Monday, December 25, 2017

දළ පූට්‌ටුවා ගේ ඝාතනය මාකට්‌ කිරීම හා අලි සංරක්‌ෂණය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 05, 13.12.2017 (Vidusara)

http://www.vidusara.com/2017/12/13/feature1.html




පසුගිය දා දළ ලබාගැනීම සඳහා වෙඩි තබා මරා දමන ලද ගල්ගමුවේ දළ පූට්‌ටුවා ඇතා ගැන සටහනක්‌ තැබීම සඳහා සූදානම් වන විට අපූරු කෙටි පණිවිඩයක්‌ ජංගම දුරකථනයට ලැබුණේ ය. එම කෙටි පණිවිඩයෙන් කියෑවුණේ 'මෑතක දී රට ම කතා වුණු දළ පූට්‌ටුවා ගැන ඔබ මෙතෙක්‌ නො දන්නා කතා මෙතනින් බලන්න' කියා යූ ටියුබ් සබැඳියක ලිපිනයක්‌ එවූ පණිවිඩයකි. මේ කෙටි පණිවිඩය දළ පූට්‌ටුවා මේ දිනවල 'මාකට්‌' වී ඇති බවට මනා සාධකයක්‌ සපයයි. (අදාළ අංකය වැනි අප ඉල්ලා ලියාපදිංචි වී නොමැති සේවා අංකවලින් මෙවැනි කෙටි පණිවිඩ ලැබීම පාරිභෝගික අයිතියක්‌ උල්ලංඝනය වීමක්‌ සේ සැලකිය හැකි වීම වෙන ම කරුණකි.)

දළ පූට්‌ටුවා හෝ හරියට ම කිව හොත් ඒ සතා මරා දැමීම පිළිබඳව සමාජයේ සාකච්ඡාවක්‌ ඇති වීම වැදගත් කරුණකි. ඒ වසරකට දෙ සිය පනහක්‌ පමණ අලි ඇතුන් අපේ රටේ මිය යන නිසා ය. එහෙත් මේ සාකච්ඡාව කෙතෙක්‌ සාධාරණීය ද යන්න වැදගත් වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් දළ පූට්‌ටුවා ගේ ඝාතනය බෙහෙවින් අලෙවි වූයේ සමාජ ජාලවල සහ ඕපාදූප වෙබ් අඩවිවල ය. මේ ඇතැම් සටහන් හුදෙක්‌ ඝාතකයන්ට සාප කිරීමට හා බලධාරීන්ට දෙස්‌ තැබීමට වෙන් වූ ඒවා ය. තවත් ඒවා හුදෙක්‌ ම ආවේගකාරී විය. තවත් ඒවායේ විවිධ යෝජනා දක්‌වා තිබිණි. නිදසුනක්‌ ලෙස දළ ඇතුනට ආරක්‌ෂාව ලබා දීම සඳහා මේ සමාජ ජාල සංරක්‌ෂකයන් ඉදිරිපත් කළ යෝජනා අතර රේඩියෝ කොලර් සවි කිරීම හා ඇතුන්ට ආරක්‌ෂක අංශවලින් ආරක්‌ෂාව ලබා දීම වැනි යෝජනා තිබිණි. දළ ලබාගැනීම සඳහා දඩයම් කිරීම වළක්‌වාලීමට මේ පළමු උපක්‍රමයෙන් සහායක්‌ නො ලැබෙන බව ඒ තාක්‌ෂණය දන්නා අයට පැහැදිලි කරුණකි. එසේ ම විශාල මෙන්ම වනගත ප්‍රදේශයක සරන අපේ රටේ ඇතකුට ආරක්‌ෂාව ලබා දීම කිසිසේත් ප්‍රායෝගික නො වන්නකි.

