Wednesday, April 28, 2021

ලෝකය බේරාගැනීම සඳහා නිර්මාංශ ආහාර

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 28.04.2021, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2021/04/28/feature2.html





මිනිසුන්ගේ ආහාර වේලට එක්කරන මාංශමය ආහාරවල පරිසර බලපෑම බොහෝ කලක සිට සාකච්ඡාවට ලක් වී ඇති කරුණකි. විශේෂයෙන්, විවිධ මස්වර්ග නිෂ්පාදනයේ දී ඒ සඳහා වැය වන ජලය, අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය වැනි විවිධ කරුණු මගින් මස් නිෂ්පාදනවල පරිසර පියසටහන අධික බව තහවුරු වී තිබිණි.

මෙවැනි 2018 වර්ෂයේ දී සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබුනේ, මස් හා කිරි නිෂ්පාදනය සිදුනොකරන්නේ නම් ලෝකයේ පවත්නා ගොවි බිම් ප්‍රමාණය 75%කින් පමණ අඩු කළ හැකි බවයි. එම ගොවි බිම් ප්‍රමාණය ඇමරිකාව, චීනය, යුරෝපා සංගමය හා ඔස්ට්‍රේලියාව යන සමස්ත භූමි ප්‍රදේශයට සමානය. ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති බිම් ප්‍රමාණය ගැන අපට අදහසක් ලබා ගත හැකිය. එහෙත් ගොවි බිම් ප්‍රමාණය එසේ අඩු කළ ද ලෝක වාසීන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සැපයීමට හැකියාව පවතී. එමෙන්ම ඒ සඳහා වැය වන සෙසු සම්පත් ප්‍රමාණය ද ගත් විට මෙය පාරිසරික වශයෙන් වැදගත්ය. උක්ත පර්යේෂකයන් පෙන්වා දී තිබුනේ මස් හා කිරි ආහාරවලින් වැලකීමෙන් අපේ පරිසර බලපෑම අඩු කරගත හැකි තනි විශාලතම ක්‍රමය ලෙසයි. එම අධ්‍යයනය හඳුන්වා දී තිබුනේ ගොවිපොළ මගින් පරිසරයට සිදුවන බලපෑම ගැන සිදුකරන ලද වඩාත් සවිස්තර වූ අධ්‍යයනයක් ලෙසය. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.aaq0216)


සත්ත්ව ආහාර නිෂ්පාදනය සම්බන්ධව අපේ රටේ ද අපි මේ සමහර ගැටලු දකිමු. ගොවිපොළ සතුන්ට ප්‍රමාණවත් තරම් තණ බිම් නොමැති වීම නිසා ස්වාභාවික පරිසර පද්ධති මෙන්ම ආරක්ෂිත ප්‍රදේශ ද ඒ සඳහා යොදා ගැනෙයි. එබැවින් ආරක්ෂිත ප්‍රදේශ මෙන්ම වනජීවීන්ගේ පැවැත්මට ද මේ නිසා අවදානමක් ඇති වී ඇත. එසේම මෙවැනි අවස්ථාවලදී ඇතැම් විට පරිසර ප්‍රතිපත්ති හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති ගැටේ.


නිර්මාංශ වීම හා හරිතාගාර වායු විමෝචන


ලෝකයේ සියලු දෙනා හෝ වැඩි දෙනා නිර්මාංශ ආහාර රටාවකට යොමු වුවහොත් එමගින් පරිසරය රැකගත හැකිද? එහි යම් සත්‍යයක් ඇත. මස් ආහාරවල පරිසර සලකුණට බලපාන එක් අංගයක් වන්නේ එහි මස් නිෂ්පාදනයේ හරිතාගාර වායු විමෝචනය. නිර්මාංශ ආහාරයට යොමු වීමෙන් හෝ මස් හා කිරි ආහාර අඩු කිරීම මගින් පුද්ලයෙකුගේ, රටක මෙන්ම ලෝකයේ ද හරිතාගාර වායු විමෝචන අඩු කරගැනීමට හැකියාව ඇත.

එක්සත් රාජධානිය පාදක කරගනිමින් කරන ලද 2012 වර්ෂයේ පළ වූ එක් අධ්‍යයනයක දී මේ සම්බන්ධ ප්‍රමාණාත්මක අදහසක් ලැබී ඇත. එහි දී මස් ආහාර ගන්නා ප්‍රමාණය අනුව කොටස් පහකට බෙදන ලද පාරිභෝගික නියැදියක, වැඩිම මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා ඉහළම කොටස හා අඩුම මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා පහළම කොටස ගැන සංසන්දනය කර ඇත. ඒ අනුව ඉහළම කණ්ඩායම පහළම කණ්ඩායමට වඩා 2.5 ගුණයක් වැඩි මස් ප්‍රමාණයක් ආහාරයට ගෙන තිබෙයි. ඒ අනුව ඊට අදාළ හරිතාගාර වායු විමෝචන සැලකිල්ලට ගැනීමෙන් මස් ආහාරයට ගැනීම අඩු කිරීමෙන් ඒක පුද්ගල හරිතාගාර වායු ප්‍රමාණය 3%කින් පමණ අඩු කිරීමට හැකි බව පෙන්වා දී තිබෙයි. එසේ එක් පුද්ගලයෙකුට වසරකට අඩු වන හරිතාගාර වායු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් ටොන් 0.45ක් පමණ වේ. (මූලාශ්‍රය - BMJ Open, DOI: 10.1136/bmjopen-2012-001072)

