Saturday, May 14, 2016

බටහිර ජීවන රටාව අනුගමනය ජෛව විවිධත්වයට හානිකරයි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 20.04.2016 (Vidusara)

Not available online on Vidusara website 
(Topic - Western lifestyle causes negative impact on biodiversity)



සමස්තයක් ලෙස ගතහොත් වර්තමානයේදී ලෝකය අනුගමනය කරන්නේ බටහිර ආකෘතියේ සංවර්ධන ආකෘතියක් හා බටහිර ආකාරයේ ජීවන රටාවකි. ඒ නිසා ඇති වී තිබෙන පරිසර ගැටලූ හා සම්පත් ක්ෂය වීම මේ වන විට ලෝකයේ අවධානයට ලක්ව ඇත. මේ සඳහා විසඳුම ලෙස තිරසර සංවර්ධනය, හරිත ආර්ථිකය වැනි සංකල්ප ඉදිරිපත්ව තිබේ. එහෙත් තවමත් මේවාට ප‍්‍රධාන සංවර්ධන ආකෘතියේ එතරම් තැනක් ලැබී නොමැත.

මේ අතර රුසියාවේ ටොම්ස්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂයකයෙක් වන රොබර්ටෝ කැසෝලා ගාටි විසින් සිදුකරන ලද, පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයකින් පෙන්වාදී ඇත්තේ බටහිර ආකෘතියේ ජීවන රටාව දිගින් දිගටම අනුගමනය කළහොත් එය ලෝකයේ පරිසරයට යහපත්  නොවන බවයි.

ඔහු මේ අධ්‍යයනය සිදුකර ඇත්තේ ලෝක ප‍්‍රකට සුචි දෙකක් වන සජීවී මිහිතල සුචිය (Living Planet Index - LPI) හා මානව සංවර්ධන සුචිය (Human Development Index - HDI) යන සුචි සංසන්දනය කිරීමෙනි. සජීවී මිහිතල සුචිය යනු ලෝක ජෛව විවිධත්වයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරන සුචියකි. එයින් ලෝකයේ පෘෂ්ටවංශී සත්ත්ව විශේෂවල ගහන ප‍්‍රවණතා හා විවිධ පරිසර පද්ධතිවල ජීවී ගහනවල ප‍්‍රවණතාද නිරූපණය කෙරේ. සත්ත්ව විශේෂ වේගයෙන් අඩුවෙමින් යන පරිසර පද්ධතිද ඉන් හඳුනාගත හැකිය. මානව සංවර්ධන සුචිය යනු මානව සංවර්ධනය අනුව රටවල් පෙළගස්වනු ලබන සුචියකි. මෙහිදී ඒක පුද්ගල දළ ජාතික ආදායම, ආයු අපේක්ෂාව හා අධ්‍යාපනය වැනි අංශ මානව සංවර්ධනය මැනීම සඳහා යොදාගන්නා අතර රටවල් අතර සංසන්දනයක් සිදුකරනු ලැබේ.

පරිසර ආරක්ෂාවට සාපේක්ෂව මානව සංවර්ධනය


කිසියම් මානව ගහනයක් හෝ සමාජයක් දේශිය ජීවන රටාවක සිට, නොදියුණු ජීවන රටාවකට හා ඉන් පසුව දියුණු තත්ත්වයක් කරා යන වර්ධනයේදී එම සමාජයට ඒ රටේ, කලාපයේ මෙන්ම ලෝකයේ වෙනත් තැන්වල ඇති විවිධ ස්වාභාවික සම්පත්ද යොදාගැනීමට සිදු වේ. මේ නිසා සම්පත්වලට ඇති වන බලපෑම පිළිබඳව උක්ත සුචි දෙක යොදාගනිමින්, ආර්ථික-පරිසර විද්‍යාත්මක හා ඓතිහාසික විශ්ලේෂණයක් මේ පර්යේෂකයා විසින් සිදුකර ඇත.

එමගින් රූපයේ දැක්වෙන ප‍්‍රස්තාරය සැකසීමට මේ පර්යේෂකයා සමත්ව ඇත. එහි දැක්වෙන්නේ පරිසර ආරක්ෂාවට (EP) සාපේක්ෂව මානව සංවර්ධනය (HD) කාලය සමග මානව ගහනවල වෙනස්වන අන්දමයි. ඒ අනුව නූතන ලෝකයේ මානව ජනගහනය කාණ්ඩ පහකට බෙදා දැක්වීමට මේ පර්යේෂකයා සමත්ව ඇත.

1 කාණ්ඩය - සැබෑ ස්වදේශික ජීවන රටාවක් (indigenous lifestyle) ගතකරන පිරිස මේ කාණ්ඩයට ඇතුළත් වේ. ඔවුහු පරිසරය හා මුළුමනින්ම ගැලපීමකින් යුතුව ජීවත් වෙති. මිලියන 300ක පමණ වන මේ පිරිස කුඩා කණ්ඩායම් ලෙස ලෝකය පුරා ජීවත් වේ. අප‍්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ මෙන්ම අග්නිදිග ආසියාවේ ඇතැම් ප‍්‍රදේශවල මෙවැනි පිරිස් දැකිය හැකිය.

2 කාණ්ඩය - මීට අයත් වන්නේ නොදියුණු (undeveloped) හෙවත් තෙවැනි ලෝකයේ (Third World) රටවල් ලෙස හඳුන්වන ජනතාවයි. ලෝක ජනගහනයෙන් බිලියනයක් පමණ වන මේ පිරිස මානව සංවර්ධන සුචියට අනුව සංවර්ධනයේ සීමාවෙන් පහළ ජීවත් වෙති. මේ ජනගහනයෙන් වැඩි පිරිසක් අප‍්‍රිකාවේ වෙසෙති.

3 කාණ්ඩය - දියුණු වන (developing) රටවල වෙසෙන ජනතාව වන අතර, ඊට ලෝක ජනගහනයෙන් බිලියන 3.5ක් පමණ පිරිසක් මීට අයත් වේ. මේ ජනගහනයෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ දකුණු ඇමරිකාව, අග්නිදිග ආසියාව හා ඉන්දියාව වැනි කලාපවලය.

4 කාණ්ඩය - දියුණු (developed) රටවල වෙසෙන ජනතාව අයත් මේ කාණ්ඩයට බිලියන දෙකක පමණ ජනගහනයක් අයත් වේ. ඉන් වැඩි පිරිසක් වෙසෙන්නේ උතුරු ඇමරිකාවේ, යුරේසියාවේ හා ජපානයේය.

