Monday, April 29, 2019

Homo luzonensis - පිලිපීනයෙන් හමු වූ ආදි මානව විශේෂය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.04.2019, පි. 08 (Vidusara)

http://www.vidusara.com/2019/04/24/feature1.html



අතීතයේ ජීවත් වූ ආදි මානව විශේෂයක්‌ පිළිබඳ තොරතුරු පිලිපීනයෙන් අනාවරණය කරගැනීමට පර්යේෂකයන් පිරිසක්‌ සමත් වී ඇත. මේ සාධක හමු වී ඇත්තේ පිලිපීනයේ ලුසොන් (Luzon) දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති කලාඕ ලෙන (Callao Cave) නම් ගුහාවක සිදුකරන ලද කැණීම්වලිනි. අදින් වසර 50,000 - 67,000 අතර කාලයක්‌ පමණ පැරැණි මේ ෆොසිල අයත් මානව විශේෂය නම්කර ඇත්තේ Homo luzonensis යනුවෙනි.

මේ කතාව ආරම්භ වන්නේ 2007 වර්ෂයේ දී මේ ලෙනෙහි සිදුකළ කැණීම්වලින් හමු වූ තුන්වැනි පාදකූර්චෝපරිය අස්‌ථියක්‌ අදින් වර්ෂ 67,000ක්‌ පමණ පෙර කාලයකට අයත් වූ බවට කාල නිර්ණය කිරීමත් සමඟ ය. එය පිලිපීනයේ මානව පැවැත්ම පිළිබඳ පැරැණි ම සාධකය විය. මේ අස්‌ථියේ පැවැති වක්‍රතාව හා ප්‍රමාණයෙන් වඩා කුඩා වීම සෙසු මානවයන්ට වඩා වෙනස්‌ ලෙස හඳුනාගන්නා ලදි. එහෙත් ඊට වඩා විශ්ලේෂණයක්‌ කිරීමට ප්‍රමාණවත් තරම් සාධක නො ලැබුණු බැවින් පර්යේෂකයන්ගේ නිගමනය වූයේ එය Homo ගණයට අයත් වූ මානවයකුට අයත් වූවක්‌ ලෙස ය. එම සොයාගැනීම පිළිබඳ ව 2010 දී ලිපියක්‌ ප්‍රකාශයට පත් කරන ලදි (මූලාශ්‍රය - Journal of Human Evolution, DOI: 10.1016/ j.jhevol.2010.04.008).

ඉන් පසුව වර්ෂ කිහිපය තුළ එම ලෙන තුළ වැඩිදුරටත් කැණීම් දියත් කළේ මේ මානවයා පිළිබඳ ව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගැනීමේ අපේක්ෂාවෙනි. අන්තර්ජාතික පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද මේ පර්යේෂණවල ප්‍රතිඵල අනුව එම ෆොසිල අයත් වන්නේ නව ආදි මානව විශේෂයකට යනුවෙන් නිගමනය කිරීමට හැකි වී ඇත.


ප්‍රාථමික හා භින්න ලක්ෂණ



කලාඕ ලෙනෙහි, කලින් ෆොසිල හමු වූ ස්‌තරයෙහි ම සිදුකරන ලද කැණීම්වලින් වැඩිහිටියන් දෙදෙනකුට හා ළමයකුට අයත් ෆොසිල 12ක පමණ ශේෂ හමු වී තිබෙයි. මෙහි දී වැඩිහිටියන්ට අයත් ඇඟිලි අස්‌ථි, පා ඇඟිලි අස්‌ථි හා දත් ද ළමයකුට අයත් ඌර්වස්‌ථියක්‌ හෙවත් කලවා ඇටයක්‌ හමු වී ඇත. මේ අස්‌ථි සියල්ල පිළිබඳ ව සිදුකරන ලද පුළුල් විශ්ලේෂණයක්‌ මඟින් මේ ෆොසිල අයත් වන්නේ Homo luzonensis නම් අලුත් ආදි මානව විශේෂයකට බව මේ මස මුල දී නේචර් සඟරාවේ පළ වූ පර්යේෂණ ලිපියක පළ විය.

මේ ෆොසිලවල ප්‍රාථමික (primitive) හා අත්පත් කරගත් හෙවත් භින්න (derived) ලක්ෂණ සමූහයක්‌ දැකිය හැකි වීම විශේෂයකි. මෙහි දී දැකිය හැකි වූ ඇතැම් ප්‍රාථමික ලක්ෂණ අතීතයේ විසූ ඔස්‌ට්‍රලෝපිතකස්‌ (Australopithecus afarensis) මානවයාට වඩාත් සමාන වී ඇත. Australopithecus මානවයන් මෙලොව ජීවත් වී වඳ වී ගියේ අදින් වසර මිලියන දෙකකට පමණ ඉහත දී වන අතර, ඔවුන් Homo ගණයේ මානවයන්ගේ පූර්වජයන් ලෙස සැලකෙයි (වසර මිලියන 3.1ක්‌ පමණ පැරැණි සුප්‍රකට ලුසී නම් මානව ඇටසැකිල්ල අයත් වන්නේ මේ ආදි මානව විශේෂයට ය).

