Sunday, August 22, 2021

"ඉස්සෙල්ලම මට" (අම්මාගේ කතා 1)

මේක අම්මාම කියපු අම්මාගෙ කතාවක්.

අපෙ අම්මා පවුලෙ බාලයා. ඉතින් ටිකක් හුරතලේට හා ටිකක් හිතුවක්කාරෙට තමයිලු හැදිල තියෙන්නෙ (ඔය දෙවැනි එක නම් මට තියනවා මදි නැතිවම, මොකද මං ඉතින් ඒ අම්මගෙ පුතානේ...).

ඉතින් එයා පොඩි කාලෙ කෑම කනකොට එයාට බෙදල දෙන්න ඕනැලු ඉස්සෙල්ලාම. නැත්තං කන්නෙ නෑලු. මේ එයාගෙ වයස 10-12 කාලෙ වෙන්න ඕන. ඒ කියන්නෙ 1950 දශකයෙ මුල. මේක සෑහෙන කරදරයක් උනාලු එයා‌ගෙ අම්මට (මම දැකලවත් නැති ආච්චිට).

ඉතින් ආච්චි දවසක් මේ ගැන කියලා එයාගෙ මල්ලිට - ඒ කියන්නෙ අම්මගෙ මාමට (මං ඒ සීයාව නං දවස් කීපයක් දැක්කා අසූගණන්වලදි).

ඊට ටික දවසකට පසුව ආපු පාසල් නිවාඩුවෙ අම්ම‌ගෙ මාම, අම්මව එක්කගෙන ගියාලු  එයාගෙ ගෙදරට. දැරණියගල ටවුමට ආසන්න ගමක තිබ්බ අම්මගෙ ගෙදර ඉදල හැතැප්ම කීපයක් දුරයි අර නිවසට - මේ කියන කාලෙ ඒක සෑහෙන දුරක්. වාහනත් අඩුයිනෙ. (මං ඒ ගමට ගියෙ 1980 ගණන්වල)

ඒ අම්මගෙ මාමට හිටපු ළමයි ඔක්කොම වගෙ අපෙ අම්මට වඩා බාල අය. ඉතින් එහෙ හිටපු මාසෙ පුරාම කට්ටියම කෑම කද්දි අපෙ අම්මට කෑම දුන්නෙ අන්තිමටමලු.

ඒ මාසෙ අවසන් වන විට අම්මගෙ අර "මං ෆස්ට්" අසනීපෙ හොඳ වෙලා තිබ්බලු.

අම්ම තමයි මේ කතාව රසකරල කියන්නෙ. 

අපරාදෙ කියන්න බෑ මටත් ඔය ලෙඩේ තිබිල තියනව පුංචි කාලෙ. හැබැයි ඉබේම හොඳවෙලා. හැබැයි පත්තරයක් ගෙනාවොත් නම් හැමදාමත් මං බලල තමයි අනිත් අයට දුන්නෙ. ඒකට කට්ටිය කිව්වෙ "අකුරු අඩුවෙයි" කියලා මං බයේ හිටියා කියලයි.

Thursday, August 12, 2021

"අනේ නාවල යටවෙලා ඇති..."



මේක මට මතක විදියට මම පහළ බාලාංශ පංතියෙදි වූ දෙයක්. ඒ කියන්නේ අද නම් 1 වැනි ශ්‍රේණිය. වයස අවුරුදු 6ක් වන ළමයි ඉන්න පංතියක්.

ඒ කාලෙ අපි හිටියෙ නාවල සේනානායක මාවතේ කුලී නිවසකයි. මේ සේනානායක මාවත ප්‍රධාන පාරට වැටෙන්නේ නාවල හන්දියේ මදක් රාජගිරිය පැත්තට වන්නටයි.

ඒ පාර වැටෙන තැන ඒ කාලෙදි වැස්සට ටිකක් යටවෙනවා. වතුරෙ බැහැල තමයි යන්න ඕන. වතුර පිරුණම මාව පොඩ්ඩක් උස්සලා තියන්නෙ මං පුංචි නිසා.

ඉතින් මේ කියන දව‌සෙ මං පාසලේ ඉද්දි මහා වැස්සක් වැටුනා. ඒ පාසල අවසන් වන්නට ආසන්න වෙලාවෙ වගේ. ඉතින් ඉස්කෝල දැන් ඇරිලා, ඒත් එළියෙ වහිනවා. මාව එක්කන් යන්න එන්න ඕන අම්මා තවම නෑ. පරක්කුයි. මං එළිය දිහා බලමින් හිටියෙ - ඒ දර්ශනය මතක නිසා තමයි මං හිටපු පංතිය මතක් වන්නේ.

පංතියෙ ටීචර්ත් ඉන්නවා. ළමයිත් කීප දෙනෙක් ඉන්නවා. 

දැන් මට දරාගන්න බෑ. බයයි. මං ඇඬුවා හොඳටම... මෙන්න මෙහෙම කියමින්...

"අනේ නාවල යටවෙලා ඇති... අම්මා ගිලිලද දන්නෙ නෑ" කියලා.

මේ කතාව අම්මා ආවම ටීචර් කිව්වා. අම්මත් මං දිහා බලලා හිනා උනා වගෙ මතකයි.