5 කාණ්ඩය - තිරසර රටවල් (sustainable countries) ලෙස හැඳින්විය හැකි රටවල් කිහිපයක වෙසෙන මේ ජනතාව ප‍්‍රමාණයෙන් මිලියන 500ක් පමණ වේ. මීට ස්වීඩනය, නෝරවේ හා ජර්මනිය වැනි යුරෝපා රටවල් කිහිපයක හා ඇමරිකාවේ වෙසෙන පිරිසක් මේ ගණයට අයත් වේ. ඉහළ පරිසර ආරක්ෂාවක් හා ස්වභාව සංරක්ෂණයක් සහිත මේ ජනතාව තිරසර ජීවන මට්ටමකට ළගා වී සිටියි.

සංවර්ධනයේදී වැඩිම බලපෑම සිදුවන කාණ්ඩය 

මේ විවිධ කාණ්ඩවල ජනතාව දියුණු මට්ටමකට පත් වන විට, ලෝකයේ සම්පත් සඳහා වන ඉල්ලූමේ ඇතිවන වෙනස්වීම් නිසා ජෛව විවිධත්වයට බලපෑම් ඇති වේ. 1 කාණ්ඩයේ ජනතාවගෙන් පරිසරයට බලපෑමක් නැති තරම්ය. එවැනි තැනක මානව සංවර්ධනය අඩු නමුත් පරිසර ආරක්ෂාව ඉහළය. රටක් හෝ ජනතාවක් ආර්ථික සංවර්ධනය සඳහා යොමු වන විට පරිසර ආරක්ෂාව ක‍්‍රමයෙන් අඩු වේ. 2 කාණ්ඩයේ ජනතාව පසුවන්නේ මෙවැනි අවස්ථාවකය. අප‍්‍රිකානු හා ඇතැම් ඉන්දු-පැසිෆික් රටවල් මීට නිදසුන් සේ පර්යේෂකයා දක්වයි.

ඉහත 3 කාණ්ඩයේ ජනතාව හෙවත් දියුණු වන අවධියේ පසුවන අවස්ථාවේදී ජනගහනය ඉහළ යාමත් සමග, ආර්ථිකය වර්ධනය වන අතර ස්වාභාවික සම්පත් භාවිතය හා පරිසර පද්ධති සූරාකෑම උපරිම මට්ටමට පත් වේ. මේ තත්ත්වයේදී පරිසර ආරක්ෂාව අවම වන අතර, මානව සංවර්ධනය ඉහළ යයි. මේ තත්ත්වය වර්තමානයේ ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, චීනයේ ඇතැම් ප‍්‍රදේශවල, ඇතැම් දකුණු ඇමරිකානු හා අප‍්‍රිකානු රටවල පවතී.

දියුණු වන තත්ත්වයේ සිට දියුණු තත්ත්වයට පත් වූ පසුව පරිසරය යළිත් යථා තත්ත්වයට පත්වීමට පටන් ගනියි. ඒ මානව සංවර්ධනයද ඉහළ මට්ටමක පවතින අතරය. 4 කාණ්ඩයේදී සිදුවන්නේ මෙයයි. නිදසුන් වන්නේ යුරෝපය හා උතුරු ඇමරිකාව සේ දක්වා තිබේ. 5 වන කාණ්ඩයේදී සිදුවන්නේ පරිසර ආරක්ෂාව හා මානව සංවර්ධනය යන දෙකම එකම මට්ටමක පැවතීමය.

සංවර්ධනයෙන් ඇති වන පරිසර අර්බුදය

ගැටලූව ඇත්තේ ලෝකය මේ සංවර්ධනය ලබාගැනීමට අනුගමනය කරන්නේ කවර ක‍්‍රමවේදයක්ද යන්න මතය. තිරසර ජීවන රටාවක සිටින පිරිස හැරුණු විට ලෝක ජනගහනයෙන් සංවර්ධිත යැයි සැලකෙන මට්ටමක පසුවන්නේ බිලියන 2ක් පමණ පිරිසකි. දියුණු යැයි සම්මත රටවල් තම සම්පත් උපරිම ප‍්‍රමාණයෙන් පරිභෝජනය කරති. ඒ නිසා වර්තමානයේ ලෝකයේ සම්පත් පරිභෝජනය ලෝක 1.5ක් තරම්ය.
එවැනි තත්ත්වයකදීතවත් බිලියන 5ක් පමණ පිරිසක් වර්තමාන බටහිර (පර්යේෂකයාට අනුව යුරෝපීය-ඇමරිකානු) ආකෘතියේ සංවර්ධන ආකෘතියක් දිගටම අනුගමනය කරමින් සංවර්ධනය සඳහා යොමුවුවහොත්, මිනිසුන්ට තවත් ලෝක 5ක් පමණ සම්පත් අවශ්‍ය බව පර්යේෂකයා පවසයි. අනාගතයේදී සිදුවන ජනගහන වර්ධනයත් සමග බටහිර සංවර්ධනය හඹායන ජනතාවගේ ප‍්‍රමාණය තවත් ඉහළ යා හැකිය. මෙවැනි තත්ත්වයකදී ජෛව විවිධත්වය හා පරිසරය පත්වන්නේ බලවත් අනතුරුදායක මට්ටමකට බව අමුතුවෙන් කිවයුතු නොවේ.

විශේෂයෙන් වේගවත් සංවර්ධනයක් දැකිය හැකි 3 හා 4වැනි කාණ්ඩ යනු සම්පත් අධික ලෙස පරිභෝජනය කරන අවධියකි (රූපයේ α ලෙස සලකුණු කර ඇති අවධිය*. අදාළ කාණ්ඩවල සිටින රටවල් මේ අවධිය මගහැර හැකි ඉක්මනින් 5වැනි කාණ්ඩයට යොමුවීම වැදගත් බව මේ පර්යේෂකයා පවසයි. අධික වේගයෙන් සිදුවන සංවර්ධනයකින් බටහිර ආකාරයේ ජීවන රටාවක් වෙත යොමු වන මේ අවධිය වළක්වා නොගත හොත්, ජෛව විවිධත්වය හා පරිසර පද්ධතිවල පැවැත්ම තර්ජනයට ලක්වනු ඇති බව ඔහුගේ අදහසයි.

