Thursday, April 22, 2021

"මිහිතල දිනය" හා "මිහිතල මාතා දිනය"

ධනේෂ් විසුම්පෙරුම


22.04.2021


අද, එනම් අප්‍රේල් මස 22 වැනි දිනය "මිහිතල දිනය" බව දැන් ප්‍රකට කරුණකි. එහෙත් එය "අන්තර්ජාතික මිහිතල මාතා දිනය" යනුවෙන් ද හැඳින්වෙන බව දන්නේ අඩු පිරිසකි.

මේ දෙක එකක් ද? නැත. මේ පළමුව සඳහන් දිනය ඇමරිකාවේ පැවැති පාරිසරික අර්බුදය නිසා උපන් ජනතා විරෝධතාවක් පැවති 1970 වසරේ දිනයක් සැමරීමකි. (එම සැමරුම 1990න් පසු ජගත් මට්ටමට ගියේය). අනෙක ඊට බොහෝ කාලයකට පසුව 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කළ දිනයකි.


මිහිතල දිනය (Earth Day)

1960 ගණන් වන විට ඇමරිකාවේ පැවති මහා පරිමාණ පරිසර දූෂණය පිළිබඳව එරට ජනතාවගේ අවධානය යොමු විය. එයට පිළියම් සෙවීමට රජයට බලකරමින් හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සහයෝගය පළ කරමින් එරට ජනතාව විසින් 1970 අප්‍රෙේල් මස 22 වැනි දින ඇමරිකාව පුරා උද්ඝෝෂණයක් දියත් කරන ලදි. ඊට මිලියන විස්සක පමණ ජනතාවක් සහභාගි වී ඇත. ඒ සඳහා මුල් වූ එවකට සෙනෙට් සභිකයෙකු වූ ගේලෝඩ් නෙල්සන් (1916-2005) මේ දිනයේ ආරම්භකයා ලෙස සැලකේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ පරිසර ආරක්ෂාව සඳහා විවිධ කටයුතු ආරම්භ විය. එමෙන්ම එය 1970 දශකයේ දී ජගත් මට්ටමෙන් ඇති වු පරිසරය පිළිබඳ සාකච්ඡාවට ද බලපෑමක් කළ බැවින් මේ දිනය නූතන පරිසර සංරක්ෂණ ව්‍යාපාරයේ ආරම්භය ලෙස සැලකෙයි.

පළමු මිහිතල දිනයේ සම්බන්ධීකාරක වූ ඩෙනිස් හේයස් (1944-) එහි විසිවන සංවත්සරය හා සමගාමීව 1990 වර්ෂයේදී ජගත් සැමරුමක් බවට පත් විය. ඒ වර්ෂයේ දී රටවල් 141ක් පුරා මේ දිනය සමරන ලදි. 2020ට යෙදුණු මිහිතල දිනයේ පනස්වන සංවත්සරයට ලෝකය පුරා මිලියන සියයක පමණ ජනතාවක් සම්බන්ධ වී ඇත.

1990 වර්ෂයේ දී ජගත් මට්ටමට ගිය මිහිතල දින සැමරුම ශ්‍රී ලංකාවේ ද පවත්වන ලදි. අපේ රටේ සංවිධානය කළ වැඩසටහන් සම්බන්ධව ශ්‍රී ලංකා පරිසර සම්මේලනයේ පුවත්පත වූ 'මිහිකත' 9 කලාපයේ පළ වූ පුවතක් මෙසේය.




එදා මිහිතල දිනයේ සිට පරිසර දිනය (ජුනි 5) දක්වා මෙරට තුළ සිදු කළ කටයුතු ගැන 'මිහිකත' 10 කලාපයේ විස්තර පළ විය. (අපේ රටේ නූතන පරිසර ව්‍යාපාරයේ ව්‍යාප්තිය සිදුවන්නේ ද අසුව දශකයේ පමණය.)




එහි සඳහන් පරිදි 1990 අප්‍රේල් 22 දින පැවති කටයුතු සමහරක් මෙසේය.










කෙසේ වෙතත් මිහිතල දිනය යෙදෙන කාලය ලංකාවේ උත්සව සමයක් වීම නිසා මෙන්ම පාසල් නිවාඩු සමයක් වීම නිසාත් මේ දිනය සැමරීම දිගු කාලීනව සාර්ථක නොවීය. එහෙත් වරින්වර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වා ඇත.

මිහිතල දිනය සඳහා තේමා නම් කිරීම හා ජගත් මට්ටමින් සම්බන්ධීකරණය කිරීම 'මිහිතල දිනය ජාලය' (Earth Day Network) විසින් සිදුකරනු ලැබේ. එහි වෙබ් අඩවිය www.earthday.org වේ.



අන්තර්ජාතික මිහිතල මාතා දිනය (International Mother Earth Day)



එඑතෙක් ස්වාධීනව සිදුකරන ලද මිහිතල දින සමරුවට අමතරව 'අන්තර්ජාතික මිහිතල මාතා දිනය' ලෙස අප්‍රේල් මස 22 දිනය නම් කරනු ලබන්නේ 2009 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාවක් අනුවය. එම යෝජනාව මෙසේය.


ඒ අනුව මේ දිනය සැමරීමේ දී ඒ වන විට පැවති තිරසර සංවර්ධනය හා සම්බන්ධ වැඩසටහන් හා  සැලසුම් ආදිය  යළිත් පිළිගැනීම හා අනුමත කරන බව යළිත් සඳහන් වේ. මිනිසුන්ගේ ද නිවස වන මිහිතලය හා සොබාදාහම සමඟ සාමයෙන් සහජීවනයෙන් පැවැත්මේ ඇති වැදගත්කම ද කියැවේ. 'මිහිතල මාතාව' ලෙස සිදුකරන හැඳින්වීම තුළින්ම මිහිතලය, මිනිසුන් හා සෙසු ජීවීන් අතර ඇති අන්‍යොන්‍ය උපජීවනය නිරූපණය යන බව මේ යෝජනාවෙන් වැඩිදුරටත් තහවුරු කර ඇත. 

(මෙම යෝජනාව PDF පිටපතක් ලෙස මෙතැනින් බාගන්න - http://undocs.org/A/RES/63/278)

එසේ සම්මත වූ මිහිතල මාතා දිනය 2010 වර්ෂයේ සිට සමරනු ලැබේ.


එබැවින් මේ දිනය වෙනුවෙන් 1970 සිට සමරනු ලබන ඇමරිකානු (පසුව ජගත් මට්ටමට ගිය) දිනයක් ද, 2009 දී එක්සත් ජාතීන් විසින් සම්මත කළ අන්තර්ජාතික දිනයක් ද ඇති බව පෙනෙයි. 

"මිහිතල දින" සැමරුම නිසා "අන්තර්ජාතික මිහිතල මාතා දින සැමරුම" යටපත් වී ඇති බවක් ද පෙනේ. එහෙත්  මේ දින දෙකේම අරමුණ වන්නේ මිහිතලය ආරක්ෂා කිරීමය; ඒ වෙනුවෙන් හඬනැගීමය; ඒ වෙනුවෙන් කටයුතු කිරීමය. එබැවින් ඒ දිනවල ඉතිහාසය ගැන අවබෝධයකින් යුක්තව පරිසරය වෙනුවෙන් මේ දිනය සමරමු.

22.04.2021

Wednesday, April 14, 2021

කාබන් ඩයොක්සයිඩ් මට්ටම තවත් මංසලකුණකට

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2021.04.14, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/04/14/feature3.html





වායුගෝලයේ පවත්නා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ සිදුවන වෙනස්කම් මිහිතලය උණුසුම් වීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකි මනා දර්ශකයකි. හවායි හි මෝනා ලෝආ නිරීක්ෂණාගාරයේ පසුගියදා වාර්තා වූ කියවීම්වලින් පෙනෙන්නේ ඒ වායුවේ සාන්ද්‍රණය කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි. එම කියැවීම අනුව 2021 අප්‍රේල් මස තුන් වැනි දා එහි දෛනික කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 421.21ක් විය.

කාබන් ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය මිලියනයකට කොටස් 420 අගය පසු කිරීම යනු බි්‍රතාන්‍යයේ කාර්මික විප්ලවය ඇතිවීමට පෙර හෙවත් පූර්ව කාර්මික අවධියේ පැවති සාන්ද්‍රණය වන මිලියනයකට කොටස් 280ට වඩා හරියටම 50%කින් ඉහළ යෑමකි. මෙවැනි වර්ධනයක් වාර්තා සහිත ඉතිහාසයේ වාර්තා වී ඇත්තේ පළමු වතාවටය.