(මේ සමඟ දැක්වෙන 2015 ඔක්තෝබර් ගත් Google Earth ඡායාරූපයේ දැක්වෙන්නේ සේනානායක මාවත ප්‍රධාන මාර්ගයට එක්වන හන්දියයි. නාවල හන්දිය දෙසට ද රාජගිරිය දෙසටද ඇති මාර්ග උස් බැවින් මෙතැන වම් පස බස් නැවතුම අසල එකල වැසි දිනවල දී වතුර එකතු විය. දැන් තත්ත්වය නොදනිමි)

ධනේෂ් විසුම්පෙරුම 

12.08.2021

Friday, July 2, 2021

අහස හා සිත


සුදු-අළු-නිල්
එළිය-අඳුර පිරි
පැහැදිලි-අපැහැදිලි
අහස වගෙමයි
.
.
.
සිතත්...


ධනේෂ් විසුම්පෙරුම

02.07.2021


Wednesday, June 30, 2021

ගස්ලබු ගහ දිගේ ඉස්කෝලෙන් පැනිල්ල (ඉස්කෝලෙ කතා 8)


මේක අපේ පාසලේදි 1980 ගණන්වල මුල සිදු වූ කතාවක්. මට කීවෙ ඒ කතානායකයාමයි!

ඕනම පාසලක පාසල් භුමියෙන් එළියට යන්න ක්‍රම කීපයක් තියනවනේ.  

එකක් තමයි නිසි අවසරයක් ලබාගෙන ගේට්ටුවෙන් බැහැර යෑම (ඒකට ව්‍යාජ අත්සන් දැමීම වෙනම කාරණයක්)

දෙවැන්න තමයි ගේට්ටුවෙන් නොවන ක්‍රමවලින් බැහැර යෑම (තාප්පයෙන් පැනීම, තාප්පෙ කැඩුණු තැන්වලින්, පූල් ‌ගේට්ටුවෙන් වගේ)

***

ඉතින් දවසක් මං කියන කතාවේ කතානායකයා ඔය දෙවන ක්‍රමයට පාසලෙන් එළියට යෑමට හිතුවා. (මොකටද යන්න ගියෙ කියල නං කීවෙ නෑ)

ඒකට එයා තෝරගත්තෙ විශේෂ තැනක්. අපේ පාසල අසලින් යන, පාසලේ නමින්ම තියන අතුරු පාරෙ මහ ගස් තියන නිසා මේ කියන තැන එතරම් පේන්නෙ නෑ. අනෙක මේ ස්ථානය ප්‍රධාන ගේට්ටු දෙකටත් ටිකක් ඈතයි.

හැබැයි එතන තාප්පෙ ටිකක් උසයි. ඒත් වාසනාව කියන්නෙ තාප්පෙ අයිනේ පාසල ඇතුළෙ ගස්ලබු ගහක් තිබිලා. ගහේ ආධාරයෙන් තාප්පෙ උඩට නැගලා එළියට යන්නයි තියෙන්නෙ. 

ඉතින් දවසක් මේ කියන තරුණයා ඇතුළු කීප දෙනෙක් පාසලෙන් කලින් යන්න හිතිලා ගහ අල්ලන් තාප්පෙට නැගලා අනිත් පැත්තට පැන්නලු.

පැනල පාර පැත්තට හැරුණ විතරයි එතන නියෝජ්‍ය විදුහල්පති තුමාලු! මදැයි... පුදනකොටම කාපි ....කිව්වලු.

එතුමා දුන්න දඬුවම තමයි අපූරු... 

එතුමාගෙ අණ තමයි "තමුන් ආපු විදියටම ඇතුළට යනව" කියන එක. මදැයි කළා...දැන් ඒ පැත්තෙන් ආපසු යන්න පාර පැත්තේ සපෝට් එකට ගහක් ගලක් නෑ. 

මොකක් කරන්නද ඉතින් දඬුවමක්නෙ... අපි එක්ක කියපු විදියට, අපේ කතා නායකයා එදා අත පයත් හූරගෙන තමයි ඇතුළට ගිහින් තියෙන්නේ...

පසු සටහන - අද එතුමා විශිෂ්ටයෙක්. අර විදියෙ වැඩක් කළා කියල දන්න කෙනෙක් හිතන්නෙ නෑ!

(ඡායාරූපයේ දකුණු පැත්තෙ පේන හරියෙ තමයි ේ සිදුවීම වුන බව කියන්නෙ)

Tuesday, June 22, 2021

අම්මලා දූලා කරන්න සබන්වලට බැරි උනත්... (කට කැඩිච්ච කතා 06)



සබන් කතාවක් මතක් උනා... මේක මං අහපු එකක්.

අපි අනූ ගණන්වල මුල හරියෙ වගෙ එක්තරා සුවඳ සබන් වර්ගයකට අපූරු දැන්වීමක් තිබ්බා. 

ඒ දැන්වීමෙ කියන විදියට ඒ සබන් වර්ගය පාවිච්චි කරනව නම් අම්මයි දූයි කවුද කියලා අඳුනගන්න බැරි වෙනවා... මොකද ඒ තරමට අම්මගෙ පෙනුම තරුණව තියාගන්න පුළුවන්ලු ඒ සබන් ගෑවොත්! මං හිතන්නෙ ඒ නිසා ඒ සබන් එකත් ටිකක් නැගලා ගියා. 

ඉතින් එක්තරා උසස් පෙළ පන්තියක* ඉතාම ජනප්‍රිය සර් කෙනෙක් දවසක් මේ දැන්වීම විවේචනය කළා...