අනෙකක්‌ තබා මේ කතාව දිගින් දිගට ඇදී ගොස්‌ සමාජ ජාලවල බෙහෙවින් සිටින සංරක්‌ෂකයන් ගේ චෝදනාවට හා 'කටගැස්‌මට' බෙහෙවින් ලක්‌ ව ඇති සංස්‌කෘතික අවශ්‍යතා සඳහා හීලෑ අලින් ලබා දීම විවේචනය කිරීම දක්‌වා ම මේ කතාව දික්‌ගැසී ගොස්‌ තිබිණි. (පෙරහැර වැනි සංස්‌කෘතික අවශ්‍යතා සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් අවශ්‍ය අලින් ලබා දීම සඳහා වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බව අපේ මතය වන අතර, අලින් අනිසි භාවිතය අධික බැවින් පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය අයෝග්‍ය බව අපේ මතයයි.)

අලි - මිනිස්‌ ගැටුම අවම කරගැනීම සඳහා මෙන්ම, වන අලින් ආරක්‌ෂා කිරීම සඳහා වනජීවී බලධාරීන් විසින් මෙතෙක්‌ ගත් සියලු පියවර අවතක්‌සේරු කරන බවක්‌ මේ ඇතැම් අදහස්‌ තුළ දැකිය හැකි විය. එය සාධාරණ නො වන බව අලි - මිනිස්‌ ගැටුම ගැන ප්‍රාමාණික අවබෝධයක්‌ ඇති අය දන්නා කරුණකි. එසේ ම සමාජ ජාලවල දැකිය හැකි වූ පමණ ඉක්‌මවා ගිය ආකාරයේ ප්‍රතිචාර හා පුවත්වලින් මතු වන්නේ මේ කරුණ දක්‌වාලමින් සමාජයේ කිසියම් හඬක්‌ මතු කිරීමේ අවශ්‍යතාවක්‌ යම් පිරිසකට තිබූ බව ද යන ගැටලුව ද අපට ඇති විය. ඒවායේ පළ වූ සටහන් මෙන්ම ඒවාට දැක්‌වූ ප්‍රතිචාරවල ද කිසියම් කෘත්‍රිම ආකාරයක්‌ ගත් බවක්‌ ද පෙනිණි. කාට හෝ ඩෑෂ් පහරක්‌ එල්ල කිරීම සඳහා බෝලය ඔසවා දීමක්‌ මේ තුළ දැකිය නොහැක්‌කේ නො වේ.

දළ පූට්‌ටුවා ගේ මරණය


දළ පූට්‌ටුවන් පරිසර ප්‍රේමීන් මෙන්ම ජනතාව අතර වැඩි අවධානයකට ලක්‌ වන්නේ ඔවුන් ගේ ඇත් දළවල පිහිටීමේ දැකිය හැකි සුවිශේෂ ලක්‌ෂණය නිසා ය. දළ යුග්මය ඉදිරියට පැමිණ හොඬවැල ඉදිරිපසින් එකට පූට්‌ටු වී පිහිටීම මෙහි දී දැකිය හැකි ය. එම තත්ත්වය නිසා මෙවැනි සතුන්ට හොඬවැල පහසුවෙන් පිටතට ගැනීමට නොහැකි වෙයි. එම අහසුතාව සමඟ දිවි ගෙවීමට මේ සතුන්ට සිදු වේ. මෙවැනි ප්‍රකට දළ පූට්‌ටුවකු යාල හා කුමන ප්‍රදේශවල වාසය කළ අතර, වෙඩි වැදුණු තුවාල හේතුවෙන් එම ඇතා මිය ගියේ 2007 වර්ෂයේ දී පමණ ය. අපේ මතකයේ හැටියට ඒ තුවාල සඳහා ප්‍රතිකාර කරමින් තිබිය දී ය. එහෙත් එදා මෙවැනි හා හෝවක්‌ ඇති කිරීමට තරම් සමාජ ජාල හෝ අන්තර්ජාලය ප්‍රබලව තිබුණේ නැත.