Homo luzonensis සතු වූ ප්‍රාථමික ලක්ෂණ අතරින් එක්‌ ලක්ෂණයක්‌ වන්නේ පුරශ්චාර්වක දත් ප්‍රමාණයෙන් විශාල වීම හා ඉන් එකක අතිරේක දන්ත මූලයක්‌ තිබීම ය. මේ මානවයාගේ අත් හා පාදවල අස්‌ථිවල ද දැකිය හැකි වූ වක්‍රතාව ද ප්‍රාථමික ලක්ෂණයකි. එවැන්නක්‌ දැකිය හැක්‌කේ ගස්‌ නැඟීම සිදු කරන රුක්‌වාසී විශේෂවල ය. රුක්‌වාසී ජීවිතයකින් පොළාව මත ජීවත්වීමට හුරු වූ දා සිට නූතන මානවයාගේ මේ රුක්‌වාසී අනුවර්තන සියල්ල නැති විය. මේ නිසා අදින් වස ර 67,000කට පමණ පෙර විසූ මානව පූර්වජයකු ගෙන් රුක්‌වාසී අනුවර්තන බලාපොරොත්තු වීම අපේක්ෂා කළ නො හැකි කරුණකි.

එමෙන් ම පිලිපීනයෙන් සොයාගත් මානවයාගේ දැකිය හැකි භින්න ලක්ෂණ අතර කුඩා චාර්වක දත් තිබීම දක්‌වා ඇත. එය වඩාත් සමාන වන්නේ Homo sapiens හෙවත් නූතන මානවයාට ය.

Homo luzonensis මානවයාගේ අස්‌ථි ප්‍රමාණයෙන් කුඩා වීම තවත් සුවිශේෂ කරුණකි. දත් ප්‍රමාණයෙන් කුඩා වීම මෙහි දී පැහැදිලි ව හඳුනාගැනීමට හැකි ව ඇත. සාමාන්‍යයෙන් දත්වල ප්‍රමාණයෙන් ක්ෂරපායී සතුන්ගේ සමස්‌ත ශරීර ප්‍රමාණය නිරූපණය වෙයි. ඒ අනුව මේ මානවයා සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා මානවයකු වූ බව පර්යේෂකයන්ගේ මතය වෙයි.

කෙසේ වෙතත් මේ මානවයාගේ උස පිළිබඳ ව නිශ්චිත ව පැවසීමට තරම් මේ දත්ත ප්‍රමාණවත් නැත. ඔවුන්ගේ උස නිශ්චිත ව ගණනය කිරීමට නම් තවත් අස්‌ථි අවශ්‍ය ය. මේ මානවයන් ප්‍රමාණයෙන් කුඩා නම්, මානව පූර්වජයන් අතරින් ශරීර ප්‍රමාණයෙන් කුඩා වන දෙවන විශේෂය ඔවුන් ය. මෙවැනි පළමු විශේෂය වන්නේ ඉන්දුනීසියාවෙන් හමු වූ Homo floresiensis නම් විශේෂයයි.

මෙවැනි එකිනෙකට වෙනස්‌ වූ ලක්ෂණ එක්‌ වූ අවස්‌ථාවක්‌ වෙනත් මානව අස්‌ථි සැකිල්ලක දැකිය නො හැකි වීම පර්යේෂකයන්ගේ අවදානයට ලක්‌ වූවකි. ඒ අනුව මොවුන් නව විශේෂයක්‌ ලෙස නම් කිරීමට මෙය මූලික සාධකයක්‌ ලෙස ගෙන ඇත.


පරිණාමීය ඉතිහාසය



Homo luzonensis මානවයාගේ පූර්වජයන් හඳුනාගැනීම තවමත් පහසු නො වන්නේ ප්‍රමාණවත් සාධක නැති බැවිනි. ඉහත ෆොසිල හමු වූ ලෙනට ආසන්න ප්‍රදේශවල සිදුකරන ලද කැණීම්වලින් අදින් වසර 700,000ක්‌ පමණ කාලයකට පෙර දඩයම් කරන ලද රයිනෝසිරස්‌ සතුන්ගේ අස්‌ථි හා ගල් ආයුධ හමු ව ඇත. කෙසේ වෙතත් ඒ සතුන් දඩයම් කරන ලද්දේ මේ Homo luzonensis මානවයන් ම ද, නැත හොත් ඔවුන්ගේ පූර්වජයෙක්‌ ද යන්න නිශ්චිත ව කීමට නො හැකි ව ඇත්තේ සත්ත්ව ඇටකටු සමඟ මානව ශේෂ හමු වී නැති නිසා ය. මේ දක්‌වා පිලිපීනයෙන් ලැබී ඇති එක ම මානව ෆොසිල වන්නේ අදින් වසර 30,000කට පමණ කාලයකට පෙර විසූ බවට දින නියම කර ඇති නූතන මානව (Homo sapiens) ෆොසිලයකි. එම ෆොසිල සමහරක්‌ සාපේක්ෂ ව කුඩා ශරීර ඇති පුද්ගලයන්ගේ වුව ද ඒවායේ ප්‍රාථමික ශරීර ලක්ෂණ දැකිය නො හැක. එමෙන් ම ආසියාවේ විසූ සෙසු මානව විශේෂ හා මේ Homo luzonensis මානවයා අතර සම්බන්ධයක්‌ වී ද යන්න විමසීමට ද දැනට ඇති ෆොසිල සාධක ප්‍රමාණවත් නො වෙයි. එමෙන් ම මේ මානවයා ගෙන් පැරැණි DNA ලබාගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක වී ඇත.

