Friday, December 1, 2017

ගල් අගුරු භාවිතය අවසන් කිරීමේ උත්සාහයක්‌ - ගල් අගුරුවල කාලය අවසන්?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 29.11.2017, පි. 06, (Vidusara)

http://www.vidusara.com/2017/11/29/feature2.html




පසුගිය දා ජර්මනියේ බොන් නගරයේ දී අවසන් වූ ජගත් දේශගුණ සමුළුවට සමගාමී ව සිදු වූ වැදගත් සිදුවීමක්‌ ලෙස ගල් අගුරු භාවිතයට එරෙහි ව ලෝකයේ රටවල් ගණනාවක්‌ එක්‌ ව කිසියම් කණ්‌ඩායමක්‌ ලෙස සංවිධානය වීම දැක්‌විය හැකි ය. බ්‍රිතාන්‍යය හා කැනඩාව මුල් වී ආරම්භ කරන ලද මෙහි අරමුණ වූයේ ගල් අගුරු භාවිතය ක්‍රමයෙන් ඉවත් කිරීමයි. 'ගල් අගුරු ඉක්‌මවූ බලශක්‌ති සන්ධානය' (Powering Past Coal Alliance) ලෙස නම් කර ඇති මේ එකමුතුව හෝ සන්ධානයට රටවල් 19ක පමණ සහයෝගය ලැබුණු අතර, ඒ අතර මෙක්‌සිකෝව, නවසීලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඔස්‌ටි්‍රයාව, නෙදර්ලන්තය වැනි රටවල් ද සිටියි. එසේ ම ඊට ගල් අගුරු භාවිත නො කරන ෆීජි වැනි රටවල් ද ඇතුළත් වන අතර ගල් අගුරු විශාල ලෙස භාවිත කරන ආසියානු රටවල් කිසිවක්‌ මීට ඇතුළත් නො වීම විශේෂ සිදුවීමකි. ලෝකයේ විශාලතම ගල් අගුරු නිෂ්පාදකයකු වන ඔස්‌ටේ්‍රලියාව ඊට එක්‌ වීම ප්‍රතික්‌ෂේප කර ඇත. කෙසේ වෙතත් මේ සන්ධානයේ අපේක්‌ෂාව වන්නේ ලබන වර්ෂය අවසන් භාගය වන විට මේ කණ්‌ඩායමට රටවල් 50ක පමණ සහයෝගය ලැබෙනු ඇතැයි යන්න ය.

මේ කණ්‌ඩායමේ අරමුණ වන්නේ ගල් අගුරු භාවිතය හැකි තාක්‌ ඉක්‌මනින් අවසන් කිරීම සඳහා කැප වීමෙන් කටයුතු කිරීමයි. එහි දී විදුලිය නිපවීම සඳහා ගල් අගුරු භාවිතය අවසන් කිරීමේ ඉලක්‌ක ඇති කරගැනීම හා ගල් අගුරු මගින් විදුලිය නිපදවීම වැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය නො කිරීම වැනි දේ මේ කණ්‌ඩායමේ අපේක්‌ෂාව වේ. ඒ සඳහා වූ ප්‍රකාශයක්‌ ද නිකුත් කර තිබේ.

මෙය දේශපාලන වශයෙන් කෙතරම් දුරට යථාර්ථයක්‌ විය හැකි ද යන්න තවමත් පැහැදිලි නැත. මේ ප්‍රයත්නය සාර්ථක වේ ද, අසාර්ථක වේ ද යන්න කීමට තවමත් කල් වැඩි ය. මේ නව සන්ධානය කිසිදු නෛතික බැඳීමක්‌ ඇති කණ්‌ඩායමක්‌ නො ව ස්‌වෙච්ඡාවෙන් කිසියම් වූ එකගතාවට පැමිණි රටවල්, ප්‍රාන්ත හා වෙනත් කණ්‌ඩායම් ඇතුළත් කණ්‌ඩායමක්‌ පමණි.