එමෙන්ම මේ විමෝචන වර්ධනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ මෑත කාලයේ දී ය. නිදසුනක් ලෙස ගතහොත්, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 25%කින් ඉහළ යෑම සඳහා වසර දෙසියයක් පමණ කාලයක් ගත වී ඇත. එහෙත් එය 50%ක් දක්වා ඉහළ යෑමට ගත වී ඇත්තේ වසර 30ක් තරම් අඩු කාලයකි. මේ අනුව පෙනෙන්නේ මෑත කාලයේ දී ඇති වී තිබෙන ඉතා සිඝ්‍ර වූ වර්ධනයයි.

වාර්තාගත අගයයන්


එමෙන්ම සාගරවිද්‍යාව පිළිබඳ ස්ක්‍රිප්ස් ආයතනය මගින් නිකුත් කර ඇති දත්ත අනුව ගත වූ මාර්තු මාසයේ වායුගෝලයේ පැවති කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වූ මිලියනයකට කොටස් 417.14ක පමණ අගය නව වාර්තාවකි. මීට පෙර කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ මාසිකව දැකිය හැකි වූ උපරිම අගය ලෙස සඳහන් වන්නේ 2020 මැයි මාසයේ දී වාර්තා වූ මිලියනයකට කොටස් 417.10ක අගයයි.

එසේම මාසිකව කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ නිකුත් කරන බි්‍රතාන්‍ය කාලගුණ කාර්යාලය (ඵැඑ ධසෛජැ) පෙන්වා දෙන ආකාරයට 2021 වර්ෂයේ උපරිම අගය මිලියනයකට කොටස් 419.5ක් පමණ තරම් විය හැකිය.

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වර්ෂය පුරා සුළු වශයෙන් වෙනස් වෙයි. ලෝකයේ උතුරු අර්ධගෝලයේ වසන්ත හා ග්‍රීෂ්ම ඍතු පවත්නා කාලයේ දී ශාක මගින් මේ වායුව අවශෝෂණය කරගැනීම ඉහළ යන බැවින් ඒ කාලයේ දී මේ වායුවේ සාන්ද්‍රණය අඩු වෙයි. එහෙත් ඉන්පසුව එළැඹෙන ශරත් හා ශීත ඍතුවල දී මේ වායුවේ සාන්ද්‍රණය ඉහළ යයි.

මේ අතර පසුගිය 2020 වර්ෂයේ කාබන් ඩයොක්සයිඩ් වායුවේ වාර්ෂික සාමාන්‍ය සාන්ද්‍රණය මිලියනයකට කොටස් 413.94ක් වූ අතර, මේ වර්ෂයේ දී එහි සාමාන්‍යය මිලියනයකට කොටස් 416.3ක් පමණ වනු ඇතැයි අපේක්ෂිතය.

දිගුකාලීනව ගත් විට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යමින් තිබෙයි. මේ වර්ධනය වීමේ ප්‍රවණතාවය මානව ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්ය යන්න මේ වන විට පැහැදිලි කරුණකි. ඒ සඳහා දායක වන් කටයුතු අතර මූලික වශයෙන් පොසිල ඉන්ධන දහනය කිරීම හා වන විනාශය ඇතුළත් වෙයි. මේ කරුණු සියල්ලෙන්ම පැහැදිලි වන්නේ අද වන විට ඇති වී තිබෙන තත්ත්වයයි. කාබන් ඩයොක්සයිඩ් හා වෙනත් හරිතාගා වායු විමෝචන අඩු කිරීම සඳහා සාධනීය වූ වැඩපිළිවෙලක් ලෝකයට අවශ්‍යව තිබෙයි.


කොවිඩ් නිසා වෙනසක් සිදුවීද


එමෙන්ම මේ ආකාරයෙන් කාබන් ඩයොකස්යිඩ් වායු විමෝචන ඉහළ යෑම සිදු වී ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ කාබන් ඩයොක්සයිඩ් විමෝචන අඩු වීමක් සිදු වූ තත්ත්වයක දී වීම ද විශේෂයකි.

2020 වර්ෂයේ දී ඇති වූ කොවිඩ්-19 තත්ත්වය නිසා ඒ වර්ෂය ඇතුළත ගෝලීය වශයෙන් විමෝචනය වූ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචන ප්‍රමාණය අඩු විය. ඒ ලෝකයේ ඇති වූ සීමාකිරීම් හා වසා දැමීම් නිසා ප්‍රවාහනය අවම වූ නිසාත් බොහෝ ආර්ථිකමය කටයුතු අඩු වූ නිසාත්ය. එහෙත් මෙසේ 2020 වර්ෂයේ දී ඇති වූ කාබන් විමෝචන අඩු වීම, සමස්තයක් ලෙස වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කිරීමට සමත්ව නැත. මේ නිසා එම වායුවේ සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ ගොස් ඇත. එමගින් පෙන්වා දෙන්නේ වඩා විශාල ප්‍රමාණයේ හා වඩා දිගු කාලයක් ක්‍රියාත්මක වන විමෝචන අඩු කිරීමක් අවශ්‍ය බව යැයි බ්‍රීතාන්‍ය කාලගුණ කාර්යාලය ද පෙන්වා දී තිබෙයි.

මේ වන විට පිළිගන්නා පරිදි අනාගතයේ දී ලෝකයේ බරපතළ දේශගුණ ප්‍රතිවිපාක ඇති නොවීමට නම් ලෝකයේ උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 1.5කට සිමා කළ යුතුය. ඒ සඳහා 2050 වර්ෂය වන විට හෝ ඊට පෙර, වායුගෝලයට එක් වන ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචන ප්‍රමාණය ශුන්‍ය බවට පත් කළ යුතුය. මේ සඳහා වායුගෝලයට නිකුත් වන විමෝචන අඩු කිරීමට මෙන්ම වායුගෝලයේ ඇති විමෝචන ඉවත් කිරීමට ද අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුය.

Tuesday, April 13, 2021

“වැස්ස නුඹ වගේ”

ධනේෂ් විසුම්පෙරුම

13.04.2021


වැස්ස දිහා බලන් ඉන්න මම හැමදාමත් ආසයි.


පිටිපන දී දුටු වැස්සක්

වැස්ස ගැන කතා කළ නිසා "මෙහේ හොඳටම වහිනවා" කියලා අයෙක් එවූ පණිවුඩයක තිබ්බා. එතකොටත් මම හිටියේ වැස්ස පොළොවට වැටිල එන සුවඳ විඳිමින්. අපට එතරම් තද වැස්සක් නොතිබුනත් පොළොව තෙමෙන වැස්සක් වැටුණා. ගෙවල්වල වහල හා සිමෙන්තිත්, පාරෙ කොන්ක්‍රීට් හා කැටගල් අතර ඇති සීමිත පසට වැස්ස වැටිලා ඒ නැවුම් සුවඳ පැමිණෙමින් තිබුනා.

ඒ වැස්ස පොළොව ඉල්ලා සිටින එකක්. අපි මොනතරම් වතුර දැම්මත්, ගෙවත්තේ ගහකොළවලටත් දැනෙන්නෙ මේ වැස්සට වැටෙන වතුරයි. පාරෙ බිඳුණු තැන්වල වැවෙන වල් පැළත් දළු දමා වැඩෙන්නෙ එතකොටයි.

ඊයේ, එනම් අප්‍රේල් 12 දා, තමයි මෙවර බක් මාසය ආරම්භ උනේ. මද අකුණු ගැසීමකුත් එක්ක අපට ආපසු වහින්න ගත්තෙත් ඒ සමඟයි. "බක්මහ වැස්ස" නැත්තං “බක්මහ අකුණු” කියන වචනෙට ගැලපෙන්නම වැඩේ පටන් අරගත්තා.


වැස්ස දිහා බලන් ඉද්දි බොහෝ දේ සිහිපත් වෙනවා.