ලෝකයේ ඒක පුද්ගල ගව මස් පරිභෝජනය අතින් දෙවැනි තැන සිටින ආර්ජන්ටිනාවේ සිදුකරන ලද 2018 දී පළ වූ අධ්‍යයනයක දී ද මස් ආහාර අඩු කිරීමෙන් අඩු කළ හැකි හරිතාගාර වායු විමෝචන ගැන කරුණු හෙළි වී ඇත. වර්තමානයේ එරට දැකිය හැකි ආහාර රටාව අනුව, ආහාර හා සම්බන්ධ ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන අධිකය. එරට එක් වැසියෙකු එක් දිනකට ලබාගන්නා ආහාරවල හරිතාගාර වායු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 5.48කට සමාන වේ. එයින් 71%ක් පමණ ගව මස් නිසාය. ඔවුන් දිනකට මස් පරිභෝජනය කරන ප්‍රමාණය 50%කින් අඩු කළ හැකි නම්, ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, කිලෝග්‍රෑම් 3.95ක් දක්වා හෙවත් 28%කින් අඩු කළ හැකිය. එමෙන්ම සෞඛ්‍යමත් හා සමතුලිත ආහාර වේලක් පවත්වා ගනිමින් තවදුරටත් ආහාර හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචන අඩු කළ හැකිය. එළවළු පමණක් ආහාර ගන්නා පුද්ගලයෙකුගේ දෛනික හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය කිලෝග්‍රෑම් 1.47ක් තරම් අඩුය. (මූලාශ්‍රය - Food Policy, DOI: 10.1016/j.foodpol.2018.05.003)


ශාකමය ආහාර සඳහා පෙළඹවීමක් තිබේද?


එහෙත් මේ ආකාරයෙන් ශාකමය ආහාර හෙවත් නිර්මාංශ ආහාර සඳහා වැඩි වශයෙන් යොමු වීම පරිසර හිතකාමී වුව ද ඒ සඳහා සමාජයේ කැපී පෙනෙන පෙළඹවීමක් දැකිය නොහැක. මෙය බොහෝ රටවල දැකිය හැකි ඇති ගැටලුවකි. එසේම ලෝකයේ සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයකි. නිදසුනක් ලෙස ආර්ථික දියුණුයත් සමඟ බොහෝ රටවල මධ්‍යම පාංතික පිරිස් වැඩි වැඩියෙන් මස් ඇතුළත් ආහාරවලට යොමු වී සිටිති. නිදසුනක් ලෙස චීනය හා ඉන්දියාව වැනි රටවල් දැක්විය හැකිය. බටහිර පන්නයේ මේ ආහාර රටාව සෙසු ලෝකයට ද ව්‍යාප්ත වී ඇත.

මේ පිළිබඳව පසුගිය දා ද ගාඩියන් වෙබ් අඩවියට අදහස් දැක්වූ විද්‍යාඥයන් හා තවත් පිරිසක් පෙන්වා දී තිබුනේ ආහාර රටාවේ පැමැදිලි වෙනස් කිරීමක් සඳහා ලෝකයේ දේශපාලන නායකත්වය විසින් ඒ සඳහා අවශ්‍ය සහන හා ලබා දිය යුතු බවයි. විශේෂයෙන් කාබන් අධිකව විමෝචනය කරන ආහාරවල මිලට කාබන් සඳහා වූ බදු නියම කිරීම මගින් ඒවායේ කාබන් පියසටහන පෙන්වා දිය හැකිය. එසේම හරිතාගාර වායු විමෝචන අඩු හා විමෝචන ඉවත් කිරීමට දායක වන ආහාර හා නිෂ්පාදනවලට සහන හා දිරිගැන්වීම් ලබා දිය හැකිය. එවැනි කරුණු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මැදිහත්වීම් රාජ්‍ය පැත්තෙන් සිදුවිය යුතු බව මේ අයගේ අදහසයි. එසේම සඳහා රාජ්‍යයන්, සමාගම් මගින් මේ ආරම්භය ලැබිය යුතු වෙයි.

මෙමගින් අපේකෂිත වෙනස්කම් ගැන ද අදහසක් මෙහි දී ලබා දී ඇත. එක්සත් රාජධානිය විසින් ඇති කරගෙන තිබෙන නව විමෝචන ඉලක්කය වන්නේ 2035 වර්ෂය වන විට 1990 වර්ෂයේ පැවති විමෝචන මට්ටමෙන් 78%ක් දක්වා විමෝචන අඩු කිරීමය. එම ඉලක්කය අත්පත් කරගැනීමට නම් ජනතාව තම ජීවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු කරගත යුතු බව එක්සත් රාජධානියේ වාණිජ ලේකම්, තමන් ද සම්පූර්ණ නිර්මාංශ ආහාරයක් පිළිබඳ සලකා බලමින් සිටින බව කියා තිබිණි.


මස් ආහාර සම්පූර්ණයෙන්ම නතර කළ යුතුද?


ඇත්තෙන්ම කළ යුත්තේ මස් හා කිරි වැනි ආහාර සම්පූර්ණයෙන් නතර කිරීම නොවේ. එය අසීරු විය හැකිය. ලෝකයේ විවිධ ප්‍රදේශවල ස්වාභාවිකව දැකිය හැකි ආහාර වෙනස් වන නිසාය. එසේ නම් කළ යුතු වන්නේ අපේ ආහාරවේලේ ඇති මස් ආහාර ප්‍රමාණය අඩු කිරීමය. එසේ අඩු කිරීමෙන් හරිතාගාර වායු විමෝචන අඩු කළ හැකි බව පෙනෙයි. එසේම මානව පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ද ඉන් පුළුවන.