එහෙත් ගල් අගුරු භාවිතය අවසන් වන බව, අවසන් විය හැකි බව හා එය කඩිනමින් සිදු විය හැකි බව මේ නව පියවර මගින් ලෝකයට කිසියම් සංඥාවක්‌ ලබා දී තිබේ. විචාරකයන් මෙය දේශපාලන වශයෙන් ගල් අගුරු පිළිබඳ ව කැමැත්ත දක්‌වන පාර්ශ්වයේ ජරාජයක්‌ ලෙස (political watershed) ලෙස හඳුන්වා දී ඇත්තේ මේ කරුණ නිසාවෙනි.

මෙවර සමුළුවේ දී සිදු වූ වැදගත් සිදුවීමක්‌ සේ ඇතැම් පාර්ශ්ව මේ සන්ධානය හඳුන්වා දෙන ආකාරය දැකිය හැකි ය. එහෙත් මේ පිළිබඳ ව ගල් අගුරු මත බෙහෙවින් රඳා පවත්නා ඇතැම් රටවල් එතරම් අවධානයක්‌ දැක්‌වූ බවක්‌ දැකිය නො හැකි ය. කෙසේ වෙතත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑමට මුහුණ දී ඇති රටවල් මේ නව සන්ධානය නිසා උද්දාමයට පත් ව ඇති බවක්‌ පෙනෙයි. එය වැදගත් ය. එසේ ම පරිසර හා සමාජ ක්‍රියාකාරී කණ්‌ඩායම් ද මේ පිළිබඳ ව සිය සතුට පළ කර තිබේ.

ගල් අගුරු හා දේශගුණ වෙනස්‌ වීම


ගල් අගුරු යනු කාර්මික විප්ලවයේ පටන් අද දක්‌වා වැදගත් ම බලශක්‌ති ප්‍රභවයක්‌ වූ ෆොසිල ඉන්ධනයකි. එය අද වන විට ද ලෝකයේ විදුලි බල සැපයුමෙන් 40%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සපයන ප්‍රධානතම ඉන්ධනයක්‌ වෙයි. මේ වන විට ද ඇතැම් දියුණු රටවල මෙන් ම දියුණු වන රටවල් රැසක ද ප්‍රධානතම ඉන්ධනයක්‌ ලෙස ගල් අගුරු භාවිත වෙයි. සෙසු ෆොසිල ඉන්ධන ඉදිරි දශක 5 - 6කට අඩු කාලයක දී අවසන් වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබුව ද තවත් වසර 100 - 150ක්‌ හෝ ඊටත් මදක්‌ වැඩි කාලයක්‌ සඳහා භාවිතයට ප්‍රමාණවත් ගල් අගුරු සංචිත තිබීම ඒ පිළිබඳ අවධානය යොමු වීමට හේතුවකි.

කෙසේ වෙතත්, කාබන් විමෝචන සම්බන්ධ ව ගත් විට ගල් අගුරු වැදගත් තැනක්‌ ගනියි. ගල් අගුරු භාවිතයෙන් වායුගෝලයට නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය විශාල ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ගල් අගුරු දහනය වීම නිසා සිදු වන විමෝචන ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන අතරින් 40%ක්‌ පමණ විය හැකි බව වාර්තා වෙයි. මේ අනුව දේශගුණ වෙනස්‌ වීම සඳහා ගල් අගුරු දක්‌වන දායකත්වය සැලකිය යුතු එකක්‌ බව පැහැදිලි ය. එය නො සලකා හළ නොහැක්‌කකි.