පොඩි කාලෙ මහ වැස්ස වැටෙනකොට වහලෙන් හෝ පීල්ල කෙරවරකින් වැටෙන වතුර පාරට ඔළුව අල්ලගෙන නාපු හැටි මතක් වෙනවා. “ඉදලා ඉදලා වැටෙන වැස්සෙ නාන්න එපා” කියන එක අහන්නැතිව වැස්සේ නාන්න ගිහින් තාත්තගෙන් ගුටි කාපු වෙලාවලුත් තිබ්බා. දැනුත් ඉඳහිට එහෙම නාන වෙලාවල් නැත්තෙ නෑ. ඒක වෙනම වැඩක්. එහෙම නානකොට දමට දැනුණෙ ගමේ පීල්ලකින් වැටෙන වතුරෙන් අපි නාපු හැටි. දැරණියගල අපේ අම්මලාගෙ ඉඩම කෙලවර ආණ්ඩුවෙ රබර්වත්ත තිබූ කන්දෙ ගල්තලාවක් යටින් මතුවන දියබුබුලක් තිබුණා. ඒකට කිතුල් කඳක් කපා දමා පීල්ලක් සම්බන්ධ කරලා අපූරු නාන්න තැනක් සකසා තිබුණා. එතනින් පොඩි ඇලක් පටන්ගත් බවයි මතක. ඒත් දැන් ඒ පීල්ල එතන නැති බවක් මෑතදි ගිය වෙලාවෙ දැනගන්න ලැබුනා. ආයෙ ගියාම යන්න ඕන එතනට.

පුංචි කාලෙ වැහි වතුරේ කඩදාසි බෝට්ටු යවපු හැටි මතකයි. ගෙදර වහළෙන් වැටෙන වැහි වතුරේ වගේම මිදුලේ කලාගෙන යන වතුරෙත් බෝට්ටු යැව්වා. මහන්සි වෙලා ආසාවෙන් හදපු බෝට්ටු වතුර පාර දිගේ පාවෙලා ඈතට යනවා බලන් හිටියෙ සතුටින් වගේම දුකකින් වෙන්න ඕන - එදා ඒ හැඟීම් වෙන්කරලා තේරුම් ගත්ත හැටි මතක නෑ. කොහොම උනත් වැස්සේ බෝට්ටු යැවීම නං මෑත කාලදිත් කළ දෙයක්, ඒ ඉතිං පොඩි දරුවොත් එක්ක. ඉස්සර කඩදාසි බෝට්ටු යැව්වට දැන් හිටි ගමන් කාඩ්බෝඩ් බෝට්ටුත් හදනවා.

ඒ වගේම මට තියන පරණම සිදුවීමක් තමයි අපි මාතර ගොඩගම ගෙදරක හිටපු කාලෙ තාත්තා මාව දාගෙන ගංවතුරේ ඔරු පැද්ද හැටි. හීනයක් වගේ මත ඒ සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු දෙකක් තුනක් වෙන්න ඕන. තාත්තා එදා අම්මගෙන් සෑහෙන බැනුම් ඇහුවලු (මේක වෙනම ලියන්න ඕන). 

ලොකු උනාට පස්සෙ වැස්ස වෙලාවෙ මං කැමති පැත්තකට වෙලා වැස්ස දිහා බලං ඉන්න. දොර ගාවට වෙලා බලාගෙන ඉන්න. ඒ වගෙම මම වැස්සෙ ගමන් බිමන් යන්න එතරම් කැමති නෑ, ඒ දවසගානෙම කුඩ නැතිකරගන්න නිසාම නෙමෙයි (ඒකත් කියන්න එපැයි). 

මොනව උනත් ගහ කොළ අඩු, පර්චස් දහයෙ කොටස්වලට බෙදුණු ඉඩම්වල ජීවත් වන නිසා රෑට වහිනවා කියන්නෙ මහා සැනසිල්ලක්. කොන්ක්‍රීට් නිසා රෑටත් සිසිල් වීම අඩු පරිසරයේ ඒ ගත දවන උණුසුම නැතිව ගිහින් සිසිලක් ලැබෙන නිසා. සීතලේ නිදන්න හැකි නිසා.

මම පාසල් යන කාලෙ විසූ එක්තරා පරණ නිවසක කොටසක තිබුණෙ තහඩු වහළයක්. එවැනි තැනක දි වැස්සෙ තරම සද්දෙන් පවා කියන්න පුළුවන්. ඒ සද්දෙ තාමත් ඇහෙනව වගේ මතකයි. 


වැස්ස හා සංගීතය


ඉතින් වැස්ස ගැන හිතනකොට මගේ සිතට නිරායිසයෙන් එන ගීත කීපයකුත් තියනවා.

එකක් තමයි ගුණදාස කපුගේ ගයන රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ "දවසක් පැල නැති හේනේ - අකාල මහ වැහි වැස්සා" කියන මව් ගුණ ගීතය. මේ ගීතය රජරට වැස්සත්, හේනත්, අම්මාගේ සෙනෙහසත් මතක් කරනවා. හේනක එවැනි අත්දැකීමක් ලබා නැතත් මගේම අත්දැකීමක් වගේ මට ඒක දැනෙනයා. ඒ එක්කම එහි තිබෙන "කොළඹ අහස කළු කරගෙන - මූදු හුළඟ අඬලන කොට" කියලත් කියන එක තවත් දැනෙනවා.

"දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන 
මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඹලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ
ඉන්නවාද අම්මේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්සත් එක්ක ඊළඟට මතක් වෙන ගීතයක් තමයි මිල්ටන් මල්ලවාරච්චි ගයන "මේ මැයි ගහ යට දවසක්දා - වැස්සට අපි උන්නා" ගීතය. මේ සමඟ මට හැමදාම මැවෙන රූපය අමුතු එකක්. මැයි ගසක්වත් නැති බව මම හොඳින්ම දන්නා එක්තරා මාර්ගයක, අඳුරු වැසි සහිත සැන්දෑවක මැයි ගසක් පාමුල ඉන්නා නොදන්නා යුවලක් තමයි මට මැවෙන රූපයේ ඉන්නෙ. මේ අපූරු විරහ ගීතය අපි පාසල් කාලෙ සිටම බෙහෙවින් ආස කළ ගීයක්. අත්දැකීමක් ඇතත්, නැතත් විඳින්න හැකි වූ ගීතයක්. මේ ගීතයේ පද ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ.


"මේ මැයි ගහ යට - දවසක්දා
වැස්සට අපි උන්නා
රතුකැට වාගේ - මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා

මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නෑත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඊළඟ ගීතය මම අහන්නෙ පස්සෙ කාලෙක. ඒ සෙංකඩගල වැස්ස සිහිපත් කරන "මුතුකුඩ ඉහළන මල් වරුසාවේ" ගීතයයි. විරහ ගීතයක් වුන මේ ගීතයත් ඒකෙ කිවෙන කතාවත් අපේම අත්දැකීමක් වගේ දැනෙනවා. සෙංකඩගල වැස්ස අත්දැක ඇති නිසාමද මන්දා. ඒකෙ චිත්ත රූපයක් මවන්න බෑ, මොකද කලකට පෙර රූපවාහිනියෙ දැකපු විෂුවල් එකක් චිත්ත රූපයම වෙලා නිසා . ලූෂන් බුලත්සිංහල ලියූ මේ ගීතය ගයන්නෙ රෝහණ වීරසිංහයි.

"මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැඩෙන ආදරය එක්ක වැසි දිනයක් ගැන කියන මේ ප්‍රේම ගීතය මම මුලින්ම අහන්නෙ ඊටත් මෑත කාලෙක. රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන අපූරු ගීයක්.

"මිණි මිණි පොද වැටේවි - මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්

බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්ස ගැන සිහිවීමත් එක්ක වැස්සට එන්න එපා කියන ගීත කීපයකුත් මට මතක් උනා. ඒවා සියල්ලම වගේ ප්‍රේම ගීතයි.

ඒ අතරින් මම මුලින්ම ඇහුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ, ආචාර්ය වික්‌ටර් රත්නායක ගායනා කරන මේ සුන්දර ගීතය. පෙම්වතිය හමුවීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අතර වැස්සක් වැටුනොත් ඒ සුන්දර මොහොත අඳුරු වී යා හැකි බවක් පැවසේ. එබැවින් සුළඟ මගින් වැහිවළාවට කියන්නේ හෝරා කීපයක් පමා වන ලෙසයි.

"හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි - හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු සැදෙයි - කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

අප සමුගත් පසු වසින්න - ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න - නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා..."

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඊළඟට මතකයට ආ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇති එඩ්වඩ් ජයකොඩි ගයන එකක්. එහි කියැවෙන්නෙ සිය පෙම්වතිය වැසි ආපදාවෙන් ආරක්ෂා කරන්න ඕන බව සිතන පෙම්වතෙක්ගෙ සිතුවිලි. වැස්සොත් සිදු විය හැකි දේ එතැන අපූරුවට කියවෙනවා.

"ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරියෙ පිට මඩ ඉහෙයි

මුහුනට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මිරිවැඩි තුල දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි

සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සග වන්නෙමි ඔබ මගෙන්
දිව එන්නට මට හිතෙයි"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්සට එන්න එපා කියන තවත් ගීතයක් තමයි මෑත කාලයේ ඇහුව "මහරගමට වහින්නැතුව - වහින්න ඕනෑ තැනකට" ගීතය. එහි කියැවෙන්නෙ වැඩ අවසන් වී ගෙදර යන්න මහරගමට ආපු තරුණියක් වැස්සට හසු වී තෙමෙන්න පුළුවන් නිසා මහරගමට වහින්න එපාය කියන එක. මේ ගීතය ලියලා තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වන අතර ගයන්නෙ චාමර වීරසිංහයි.

"මහරගමට වහින්නැතුව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග

උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා

මහ වැස්සට තෙමුණොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ"

(මේ ගීතය මෙතැනින් අහන්න)

(මහරගම ටවුමට කෙසේ වෙතත් මහරගමට වහිනවට මම නං කැමතියි. මොකද මම ඉන්නෙත් මහරගම නගරයේම නිසා...)


වැස්සට කලින් සමහරුන්ට සිතෙන සිතුවිල්ලක් ගැනත් කියන ගීතයක් අපේ ගීත අතර තියනවා. ඒ, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගායනා කළ, කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් ලියූ “මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා” ගීතය. මොනව උනත් වැස්ස වෙලාව ඒ කටයුත්තට සුදුසුම වෙලාවක් තමයි.

"මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා - කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ - කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ - මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි - තනිකම ඊට වැඩී
එකම කුඩය යට අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳහැටි මතකයි

මී විතකින් ගත උණුසුම් වූව ද - සිත උණුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොළට
එපා එපා මී විත මගෙ දෙතොළට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා"

(මේ ගීතය මෙතැනින් අහන්න)


අපේ ගීත අතර වැස්ස උපමාවක් ලෙස ගත් ගීතත් තියනවා. ඍජුවම වැස්සක් ගැන නොකීවත්, ඒවයෙ වැස්ස යොදාගෙන තිබෙන්නේ අපූරු අදහස් සන්නිවේදනය කරන්නටයි.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ” එවැනි එක් ගීයක්. ඒත් ඒකෙ චිත්ත රෑප මැවෙන්නෙ වැස්සට පසුව එන නිසංසල බවත් එක්කම. පෙම් ගීයක් වන මේ ගීතයේ තියෙන්නෙ පෙම්යුවලත් අතර ඇති වූ ගැටුමකින් පසුව ඇති වූ තත්ත්වය. මේ ගීතය ලියා තිබෙන්නෙ සුනිල් සරත් පෙරේරා වන අතර ගයන්නෙ සෝමතිලක ජයමහයි.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි”

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඍජුවම වැස්සක් ගැන නොකීවත් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන, යමුනා මාලනී පෙරේරා ලියූ මේ ගීයෙ වැස්ස උපමා කරන්නෙ පෙම්වතියට. වැස්ස වගේ පෙම්වතියගෙන් සිත් මලේ පාට නොසේදීම පුදුමයක් තමයි කියලයි කියන්නෙ. “වැස්ස නුඹ වගේ” කියලා මේ ලියමනට මාතෘකාව ගත්තෙත් මේ ගීතයෙන්.

“සුළඟ නුඹ වගේ - සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් - යන්නටම හදයි
වැස්ස නුඹ වගේ - සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසුපසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි”

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්ස ආපදාවක් ද?


මෙතෙක් කීවේ වැස්සේ සුන්දර පැති ගැනයි.

කොහොම වෙතත් අධික වැස්ස නම් ස්වාභාවික ආපදාවක් විය හැකියි. ඒ වැස්ස නිසා ගංවතුර, නාය යෑම් වගේ විපත් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා සෑම වර්ෂයකම පාහේ සිදුවන ජීවිත හා දේපොළ හානි සැලකිය යුතු තරම් බරපතළයි.

එවැනි සිදුවීම් සඳහන් වන පොත් දෙකක් එක් වරම මතකයට ආවා. ඉන් එකක් මීට දශක කීපයකට පෙර පාසල්සමයේ දී කියවූ “වැහි දවස” නවකතාව. එය භද්‍රජී මහින්ද ජයතිලකයන් ලියුවක්. ඒ කතාව නායයෑම් ඛේදවාචකයක් ගැන ගැන කියවෙන්නක් බවයි මට මතක. මේ පොත ආපහු හොයාගන්න ඕන. 

අනෙක් පොත තමයි මෑත දී පළ වූ “හිඹුටුදෙණිය කඳු පාමුලින්” කියන කතාව. නායයෑමක් නිසා අනාථ වන දරුවෙකුගේ ජීවිතය ගැන ලියැවුණු මේ පොත පියසිරි මාතරගේ ලියූ සම්මාන දිනූ යොවුන් නවකථාවක්.

තවත් දෙයක්.

වැස්ස තියන දවස් ඇතැම් විට “අයහපත් කාලගුණයක්” ලෙස හඳුන්වනවා. විශේෂයෙන් සමහර මාධ්‍ය වැසි සහිත දවස් හඳුන්වන්නේ ඒ ආකාරයටයි. ඒ වගේම වැස්සේ තියන යහපත එදාට බොහෝ දෙනාට අමතක වෙනවා. එතෙක් පීඩා වින්ද නියඟය හා වියළි කාලගුණය අමතක වෙනවා. වතුර නැතිව වේලෙන වගාබිම් අමතක වෙනවා.

ඉතින් දැනට ඇති. දැන් වැස්ස තුරල් කරලා.

13.04.2021

Monday, April 12, 2021

දුවගේ වස්තුව...

පොත් රාක්ක අස්කරද්දි
යළි හමු වූ මේ එකතුව
බිම පෙරලාගෙන ඉඳගෙන
තෝරා - ගලපා - රසවිඳ
බඳුනට දමනා සෙල්ලම
පටන් අරන් වගේ පෙනෙයි...

මාල පබලු - ටීක් බෝල
බොත්තම් හා සීකුයින්ස්
පැන්සල්වල කෑලි බෑලි
තව තව පොඩි පොඩි අයිටම්
තව සෑහෙන වෙලාවකට
ඔතන තමයි එයා ඉතින්...

සැනින් ගියෙමි අතීතයට
මටත් තිබුන ඒ වාගේ
එක එක දේ පෙට්ටියක්ම
තෝර තෝර රසවිඳින්න...
ඒවායින් එකක් දෙකක්
තාමත් තියනව මා ළඟ!


ධනේෂ් විසුම්පෙරුම

12.04.2021

Wednesday, March 10, 2021

ලෝක ආහාර නාස්තියේ තරම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2021.03.10, පි. 7 (Vidusara)

http://www.vidusara.com/2021/03/10/feature2.html

ආහාර නාස්තිය යනු ආහාර සුරක්ෂිතතාවය හා සම්බන්ධ ඉතා වැදගත් අංශයකි. ආහාර නාස්තිය නිසා ප්‍රයෝජනයට ගත හැකි ආහාර විශාල ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකිව අපතේ යයි. ආහාර නාස්තිය යනු සම්පත් නාස්තියක් බැවින් එය තවත් අංශ ගණනාවකට ද බලපාන්නකි.

මේ පිළිබඳ පසුගිය දා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් ප්‍රකාශයට පත් කර ඇති ‘ආහාර අපද්‍රව්‍ය සුචිය 2021 වාර්තාව’ (Food Waste Index Report 2021) නම් වාර්තාව අනුව, ජගත් මට්ටමේ ආහාර නාස්තියේ තරම ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකිය. මේ විෂය පිළිබඳව සිදුකරන ලද වැඩිම දත්ත ප්‍රමාණයක් පාදක කරගත් වාර්තාව ලෙස මෙය හැඳින්වෙයි.

මේ වාර්තාවේ දී ආහාර නාස්තිය සලකා ඇත්තේ ආහාර සිල්ලර අලෙවියේ දී, ආහාර සැපයුම් සේවා (ආපනා ශාලා ආදි) සහ ගෘහස්ථ මට්ටමේ දී අපතේ යන ආහාර ප්‍රමාණයයි. (ආහාර නාස්තියට යන පුළුල් අර්ථදැක්වීමට ආහාර නිෂ්පාදනයේ සිට සිල්ලර අලෙවිසැල දක්වා වූ සැපයුම් ජාලයද අයත් වෙයි).