"ඔය සබන් ජාති ගාල අම්මලා දූල වගෙ කරන්න පුළුවන්ද? බෑනෙ.

හැබැයි දූල අම්මල කරන්න නම් ලේසියෙන් පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙ නෑ. 

සබන් ඕනත් නෑ"

එදා ඒ පංතියෙ හිටපු දූලා ගෙදර ගිහින් අම්මලාට කීවද දන්නෙ නෑ ඒ කතාව.

* මේක උනේ විද්‍යාව පංතියක නම් නෙමෙයි.


ධනේෂ් විසුම්පෙරුම

2021.06.22

Saturday, June 19, 2021

මගේ හිසටම කඩා පාත් වූ පූසෝ...

අනාරාධිතව අපේ ගෙදර පදිංචි වී සිටින පූසන් ගැන වරින්වර මම ෆේස්බුක් පළ කිරීම් කීපයක් දැමීමි. බොහෝ දෙනා ඒවා රසවින්ද අතර දැන් ඒ පූස් කතා මගේ ඔලුවටම කඩා පාත් වන්නට ගෙන ඇත.

ඒ මෙසේය. 

ටික දවසකට පසු මට හමු වු එක් රජයේ ආයතනයක සේවය කරන යෙහෙළියක්, සිනා වී මෙසේ කීවාය.

"මට අයියව දැක්කම මතක් වෙන්නෙ අයියගෙ පූසව"

අනේ අපොයි කියා මට සිතිනි. මට වඩා පුසාව මතකයි එයාට! (ඒ කියන්නෙ පින්තූරවල වැඩියෙන් හිටපු සුදුයි තැඹිළියි දෙකම තියන පුසා - පිස්සු පූසා හෙවත් "පිපූ" හෙවත් ඇන්තනි...)


ආයෙත් දවසක ඈ මෙසේ විමසුවාය.

"අයිය රටවත් ගියාද?" 

"මොකක්?" අන්දුන් කුන්දුන් වූ මම විමසීමි. 

"ඇයි අර අයියා 'ගුවන් ගතව එමි' කියලා කියල තිබ්බෙ? මං හිතුව රටවත් ගියාද කියලා.."

එයා දැකල තියෙන්නෙ මේ පෝස්ටුව!



පූසා ගුවන්ගත වෙන හැටි ගැන කවියක් ලියූ එක එයා තේරුම්ගත් හැටි එසේය.

මං මේ තවත් පුසෝ  ගැන ලියනවාද කියලා හිතෙනවාය...


කෝකටත් පූස් ස්ක්‍රීන් ෂොට් ටික මෙතැනට එක් කරමි.

"සාලයො නැති වු දවසක මං එළියට යනකොට..."


"සාලයො ගෙදර නැතිව බිස්කට් දුන්නම..."


"මේ ඉන්නෙ වයස එක්කෙනා. හැබැයි චණ්ඩියා"


"සාලයෝ ගේනකම් බලා ඉන්න පැතුම (මේ සුදු පුසි දැන් නැහැ)"



"මං ගෙදර ආපු වෙලාවක දාපු පිළිගැනීමක්"


"මාළු නැති දුක පළ කරමින් "


"නුගසෙවනේ දී..."


"එයා එනකම් මග බලන් උන්නු හැටි..."


"සැපෙන් සනීපෙන් වාහනේ යෝග්‍ය භාවිතයක"


"Online බඩු ඇවිත් නැති ශෝකය"





Wednesday, May 19, 2021

මානව සංස්කෘතික හා තාක්ෂණික දියුණුව ඇති වුයේ කොතැනකද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2021.05.19, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/05/19/feature6.html

නූතන මානව පරිණාමයේ කිසියම් කාලයක ඔවුන් සංස්කෘතිකමය හා නිර්මාණාත්මක කටයුතුවල යෙදීම ආරම්භ කර තිබෙයි. මෙම සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික හැසිරීම් (complex symbolic and technological behaviours) පැවතීම, නූතන මානවයාගේ දැකිය හැකි, ඔහුව අනෙකුත් මානවයින්ගෙන් වෙන්කර ගත හැකි අනන්‍ය ලක්ෂණ අතර වෙයි. ඒ තත්ත්වය ඇති වූයේ හා දියුණු වූයේ කුමන කාලයක දිද යන්න හා කිනම් ප්‍රදේශයක දී ද යන්න ගැන විද්‍යාත්මක පර්යේෂණ ලෝකය පුරා සිදුකෙරේ. ඒවායින් වැදගත් කරුණු අනාවරණය වෙයි. 

මේ හා සම්බන්ධව මෙතෙක් පැවති සාධක අනුව සංකේත හැසිරවීම සම්බන්ධ පැරණිම සාධක අදින් වර්ෂ 100,000ක් පමණ පැරණිය. ඒ දකුණු අප්‍රිකාවේ දකුණු දිග වෙරළාසන්නයේ පිහිටා ඇති බ්ලොම්බොස් (Blombos) ලෙන්වලින් හමු වී ඇති වර්ණ සකසන සැකසුමක් හා කැටයම් කරන ලද හිරියල් (ochre) ගල්ය. එසේම වර්ෂ 60,000ක් පමණ පැරණි බවට කාලනිර්ණය කරන ලද පැස්බර බිත්තර කටු දකුණු අප්‍රිකාවේ බටහිර වෙරළේ ඩීප්ක්ලූෆ් (Diepkloof Cave) නම් ලෙනෙන් ලැබී ඇත. 