විසඳුම කවරේද ?

මේ අධ්‍යයනයෙන් උක්ත තත්ත්වයෙන් මිදීම සඳහා යොදාගත හැකි යම් යම් විසඳුම් පිළිබඳවද යෝජනා කර තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, දියුණු වන හා දියුණු රටවල් (3-4 කාණ්ඩ) හැකිතරම් කඩිනමින් තිරසර තත්ත්වයට (5 කාණ්ඩය) පත්වීමට පියවර ගත යුතු වේ. මේ සඳහා කාර්යක්ෂම හා පුනර්ජනනය කළ හැකි බලශක්තිය, අපද්‍රව්‍ය චක‍්‍රය සංවෘත කිරීම, කාබන් නිෂ්ක‍්‍රිය ප‍්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම, කාබනික ආහාරවේලක් සඳහා පුරඅදු වීම, ස්වාභාවික සම්පත් භාවිත කරන ප‍්‍රමාණය සැලකිය යුතු තරමින් අඩු කිරිම, පරිසර සංරක්ෂණය සඳහා නීති රීති ක‍්‍රියාත්මක කිරීම හා වනජීවී සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවර ගැනීම වැනි අංශ ගැන අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.

එසේම 2-3 කාණ්ඩවල ඇති රටවලට අවශ්‍ය වන තාක්ෂණය තිරසර තත්ත්වයේ පවත්නා 5 කාණ්ඩයට පිවිසෙන රටවලින් සැපයිය යුතුව තිබේ. මේ තාක්ෂණය වැදගත් වන අංශ අතර තිරසර තාක්ෂණය ඉතා වැදගත් වේ. පාරිසරික සම්පත් අධි භාවිත කිරීමේ අවදියට එළැඹිමට නොදී මේ දියුණුවන රටවල ජීවන රටාව තිරසර බවට පත් තිරීම මෙහි අරමුණ වේ.

මේ පර්යේෂකයා පෙන්වා දෙන පරිදි පරිසරයේ තිරසර පැවැත්ම සඳහා වඩාත්ම ගැලපෙන්නා වූ ජීවන රටාව ස්වදේශිකයන් ගත කරන ජීවන රටාවයි. එය ඇතැම් දියුණු රටවල් අනුගමනය කරන තිරසර ආර්ථික සැලැස්මටද වඩා පරිසර හිතකාමී වෙයි. එසේ වන්නේ ස්වදේශික සමාජයේ දැකිය හැකි ජීවන රටාව හා පරිසරය අතර දැකිය හැකි දැඩි අන්තර්සම්බන්ධතාවය නිසාය. විශේෂයෙන් එවැනි සමාජයක දැකිය හැකි සාම්ප‍්‍රදායික ඔසු වර්ග, ආහාර සම්පත් ආදි විවිධ ස්වාභාවික සම්පත් පිළිබඳ දැනුම දියුණු සමාජයක දැකිය නොහැකිය. මේ නිසා සංවර්ධනයේ නාමයෙන් මේ ස්වදේශික සාම්ප‍්‍රදායික ජීවන රටාවක් ගත කරන පිරිස් නූතන සංවර්ධනයට පොළඹවාලීමට කටයුතු කළහොත් විශාල අත්‍යවශ්‍ය දැනුම සම්භාරයක් ලෝකයට අහිමි විය හැකි බව මේ පර්යේෂකයාගේ අදහසයි. (මූලාශ‍්‍රය: International Journal of Environmental Studies, DOI: 10.1080/00207233.2016.1148447)



උපුටාගත් රූපය





x අක්ෂය - Time/ Population - කාලය/ ජනගහනය
y අක්ෂය - HD/ HP - මානව සංවර්ධනය/ පරිසර ආරක්ෂාව

EP -  පරිසර ආරක්ෂාව (Environment Protection)
HD -  මානව සංවර්ධනය (Human Development)

Thursday, May 12, 2016

මනෝජ්, ඔබට ජය පතමි

මට ඔහු මුලින්ම හමුවන්නේ 1995-1996 පමණ කාලයේදීය. ඒ එවකට පැවැති පොදුජන එක්සත් පෙරමුණු රජය පැකේජය කරපින්නාගෙන සාම ගමනේ යමින් සිටි වකවානුවයි. එවකට රට බෙදීමට එරෙහිව හා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන අතළොස්ස අතර කැපී පෙනෙන කාර්යයක් ඉටු කළේ චින්තන පර්ෂදයයි. මහජන රැස්වීම් හා දේශන, පෝස්ටර් ව්‍යාපාර හා කාලය සඟරාව එ් සඳහා වූ මාධ්‍යය විය. සරසවියේ පළමු වසරේ සිටි මමද චින්තන පර්ෂදයේ කටයුතු හා එක්ව සිටියෙමි.

මහජන පුස්තකාලයේ පැවැති එහි මහජන රැස්වීම්වලදී ඔහු නිතිපතාම වාගේ මට හමු විය. එවකට පාසල් අධ්‍යාපනය හමාර කරමින් සිටි ඔහු ජාතිකත්වයට නැඹුරුව සිටි ඒවැනි කටයුතුවලට මහත් වූ ලැදියාවක් දැක්වූවෙක් විය. අප ආසන්න ප‍්‍රදේශයක ජීවත් වූ බැවින් ඇතැම් විට මග තොටදී හමුව කතා බහ කිරීමට හැකි විය. ඒ මිත‍්‍රත්වය වසර විසිගණනක් ගොස් අදත් තිබේ.

කාලය ගතවද්දී මාධ්‍ය ක්ෂේත‍්‍රයෙන් මා ඈත්වු අතර, ඔහු මාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසයේය. එය හුදෙක් වෘත්තීය පුවත්පත්කලාවේදියකු වීමට සීමා නොවූ අතර, ඔහු ජාතිකත්වය පදනම් කරගත් හරවත් මෙහෙවරක් උදෙසා දිගින් දිගටම සිය පෑන මෙහෙයවූයේය. පුවත්පත් කලාවේ පියවරින් පියවර ඉදිරියට ගියේ අපේ රට ජාතිය පිළිබඳ ජාතිකත්වයෙන් යුතු අදහස් ඔහුගේ ලිපිලේඛනවලින් පෙන්වා දෙමිණි. (ඔහු ලියූ දේශපාලන ලිපි පිළිබඳව යම් යම් විවේචන මට තිබුනු අතර ඒවා ඇතැම් විට ඔහුටද පැවසීමි.)

