Wednesday, February 24, 2021

දේශගුණ වෙනස් වීම ජීවීන්ට බලපාන ආකාරය පිළිබඳ මෑතකාලීන පර්යේෂණ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2021.02.24, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/02/24/feature4.html

දේශගුණ වෙනස් වීම ලෝකයේ ඇති බරපතළම පාරිසරික ගැටලුව වන බවට කිසිදු සැකයක් නැත. ඒ ගැන කළ යුත්තේ කුමක්දැයි යන්න ගැන එකඟතාවයක් ඇතත්, ඒ සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක වන්නේ සෙමිනි. මේ වන විට ඉදිරිපත්ව ඇති එකම ගිවිසුම වන පැරිස් ගිවිසුම යටතේ ඒ ඒ රටවල් විසින් පොරොන්දු වී ඇති හරිතාගාර වායු විමෝචන සීමා කිරීම අනාගතයේ ඇති විය හැකි බරපතළ බලපෑම් වැළැක්වීමට තරම් ප්‍රමාණවත් නොවන බව දැන් පෙනේ. 

මේ තත්ත්වය එසේ පවත්නා අතර, මේ වන විටත් ලෝකයේ විවිධ ප්‍රදේශවල දේශගුණ වෙනස් වීමේ අහිතකර බලපෑම් දැකිය හැකිය. ඒ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන්නේ මිනිසුන්ට බලපාන්නා වූ කරුණු පිළිබඳවය. ස්වාභාවික පරිසරයට හා ජීවීන්ට ඇති වී තිබෙන බලපෑම් ගැන අවධානය යොමු වන්නේ අඩුවෙනි. මිනිසුන්ගේ කටයුතුවල ප්‍රතිඵලයක් වන දේශගුණ වෙනස් වීම නිසා ඊට කිසිසේත් වගකිවයුතු නැති වෙනත් ජීවී විශේෂවලට බලපෑමක් ඇති වීම කණගාටු දායකය. මෙම ලිපිය මෑත කාලයේ දී වාර්තා වී ඇති එවැනි සිදුවීම් කීපයක් පිළිබඳව සිදුකරන්නා වූ විවරණයකි. 


පක්ෂීන්ගේ ව්‍යාප්තියේ වෙනස් වීම


උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ පක්ෂීන් වාසය කරන අඩවියේ ව්‍යාප්තිය වෙනස්වන බව පෙන්වා දී තිබිණි. ඒ අනුව, වඩාත් ශීත ප්‍රදේශ කරා පක්ෂීන් ව්‍යාප්ත වීම සිදුවේ. නිදසුනක් ලෙස උතුරු අක්ෂාංශ දෙසට හෙවත් උත්තරධ්‍රැවය දෙසට මෙන්ම කඳුකර ප්‍රදේශවල උන්නතාංශ දෙසට ව්‍යාප්ත වීම සිදුවේ. මේ පිළිබඳව මෑත කාලීන අධ්‍යයනයකින් වැදගත් කරුණු රැසක් හෙළි වී ඇත.

රටවල් 48ක පක්ෂි නිරීක්ෂකයන් 120,000ක් පමණ දෙනාගෙන් ලබාගත් දත්ත යොදාගනිමින් සිදුකර ඇති මේ අධ්‍යයනයට අනුව යුරෝපයේ පක්ෂි ගහන සාමාන්‍යයෙන් වර්ෂයකට සාමාන්‍යයෙන් කිලෝමීටරය බැගින් පසුගිය වසර තිහක පමණ කාලය තිස්සේ ක්‍රමයෙන් බැගින් උතුරු දෙසට ව්‍යාප්ත වී ඇත. 

යුරෝපීය අභිජනන පක්ෂි සිතියම (European Breeding Bird Atlas (Ebba 2) නමින් හැඳින්වෙන මෙය වසර හතරක් තිස්සේ සිදුකරන ලද ලෝකයේ විශාලතම මහජන විද්‍යා සමීක්ෂණය ලෙස සැලකේ. එහිදී කිලෝමීටර් මිලියන 11ක පමණ ප්‍රදේශයක පක්ෂි නිරීක්ෂණ වාර්තා ලබාගෙන ඇත. 1980 සිට රැස්කරන ලදුව 1997 දී මුලින්ම ප්‍රකාශයට පත් පක්ෂි නිරීක්ෂණවලට වඩා පක්ෂීන්ගේ අඩවිය කි‌ලෝමීටර් 28ක් පමණ උතරු දෙසට ව්‍යාප්ත වී ඇති බව පෙනෙයි. කෙසේ වෙතත් සියලු පක්ෂීන්ගේ අඩවියේ එක හා සමාන ව්‍යාප්තියක් දැකිය නොහැකිය. පක්ෂි විශේෂ අතරින් 35%කගේ පමණ අඩවිය ව්‍යාප්ත වී ඇතත්, තවත් පක්ෂි විශේෂ 25%කගේ පමණ අඩවිය අඩු වී තිබේ. අනෙක් පක්ෂි විශේෂවල එවැනි කැපී පෙනෙන වෙනසක් සිදු වී නොමැත. මෙසේ තම ව්‍යාප්තිය ඉහළ නංවාගෙන ඇත්තේ වනාන්තර පක්ෂීන් වන අතර, ගොවි බිම් ආශිතව වාසය කරන පක්ෂීන් වාසය කරන ප්‍රදේශය අඩු වී ඇති බව පැහැදිලිය.

නිදසුනක් ලෙස ගතහොත්, මීට පෙර මධ්‍යධරණී ප්‍රදේශවල හමු වූ ඇතැම් පක්ෂි විශේෂ අද වන විට එංගලන්තය, ප්‍රංශය හා නෙදර්ලන්තය වැනි රටවල හමුවේ. ඒ ආකාරයෙන් ව්‍යාප්ත වීමට හේතුව වී ඇත්තේ ශීත ඍතුව අතීතයේ පැවති තරම් අසීරු නොවීමයි. ඒ දේශගුණ වෙනස් වීම නිසා ඇති වූ තත්ත්වයකි. කෙසේ වෙතත් සමහර පක්ෂි විශේෂ මෙසේ ව්‍යාප්ත වීමට බලපා ඇති හේතු අතර, වැඩි ආරක්ෂාවක් ඇති වාසස්ථාන තිබීම හා නීති රීති දැඩි වීම ද තිබෙයි. 


පතනශීලී ශාකවල කලින් කොළ හැලේ


පතනශීලි ශාකවල සරත් ඍතුවේ දී සිදුවන කොළ හැලීයෑමේ ක්‍රියාවලිය අතීතයට වඩා කලින් සිදු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබිණි. ඒ ලෝකය උණුසුම් වීම නිසාය. මෙතෙක් සාමාන්‍යයෙන් විශ්වාස කරන ලද්දේ උණුසුම ඉහළ යෑම නිසා සරත් ඍතුව ආරම්භ වීම පමා වන බවයි. එහෙත් මේ නව නිරීක්ෂණය එම අදහසට වඩා වෙනස් තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසන්ත ඍතුව කලින් එළැඹීම නිසා සෞම්‍ය කලාපීය රටවල දැකිය හැකි වගා සමය දීර්ඝ වන බව සත්‍යයකි. එහෙත් දැන් පෙනෙන පරිදි කොළ හැලෙන කාලය දින 3-6 අතර ගණනකින් ඉදිරියට පැමිණ තිබේ. 

1948-2015 අතර කාලයේ දී යුරෝපයේ ස්ථාන 3,800ක දැකිය හැකි ශාකවල පත්‍ර පතනය වීම් සම්බන්ධ නිරීක්ෂණ 430,000ක් පමණ යොදාගනිමින් හා පරිගණක ආකෘති යොදාගනිමින් තනාගත් දත්ත පද්ධතියක් භාවිතයෙන් මෙය සිදු කර ඇත. එහි දී පෙනීගොස් ඇත්තේ ඉහළ උෂ්ණත්වය හා දිවා කාලයේ දීර්ඝ බව පමණක් නොව, අදාළ ශාක මගින් එම ඍතුව ඇතුළත ගබඩා කර ඇති කාබන් ප්‍රමාණය ද ශාකවල පත්‍ර පතනය විය යුතු දිනය තීරණය කිරීමට හේතු වන බවයි. එය මිනිසෙකු බර ආහාරයක් ගැනීමෙන් පසුව තවත් ආහාර ගැනීමට නොහැකි තත්ත්වයකට සමාන බව මේ ගැන විස්තර කරමින් පෙන්වා දී ඇත. 