ආහාර නාස්තිය


මේ වාර්තාවේ පෙන්වා දී ඇති ආකාරයට 2019 වර්ෂයේ දී ලෝකයේ අපතේ ගොස් ඇති ආහාර ප්‍රමාණය හෙවත් ආහාර නාස්තිය ටොන් මිලියන 931ක් පමණ වේ. එය ටොන් 40 ප්‍රමාණයේ ට්‍රක්රථ මිලියන 23කට පිරවිය හැකි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයට සමානය. එම වාහන ප්‍රමාණය එකිනෙකට යාව සිටින ලෙස පෙළගැස්වුවහොත් ලෝකය වඩා සත් වරක් පමණ පෙළගැස්විය හැකිය.

ආහාර අපතේ යන ස්ථානය අනුව ගත් විට තත්ත්වය මෙසේය. මේ අපතේ යන ආහාර අතරින් 61%ක් පමණම නාස්ති වී ඇත්තේ ගෘහාශ්‍රිතව හෙවත් නිවෙස්වල දී ය. ආපනශාලා ආදියේ දී නාස්ති වී ඇති ප්‍රමාණය 26%කි. එසේම, තවත් 13%ක් පමණ අපතේ ගොස් ඇත්තේ වෙළෙඳසැල්වල දීය.

මේ අනුව 2019 වර්ෂයේ ලෝකයේ මුළු ආහාර නිෂ්පාදනයෙන් 17%කට අධික ප්‍රමාණයක් අපතේ ගොස් ඇත. මේ අතරින් 11%ක් පමණ නිවෙස්වල දී ද, ආපනශාලා ආදි ආහාර සැපයුම් සේවාවලදී 5%ක් පමණ ද, වෙළෙඳසැල්වල දී 2%ක් පමණ ප්‍රමාණයක් ද අපතේ ගොස් තිබෙයි. (මේ හැර, ගොවිපොළ මට්ටමේ දී හා ගොවිපොළේ සිට සිල්ලර අලෙවිසැල දක්වා වූ සැපයුම් මාර්ගයේ දී අපතේ යන ආහාර ප්‍රමාණය ද ගත් විට ලෝකයේ මුළු ආහාර නාස්තිය ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකකට ආසන්න විය හැකිය.)

මේ තත්ත්වය ඒක පුද්ගල මට්ටමෙන් ද දැක්විය හැකිය. එක් පුද්ගලයෙකු වර්ෂයකට කිලෝග්‍රෑම් 74ක් පමණ ප්‍රමාණයක් නාස්ති කරයි. ආහාරයට ගත හැකි එහෙත් නාස්තිවන ද්‍රව්‍ය ප්‍රමාණය සලකන්නේ නම්, මේ ප්‍රමාණය එක්සත් රාජධානියේ දී එක් නිවසකට එක් සතියකට ආහාරවේල් අටකට සමාන ප්‍රමාණයකි. මේ ඒක පුද්ගල ආහාර නාස්තියේ අගය, මීට පෙර 2011 වර්ෂයේ දී ගණනය කරන ලද ආහාර නාස්තියේ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ ඉහළ අගයකි.


නාස්තිය සිදුවන්නේ කොතැනකද?


සාමාන්‍යයෙන් විශ්වාසය අනුව ආහාර නාස්තිය බරපතළ ලෙස සිදුවන්නේ දියුණු රටවලය. ඒ රටවල දැකිය හැකි අධිපරිභෝජනවාදී ජීවන පිළිවෙත මේ සඳහා හේතුවෙයි. එබැවින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පරිභෝජනය කරන එවැනි රටවල ආහාර නාස්තියක් සිදුවීම අපේක්ෂා කළ හැකිය.

කෙසේ වෙතත් මේ වාර්තාවේ සැලකිල්ලට ගත් සියලු ප්‍රදේශවලම සැලකිය යුතු ආහාර අපතේයෑමක් සිදු වන බව පෙනේ. ඊට දියුනු රටවල් ද අයත්ය. මේ වාර්තාවේ උපුටා දක්වා ඇති ශ්‍රී ලංකාවේ දත්ත අනුව ගෘහාශ්‍රිතව අපතේ යන ආහාර ප්‍රමාණය වර්ෂයකට, පුද්ගලයෙකුට කිලෝග්‍රෑම් 76ක් පමණ වේ. මෙය 2016 වර්ෂයේ දී පළ වූ සමීක්ෂණයකින් ලබාගත් දත්තය. එහි පෙනෙන පරිදි, මෙරට ඒ ඒ ප්‍රදේශ අනුව ආහාර නාස්තියේ සැලකිය යුතු වෙනස්වීමක් ද දැකිය හැකිය.

මේ වාර්තාවේ යම් යම් සීමා ද ඇත. නිදසුනක් ලෙස දියුණු වන රටවල මේ පිළිබඳව ඇති දත්තවල අඩුවක් සහ හිදැස් පවතී. නිදසුනක් ලෙස දියුණු රටවල දත්ත අනුව ආහාරවල ආහාරයට ගත හැකි කොටස් හා ආහාරයට ගත නොහැකි කොටස් කෙතරම් අපතේ යන්නේ ද යන්න හඳුනාගත හැකිය. එහෙත් දියුණු වන රටවල එම නාස්තිවන ප්‍රමාණ වෙන් කර ගැනීමට දත්ත ප්‍රමාණවත් නැත. කෙසේ වෙතත් දියුණු වන රටවලදී ආහාරයට ගත හැකි ආහාර අපතේ යන්නේ අඩුවෙන් බව දක්වා ඇත.

මෙහි දී පෙනී ගොස් ඇති තවත් කරුණක් වන්නේ COVID-19 නිසා සීමා පනවා තිබූ සමයේ දී ඇතැම් රටවල මේ ආහාර නාස්තිය විශාල ප්‍රමාණයෙන් අඩු වූ බවයි. විශේෂයෙන් ගෘහාශ්‍රිත ආහාර නාස්තිය 2019 වර්ෂය හා සංසන්දනය කරන විය මෙසේ අඩු වී ඇත. ඊට හේතුව වී ඇත්තේ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම නිසා ආහාර පරිභෝජනයේ ඇති වූ වෙනස්කම්ය. සැලසුම් කර ආහාර ලබා ගැනීම, ආරක්ෂාකාරී ලෙස ගබඩා කිරීම වැනි පියවර මේ සඳහා දායක වී ඇත.


ආහාර නාස්තියේ පරිසර සලකුණ


ආහාර නාස්තිය යනු හුදෙක් ආහාර අපතේ යෑම පමණක් නොවේ. එය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ පරිසර සලකුණට ද හේතු වේ. ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා භූමිය අවශ්‍යය. මේ නිසා අලුතින් ඉඩම් සඳහා ඇති ඉල්ලුම නිසා ස්වාභාවික පරිසරය හා ඒවායේ ජෛව විවිධත්වය තර්ජනයකට ලක්ව ඇත. (වර්තමානයේ අපේ රට මේ තත්ත්වය භුක්ති විඳිමින් සිටියි). මේ අපතේ යන ආහාර ප්‍රමාණය අඩු කළ හැකි නම්, ඉඩම් සඳහා ඉල්ලුම අඩු වන අතර ඒ නිසා ජෛව විවිධත්වයට ද ඇති තර්ජනය ද අඩු වේ.

අනෙක් අතට ආහාර නිෂ්පාදනය යනු පරිසර බලපෑමක් ඇති ක්‍රියාවලියකි. ඒ සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී මෙන්ම භාවිතයේ ද සැලකිය යුතු පරිසර දූෂණයක් සිදුවෙයි. ආහාර නාස්තිය අඩු කළ හැකි නම්, වැඩියෙන් ආහාර නිෂ්පාදනය කිරීමේ දී ඇති වන මේ පරිසර දූෂණය අඩු කළ හැකිය.

එසේම නාස්තිවන ආහාර නිසා සිදුවන හරිතාගාර වායු විමෝචන මුලු හරිතාගාර වායු විමෝචන අරින් 8-10%ක් පමණ වන බව පැවසෙයි. එසේම කෘෂිකර්මයේ දී නිකුත්වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ද ඉහළය. ආහාර නාස්තිය අවම කළ හැකි නම්, හරිතාගාර වායු විමෝචන ද අඩුකළ හැකිය.

ආහාර නාස්තියක් සිදුවන අතර, ලෝකය පුරා විවිධ රටවල ප්‍රමාණවත් ආහාරයක් නොලැබී කුසගින්නේ පසුවන පිරිස ද මහත්ය. නාස්තිය අවම කළ හැකි නම්, මේ පිරිස‌ට ආහාර ලබා දිය නොහැකි ද යන්න අවධානය යොමු කළ යුත්තකි.


