Friday, October 25, 2024

තාත්තාගේ දොඩම් ගසේ කතාව




මේක අමුතු කතාවකි.

මේ මගේ ගෙදර දොඩම් ගසය. මේකේ වයස අවුරුදු විස්සක් පමණ වේ. දොඩම් කුලයේම ගසක් ග්‍රාහකය ලෙස ගෙන, ඊට පැණි දොඩම් අංකුරයක් බද්ධ කරන ලද්දේ තාත්තා විසිනි.

ඔහු මේ ගස සිටුවා වසර දහයක් පමණ ගත වුව ද ඒ ගසේ ගෙඩි හැදුණේ නැත. තාත්තා ඒ ගැන බෙහෙවින් විස්සෝප වූ අතර ගසේ ගෙඩි හටගන්වන්නට ඔහු නොකළ දෙයක් නැත - ගසට වතුර නොදා සිටියේය, ගසේ බර එල්ලුවේය, ගහට පහර දුන් බවත් දුටු අය කියා ඇත. කොටින් ඔහු ඒ ගැන නොකළ දෙයක් නැතිවා විය හැකිය. ඒත් දොඩම් ගසේ ගෙඩි ආවේ නම් නැත!

අවසානයේ මේ ගසේ ගෙඩි හැදුනේය. ඒ 2013 වර්ෂයේ මැද හරියේය. එනම් තාත්තා මිය ගොස් මාස කීපයකට පසුවය. ඒ, මේ ගසට මොකක් කරන්න දැයි මගේ හිතවතුන් කීප දෙනෙකුගෙන් මා විමසමින් සිටි කාලයේ දීය.

මේ ගසේ දොඩම් හොඳ පැණි රසකින් යුක්ත විය. එහෙත් මුල්ම කන්න කීපයේ හැදුණු ගෙඩි මෙන් නොව පසුව ආ ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවිය. අපේ ගෙදර සිටි වැඩිහිටියෙකු පැවසූ විදිහට වරක් 'ආර්ථික සමීක්ෂණයකට' පැමිණි රජයේ නිලධාරිනියක් වත්තේ තියෙන්නේ මොනවද අසා, "ආ මේ දොඩම් ගසකුත් තියෙන්නේ" කියා පවසා සටහන් කරගන ඇත. ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවී ඇත්තේ එයින් පසු බව ඒ ඥාතින්ගේ අදහසයි. එය නිසැකව නොදනිමි. වසර ගණනාවකට පසුව දැන් ගෙඩි තරමක් හොඳය. ඒත් පෙරට වඩා කුඩා ප්‍රමාණයක තිබිය දී වැටෙයි.

මෙවැනිම තවත් සිදුවීමක් හිතවතෙකුගේ නිවසක දී මම ඇසීමි. කොළඹ නගරයේ වූ එම ගෙවත්තේ මගේ හිතවතා සිටුවා ආදරයෙන් සාත්තු කළ වෙරළු ගසක් හොඳින් වැඩී ඇතත් එහි ගෙඩි හැදී නැත. ඔහු ඒ ගැන කණගාටු වූ බවත්, ඔහු මිය ගොස් මාස කීපයක් තුළ ඒ ගසේ වෙරළු ගෙඩි හැදුණු බවත් ඔහුගේ බිරිඳ මා සමඟ පැවසුවාය.

මේවා මෙසේ වන්නේ කෙසේදැයි නොදනිමි.

2024-10-25

Wednesday, October 16, 2024

පරෙස්සම් විය යුතු මාකටින් උපක්‍රම (කතා)

ධනේෂ් විසුම්පෙරුම

මේ බ්ලොග් සටහනේ ඇත්තේ පාරිභෝගිකයා නොමග යවා හෝ රවටා තම වෙළෙඳ සැලේ භාණ්ඩ අලෙවි කිරීම සඳහා විවිධ ආයතනවල අය විසින් යොදාගත් වැරදුණු මාකටින් උපක්‍රම පිළිබඳ මගේ අත්දැකීම් සමූහයකි. මෙවැනි අවස්ථාවල දී පාරිභෝගිකයා ලෙස ඔබත් මමත් නොරැවටිය යුතු බව මගේ අදහසයි. 