උක්ත ස්ථාන දෙකම පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයට ආසන්නවය. මේ අනුව මානවයින් සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික සොයාගැනීම් වැනි සංකීර්ණ හැසිරීම් රටා වර්ධනය වීම සිදු වූයේ වෙරළ තීරය ආසන්න ප්‍රදේශවල බවත් ඊට මුහුදු ආහාර අතර සම්බන්ධයක් තිබිය හැකි බවට අදහස් පළ විය. වෙරළ ආසන්නව විසූ උක්ත නිර්මාණ කළ මානවයින් විශාල ලෙස බෙල්ලන් හා මසුන් විශාල ලෙස ආහාරයට ගත් බව අනුමාන කිරීම සාධාරණය. මොළයේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක සහිත වූ මුහුදු ආහාර ලබාගතහැකි වූයේ ඒ ජනවාස පැවති ප්‍රදේශ සාගරයට ආසන්න වීම නිසාය. ඒ අනුව මේ ප්‍රදේශය මානව හැසිරීමේ වෙනස්කම් කළ ප්‍රදේශයක් යන අදහස උපකල්පනය කර තිබිණි. 

කෙසේ වෙතත් පසුගියදා වාර්තා වූ පර්යේෂණයකට අනුව මේ අදහස අභියෝගයකට ලක්ව ඇත. 

ගොඩබිම අභ්‍යන්තරයෙන් හමු වූ සාධක

අප මාතෘකා කරගන්නා අලුත්ම පර්යේෂණය සිදු වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙරළෙන් ඈත කලහාරි කාන්තාරයේ දකුණු දිග ප්‍රදේශයේ සීමාවට ආසන්නව පිහිටා ඇති ස්ථානයකයි. වෙරළේ සිට කිලෝමීටර් 660ක් පමණ ඈතින් පිහිටා ඇති එම පුරාවිද්‍යා ස්ථානය ගා-මොහානා (Ga-Mohana) කඳු පදේශයේ පිහිටා ඇති ලෙනකි. එම ස්ථානයෙන් ලැබී ඇති වැදගත් ද්‍රව්‍ය අතර කැල්සටයිට් ස්ඵටික හා පැස්බර බිත්තර කටු කැබලි විය. එම ද්‍රව්‍ය ඇතුළත් ස්තර ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා (optically stimulated luminescence)  ක්‍රමයට කාලනිර්ණය කර ඇති අතර, ඒ අනුව ඒවා අයත්වන්නේ අදින් වසර 105000ක් පමණ පෙර කාලයකට බව එහි දී හෙළිවී ඇත. එය ඉහත සඳහන් කළ සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික හැසිරීම් හමුවන පැරණිතම සාධක හමුවන කාලය හා  සමාන වූ කාලයකි. ඒ අනුව වෙරළ තීරයේ විසු මානවයින් අතර මෙවැනි හැසිරීම් ඇතිවීම ආරම්භ වූ බවට ඇති අදහසට අභියෝගයක් ඇති වී තිබෙන බව පැහැදිලිය.


එම කැනීමේ දී හමු වී ඇති සුදු කැල්සයිට්වලින් නිර්මිත ස්ඵටික විසි දෙක කිසියම් ආකාරයකින් සමාන ජ්‍යාමිතික හැඩයක් ගන්නා ඒවාය. එම ස්ඵටිකවල වැදගත්කම වන්නේ ඒවා එම ස්ථානයෙන් ස්වාභාවිකව හමු වූ ඒවා නොවීම නිසාය. ඒවා අතීත මානවයින් විසින් වෙනත් ස්ථානවලින් එකතු කර එම ස්ථානයට ගෙනැවිත් ඇති අතර, කිසිදු වෙනස්කමක් සිදු කර ඇති බවට සාධක නැත. එම කැල්සයිට් ස්ඵටික එදිනෙදා කාර්යයක් පිණිස නොව කිසියම් විසිතුරු කටයුත්තක්  සඳහා යොදාගත් බව සිතිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය කිසියම් චාරිත්‍රයක් සඳහා භාවිත වූවක් විය හැකිය. ඒවා තැන්පත් කිරීම ද එසේ සංකේතාත්මක හැසිරීමක් වූයේ නම් ඔවුන්ගේ හැසිරීම අනුව ඔවුන් වඩා නූතන මිනිසුන්ට වඩා ලං වෙයි. එවැනි ස්ඵටික අප්‍රිකාවේ වෙනත් මානව ජනාවාස පැවති ස්ථානවලින් ද හමු වී ඇති නමුත් ඒවායේ කාලනිර්ණය අනුව අදින් වර්ෂ 80,000කට වඩා අඩු කාලයකට අයත්ය.

මෙවැනි ද්‍රව්‍ය එකතු කිරීම වර්තමාන සමාජයේ ඉතා සාමාන්‍ය දෙයකි. එහෙත් එදා එම ස්ඵටික වැනි ද්‍රව්‍ය එකුතු කිරීම හා භාවිතය වැනි හැසිරීමක් ඒ අතීතයේ ඉතා දුර්ලභ අවස්ථාවක් විය. ඒ මෙවැනි භාවිතය අත්‍යාවශ්‍යය නොවන ද්‍රව්‍ය භාවිතය සංකේතභාවිතය, කලාව හා සංස්කෘතිය හා සම්බන්ධ වන බැවිනි.