මේ තත්ත්වය වැදගත් වන්නේ ශාකවලින් සිදුකරනු ලබන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ කාර්යය දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට උපකාර වන බැවිනි. එහෙත් සරත් ඍතුව කලින් එළැඹී, ශාකවල පත්‍ර පතනය කලින් සිදුවීම නිසා ශාකවල කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලියෙන් අපේක්ෂිත ප්‍රතිඵලයේ අඩු වීමක් දැකිය හැකිය. එවිට ශාකවල තිර කරන කාබන් ප්‍රමාණයේ අඩු වීමක් සිදු වෙයි. මෙය ගෝලීය උණුසුම් වීම පමා කිරීම යම් පමණකින් අඩපණ කිරීමට ද හේතුවකි.

මේ ආකාරයෙන් අවශෝෂණය නොකරන කාබන් ප්‍රමාණය කෙතරම් ද යන්න ගණන් බලා නැතත් එය වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන එකකට වඩා අධික විය හැකි බව ද පෙන්වා දී තිබෙයි. එම අගය ජර්මනියේ සමස්ත විමෝචන ප්‍රමාණයට සමානය. 

මේ අධ්‍යයනය පළ වී තිබුනේ Science සඟරාවේ ය (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.abd8911)


තල්මහට බලපෑම


තල්මහ විශේෂවලට දේශගුණ වෙනස් වීම බලපාන ආකාරය ගැන මෑත දී Global Change Biology සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයන දෙකකින් කරුණු අනාවරණය වී ඇත.  

ඉන් පළමුවැන්න දකුණු සාගරයේ දැකිය හැකි බැලීන් තල්මහ කාණ්ඩයට අයත් විශේෂවල ගහන ඉදිරියේ දී අඩු විය හැකි බව මේ එක් අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. මේ අනුව නිල් තල්මහ, වරල් තල්මහ, මොල්ලි තල්මහ හා දකුණු තල්මහ යන සතුන්ගේ පැසිෆික් සාගර ගහනවල අඩුවීමක් මෙන්ම ඇතැම් විශේෂවල වඳවීම් ද 2100 වන විට අපේක්ෂා කළ හැකි බව එහි දැක්වේ. එයට හේතුව එම සතුන්ගේ ආහාර වන කුඩා ක්‍රස්ටේෂියාවන්ගේ ගහන අඩුවීම නිසාත්, එසේ අඩු වී තිබෙන ආහාර සඳහා තල්මහ විශේෂ අතර ඇති වන තරගය නිසාත්ය. මේ ගොදුරුවල අඩු වීම සඳහා හේතු වී ඇත්තේ දේශගුණ වෙනස් වීමය. (මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.15466)

කැනඩාවේ ශාන්ත ලෝන්ස් බොක්ක ප්‍රදේශයේ වාසය කරන මොල්ලි තල්මහ (hump-backed whale) ගහනයේ පැටවුන් බිහි වීම  පසුගිය වසර පහළොවක පමණ කාලයේ දී අඩු වී ඇති බව දෙවැනි අධ්‍යයනයෙන් හෙළි වී ඇති කරුණයි. 2004-2018 අතර කාලයේ දී මේ සතුන් වාර්ෂිකව පැටවුන් දැමීමේ වේගය කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. මේ කාලය ඇතුළත නිරීක්ෂණය කළ ගැබ් ගැනීම් අතරින් 39%ක් පමණ ප්‍රමාණයකින් ජනිතයන් බිහි වී නැත. වාර්ෂික ගැබ්ගැනීම් වේගයේ සාමාන්‍ය අගය 37%ක් පමණ වුවද, වාර්ෂික පැටවුන් ඇතිවීමේ වේගයේ සාමාන්‍යය 23%ක් පමණ වී ඇත. මේ සඳහා බලපාන්නේ ගැබ් කාලය තුළ හා ඉන්පසු කාලයේ දී අවශ්‍ය ශක්තිය ලබාගැනීමට නොහැකි වීම බව අනුමාන කෙරෙයි. 

මෙසේ අවශ්‍ය තරම් ශක්තිය අහිමි වීමට බලපා ඇත්තේ දේශගුණ වෙනස් වීම නිසා ඉහළ ගොස් ඇති උෂ්ණත්වය හා මුහුදු මට්ටම ඉහළ යෑම නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ අනුව, තල්මහගේ ප්‍රධාන ආහාරය වන හුරුල්ලන් වැනි මසුන්ගේ අඩු වීමක් දැකිය හැකිය. මෙම තල්මහ ද අයත්වන බැලීන් තල්මහ කාණ්ඩයට අයත් තල්මහ විශේෂ ‌දේශගුණ වෙනස් වීමට යම් පමණකින් හෝ ඔරොත්තු දෙන බව මීට පෙර විශ්වාස කරන ලදි. එයට හේතුවන්නේ සංක්‍රමණය රටාවෙනස් කරගැනීම හා එයින් පසුව ගොදුරු වෙනස්කර ගැනීම මගිනි. එසේ සංක්‍රමණ රටා වෙනස්කරගත් තල්මහ වාර්තා වී තිබේ. එහෙත් මේ අධ්‍යයනයට අනුව මොල්ලි තල්මහ සම්බන්ධයෙන් නම් පෙනෙන්නේ එය සීමිත ඔරොත්තු දීමක් පමණක් සිදුවන බවයි. (මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.14573)

Tuesday, February 23, 2021

හවුස්කෝට් දෙමු (එදිනෙදා කතා 03)

මේක 2000 ගණන්වල මුල වර්ෂයක දී සිදු වූ සිදුවීමක්. ඒ කාලෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරපතළ නියඟයක් ඇති වූවා. වැඩිම බලපෑමක් තිබ්බේ කිරිඳිඔය ව්‍යාපාරයට. 

ඒ වෙලාවෙ අපේ මිනිසුන් අතර තියන පරිත්‍යාගශීලි බව මොනවට පෙන්වා දෙමින් රටේ හැම පැත්තකම මිනිස්සු විවිධ විදියට එක්වෙලා ඒ ගම්වල උදවියට ආධාර කළා. ඇඳුම්, ආහාර ආදිය එකතු කර ගෙන ගොස් බෙදලා දුන්නා.

මමත් සම්බන්ධව සිටි පරිසර සංවිධානයකුත් ඒ කටයුත්තට දායක වුනා. සෑහෙන ආධාර තොගයක් ගෙනගොස් බෙදලා දුන්නා. 

ඉතින් ඒකට සම්බන්ධ වූ අය ඉන්න තැනකදි අපත් එක්ක සමීපව වැඩ කළ ඈත පැත්තක තරුණ ක්‍රියාකාරිකයෙක් මෙහෙම කීවා...

"අනේ අර ..... පැත්තෙ ගම්වල ගෑනු උදවිය දැන් නයිටි ගවුන් ඇදන් පාරෙත් යනවා... ඒ දීල තියෙන්නෙ කොළඹ ගෑනු රෑට ගෙදරට අඳින ඒව... අර ගම්වල ගෑනු ඒව පාරටත් අඳිනව."

ඔහු හරිම සංවේදී විදියට කතා කරන කෙනෙක්. මට මතක විදියට ඒ යනකොට පේන විදියත් පණ පිහිටුවලා වගේ කීවා. දන්නවනෙ නයිට් ගවුන් මහන රෙදි ගැන, ඩිසයින් ගැන...

කොහොම උනත් මේකට උත්තරේ එතන හිටපු ජ්‍යේෂ්ඨ කෙනෙක් දුන්න...

"මේ... උඹ ඕකට බැන බැන ඉන්නේ නැතිව හවුස්කෝට් ටිකක් එකතු කරල බෙදපන්කො"


මේ කතාව හැමදාටම අදාළයි. අනුන් හරි රජයක් හරි කළ හොඳ කටයුත්තක අඩුපාඩු පෙන්වන එක වැදගත්. ඒ වගේම ඒ විවේචකයන්ට පුළුවන් නේද ඒ අඩුපාඩුව හදන්න කටයුතු කරන්න. අඩු ගණනේ ඒකට මූලික පියවර ගන්න? ඒක සුබවාදී විවේචනයක ලක්ෂණයක්.