එහෙත් මේ මානවයාගේ සම්භවය සෙවීමේ දී වැදගත් වන තවත් මානවයෙක්‌ පිළිබඳ සාධක තිබෙයි. ඒ ඉන්දුනීසියාවේ ตලෝරේස්‌ දූපතෙන් 2004 වර්ෂයේ දී අනාවරණය කරගත් හොබිට්‌ හෙවත් Homo floresiensis මානවයා ය. පිලිපීනයෙන් හමු වූ මානවයා මෙන් ම හොබිට්‌ මානවයා ද කුඩා ශරීරයක්‌, කුඩා මොළයක්‌ සහිත හා තවත් ප්‍රාථමික ලක්ෂණ දරන, එහෙත් වඩාත් මෑත යුගයක්‌ දක්‌වා ජීවත් වූ මානවයෙකි. හොබිට්‌ මානවයාගේ සම්භවය පිළිබඳ ව මත දෙකක්‌ පවතී. පළමු මතය අනුව ඔවුන් විශාල ශරීරයක්‌ හා විශාල මොළයක්‌ සහිත වූ Homo erectus නම් ආදි මානවයා ගෙන් පැවත එන අතර පසුව විසූ පරිසරයේ සීමිත සම්පත්වලට හැඩගැසී කුඩා වූ මානව විශේෂයකි. දෙවැනි මතයෙන් පැවසෙන්නේ වඩා ප්‍රාථමික මානව පූර්වජයකු ගෙන් පැවත එන ඔවුන් කිසියම් ක්‍රමයකින් අප්‍රිකාවේ සිට ආසියාවට සංක්‍රමණය වී ඇති බව ය. මෙවැනි පරිණාමීය මාවතක්‌ පිලිපීනයේ විසූ මානවයා සම්බන්ධ පැහැදිලි කිරීම් සඳහා ද යොදාගත හැකි බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එහෙත් ඒ සඳහා තවත් සාධක අවශ්‍ය ය.

අනෙක්‌ අතට Homo luzonensis මානවයා සම්භවය මෙන් ම දිගු කාලයක්‌ තිස්‌සේ පැවැත්ම කෙබඳු දැයි යන්න සැලකිය යුතු කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඔවුන් නූතන මානවයා (Homo sapiens), නියෑන්ඩර්තාල්, ඩෙනිසෝවන් හා Homo floresiensis වැනි වෙනත් ආදි මානව විශේෂ සමඟ සමකාලීන ව ජීවත් වී ඇත. ඒ අනුව ආසියානු කලාපය ද මානව පරිණාමික ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක්‌ සිදුකර ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් පිලිපීනය යනු සැලකිය යුතු කාලයක්‌ තිස්‌සේ මුහුදින් වට වී ආසියානු මහාද්වීපයෙන් වෙන් වී තිබූ විශාල ප්‍රමාණයේ දූපත්වලින් යුක්‌ත වූ භූමියකි. එවැනි භූමියක දී විශේෂීකරණය වීමට හැකියාව තිබෙයි. එබැවින් පිලිපීනයෙන් ආදි මානව විශේෂ හමුවීම සඳහා අවස්‌ථාව පවතී. මෙමඟින් පෙනෙන කරුණක්‌ වන්නේ ප්‍රාග් ඉතිහාසයේ අප තවමත් නො දන්නා දේ ඇති බවයි.

මූලාශ්‍රය : Nature, DOI: 10.1038/s41586-019-1067-9

Friday, April 26, 2019

ඉන්දියානුවන්ගේ ප්‍රවේණික සම්බන්ධතා

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 17.04.2019, (Vidusara)

http://www.vidusara.com/2019/04/17/feature2.html




වර්තමාන ඉන්දියාව වූ කලී අතිශය මානව ජනවර්ග හා භාෂා විශාල සංඛ්‍යාවකින් යුක්‌ත රටක්‌ ලෙස හැඳින්විය හැකි ය. එය සංස්‌කෘතික වශයෙන් ද විචිත්‍ර වූ මිශ්‍රණයකි. කෙසේ වෙතත් අතීතයේ දී මිනිසුන් ඉන්දියාවට පැමිණීම හෙවත් ඉන්දියානු ජනතාවගේ සම්භවය පිළිබඳ ව ඇත්තේ එතරම් පැහැදිලි චිත්‍රයක්‌ නො වේ. විශේෂයෙන් මේ පිළිබඳ ඇති සාධක සම්පූර්ණ නැත.

අප්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානවයා ඉන්දියාවට ළඟා වීම පිළිබඳව ද වෙනස්‌ මත ඇති බව පෙනෙයි. මේ පිළිබඳ ව වැඩි දෙනා පිළිගත් මතය වන්නේ අදින් වසර 65,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටතට පැමිණි මිනිසුන් ඉන්දියාවට ළඟා වූ බව ය. ප්‍රවේණික පර්යේෂණ අනුව ලෝකයේ වෙසෙන මානවයන් සියලු දෙනා ම පාහේ මේ සංක්‍රමණයෙන් පසු ලෝකය පුරා ව්‍යාප්ත වූවන් ය. එහෙත් වෙනත් සාධක අනුව අදින් වසර 100,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පැමිණි ජන කණ්‌ඩායම් ඉන්දියාවට පැමිණ තිබූ බව සාධක මෑත කාලයේ දී දක්‌වා ඇත. අප්‍රිකාවෙන් පිටතට මිනිසුන් කිහිප වරක්‌ සංක්‍රමණය වී ඇති බැවින් එය එවැනි මානව සංක්‍රමණයක්‌ ලෙස සැලකීම වඩාත් තාර්කික ය. එහෙත් එවැනි පැරැණි සංක්‍රමණිකයන් ගෙන් පැවතෙන්නන් පසු කලක ඇති වූ ප්‍රධාන සංක්‍රමණයෙන් පැමිණි මානවයන් ගෙන් යටපත් වී ඇත.