ගල්ගමුව දළ පූට්‌ටුවා ගේ මරණය අවාසනාවන්ත සිදුවීමක්‌ බවට සැකයක්‌ නැත. විශාල ප්‍රදේශයක සැරිසරමින් මිනිස්‌ වාසස්‌ථාන අතර සැරිසරමින් දිවි ගෙවූ මේ සත්ත්වයා මිනිසුන් ගෙන් බොහෝ සෙයින් බැට කා ඇති සත්ත්වයෙකි. එක්‌ ඇසක්‌ අන්ධ වූ අතර අනෙක්‌ ඇසේ ද පෙනීම බෙහෙවින් දුර්වල වීමට හේතුව වී ඇත්තේ මිනිසුන් ගෙන් සිදු වූ ගැහැට ය. කලින් කල මේ ඇතා සමාජයේ අවධානයට ලක්‌ වූ අතර බලධාරීන් ගේ අවධානයට ද ලක්‌ ව තිබූ බව වාර්තා අනුව පැහැදිලි ය. දැනට අනාවරණය වී ඇති ආකාරයට මේ හස්‌තියා මරා දමා ඇත්තේ ඇත් දළ හා ගජමුතු ලබා ගැනීම සඳහා ය. ඇත් දළ යුගලයක්‌ අලෙවි කිරීමට යැමේ දී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අනාවරණය වී ඇති තොරතුරු මත කළ සොයාබැලීම්වල දී කහල්ල පල්ලෙකැලේ රක්‌ෂsතය තුළ ස්‌ථානයක තිබී ඇතා ගේ මළසිරුර හමු වී ඇත. ඒ වන විට දිරා යමින් තිබූ දේහය පිළිබඳව කළ පරීක්‌ෂණවලින් ඇතා මරා දැමීම ගැන කරුණු රැසක්‌ අනාවරණය වී ඇත. හිසට හා උදරයට වෙඩි තබා මේ සතා ඝාතනය කර ඇති අතර ඉන් පසුව දළ කපා ඉවත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙරට වෙසෙන දළ ඇති ඇතුන් ප්‍රමාණය මෙරට අලි ගහනයෙන් ඉතා අඩු ප්‍රමාණයකි. 2011 වර්ෂයේ දී මෙරට සිදු කරන ලද අලි සංගණනයේ දී වාර්තා වූ දළ සහිත පිරිමි සතුන් ගේ ගණන 122කි. එනම්, සමස්‌ත පිරිමි සතුන් අතරින් 6.5%ක්‌ තරම් ප්‍රමාණයකි. මේ ප්‍රමාණය ආසියානු අලින් අතර සාපේක්‌ෂව අඩු අගයක්‌ ගන්නා බව සෙසු රටවල සංඛ්‍යා සමඟ සංසන්දනය කරන විට පෙනේ. ඒ අනුව දළ ඇතුන් යනු දිනෙන් දින දැකීමට අපහසු සතුන් වෙමින් ඇති බව පැහැදිලි කරුණකි.

දළ ලබා ගැනීම සඳහා ඇතුන් මරා දැමීම දිගුකාලීන වශයෙන් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති කරන බව පැහැදිලි ය. දළ සඳහා මේ වන විට ඉල්ලුමක්‌ පවතින්නේ ඒවා ළඟ තබාගැනීමට කැමැති ධනවත් ප්‍රභූ පැළැන්තිය අතර බව පැහැදිලි ය. දළ යොදාගනිමින් විසිතුරු භාණ්‌ඩ නිපදවීමේ කර්මාන්තයක්‌ මේ වන විට අපේ රටේ නොමැත. එහෙයින් ඇත් දළ සඳහා ධනවතුන් හා නැඟී එන ධනවතුන් අතර ඇති කැමැත්ත වැනි ආකල්ප වෙනස්‌ කිරීමට සමාජ ජාල යොදාගැනීමට හැකි නම් එය කාට වත් සාප කරමින් සිටිනවාට වඩා ඵලදායී එකක්‌ විය හැකි ය. විහාරස්‌ථානවල බොහෝ විට ඇත්තේ මිය ගිය හීලෑ ඇතුන් ගේ දළ වන අතර, ප්‍රභූ නිවෙස්‌වල හීලෑ ඇතුන් ගේ දළ මෙන්ම අතීතයේ (හෝ මෑත දී) දඩයම් කළ ඇතුන් ගේ දළ ද තිබිය හැකි ය.