නිකං අඳුරට බැන බැන නොසිට පහනක් පත්තු කරන්න කියලනේ කියන්නේ. 


ධනේෂ් විසුම්පෙරුම

2021.02.23

Tuesday, February 16, 2021

හල්දුම්මුල්ලට උඩ අහස

මීදුම
සීතල
අඳුර
කුමක් හෝ
පවසයි...



ධනේෂ් විසුම්පෙරුම

16.02.2021

Monday, February 8, 2021

පොල්තෙල් පහනට අකුණු ගැසීම! (එදිනෙදා කතා 02)

මේ කතාව අක්ෂර වින්‍යාසය වැරදී, භයානක අනතුරක් ගැන හඟවපු සිදුවීමක් ගැන...

මීට දශකයකට පමණ පෙර දිනයක, අප කීපදෙනෙකු සිටි තැනකදි (පුරාවිද්‍යා සංගමයේ රැස්වීමකට පෙර විය යුතුය) මහාචාර්ය වීනී විතාරණ මහතා කියූ, එතුමා අත්දුටු සිදුවීමක් තමයි මේ. (නියමම වචන නූනත් කතාව මෙතැන ඇති)

එතුමා ඒ ආසන්න දිනයකදි රජයේ ආයතනයක උත්සව අවස්ථාවකට ගිය විට දක්නට ලැබුණු දෙයක් තමයි එදා  කීවේ.

"මම ටිකක් පරිස්සමෙන් තමයිි ඒ උත්සවේට ගියේ" එතුමා කීවා.

"ඇයි සර්?" අපේ කෙනෙක් ඇහුවා.

"ඒකෙ වැඩසටහනේ හැටියට අකුණු ගහන්නත් ඉඩ තිබ්බා..."

"මොකක්ද සර් ඒ කීවේ?" තව කෙනෙක් විමසුවා.

"ඒකේ වැඩසටහනේ මුද්‍රණය කරලා තිබ්බෙ lightning the oil lamp කියලා... ඉතින් බය නැද්ද?" කියා එතුමාගේ මුවේ නිතර දැකිය හැකි මදහසින් යුතුවම කීවා.

සටහන් කළේ,

ධනේෂ් විසුම්පෙරුම

2021.02.08

Wednesday, January 20, 2021

මිනිසුන් ඇඳි පැරණිම සත්ත්ව රූප ඉන්දුනීසියාවෙන්?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2021.01.20, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2021/01/20/feature1.html




ඌරන්ගේ රූප ඇතුලත් චිත්‍රය


ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ස්ථානයකින් අනාවරණය වී ඇති ඌරෙකුගේ චිත්‍රයක් ලෝකයේ මේ වන විට හමු වී තිබෙන මිනිසුන් විසින් නිර්මාණය කළ සත්ත්ව රූප සහිත පැරණිතම ලෙන් සිතුවම විය හැකි බව පසුගියදා පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. අදින් වසර 45,500කට පමණ පෙර කාලයක දී අදින ලද බවට කාලනිර්ණය කර ඇති මෙම චිත්‍රය හමු වී ඇත්තේ සුලවෙසි දූපතේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති ලියෑන්ග් ටෙඩෝංග්නෙ (Leang Tedongnge) නම් ප්‍රදේශයෙන් ලෙනකින් මේ චිත්‍ර හමු වී ඇත.

2017 වර්ෂයේ දී එම ලෙනෙන් මේ චිත්‍ර සොයාගන්නා ලද්දේ එරට පුරාවිද්‍යාඥයෙකු කළ ගවේෂණයක දීය. මේ සිතුවම් එම ලෙනෙහි ඇතුල් බිත්තියේ ඇඳි ඇති ඒවාය. රතු පැහැ ගුරුගල් (ochre) යෙදාගනිමින් ඇඳ තිබෙයි.

මේ චිත්‍රයේ පැහැදිලිව පෙනෙන්නේ ඌරෙකුගේ චිත්‍රයකි. එම සතා තවත් ඌරන් දෙදෙනෙකු දෙස බලා සිටින බව නිරූපණය කරන අතර තවත් ඌරෙකුගේ රූපයක ඡායාවක් ද දැකිය හැකිය. එසේම මිනිස් අත් දෙකක සටහන් ද එහි දැකිය හැකිය. කෙසේ වෙතත් මේ චිත්‍රයේ විශාල කොටසක් හානයනට ලක් වී ඇති නිසා මේ රූපයෙන් කියවෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව හඳුනාගැනීම අද අපහසු වී ඇත.

කෙසේ වෙතත් උක්ත චිත්‍රවලින් අවධානය කරනු ලබන්නේ ඒ මානවයන් දඩයම් කිරීම සඳහා වඩාත් උනන්දුවක් දැක්වූ සතුන් පිළිබඳව විය හැකි බව පෙනෙයි. මේ චිත්‍රවලින් දැක්වෙන්නේ ඌරන් තිදෙනෙකුගේ චිත්‍රය. ඒවායේ එම සතුන් මහත දේහ සහිතව නිරූපණය කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වන පර්යේෂකයන් පවසන්නේ එවැන්නක් නිරූපණය යන්නේ ඔවුන් වඩාත් කැමැත්තක් දැක්වූයේ විශාලතම හා වඩාත් මහතම ඌරා දඩයම් කිරීමට වීම නිසා විය හැකිය. එයින් එම මිනිසුන්ට අවශ්‍ය වූ මස් හා ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ලැබෙයි.

මේ චිත්‍ර නිර්මාණය කළ මානවයින් උපකරණ භාවිතය ගැන යම් දැනුමක් තිබූ අය බව පැහැදිලිය. එසේම, එසේම චිත්‍රයේ නිර්මාණය අනුව නිර්මාණකරණය ගැන ඔවුන් දැන සිටි බව ද දැකිය හැකිය. එය තමන් වාසය කළ පරිසරය හා වටපිටාව ගැන ඒ මානවයින්ට තිබූ අවබෝධය පැහැදිලි කරන්නකි.



චිත්‍ර හමු වූ ලෙන

කාලනිර්ණය


ලියෑන්ග් ටෙඩෝංග්නෙ ලෙනෙන් හමු වූ චිත්‍ර කාලනිර්ණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ යුරේනියම්-තෝරියම් කාලනිර්ණයයි (Uranium–thorium dating). හුනුගල් මත ස්වාභාවිකව පවත්නා යුරේනියම් හුණුගල සමග ජලයේ පැමිණ ලෙන් බිත්තියේ තැන්පත් වෙයි. මේ විකිරණශීලී යුරේනියම් තෝරියම් බවට පත්වීමට ගත වන කාලය දන්නා බැයින් මේ මූලද්‍රව්‍යවල ප්‍රමාණ සංසන්දනය කිරීමෙන් චිත්‍රය සඳහා අවම කාලයක් ගණනය කිරීමට හැකිය. මේ චිත්‍රයේ ඌරාගේ පාදය ප්‍රදේශයෙන් ලබාගත් ඛණිජ නිදර්ශකයක් විශ්ලේෂණය කිරීමෙන් මේ චිත්‍රය අවම වශයෙන් වසර 45,500ක් පමණවත් පැරණි බවට කාලනිර්ණය කර ඇත. මේ ක්‍රමය මගින් චිත්‍රය මත තැන්පත්ව ඇති ඛණිජවල කාලය නිර්ණය කර ඇති අතර, ඒ නිසා චිත්‍රය ඊට වඩා පැරණි විය හැකිය.

කෙසේ වෙතත් මේ සම්පූර්ණ චිත්‍රය ඇතැම් විට කාලවකවානු කීපයකදී සිදු කළ එකක් විය හැකි බව ද මේ පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙයි. එයට හේතුව ලෙස සඳහන් වී ඇත්තේ එක් අර්ධව පෙනෙන චිත්‍රයක එකිනෙකට වෙනස් වර්ණ දෙකක ගුරුගල් භාවිත කර ඇති නිසාය.