ආර්යයන් ලෙස හඳුන්වනු ලබන ජනතාවක්‌ පසු කලක ඉන්දියාවට සංක්‍රමණය වූ බව පිළිගත් මතයයි. මේ ආර්යයන් විසින් භාවිත කරන ලද භාෂාත්මක හා වාග් විද්‍යාත්මක වශයෙන් සුවිශේෂී වන ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ භාෂා ඉන්දියාවේ දැකිය හැකි වීමෙන් මේ බව පැහැදිලි ය. මෙහි දී ආර්යයන් ලෙස හඳුන්වන්නේ මේ භාෂා පවුලේ භාෂා කතා කරන ජන කණ්‌ඩායමක්‌ මිස ඇතැම් විට අදහස්‌ කරන පරිදි සෙසු මානව කොටස්‌වලට වඩා සුවිශේෂී වූ ජන කණ්‌ඩායමක්‌ නො වන බව අප අමතක නො කළ යුතු ය. මේ ආර්ය සංක්‍රමණය සිදු ව ඇත්තේ හරප්පා ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව බව පිළිගත් මතය වෙයි.

කෙසේ වෙතත් ආර්යයන් පිළිබඳ ව ඇති ඇතැම් මත සඳහා කිසිදු තාර්කික පදනමක්‌ නැති තරම් ය. නිදසුනක්‌ ලෙස වර්තමාන ඉන්දියාවේ වෙසෙන ඇතැම් පිරිස්‌ ආර්යයන් ඉන්දියාවේ ජනිත වූ බවට දරන මතය දැක්‌විය හැකි ය. එමෙන් ම හරප්පා ශිෂ්ටාචාරය ද ආර්යයන් විසින් ඇති කරන ලද්දක්‌ බවට අන්තවාදී මතයක්‌ ද ඉදිරිපත් වන ආකාරය දැකිය හැකි ය. හරප්පා ශිෂ්ටාචාරය යන නම වෙනුවට සරස්‌වතී ශිෂ්ටාචාරය යන නම යොදාගත යුතු යෑයි ද යෝජනා වී ඇත. සරස්‌වතී යනු හින්දු වේද ග්‍රන්ථවල සඳහන් වන ගංගාවකි. ප්‍රමාණවත් සාධක නැති මේ නූතන අදහස්‌ නූතන දේශපාලන මතවාද සමඟ ද බැඳී පවත්නා බවක්‌ ද පෙනෙයි.

එමෙන් ම මීට වඩා වෙනස්‌ ජන කොටස්‌වල සංක්‍රමණ පිළිබඳව ද සාධක ඉන්දියාවෙන් හමු වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් චීනය හා අග්නිදිග ආසියානු කලාපයේ සිට ඉන්දියාවට සිදු වූ සංක්‍රමණ පිළිබඳව ද සාධක ද ඉන්දියාවෙන් හමු වෙයි. ඒ එම කලාපයේ භාෂා පවුලට අයත් භාෂා ඉන්දියාව තුළ හමු වන නිසා ය.

ප්‍රවේණික කරුණු පිළිබඳ පර්යේෂණයක්‌


මේ කරුණු පිළිබඳ ව අවධානය යොමු කර ඇති, පසුගිය වර්ෂයේ දී නිකුත් වූ අධ්‍යයනයකින් මේ ජන සංක්‍රමණ පිළිබඳ වැදගත් කරුණු ගණනාවක්‌ අනාවරණය කර ඇත. මේ අධ්‍යයන සඳහා ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයන්, ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් හා මානව විද්‍යාඥයන් වැනි බහුවිෂයික පර්යේෂකයන් 92ක පමණ පිරිසක්‌ සම්බන්ධ වී ඇත.

මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ අතීතයේ විසූ මිනිසුන් 362 දෙනෙකුගේ පැරැණි ප්‍රවේණික ද්‍රව්‍ය ය. නැෙ`ගනහිර ඉරානය, ටුරාන් ලෙසින් හඳුන්වනු ලබන මධ්‍යම ආසියාවේ දකුණුදිග ප්‍රදේශය (උස්‌බෙකිස්‌තානය, ටර්ක්‌මේනිස්‌තානය හා තජිකිස්‌තානය ඇතුළත් ප්‍රදේශය), ලෝකඩ යුගයට අයත් කසකස්‌ථානය හා දකුණු ආසියාවෙහි විසූ මිනිසුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය මේ අධ්‍යයනය සඳහා භාවිත කර ඇත.