පුළුල් පර්යේෂණවල අවශ්‍යතාවය

මේ පර්යේෂකයන් පෙන්වා දෙන වැදගත් කරුණක් වන්නේ මානවයන්ගේ මධ්‍ය ශිලා යුගයේ දී සිදු වු සොයාගැනීම් වැනි දියුණු වීම් පිළිබඳ සාක්ෂි සොයාගැනීම සඳහා සම්පුර්ණ අප්‍රිකා මහාද්වීපය ආවරණය වන ආකාරයේ සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බවයි. අපේ මානවයාගේ සංස්කෘතික පරිණාමය ගැන කරුණු අනාවරණය කරගතහැකි සුදුසුම ක්‍රමය මේ බව පැවසේ. 

අප්‍රිකාවේ පැරණි ස්ථාන තවදුරටත් ගවේෂණය කිරීමේ දී හා අධ්‍යයනය කිරීමේ දී තවත් බොහෝ තොරතුරු හමුවනු ඇති බව සිතිය හැකිය. විශේෂයෙන් අප්‍රිකාවේ දකුණු දිග ප්‍රදේශයේ ගොඩබිම ඇතුළට වන්නට පිහිටා ඇති ස්ථාන ගවේෂණය කිරීම සිදුව ඇත්තේ අඩු වශයෙනි. අනෙක් අතට නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශවල ගවේෂණය හා අධ්‍යයනය කර නැත්තේ වෙරළබඩ ප්‍රදේශයයි. මේ නිසා සම්පූර්ණ අප්‍රිකානු මහාද්වීපයම ආවරණය වන ආකාරයේ පර්යේෂණ වැදගත්බව පෙන්වා දී තිබෙයි.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-021-03419-0

Tuesday, May 11, 2021

පිටකෝට්ටේ MOH කාර්යාලයට මල් මිටක්!




අද, එනම් 2021 මැයි මස 11 වන දා, Sinopharm වැක්සින් එක විද ගැනීමට මට අවස්ථාව ලැබිණි. ඒ මා පදිංචි ගම අයත් වන MOH හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වන, බැද්දගානේ පිහිටා ඇති පිටකෝට්ටේ MOH කාර්යාලයෙදීයි.

මීට පෙර වතාවක් ද මේ ගමට එන්නත් ලබාදීමට සූදානම් තිබුණත් එය අවලංගු කරනු ලැබිණි. ඒ නිසා අද ලැබුණු අවස්ථාවේ පැය හතරක පමණ කාලයක් ගතකර එන්නත ලබාගැනීමට හැකි විය.

මේ සටහන තබන්නේ ඒ කාර්යයට සම්බන්ධ වූ සියලුම නිලධාරින්ට ස්තුති කිරීම සඳහායි. ඒ ඔවුන් සිය රාජකාරි කටයුත්ත ඉතාම සංවිධානාත්මකව හා ඉතාම වගකීමෙන් ඉටු කළ බැවිනි. 
  • ඔවුන් ඉතාම ආචාරශීලී අන්දමින් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබීම ඉතා අගනේය. පෝලිමේ අතරමග මීටරයේ පරතරය තබාගන්නට, ආකෘති පත්‍ර පිරවිය යුතු ආකාරය, එහි අඩුපාඩු නිවැරදි කිරීම, එන්නත ලබාගත් පසු කළ යුතු දේ ගැන උපදෙස් දීම ආදිය මේ උපදෙස් අතර විය. (මීටරයේ පරතරය නම් තබාගත්තෙ නෑ වගෙයි බැලූ බැල්මට පෙනුණෙ). කොටින්ම කීවොත් අත උඩ තියාගනෙ හෝ බිත්තියක තියාගෙන ආකෘති පත්‍රය පිර වූ අයට ඒකට සුදුසු තැන් ඇති බව පවා පෙන්වා දීමට තරම් මේ නිලධාරීන් කාරුණික වූ බව කිව යුතුයි.
  • අවශ්‍ය තැන්වල නිලධාරීන් සේවයේ යොදවා තිබිණි. ආකෘති පත්‍රය ලබා දීමට, එය පුරවා ලබා දී කාඩ් පත ගැනීමට යොමුකිරීම පවා මනාව සංවිධානය කර තිබිණි.
  • වැඩිම කාලයක් ගත වනුයේ කාඩ් පත ලිවීමට යන කාලය අඩු කිරීම සඳහා සැලකිය යුතු නිලධාරීන් පිරිසක් ඒ සඳහා වෙන් කර තිබිණි.
  • එතැනින් එන්නත විඳගැනීමට යොමු කිරීමත් එන්නත විදීමත් ඉතාම කාර්යක්ෂමව සිදුවිය. එන්නත විඳීමෙන් පසුව කළ නොකළ යුතු දේ ගැන උපදෙස් දීම ඉතාම පැහැදිලිව කණ්ඩායම් වශයෙන් ලබා දීීී නිලධාරිනියක්ට යොදවා තිබිණි.
  • යම් සංකූලතාවක් ඇති වේදැයි බලන්නය මිනිත්තු විස්සක් ගත කර එතැනින් පිටවීමට කීවත්, ඒ අතරත් ඇවිත් ආබාධ තියනවද කියලා විටින් විට මතක් කිරීමත් පැසසුම් කටයුත්තක් උනා.
සමස්තවක් විදියට ආකෘති පත්‍රය ලබාගැනීමේ සිට එන්නත විදගැනීම සඳහා ගතවූයේ පැය බාගයක් පමණ කාලයක්. ගමේ අයගේ හැසිරීමත් ඉතාම ඉහළ මට්ටමක තිබූ බව සඳහන් කළ යුතුයි.