දැන් ඔහු සිය මාධ්‍ය මෙහෙවරේ කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව පෙනේ. යළි යළිත් නොකීවද මේ සිදුවීම දැන් රටම දනියි. වාර්තා වන ආකාරයට, 'ඉරිදා දිවයින' පළවූ පළ වූ ඒ ආන්දෝලනාත්මක ලිපියේ වගකීම භාරගනිමින් ඔහු රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ. රැකියාව පසෙකලා එවැනි තීරණයක් ගැනීමට ඔහුට කොන්දක් තිබී ඇත. එ් අසාධාරණය වෙනුවෙන් කතා කරන්නට නිදහස් මාධ්‍ය ඔස්තාර්ලා නොමැත. එසේම රට වෙනුවෙන් ලියූවන්ට එවැනි සහයක් නොලැබෙන බව ඔහු අමුතුවෙන් නොදන්නා අයෙක් නොවේ.

ඉතින්, මනෝජ් අබයදීර නම් වූ මිත‍්‍රය ඔබට ජය පතමි...

Tuesday, April 12, 2016

සැබෑ ලෝකයේ මිතුරු ඇසුර ඉක්‌මවා නො යන ෆේස්‌බුක්‌ මිතුරු ඇසුර

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 5, 08.04.2016

Vidusara - "Facebook friends do not exceed real world friends"

http://www.vidusara.com/2016/04/06/feature1.html



මීට මාස කිහිපයකට පෙර අප දන්නා වැඩිහිටි වෘත්තිකයෙක්‌ මිය ගියේ ය. ඔහු ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට ව සිටි අයෙකි. ඉන් මාස දෙකකට පමණ පසු එළැඹුණු ඔහු ගේ උපන් දිනය වෙනුවෙන් ඔහු ගේ ෆේස්‌බුක්‌ තීරයේ මිතුරන් කිහිප දෙනකු සුබපැතුම් පළ කර ඇති ආකාරය දැකිය හැකි විය. එය ඔහු ගේ සමස්‌ත ෆේස්‌බුක්‌ මිතුරු මිතුරියන් සුළු පිරිසක්‌ වුවත්, එය වැදගත් වන්නේ ඔහු මිය ගිය පුවත නො දන්නා ෆේස්‌බුක්‌ මිතුරන් ද සිටි බවට මෙය සාධකයක්‌ වීම නිසා ය. ෆේස්‌බුක්‌ යොදාගනු ලබන මූලික අරමුණ වන්නේ අපේ මිතුරු මිතුරියන් හා කඩිනමින් සම්බන්ධතා පවත්වාගැනීම හා අපේ අදහස්‌ අපට සමීප පිරිස්‌ වෙත යොමු කිරීම ය. (අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් නො දන්නා නමුත්, මීට දේශපාලන අදහස්‌ ද ඇතුළත් විය හැකි ය). එහෙත් පෙර කී නිදසුනෙන් පෙනෙන්නේ යම් අයකු ගේ ෆේස්‌බුක්‌ මිතුරු ලැයිස්‌තුව දිගු වුව ද, ඔහු ගේ ෆේස්‌බුක්‌ පැතිකඩ (profile) හා විස්‌තර ඔහු ගේ මිතුරක්‌ සියලු දෙනා ම නො බලන බවයි.

මෙය ෆේස්‌බුක්‌ මිතුරන් අතර පමණක්‌ නො ව අපේ සාමාන්‍ය ජීවිතයේ සැබෑ ලෝකයේ මිතුරු-මිතුරියන් සඳහා ද පොදු වූ කරුණකි. අපට කෙතරම් මිතුරු මිතුරියන් සිටිය ද, අප හා සමීප ව ඇසුරු කරන්නේ ඉන් සීමා සහිත පිරිසක්‌ පමණි. කෙසේ වෙතත් බොහෝ දෙනා සිතන පරිදි සැබෑ ජීවිතයේ මිතුරනට වඩා වැඩි පිරිසක්‌ සමග සම්බන්ධතා පැවැත්වීමට ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාල ඔස්‌සේ හැකියාවක්‌ තිබේ. ඒ අඩු කාලයක්‌ තුළ අපේ තොරතුරු වැඩි පිරිසක්‌ වෙත යොමු කළ හැකි නිසා ය. ඇතැමුන් සමාජ ජාල පරිහරණය සඳහා යොමු වීමේ අරමුණ වන්නේ ද මේ කරුණයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, වැඩි මිතුරු පිරිසක්‌ ඇති කරගැනීම හා පහසුවෙන් මිතුරු සම්බන්ධතා පවත්වාගැනීමයි (වෙනත් අරමුණු ඇති පිරිස්‌ ද නැතිවා නො වේ). එහෙත් පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ එක්‌ පර්යේෂණ පත්‍රිකාවකට අනුව, ෆේස්‌බුක්‌ භාවිතයෙන් ඇති කරගත හැකි මිතුරු මිතුරියන් ගණනට ද සීමාවක්‌ තිබේ.

සැබෑ ලෝකයේ මිතුරන් ගණන සීමාසහිත ඇයි?


පළමුව සැබෑ ජීවිතයේ දී අප ඇසුරු කරන මිතුරු මිතුරියන් ගණන සීමා සහිත වන ආකාරය ම`දක්‌ විමසා බලමු. කාලයෙන් කාලයට අප ඇසුරු කරන මිතුරන් වෙනස්‌ වේ. අප පාසල් ගිය කාලයේ මිතුරන් අතරින් අද වන විට තරමක්‌ හෝ සමීප ව ආශ්‍රය කරන්නේ ඉතා සුළු පිරිසකි. සරසවියෙන් පිට වූ පසු සරසවි මිතුරන් අපෙන් ඈත් වීම ඉතා ඉක්‌මනින් සිදු වේ. වැඩිහිටියන් ගේ මිතුරන් වන්නේ සේවා ස්‌ථානයේ අය හා අසල්වැසියන් ය. "සුළෙ`ග් ලෙලෙනා මල් සේ ද`ග පා - අප පාසල් ගිය කාලයේ - යාළුවො අද නැත- වෙන අය එහි ඇත - කාලය මැවු වෙනසක අරුමේ" යන සුප්‍රකට ගීතයෙන් කියෑවෙන්නේ ද මේ යථාර්ථයයි.