එක ම ප්‍රදේශයක විවිධ කාලවල දී විසූ මිනිසුන්ගේ හා විවිධ ප්‍රදේශවල එක ම කාලයක විසූ මිනිසුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් මිනිසුන් කුමන ප්‍රදේශවලින් කුමන ප්‍රදේශවලට සංක්‍රමණය වූයේ ද යන්න පිළිබඳ ව කරුණු අනාවරණය කරගැනීමට හැකි ය. පැරැණි DNA පිළිබඳ පර්යේෂණ මඟින් ලෝකය පුරා විවිධ ප්‍රදේශවල ජනතාවගේ අතීතය පිළිබඳ ව සාධක සපයා ඇත.

මේ අධ්‍යයනයේ දී යොදාගත් ප්‍රවේණික දත්ත මූලික වශයෙන් ගත් විට සංකීර්ණ චිත්‍රයක්‌ පෙන්වන්නකි. එමෙන් ම එය වර්තමාන දකුණු ආසියානුවන්ගේ පරිණාමික සම්බන්ධතා පෙන්වන්නක්‌ ලෙස සැලකිය හැකි ය.  (මූලාශ්‍රය - bioRxiv, DOI: 10.1101/292581)

ප්‍රවේණික විවිධත්වය පිළිබඳ නිගමන


මේ අනුව ඉන්දියාවට පැමිණි සංක්‍රමණික ජන ප්‍රවාහ කිහිපයක්‌ පිළිබඳ ව සාධක ලැබී ඇත. මුලින් ම අදින් වසර 65,000ක්‌ තරම් අතීතයේ දී අප්‍රිකාවෙන් පිටතට පැමිණි (Out of Africa) මානව කණ්‌ඩායම් ඉන්දියානු ප්‍රදේශ ජනාවාස කර ඇත. ඉන්දියානුවන්ගේ ප්‍රවේණික ද්‍රව්‍යවලින් 50%-65% අතර ප්‍රමාණයක්‌ ලැබෙන්නේ මේ ජන කණ්‌ඩායමෙනි. (මේ මානව සංක්‍රමණය ලෝකයේ ම මානව ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන ජන සංක්‍රමණය බව මේ වන විට ඇති සාධක අනුව පිළිගැනෙන්නකි. ඒ අතර ප්‍රවේණික සාධක මූලික වේ.)

මේ ජන කොටස්‌වලට පසුව ඉන්දියාවට පැමිණි දෙවැනි මානව සංක්‍රමණය වන්නේ වර්තමාන ඉරානයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇති සාග්‍රෝස්‌ (Zagros) නම් ප්‍රදේශයේ සිට පැමිණි ජන කණ්‌ඩායමකි. මේ ප්‍රදේශය එළුවන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳ ලෝකයේ පැරැණි ම සාධක සහිත ප්‍රදේශයයි. කෘෂිකර්මයේ (ඇතැම් විට එඬේරුන් ලෙස) යෙදුණු මේ පිරිස්‌ අදින් වසර 9000-5000 (පොදු වර්ෂ පූර්ව 7000-3000) අතර පමණ කාලයේ දී මෙසේ ඉන්දියාවට පැමිණ ඇත. ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයෙන් ඉන්දියාවට පිවිසි ඔවුහු ඉන්දියාවේ ඒ වන විට විසූ ඉහත සඳහන් කළ මුල් ජන කොටස්‌ සමඟ මිශ්‍ර වී තිබෙයි. ඒ වන විටත් ඉන්දියාවේ ඇති වෙමින් තිබූ කෘෂිකර්මයේ වර්ධනය වේගවත් කිරීමට මේ කණ්‌ඩායම ද දායක වී ඇත. හරප්පා හෙවත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වර්ධනය වීම මේ කෘෂිකාර්මික වර්ධනයේ ප්‍රතිඵලයක්‌ ලෙස හඳුනාගත හැකි ය. එය මේ සාග්‍රෝස්‌ හා පැරැණි ඉන්දියානුවන් අතර මිශ්‍රණයක්‌ ලෙසට ඇතැම් විට සැලකෙන හරප්පා ශිෂ්ටාචාරයේ වඩාත් දියුණු අවධිය ඇති වන්නේ අදින් වර්ෂ 2600 හා 1900 අතර කාලයේ දී ය.

ඉන්පසුව ඉන්දියානු උප මහාද්වීපය වෙත සිදු වන ප්‍රධාන මානව සංක්‍රමණය වන්නේ ඉන්දු-යුරෝපීය භාෂා කතා කරන ආර්යයන් ලෙස හඳුන්වනු ලබන ජන කොටසේ පැමිණීම ය. ඔවුන් පැමිණියේ යුරේසියානු ස්‌ටෙප් බිම් හෙවත් මධ්‍යම ආසියානු ප්‍රදේශවලිනි. බොහෝ විට ඒ නූතන කසකස්‌තානය පිහිටි ප්‍රදේශයෙන් විය හැකි ය. එය සිදු ව ඇත්තේ අදින් වර්ෂ 4000 (පොදු වර්ෂ පූර්ව 2000) පමණ කාලයේ බව ද දක්‌වා ඇත. මේ පිරිස්‌ සමඟ ඉන්දියාවට ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයත් භාෂා ද පැමිණ ඇත. ඇතැම් පර්යේෂකයන්ට අනුව ඒ අතර සංස්‌කෘත භාෂාවට මුල් වූ භාෂාවක්‌ හෝ සංස්‌කෘතවල මුල් භාෂාවක්‌ හෝ තිබීමට ඉඩ ඇත. අශ්වයන් ඇති කිරීම පිළිබඳ දැනුම මෙන් ම විවිධ සංස්‌කෘතික චාරිත්‍රාදිය ද මේ පිරිස්‌ විසින් ගෙන එනු ලබන්නට ඇතැයි අනුමාන කරනු ලැබෙයි. යුරේසියානු ස්‌ටෙප් බිම්වල විසූ එඬේරුන් දකුණු දිග ප්‍රදේශවල ව්‍යාප්ත වීම හා මේ දින වකවානු සමමිතික වෙයි. එමෙන් ම ස්‌ටෙප් බිම්වල සිටි මේ පිරිස්‌ යුරෝපයට පිවිසියේ ඊට සහස්‍රකයකට පමණ පෙර දී ය.