මේ පෝස්ටුව වරින්වර යාවත්කාලීන කරනු ලැබේ - අවසන් යාවත්කාලීන කිරීම: 2024-10-15.


= = = = = = = = = = = = = 

1. පොත් වෙළෙන්දා කෙසේ කීවත් මිලට ගන්නා පාඨකයා පිටු පරීක්ෂා කළ යුතුය.

මාකටින් අවුල් 01
මේක උනේ 2024 අගෝස්තු.
ලංකාවෙ නගරයක් ගැන ලියැවුණ වසර ග ණනාවකට පෙර මුද්රණය උන සෑහෙන හොඳ පොතක් තිබ්බා, මිල වැඩි නිසා මට ගන්න නොහිතුන. රජයේ ආයතනයකින් ප්රකාශිත ඒ පොත අවසන් උනා කියලයි මට ආරංචි උනේ. පහුගිය දවසක වෙනත් පොතක් ගන්න එතැනට ගියාම මේ පොතේ පිටපත් දෙකක් තිබෙනවා දැක්කා. මම පොත අතට ගත්තේ...
"මේකෙ පිටු ඔක්කොම හරි දන්නේ නෑ නේ ද" කියලා. මොකද, ඔහොම ඉතිරි වෙන්නේ ඒ වගේ පොත්.
එහි සිටි කාන්තාව කීවේ "අපේ පොත්වල එහෙම නෑ." කියලයි. සමහර රජයේ නිලධාරීන්ගේ තියන අඩු ආචාරශීලිත්වය වගේම අවසන් තීරණය එයාගේ කියන වොයිස් එකක් එයාට තිබ්බේ.
"පොත් වෙළෙන්දා කෙසේ කීවත් පාඨකයා පිටු පරීක්ෂා කළ යුතුය" කියන අලුත් කියමන ප්රකාරව මං ඒ පොතේ පිටු නිවැරදිදැයි අග සිට මුලට පරීක්ෂා කළා. බැලින්නම් පිටු අංක 302 න් පස්සේ තියෙන්නේ 313. ඒ අතරට තිබුනේ පොතේ වෙනත් තැනකත් ඇති පිටු සමූහයක්. ඒ කියන්නේ පිටු 10ක් අඩුයි!
මං මේක පෙන්නුවම ඒ කාන්තාවට කතා කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකුත් නොකියා හිටියා. එතැන උන් පිරිමි නිලධාරියෙක් පොත අරන් කීප වතාවක් බලලා පොත පිටුපසින් ගෙනිහින් තිබ්බා. මේක ඉස්සරහින් තියන්න එපා කියලා කියලත්. එයා අතින් කියවුන කාරණයක් තමයි "පොත් ගන්න අය පෙරලළා පිටු බලන්නේ නෑ" කියලයි!
ඒ පො‌තේ අනිත් පිටපතේ පිටු අඩුවක් තිබ්බෙ නැති නිසා ඒක මම මිල දී ගත්තා.
පාඩම - පොත් මිලට ගනිද්දී පිටු බලා ගන්න.
සටහන - වරක් කොළඹින් අරන් පිට පළාතක ඉන්න මිතුරෙක්ට මා අරන් දුන් පොතක පිටු අඩුවක් නිසා මාරුකරගැනීමේ ගැටලුවක් ආවා. වාසනාවට එයා සේවය කරන දිස්ත්රික්කයේ අදාළ ආයතනයේ කාර්යාලයක් තිබ්බ නිසා පොත මාරු කරලා දුන්නා. සාමාන්යයෙන් මං පොත් ගනිද්දි පිටු සියල්ල තිබෙනවාදැයි බැලුවත්, එදා ඒක මගෑරුනා.