තවත් කරුණක් කියන්න ඕන, මිත්‍රයෙක් කී දෙයක් නිසාම - මේ වතාව තනිකරම අපේ ගමට පමණක් සීමා කර තිබිණි. වෙනත් ගම්වල අය පැමිණීම වළක්වන්න ගත් පියවර මෙසේය. 
  • ඊයේ සවස/රාත්‍රියේ ගම පුරා ධාවනය වූ ත්‍රීවීල් එකකින් පැමිණ හෙට දින එන්නත් ලබා දෙන්නේ මේ ගමේ (ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක්) අයට පමණක් බව නිවේදනය කිරන ලදි.
  • උදේ 8.45ට වන විට මීටර් 300ක් පමණ වූ පෝලිමක් අසලට පැමිණි ත්‍රීවීල් එකකින් එන්නත දෙනු ලබන්නේ මේ ගමේ අයට පමණත් බව යළිත් දැනුම් දුන් බැවින් සෙසු ගම්වලින් පැමිණ අය හැරී ගියා.
  • පෝලිමේ යන විට තැන් තැන්වල සිටි නිලධාරිනුත් ඒ බව මතක් කළා. තැනක දෙකක ඒ ගම්වල නම් සඳහන් බෝඩ් ද තිබිණි. 
  • එන්නත විදගැනීම සඳහා වූ ආකෘති පත්‍රය දුන්නෙ ජාතික හැඳිනුම්පතෙන් පදිංචිය බලලයි.
  • NIC එකේ ඇති වෙනස් ලිපිනයක් ඇති, ඒත් මේ ගමේ පදිංචිය අය ඒ බව තහවුරු කරන්න තම නමට ලිපිනය ඇති බිල් අරන් ඇවිත් තිබුණත් ඒත් අදාළ ග්‍රාම නිලධාරී ලවා ඒ බව සහතික කරගන්න ඔවුන්උව යොමු කරනු ලැබිණි. ග්‍රාම නිලධාරීනීහු දෙදෙනාම අද දවසම සේවයේ සිටියෝය.
පැය තුන-හතරක්හ පෝලිමේ සිට අපි එන්නත ලබාගත්තත්, ඔවුන් පැය අටක්වත් එක දිගට සේවයේ සිටි බව සඳහන් කළ යුතුයි. ඇතැම් අය ආරක්ෂිත ඇඳුම් ඇදගෙන සිටි අයයි. මදක් විවේක ගත්තත් සමහරු වැඩිකාලයක් සිටගෙනම බව දැකිය හැකි විය. දන්නා තරමින් හෙටදින තවත් ගමක ජනතාවට ඔවුහු මේ සේවය සපයති.

ඉතින් මේ කාර්යයට සම්බන්ධ වූ සියලු නිලධාරීන්ට ස්තුතියි! 🌹


පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලයට, ග්‍රාම නිලධාරිනීන් දෙපළට, පොලීසියේ හා සිවිල් ආරක්ෂක නිලධාරින්ට ඒ ස්තුතිය හිමිවේ. (තවත් නොදන්න නිලධාරින් හිටියා නම් ඔවුන්ටත් ස්තුතියි).

සමාජ මාධ්‍යයේ මෙන්ම සෙසු ජනමාධ්‍යවල ද නිතරම විවේචනයට ලක් වූව ද, රාජ්‍ය සේවයේ උපරිම සේවයක් කරන නිලධාරීන් ඇති බව මෙහි දී සඳහන් කළ යුතුය.

ධනේෂ් විසුම්පෙරුම

2021.05.11

Wednesday, April 28, 2021

ලෝකය බේරාගැනීම සඳහා නිර්මාංශ ආහාර

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 28.04.2021, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2021/04/28/feature2.html





මිනිසුන්ගේ ආහාර වේලට එක්කරන මාංශමය ආහාරවල පරිසර බලපෑම බොහෝ කලක සිට සාකච්ඡාවට ලක් වී ඇති කරුණකි. විශේෂයෙන්, විවිධ මස්වර්ග නිෂ්පාදනයේ දී ඒ සඳහා වැය වන ජලය, අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය වැනි විවිධ කරුණු මගින් මස් නිෂ්පාදනවල පරිසර පියසටහන අධික බව තහවුරු වී තිබිණි.

මෙවැනි 2018 වර්ෂයේ දී සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබුනේ, මස් හා කිරි නිෂ්පාදනය සිදුනොකරන්නේ නම් ලෝකයේ පවත්නා ගොවි බිම් ප්‍රමාණය 75%කින් පමණ අඩු කළ හැකි බවයි. එම ගොවි බිම් ප්‍රමාණය ඇමරිකාව, චීනය, යුරෝපා සංගමය හා ඔස්ට්‍රේලියාව යන සමස්ත භූමි ප්‍රදේශයට සමානය. ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති බිම් ප්‍රමාණය ගැන අපට අදහසක් ලබා ගත හැකිය. එහෙත් ගොවි බිම් ප්‍රමාණය එසේ අඩු කළ ද ලෝක වාසීන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සැපයීමට හැකියාව පවතී. එමෙන්ම ඒ සඳහා වැය වන සෙසු සම්පත් ප්‍රමාණය ද ගත් විට මෙය පාරිසරික වශයෙන් වැදගත්ය. උක්ත පර්යේෂකයන් පෙන්වා දී තිබුනේ මස් හා කිරි ආහාරවලින් වැලකීමෙන් අපේ පරිසර බලපෑම අඩු කරගත හැකි තනි විශාලතම ක්‍රමය ලෙසයි. එම අධ්‍යයනය හඳුන්වා දී තිබුනේ ගොවිපොළ මගින් පරිසරයට සිදුවන බලපෑම ගැන සිදුකරන ලද වඩාත් සවිස්තර වූ අධ්‍යයනයක් ලෙසය. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.aaq0216)