මේ හැරුණු විට මේ ප්‍රදේශයට තවත් ජන සංක්‍රමණ සිදු වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් අග්නිදිග ආසියාවෙන් සිදු වූ ජන සංක්‍රමණ ද වැදගත් ය. එයට දායක වන්නේ චීනයේ සිට ව්‍යාප්ත වූ කෘෂිකාර්මික දිවිපෙවෙතක්‌ ගත කරන්නන් ය. ඔවුන් පළමුව අග්නිදිග ආසියාවට ද, පසුව එතැනින් ඉන්දියාවට ද පැතිර ඇත. ඔවුන් ගෙන ආ භාෂා පවුල ඔස්‌ට්‍රොආසියාතික (Austroasiatic) භාෂා පවුලට අයත් භාෂා ලෙස දැක්‌විය හැකි ය. මේ භාෂා ඉන්දියාවේ නැෙ`ගනහිර හා මධ්‍යම ප්‍රදේශවල දැකිය හැකි වේ.

විචිත්‍ර වූ සංක්‍රමණ චිත්‍රය


මේ අධ්‍යයනය තුළින් පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ අතීතයේ සිදු වූ මානව සංක්‍රමණ තරමක්‌ සංකීර්ණ ක්‍රියාවලි බවයි. මේ පර්යේෂණය මඟින් මේ වන විට ඇති ඉන්දීය ජන සංක්‍රමණ පිළිබඳ ව ඇතැම් මතවලට අභියෝගයක්‌ ඇති වන බව ඒ පිළිබඳ වාර්තා අනුව පෙනෙයි. සාධාරණ සාධක නොමැති එවැනි මත අභියෝගයකට ලක්‌ වීම නො වැළැක්‌විය හැකි දෙයකි.

කෙසේ වෙතත් මෙමඟින් පෙනී ගොස්‌ ඇති වැදගත් දෙයක්‌ වන්නේ ඉන්දියානු ප්‍රවේණික දත්තවල ඇති විවිධත්වයයි. විවිධ ජන කොටස්‌ එක්‌ වීමෙන් ඉන්දියානු ශිෂ්ටාචාරය නිර්මාණය වී ඇත. එම විවිධත්වය ඉන්දියාව තුළ අද ද දැකිය හැකි වූවකි.

Thursday, April 25, 2019

තිරසර සංවර්ධනයට තර්ජනයක්‌ විය හැකි භෝග විවිධත්වයේ අඩු වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2019, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2019/04/03/feature4.html




භෝග විවිධත්වය හෙවත් මිනිසුන් විසින් වගා කරනු ලබන ශාකවල විවිධත්වය මානව ආහාර සුරක්ෂිතතාව සඳහා ඉතා වැදගත් ය. මේ පිළිබඳ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් වාර්තා වී ඇත්තේ ජගත් මට්‌ටමින් ගත් විට මිනිසුන් විසින් වගා කරනු ලබන භෝග විවිධත්වයේ කිසියම් අඩු වීමක්‌ දැකිය හැකි බව හෙවත් අප විසින් වගා කරනු ලබන්නේ එක සමාන භෝග වර්ග බවත් ය. එය අනාගතයේ දී තිරසර කෘෂිකර්මයට අභියෝගයක්‌ විය හැකි බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

මේ අධ්‍යයනය සඳහා භාවිත කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් (FAO) ලබාගත් ලෝකයේ මහා පරිමාණ ගොවිපොළවල (Industrial farms) වගා කරනු ලබන භෝග පිළිබඳ දත්ත ය. එනම් කාලය සමඟ මේ භෝග වගා වෙනස්‌ වීම පිළිබඳ දත්ත ය. අධ්‍යයන කාලය වන්නේ 1961 හා 2014 දක්‌වා වන කාලයයි. එහි දී එම සංවිධානය විසින් පිළිගනු ලැබෙන උපමහාද්වීපික කලාප (subcontinental regions) 22ක්‌ ආවරණය වී ඇති අතර, භෝග ශාක වර්ග 160කට ආසන්න ප්‍රමාණයක්‌ පිළිබඳ ව අවධානය යොමු කර ඇත. ඒ දත්ත මත පර්යේෂකයන්ගේ අවධානය යොමු වූ කරුණු අතර විවිධ කෘෂිකාර්මික කලාපවල වගා කරනු ලැබූ භෝගවල විවිධත්වයෙහි යම් වෙනසක්‌ කාලය සමඟ සිදු වී තිබේ ද යන්න වැදගත් කරුණකි. එසේ ම භෝග විවිධත්වයේ වෙනස්‌කම් හුදෙක්‌ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ පුරෝකථනය කළ හැකි ද යන්න තවත් වැදගත් කරුණකි.