කෙසේ වෙතත් එසේ අපේ මිතුරු මිතුරියන් ගණන සීමා වන්නේ කුමක්‌ නිසා ද යන්න අපට ඇතැම් විට නො සිතෙන කරුණකි. මිනිසුන් ගේ මොළය සතු ප්‍රජානන හැකියාව අනුව බහුවිධ සම්බන්ධතා සැකසීමට අප ගේ මොළයට ඇති හැකියාව සීමා වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් එක්‌ වරක දී අපට කතා කළ හැකි මිතුරන් ගණන සීමා සහිත ය. මේ අනුව මිතුරු සම්බන්ධකම් පවත්වාගෙන ගිය හැකි ස්‌වාභාවික කණ්‌ඩායමේ ප්‍රමාණය මිනිසුන් සඳහා 100-200 අතර වේ. එහි සාමාන්‍යය 150ක්‌ සේ සැලකිය හැකි ය. මේ කල්පිතය සමාජ- මස්‌තිෂ්ක කල්පිතය (social brain hypothesis) නම් වන අතර මේ ප්‍රමාණය ඇතැම් විට ඩන්බාර් ගේ අංකය (Dunbar's number) ලෙස හඳුන්වනු ලබන්නේ එය ඉදිරිපත් කළ මහාචාර්ය රොබින් ඩන්බාර් ගේ නමිනි (ඔහු අප මාතෘකා කරගත් අධ්‍යයනයේ කතුවරයා ද වෙයි). ප්‍රයිමේටාවන් ගේ මොළයේ ප්‍රමාණය හා සමාජ කණ්‌ඩායම් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහු එය ඉදිරිපත් කර ඇත. අද වන විට ද දඩයමේ යෙදෙන මානව කණ්‌ඩායම්වල සාමාජිකත්වය මෙවැනි අගයකට සීමා වේ. එසේ ම මේ සම්බන්ධතා පවත්වාගෙන යැම තවදුරටත් සීමා කරනු ලබන්නේ ඒ සඳහා යෙදවිය හැකි කාලය සීමා වීම ම`ගිනි. අපට අපේ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යැම සඳහා යොදාගත හැකි කාලය සීමා වේ. මෙය ස්‌වාභාවිකව සිදු වන්නකි. මෙය අදාළ මිත්‍රත්ව පවත්වාගැනීම සඳහා අපට ඇති කාලය මත තවදුරටත් සීමා වේ.

ෆේස්‌බුක්‌ මිතුරන් ගණන සිතන තරම් ඉහළ නැහැ


ෆේස්‌බුක්‌ මිතුරන් පිළිබඳව සිදු කරන ලද, අප මාතෘකා කරගන්නා අධ්‍යයනයේ දී උත්සාහ දරා ඇත්තේ ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාල යොදාගැනීමෙන් ඉහත සඳහන් කළ බාධක ඉක්‌මවා යා හැකි වේ ද යන්න සොයා බැලීමට ය. මේ සඳහා බ්‍රිතාන්‍ය වාසීන් 3,375ක පමණ පිරිසක්‌ සම්බන්ධ කරගනිමින් සමීක්‌ෂණ දෙකක්‌ පවත්වා තිබේ.

නිතර සමාජ ජාල භාවිත කරන හා ඒ පිළිබඳව තෘප්තිමත් බවකින් යුක්‌ත වූ දෙ දහසක පමණ පිරිසක්‌ සම්බන්ධ කරගත් පළමු සමීක්‌ෂණයේ දී පෙනී ගොස්‌ තිබූ පරිදි, ෆේස්‌බුක්‌ භාවිත කරන්නකුට ඇති සාමාන්‍ය මිතුරන් ගණන ආසන්න වශයෙන් 155ක්‌ (නිශ්චිතව 155.2) පමණ වේ. මෙහි දී කාන්තාවන්ට ඇති මිතුරු මිතුරියන් ගණන පිරිමින්ට වඩා ම`දක්‌ අධික වේ. කාන්තාවන් සඳහා වන සාමාන්‍යය 165.5ක්‌ වූ අතර, පිරිමින් සඳහා එය 145ක්‌ පමණි. අනෙක්‌ සමීක්‌ෂණයට සම්බන්ධ කරගත් 1,375ක්‌ පමණ වූ පිරිසට මූලික වශයෙන් ඇතුළත් ව සිට ඇත්තේ වෘත්තිකයන් ගෙන් සැදුම්ලත් නියෑදියකි. එහි දී හෙළි වූ පරිදි ඔවුන් ගේ මිතුරන් ගණනේ සාමාන්‍යය ආසන්න වශයෙන් 183ක්‌ (නිශ්චිතව 182.8) පමණ විය. එහි දී කාත්නාවන් සඳහා 196.2ක්‌ හා පිරිමින් සඳහා 156.6ක්‌ යන අගය ලැබී තිබේ. අපේක්‌ෂා කළ හැකි ආකාරයට ම, වැඩිහිටි පරපුරේ ෆේස්‌බුක්‌ සාමාජිකයකුට වඩා වැඩි මිතුරන් ප්‍රමාණයක්‌ තරුණයකුට සිටියි.

මේ කියන මිතුරු-මිතුරියන් ගණන සැබෑ ලෝකයේ මිතුරු-මිතුරියන් ප්‍රමාණය පිළිබඳ ඉහත කී සීමාව වන 150 (100-200ක පරාසය) හා මනාව ගැලපේ. ඒ අනුව, සැබෑ ලෝකයේ දී ආශ්‍රය කළ හැකි මිතුරු මිතුරියන් ගණනට වඩා විශාල මිතුරු මිතුරියන් ප්‍රමාණයක්‌ ඇසුරු කිරීමට අවස්‌ථාවක්‌ ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාලවලින් ද අවස්‌ථාවක්‌ නො ලැබේ. මේ අනුව ෆේස්‌බුක්‌ යනු මූලික වශයෙන් දන්නා හඳුනන අය ගෙන් (acquaintances) සමන්විත වූ ජාලයක්‌ මිස සමීප හිතවතුන් ගේ ජාලයක්‌ නො වේ. එසේ ම සැබෑ ලෝකයේ අප ඇසුරු කරන මිතුරන් ගණන සීමා කිරීමට බලපාන සාධක ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාලාවල මිතුරු ඇසුරේ ප්‍රමාණය සීමා කිරීම සඳහා ද බලපාන බව පැහැදිලි ය. මේ බව උක්‌ත සමීක්‌ෂණවල දී මනාව පෙනී ගොස්‌ තිබේ.