= = = = = = = = = = = = = = = 


2. ක්ලේ කතාව

දවසක් නුගේගොඩ බෝගහ හන්දියට (හයිලෙවල් පාර/ ගුවන්පාලම ඇති හන්දිය) යන්න කම්මැලි නිසා සුපිරි වෙළඳසැල ඉදිරියේ තිබ්බ ‌ප්‍රසිද්ධ පොත් සාප්පුවක නුගේගොඩ ශාඛාවට ගොඩ උනේ ක්ලේ පැකට් එකක් ගන්නයි. සාමාන්‍යයෙන් ක්ලේවල පොඩි භූමිතෙල් ගඳක්/සුවඳක් තියනවනේ. පිටරටින් ගෙනා ක්ලේවල එවැනි ගන්ධයක් තිබ්බාට ලංකාවෙ ප්‍රකට බ්‍රෑන්ඩ් එකකින් (X කියමු) හදන එවැනි ගඳක් නැති ක්ලේ නිෂ්පාදයක් තිබ්බා. මට ඒ නිසා ඒ වර්ගයෙන් තමයි එකක් ගන්න ඕන උනේ. 

ඉතින් මං සාප්පුවෙන් ගිහින් ඇහුවා ක්ලේ තියනවද කියලා. එතන උන් තරුණිය පෙන්නුවෙ අර පිටරටින් ගේන වර්ග. බහුතරයක් චීන නිෂ්පාදන. මට ඕන උනේ අපේ රටේ හදන එකනේ. ඉතින් මං අර X වර්ගයේ නම කියලා ඒ වර්ගය නැද්ද කියලා ඇහුවා. ඒ තරුණිය ගත් කටටම කීවෙ 

"X එකේ ක්ලේ එකක් නැහැ සර්" කියලා

මගේ උත්තරේ උනේ, "ඔයා‌ ගිහින් බලන්න එහා පැත්තෙ හන්දියේ තියන Y බුක්ෂොප් එකට. ඔයාට ගන්න පුළුවන් X වර්ගයේ ක්ලේ පැකට් ඕන ගණනක්"

නිරුත්තර උන ඒ තරුණිය මට මොකුත්ම උත්තරයක් දුන්නේ නෑ.

පහුවදා හයිලෙවල් පාරෙ ඉදලා පයින් එන අතර මම X වර්ගයේ ක්ලේ පැකට් එකක් ගත්තා.

මං අර කී සුප්‍රකට පොත් සාප්පුවේ නුගේගොඩ ශාඛාව දැන් නැත.

පාඩම - මෙයාලා බලන්නේ අපට ඕන දේ දෙන්න නෙවයි. තියන දෙයක් ඇගේ ගහන්න. අපට ඕන දේ ගන්න අපි දැනගන්න ඕන.

= = = = = = = = = = = = = = = = = = = = = 


3. තියන දේත් නෑ කියන අය! 

බීඑම්අයිසීඑච් එකේ තිබ්බ ආහාර ප්‍රදර්ශනයක දී, දේශීය නිෂ්පාදන අලෙවි ආයතන අතරින් මම ආසම සමාගමක ස්ටෝල් එක දැක්ක මම ඉක්මනින් එතැනට ගියා. මොකද, එයාලගේ මම ආසම නිෂ්පාදන කීපයක් ගත හැකි වේය කියන අදහසින්. එදා ඒකෙ හිටපු අලෙවි ප්‍රවර්ධකයන් හා ප්‍රවර්ධිකාවන් ගණන කොච්චර ද යත්, විකුණන්න තිබ්බ නිෂ්පාදන වර්ග ගණනට පොඩ්ඩක් අඩු වෙන්න ඇති. කොහොම හරි මම සෙව්ව එක් නිෂ්පාදනයක් ‌තිබ්බේ නැති නිසා මං මෙහෙම ඇහුවා...

"අර ඉස්සො රස පපඩම් එක තියනවද?"

"අපි ළඟ එහෙම එකක් නෑ සර්. මේ තියෙන්නේ අපේ ප්‍රඩක්ට්" කියලා වෙන ඒවා පෙන්වනවා.

"මං දැකලා තියනවනේ ඒක."

"නෑ සර් අපේ ඔක්කොම ප්‍රඩක්ස්ට් මෙතන තියනවා" ඔහු කියනවා.

