු සූර්යබල විදුලි බලාගාරය යනුවෙනි. එහි ආරම්භයේ දී කිලෝවොට් 25ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතව තිබූ අතර ක‍්‍රමයෙන් කිලෝවොට් 100ක් දක්වා ඉහළ නැංවීමට ද නියමිතව තිබිණි. මේ සඳහා ඇමරිකානු ඩොලර් 125,000ක මුදලක් වැය වී තිබුණු අතර එය එවකට ලංකාවේ පැවැති විශාලතම සූර්යබල විදුලි බලාගාරය බව ද පෙන්වා දී තිබිණි. මේ බව ජාතික විද්‍යා පදනමේ සඟරාවේ 2008 නොවැම්බර් මාසයේ පළ වූ විකල්ප බලශක්තිය ලිපියක ද මේ ව්‍යාපෘතිය ලංකාවේ පළමුවැන්න සේ හඳුන්වා දී තිබිණි. මෙයින් නිපදවන ලද විදුලිය සඳහා මුදල් ගෙවන ලද්දේ කුඩා පරිමාන ජල විදුලි බලාගාරයකින් නිපදවනු ලබන විදුලි ඒකකයක් හා සමානවය. මේ අනුව උක්ත බලාගාරය වාණිජමය වශයෙන් ලාබදායක නොවන බව ඒ කාලයේ දීම පෙන්වා දී තිබිණි. (එය සූර්ය බලය ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිල දී ගැනීමේ එකඟතාවල සූර්ය බලය අඩංගු නොවීම නිසා බව ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමරිකාන නියෝජාතියතනය (USAID) වෙනුවෙන් සකස් කරන ලද වාර්තාවක ද සඳහන් විය.)
මේ අනුව ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කළ ප‍්‍රථම විදුලි බලාගාරය කුමක් ද යන්න ගැටලූවකි. යම් ආකාරයකින් පෙර කී 2002 වර්ෂයේ දී විවෘත වූ බලාගාරය පසුව ක‍්‍රියාත්මක නොවූව ද ඉන් පසුව ඉදිකරනු ලබන බලාගාර ‘පළමු’ බලාගාරය සේ හැඳින්වීම ගැටලූ සහගතය. පැලවත්තේ ඉදිකරන ලද බලාගාරයේ නිපදවන ලද විදුලිය ප‍්‍රමාණය අඩු වුවත් ඉන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දී ඇති බව පැහැදිලිය. දැනගැනීමට ඇති අන්දමට එය අදාළ ආයතනයේ ද භාවිත කරමින් ඒ අතර ජාතික පද්ධතියට ද විදුලිය ලබා දීමට හැකි ආකාරයේ බලාගාරයකි.
වාර්තා අවශ්‍ය නම්
අපේ රටට අපේ නමින් වාර්තා අවශ්‍ය වන්නේ නම් සොයැබැලිය යුතු වැදගත් කරුණක් පිළිබඳව ද අපේ අවධානය යොමු කිරීම යෝග්‍ය බව අපි සිතීමු. ඒ අනුව අප සිටින ස්ථානය පිළිබඳ අදහසක් ලබා ගැනීමට උපකාරී වනු ඇත.
නිදසුනක් ලෙස ලෝකයේ සියදිවි නසාගැනීම් වේගය අනුව ශ‍්‍රී ලංකාව 2011 වන විට පසුවන්නේ 11 වැනි ස්ථානයේ බව විකීපීඩියාව පවසයි. 2011 වර්ෂයේ දී රටවල් 107ක් පෙළගස්වා තිබූ මේ ලේඛනය සඳහා ලංකාවේ භාවිත කර ඇත්තේ 1996 වර්ෂයේ දත්ත ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව එම වර්ෂය සඳහා වූ ලංකාවේ වේගය, එ නම් වර්ෂයක දී ජනගහනයෙන් 100,000කට සිදු වූ සියදිවි නසාගැනීම් ගණන, 21.6ක් පමණ විය. වාසනාවකට මෙන් 1985 දී උපරිම වේගයක් වාර්තා කළ සියදිවි නසාගැනීමේ වේගය ඉන්පසු අඩු වී තිබේ. සියදිවිනසාගැනීම් පිළිබඳ 2016 වන විට පැවති තත්ත්වය අනුව මෙහි අඩුවීමක් සිදුව ඇති බව පෙනේ. මේ අගය තවදුරටත් අඩු කිරීම සඳහා පියවර ගැනීම සුදුසුය. උක්ත විකීපීඩියා පිටුව අවසන් වරට පරිශීලනය කළ 2021.03.15 දින වන විට එහි සඳහන් වන්නේ 2016 දත්තය. ඒ අනුව 2016 දී ලංකාවේ වර්ෂයක දී ජනගහනයෙන් 100,000කට සිදු වූ සියදිවි නසාගැනීම් ගණන 14.2කි. ඒ අනුව ලංකාව ලෝකයේ රටවල් 183ක් අතරින් 31 වන තැන ගෙන ඇත. මේ සඳහා සබැඳිය- http://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate වෙත පිවිසෙන්න).