සත්ත්ව ආහාර නිෂ්පාදනය සම්බන්ධව අපේ රටේ ද අපි මේ සමහර ගැටලු දකිමු. ගොවිපොළ සතුන්ට ප්‍රමාණවත් තරම් තණ බිම් නොමැති වීම නිසා ස්වාභාවික පරිසර පද්ධති මෙන්ම ආරක්ෂිත ප්‍රදේශ ද ඒ සඳහා යොදා ගැනෙයි. එබැවින් ආරක්ෂිත ප්‍රදේශ මෙන්ම වනජීවීන්ගේ පැවැත්මට ද මේ නිසා අවදානමක් ඇති වී ඇත. එසේම මෙවැනි අවස්ථාවලදී ඇතැම් විට පරිසර ප්‍රතිපත්ති හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති ගැටේ.


නිර්මාංශ වීම හා හරිතාගාර වායු විමෝචන


ලෝකයේ සියලු දෙනා හෝ වැඩි දෙනා නිර්මාංශ ආහාර රටාවකට යොමු වුවහොත් එමගින් පරිසරය රැකගත හැකිද? එහි යම් සත්‍යයක් ඇත. මස් ආහාරවල පරිසර සලකුණට බලපාන එක් අංගයක් වන්නේ එහි මස් නිෂ්පාදනයේ හරිතාගාර වායු විමෝචනය. නිර්මාංශ ආහාරයට යොමු වීමෙන් හෝ මස් හා කිරි ආහාර අඩු කිරීම මගින් පුද්ලයෙකුගේ, රටක මෙන්ම ලෝකයේ ද හරිතාගාර වායු විමෝචන අඩු කරගැනීමට හැකියාව ඇත.

එක්සත් රාජධානිය පාදක කරගනිමින් කරන ලද 2012 වර්ෂයේ පළ වූ එක් අධ්‍යයනයක දී මේ සම්බන්ධ ප්‍රමාණාත්මක අදහසක් ලැබී ඇත. එහි දී මස් ආහාර ගන්නා ප්‍රමාණය අනුව කොටස් පහකට බෙදන ලද පාරිභෝගික නියැදියක, වැඩිම මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා ඉහළම කොටස හා අඩුම මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා පහළම කොටස ගැන සංසන්දනය කර ඇත. ඒ අනුව ඉහළම කණ්ඩායම පහළම කණ්ඩායමට වඩා 2.5 ගුණයක් වැඩි මස් ප්‍රමාණයක් ආහාරයට ගෙන තිබෙයි. ඒ අනුව ඊට අදාළ හරිතාගාර වායු විමෝචන සැලකිල්ලට ගැනීමෙන් මස් ආහාරයට ගැනීම අඩු කිරීමෙන් ඒක පුද්ගල හරිතාගාර වායු ප්‍රමාණය 3%කින් පමණ අඩු කිරීමට හැකි බව පෙන්වා දී තිබෙයි. එසේ එක් පුද්ගලයෙකුට වසරකට අඩු වන හරිතාගාර වායු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් ටොන් 0.45ක් පමණ වේ. (මූලාශ්‍රය - BMJ Open, DOI: 10.1136/bmjopen-2012-001072)

ලෝකයේ ඒක පුද්ගල ගව මස් පරිභෝජනය අතින් දෙවැනි තැන සිටින ආර්ජන්ටිනාවේ සිදුකරන ලද 2018 දී පළ වූ අධ්‍යයනයක දී ද මස් ආහාර අඩු කිරීමෙන් අඩු කළ හැකි හරිතාගාර වායු විමෝචන ගැන කරුණු හෙළි වී ඇත. වර්තමානයේ එරට දැකිය හැකි ආහාර රටාව අනුව, ආහාර හා සම්බන්ධ ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන අධිකය. එරට එක් වැසියෙකු එක් දිනකට ලබාගන්නා ආහාරවල හරිතාගාර වායු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 5.48කට සමාන වේ. එයින් 71%ක් පමණ ගව මස් නිසාය. ඔවුන් දිනකට මස් පරිභෝජනය කරන ප්‍රමාණය 50%කින් අඩු කළ හැකි නම්, ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, කිලෝග්‍රෑම් 3.95ක් දක්වා හෙවත් 28%කින් අඩු කළ හැකිය. එමෙන්ම සෞඛ්‍යමත් හා සමතුලිත ආහාර වේලක් පවත්වා ගනිමින් තවදුරටත් ආහාර හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචන අඩු කළ හැකිය. එළවළු පමණක් ආහාර ගන්නා පුද්ගලයෙකුගේ දෛනික හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය කිලෝග්‍රෑම් 1.47ක් තරම් අඩුය. (මූලාශ්‍රය - Food Policy, DOI: 10.1016/j.foodpol.2018.05.003)


ශාකමය ආහාර සඳහා පෙළඹවීමක් තිබේද?