ෆේස්‌බුක්‌ ජාලයේ සමීප මිතුරන් අඩුයි


මේ සමීක්‌ෂණයේ දී හෙළි වී ඇති ආකාරයට ෆේස්‌බුක්‌ සාමාජිකයකුට කෙතරම් මිතුරන් සංඛ්‍යාවක්‌ සිටිය ද ඒ අතරින් නියම මිතුරන් (genuine friends) සේ සලකනු ලබන්නේ 27.6%ක්‌ තරම් ප්‍රමාණයකි. එමෙන් ම කිසියම් ආපදාවක්‌ හෝ හදිසි අවස්‌ථාවක දී මානසික හෝ සමාජයීය සහායයක්‌ ලබාගැනීම සඳහා යොමු වන්නේ 4 දෙනකු තරම් වූ කුඩා මිතුරන් ගණනක්‌ වෙත ය. අනෙක්‌ අතට සහනයක්‌ හෝ අනුකම්පාවක්‌ හෝ ලබාගැනීමට අපේක්‌ෂා කරන්නේ 14ක්‌ පමණ වූ මිතුරන් පිරිසක ගෙන් (සමීප මිතුරන්) පමණි. මෙය සැබෑ ලෝකයේ මිතුරු ඇසුරේ දී අප සහාය හා සහනය අපේක්‌ෂාවෙන් සමීප වන මිතුරන් ගේ ගණන හා බෙහෙවින් සමාන බව පෙනේ.

ෆේස්‌බුක්‌ මිතුරන් ලෙස විශාල පිරිසක්‌ වෙන් වුව ද ඒ තුළ මෙවැනි තත්ත්වයක්‌ ඇති වන්නට එක්‌ හේතුවක්‌ වන්නේ සැබෑ ලෝකයේ දී අපට සමීප මිතුරන් හා දන්නා හඳුනන අය හෙවත් දුරස්‌ථ මිතුරන් (acquaintances) සිටිය ද ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ දී මෙය එකක්‌ සේ සැලකීම ය.

මේ අනුව සිය ගණන් ෆේස්‌බුක්‌ මිතුරන් සිටි පමණින් තමන්ට විශාල මිතුරු ජාලයක්‌ පවත්වාගෙන යා හැකි යෑයි සිතීම එක්‌තරා ආකාරයකට විහිළුවක්‌ බව මේ පර්යේෂකයා ගේ මතයයි. කෙසේ වෙතත් කාලයත් සමග තම මිත්‍රත්වයන් දියාරු වී වියෑකී යැමේ වේගය අඩු කිරීම සඳහා ෆේස්‌බුක්‌ ජාලය උපකාරී වන බව සත්‍යයකි. එහෙත් කාලයත් සම`ග ඕනෑ ම මිතුරකු දන්නා හඳුනන අයකු බවට පත් වීම වැළැක්‌වීම සඳහා ෆේස්‌බුක්‌ හෝ වෙනත් සමාජ ජාලයකට හැකියාවක්‌ නොමැත. එසේ වීම වැළැක්‌වීමට නම්, අප අපේ මිතුරු- මිතුරියන් කලින් කල සැබෑ ලෝකයේ දී මුහුණට මුහුණ මුණගැසීම අත්‍යවශ්‍ය වේ.

මේ අනුව සමීප සම්බන්ධකම් ඇති මිතුරන් හමු වන්නේ සැබෑ ලෝකයේ සාම්ප්‍රදායික ක්‍රමයට මුහුණට මුහුණ හමු වන මිත්‍රත්වයක දී පමණක්‌ බව මේ අධ්‍යයනයෙන් පෙනේ. මේ අනුව ෆේස්‌බුක්‌ ඔස්‌සේ මිතුරන් හා ගනුදෙනු කිරීමට අප යොදාගන්නා හුවමාරු කිරීම් (Share) හා කැමැත්ත දැක්‌වීම් (Like) වැනි ප්‍රතිචාරවලට වඩා සැබෑ ලෝකයේ මිතුරන් හා අප කරන ක්‍රියාකාරකම් වන අත්දැකීම් බෙදාගැනීම, සුහද කතාබහ හා කෑම-බීම බෙදාහදාගැනීම වැනි දේට බැඳීම් ඇති කිරීමේ හා පවත්වාගැනීමේ හැකියාවක්‌ ඇති බව පෙනේ. (මූලාශ්‍රය: Royal Society Open Science, DOI: 10.1098/rsos.150292)

http://www.vidusara.com/2016/04/06/feature1.html

ඔස්ට්‍රේලියාවේ විශාල සතුන්ගේ වඳ වීමට මිනිසුන්ද වගකිව යුතුයි


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 5, 23.03.2016

(Vidusara, 23.03.2016) - "Humans responsible for the extinction of large animals in Australia"

Not available in Vidusara website


ඔස්ට්‍රේලියා මහාද්වීපයේ අතීතයේ වාසය කළ, අද දැකිය නොහැකි බරින් හා ප්‍රමාණයෙන් විශාල සත්ත්වයින් පිළිබඳ සාධක ලැබෙන්නේ අදින් වසර 170කට පෙර කාලයක පමණ සිටය. එම මහාද්වීපයේ වාසය කළ එවැනි කිලෝග්‍රෑම් 45ට වඩා බර සත්ත්ව විශේෂ ගණනාවක් පිළිබඳ ශේෂ ලෙන් තුලින් හා විල් පතුල්වලින් ලැබී තිබේ. මේ සත්ත්ව විශේෂ අතර බරින් විශාල කැන්ගරු විශේෂයක්, විශාල වොම්බැට් සත්ත්වයෙක් හා මාංශභක්ෂකයකු වන සිංහයා ලෙස හඳුන්වන සත්ත්වයා මෙන්ම විශාල කබරයකු වැනි සතෙක්ද සිටියි.