මේ අසලම ඇති තවත් ලෙනකින් හමු වූ තවත් ඌරෙකුගේ චිත්‍රයක් ද මේ අධ්‍යයනයේ දී කාලනිර්ණය කර ඇත. ඒ අනුව එය අදින් වසර 32,000කට පමණ පෙර කරන ලද නිර්මාණයක් බව පැහැදිලිය. මේ ආසන්නයේ ඇති ලියෑං බුලු බිටියු (Leang Bulu Bettue) නම් ස්ථානයෙන් ලැබී ඇති මෙවලම් කාලනිර්ණය කර ඇත්තේ අදින් වර්ෂ 40,000කට පෙර කාලයකට අයත් ලෙසය. ඒ ඒවා තැන්පත්ව තිබූ අවසාධිත ස්තර කාලනිර්ණය කිරීමෙනි. මේ මෙවලම් ගුරුගල් සකස් කිරීම සඳහා යොදා‌ගෙන තිබූ ඒවා වීම ද විශේෂයකි.


ලෝකයේ පැරණිම ලෙන් චිත්‍ර


අතීත මානවයා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර පිළිබඳ පුරාවිද්‍යාඥයන්ගේ මෙන්ම වෙනත් අංශවල ප්‍රවීණයන්ගේ අවධානය ද යොමු වූයේ කලකට ඉහත පටන්ය. මානවයාගේ නිර්මාණාත්මක බව පළමුව ඇති වූයේ කුමන ප්‍රදේශයකද යන්න යළිත් සාකච්ඡාවට ලක්ව ඇත. කලක් තිස්සේ පැවති අදහස වූයේ මානවයාගේ නිර්මාණාත්මක බව ඇති වූයේ යුරෝපයේ බවයි. මෙය එක්තරා ආකාරයකින් යුරෝපා කේන්ද්‍රීය අදහසක් වුවත්, එය ඒ වන විට පැවති සාධක මත එළැඹි නිගමනයකි.

මේ ලෙනෙන් හමු වූ චිත්‍ර ලෝකයේ පැරණිම සත්ත්ව චිත්‍ර වන්නේ යුරෝපයෙන් හමු වූ පැරණිම චිත්‍ර පිළිබඳ දින වකවානු ඉක්මවා ගිය නිසාය. මෑතක් දක්වා ලෝකයේ සොයාගෙන තිබූ පැරණිතම සත්ත්ව රූප ඇතුළත් සිතුවම් අතර ප්‍රංශයේ හා ස්පාඤ්ඤයෙන් හමු වු චිත්‍ර වැදගත්ය. ප්‍රංශයේ වච්වෙට්-පොන්ට්-ඩිආරක් (Chauvet-Pont-d'Arc) නම් ස්ථානයේ ලෙනකින් ලැබුණු චිත්‍රවල දින නියම කර ඇත්තේ අදින් වසර 36,000ක් පමණ කාලයක් පැරණි බවයි. ස්පාඤ්ඤයේ අල්ටමීරා (Altamira) ගුහාවේ ඇති බයිසන් ගව චිත්‍රවල කාලනිර්ණය කර තිබූනේ ද ඒ හා සමාන කාලයකටය.

සුලවෙසි දූපතේ පවත්නා චිත්‍ර ගැන හෙළි වන කරුණුවලින් එම පිළිගැනීම වෙනස් විය. මුලින්ම ආසියාවේ ද පැරණි ලෙන් චිත්‍ර ඇති බව පෙන්වා දෙන ලද්දේ 2014 වර්ෂයේ සිදුකරන ලද අධ්‍යයනයකිනි. සුලවෙසි දූපතෙන් හමු වූ එම චිත්‍ර අදින් වසර 39,900ක් පමණ පැරණි බවට කාල නිර්ණය කරන ලදි. (එම චිත්‍රවලට ඉන් පෙර ලබා දී තිබූ දිනය වූයේ වසර 12000ක් පමණ පැරණි බවයි.) මෙය නිර්මාණාත්මක කුසලතාවයක් ඇති මානවයින් ආසියාවේ කළ නිර්මාණ සම්බන්ධව ලැබුණු පැරණි දිනයකි.

අප මාතෘකා කරගත් චිතුයට ලබා දී ඇති දිනයත් සමඟ එය තවත් ඈතට යයි. මේ පර්යේෂණයෙන් පෙන්වා දී ඇති චිත්‍ර අයත් කාලවකවානුවට පෙර පවා මේ මානවයන් චිත්‍ර නිර්මාණය කරන්නට ඇත. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවෙන් ලැබී ඇති මානව සාධක අනුව අදින් වසර 65,000කට පමණ පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි මානවයින් එසේ පැමිණියේ ද ඉන්දුනීසියාව හරහාය.

නමුත්, මානවයින් කළ පැරණිම ලෙන් චිත්‍ර මේවා නොවේ. මීට පෙර ස්පාඤ්ඤයේ කැස්ටිලෝ (El Castillo) ගුහාවෙන් ලැබුණු අත් සටහන් ඇතුළත් චිත්‍ර වසර 40,800ක් පමණ පැරණි ඒවා බවට කාලනිර්ණය කර තිබුණු අතර, ඒ බව වාර්තා වූ 2012 වන විට ලෝකයේ වඩාත්ම පැරණි ගුහා චිත්‍ර ඒවා විය. එහෙත් මේ දින වනවානු තවත් ඈතට ගෙන යමින් මානවයින් කළ ලෝකයේ පැරණිතම චිත්‍ර ලෙස අද වන විට සැලකෙන්නේ දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ගල් කැබැල්ලක සඳහන්ව ඇති සලකුණකි. ඒවා වසර 73,000ක් පමණ පැරණිය. ඒ පිළිබඳ පර්යේෂණය පළ වූයේ 2018 වඒෂයේ දීය.

මෙය හුදෙක් ප්‍රදේශයක් හෝ මහාද්වීපයක් පිළිබඳ කරුණකට වඩා මානව පරිණාමය සම්බන්ධ කරුණකි. මානයන්ගේ මේ නිර්මාණාත්මක හැකියාව යුරෝප‌යේ මෙන්ම ආසියාවේ ද ස්වාධීනව වර්ධනය වූවක් වීමට ඉඩ ඇත. එමෙන්ම ඇතැම් විට මානවයා අප්‍රිකාවෙන් පිටතට ගමන් කරන අවස්ථාවේ දී ද මානවයින්ට ඒ හැකියාව තිබුණා විය හැකිය. මේ සම්බන්ධව අනාගතයේ දී අනාවරණය වන කරුණු අනුව අපට දැන ගත හැකි වනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව අග්නිදිග ආසියාවේ ඇති සාධකවලට වැදගත් තැනක් හිමි වන බව නම් මේ වන විට පැහැදිලිය.

(මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.abd4648)

ඡායාරූප - Science Advances සඟරාවෙනි

Wednesday, January 13, 2021

"ලස්සන රස විඳින්න පුරුදුවෙයව් යකුනේ!" (ඉස්කෝලෙ කතා 7)

අපට 10-11 වසරවල සිංහල ඉගැන්වූ ටීචර් සුදුයි, හැඩයි, ලස්සනයි. ඒ කාලෙ වයස අවුරුදු තිස් ගණන්වල වගෙ ඉන්න ඇති. 

එතුමිය උගන්වනකොට අපේ පංතියෙ සමහර උන් එක එක එව්ව කියනව (මං ඒ කාලෙ නං එහෙම නෑ හොඳේ). මිස්ටත් මේක අවුල්. දවසක් එතුමියට ඒක ටිකක් වැඩියෙන් දැනුනා.

අපෙ පංති භාර ගුරුතුමිය පහුවදා උදෙන් ඇවිත් ‘‘තොපිලට තෙරෙන්නෙ නැද්ද යකුනෙ යමක් රස විදින්න’’ කියල කිව්ව. අපි තුෂ්නිම්භූත උනා. 

"හැම එකම දිහා වල්කමින් බලන්න එපා යකුනෙ... ලස්සන රසවිදින්න පුරුදු වෙයව්" කියල, සාහිත්‍ය පොතේ තිබූ සැළලිහිණියේ එන "නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර තන" කියන කවි පදය ලියල, සරල කාන්තා රුපයකුත් ඇඳලා ගියා.

අපේ උන් එදා ඉඳන් සිංහල ටීචර්ට මුකුත් කිව්වෙ නැහැ. ලස්සන රස විඳින්න ඇති. අපි එදා ඉගෙන ගත්ත පාඩම තමයි "ලස්සන රස විදින්න" කියන එක. ඒක තමයි අපි තාමත් කරන්නෙ.