ආහාර නාස්තිය වළක්වමු


අපට අපගේ පාරිසරික පියසටහන අඩු කළ හැකි පහසුම ක්‍රියාවක් ලෙස අපේ ආහාර නාස්තිය අඩු කිරීම සැලකේ. එහෙත් එය එතරම් අවධානයට ලක් කර නොමැති අංශයකි. මෙහි දී රාජ්‍ය හා පුද්ගලික අංශයට කළ හැකි කටයුතු ද ඇති නමුත්, තනි පුද්ගලයින්ට ද කළ හැකි කාර්යයක් ද ඇත. එහෙයින් ආහාර නාස්තිය ගැන ජනතාව දැනුම්වත් කිරීම වැදගත් කරුණකි.

ආහාර නාස්තිය අඩු කළ හැකි පියවර කීපයක් මෙසේ දැක්විය හැකිය.

  • ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගන්නා විට පරිභෝජනයට ගන්නා තෙක් තබා ගත හැකිද යන්න ගැන සැලකිලිමත් වීම - උදා: මේරූ එළවළු හා අධික ලෙස ඉඳුණු පලතුරු වැඩි කාලයක් තබා ගත නොහැකිය. එසේම කල් ඉකුත්වීමට ආසන්න ආහාර ද්‍රව්‍යද මිලදී නොගත යුතුය.
  • අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් ආහාර මිලදී ගැනීම - ඔබට අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ ලයිස්තුවක් සකස් කරගෙන ආහාර මිලදීගැනීමට යෑම යෝග්‍යය. එහි දී, නිවසේ තිබේ නම් ශීතකරණය පරීක්ෂා කිරීම ද වැදගත්ය.
  • නිවසට රැගෙන ආ ආහාර ද්‍රව්‍ය භාවිතය තෙක් ආරක්ෂිතව ගබඩා කිරීම - ශීතකරණයේ තැබිය යුතු ද්‍රව්‍ය එහි ද, වියළි ස්ථානවල තැබිය යුතු ද්‍රව්‍ය එවැනි ස්ථානවලද ලෙස.
  • කෑම පිසීමේදී ආහාර ගැනීම සඳහා සිටින පිරිසේ ගණනට හා ආහාර ගන්නා වේල් ගණනට සෑහෙන ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණයක් තෝරා ගැනීම. සහල් හා වෙනත් ප‍්‍රධාන ආහාරවල මැනීම කළ හැකිය.
  • ආහාර පිසීමේදී අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් පිසීම - ආහාර අපතේ යන එක් ක‍්‍රමයක් වන්නේ අධික ලෙස පිසීමයි (රොස්වූ ආහාර).
  • පිඟානට ආහාර බෙදාගැනීමේදී ආහාරයට ගත හැකි යැයි සිතන ප‍්‍රමාණයට පමණක් ආහාර බෙදා ගැනීම. පළමුව ආහාර අඩු ප‍්‍රමාණයක් බෙදාගෙන එය ආහාරයට ගත් පසු යළිත් බෙදාගැනීම යෝග්‍යය.
  • ආහාර බෙදාගැනීමෙන් පසුව ඉතිරි වූ නැවත පරිභෝජනයට ගත හැකි ආහාර ද්‍රව්‍ය සුදුසු පරිදි තබා ඊළඟ ආහාර වේල සඳහා යොදා ගැනීම.
  • පරිභෝජනයට නොගන්නා ආහාර ද්‍රව්‍ය හිතවතුන්ට හෝ ආහාර අවශ්‍ය පුද්ගලයින්ට ලබාදීම.
  • ඇතැම් ඉතිරි වූ ආහාර ද්‍රව්‍ය ඉවත නොදමා වෙනත් ආහාර පිළියෙළ කිරීමට යොදා ගත හැකිය - බත් හා ඉඳි ආප්ප වියළා රසකැවිලි තැනීම මීට නිදසුනකි.

මූලාශ්‍රය - UNEP Food Waste Index Report 2021

https://www.unep.org/resources/report/unep-food-waste-index-report-2021

Monday, March 8, 2021

කීයද ගාන? (තුන් රෝදයේ කතා 1)

(තුන් රෝදයේ යනෙන අතරේ අහන/දකින/වෙන/ කියන දේවල් ලියන්න හිතන් හිටියෙ කාලෙක සිට. ඒත් පටන්ගන්න හොඳ කතාවක් තිබ්බෙ නෑ. ගිය සතියෙ දවසක ඒ වගේ අත්දැකීමක් ලැබුණා. එකෙන් පටන්ගමු!)


එදා උදේ හයහමාරට විතර ගමනක් යන්න එළියට බැස්සා. ඒ වෙලාවට බස් අඩු නිසා හයිලෙවල් පාරට යන්නෙ තුන්රෝද රථයක. 

හන්දියෙ එක රථයක් වත් තිබ්බෙ නෑ. පාරෙ ගිය රථවල මගීන් හිටියා. ඔන්න ටික වෙලාවකින් ඈතින් වේගෙන් එකක් එනවා පෙනුනා. අත දැම්මාම ඒක නැවැත්තුවා. හිස් රථයක් වූ එහි රියැදුරු වූයේ තරුණයෙක්.

"හයිලෙවල් පාරට යන්න පුළුවන්ද?" මං ඇහුවා.

"පුළුවන්"

"එහෙනං හන්දියට යමු" ඒකට නගින ගමන් මට යන්න ඕන තැන කීවා.

වාහනේ ආපහු ඉගිල්ලුනා.

බැලින්නං මීටරයක් නැති එකක්. කමක් නෑ මං ගාන දන්නවනෙ. උදේමනෙ.

ටිකක් වෙලා ගියාම රියැදුරු තරුණයා මෙහෙම කියනවා. 

"මම යන්නෙ කොළඹ අහවල් හොස්පිටල් එකට. ඒ පැත්තට යනව නම් යන්න පුළුවන්"

මෙයා මගෙන් තව ගානක් කපාගන්න වගේ හදන්නෙ. මට හිතුනෙ එහෙමයි.

"නෑ... මම යන්න ඕන හෝමාගම පැත්තට" මම කීවා. (ඇත්ත හොඳේ).

කොහොමහරි හයිලෙවල් පාරට ආවා. තුන් රෝදෙ හයිලෙවල්ට පාරට දාන්න කලින්ම බහින්න සූදානම් වෙලා මම මෙහෙම ඇහුවා.

"කීයද ගාන?"

"සල්ලි එපා. මම මේ වැඩට යන ගමන්නෙ. මං වැඩ කරන්නෙ අවහල් හොස්පිටල් එකේ" එහෙම කීවා.

මට වචන නැති උනා.

"කමක් නෑ. කීයක් හරි ගන්න. උදේමනේ" මං ආයෙත් කීවා.

"ඕක මොකද්ද... ඕන නෑ..." කී ඔහු, "යන්නම්" කියලා ගියා.

එහෙමත් මිනිස්සු ඉන්නවා... පොරත් එක්ක ටිකක් කතා කරන්න බැරි උන එක ගැන කණගාටුවක් ආවා.


ධනේෂ් විසුම්පෙරුම

2021.03.08

Wednesday, February 24, 2021

දේශගුණ වෙනස් වීම ජීවීන්ට බලපාන ආකාරය පිළිබඳ මෑතකාලීන පර්යේෂණ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2021.02.24, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/02/24/feature4.html

දේශගුණ වෙනස් වීම ලෝකයේ ඇති බරපතළම පාරිසරික ගැටලුව වන බවට කිසිදු සැකයක් නැත. ඒ ගැන කළ යුත්තේ කුමක්දැයි යන්න ගැන එකඟතාවයක් ඇතත්, ඒ සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක වන්නේ සෙමිනි. මේ වන විට ඉදිරිපත්ව ඇති එකම ගිවිසුම වන පැරිස් ගිවිසුම යටතේ ඒ ඒ රටවල් විසින් පොරොන්දු වී ඇති හරිතාගාර වායු විමෝචන සීමා කිරීම අනාගතයේ ඇති විය හැකි බරපතළ බලපෑම් වැළැක්වීමට තරම් ප්‍රමාණවත් නොවන බව දැන් පෙනේ. 

මේ තත්ත්වය එසේ පවත්නා අතර, මේ වන විටත් ලෝකයේ විවිධ ප්‍රදේශවල දේශගුණ වෙනස් වීමේ අහිතකර බලපෑම් දැකිය හැකිය. ඒ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන්නේ මිනිසුන්ට බලපාන්නා වූ කරුණු පිළිබඳවය. ස්වාභාවික පරිසරයට හා ජීවීන්ට ඇති වී තිබෙන බලපෑම් ගැන අවධානය යොමු වන්නේ අඩුවෙනි. මිනිසුන්ගේ කටයුතුවල ප්‍රතිඵලයක් වන දේශගුණ වෙනස් වීම නිසා ඊට කිසිසේත් වගකිවයුතු නැති වෙනත් ජීවී විශේෂවලට බලපෑමක් ඇති වීම කණගාටු දායකය. මෙම ලිපිය මෑත කාලයේ දී වාර්තා වී ඇති එවැනි සිදුවීම් කීපයක් පිළිබඳව සිදුකරන්නා වූ විවරණයකි. 