අප ඉහත සාකච්ඡා කළේ ආහාර වේලේ මස් ප්‍රමාණය අඩු කිරීමෙන් ලබාගත හැකි පාරිසරික යහපත සම්බන්ධවය. මේ අතරින් වැඩි අවධානයකට ලක්වූයේ හරිතාගාර වායු විමෝචනය. කෙසේ වෙතත් තවත් බොහෝ පාරිසරික බලපෑම් කෘෂිකර්මට ආශ්‍රිතව පවතී. නිදසුනක් ලෙස ගත්විය, කාබන් තිරකිරීම, පස ආම්ලිකකරණය වීම, ජලයේ ගුණාත්මක භාවය හා පරිසර පද්ධති සේවා මේ අතර වෙයි.

එසේම මේ නිසා ලැබෙන, සෞඛ්‍යමය යහපත සම්බන්ධව අවධානය යොමු කළ විට මාංශ ආහාරය අඩු කිරීම ඵලදායී බවක් පෙනෙයි. ඒ අනුව පරිසරය හා සෞඛ්‍යය යන දෙකම වෙනුවෙන් අපේ ආහාර රටාවේ වෙනස්කම් සිදුවිය යුතු බව බව පෙනෙයි.

Thursday, April 22, 2021

"මිහිතල දිනය" හා "මිහිතල මාතා දිනය"

ධනේෂ් විසුම්පෙරුම


22.04.2021


අද, එනම් අප්‍රේල් මස 22 වැනි දිනය "මිහිතල දිනය" බව දැන් ප්‍රකට කරුණකි. එහෙත් එය "අන්තර්ජාතික මිහිතල මාතා දිනය" යනුවෙන් ද හැඳින්වෙන බව දන්නේ අඩු පිරිසකි.

මේ දෙක එකක් ද? නැත. මේ පළමුව සඳහන් දිනය ඇමරිකාවේ පැවැති පාරිසරික අර්බුදය නිසා උපන් ජනතා විරෝධතාවක් පැවති 1970 වසරේ දිනයක් සැමරීමකි. (එම සැමරුම 1990න් පසු ජගත් මට්ටමට ගියේය). අනෙක ඊට බොහෝ කාලයකට පසුව 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කළ දිනයකි.


මිහිතල දිනය (Earth Day)

1960 ගණන් වන විට ඇමරිකාවේ පැවති මහා පරිමාණ පරිසර දූෂණය පිළිබඳව එරට ජනතාවගේ අවධානය යොමු විය. එයට පිළියම් සෙවීමට රජයට බලකරමින් හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සහයෝගය පළ කරමින් එරට ජනතාව විසින් 1970 අප්‍රෙේල් මස 22 වැනි දින ඇමරිකාව පුරා උද්ඝෝෂණයක් දියත් කරන ලදි. ඊට මිලියන විස්සක පමණ ජනතාවක් සහභාගි වී ඇත. ඒ සඳහා මුල් වූ එවකට සෙනෙට් සභිකයෙකු වූ ගේලෝඩ් නෙල්සන් (1916-2005) මේ දිනයේ ආරම්භකයා ලෙස සැලකේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ පරිසර ආරක්ෂාව සඳහා විවිධ කටයුතු ආරම්භ විය. එමෙන්ම එය 1970 දශකයේ දී ජගත් මට්ටමෙන් ඇති වු පරිසරය පිළිබඳ සාකච්ඡාවට ද බලපෑමක් කළ බැවින් මේ දිනය නූතන පරිසර සංරක්ෂණ ව්‍යාපාරයේ ආරම්භය ලෙස සැලකෙයි.

පළමු මිහිතල දිනයේ සම්බන්ධීකාරක වූ ඩෙනිස් හේයස් (1944-) එහි විසිවන සංවත්සරය හා සමගාමීව 1990 වර්ෂයේදී ජගත් සැමරුමක් බවට පත් විය. ඒ වර්ෂයේ දී රටවල් 141ක් පුරා මේ දිනය සමරන ලදි. 2020ට යෙදුණු මිහිතල දිනයේ පනස්වන සංවත්සරයට ලෝකය පුරා මිලියන සියයක පමණ ජනතාවක් සම්බන්ධ වී ඇත.

1990 වර්ෂයේ දී ජගත් මට්ටමට ගිය මිහිතල දින සැමරුම ශ්‍රී ලංකාවේ ද පවත්වන ලදි. අපේ රටේ සංවිධානය කළ වැඩසටහන් සම්බන්ධව ශ්‍රී ලංකා පරිසර සම්මේලනයේ පුවත්පත වූ 'මිහිකත' 9 කලාපයේ පළ වූ පුවතක් මෙසේය.




එදා මිහිතල දිනයේ සිට පරිසර දිනය (ජුනි 5) දක්වා මෙරට තුළ සිදු කළ කටයුතු ගැන 'මිහිකත' 10 කලාපයේ විස්තර පළ විය. (අපේ රටේ නූතන පරිසර ව්‍යාපාරයේ ව්‍යාප්තිය සිදුවන්නේ ද අසුව දශකයේ පමණය.)




එහි සඳහන් පරිදි 1990 අප්‍රේල් 22 දින පැවති කටයුතු සමහරක් මෙසේය.










කෙසේ වෙතත් මිහිතල දිනය යෙදෙන කාලය ලංකාවේ උත්සව සමයක් වීම නිසා මෙන්ම පාසල් නිවාඩු සමයක් වීම නිසාත් මේ දිනය සැමරීම දිගු කාලීනව සාර්ථක නොවීය. එහෙත් වරින්වර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වා ඇත.