වසර විසිගණනකට පස්සෙ දැනට දශකයකට පමණ පෙර එතුමිය යළි මට හමු වුනා. එක්තරා සමිතියක රැස්වීමකදි. ඒ වන විට විශ්‍රාම ගොස් සිටි එතුමිය සතුව තරුණ කාලෙ තිබූ සුන්දරත්වයේ සේයාව එහෙමම තිබ්බා. ඉතින් එදා මට මේ කතාවත් මතක් උනා. 


ධනේෂ් විසුම්පෙරුම

2021.01.13

Thursday, January 7, 2021

යාපහුවෙන් ගල්ටැංවැවට ආ සිංහයෝ! (ගමන් කතා 5)



මං මුලින්ම ඉබ්බාගමුව - පොල්පිතිගම - මඩගල්ල පාරෙ ගියෙ 1990 ගණන්වල. ඉන්පස්සෙ 2006 මුලදි විතර ඒ පාරෙන් මඩගල්ල, මොරගොල්ලාගම, රැස්වෙහෙර හරහා අනුරාධපුරය දක්වා දිගු ගමනක් ගියා. ඊටත් මද කලකට පසු 2007-2008 කාලෙ අපි ඒ පැත්තෙ සෑහෙන ඇවිද්දා. ඒ හිරියාල හත්පත්තුවේ පරණ පන්සල් වගේම වෙනත් සුන්දර තැන් බලන්න. 

එහෙම ගිය ගමනකදි වරක් අපේ වාහනය ගල්ටැංවැව කියන හන්දියෙ පොඩි කඩේක නැවැත්තුවා තේ එකක් බොන්න. මේ හතරමං හන්දිය හැදෙන්නෙ ඉබ්බාගමුවේ සිට පොල්පිතිගම හරහා මඩගල්ලට යන ප්‍රධාන පාරට (B 159) තවත් පාරවල් දෙකක් සම්බන්ධ වීමෙන්. ඒ ප්‍රධාන පාර ඉබ්බාගමුව පැත්තෙ සිට ඇවිත් මේ හන්දියෙදි දකුණට හැරෙනවා. එතනදි කෙලින්ම යන පාර යාපහුව පැත්තට යන අතුරු පාරක්. වමට යන එක හිරිපිටියෙ සිට ගල්ටැංවැවට එන B 609 පාර. (ඒ අන්තිමට කී පාර අද නොවැදගත් නමුත්, අතීතයේ වැදගත් වූ පාරක්!)

ඉතිං එදා ගල්ටැංවැව හන්දියෙදි  මීට කලින් නුදුටු දසුනක් අපි දැක්කා. ඒ තමයි හංදිය මැද අඹපු සිංහ රූප කීපයක් තබා තිබෙනවා. යාපහුවෙ අකෘතියට කළ සිංහ රූප බව පැහැදිලිව පෙනුනා. දැන් ඒක වටරවුමක් වගෙයි. 

ඉතින් මම ඒ කඩේ හිටි අක්කාගෙන් ඇහුවා ඒ ගැන 

"මේ සිංහ රූප කොයි කාලෙ කරපු ඒවද?"

මේකට උත්තර දුන්නෙ කඩේ හිටපු ගමේ පොරක්.

"අම්මෝ මේවා රජකාලෙ ඉදල තියෙන්නෙ. යාපහු රාජධානි කාල‌ෙ..."

ඒ පොර හිතන්න ඇත්තෙ අපි බබ්බු කියලා. සමහරු නං එහෙම කිව්ව ගමන් පත්තරේටත් ලියනවා, ෆේස්බුක් දානවා. ඒවා ජනප්‍රවාදත් කියනවා. ඒත් ඊට මාස කීපයකට පෙර මේ හන්දියෙ තිබ්බෙ නැති එකක් දැන් තියෙන්නෙ කොහොමද කියලා හිතන්න අපට කල්පනාව තිබ්බා. (පොර වගේ උදෙන්ම දාල හිටියෙ නෑනෙ).  

මේ හන්දිය නවීකරණය කරල විවෘත කරලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ බව අපි එතන තිබ්බ පුවරුවක තියනවා පස්සෙ දැක්කා. ඒ පැත්ත අයත් වන්නෙ යාපහුව මැතිවරණ බලප්‍රදේශයට (ආසනයට).


මේ පින්තූර නං Google Street View  එකෙන්.

ධනේෂ් විසුම්පෙරුම

2021.01.07 

Saturday, January 2, 2021

"ගුණේන්ද්‍රයා ආයෙත් ඇවිත්" - ටෙලි නාට්‍ය සහ ජීවිතය (දුව කී කතා 2)



දැනට මාස කීපයකට පෙර දවසක් කුස්සියේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්න දුව එකපාරට මෙහෙම කිව්වා - 


"අන්න අර ගුණේන්ද්‍රයා ආයෙත් ඇවිත්. එක පාරක් ඇවිත් මංගලීව අනාථ කරලා ගිහින් දැන් ආයෙත් ඇවිත්"...

ඒක ඇහිලා අග මුල මාරු වූ මං මේ මොකක්ද කියන්නේ කියලා ජනේලෙන් එබිලා බැලුවා - බැලින්නම් අපේ ගෙදර ඉස්සර හිටපු ලොකු පූසා (සරණ) ආපහු මේ පැත්තෙ ඇවිල්ලා... දැන් එයා ඉන්නෙ ටිකක් ඈත (කැලෑව පැත්තෙ - දුව කියන විදියට) තියන ගෙවල් ආශ්‍රිතවයි. එයා ඉඳහිට අර උවමනාව හැදුනම එනවා අපේ ගෙවල් පැත්තට... ඇවිත් අපේ ගෙදර (හා ළඟ ගෙවල් ආශ්‍රිතව) ඉන්න සුදු පූසි‌ගෙ පැටවුන්ගෙ තාත්තා වෙලා යනවා...

එහෙම ගියාට පස්සෙ ඉදහිට විසිට් එකක් දැම්මට ආයෙමත් එන්නේ ඒ උවමනාව හැදුනාම තමයි. මේ සිද්ධිය මං දන්නව උනාට දුව දන්නවා කියලා මං හිතුවෙ නෑ. අනෙක එයා පාවිච්චි කළ නම් හා වචන...

මම දුවගෙන් ඇහුවා ඇයි එහෙම කිව්වේ කියලා

"ඇයි ඉතිං අර වෙදහාමිනේ එකේ ගුණේන්ද්‍ර මංගලීව අනාථ කළා වගේ වැඩක්නෙ සරණ මේ කරන්න යන්නෙ. අර කැලෑව පැත්තෙ ඉදන් සැරින් සැරේ ඇවිත් සුදු පූසිට පැටවු හදලා යනවනේ. ආයෙ එනවද මේ පැත්තකට වත්?"

එයා ටෙලි නාට්‍යවලින්ම සමාජය ගැන ඉගෙන ගෙන තියන දේවල් කියලයි ඉන් පස්සෙ මං කල්පනා කළේ...


කොරෝනා නිවාඩුවේ ආ ටෙලිනාට්‍ය හා චිත්‍රපට වැස්ස!


අපේ ජීවිතේ වසර විස්සක් වගෙ කාලයක් තුළ බලන්න ලැබුණු ක්ලැසික් කියලා කටපුරාම කියන්න පුළුවන් ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටත් ගණනාවක්ම මේ කොරෝනා නිවාඩු කාලේ එයාට දකින්න ලැබුණා. ඒකත් පොත් කියවන්න ලැබීමත් මේ නිවාඩුවේ ලැබුණු එක වාසියක්.

කළුවර ගෙදර, ස්වයංජාත, වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ ඒ අතර තියෙන කීපයක්. මේවා බැලුවට පස්සෙ එයාට අද තියන ටෙලිනාට්‍යවල ඇත්ත තත්ත්වය තේරිලා තියනවා. මේ තියෙන්නෙ එවැනි අවස්ථාවක කී කතාවක්.

ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි, ගම්පෙරළිය, කලියුගය වගෙම විරාගය, සාගරයක් මැද වගෙ හරයක් ඇති කතා තියන ගණනාවක් චිත්‍රපටි බලන්නත් එයාට අවස්ථාව ලැබුණා. ඒ වගෙම ගොළු හදවත, ගැහැණු ළමයි වගේ කරුණාසේන ජයලත්ගෙ ඒවත් කීපයක් බැලුවා තමයි.