කෙසේ වෙතත් මේ සත්ත්ව විශේෂ අතරින් 85%ක් තරම් ප්‍රමාණයක් අතීතයේ කිසියම් කාලයකදී වඳවී ගොස් තිබේ. ඒ සඳහා බලපා ඇති හේතු පිළිබඳව මතභේද තිබේ. මේ වන විට වැඩි පිළිගැනීමක් ඇති හේතු දෙකක් දැක්වෙන අතර, ඒ දේශගුණයේ ඇති වූ වෙනස්වීම් හා මිනිසුන්ගේ බලපෑමයි. අදින් වසර 60,000ත් 40,000ත් අතර කාලයේදී ඔස්ට්‍රේලියාවේ කාලගුණය දැඩි වියළි තත්ත්වයකට පත් වී ඇත. එහෙත් ඉන් පෙර ඇති වූ වඩා බරපතළ දේශගුණික වෙනස්වීම්වලදී පවා මේ සත්ත්ව විශේෂ ආරක්ෂා වී තිබීම නිසා මේ කාලයේ ඇති වූ දේශගුණික වෙනස් වීම් උක්ත සත්ත්ව විශේෂවල වඳවීයාමට බලපෑ එකම හේතුව විය නොහැකි බව වැඩි පිලිගැනීමක් ඇති මතය වේ.

මිනිසුන් ඔස්ට්‍රේලියාවට පැමිණි දිනය නිශ්චිතව නොදන්නා නමුත්, අදින් වසර 47,000ක් පමණ පෙර කාලයක් වන විට එහි බොහෝ ප්‍රදේශ දක්වා ව්‍යාප්තව සිටි බවට මේ වන විට සාධක ලැබී ඇත. එමෙන්ම අදින් වසර 40,000ත් 50,000ත් අතර කාලයකදී පෙර කී විශාල සතුන්ගේ අවසන් පොසිල සාධක හමු වේ. මේ දිනවල ඇති සමගාමී බව නිසා මිනිසුන්ගේ ව්‍යාප්ත වීම හා ඉහත කී විශාල සතුන්ගේ වඳවී යාම අතර කිසියම් සම්බන්ධයක් ඇති බවට අනුමාන කළ හැකිය.

මිනිසුන් විසින් දඩයම් කිරීම වැනි කරුණු නිසා මේ විශාල ප්‍රමාණයේ සතුන් වඳව යන්නට ඇති බව මේ වන විට විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති අදහසකි. එහෙත්, මිනිසුන් ඒ සඳහා සාධකයක් වී ඇති බවට සැකයක් නොමැතිව පිළිගත හැකි සාධක මෙතෙක් හමු වී නොතිබීම මේ මතය සඳහාද ගැටලූවක් විය.

අතීතයේ විසූ මේ සතුන්ගේ ශේෂ හමුවීම හා අධ්‍යයනය කිරීම එතරම් පහසු කරුණක් නොවන්නේ එරට දැකිය හැකි පසේ ස්වභාවය නිසා මේ අස්ථි හා වෙනත් ශේෂ පහසුවෙන් ජීර්ණය වීම නිසාය. එසේම ඒවා වඩාත් පැරණි වීමද නිසා එවැනි සාධක හමු නොවන ස්වභාවයක් දැකිය හැකි විය. එහෙත් මේ වර්ෂයේදී ප්‍රකාශයට පත් වූ, නවතම පර්යේෂණයකින් මිනිසුන් හා ඔස්ට්‍රේලියාවේ අතීතයේ විසූ සතුන් අතර තිබූ සම්බන්ධය හා එම සතුන්ගේ වඳවී යාමට මිනිසුන්ද වගකිව යුතු බවට ඍජු සාධක හෙළිදරව් කර ඇත. මේ අනුව ඔස්ට්‍රේලියාවේ විසූ විශාල පක්ෂියකුගේ වඳවී යාම සඳහා මිනිසුන්ගේ කටයුතු තීරණාත්මකව බලපා ඇති බව පැහැදිලිය. මෙවැනි සාධකයක් නිසැකව ලැබුණු අවස්ථාවක් ලෙසද මෙය දැක්විය හැකිය.

වඳව ගිය පක්ෂියා


මේ අධ්‍යයනය සඳහා පදනම් වන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කළ විශාල ප්‍රමාණයේ පක්ෂියකුගේ බිත්තරවල පොසිලමය සාධක පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකි. Genyornis newtoni ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වනු ලබන මේ පක්ෂියා මීටර් දෙකකට අධික උසකින් යුතු අතර බරින්, කිලෝග්‍රෑම් 200ක් පමණ වේ. එසේම මේ පක්ෂියාට පියෑඹීමට නොහැකිය.

මේ පක්ෂීන් ඔස්ට්‍රේලියාවට මිනිසුන් පැමැණීමට පෙර සිටම එහි වාසය කළ සතෙක් වන අතර, කිසියම් කලකදී වඳවී ගොස් ඇත. මේ පක්ෂියාගේ බිත්තර දමන වැලි වැටි වැනි ස්ථාන ආශ්‍රිතව පුරාස්ථානවලින් මේ පක්ෂින්ගේ බිත්තර කටු ලැබෙන අතර ඔස්ට්‍රේලියාව පුරා ස්ථාන දෙදහසකින් පමණ ලැබී ඇති Genyornis පක්ෂීන්ගේ බිත්තර කටුවල කාලනිර්ණය අනුව ඒවා අතරින් වඩාත්ම මෑත කාලීන ඒවා වසර වසර 44,000ත් 54,000ත් අතර කාලයට අයත් බව පැහැදිලි විය. ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා කාලනිර්ණ (OSL - Optically stimulated luminescence dating) කාලනිර්ණ ක්‍රමය මගින් අදාළ බිත්තරකටුවල අඩංගු ක්වාට්ස් කණිකා අවසන් වරට සූර්යාලෝකයට නිරාවරණය වූ දිනය ගණන් බලා ඇත.

Genyornis පක්ෂින්ගේ බිත්තර කටු අතර, ගින්නෙන් පුළුස්සා ඇති බවට සාධක සහිත බිත්තරකටු මහාද්වීපයේ ස්ථාන 200ක් පමණ ප්‍රමාණයකින් ලැබී ඇත. ඒ ඔස්ට්‍රේලියා දකුණු දිග හා බටහිර ප්‍රදේශයේ ස්ථානවලිනි. මේවා විවිධ ආකාරයෙන් කළු පැහැගැන්වී අති අතර, අක්‍රමවත් දහනයක් පිළිබඳව සාධක සපයයි. මේ බිත්තර කටු සඳහා විකිරණශීලී කාබන් කාලනිර්ණ (Radiocarbon dating) ක්‍රමය යටතේ දින නියම කර ඇති අතර ඉන් පෙනී ගොස් ඇත්තේ ඒවා වසර 47,000ක වඩා පැරණි ඒවා බවයි.