මිහිතල දිනය සඳහා තේමා නම් කිරීම හා ජගත් මට්ටමින් සම්බන්ධීකරණය කිරීම 'මිහිතල දිනය ජාලය' (Earth Day Network) විසින් සිදුකරනු ලැබේ. එහි වෙබ් අඩවිය www.earthday.org වේ.



අන්තර්ජාතික මිහිතල මාතා දිනය (International Mother Earth Day)



එඑතෙක් ස්වාධීනව සිදුකරන ලද මිහිතල දින සමරුවට අමතරව 'අන්තර්ජාතික මිහිතල මාතා දිනය' ලෙස අප්‍රේල් මස 22 දිනය නම් කරනු ලබන්නේ 2009 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාවක් අනුවය. එම යෝජනාව මෙසේය.


ඒ අනුව මේ දිනය සැමරීමේ දී ඒ වන විට පැවති තිරසර සංවර්ධනය හා සම්බන්ධ වැඩසටහන් හා  සැලසුම් ආදිය  යළිත් පිළිගැනීම හා අනුමත කරන බව යළිත් සඳහන් වේ. මිනිසුන්ගේ ද නිවස වන මිහිතලය හා සොබාදාහම සමඟ සාමයෙන් සහජීවනයෙන් පැවැත්මේ ඇති වැදගත්කම ද කියැවේ. 'මිහිතල මාතාව' ලෙස සිදුකරන හැඳින්වීම තුළින්ම මිහිතලය, මිනිසුන් හා සෙසු ජීවීන් අතර ඇති අන්‍යොන්‍ය උපජීවනය නිරූපණය යන බව මේ යෝජනාවෙන් වැඩිදුරටත් තහවුරු කර ඇත. 

(මෙම යෝජනාව PDF පිටපතක් ලෙස මෙතැනින් බාගන්න - http://undocs.org/A/RES/63/278)

එසේ සම්මත වූ මිහිතල මාතා දිනය 2010 වර්ෂයේ සිට සමරනු ලැබේ.


එබැවින් මේ දිනය වෙනුවෙන් 1970 සිට සමරනු ලබන ඇමරිකානු (පසුව ජගත් මට්ටමට ගිය) දිනයක් ද, 2009 දී එක්සත් ජාතීන් විසින් සම්මත කළ අන්තර්ජාතික දිනයක් ද ඇති බව පෙනෙයි. 

"මිහිතල දින" සැමරුම නිසා "අන්තර්ජාතික මිහිතල මාතා දින සැමරුම" යටපත් වී ඇති බවක් ද පෙනේ. එහෙත්  මේ දින දෙකේම අරමුණ වන්නේ මිහිතලය ආරක්ෂා කිරීමය; ඒ වෙනුවෙන් හඬනැගීමය; ඒ වෙනුවෙන් කටයුතු කිරීමය. එබැවින් ඒ දිනවල ඉතිහාසය ගැන අවබෝධයකින් යුක්තව පරිසරය වෙනුවෙන් මේ දිනය සමරමු.

22.04.2021

Wednesday, April 14, 2021

කාබන් ඩයොක්සයිඩ් මට්ටම තවත් මංසලකුණකට

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2021.04.14, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/04/14/feature3.html





වායුගෝලයේ පවත්නා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ සිදුවන වෙනස්කම් මිහිතලය උණුසුම් වීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකි මනා දර්ශකයකි. හවායි හි මෝනා ලෝආ නිරීක්ෂණාගාරයේ පසුගියදා වාර්තා වූ කියවීම්වලින් පෙනෙන්නේ ඒ වායුවේ සාන්ද්‍රණය කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි. එම කියැවීම අනුව 2021 අප්‍රේල් මස තුන් වැනි දා එහි දෛනික කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 421.21ක් විය.

කාබන් ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය මිලියනයකට කොටස් 420 අගය පසු කිරීම යනු බි්‍රතාන්‍යයේ කාර්මික විප්ලවය ඇතිවීමට පෙර හෙවත් පූර්ව කාර්මික අවධියේ පැවති සාන්ද්‍රණය වන මිලියනයකට කොටස් 280ට වඩා හරියටම 50%කින් ඉහළ යෑමකි. මෙවැනි වර්ධනයක් වාර්තා සහිත ඉතිහාසයේ වාර්තා වී ඇත්තේ පළමු වතාවටය.

එමෙන්ම මේ විමෝචන වර්ධනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ මෑත කාලයේ දී ය. නිදසුනක් ලෙස ගතහොත්, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 25%කින් ඉහළ යෑම සඳහා වසර දෙසියයක් පමණ කාලයක් ගත වී ඇත. එහෙත් එය 50%ක් දක්වා ඉහළ යෑමට ගත වී ඇත්තේ වසර 30ක් තරම් අඩු කාලයකි. මේ අනුව පෙනෙන්නේ මෑත කාලයේ දී ඇති වී තිබෙන ඉතා සිඝ්‍ර වූ වර්ධනයයි.

වාර්තාගත අගයයන්


එමෙන්ම සාගරවිද්‍යාව පිළිබඳ ස්ක්‍රිප්ස් ආයතනය මගින් නිකුත් කර ඇති දත්ත අනුව ගත වූ මාර්තු මාසයේ වායුගෝලයේ පැවති කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වූ මිලියනයකට කොටස් 417.14ක පමණ අගය නව වාර්තාවකි. මීට පෙර කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ මාසිකව දැකිය හැකි වූ උපරිම අගය ලෙස සඳහන් වන්නේ 2020 මැයි මාසයේ දී වාර්තා වූ මිලියනයකට කොටස් 417.10ක අගයයි.