එහෙත් මේ ආකාරයෙන් ශාකමය ආහාර හෙවත් නිර්මාංශ ආහාර සඳහා වැඩි වශයෙන් යොමු වීම පරිසර හිතකාමී වුව ද ඒ සඳහා සමාජයේ කැපී පෙනෙන පෙළඹවීමක් දැකිය නොහැක. මෙය බොහෝ රටවල දැකිය හැකි ඇති ගැටලුවකි. එසේම ලෝකයේ සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයකි. නිදසුනක් ලෙස ආර්ථික දියුණුයත් සමඟ බොහෝ රටවල මධ්‍යම පාංතික පිරිස් වැඩි වැඩියෙන් මස් ඇතුළත් ආහාරවලට යොමු වී සිටිති. නිදසුනක් ලෙස චීනය හා ඉන්දියාව වැනි රටවල් දැක්විය හැකිය. බටහිර පන්නයේ මේ ආහාර රටාව සෙසු ලෝකයට ද ව්‍යාප්ත වී ඇත.

මේ පිළිබඳව පසුගිය දා ද ගාඩියන් වෙබ් අඩවියට අදහස් දැක්වූ විද්‍යාඥයන් හා තවත් පිරිසක් පෙන්වා දී තිබුනේ ආහාර රටාවේ පැමැදිලි වෙනස් කිරීමක් සඳහා ලෝකයේ දේශපාලන නායකත්වය විසින් ඒ සඳහා අවශ්‍ය සහන හා ලබා දිය යුතු බවයි. විශේෂයෙන් කාබන් අධිකව විමෝචනය කරන ආහාරවල මිලට කාබන් සඳහා වූ බදු නියම කිරීම මගින් ඒවායේ කාබන් පියසටහන පෙන්වා දිය හැකිය. එසේම හරිතාගාර වායු විමෝචන අඩු හා විමෝචන ඉවත් කිරීමට දායක වන ආහාර හා නිෂ්පාදනවලට සහන හා දිරිගැන්වීම් ලබා දිය හැකිය. එවැනි කරුණු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මැදිහත්වීම් රාජ්‍ය පැත්තෙන් සිදුවිය යුතු බව මේ අයගේ අදහසයි. එසේම සඳහා රාජ්‍යයන්, සමාගම් මගින් මේ ආරම්භය ලැබිය යුතු වෙයි.

මෙමගින් අපේකෂිත වෙනස්කම් ගැන ද අදහසක් මෙහි දී ලබා දී ඇත. එක්සත් රාජධානිය විසින් ඇති කරගෙන තිබෙන නව විමෝචන ඉලක්කය වන්නේ 2035 වර්ෂය වන විට 1990 වර්ෂයේ පැවති විමෝචන මට්ටමෙන් 78%ක් දක්වා විමෝචන අඩු කිරීමය. එම ඉලක්කය අත්පත් කරගැනීමට නම් ජනතාව තම ජීවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු කරගත යුතු බව එක්සත් රාජධානියේ වාණිජ ලේකම්, තමන් ද සම්පූර්ණ නිර්මාංශ ආහාරයක් පිළිබඳ සලකා බලමින් සිටින බව කියා තිබිණි.


මස් ආහාර සම්පූර්ණයෙන්ම නතර කළ යුතුද?


ඇත්තෙන්ම කළ යුත්තේ මස් හා කිරි වැනි ආහාර සම්පූර්ණයෙන් නතර කිරීම නොවේ. එය අසීරු විය හැකිය. ලෝකයේ විවිධ ප්‍රදේශවල ස්වාභාවිකව දැකිය හැකි ආහාර වෙනස් වන නිසාය. එසේ නම් කළ යුතු වන්නේ අපේ ආහාරවේලේ ඇති මස් ආහාර ප්‍රමාණය අඩු කිරීමය. එසේ අඩු කිරීමෙන් හරිතාගාර වායු විමෝචන අඩු කළ හැකි බව පෙනෙයි. එසේම මානව පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ද ඉන් පුළුවන.

අප ඉහත සාකච්ඡා කළේ ආහාර වේලේ මස් ප්‍රමාණය අඩු කිරීමෙන් ලබාගත හැකි පාරිසරික යහපත සම්බන්ධවය. මේ අතරින් වැඩි අවධානයකට ලක්වූයේ හරිතාගාර වායු විමෝචනය. කෙසේ වෙතත් තවත් බොහෝ පාරිසරික බලපෑම් කෘෂිකර්මට ආශ්‍රිතව පවතී. නිදසුනක් ලෙස ගත්විය, කාබන් තිරකිරීම, පස ආම්ලිකකරණය වීම, ජලයේ ගුණාත්මක භාවය හා පරිසර පද්ධති සේවා මේ අතර වෙයි.

එසේම මේ නිසා ලැබෙන, සෞඛ්‍යමය යහපත සම්බන්ධව අවධානය යොමු කළ විට මාංශ ආහාරය අඩු කිරීම ඵලදායී බවක් පෙනෙයි. ඒ අනුව පරිසරය හා සෞඛ්‍යය යන දෙකම වෙනුවෙන් අපේ ආහාර රටාවේ වෙනස්කම් සිදුවිය යුතු බව බව පෙනෙයි.