ධනේෂ් විසුම්පෙරුම
2021.12.02
නින්දෙන් අවදි වූ මට ඈතින් පෙනුනේ මෙවැනි ආලෝකයකි (වෙනත් තැනක ගත් සේයාරුව - දිනිත් ඉන්දික හෑගොඩ) |
ඒ සුවපහසු ආසනයේ නිදා සිටි මා ඇහැරුනේ නැලවෙන රිද්මය නැති වූ නිසා විය යුතුය. හරියට ඇස් ඇර අවට බැලූවිට හාත්පස කළුවර පැතිර ඇති බව දුටිමි. එළියකට තිබුුණේ දුම්රියේ විදුලි එළියයි. මට වැඩේ තේරුණී. බිංගෙයක් තුළ දුම්රිය නතර වී ඇත. වේලාව බැලීමි. සවස 3.35යි. හිස ඔසවා බැලු විට මා සිටි මැදිරියට එහා අවසන් මැදිරියේ නිරීක්ෂණ වීදුරුව හරහා තරමක් ඈතින් පිහිටි බිංගේ දොරටුව පෙනිණි.
මා මේ සිටිනුයේ මහනුවර සිට ආපසු එන අතරතුරය. මාස අටකට පසුව මහනුවර ගියේ වැදගත් කටයුත්තකටය. පාන්දර පුරුදු බස් එකේ පැමිණිය ද, මට ආපසු එන්නට හිතුනේ දුම්රියේය. ඒ සැලකිය යුතු කලකින් දුම්රියක දුර ගමණක් නොගිය නිසා නොවේ. මේ දවස්වල බස් ඒ තරම් වේගයෙන් නොයන නිසාය. උදේ මා නුවර ගියේ ශ්‍රීලංගම බසයක වූ නිසා, ආසන ගණනටවත් සෙනග නැතත් එය වෙනදා වේලාවටම ගමනාන්තයට ළඟා විය. එහෙත් මං එන පාරේ හවසට ලංගම බස් අඩුය.
මගේ කටයුතු නිමකරගෙන කඩිනමින් යමක් කා බී, නගරය හරහා පයින් පැමිණ දුම්රියපොළට ළංවූයේ 2.45 පමණය. ඒ වන විටත් අන්තර්නගර සීඝ්‍රගාමී (ඉන්ටර්සිටි) දුම්රිය තුන්වන වේදිකාවේ නවතා තිබිණි. දෙවන පංතියේ ටිකට්ටුවක් මිල දී ගෙන දුම්රියට නගිනවිට දුම්රිය ගමන් අරඹන්නට ඔන්න මෙන්න තිබිණි.
මා නැගුණු මැදිරියේ ඒ තරම් මගීන් නොසිටි අතර, ජනේලයක් අසල අසුනක් ද ලැබිණී. කෙමෙන් ඉදිරියට ගිය දුම්රිය පේරාදෙණියේ ඉස්ටේසම පසුකරනවා මතකය. ඉන්පසු මිනිත්තු පහළොවක් පමණ මට නින්ද ගොස් ඇත. දැන් මේ අවදි වූයේ ඉන් පසුවය.
දුම්රිය නතර වී තිබුණේ බලන කිට්ටුව බිංගෙයක් තුළ බව අනුමාන කළෙමි. දුම්රිය නතර වීමට හේතුව දැන ගන්නට විදියක් නැත. දැන් දැන් යළි ගමන් අරඹනු ඇතැයි කියා මදක් වේලා බලා සිටියෙමි. එසේ නැත. මොකක් හෝ අබග්ගයකි. මද රස්නයක් ඇති බැවින් නින්ද යන්නේ ද නැත.
කෝකටත් විසඳුම වන ජංගම දුරකථනය අතට ගත්තේ ෆේස්බුක්වත් යන්නටය. අප්පා... කිසිම සිග්නල් එකක් නැත. අනෙක් පරණ පන්නයේ දුරකථනයේ ද සිග්නල් නැත. කොළඹ මා යන එන සමහර කොන්ක්‍රීට් ගොඩනැගිලි තුළ සිග්නල් නැතිවන එකේ බිංගෙයක් තුළ දුරකථන සංඥා තිබිය නොහැකිය.
අද උදේ සිට දුරකථනය භාවිත කළ නිසා බැටරිත් බැස ඇත. ඒ නිසා වෙනදා මේ වාගේ අවස්ථාවක ස්මාට් පෝන් එකෙන් කරන සටහන් තැබීම් හා ගැලරිය හිස් කිරීම ආදි මොකුත් කරන්න බැරිය. අනෙක් දුරකථනයෙන් කළ හැක්කේ ස්නේක් සෙන්සියා හෙවත් නයාට බලාගැනීම පමණකි. ඒක මහා කම්මැලි වැඩකි.