එසේම මාසිකව කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ නිකුත් කරන බි්‍රතාන්‍ය කාලගුණ කාර්යාලය (ඵැඑ ධසෛජැ) පෙන්වා දෙන ආකාරයට 2021 වර්ෂයේ උපරිම අගය මිලියනයකට කොටස් 419.5ක් පමණ තරම් විය හැකිය.

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වර්ෂය පුරා සුළු වශයෙන් වෙනස් වෙයි. ලෝකයේ උතුරු අර්ධගෝලයේ වසන්ත හා ග්‍රීෂ්ම ඍතු පවත්නා කාලයේ දී ශාක මගින් මේ වායුව අවශෝෂණය කරගැනීම ඉහළ යන බැවින් ඒ කාලයේ දී මේ වායුවේ සාන්ද්‍රණය අඩු වෙයි. එහෙත් ඉන්පසුව එළැඹෙන ශරත් හා ශීත ඍතුවල දී මේ වායුවේ සාන්ද්‍රණය ඉහළ යයි.

මේ අතර පසුගිය 2020 වර්ෂයේ කාබන් ඩයොක්සයිඩ් වායුවේ වාර්ෂික සාමාන්‍ය සාන්ද්‍රණය මිලියනයකට කොටස් 413.94ක් වූ අතර, මේ වර්ෂයේ දී එහි සාමාන්‍යය මිලියනයකට කොටස් 416.3ක් පමණ වනු ඇතැයි අපේක්ෂිතය.

දිගුකාලීනව ගත් විට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යමින් තිබෙයි. මේ වර්ධනය වීමේ ප්‍රවණතාවය මානව ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්ය යන්න මේ වන විට පැහැදිලි කරුණකි. ඒ සඳහා දායක වන් කටයුතු අතර මූලික වශයෙන් පොසිල ඉන්ධන දහනය කිරීම හා වන විනාශය ඇතුළත් වෙයි. මේ කරුණු සියල්ලෙන්ම පැහැදිලි වන්නේ අද වන විට ඇති වී තිබෙන තත්ත්වයයි. කාබන් ඩයොක්සයිඩ් හා වෙනත් හරිතාගා වායු විමෝචන අඩු කිරීම සඳහා සාධනීය වූ වැඩපිළිවෙලක් ලෝකයට අවශ්‍යව තිබෙයි.


කොවිඩ් නිසා වෙනසක් සිදුවීද


එමෙන්ම මේ ආකාරයෙන් කාබන් ඩයොකස්යිඩ් වායු විමෝචන ඉහළ යෑම සිදු වී ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ කාබන් ඩයොක්සයිඩ් විමෝචන අඩු වීමක් සිදු වූ තත්ත්වයක දී වීම ද විශේෂයකි.

2020 වර්ෂයේ දී ඇති වූ කොවිඩ්-19 තත්ත්වය නිසා ඒ වර්ෂය ඇතුළත ගෝලීය වශයෙන් විමෝචනය වූ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචන ප්‍රමාණය අඩු විය. ඒ ලෝකයේ ඇති වූ සීමාකිරීම් හා වසා දැමීම් නිසා ප්‍රවාහනය අවම වූ නිසාත් බොහෝ ආර්ථිකමය කටයුතු අඩු වූ නිසාත්ය. එහෙත් මෙසේ 2020 වර්ෂයේ දී ඇති වූ කාබන් විමෝචන අඩු වීම, සමස්තයක් ලෙස වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කිරීමට සමත්ව නැත. මේ නිසා එම වායුවේ සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ ගොස් ඇත. එමගින් පෙන්වා දෙන්නේ වඩා විශාල ප්‍රමාණයේ හා වඩා දිගු කාලයක් ක්‍රියාත්මක වන විමෝචන අඩු කිරීමක් අවශ්‍ය බව යැයි බ්‍රීතාන්‍ය කාලගුණ කාර්යාලය ද පෙන්වා දී තිබෙයි.

මේ වන විට පිළිගන්නා පරිදි අනාගතයේ දී ලෝකයේ බරපතළ දේශගුණ ප්‍රතිවිපාක ඇති නොවීමට නම් ලෝකයේ උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 1.5කට සිමා කළ යුතුය. ඒ සඳහා 2050 වර්ෂය වන විට හෝ ඊට පෙර, වායුගෝලයට එක් වන ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචන ප්‍රමාණය ශුන්‍ය බවට පත් කළ යුතුය. මේ සඳහා වායුගෝලයට නිකුත් වන විමෝචන අඩු කිරීමට මෙන්ම වායුගෝලයේ ඇති විමෝචන ඉවත් කිරීමට ද අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුය.

Tuesday, April 13, 2021

“වැස්ස නුඹ වගේ”

ධනේෂ් විසුම්පෙරුම

13.04.2021


වැස්ස දිහා බලන් ඉන්න මම හැමදාමත් ආසයි.


පිටිපන දී දුටු වැස්සක්

වැස්ස ගැන කතා කළ නිසා "මෙහේ හොඳටම වහිනවා" කියලා අයෙක් එවූ පණිවුඩයක තිබ්බා. එතකොටත් මම හිටියේ වැස්ස පොළොවට වැටිල එන සුවඳ විඳිමින්. අපට එතරම් තද වැස්සක් නොතිබුනත් පොළොව තෙමෙන වැස්සක් වැටුණා. ගෙවල්වල වහල හා සිමෙන්තිත්, පාරෙ කොන්ක්‍රීට් හා කැටගල් අතර ඇති සීමිත පසට වැස්ස වැටිලා ඒ නැවුම් සුවඳ පැමිණෙමින් තිබුනා.