මේ ගොඩක් ඒවා මම වරක් හෝ කීපවතාවක් බලලා තිබ්බට මේ වතාවෙත් බැලුවා. කොහොමත් ඒ වගේ එකක් යනකොට ඒවා අදාළ කාලයේ ඉතිහාසය, තියන සිදුවීම් ආදිය ගැන අටුවා ටීකා සපයන්නත් සමහර වෙලාවට මෙ ගැටපද විවරණය කරන්නත් මට සිද්ද වෙනවනේ.

ඉතින් අර ගුණේන්ද්‍රයා නිසා අපේ ගෙදරම වගේ ඉන්න පූසාට (එයාට දැන් කියන්නෙ පිපූ කියලා) මෙතන රඟපාන්න වෙලා තියෙන්නෙ අන්තෝනිගෙ චරිතය. මතකනෙ? ගුණේන්ද්‍ර ඉන්නකොට ඉතින් අන්තෝනිට නෝ චාන්ස්! එයා එනවිට තග දාලා එලවා ගන්නවා.

මේ ඡායාරූපවල තනිවම ඉන්නෙ "ගුණේන්ද්‍ර" (සරණ - නපුරු පාට පේනවනෙ! අනෙක් පින්තූරෙ ඉන්නෙ "අන්තෝනි" (පිපූ - අහිංසක පෙනුමට ඉන්නෙ) හා "මංගලී" (සුදු පූසි)... 

ධනේෂ් විසුම්පෙරුම
2021.01.02

Wednesday, December 30, 2020

Crudia zeylanica - දුලබ ආවේණික ශාකයක කතාව

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.30, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/12/30/feature1.html
(විදුසර මුල් ලිපිය යාවත්කාලීන කර ඇත.)



Crudia zeylanica යනු ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි හෙවත් අපේ රටට ආවේණික ශාකයකි. එයට ප්‍රකට සිංහල නාමයක් නොමැති අතර, එය සුලභ ශාකයන් නොවීම ද මීට හේතුවක් වූ බව පෙනෙයි. (මෙම ශාකයට පණු කරඳ ලෙස  නමක් භාවිත වන බව භාතිය ගොපල්ලව මෑත දී සඳහන් කර ඇත.) මේ වන විට ඊට Sri Lanka Legume නම්‍ ඉංග්‍රීසි නම භාවිත වෙයි. කලක් මෙරටින් මෙන්ම ලෝකයෙන් ද වඳ වී ගොස් ඇති බව සිතූ මේ ශාකය යළිත් මෑතක දී හමු විය. එසේ අනාවරණය කරගන්නා ලද මේ විශේෂයේ ශාකයක් පිහිටා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවදානමකට ලක්ව ඇති නිසා අද වන විට මේ ගැන ගැන යම් සාකච්ඡාවක් ඇති වී තිබෙයි.

ශාකය පිළිබඳ අතීත වාර්තා


මේ ශාකය පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි ජී. එච්. කේ. ත්වේටේස් සංග්‍රහ කරන ලද, 1864 වර්ෂයේ දී පළ වූ, Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants නම් කෘතියේ සඳහන්ය. ඒ Detarium zeylanicum නම් උද්භිද විද්‍යාත්මක නාමයෙනි. මේ ශාකය කළුතරට නුදුරු ගල්පාත ප්‍රදේශය බව ඔහු කියයි.

(රූපය - Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants, 414-15 පිටු)

මෙම ශාකයේ ලක්ෂණ අනුව Crudia zeylanica ලෙස නම් කරන ලද්දේ 1866 දී ජෝර්ජ් බෙන්තම් විසිනි. ඒ රනිල ශාක කුලයේ නිවර්තන කලාපීය නව ගණ හා විශේෂ සම්බන්ධව Transactions of the Linnean Society of London සඟරාවට රචනා කරන ලද ලිපියකය. 

මේ පිළිබඳව තවත් උද්භිද විද්‍යාත්මක ප්‍රකාශන කීපයක සඳහන් වෙයි. ඒ අතර ඇති 1872 දී ප්‍රකාශිත Flora Sylvatica on Southern India නම් කෘතියේ පළමු වෙළුමේ ඇති නිදර්ශකයක රූපයක් මේ ලිපියේ ඉහළ දැක්වෙයි. එහි කර්තෘ රිචඩ් හෙන්රි බොඩොමි එම ශාකය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ගල්පාත ප්‍රදේශයෙන් පමණක් බව කියයි. 

1879 දී පළ වූ Flora of British India හි දෙවැනි වෙළුමේ මේ ශාකය ගැන සඳහන් කරන ජේ. ජී. බේකර් එය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ප්‍රදේශයකින් බව සඳහන් කරයි. 

(රූපය - Flora of British India, 2 වෙළුම, 271 පිටුව)


1880 සිට 1896 දක්වා කාලයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි හෙන්රි ට්‍රයිමන් තමා මේ ශාකය නිරීක්ෂණය කළේ 1861 හා 1863 වර්ෂවල දී කළුතර දිස්ත්‍රික්කෙය් ගල්පාත ප්‍රදේශයෙන් ලබාගන්නා ලද නිදර්ශක දෙකෙන් පමණක් පවසයි. ඒ ඔහුගේ Handbook to the Flora of Ceylon කෘතියේ 1894 වර්ෂයේ දී පළ වූ දෙවන වෙළුමේය. මෙම ශාකය ඉතා දුර්ලභ බවත් ආවේණික ශාකයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

(රූපය - Flora of Ceylon, 2 වෙළුම, 113 පිටුව)


Revised Handbook to the Flora of Ceylon කෘතියේ හත්වැනි වෙළුමේ සඳහන් වන අන්දමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයෙන් ලබාගත් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇත. එය 1911 පෙබරවාරි 20 දින එකතුකරන ලද බව ද සඳහන් වෙයි. මේ පත්‍රිකාව මත පසුව යමෙකු විසින් කපා දමන ලද බවට අරුත් දෙන 'cut down' යනුවෙන් සඳහන් කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ අනුව පෙනෙන්නේ මේ ශාකය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වවා තිබී පසුව කිසියම් හේතුවක් නිසා කපා දමන ලද බවයි. එය එම ශාකය මිය යෑම නිසා හෝ කඩාවැටීම නිසා වීමට ඉඩ තිබෙයි.

මේ ශාකයේ නිදර්ශක කීපයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තිබී ඇති බව පෙනෙයි. Loris සඟරාවේ 6වන වෙළුමේ අංක 2 කලාපයට 1982 දී මහාචාර්ය සී.වී.එස්. ගුණතිලක හා මහාචාර්ය ඩී.එස්.ඒ. විජේසුන්දර විසින් ‘ශ්‍රී ලංකාවේ කාෂ්ඨීය ශාක විශේෂවල විතැන් සංරක්ෂණය (Ex-situ conservation of woody plant species in Sri Lanka) යන මාතෘකාවෙන් රචනා කරන ලද ලිපියේ දැක්වෙන පරිදි ලංකාවේ දැකිය හැකි ආවේණික ශාක පහකම වාර්තා වී ඇති අවසන් වාසස්ථානය වී ඇත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානයයි. මේ ශාක අතරින් එකක් වන්නේ අප සඳහන් කරන Crudia zeylanica ශාකයයි. (එම ලිපියේම සඳහන් පරිදි ඉන් එක් ශාකයක් වන Mesua stylosa ශාකය ඒ කාලයේදීම බුලත්සිංහල වගුරු වනාන්තරයෙන් නැවත සොයාගැනීමට හැකි විය.). මෙම ලිපියේ විතැන් සංරක්ෂණයේ වැදගත්කම හා උද්භිද උද්‍යාන සතු කාර්යභාරය පැහැදිලි කර දී ඇති ලිපියකි.

ශාකයේ සංරක්ෂණ තත්ත්වය


19 වැනි සියවසේ දෙවන භාගයේ දී ට්‍රයිමන් විසින් දුර්ලභ ශාකයක් ලෙස සදහන් වූ මේ ශාකය පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නේ පසුකාලයක දී ය. 1993 වර්ෂයේ තාවකාලික ලේඛනයේ දී මේ ශාකය තර්ජනයට පත් ශාකයක් ලෙස ද, 1999 දී IUCN Sri Lanka මගින් ප්‍රකාශිත 1999 List of Threatened Fauna and Flora of Sri Lanka ට අනුව ඉහළ තර්ජනයක් ඇති ශාක විශේෂයක් ලෙස ද නම් කර ඇත.