අලි ඇතුන් කෙරෙහි ඇති ආකල්ප


මේ අවස්‌ථාවේ දී අලි - මිනිස්‌ ගැටුම හා අලි ඇතුන් කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්‌වන ආකල්ප ගැන යමක්‌ පැවසීම සුදුසු යැයි හැඟෙයි. මේ ආකල්පවල මිශ්‍ර ස්‌වභාවයක්‌ දැකිය හැකි ය. එය හුදෙක්‌ කළු හෝ සුදු නො වන අතර මිශ්‍ර හැඟීමක්‌ වේ. ගොඩබිම දැකිය හැකි විශාල ම සතා මෙන්ම සංස්‌කෘතික හා ආගමික වටිනාකමක්‌ ද ඇති හෙයින් අලින් කෙරෙහි සාමාන්‍ය ජනතාව අතර කරුණාවක්‌ දැකිය හැකි වෙයි. එයට බුදුදහමින් ලැබුණු අහිංසාව පිළිබඳ ශික්‌ෂණය ද එක්‌ හේතුවක්‌ බව පිළිගත හැකි කරුණකි.

එහෙත් අලින් ගෙන් සිදු වන ගැහැටවල දී අලින් පිළිබඳ ආකල්පය වෛරයක්‌ හෝ ද්වේෂයක්‌ හෝ බවට පත් වීම දැකිය හැකි ය. විශේෂයෙන් සමාජයේ පීඩාවට පත් ව ඇති  හා නූගත් පිරිස්‌ තුළ ඒ තත්ත්වය දැකිය හැකි ය. එය අද ඊයේ සිට නො ව අතීතයේ සිට ම දැකිය හැකි ය. එය අවබෝධ කරගැනීම එතරම් සංකීර්ණ කරුණක්‌ නො වන්නේ මිනිසුන් සෙසු මිනිසුන් පිළිබඳව ද දක්‌වන්නේ මෙවැනි ආකල්පයක්‌ වන නිසා ය. මිනිසුන් අනෙක්‌ මිනිසුන්ට එරෙහි ව, තමන් ගේ ම මිතුරන්ව සිටි අයට එරෙහි ව පවා, කෙතරම් අපරාධ කරන්නේ ද?

අලින් ගෙන් සිදු වන හානිවල දී අලින්ට එරෙහි ව ක්‍රෑර ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ වාර්තා අපට අවම වශයෙන් පෘතුගීසින් මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ සිට හමු වේ. ඒ අනුව අලින්ට වෙඩි තැබීම් පමණක්‌ නො ව, හොඬවැලට උණු තෙල් දැමීම, අලින් මතට ගිනි අඟුරු දැමීම වැනි සිදුවීම් පිළිබඳ වාර්තා මේ කාලයේ දී අපට හමු වේ. ඊට පෙර එවැනි උපක්‍රම යොදාගත්තේ ද යන්න අප නො දන්නා බව පමණක්‌ පැවසිය හැකි ය.

අලි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු වූ අවස්‌ථාවල දී ඉන් පීඩාවට පත් වූ ජනතාව ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්‌වා ඇති බව වාර්තා අනුව පෙනේ. පෘතුගීසි සමයේ අලි ඇල්ලීම ආදායම් මාර්ගයක්‌ වූ අතර, අලි ගහනය වැඩි වූ ප්‍රදේශ පිළිබඳව පෘතුගීසි නිලධාරීන්ට ගම්වැසියන් දැනුම් දුන් අවස්‌ථා පිළිබඳව සඳහන් වෙයි. මෙය සමාන කළ හැක්‌කේ අලි ඇතුන් ගෙන් සිදු වන ගැහැටවලට විසඳුම් ඉල්ලා මිනිසුන් වීදි බැස පාරවල් වසාගෙන අද සිදු කරන උද්ඝෝෂණය කිරීම් සමඟ ය.