ඒ වැස්ස පොළොව ඉල්ලා සිටින එකක්. අපි මොනතරම් වතුර දැම්මත්, ගෙවත්තේ ගහකොළවලටත් දැනෙන්නෙ මේ වැස්සට වැටෙන වතුරයි. පාරෙ බිඳුණු තැන්වල වැවෙන වල් පැළත් දළු දමා වැඩෙන්නෙ එතකොටයි.

ඊයේ, එනම් අප්‍රේල් 12 දා, තමයි මෙවර බක් මාසය ආරම්භ උනේ. මද අකුණු ගැසීමකුත් එක්ක අපට ආපසු වහින්න ගත්තෙත් ඒ සමඟයි. "බක්මහ වැස්ස" නැත්තං “බක්මහ අකුණු” කියන වචනෙට ගැලපෙන්නම වැඩේ පටන් අරගත්තා.


වැස්ස දිහා බලන් ඉද්දි බොහෝ දේ සිහිපත් වෙනවා.


පොඩි කාලෙ මහ වැස්ස වැටෙනකොට වහලෙන් හෝ පීල්ල කෙරවරකින් වැටෙන වතුර පාරට ඔළුව අල්ලගෙන නාපු හැටි මතක් වෙනවා. “ඉදලා ඉදලා වැටෙන වැස්සෙ නාන්න එපා” කියන එක අහන්නැතිව වැස්සේ නාන්න ගිහින් තාත්තගෙන් ගුටි කාපු වෙලාවලුත් තිබ්බා. දැනුත් ඉඳහිට එහෙම නාන වෙලාවල් නැත්තෙ නෑ. ඒක වෙනම වැඩක්. එහෙම නානකොට දමට දැනුණෙ ගමේ පීල්ලකින් වැටෙන වතුරෙන් අපි නාපු හැටි. දැරණියගල අපේ අම්මලාගෙ ඉඩම කෙලවර ආණ්ඩුවෙ රබර්වත්ත තිබූ කන්දෙ ගල්තලාවක් යටින් මතුවන දියබුබුලක් තිබුණා. ඒකට කිතුල් කඳක් කපා දමා පීල්ලක් සම්බන්ධ කරලා අපූරු නාන්න තැනක් සකසා තිබුණා. එතනින් පොඩි ඇලක් පටන්ගත් බවයි මතක. ඒත් දැන් ඒ පීල්ල එතන නැති බවක් මෑතදි ගිය වෙලාවෙ දැනගන්න ලැබුනා. ආයෙ ගියාම යන්න ඕන එතනට.

පුංචි කාලෙ වැහි වතුරේ කඩදාසි බෝට්ටු යවපු හැටි මතකයි. ගෙදර වහළෙන් වැටෙන වැහි වතුරේ වගේම මිදුලේ කලාගෙන යන වතුරෙත් බෝට්ටු යැව්වා. මහන්සි වෙලා ආසාවෙන් හදපු බෝට්ටු වතුර පාර දිගේ පාවෙලා ඈතට යනවා බලන් හිටියෙ සතුටින් වගේම දුකකින් වෙන්න ඕන - එදා ඒ හැඟීම් වෙන්කරලා තේරුම් ගත්ත හැටි මතක නෑ. කොහොම උනත් වැස්සේ බෝට්ටු යැවීම නං මෑත කාලදිත් කළ දෙයක්, ඒ ඉතිං පොඩි දරුවොත් එක්ක. ඉස්සර කඩදාසි බෝට්ටු යැව්වට දැන් හිටි ගමන් කාඩ්බෝඩ් බෝට්ටුත් හදනවා.

ඒ වගේම මට තියන පරණම සිදුවීමක් තමයි අපි මාතර ගොඩගම ගෙදරක හිටපු කාලෙ තාත්තා මාව දාගෙන ගංවතුරේ ඔරු පැද්ද හැටි. හීනයක් වගේ මත ඒ සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු දෙකක් තුනක් වෙන්න ඕන. තාත්තා එදා අම්මගෙන් සෑහෙන බැනුම් ඇහුවලු (මේක වෙනම ලියන්න ඕන). 

ලොකු උනාට පස්සෙ වැස්ස වෙලාවෙ මං කැමති පැත්තකට වෙලා වැස්ස දිහා බලං ඉන්න. දොර ගාවට වෙලා බලාගෙන ඉන්න. ඒ වගෙම මම වැස්සෙ ගමන් බිමන් යන්න එතරම් කැමති නෑ, ඒ දවසගානෙම කුඩ නැතිකරගන්න නිසාම නෙමෙයි (ඒකත් කියන්න එපැයි). 

මොනව උනත් ගහ කොළ අඩු, පර්චස් දහයෙ කොටස්වලට බෙදුණු ඉඩම්වල ජීවත් වන නිසා රෑට වහිනවා කියන්නෙ මහා සැනසිල්ලක්. කොන්ක්‍රීට් නිසා රෑටත් සිසිල් වීම අඩු පරිසරයේ ඒ ගත දවන උණුසුම නැතිව ගිහින් සිසිලක් ලැබෙන නිසා. සීතලේ නිදන්න හැකි නිසා.

මම පාසල් යන කාලෙ විසූ එක්තරා පරණ නිවසක කොටසක තිබුණෙ තහඩු වහළයක්. එවැනි තැනක දි වැස්සෙ තරම සද්දෙන් පවා කියන්න පුළුවන්. ඒ සද්දෙ තාමත් ඇහෙනව වගේ මතකයි. 


වැස්ස හා සංගීතය


ඉතින් වැස්ස ගැන හිතනකොට මගේ සිතට නිරායිසයෙන් එන ගීත කීපයකුත් තියනවා.

