Sunday, June 5, 2022

පරිසරය ජගත් මාතෘකාවක් වී වසර පනහයි

ධනේෂ් විසුම්පෙරුම

අද, එනම් ජුනි මස පස්වැනි දා ජගත් පරිසර දිනයයි.

ජගත් පරිසර දිනය යෙදී ඇති ජුනි මස 5 වැනි දිනය ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඇයි ද යන්න විමසා බැලූවිට මේ වර්ෂයේ ජුනි 5 දිනය වැදගත් බව පෙනේ. ඒ පරිසරය පිළිබඳව ජගත් මට්ටමින් පැවැති පළමු සමුළුව ආරම්භ කරන ලද්දේ වසර 50කට පෙර අද වැනි දිනයක නිසාය.

ඒ සමුළුව නම්, 1972 ජුනි මස 5 දින සිට 16 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ දී පැවති 'මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවයි' (UN Conference on the Human Environment). මෙය ස්ටොක්හෝම් සමුළුව ලෙස ද හඳුන්වනු ලැබේ.

ඒ ස්ටොක්හෝම් සමුළුවේ දී පිළිගන්නා ලද මානව පරිසරය පිළිබඳ ස්ටොක්හෝම් ප්‍රකාශනය හා ක්‍රියාකාරී සැලසුම මේ සමුළුවේ දී සම්මත වූ වැදගත් ප්‍රකාශයකි. එසේම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා ජගත් පරිසර දිනය ස්ථාපිත කිරීම ද මෙහි දී යෝජනා කරන ලද්දකි. 1 රූපයේ දැක්වෙන්නේ ඒ සමුළුවේ දී ජගත් පරිසර දිනය පිළිබඳ ඉදිරිපත් වූ යෝජනාවයි. එය සඳහන් වන්නේ සමුළුවේ වාර්තාව වන Report of the United Nations Conference on the Human Environment නම් ලේඛනයේ 32 වන පිටුවේය. ඒ වාර්තාව මෙතැනින් බාගන්න)

ජගත් පරිසර දිනය ස්ථාපිත කිරීම පිළිබඳ මේ  යෝජනාව 1972 දෙසැම්බර් මස 15 දින පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත විය. මහා මණ්ඩලයේ සම්මත වූ යෝජනාව සඳහා 2 රූපයේ දැක්වේ. (අදාළ ලේඛනය මෙතැනින් බාගන්න)

අදින් වසර පනහකට පෙර ස්ටොක්හෝම් නගරයේ දී පැවති 'මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව' නුතන පරිසර ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් වන්නේ පරිසරය සම්බන්ධව ජගත් මට්ටමේ පළමු උත්සාහය එය වන නිසාය. 1960 දශකයේ සිට පරිසර ගැටලු සම්බන්ධව ලෝකයේ සංවර්ධිත යැයි සම්මත රටවල විද්‍යාඥයින්ගේ හා උනන්දුවක් දක්වන ජනතා ක්‍රියාකාරීන්ගේ අවධානයක් හා උනන්දුවක් පැවැතිණි. ඇමරිකාවට සීමා වූ 1970  අප්‍රේල් මාසයේ දී පැවති මිහිතල දිනය එවැනි සිදුවීමක් විය. එසේ තැනින් තැන ඇති වූ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ උනන්දුව ජගත් මට්ටමට පිවිසියේ 1972 වර්ෂයේ ජුනි 5 දා ආරම්භ වූ ස්ටොක්හෝම් සමුළුවෙනි. ඒ නිසා 1972 ජුනි 5 වැනි දා සිහිපත් කළ යුතු දිනයක් වේ. 

මේ ජගත් පරිසර දිනය ආරම්භයේ කතාවයි. එය මුල්වරට සමරන්නට පටන්ගන්නේ 1973 වර්ෂයේ දී බව සඳහන් අතර පළමුවරට තේමාවක් සහිතය සමරනු ලබන්නේ 1974 වර්ෂයේ පටන්ය. 


1 රූපය - ජගත් පරිසර දිනය පිළිබඳව ස්ටොක්හෝම් සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනාව
1 රූපය - ජගත් පරිසර දිනය පිළිබඳව ස්ටොක්හෝම් සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනාව

 

2 රූපය - 1972 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත වූ යෝජනා

No comments:

Post a Comment