එමෙන් ම අවශ්‍ය තරම් වාර්තා සහිත 19 - 20 සියවස්‌ පිළිබඳව සැලකූ විට පෙනෙන කරුණක්‌ වන්නේ අලින් ගෙන් සිදු වන වගා හානි හා වෙනත් ගැහැට පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කරන්නේ ද ප්‍රදේශවාසී ජනතාව බවයි. ඉන් පසුව අදාළ ප්‍රදේශයේ අලින් ඇල්ලීමට හෝ වෙඩි තැබීමට නියෝග කිරීම දැකිය හැකි විය. ඇතැම් විට ඒ සඳහා වූ බලපත්‍රය ලබා දෙන්නේ නොමිලේ ම ය. එහි දී ඉදිරිපත් වන්නේ දඩයමට රුචිකමක්‌ දක්‌වන "ක්‍රීඩා ලෝලී" සුදු ජාතිකයන් හෝ දේශීය ප්‍රභූන් ය. මොවුන්ට මඟ පෙන්වන්නේ අදාළ ප්‍රදේශයේ ගමේ ප්‍රධානීන් හා ගම්වැසියන් ය. ප්‍රශ්නකාරී අලි ඇතුන් ගෙන් මිදීම එදා ජනතාව ගේ වගා බිම්වල හා ජීවිතවල ආරක්‌ෂාව සඳහා අවශ්‍ය වූ දෙයකි. අප මෙය තේරුම්ගත යුත්තේ එදා පැවැති සන්දර්භය සමඟ ය (මෙය වතු වගාබිම් ආශ්‍රිත ව හුදු ක්‍රීඩාවක්‌ ලෙස ම සිදු වූ අලි දඩයම සමඟ පටලවා නො ගත යුතු ය).

කෙසේ වෙතත් මෙසේ තමන්ට හානි කරන අලින් සමඟ බද්ධ වෛරයක්‌ මේ ජනතාව තුළ දැකිය නොහැක්‌කේ ඔවුන්ට අලියා සංස්‌කෘතික හා ආගමික වශයෙන් වැදගත් සත්ත්වයකු වන නිසා ය. ජාතක පොතේ එන අලින්, නුවර පෙරහැරේ යන ඇතුන් ආදි වශයෙන් අලි ඇතුන් සංස්‌කෘතික වශයෙන් මිනිසුන්ට සමීප සත්ත්වයෙක්‌ වෙයි. මේ හේතුවෙන් අලි ඇතුන් පිළිබඳ ව ස්‌වාභාවිකව ජනනය වන අනුකම්පාවක්‌ ද මිනිසුන් තුළ දැකිය හැකි වේ. වගා ළිඳකට වැටුණු, ඇලකට වැටුණු, තුවාල වූ කරදරයට පත් වුණු අලියකු හෝ ඇතෙකු හෝ බේරා හරින්නට ගමේ ම මිනිසුන් ඉදිරිපත් වන්නේ මේ නිසා ය. ඇතැම් විට ඒ තමන් ගේ වගා පාලු කරන්නා වූ වන අලියා ම බව ඔවුහු දනිති. එහෙත් ඔවුහු එම අලියා වෙනුවෙන් අනුකම්පා කරති.

http://www.vidusara.com/2017/12/13/feature1.html

Thursday, December 7, 2017

ලොතරැයියක් අරන් අදිමු (බස් කතා 6)

(ධනේෂ් විසුම්පෙරුම)

මේ සිදුවීම සිදු වූයේ 1980 ගණන්වල අගදීය. එ් මම නාවල පදිංචිව සිටි කාලයයි. මම එ් දිනවල පාසල් ගියේ 173 තොටළඟ බසයෙනි. මට්ටක්කුලිය ඩිපා්ෙවෙන් ධාවනය වුණු පිටකෝට්ටේ- තොටළඟ බස් හැර එ් පාරේ පුද්ගලික බස් රථ ධාවනය වූයේ නුගේගොඩ-තොටළඟ (?) හෝ කොටුව ලෙසිනි. පුද්ගලික බස් කිව්වාට එ්වා සියල්ලම පාහේ කුඩා එල්ෆ් වර්ගයේ වෑන් රථ විය. (පසුකලක මේ මාර්ගයේද විශාල බස් රථ ධාවනය විය*).

සීසන් තිබුනත් අැතැම් දවස්වල ලංගම බස් නැතිව ප්‍රයිවට් බස්වල යන්න සිදු වූ අවස්ථා අැත. මේ එවැනි දවසක සිදු වූ සිදුවීමකි.