එකක් තමයි ගුණදාස කපුගේ ගයන රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ "දවසක් පැල නැති හේනේ - අකාල මහ වැහි වැස්සා" කියන මව් ගුණ ගීතය. මේ ගීතය රජරට වැස්සත්, හේනත්, අම්මාගේ සෙනෙහසත් මතක් කරනවා. හේනක එවැනි අත්දැකීමක් ලබා නැතත් මගේම අත්දැකීමක් වගේ මට ඒක දැනෙනයා. ඒ එක්කම එහි තිබෙන "කොළඹ අහස කළු කරගෙන - මූදු හුළඟ අඬලන කොට" කියලත් කියන එක තවත් දැනෙනවා.

"දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන 
මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඹලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ
ඉන්නවාද අම්මේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්සත් එක්ක ඊළඟට මතක් වෙන ගීතයක් තමයි මිල්ටන් මල්ලවාරච්චි ගයන "මේ මැයි ගහ යට දවසක්දා - වැස්සට අපි උන්නා" ගීතය. මේ සමඟ මට හැමදාම මැවෙන රූපය අමුතු එකක්. මැයි ගසක්වත් නැති බව මම හොඳින්ම දන්නා එක්තරා මාර්ගයක, අඳුරු වැසි සහිත සැන්දෑවක මැයි ගසක් පාමුල ඉන්නා නොදන්නා යුවලක් තමයි මට මැවෙන රූපයේ ඉන්නෙ. මේ අපූරු විරහ ගීතය අපි පාසල් කාලෙ සිටම බෙහෙවින් ආස කළ ගීයක්. අත්දැකීමක් ඇතත්, නැතත් විඳින්න හැකි වූ ගීතයක්. මේ ගීතයේ පද ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ.


"මේ මැයි ගහ යට - දවසක්දා
වැස්සට අපි උන්නා
රතුකැට වාගේ - මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා

මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නෑත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඊළඟ ගීතය මම අහන්නෙ පස්සෙ කාලෙක. ඒ සෙංකඩගල වැස්ස සිහිපත් කරන "මුතුකුඩ ඉහළන මල් වරුසාවේ" ගීතයයි. විරහ ගීතයක් වුන මේ ගීතයත් ඒකෙ කිවෙන කතාවත් අපේම අත්දැකීමක් වගේ දැනෙනවා. සෙංකඩගල වැස්ස අත්දැක ඇති නිසාමද මන්දා. ඒකෙ චිත්ත රූපයක් මවන්න බෑ, මොකද කලකට පෙර රූපවාහිනියෙ දැකපු විෂුවල් එකක් චිත්ත රූපයම වෙලා නිසා . ලූෂන් බුලත්සිංහල ලියූ මේ ගීතය ගයන්නෙ රෝහණ වීරසිංහයි.

"මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැඩෙන ආදරය එක්ක වැසි දිනයක් ගැන කියන මේ ප්‍රේම ගීතය මම මුලින්ම අහන්නෙ ඊටත් මෑත කාලෙක. රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන අපූරු ගීයක්.

"මිණි මිණි පොද වැටේවි - මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්

බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්ස ගැන සිහිවීමත් එක්ක වැස්සට එන්න එපා කියන ගීත කීපයකුත් මට මතක් උනා. ඒවා සියල්ලම වගේ ප්‍රේම ගීතයි.

ඒ අතරින් මම මුලින්ම ඇහුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ, ආචාර්ය වික්‌ටර් රත්නායක ගායනා කරන මේ සුන්දර ගීතය. පෙම්වතිය හමුවීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අතර වැස්සක් වැටුනොත් ඒ සුන්දර මොහොත අඳුරු වී යා හැකි බවක් පැවසේ. එබැවින් සුළඟ මගින් වැහිවළාවට කියන්නේ හෝරා කීපයක් පමා වන ලෙසයි.

"හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි - හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු සැදෙයි - කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

අප සමුගත් පසු වසින්න - ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න - නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා..."

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඊළඟට මතකයට ආ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇති එඩ්වඩ් ජයකොඩි ගයන එකක්. එහි කියැවෙන්නෙ සිය පෙම්වතිය වැසි ආපදාවෙන් ආරක්ෂා කරන්න ඕන බව සිතන පෙම්වතෙක්ගෙ සිතුවිලි. වැස්සොත් සිදු විය හැකි දේ එතැන අපූරුවට කියවෙනවා.

"ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරියෙ පිට මඩ ඉහෙයි

මුහුනට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මිරිවැඩි තුල දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි

සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සග වන්නෙමි ඔබ මගෙන්
දිව එන්නට මට හිතෙයි"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්සට එන්න එපා කියන තවත් ගීතයක් තමයි මෑත කාලයේ ඇහුව "මහරගමට වහින්නැතුව - වහින්න ඕනෑ තැනකට" ගීතය. එහි කියැවෙන්නෙ වැඩ අවසන් වී ගෙදර යන්න මහරගමට ආපු තරුණියක් වැස්සට හසු වී තෙමෙන්න පුළුවන් නිසා මහරගමට වහින්න එපාය කියන එක. මේ ගීතය ලියලා තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වන අතර ගයන්නෙ චාමර වීරසිංහයි.

"මහරගමට වහින්නැතුව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග

උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා

මහ වැස්සට තෙමුණොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ"

(මේ ගීතය මෙතැනින් අහන්න)

(මහරගම ටවුමට කෙසේ වෙතත් මහරගමට වහිනවට මම නං කැමතියි. මොකද මම ඉන්නෙත් මහරගම නගරයේම නිසා...)