එක්‌ විශ්ලේෂණයකින් දක්‌වා ඇති ආකාරයට බලශක්‌ති උත්පාදනය සඳහා ගල් අගුරු භාවිත කිරීම අවසන් කිරීම පැරිස්‌ ගිවිසුමේ ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා වැදගත් වෙයි. පසුගිය වර්ෂයේ දී පළ වූ එවැනි එක්‌ විශ්ලේෂණයකට අනුව, මේ සියවස මැද භාගය වන විට ගල් අගුරු භාවිතය අවසන් කිරීම අවශ්‍ය වනු ඇත. එහෙත් එය කලාපයෙන් කලාපයට, රටින් රටට වෙනස්‌ වන්නකි. නිදසුනක්‌ ලෙස ගත හොත් යුරෝපා සංගමයේ ගල් අගුරු භාවිතය 2030 වර්ෂය වන විට අවසන් කළ යුතු අතර, චීනය 2040 වර්ෂයේ දී අවසන් කළ යුතු වේ. ලෝකයේ සෙසු රටවල්, 2050 වර්ෂය වන විට ගල් අගුරු භාවිතය අවසන් කිරීම වැදගත් වන බව Implications of the Paris Agreement for Coal Use in the Power Sector නම් පසුගිය වර්ෂයේ දී නිකුත් වූ මේ වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වන විටත් ගල් අගුරු භාවිතයෙන් ඉවත් වීම සඳහා ඇතැම් රටවල් ප්‍රතිඥා දී තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, එවැනි රටක්‌ වන බ්‍රිතාන්‍යය, 2025 වන විට එරට තුළ ගල් අගුරු භාවිතය අවසන් කිරීමට තීරණය කර ඇත. මේ වන විට ද එරට ගල් අගුරු භාවිතය සැලකිය යුතු තරම් අඩු කිරීමට ක්‍රියා කර තිබේ. එසේ ම ජර්මනිය වැනි ගල් අගුරු මත තදින් යෑපෙන රටවල් තුළ ද ගල් අගුරුවලින් ඈත් වීම සඳහා එල්ල වන පීඩනයක්‌ දැකිය හැකි වේ.

ගල් අගුරුවල ඇති වෙනත් ගැටලු


ගල් අගුරු භාවිතයේ ඇති සෙසු ගැටලු මේ පිළිබඳ ව ඇති බරපතළ ස්‌වභාවය පෙන්වා දෙන්නකි. ගල් අගුරු නිසා විමෝචනය වන පරිසර දූෂකවලින් ඇති වන සෞඛ්‍ය ගැටලු පිළිබඳ ව පැහැදිලි අවබෝධයක්‌ මේ වන විට ලෝකයට ඇත. වාර්ෂික ව ලෝකය පුරා සිදු වන මරණ අතරින් 800,000ක්‌ පමණ ගල් අගුරු නිසා සිදු වන බව මේ වන විට පෙන්වා දී තිබේ. විශේෂයෙන් මේ ඉන්ධනය දහනය වීමත් සමග නිකුත් වන විවිධ වායු දූෂක නිසා ඇති වන විවිධ සෞඛ්‍ය ගැටලු මේ තත්ත්වයට හේතු වී තිබේ. මේ ගැටලු ප්‍රකට කරුණු වන බැවින් විස්‌තර කිරීම අවශ්‍ය නො වේ.

අනෙක්‌ අතට මේ පරිසර දූෂක නිසා තවත් විවිධ පාරිසරික ගැටලු ඇති විය හැකි බව ද ප්‍රකට කරුණකි. විශේෂයෙන් භාවිතයට ගන්නා ගල් අගුරුවල තත්ත්වය බාල වන්නට වන්නට නිකුත් වන පරිසර දූෂක ප්‍රමාණය ඉහළ යා හැකි ය. සල්ෆර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඔක්‌සයිඩ, අංශුමය ද්‍රව්‍ය, රසදිය වැනි විෂ සහිත ද්‍රව්‍ය ගල් අගුරු දහනයේ දී විමෝචනය විය හැකි පරිසර දූෂක අතර වෙයි. මේවා මගින් ඇති විය හැකි පරිසර ගැටලු පිළිබඳ ව බොහෝ දේ සාකච්ඡාවට ලක්‌ ව ඇත.

ගල් අගුරු හා දියුණු වන රටවල්


කෙසේ වෙතත් ගල් අගුරු යනු මේ වන විට ලෝකයේ ඇති ලාබදායක ම ඉන්ධන ප්‍රභව අතරින් එකකි. විශේෂයෙන් පුනර්ජනනය කළ හැකි ඉන්ධන අතරින් ලාබදායක ඉන්ධනයක්‌ වන ජල විදුලිය වැනි ඉන්ධන හැරුණු විට අනෙක්‌ ලාබදායක ඉන්ධන ප්‍රභවය වන්නේ ගල් අගුරු ය. එසේ ම ජල විදුලිය යනු වසර පුරා එක ම ආකාරයෙන් ලබා ගත හැකි බලශක්‌ති ප්‍රභවයක්‌ නො වන නිසා ෆොසිල ඉන්ධනයක්‌ ලෙස ගල් අගුරුවලට සැලකිය යුතු තැනක්‌ හිමි වේ. මේ නිසා දියුණු වන රටවල බලශක්‌ති උත්පාදනයේ විශේෂ වැදගත්කමක්‌ ගල් අගුරුවලට ලැබී ඇත.