එදත් එල්ෆ් වෑන් රථයක දොරේ එල්ලී විජයබා මාවතේ සිට නාරාහේන්පිට දක්වා යෑමට මට සිදු විය. වෑන් එක අැතුළට රිංගා ගන්නට මට හැකි වුනේ නාරාහේන්පිටදීය. එ් දවස්වල අද මෙන් නාරාහේන්පිටට මහා සෙනගක් නොසිටියත් තරමක සෙනගක් සිටි බව මතකය.

බසය තුළට පිවිසි මට මේ දෙබස අැසුනේ බසයේ අසුනක හිඳ සිටි, පාසැලට යමින් සිටි කුඩා දැරියක හා පියෙකුගෙනි. ඔවුන්ටද අසුනක් ලැබුනේ එ් වෙලාවේ විය යුතුය. බසයේ අධික තදබදය නිසා එ් දැරිය පීඩාවට පත්ව සිටි බව පෙනිනි.

දියණිය - "තාත්තෙ මට නං බස් එකේ ඉස්කෝලෙ යන්න බැහැ." අැය කීවේ මුහුණ පුළුටු කරගෙන විය යුතුය.

පියා - "එ් වුනාට දුවේ අපි ඉස්කෝලේ යන්න ඔ්නැනෙ"

දියණිය - "අපි කාර් එකක් ගනිමුකො" දුව කීවාය.

පියා - "එ්කට ලොතරැයියක්වත් අැදෙන්න ඔ්න දුවේ"

දියණිය - "එහෙනම් අපි ලොතරැයියක් අරන් අදිමුකො තාත්තෙ" එ් දියණියගේ අපූරු යෝජනාවයි.

දෙබස අැසුණු අයට සිනා නැගුණත් කිසිවකු හඩ නගා සිනා සුනේ නැති බව මට මතකය. එ් අැය මේ කිසිවක් හරි හැටි නොදත් කුඩා දියණියක් නිසා විය යුතුය.

එ් දියණිය අද වැඩි මහලු තැනැත්තියක් විය යුතුය. අද එ් වයසේ දියණියන් සිටින තැනැත්තියක් විය හැකිය.

* 173 ශ්‍රීලංගම බස් සේවය අඩු වී ගොස් නතර වූයේ 1990 දශකයේදී පමණය. පසුකලක උඩහමුල්ල ඩිපෝවෙන් එක් බසයක් පමණක් ධාවනය වුවද එයද දැන් නැත. මෑතක් තෙක් නුගේගොඩ-කොටුව අතර ධාවනය වූ පුද්ගලික බස් රථ ධාවනය නතර වූයේ 2015 මුලදී අලුත් අාණ්ඩුව පැමිණි දවස්වලය. දැන් එහෙම මාර්ග අංකයක් නුගේගොඩ පැත්තෙන් නම් නැත.

Friday, December 1, 2017

ගීත ඔස්සේ අතීතයට පිය නැගුවෙමි...

ධනේෂ් විසුම්පෙරුම


මිල්ටන් මල්ලවාරච්චිගෙ සින්දු කීපයක් බස්එකකදි එකදිගට ඇහුනා. ඔහුගෙම භඬින්, මුල් සංගීතයෙන්.

"මා නිසා ඔබ නොපිරූ පෙරුම් - මා නිසා ඔබ නොපැතූ පැතුම්"

"මා හා එදා ප්‍රිය සාදයේ - සුරතේ වෙලී රැඟුවේ ඇයයි"


"වීනා බිඟු වීනා - පවසන්නේ ආදරේ"

මේ ගීතත් එක්ක මගේ හිත නොදැනිම අතීතයට ගියා. මම මුලින්ම මිල දී ගත් කැසට් පටයේ (මතක හැටියට, 'වීණා'?) තිබූ ගීත අතර මේ ගීත තුනම හෝ දෙකක් තිබුනා.

මිල්ටන් කියන්නේ ඒ කාලේ (1988) ඕලෙවල් වයසෙ භිටපු අපේ ප්‍රියතම ගායකයෙක්. ඔහුගේ ප්‍රේම ගීත වගේම විරහ ගීතත් අපි ආසම ගීත වුනා. (එක් එක්කෙනාට ඒවට හේතුත් තිබුනා වෙන්න ඇති). ඔහු පමණක් නොව තවත් බොහෝ අය අපේ ප්‍රියකරන ගායක ගායිකාවන් අතර හිටියා. (එ්ත් අැත්තටම පාසැල් සමයේ වැඩි වශයෙන්ම ගීතවලට අැලුම් කළේ උසස් පෙළ පන්තියෙදි කිව්වොත් වඩාත් නිවැරදියි. එ්ක සංගීත පංතියක් වගෙයි!)