වැස්සට කලින් සමහරුන්ට සිතෙන සිතුවිල්ලක් ගැනත් කියන ගීතයක් අපේ ගීත අතර තියනවා. ඒ, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගායනා කළ, කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් ලියූ “මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා” ගීතය. මොනව උනත් වැස්ස වෙලාව ඒ කටයුත්තට සුදුසුම වෙලාවක් තමයි.

"මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා - කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ - කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ - මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි - තනිකම ඊට වැඩී
එකම කුඩය යට අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳහැටි මතකයි

මී විතකින් ගත උණුසුම් වූව ද - සිත උණුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොළට
එපා එපා මී විත මගෙ දෙතොළට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා"

(මේ ගීතය මෙතැනින් අහන්න)


අපේ ගීත අතර වැස්ස උපමාවක් ලෙස ගත් ගීතත් තියනවා. ඍජුවම වැස්සක් ගැන නොකීවත්, ඒවයෙ වැස්ස යොදාගෙන තිබෙන්නේ අපූරු අදහස් සන්නිවේදනය කරන්නටයි.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ” එවැනි එක් ගීයක්. ඒත් ඒකෙ චිත්ත රෑප මැවෙන්නෙ වැස්සට පසුව එන නිසංසල බවත් එක්කම. පෙම් ගීයක් වන මේ ගීතයේ තියෙන්නෙ පෙම්යුවලත් අතර ඇති වූ ගැටුමකින් පසුව ඇති වූ තත්ත්වය. මේ ගීතය ලියා තිබෙන්නෙ සුනිල් සරත් පෙරේරා වන අතර ගයන්නෙ සෝමතිලක ජයමහයි.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි”

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඍජුවම වැස්සක් ගැන නොකීවත් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන, යමුනා මාලනී පෙරේරා ලියූ මේ ගීයෙ වැස්ස උපමා කරන්නෙ පෙම්වතියට. වැස්ස වගේ පෙම්වතියගෙන් සිත් මලේ පාට නොසේදීම පුදුමයක් තමයි කියලයි කියන්නෙ. “වැස්ස නුඹ වගේ” කියලා මේ ලියමනට මාතෘකාව ගත්තෙත් මේ ගීතයෙන්.

“සුළඟ නුඹ වගේ - සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් - යන්නටම හදයි
වැස්ස නුඹ වගේ - සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසුපසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි”

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්ස ආපදාවක් ද?


මෙතෙක් කීවේ වැස්සේ සුන්දර පැති ගැනයි.

කොහොම වෙතත් අධික වැස්ස නම් ස්වාභාවික ආපදාවක් විය හැකියි. ඒ වැස්ස නිසා ගංවතුර, නාය යෑම් වගේ විපත් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා සෑම වර්ෂයකම පාහේ සිදුවන ජීවිත හා දේපොළ හානි සැලකිය යුතු තරම් බරපතළයි.

එවැනි සිදුවීම් සඳහන් වන පොත් දෙකක් එක් වරම මතකයට ආවා. ඉන් එකක් මීට දශක කීපයකට පෙර පාසල්සමයේ දී කියවූ “වැහි දවස” නවකතාව. එය භද්‍රජී මහින්ද ජයතිලකයන් ලියුවක්. ඒ කතාව නායයෑම් ඛේදවාචකයක් ගැන ගැන කියවෙන්නක් බවයි මට මතක. මේ පොත ආපහු හොයාගන්න ඕන. 

අනෙක් පොත තමයි මෑත දී පළ වූ “හිඹුටුදෙණිය කඳු පාමුලින්” කියන කතාව. නායයෑමක් නිසා අනාථ වන දරුවෙකුගේ ජීවිතය ගැන ලියැවුණු මේ පොත පියසිරි මාතරගේ ලියූ සම්මාන දිනූ යොවුන් නවකථාවක්.

තවත් දෙයක්.

වැස්ස තියන දවස් ඇතැම් විට “අයහපත් කාලගුණයක්” ලෙස හඳුන්වනවා. විශේෂයෙන් සමහර මාධ්‍ය වැසි සහිත දවස් හඳුන්වන්නේ ඒ ආකාරයටයි. ඒ වගේම වැස්සේ තියන යහපත එදාට බොහෝ දෙනාට අමතක වෙනවා. එතෙක් පීඩා වින්ද නියඟය හා වියළි කාලගුණය අමතක වෙනවා. වතුර නැතිව වේලෙන වගාබිම් අමතක වෙනවා.

ඉතින් දැනට ඇති. දැන් වැස්ස තුරල් කරලා.

13.04.2021

Monday, April 12, 2021

දුවගේ වස්තුව...

පොත් රාක්ක අස්කරද්දි
යළි හමු වූ මේ එකතුව
බිම පෙරලාගෙන ඉඳගෙන
තෝරා - ගලපා - රසවිඳ
බඳුනට දමනා සෙල්ලම
පටන් අරන් වගේ පෙනෙයි...

මාල පබලු - ටීක් බෝල
බොත්තම් හා සීකුයින්ස්
පැන්සල්වල කෑලි බෑලි
තව තව පොඩි පොඩි අයිටම්
තව සෑහෙන වෙලාවකට
ඔතන තමයි එයා ඉතින්...

සැනින් ගියෙමි අතීතයට
මටත් තිබුන ඒ වාගේ
එක එක දේ පෙට්ටියක්ම
තෝර තෝර රසවිඳින්න...
ඒවායින් එකක් දෙකක්
තාමත් තියනව මා ළඟ!


ධනේෂ් විසුම්පෙරුම

12.04.2021