පක්ෂීන්ගේ ව්‍යාප්තියේ වෙනස් වීම


උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ පක්ෂීන් වාසය කරන අඩවියේ ව්‍යාප්තිය වෙනස්වන බව පෙන්වා දී තිබිණි. ඒ අනුව, වඩාත් ශීත ප්‍රදේශ කරා පක්ෂීන් ව්‍යාප්ත වීම සිදුවේ. නිදසුනක් ලෙස උතුරු අක්ෂාංශ දෙසට හෙවත් උත්තරධ්‍රැවය දෙසට මෙන්ම කඳුකර ප්‍රදේශවල උන්නතාංශ දෙසට ව්‍යාප්ත වීම සිදුවේ. මේ පිළිබඳව මෑත කාලීන අධ්‍යයනයකින් වැදගත් කරුණු රැසක් හෙළි වී ඇත.

රටවල් 48ක පක්ෂි නිරීක්ෂකයන් 120,000ක් පමණ දෙනාගෙන් ලබාගත් දත්ත යොදාගනිමින් සිදුකර ඇති මේ අධ්‍යයනයට අනුව යුරෝපයේ පක්ෂි ගහන සාමාන්‍යයෙන් වර්ෂයකට සාමාන්‍යයෙන් කිලෝමීටරය බැගින් පසුගිය වසර තිහක පමණ කාලය තිස්සේ ක්‍රමයෙන් බැගින් උතුරු දෙසට ව්‍යාප්ත වී ඇත. 

යුරෝපීය අභිජනන පක්ෂි සිතියම (European Breeding Bird Atlas (Ebba 2) නමින් හැඳින්වෙන මෙය වසර හතරක් තිස්සේ සිදුකරන ලද ලෝකයේ විශාලතම මහජන විද්‍යා සමීක්ෂණය ලෙස සැලකේ. එහිදී කිලෝමීටර් මිලියන 11ක පමණ ප්‍රදේශයක පක්ෂි නිරීක්ෂණ වාර්තා ලබාගෙන ඇත. 1980 සිට රැස්කරන ලදුව 1997 දී මුලින්ම ප්‍රකාශයට පත් පක්ෂි නිරීක්ෂණවලට වඩා පක්ෂීන්ගේ අඩවිය කි‌ලෝමීටර් 28ක් පමණ උතරු දෙසට ව්‍යාප්ත වී ඇති බව පෙනෙයි. කෙසේ වෙතත් සියලු පක්ෂීන්ගේ අඩවියේ එක හා සමාන ව්‍යාප්තියක් දැකිය නොහැකිය. පක්ෂි විශේෂ අතරින් 35%කගේ පමණ අඩවිය ව්‍යාප්ත වී ඇතත්, තවත් පක්ෂි විශේෂ 25%කගේ පමණ අඩවිය අඩු වී තිබේ. අනෙක් පක්ෂි විශේෂවල එවැනි කැපී පෙනෙන වෙනසක් සිදු වී නොමැත. මෙසේ තම ව්‍යාප්තිය ඉහළ නංවාගෙන ඇත්තේ වනාන්තර පක්ෂීන් වන අතර, ගොවි බිම් ආශිතව වාසය කරන පක්ෂීන් වාසය කරන ප්‍රදේශය අඩු වී ඇති බව පැහැදිලිය.

නිදසුනක් ලෙස ගතහොත්, මීට පෙර මධ්‍යධරණී ප්‍රදේශවල හමු වූ ඇතැම් පක්ෂි විශේෂ අද වන විට එංගලන්තය, ප්‍රංශය හා නෙදර්ලන්තය වැනි රටවල හමුවේ. ඒ ආකාරයෙන් ව්‍යාප්ත වීමට හේතුව වී ඇත්තේ ශීත ඍතුව අතීතයේ පැවති තරම් අසීරු නොවීමයි. ඒ දේශගුණ වෙනස් වීම නිසා ඇති වූ තත්ත්වයකි. කෙසේ වෙතත් සමහර පක්ෂි විශේෂ මෙසේ ව්‍යාප්ත වීමට බලපා ඇති හේතු අතර, වැඩි ආරක්ෂාවක් ඇති වාසස්ථාන තිබීම හා නීති රීති දැඩි වීම ද තිබෙයි. 


පතනශීලී ශාකවල කලින් කොළ හැලේ


පතනශීලි ශාකවල සරත් ඍතුවේ දී සිදුවන කොළ හැලීයෑමේ ක්‍රියාවලිය අතීතයට වඩා කලින් සිදු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබිණි. ඒ ලෝකය උණුසුම් වීම නිසාය. මෙතෙක් සාමාන්‍යයෙන් විශ්වාස කරන ලද්දේ උණුසුම ඉහළ යෑම නිසා සරත් ඍතුව ආරම්භ වීම පමා වන බවයි. එහෙත් මේ නව නිරීක්ෂණය එම අදහසට වඩා වෙනස් තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසන්ත ඍතුව කලින් එළැඹීම නිසා සෞම්‍ය කලාපීය රටවල දැකිය හැකි වගා සමය දීර්ඝ වන බව සත්‍යයකි. එහෙත් දැන් පෙනෙන පරිදි කොළ හැලෙන කාලය දින 3-6 අතර ගණනකින් ඉදිරියට පැමිණ තිබේ. 

1948-2015 අතර කාලයේ දී යුරෝපයේ ස්ථාන 3,800ක දැකිය හැකි ශාකවල පත්‍ර පතනය වීම් සම්බන්ධ නිරීක්ෂණ 430,000ක් පමණ යොදාගනිමින් හා පරිගණක ආකෘති යොදාගනිමින් තනාගත් දත්ත පද්ධතියක් භාවිතයෙන් මෙය සිදු කර ඇත. එහි දී පෙනීගොස් ඇත්තේ ඉහළ උෂ්ණත්වය හා දිවා කාලයේ දීර්ඝ බව පමණක් නොව, අදාළ ශාක මගින් එම ඍතුව ඇතුළත ගබඩා කර ඇති කාබන් ප්‍රමාණය ද ශාකවල පත්‍ර පතනය විය යුතු දිනය තීරණය කිරීමට හේතු වන බවයි. එය මිනිසෙකු බර ආහාරයක් ගැනීමෙන් පසුව තවත් ආහාර ගැනීමට නොහැකි තත්ත්වයකට සමාන බව මේ ගැන විස්තර කරමින් පෙන්වා දී ඇත. 

මේ තත්ත්වය වැදගත් වන්නේ ශාකවලින් සිදුකරනු ලබන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ කාර්යය දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට උපකාර වන බැවිනි. එහෙත් සරත් ඍතුව කලින් එළැඹී, ශාකවල පත්‍ර පතනය කලින් සිදුවීම නිසා ශාකවල කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලියෙන් අපේක්ෂිත ප්‍රතිඵලයේ අඩු වීමක් දැකිය හැකිය. එවිට ශාකවල තිර කරන කාබන් ප්‍රමාණයේ අඩු වීමක් සිදු වෙයි. මෙය ගෝලීය උණුසුම් වීම පමා කිරීම යම් පමණකින් අඩපණ කිරීමට ද හේතුවකි.

මේ ආකාරයෙන් අවශෝෂණය නොකරන කාබන් ප්‍රමාණය කෙතරම් ද යන්න ගණන් බලා නැතත් එය වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන එකකට වඩා අධික විය හැකි බව ද පෙන්වා දී තිබෙයි. එම අගය ජර්මනියේ සමස්ත විමෝචන ප්‍රමාණයට සමානය. 

මේ අධ්‍යයනය පළ වී තිබුනේ Science සඟරාවේ ය (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.abd8911)


තල්මහට බලපෑම


තල්මහ විශේෂවලට දේශගුණ වෙනස් වීම බලපාන ආකාරය ගැන මෑත දී Global Change Biology සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයන දෙකකින් කරුණු අනාවරණය වී ඇත.  