අන්තර්ජාතික රතු ලයිස්තුවේ දත්ත අනුව මේ ශාකය වඳ වී ගිය ශාකයක් ලෙස නම් කරන ලද ඇගැයීම 1998 වර්ෂයේ දී සිදු කර ඇති එකකි.

2007 වර්ෂයේ දී IUCN Sri Lanka හා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka වාර්තාවේ මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය ශාකයක් ලෙස සඳහන් වෙයි. 2012 ජාතික රතු ලැයිස්තුවේ ද (National Red List 2012 of Sri Lanka) මෙය සඳහන් වන්නේ වඳ වී ගිය ශාකයක් ලෙසය.


නැවත සොයාගැනීම


මේ ශාකය පසුගිය වර්ෂයේදී අනාවරණය කරගෙන ඇත්තේ සැලකිය යුතු කාලයකට පසුව බව පෙනෙයි. දැනගැනීමට ඇති ආකාරයට මෙහි ශාකයේ පැළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරගැනීමට  මේ වන විට හැකියාව ලැබී තිබෙයි. එබැවින් එය යෝග්‍ය පරිසර තත්ත්ව ඇති ස්ථානවල සංරක්ෂණය සඳහා පියවර ගත හැකිිිය. මේ ශාකය වාර්තා වන ප්‍රදේශවලින් ද හමුු වී ඇති බව ඒ පිළිබඳ අධයයනය කළ පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ පිළිබඳ සිදුකරන ලද ගවේෂණ ගැන ඉදිරියේදී අපට අසන්නට ලැබෙනු ඇත.


විදුසර මුල් ලිපිය මෙහි දී යාවත්කාලීන කර ඇත. අවසන් යාවත්කාලීන කිරීම 2021.01.20 දින දීය.

Wednesday, December 23, 2020

දළ සඳහා අප්‍රිකානු ඇතුන් මැරූ තරම හෙළි කළ පර්යේෂණයක්

ධනේෂ් විසුම්‌පෙරුම

විදුසර, 2020.12.23, පි 6

http://www.vidusara.com/2020/12/23/feature1.html



ඇත් දළ ලබාගැනීම සඳහා ඇතුන් දඩයම් කිරීම අලි ඇතුන්ගේ පැවැත්මට එල්ල වූ මූලික තර්ජනයකි. කැටයම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ආදිය තැනීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක අතීතයේ සිට ඇත් දළ භාවිත කර ඇත. ඒ නිසා ඇත් දළ වෙළෙඳාම ඇතැම් රටවල වැදගත් ආදායම් මාර්ගයක් ද වී තිබිණි. එසේ දළ පිණිස හා ක්‍රීඩාවක් ලෙස දඩයම් කිරීම මෙන්ම වාසස්ථාන අහිමිවීම ආදි විවිධ හේතුවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට අලි ඇතුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව තිබෙයි. අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලින්ට මේ තර්ජනය වඩාත් බරපතළය. සංරක්ෂණ උත්සාහය නිසා අද වන විට ඇත් දළ වෙළෙඳාම බොහෝ රටවල නීතිවිරෝධී ක්‍රියාවකි. එහෙත් මේ සඳහා ඇති ඉල්ලුම නිසා එම වෙළෙඳාම රහසේ සිදුවෙයි. 

අතීතයේ සිට අලි ඇතුන් දඩයම් කළ විවිධ රටවල ඒ දඩයමේ තරම ගැන විවිධ වාර්තා දැකිය හැකිය. ඒ සමහර තොරතුරු අනුව මේ ඇත් දඩයම සැලකිය යුතු තරම් බරපතළ බව පෙනෙයි. කෙතරම් ප්‍රමාණයකින්, කෙතරම් විශාල ලෙස අලි ඇතුන් දඩයම් කළේද යන්න ගැන වන එවැනි විස්තරවල එන කරුණු ගැන ඇතැම් ශාස්ත්‍රඥයන් පවා සැක පහළ කළ අවස්ථා ද තිබේ. ඍජුවම මේ ගැන නොකළ පර්යේෂණයක් නොවූව ද පුරාවිද්‍යාත්මක හා ප්‍රවේණික ද්‍රව්‍ය ගැන සිදු කළ අධ්‍යයනයකින් අප්‍රිකාවේ ඇත් දඩයමේ තරම ගැන වැදගත් කරුණු කීපයක් අනාවරණය වී ඇත. 

ගිලුණු නැවකින් ලැබුණු ඇත් දළ

2008 වර්ෂයේ දී නැමීබියාවේ වෙරළාසන්න දියමන්ති පතලකින් හමු වූ, වැල්ලෙන් වැසීගිය නෞකාවක ශේෂවලින් මේ පර්යේෂණයේ කතාව ආරම්භ වේ. මේ නැව පිළිබඳ සාධක අනාවරණය වීමෙන් පසු දියමන්ති කැනීම නවතා කෙටි කාලයක් තුළ පුරාවිද්‍යා කැනීමක් සිදු කර ඇත. එම නැවේ ටොන් හතලිහක පමණ නැව් බඩු තොගයක් තිබූ බව හෙළි වී තිබෙයි. එසේ හමු වී ඇති විවිධ ද්‍රව්‍ය අතර රිදී හා රන් කාසි, තඹ කුට්ටි හා ඇත් දළ වැඩි වටිනා  ද්‍රව්‍ය තිබී ඇත. එසේම විවිධ නාවුක උපකරණ හා නැවේ භාවිත වූ මෙවලම් ද කැනීමෙන් හමු වී ඇත. විවිධ පර්යේෂකයන් විසින් මේ ද්‍රව්‍ය එදා සිට සිය අධ්‍යයන සඳහා යොදාගනු ලැබෙයි.

මෙම නැවෙන් හමු වූ එක් පෘතුගීසි කාසි වර්ගයක් නිකුත් කරන ලද කාල වකවානුව හා එම කාලසීමාවේ දී එම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නෞකා පිළිබඳ ලිඛිත සාධක ද යොදාගනිමින් එම නැව කුමක්දැයි අනාවරණය කරගැනීමට හැකි වී ඇත. එය බොම් ජීසස් (Bom Jesus) නම් වූ පෘතුගීසි වෙළෙඳ නෞකාවකි. 1533 වර්ෂයේ දී ඉන්දියාව දෙසට යාත්‍රා කරන අතර ඒ නැව අතුරුදන් වී තිබෙයි. මෙම නෞකාව ඉන්දියාව දෙසට යාත්‍රා කරමින් තිබූ බව තීරණය කර ඇත්තේ එහි තිබී හමු වූ තඹ කුට්ටි තොගය නිසාය. එම තඹ කුළු බඩු මිල දී ගැනීමට යොදාගැනීමට අපේක්ෂා කළ ඒවාය. මේ කරුණු අනුව වසර 487ක් පමණ පැරණි නැවක් වන මෙය දකුණු දිග අප්‍රිකාවෙන් හමු වී ඇති පැරණිම නෞකාව ද වෙයි.

නැවේ අඩංගු ද්‍රව්‍ය හා එහි පිහිටීම අනුව එය ශුභ පාර්ථනා තුඩුව දෙසට යාත්‍රා කරමින් තිබිය දී විශාල කුණාටුවට හසු වී උතුරු දෙසට සැතපුම් සියගණනක් ගසාගෙන ගොස් නැමීබියානු වෙරළට ආසන්නව මුහුදුබත්ව විනාශයට පත්වන්නට ඇත. එය අද වැල්ලෙන් වැසුණු බිමකි. මුහුදු මට්ටමට වඩා අඩි විස්සක් පමණ ගැඹුරින් මේ නැව තැන්පත් වී ඇත. 

ඇත් දළවල ප්‍රවේණික දත්ත

නැමිබියාවේ, ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ පර්යේෂක පිරිසක් මෙම නැවෙන් හමු වූ ඇත් දළ පිළිබඳ සිදු කළ අධ්‍යයනයකින් ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය කරගෙන ඇත. ඉන් එකක් පුරාප්‍රවේණික විශ්ලේෂණය මගින් ද දෙවැන්න වන්නේ සමස්ථානික විශ්ලේෂණය මගින් අනාවරණය වී තිබෙයි. 