වාර්තා මානසිකත්වයෙන් ඔබ්බට
වාර්තා පිට වාර්තා පිහිටුවීම නොව සැබැවින්ම අපේ රටට අවශ්‍යව ඇත්තේ ගුණාත්මක සංවර්ධනයකි. ඒ සඳහා වැදගත් වන කරුණු අප ද විටින්විට පෙන්වා දී තිබේ. එහෙත් අවාසනාවකට මෙන් අපේ රටේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ සංඛ්‍යාත්මක කරුණු හෙවත් ප‍්‍රමාණාත්මක වර්ධනය කෙරෙහිය. නිදසුනක් ලෙස ගතහොත් වැඩිම සංචාරකයින් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට වළිකන බලධාරීන් පාලනය කළ යුතු තත්ත්වයක තිබෙන සංචාරක ව්‍යාපාරයේ අයහපත් බලපෑම් ගැන නිහඬය. එසේම අපේ රටේ ක‍්‍රියාත්මක අධිවේගී සංවර්ධනය නිසා විනාශවන පරිසරය පිළිබඳව ද විමසා බැලිය යුතුය. තිරසර සංවර්ධනය ඉලක්ක කරගත්තද අපේ රටේ ඇතැම් විට සිදුවන්නේ තිරසර නොවන සංවර්ධන කටයුතුය. මේ නිසා සංවර්ධනයේ ගුණාත්මක බව පිළිබඳව සලකා බැලිය යුතු බව පැහැදිලිය.
කෙසේ වෙතත් මේ වාර්තා හඹා යාම පසුපස ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයක් බව පෙනෙන්නට තිබේ. එය ආණ්ඩුවට හෝ ආයතනයකට හෝ පුද්ගලයකුට කැපීපෙනීමේ හෝ පුවත් මැවීමේ ඇති අවශ්‍යතාවයක් බව පෙනේ.
දේශපාලන අවශ්‍යතාවය කෙසේ වෙතත් දේශපාලනය අතින් නම් අපේ රට පහසුවෙන් නොබිඳිය හැකි වාර්තා තබා ඇති බව පෙනේ. වසර පණහක් පමණ තිස්සේ පළ කරන ලෝ පුරා පිළිගැනීමක් ඇති ගිනස් ලෝක වාර්තා පොතේ ඇතුළත් එක් වාර්තාවක් මෙහි දී වැදගත් වේ. ශ‍්‍රී ලංකාවේ හෝ ශ‍්‍රී ලාංකිකයන්ගේ නමින් ලියැවුණු වාර්තා විසිහයක් ගිනස් වාර්තා වෙබ් අඩවියේ මේ සටහන තබන අවස්ථාව (2012) වන විට දැකිය හැකි ය. ඉන් බහුතරයක් පමණ ක‍්‍රිකට් හා සම්බන්ධය. තවත් කිහිපයක් විවාහ මංගල්‍ය උත්සව හා පුද්ගලික මට්ටමේ දක්ෂතා පිළිබඳව පිහිටුවන ලද වාර්තාය. ශ‍්‍රී ලංකාවේ නමින් ලියැවී ඇති වාර්තා අතරින් කැපී පෙනෙන වාර්තාවක් වන්නේ ‘‘ලෝකයේ විශාලතම කැබිනට් මණ්ඩලය’’ පිළිබඳ වාර්තාවයිි. එය 2005 වර්ෂයේ නොවැම්බර් 17 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද ඇමතිවරුන් 52ක ගෙන් යුක්ත කැබිනට් මණ්ඩලය බව වාර්තාවේ සඳහන්ය (මූලාශ්‍රය - (https://www.guinnessworldrecords.com/world-records/most-cabinet-ministers-appointed-by-a-government/).
අනෙක් අතට මෙහි දී ගිනස් වාර්තා පොතට ද වරදක් සිදු වී තිබේ. අදාළ කැබිනට් මණ්ඩලය පිහිටුවන ලද දිනය වැරදි දිනයකි. නොවැම්බර් 17 යනු අදාළ කැබිනට් මණ්ඩලය පත් කළ ජනාධිපතිවරයා පත් වූ ජනාධිපතිවරණය පැවැත්වූ දිනයයි. ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ද නොවැම්බර් 19 දින ය. අගමැතිවරයා පත් කරන ලද්දේ 22 වන දා වන අතර කැබිනට් මණ්ඩලයේ මුල් ඇමැතිවරුන් විසිපස්දෙනා පත් කරන ලද්දේ 23 වැනි දාය. වාර්තා පිළිබඳව අඟලට, නූලට සලකන බව පවසන ගිනස් වාර්තා පොතටත් වැරදීම වාර්තා මානසිකත්වය තවදුරටත් සමච්චලයට පත් කරන බව පෙනේ.
කෙසේ වෙතත් මේ වාර්තාව අලූත් කරන්නට ඉන්පසුව පිහිටුවන ලද කැබිනට් මණ්ඩල පිහිටුවීමේ දී හෝ සංශෝධනවල දී හෝ උත්සාහ කරන ලද්දේ නැත. එය වාසනාවකි.
No comments:
Post a Comment