ඉන් පළමුවැන්න දකුණු සාගරයේ දැකිය හැකි බැලීන් තල්මහ කාණ්ඩයට අයත් විශේෂවල ගහන ඉදිරියේ දී අඩු විය හැකි බව මේ එක් අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. මේ අනුව නිල් තල්මහ, වරල් තල්මහ, මොල්ලි තල්මහ හා දකුණු තල්මහ යන සතුන්ගේ පැසිෆික් සාගර ගහනවල අඩුවීමක් මෙන්ම ඇතැම් විශේෂවල වඳවීම් ද 2100 වන විට අපේක්ෂා කළ හැකි බව එහි දැක්වේ. එයට හේතුව එම සතුන්ගේ ආහාර වන කුඩා ක්‍රස්ටේෂියාවන්ගේ ගහන අඩුවීම නිසාත්, එසේ අඩු වී තිබෙන ආහාර සඳහා තල්මහ විශේෂ අතර ඇති වන තරගය නිසාත්ය. මේ ගොදුරුවල අඩු වීම සඳහා හේතු වී ඇත්තේ දේශගුණ වෙනස් වීමය. (මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.15466)

කැනඩාවේ ශාන්ත ලෝන්ස් බොක්ක ප්‍රදේශයේ වාසය කරන මොල්ලි තල්මහ (hump-backed whale) ගහනයේ පැටවුන් බිහි වීම  පසුගිය වසර පහළොවක පමණ කාලයේ දී අඩු වී ඇති බව දෙවැනි අධ්‍යයනයෙන් හෙළි වී ඇති කරුණයි. 2004-2018 අතර කාලයේ දී මේ සතුන් වාර්ෂිකව පැටවුන් දැමීමේ වේගය කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. මේ කාලය ඇතුළත නිරීක්ෂණය කළ ගැබ් ගැනීම් අතරින් 39%ක් පමණ ප්‍රමාණයකින් ජනිතයන් බිහි වී නැත. වාර්ෂික ගැබ්ගැනීම් වේගයේ සාමාන්‍ය අගය 37%ක් පමණ වුවද, වාර්ෂික පැටවුන් ඇතිවීමේ වේගයේ සාමාන්‍යය 23%ක් පමණ වී ඇත. මේ සඳහා බලපාන්නේ ගැබ් කාලය තුළ හා ඉන්පසු කාලයේ දී අවශ්‍ය ශක්තිය ලබාගැනීමට නොහැකි වීම බව අනුමාන කෙරෙයි. 

මෙසේ අවශ්‍ය තරම් ශක්තිය අහිමි වීමට බලපා ඇත්තේ දේශගුණ වෙනස් වීම නිසා ඉහළ ගොස් ඇති උෂ්ණත්වය හා මුහුදු මට්ටම ඉහළ යෑම නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ අනුව, තල්මහගේ ප්‍රධාන ආහාරය වන හුරුල්ලන් වැනි මසුන්ගේ අඩු වීමක් දැකිය හැකිය. මෙම තල්මහ ද අයත්වන බැලීන් තල්මහ කාණ්ඩයට අයත් තල්මහ විශේෂ ‌දේශගුණ වෙනස් වීමට යම් පමණකින් හෝ ඔරොත්තු දෙන බව මීට පෙර විශ්වාස කරන ලදි. එයට හේතුවන්නේ සංක්‍රමණය රටාවෙනස් කරගැනීම හා එයින් පසුව ගොදුරු වෙනස්කර ගැනීම මගිනි. එසේ සංක්‍රමණ රටා වෙනස්කරගත් තල්මහ වාර්තා වී තිබේ. එහෙත් මේ අධ්‍යයනයට අනුව මොල්ලි තල්මහ සම්බන්ධයෙන් නම් පෙනෙන්නේ එය සීමිත ඔරොත්තු දීමක් පමණක් සිදුවන බවයි. (මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.14573)

Tuesday, February 23, 2021

හවුස්කෝට් දෙමු (එදිනෙදා කතා 03)

මේක 2000 ගණන්වල මුල වර්ෂයක දී සිදු වූ සිදුවීමක්. ඒ කාලෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරපතළ නියඟයක් ඇති වූවා. වැඩිම බලපෑමක් තිබ්බේ කිරිඳිඔය ව්‍යාපාරයට. 

ඒ වෙලාවෙ අපේ මිනිසුන් අතර තියන පරිත්‍යාගශීලි බව මොනවට පෙන්වා දෙමින් රටේ හැම පැත්තකම මිනිස්සු විවිධ විදියට එක්වෙලා ඒ ගම්වල උදවියට ආධාර කළා. ඇඳුම්, ආහාර ආදිය එකතු කර ගෙන ගොස් බෙදලා දුන්නා.

මමත් සම්බන්ධව සිටි පරිසර සංවිධානයකුත් ඒ කටයුත්තට දායක වුනා. සෑහෙන ආධාර තොගයක් ගෙනගොස් බෙදලා දුන්නා. 

ඉතින් ඒකට සම්බන්ධ වූ අය ඉන්න තැනකදි අපත් එක්ක සමීපව වැඩ කළ ඈත පැත්තක තරුණ ක්‍රියාකාරිකයෙක් මෙහෙම කීවා...

"අනේ අර ..... පැත්තෙ ගම්වල ගෑනු උදවිය දැන් නයිටි ගවුන් ඇදන් පාරෙත් යනවා... ඒ දීල තියෙන්නෙ කොළඹ ගෑනු රෑට ගෙදරට අඳින ඒව... අර ගම්වල ගෑනු ඒව පාරටත් අඳිනව."

ඔහු හරිම සංවේදී විදියට කතා කරන කෙනෙක්. මට මතක විදියට ඒ යනකොට පේන විදියත් පණ පිහිටුවලා වගේ කීවා. දන්නවනෙ නයිට් ගවුන් මහන රෙදි ගැන, ඩිසයින් ගැන...

කොහොම උනත් මේකට උත්තරේ එතන හිටපු ජ්‍යේෂ්ඨ කෙනෙක් දුන්න...

"මේ... උඹ ඕකට බැන බැන ඉන්නේ නැතිව හවුස්කෝට් ටිකක් එකතු කරල බෙදපන්කො"


මේ කතාව හැමදාටම අදාළයි. අනුන් හරි රජයක් හරි කළ හොඳ කටයුත්තක අඩුපාඩු පෙන්වන එක වැදගත්. ඒ වගේම ඒ විවේචකයන්ට පුළුවන් නේද ඒ අඩුපාඩුව හදන්න කටයුතු කරන්න. අඩු ගණනේ ඒකට මූලික පියවර ගන්න? ඒක සුබවාදී විවේචනයක ලක්ෂණයක්.

නිකං අඳුරට බැන බැන නොසිට පහනක් පත්තු කරන්න කියලනේ කියන්නේ. 


ධනේෂ් විසුම්පෙරුම

2021.02.23

Tuesday, February 16, 2021

හල්දුම්මුල්ලට උඩ අහස

මීදුම
සීතල
අඳුර
කුමක් හෝ
පවසයි...



ධනේෂ් විසුම්පෙරුම

16.02.2021

Monday, February 8, 2021

පොල්තෙල් පහනට අකුණු ගැසීම! (එදිනෙදා කතා 02)

මේ කතාව අක්ෂර වින්‍යාසය වැරදී, භයානක අනතුරක් ගැන හඟවපු සිදුවීමක් ගැන...

මීට දශකයකට පමණ පෙර දිනයක, අප කීපදෙනෙකු සිටි තැනකදි (පුරාවිද්‍යා සංගමයේ රැස්වීමකට පෙර විය යුතුය) මහාචාර්ය වීනී විතාරණ මහතා කියූ, එතුමා අත්දුටු සිදුවීමක් තමයි මේ. (නියමම වචන නූනත් කතාව මෙතැන ඇති)

එතුමා ඒ ආසන්න දිනයකදි රජයේ ආයතනයක උත්සව අවස්ථාවකට ගිය විට දක්නට ලැබුණු දෙයක් තමයි එදා  කීවේ.

"මම ටිකක් පරිස්සමෙන් තමයිි ඒ උත්සවේට ගියේ" එතුමා කීවා.

"ඇයි සර්?" අපේ කෙනෙක් ඇහුවා.

"ඒකෙ වැඩසටහනේ හැටියට අකුණු ගහන්නත් ඉඩ තිබ්බා..."

"මොකක්ද සර් ඒ කීවේ?" තව කෙනෙක් විමසුවා.

"ඒකේ වැඩසටහනේ මුද්‍රණය කරලා තිබ්බෙ lightning the oil lamp කියලා... ඉතින් බය නැද්ද?" කියා එතුමාගේ මුවේ නිතර දැකිය හැකි මදහසින් යුතුවම කීවා.

සටහන් කළේ,

ධනේෂ් විසුම්පෙරුම

2021.02.08