මිනිසුන් විසින් මේ පක්ෂීන්ගේ බිත්තර එකතු කර, පුළුස්සා ආහාරයට ගත් බවට සාක්ෂියක් ලෙස මේ බව සැලකිය හැකිය. එසේ නම් Genyornis පක්ෂින්ගේ බිත්තර එකතු කරගත් මිනිසුන් එම ස්ථානයේදී හෝ ආසන්න ප්‍රදේශයකදී ගිනිගොඩක් ගසා පිළිස්සීමෙන් පසුව මේ පක්ෂි බිත්තර ආහාරයට ගෙන ඇත. මේ කටු ඉන් පසු අවට ප්‍රදේශයට විසිකර දමා තිබේ. මේ පක්ෂී බිත්තරයක් බරින් කිලෝග්‍රෑම් 1.5ක් පමණ වන බැවින් එය සැලකිය යුතු ආහාරයක් වූ බව සිතිය හැකිය. එහෙත් මේ පිළිස්සුම් සලකුණු ඇති වූයේ මිනිසුන් විසින් පිළිස්සීමෙන්ද යන්නද තහවුරු කරගැනීම පෙර කී පර්යේෂකයන් පිරිසට වැදගත් විය.

බිත්තර පිළිස්සුවේ මිනිසුන්ද?


බිත්තර කටුවල තිබූ පිළිස්සුම් සලකුණුවල යම් විවිධත්වයක් පැවැති බව ඉහත සඳහන් කරන ලදි. ඇතැම් අවස්ථාවල දැකිය හැකි වූ අඩක් පිළිස්සුණු ස්වභාවය, විවිධ උෂ්ණත්ව යටතේ මේවා පිළිස්සූ බවට සාධක ලෙස සැලකිය හැකිය.

මේ පිළිස්සීම් මිනිසුන් විසින් ඇති කළ ගිනි නිසා ඇති වූ ඒවාද, නැතහොත් ඒවා ඔස්ට්‍රේලියාවේ සුලභව ඇති වන ලැව් ගිනි නිසා ඇති වූ පිළිස්සීම්ද යන්න නිසැකව තහවුරු කරගන්නා ලද්දේ තවත් ක්‍රමවේදයක් යොදාගනිමිනි. මේ සඳහා ඇමයිනෝ අම්ල වියෝජනය වන ක්‍රමය භාවිත කර ඇත. කාලයත් සමග බිත්තර කටුවල ඇති ඇමයිනෝ අම්ල ජීරණය වන රටාවක් තිබේ. එහෙත් බිත්තරයක එක් පැත්තක් පමණක් පිළිස්සීමේදී පිළිසේසන ප්‍රදේශයේ ඇමැයිනෝ අම්ල සම්පූර්ණයෙන්ම වියෝජනය වී විනාශ වේ. එහෙත් එහි අනෙක් අන්තයේ කටුවේ ඇමයිනෝ අම්ල විනාශ නොවී ඉතිරි විය හැකිය. මේ පිළිස්සූ බිත්තර කටු කැබැලි රැුසක දැකිය හැකි එක් ලක්ෂණයක් වූයේ එක් අන්තයක ඇමයිනෝ අම්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබීම හා අනෙක් අන්තයේ අවම වශයෙන් විනාශ වී තිබීමය. එවැන්නක් ඇති විය හැක්කේ එක් ප්‍රදේශයක් පමණක් ගින්නට ලක් කිරීම නිසා බව පර්යේෂකයන්ගේ මතය වේ. එනම්, මිනිසුන් විසින් ගින්නේ ලා පිළිස්සීමෙනි.

මේවා ලැව් ගිනි නිසා ඇති වූ පිළිස්සීම් නොවන බවට තවත් සාධක තිබේ. ඇතැම් බිත්තරවල ඇති පිළිස්සුම් සෙල්සියස් අංශක 500ක පමණ උෂ්ණත්වයකට රත් වූ බවක් දැකිය හැකිය හැකිය. මෙවැනි වෙනස්කමක් ස්වාභාවිකව ඇති වන ලැව් ගිනිවලදී ඇති නොවේ.

ඔස්ට්‍රේලියාවේ දැනටද දැකිය හැකි එමු (Dromaius) නම් පක්ෂියාගේ බිත්තර කටු මේ ආකාරයෙන් විවිධ තැන්පතුවලින් හමු වන්නේ අදින් වසර 100,000 කපමණ පෙර කාලයක සිටය. එහෙත් එමු පක්ෂීන්ගේ පිළිස්සුම් සලකුණු සහිත බිත්තර කටු හමුවන්නේද Genyornis පක්ෂියාගේ පිළිස්සුම් ලකුණු සහිත බිත්තර කටු හමුවන කාලය හා සමගාමී කාලයක පටන්ය. එනම්, අදින් වසර 50,000කට පමණ පෙර කාලයක සිටය. එයද මිනිසුන් මුලින්ම ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වූ කාලවකවානුව හා මැනවින් ගැලපේ. එමු පක්ෂින්ගේ බිත්තර, ඔස්ට්‍රේලියාවේ විසූ ආදිවාසින් විසින් දිගින් දිගටම ගින්නේ පුළුස්සා ආහාරයට ගත් බවට සාධක නූතන යුගය දක්වාම ව්‍යාප්ත වූ පුරාවිද්‍යාත්මක සාධක අතරින් හමු වේ.

මිනිසුන් විසින් Genyornis පක්ෂින්ගේ බිත්තර පුළුස්සා ආහාරයට ගැනීම සඳහා දිගින් දිගටම යොදාගැනීමෙන් එම පක්ෂීන්ගේ අභිජනනය සඳහා යම් බලපෑමක් ඇති වූ බව පැහැදිලිය. එය අදාළ පක්ෂි ගහනයේ ස්ථාවරත්වයට බලපෑ අතර, අවසානයේදී පක්ෂීන්ගේ වඳවී යාම සඳහා තීරණාත්මක ලෙස හේතු වූ බව පැහැදිලිය. (මූලාශ්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms10496)