නැමීබියාවට ඔබ්බෙන් වූ සිසිල් සාගරයේ ගිලී තිබූ බැවින් මේ ඇත් දළ ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ නිසා නැවේ තිබී හමු වූ දළ 62ක තොගයකින් දළ 44කින් සාර්ථක ලෙස DNA ලබා ගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබිණි. එම පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ දී විද්‍යාඥයගේ අවධානය යොමු වී ඇත්තේ මයිට්‍රකොන්ඩ්‍රියාවල DNA හෙවත් mtDNA පිළිබඳවය. මයිට්‍රකොන්ඩ්‍රියා යනු සෛලවල ඇතුළත් එක් සංඝටකයක් වන අතර එහි ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ මව් පාර්ශ්වයෙනි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් දුවෙකුට හෝ පුතෙකුට ලැබෙන්නේ තමන්ගේ මවගේ මයිට්‍රකොන්ඩ්‍රීය DNA ය. එබැවින් පරම්පරා හඳුනාගැනීමේ දී වැදගත් වෙයි. 

මෙම මයිට්‍රකොන්ඩ්‍රීය DNA අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මේ නැවෙන් ලැබුණු ඇත් දළ අයත් වන්නේ අප්‍රිකානු වනාන්තර අලින්ට (African forest - Loxodonta cyclotis) බවයි. අප්‍රිකාවේ වෙසෙන අනෙක් අලියා සැවානා අලියාට (African savanna - Loxodonta africana) අයත් ඓකදර්ශ (Haplotype) අතර මේ දළවල DNAවලින් ලැබී නැත. එසේම මධ්‍යම අප්‍රිකානු අලිගහනවල දැකිය හැකි ශාඛාවලට අයත් ඓකදර්ශ ද හමු වී නැත. ඒ අනුව මේ දළ අයත් වූයේ බටහිර අප්‍රිකාවේ වාසය කළ අප්‍රිකානු වනාන්තර අලින්ට බවට පෙනී යයි. බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික් වෙරළ ප්‍රදේශයෙන් පෘතුගාලයට අපනයනය කළ බවට ඓතිහාසික වාර්තාවලින් ලැබෙන සාධක සමඟ ද මෙය ගැලපේ. මේ ඇත් දළ ගිනියාබොක්ක ප්‍රදේශයෙන් නැව්ගත කළ ඒවා බව මේ පර්යේෂකයින්ගේ නිගමනයයි. 

එසේම ප්‍රවේණික කරුණු අනුව මේ අලින් එකිනෙකට වෙනස් රංචු 17කට අයත් වූ බව ද හෙළි වී තිබෙයි. අප්‍රිකාවේ එම කලාපයේ අද වන විට දැකිය හැක්කේ ඒ අතරින් රංචු හතරක් පමණකි. ඒ අනුව අතීතයේ සිදු වූ දඩයම් කිරීම නිසා සෙසු අලි රංචු වඳ වී යන්නට ඇති බව සිතිය හැකිය. මේ අනුව ගත වූ වසර පන්සීයක පමණ කාලය ඇතුළත අලින්ගේ විවිධත්වය විශාල ලෙසින් අඩු වීමට මහා පරිමාණ දඩයම හේතු වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම මේ හමු වූ දළවල දිග අනුව, ගැහැණු පිරිමි සතුන් ද, වැඩුනු හා තරුණ ද යනුවෙන් වෙනසක් නොමැතිව දඩයම් කර ඇති බව ද පැහැදිලිය.

අලින් ජීවත් වූ ප්‍රදේශ හඳුනාගැනීම

අලින් ජීවත්වන්නේ ගැහැණු සතුන් විසින් නායකත්වය ගන්නා කණ්ඩායම් ලෙසයි. එසේම මේ කණ්ඩායමක් හෙවත් රංචුවක් සාමාන්‍යයෙන් ජීවත්වන්නේ එකම භූගෝලීය ප්‍රදේශයකය. එබැවින් මේ පැරණි ඇත් දළවලින් ඒවා අයත් වූ සතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. එම අලින් එකම ප්‍රදේශයක ජීවත්වෙමින් ආහාරගන්නා නිසා ඒ ආහාරවල ඇතුළත් පරමාණු ඔවුන්‌ගේ දළ තුළ තැන්පත් වෙයි. එසේ තැන්පත්වන ද්‍රව්‍යවල ඇති ස්ථාවර කාබන් හා නයිට්‍රජන් සමස්ථානික විශ්ලේෂණය මගින් මේ ඇතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. 

මේ ඇතුන්ගේ දළවල ඇතුළත් කාබන් 13 සමස්ථානිකවල ඉහළ අගය අනුව ඔවුන්ගේ ආහාරයේ C4 වර්ගයේ තෘණ සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත වී තිබෙයි. එහෙත් වනාන්තරවල වෙසෙන අලින්ගේ ආහාරයේ දැකිය හැක්කේ C3 වර්ගයේ ආහාර පමණක් නිසා ඔවුන්ගේ කාබන් 13 සමස්ථානික පිරිහී ගොස් තිබෙයි. එසේම නයිට්‍රජන්  සමස්ථානික අගය අනුව ද නැවෙන් හමු වූ දළ හිමි සතුන් ඝන වනාන්තර හෝ විවෘත ශුෂ්ක පරිසරයක වාසය කළ අලින් නොවෙන බව තහවුරු වී ඇත.

මෙහි දී හෙළි වී ඇත්තේ මේ වනාන්තර අලින් වුවත් අප්‍රිකාවේ බටහිර වෙරළේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති ගිනියානු වනාන්තර ප්‍රදේශයට එපිටින් පිහිටි වනාන්තර හා සාවානා මිශ්‍ර පරිසරයේ හා වියළි වනාන්තර ප්‍රදේශයේ ජීවත් වූ අලින් විය හැකි බවයි. එම ඇතුන් ඝන වැසි වනාන්තර පැවති ප්‍රදේශවල ජීවත් වූවන් නොවන බව පැහැදිලි වී ඇත. මෙතෙක් පැවති එක් විශ්වාසයක් වූයේ එම සැවානා ප්‍රදේශයට වනාන්තර අලින් ව්‍යාප්ත වූයේ 19-20 සියවස්වල දී සැවනා අලින්ගේ ගහන අඩු වූ පසුව බවයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනෙන්නේ අඩු වශයෙන් අදට වසර පන්සීයකට පමණ පෙරදී ද වනාන්තර අලින් ඒ ප්‍රදේශයේ ජීවත් වූ බවයි. ඒ අනුව ඒ කාලයේදී අප්‍රිකානු වනාන්තර අලියාගේ ව්‍යාප්තිය ඒ ප්‍රදේශ දක්වාම තිබී ඇත. එසේම එය එකල පෘතුගීසී වෙළෙද නෞකා පැමිණි ස්ථාන හා ගැලපෙයි. 

සංරක්ෂණයට ඇති අදාළත්වය

කිසියම් සත්ත්ව විශේෂයක ප්‍රවේණික විවිධත්වය අඩු වීම එම සත්ත්ව විශේෂයේ වඳ වී යෑමේ අවදානම ඉහළ යෑමට හේතු වන බව පැහැදිලි කරුණකි. අප්‍රිකානු මහාද්වීපයේම ජීවත්වන චීටා සතුන් අද මුහුණ දී ඇති තත්ත්වය මෙයයි. මිනිසුන් මැදිහත් වී ආරක්ෂා කරගත් හා නැවත ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් සමහර සතුන් ද මේ තත්ත්වයට මුහුණ දී ඇත. 

මෙම පර්යේෂණයෙන් හෙළි වන කරුණු අලි සංරක්ෂණයට මෙය යොදාගත හැකිය. අද වන විට ද නීතිවිරෝධිව ලබාගත් ඇත් දළ විශාල ලෙසින් හමු වන අවස්තාවල දී ඒවායේ DNA විමර්ශනය කිරීම මගින් අලින් කුමන ප්‍රදේශයක වාසය කරන්නවුන් ද යන්න හදුනාගැනීම මේ වන විටත් සිදුවෙයි. මේ පර්යේෂණයේදී එය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර එම ක්‍රමවේදය ලෝකයේ දැකිය හැකි ඇත් දළ එකතු පැමිණි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා යොදාගත හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සංරක්ෂණය සඳහා වැදගත්ය.

ඡායාරූප - අන්තර්ජාලයෙනි.

(මූලාශ්‍රය: Current Bology, DOI: 10.1016/j.cub.2020.10.086)