ජනේලයෙන් පිටත බලන්නට කිසිවක් ද නැත. ඇසට පෙනෙන්නේ ඒකාකාරී කළු පාට ගල් බිත්තියයි. දුම්රිය ඇතුළේ ඇති ආලෝකයෙන් පිටත ගල් බිත්තියේ රළු ගල් මෙන්ම තැනින් තැන ඇති බැමි ද දැකිය හැකිය. වෙනදා කෝච්ච්යේ යන විට හැමදාම දකින, ඒ නිසා සමහරුන්ට අගයක් හෝ අමුත්තක් නැති පරිසර භූදර්ශනයේ ඇති විචිත්‍රත්වය මට සිහිපත් වූයේ ඒ වෙලාවේය.
ඒ සමඟ මට මතක් උනේ දැන් ලයිටුත් ගියා නම් කියාය... එහා පැත්තේ ආසනයේ කවුරු හෝ සිටියේ නැත්තේ වාසනාවටක අවාසනාවටද යන්න එක්වරම හිතාගත නොහැකි විය. මට මුලින්ම මතක් වූයේ 1950 දශකයේ දවසක අම්පාර පැත්තේ ගංවතුර නිසා දී අතරමංව සිටිය දී තවත් පිරිසක් සමඟ බෝට්ටුවකින් යමින් සිටිය දී ප්‍රකට ලේඛක ගුලි ලද අත්දැකීමය. බොට්ටුවේ එළිය නැතිවූ අවස්ථාවක දී ළඟ සිටි දමිළ තරුණියක් විසින් ගුලිට කේක් කැබැල්ලක් කැව්වේ (කටේ ඇතිල්ලූවේ?) කළුවරට පින් සිද්දවන්නටය. ඉස්කෝලේ අච්චු පොතක තිබූ පාඩමක මේ කතාව වූ බවක් මතකය.
ඒත් ලයිට් ගියත් මා අසල ආසනය හිස්ය. පැත්ත පළාතක ඒ වගේ අයෙක් නැත. ඒ වගේම ලයිට් යන්නේත් නැත. මට මතක් උනේ කැම්පස් යන කාලයේ දී බස්රථයක ලයිට් තිබිය දී මා ලද එක්තරා අත්දැකීමකි... එහෙත්, ඒ කතාව මෙහි කීමට නොහැකිය.
පුංචි කාලයේ දී මම දුම්රියේ යෑමට බෙහෙවින් ප්‍රියකළෙමි. ඒ, එතරම් දුම්රියේ නොගිය නිසාය. කොළඹ පදිංචියට පැමිණි පසු මාතර යද්දී හමුවන ස්ටේෂන්වල නම් ලියාගත් හැටි ද මට මතක් විය. වරක් නොව දෙතුන් වරක් එසේ කරන්නට ඇත. කොළඹ-ගාල්ල හැර මා වැඩිවශයෙන් ගොස් ඇත්තේ ද නුවර මාර්ගයේ හෙවත් ප්‍රධාන මාර්ගයේය. මේ කැමැත්ත දුම්රිය කෙරේ ද එහි ඉතිහාසය කෙරේ ද කැමැත්තක් ඇතිකර තිබේ.
දුම්රිය දිගේ අතීතයට ගිය සිත, දුම්රිය දිගේ මෑතට ආවේය. දශක දෙකකට ඔබ්බේ එක්තරා දවසක (දිනය මතකය), අපරභාගයේ මාතර සිට නුවර යන දුම්රිය මැදිරියක කළ එක්තරා අපූරු කතාබහක් මට මතක් විය. පෙර දින දෙකේ දී යන්තම් දැන හඳුනාගෙන සිටි අපව, ඇස් දිහා බලාගෙන කළ ඒ කතාබහෙන් සමීප කළේය. කොළඹින් මම බැසයන තෙක් කළ කතාව මට තවමත් මතකය. ඉන්පසුව ගෙවුණු වසර දෙකක් තුළ යළි හමුවුවද, එකිනෙකාට නොකී ඒ ප්‍රේමය ගැන දිගට ලියන්නට මට හිතක් නැත. ඒත් ලියැවුණු නොපළ කවියක් මගේ සටහන් අතර වේ.
මා සිතිවිල්ලේ ගැලී සිටියදී දුම්රිය සෙමින් ඉදිරියට යන්නට පටන්ගත්තේය. වේලාව බැලූ විට පැය බාගයකට වඩා ගෙවී ගොස්ය. කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීමෙන් පසුව ගමන යළිත් ආරම්භ වී ඇත. දුම්රිය බිංගෙයින් එළියට පැමිණීමත් සමඟ මම ද වර්තමානයට ආවෙමි.
ඡායාරූපය - දිනිත් ඉන්දික හෑගොඩ
(වෙනත් තැනක ගන්නා ලද්දකි)