අපේ රට වැනි රටක වුව ද ගල් අගුරු වැනි ලාබදායක ඉන්ධනයක ඇති වැදගත්කම විදුලිබල අංශ විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ගල් අගුරු නො තිබෙන්නට අපේ රටේ විදුලිබල නිෂ්පාදන පිරිවැය මේ වන විට අදට වඩා සැලකිය යුතු තරමකින් ඉහළ යා හැකි බව සත්‍යයකි. ඛනිජ තෙල් වැනි වෙනත් තාප ඉන්ධන ප්‍රභව මගින් විදුලිය උත්පාදනය කිරීම සඳහා අධික වියදමක්‌ දැරීමට අපේ රටට සිදු වූයේ මෑත අතීතයේ දී ය. එහෙත් ජල විදුලිය හා සමාන්තර ව තාප විදුලිය තුලනය කර පවත්වාගනිමින් මේ වන විට රටේ විදුලි සැපයුම ලබා දීමේ දී නොරොච්චෝලේ පිහිටා ඇති මෙගාවොට්‌ 900ක ගල් අගුරු බලාගාරයෙන් සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටු වේ.

මෙහි දී මතු වන ගැටලුව වන්නේ දියුණු වන රටවල කාබන් විමෝචන සඳහා ගල් අගුරුවල දායකත්වය කෙතරම් වේ ද යන්න ය. චීනය වැනි රටක කාබන් විමෝචන ඉහළ අගයක්‌ ගත්ත ද සෙසු දියුණු වන රටවල් රැසක කාබන් විමෝචන ප්‍රමාණය සාපේක්‌ෂ ව අඩු අගයක්‌ ගන්නා බැවින් එම රටවලට ගල් අගුරු භාවිත කිරීමේ දී විමෝචන පිළිබඳ ගැටලුවක්‌ නොමැත. මේ වන විට පවත්නා ප්‍රවණතාවය අනුව, සමස්‌තයක්‌ ලෙස ගත හොත් ආසියානු රටවල 2040 වර්ෂය පමණ වන විට විදුලි බල උත්පාදනයෙන් තුනෙන් එකක්‌ පමණ ගල් අගුරු මගින් සැපයෙනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. මේ අනුව ආසියානු කලාපයේ බලශක්‌ති සැපයුම සම්බන්ධ ව තවදුරටත් සැලකිය යුතු වැදගත්කමක්‌ ගල් අගුරුවලට හිමි වීම අපේක්‌ෂා කළ හැකි ය.

එහෙත් ගල් අගුරු භාවිතය ඉහළ යැමේ දී ඒ සමග එන හානි ද ඇති බව අප සිහි තබාගත යුතු වෙයි. බාල තත්ත්වයේ ගල් අගුරු, ඒවායේ ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය වැනි කරුණු මත නිකුත් වන පරිසර දූෂක රඳා පවතී. එසේ ම හැකි තාක්‌ පිරිසිදු තාක්‌ෂණය හැකි උපරිම ආකාරයෙන් යොදාගැනීමෙන් සිදු විය හැකි හානිය අවම කරගැනීම මේ රටවල ප්‍රමුඛතාවක්‌ වී නො තිබීම කණගාටුව ට කරුණකි. හුදෙක්‌ ලාබදායක බලශක්‌තිය අවශ්‍ය වූ පමණින් ම ගල් අගුරු භාවිතය ප්‍රවර්ධනය කිරීම වෙනුවට අවශ්‍යතාව අනුව යෝග්‍ය පිරිසිදු තාක්‌ෂණික ක්‍රම සහිත ව වඩාත් පිරිසිදු ගල් අගුරු භාවිත කිරීම මෙහි දී වැදගත් වෙයි.

http://www.vidusara.com/2017/11/29/feature2.html

No comments:

Post a Comment