"මම ඉස්සො රස පපඩම් එක ගන්නවනේ XXXX තියන ඔයාලගේ සුපර් මාකට් එකෙන්. එතකොට මේ ඒ කම්පැනිය නෙමෙයි ද?"

මගේ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඔහු සැනෙන් මගහැර ගියේය. අනෙක් අලෙවි නියෝජිතයන් ද මා හා කතාවට ආවේ නැත. මුවට නගාගත් සිනාවෙන් යුතුව මම කුටිය නරඹා එළියට පැමිණියෙමි.

පාඩම - එයාලා බලන්නේ තියන දේ විකුණන්නය. තමන්ගේ නිෂ්පාදන උනත් එසේය.

(මේ ආයතනයේ ඇතැම් නිෂ්පාදන ඇත්තේ මා ඉහතින් සදහන් කර ඇති, කොළඹ නගරයේ උප නගරයක ඇති කුඩා සුපර්මාකට් එකේ පමණය. වෙනත් සුපර්මාකට්වල හා කඩවල්වල ඇත්තේ මහා පරිමාණයෙන් කරන හා අලෙවිය අධික නිෂ්පාදන පමණකි.)

Tuesday, October 15, 2024

වැස්ස නැවතුනා?

Climate Diary - දේශගුණ දිනපොත 07

ධනේෂ් විසුම්පෙරුම


"වැස්ස නැවතුනා වගේ නේද? මගෙන් එහෙම ඇහූවෙ උදේ මං ආපු (නොදන්න) තුන්රෝද රථයේ රියදුරායි.
"හ්ම්, ඒ වගේ" කියල මම කීවම,
"ටිකක් පායන්නත් ඕන සර්." කියපු ඔහු ඒක මෙහෙමත් පැහැදිලි කළා -
"එක දිගට දවසම වැස්සම මිනිස්සු තමන්ගේ වැඩ කල්දානවා."

ඊලගට මේ ගැන කීවෙ උදේට තේ එකක් බොන කඩේ කාන්තාව.
"අද නං පායනවා වගෙයි" ඒ ඇය කී කතාව.
"ඔව් පායන එක මිනිස්සුන්ගේ වැඩවලට හොඳයි. මොකද තදට වැස්සාම සමහර වෙලාවට බිස්නසුන් නැති වෙනවනේ." මගේ උත්තරේ ඒ.
"අපට නං බිස්නස් වැඩි උනා" ඇය කීවා.
"එහෙම ද?" මං ඇහුවා.
"ඔව් කෝපි, තේ බොන්න එන කට්ටිය වැඩි උනා"

බලන්න වැස්ස එකිනෙකා වෙනස් විදියට බලපාන හැටි...

මට මතක් උනේ තලවතුගොඩ පලතුරු බීම කඩේ. මේ වගේ එක දිගට වැහැපු කාලෙක ඒ කඩේ බිස්නස් නැති වුනානේ. වැස්සට කවුද, සීතල පලතුරු බීම බොන්නේ? අන්තිමට එයාලා තේ හා කෝපි විකුණන්න පටන් ගත්තා. ලොකු වචනවලින් 'ජීවනෝපාය විවිධාංගීකරණය' හා 'ජීවනෝපාය අනුහුරු වීම' කියන එකට මේක උදාහරණයක්.

මං කල්පනා කළේ මේ වැස්ස තවත් අයට දැනෙන හැටි - ඊයෙත් අදත් වසා තිබෙන කොළඹ කලාපෙ ඉස්කෝල ළමයින්ට හා ගුරුවරුන්ට මේක කොහොම දැනෙනව ඇතිද? ඒ ළමයි ගෙවල්වල ඉන්නකොට අම්මල තාත්තලාට කොහොම දැනෙනව ඇතිද කියලා...


කාලගුණය ජීවනෝපායට බලපාන ආකාරය ගැන ලිව්ව කලින් සටහන් දෙකක් - 

1. වැස්ස හා ජීවනෝපාය - https://dhaneshw.blogspot.com/2022/10/26-climate-diary-02.html

2. ජීවනෝපාය හා කාලගුණය - https://dhaneshw.blogspot.com/2022/11/17-climate-diary-03.html.html