භෝග විවිධත්වයෙහි ඇති වූ වෙනස්‌කම්


ලෝක කෘෂිකාර්මික ඉතිහාසය සම්බන්ධ ව ගත් විට කෘෂිකර්මය සඳහා යොදාගන්නා භෝග වර්ගවල විශාල ව්‍යාප්තියක්‌ ඇති වූ සිදුවීමක්‌ ලෙස කොලම්බියානු හුවමාරුව (Columbian Exchange) ලෙසින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය දක්‌වනු ලැබෙයි. එය සිදු වූයේ 15 හා 16 වැනි ශතවර්ෂවල දී ය. කෙටියෙන් පවසන්නේ නම් ඒ, ඇමෙරිකානු මහාද්වීපවලට යුරෝපීයයන් පැමිණි පසු එම zනව ලෝකයZ හා zපැරැණි ලෝකයZ අතර සිදු වූ භෝග හුවමාරුවයි. නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයෙහි විසූ ජනතාව විසින් වගා කරන ලද භෝග වර්ග

පැරැණි ලෝකය හෙවත් වෙනත් මහාද්වීපවලටත්, ලෝකයේ සෙසු මහාද්වීපවල වගා කරන ලද භෝග වර්ග ඇමෙරිකානු මහාද්වීපවලටත් හුවමාරු කරන ලදි. මේ සිදුවීම කෘෂිකර්ම ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සිදුවීමක්‌ ලෙස සැලකෙයි. අප අද දන්නා භෝග විශාල ප්‍රමාණයක්‌ එම සිදුවීමත් සමඟ ලෝකය පුරා ව්‍යාප්ත වූ භෝග වර්ග අතර වෙයි. මෙසේ භෝග වර්ග ඒවා සම්භවය වූ ප්‍රදේශවලින් පිටත ප්‍රදේශවලට මිනිසුන් විසින් ව්‍යාප්ත කරනු ලැබීම මානව යුගය (Anthropocene) අර්ථකථනය කිරීම සඳහා යොදාගන්නා එක්‌ සාධකයක්‌ ලෙස සැලකෙයි. ඒ, එම සිදුවීමෙන් සිදු වූ වෙනස ලෝකය තුළ පැහැදිලි ව හඳුනාගත හැකි වන නිසා ය.

අප මාතෘකා කරගත් අධ්‍යයනයෙන් දක්‌වා ඇති ආකාරයට අධ්‍යයන කාලයේ මුල හෙවත් 1961 සිට 1970 ගණන්වල අගභාගය දක්‌වා වූ කාලයේ ලෝකයේ භෝග විවිධත්වයේ විශාල වෙනසක්‌ සිදු වී නැති තරම් ය. එහෙත් 1980 දශකයේ මුල පටන් ගත වූ වසර දහයක පමණ කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වයෙහි විශාල ප්‍රමාණයේ ඉහළ යැමක්‌ වාර්තා වී ඇත. එයට හේතුව ලෙස මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විවිධ භෝග වර්ග නව වගා බිම්වල මහා පරිමාණයෙන් වගා කරනු ලැබීම ය. එහෙත් මේ විවිධත්වය 1990 ගණන්වල මුල පටන් ස්‌ථාවර තත්ත්වයකට පත් වූ අතර, එතැන් සිට භෝග විවිධත්වයේ ඉහළ යැමක්‌ දැකිය නොහැකි ය.

ජගත් මට්‌ටමේ භෝග විවිධත්වය අඩු වීම


මේ අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති ආකාරයට ජගත් මට්‌ටමෙන් දැකිය හැකි ප්‍රවණතාව වන්නේ එක ම ආකාරයක භෝග වඩාත් විශාල පරිමාණයෙන් වගා කරනු ලබන බවයි. එයින් පෙනෙන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි මහා පරිමාණ ගොවිපොළවල වගා කරනු ලබන්නේ වාණිජමය වශයෙන් වටිනාකමක්‌ ඇති භෝග වර්ග කිහිපයක්‌ බව ය. මෙසේ වගා කරනු ලබන භෝග ඒක භෝග වගා වන අතර ඒවා ප්‍රවේණික වශයෙන් එක ම ප්‍රවේණි දර්ශයට (genotype) අයත් වෙයි.

මේ සඳහා නිදසුන් ලෙස මේ පර්යේෂකයන් විසින් දක්‌වනු ලබන භෝග අතර සෝයා බෝංචි, තිරිඟු, සහල් හා ඉරිඟු දැක්‌විය හැකි ය. මේ භෝග වර්ග හතර වගා කරනු ලබන බිම් ප්‍රමාණය ලෝකයේ මුළු වගා බිම් ප්‍රමාණයෙන් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ තරම් වෙයි. ලෝකය පුරා වගා කරනු ලබන සෙසු භෝග වර්ග 152ක්‌ ම වගා කරනු ලබන්නේ ඉතිරි වගාබිම් ප්‍රමාණයෙහි ය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ මේ භෝගවල ප්‍රවේණික විවිධත්වය අඩු වීම අනිවාර්යයෙන් ම අපේක්ෂා කළ යුත්තකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ වගා කරනු ලබන ඉරිඟු අතරින් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සමන්විත වන්නේ ප්‍රවේණි දර්ශ හයක්‌ පමණ ප්‍රමාණයකිනි.

මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු අනුව කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ මේ භෝග වර්ගවල විවිධත්වයේ වෙනස්‌ වීම පැහැදිලි කළ නොහැකි බව පැහැදිලි ය. ඒ වෙනස්‌කම් සඳහා බලපා ඇති කරුණු අතර ඇතැම් භෝගවලට ලබා දී ඇති සහන, අන්තර්ජාතික වෙළෙඳපොළ, ජනගහන වර්ධනය, ඒක පුද්ගල ආහාර ඉල්ලුම වැනි කරුණු ද භෝග ව්‍යාප්තියට බලපා ඇත. අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම්, භෝග විවිධත්වයට බලපා ඇත්තේ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් ස්‌වාධීන ව බව ද මේ අධ්‍යයනය මඟින් පෙන්වා දී ඇති කරුණකි.

කලාපීය වෙනස්‌කම්


කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් කරුණක්‌ වන්නේ මෙහි කලාපීය වශයෙන් වෙනස්‌කම් දැකිය හැකි බවයි. ඇතැම් කලාපවල භෝග විවිධත්වය ඉහළ ගොස්‌ ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු ඇමෙරිකාවේ 1960 දශකයේ දී මහා පරිමාණයෙන් වගා කරන ලද භෝග වර්ග ගණන 80ක්‌ පමණ විය. එහෙත් මේ වන විට උතුරු ඇමෙරිකාවේ භෝග විශේෂ 93ක්‌ පමණ මහා පරිමාණයෙන් වගා කරනු ලැබෙයි.

එහෙත් සෙසු බොහෝ කලාපවල මහා පරිමාණ ගොවිපොළවල දැකිය හැක්‌කේ භෝග විවිධත්වයෙහි අඩු වීමකි. එය සමස්‌තයක්‌ ලෙස ලෝකයේ භෝග විවිධත්වය අඩු වීම සඳහා බලපායි.

විවිධත්වය අඩු වීමේ බලපෑම


මීට පෙර සිදු කර ඇති ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති එක්‌ කරුණක්‌ වන්නේ මෑත කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වය ඉහළ ගිය බවකි. එය රේ‚ය ප්‍රවණතාවක්‌ පෙන්වන බවට ද අදහසක්‌ විය. එහෙත් මේ නව අධ්‍යයනය අනුව සිදු වී ඇති වෙනස්‌කම් වඩාත් පැහැදිලි ය. විශේෂයෙන් වැඩි භූමි ප්‍රමාණයක මහා පරිමාණයනේ වගා කරනු ලබන භෝගවල සිදු ව ඇති වෙනස්‌කම් ද මේ අනුව පැහැදිලි ය.

මේ ආකාරයෙන් භෝගවල විවිධත්වය අඩු වීම නිසා සිදු විය හැකි බලපෑම මෙහි දී සැලකිය යුතු කරුණකි. එය කලාපීය වශයෙන් ආහාර සුරක්ෂිතතාවට බලපෑමක්‌ කළ හැකි ය. කලාපීය වශයෙන් ඇති වන භෝග විවිධත්වය පිරිහීමක්‌ එම කලාපයේ වෙසෙන ජනතාවට තමන්ට සංස්‌කෘතික වශයෙන් අනන්‍ය වූ ආහාර අනුභව කිරීමට හෝ ලබාගැනීමට හෝ ඇති හැකියාව අඩු කරවයි. ඒ වෙනුවට මහා පරිමාණයෙන් වගා කරනු ලබන භෝග මත යෑපීමට සිදු වෙයි. එමෙන් ම මෙසේ එක්‌ භෝගයක්‌ හෝ ප්‍රභේදයක්‌ ලෝකයේ විශාල ප්‍රදේශයක වගා කරනු ලැබීම නිසා ඒවා පළිබෝධ හා රෝගවල තර්ජනයට වඩාත් ලක්‌ වීමට ඉඩ සැලසෙයි. මේ වන විට කෙසෙල් වගාවට බරපතළ ලෙසින් හානි කරන දිලීරයක්‌ මේ සඳහා නිදසුන ලෙස දක්‌වා ඇත. ලෝක කෘෂිකර්මය හමුවේ එවැනි අභියෝගයක්‌ දැකිය හැකි ය.

මේ ආකාරයෙන් භෝග විවිධත්වය අඩු වීම වළක්‌වාගැනීම සඳහා ලෝකයේ රටවල ආණ්‌ඩුවලට යමක්‌ කළ හැකි බව ද මේ පර්යේෂකයන්ගේ අදහසක්‌ වෙයි. විශේෂයෙන් ඒ ඒ රටවල් විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරනු ලබන්නේ එක්‌ භෝගයක්‌ හෝ සීමිත භෝග ගණනක්‌ හෝ වැඩි භෝග ගණනක්‌ වගා කිරීමට ද යන්න ඒ අනුව වැදගත් ය.

භෝගවල ප්‍රවේණික විවිධත්වය සංරéණය කිරීම තිරසර සංවර්ධන අභිමතාර්ථවල (Sustainable Development Goals) එන එක්‌ ඉලක්‌කයක්‌ වන අතර එය තහවුරු කිරීමේ දී මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවක්‌ පෙනෙයි.

මූලාශ්‍රය :- PLOS ONE, DOI: 10.1371/journal.pone.0209788