හැබැයි, මුලින්ම මිලට ගත් කැසට් පට කීපයෙන් පසුව කැසට් පට මිලට ගන්නවට වඩා මං කළේ මම කැමති සින්දු තෝරල ඒව විතරක් වෙනම කලෙක්ෂන් හැටියට රෙකෝඩ් කරගන්න එක. එහෙම එකතු ගණනාවක් මා ළඟ තිබුනා. නුගේගොඩ සවන රෙකෝඩ් බාර් එකෙන් තමයි මං ඒවා කර ගත්තෙ. එතකොට ඒ පීස් එකේ තියන්නෙ මං ආස සින්දුම විතරයි. කඩෙන් ගන්න කැසට්වල ආස නැති සින්දුත් තියනවනෙ.

මං ආස සින්දුවල පද, ලස්සන අකුරින් ලියා ගත් හාෆ් ෂීට් පොතක් මම හදාගෙන තිබුනා. එහි ගීත 800 කට වැඩි ගණනක් තිබුණා.

පසුකලක අධ්‍යාපනය හා කාර්යබහුල බවත් එක්ක ගීත ඇසීමෙන් ඈත් වුනා. ආපසු ගීත අහන්න එනවිට ඒ පොතට වුණු දේ මම දන්නෙත් නෑ

දැන් නම් කැසට් වත්, සීඩී, ඩීවීඩීවත් නෙවෙයි තනිකරම සින්දු අහන්නෙ පරිගණකයෙන්. දිනෙන් දින ඉහළ යන එකතුවක් තමයි දැන් තියෙන්නෙ. බහුතරය අපේ කාලෙ ගීත - ඒ කියන්නෙ 1990ට කලින් එව්ව.

ගල් අගුරු භාවිතය අවසන් කිරීමේ උත්සාහයක්‌ - ගල් අගුරුවල කාලය අවසන්?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 29.11.2017, පි. 06, (Vidusara)

http://www.vidusara.com/2017/11/29/feature2.html




පසුගිය දා ජර්මනියේ බොන් නගරයේ දී අවසන් වූ ජගත් දේශගුණ සමුළුවට සමගාමී ව සිදු වූ වැදගත් සිදුවීමක්‌ ලෙස ගල් අගුරු භාවිතයට එරෙහි ව ලෝකයේ රටවල් ගණනාවක්‌ එක්‌ ව කිසියම් කණ්‌ඩායමක්‌ ලෙස සංවිධානය වීම දැක්‌විය හැකි ය. බ්‍රිතාන්‍යය හා කැනඩාව මුල් වී ආරම්භ කරන ලද මෙහි අරමුණ වූයේ ගල් අගුරු භාවිතය ක්‍රමයෙන් ඉවත් කිරීමයි. 'ගල් අගුරු ඉක්‌මවූ බලශක්‌ති සන්ධානය' (Powering Past Coal Alliance) ලෙස නම් කර ඇති මේ එකමුතුව හෝ සන්ධානයට රටවල් 19ක පමණ සහයෝගය ලැබුණු අතර, ඒ අතර මෙක්‌සිකෝව, නවසීලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඔස්‌ටි්‍රයාව, නෙදර්ලන්තය වැනි රටවල් ද සිටියි. එසේ ම ඊට ගල් අගුරු භාවිත නො කරන ෆීජි වැනි රටවල් ද ඇතුළත් වන අතර ගල් අගුරු විශාල ලෙස භාවිත කරන ආසියානු රටවල් කිසිවක්‌ මීට ඇතුළත් නො වීම විශේෂ සිදුවීමකි. ලෝකයේ විශාලතම ගල් අගුරු නිෂ්පාදකයකු වන ඔස්‌ටේ්‍රලියාව ඊට එක්‌ වීම ප්‍රතික්‌ෂේප කර ඇත. කෙසේ වෙතත් මේ සන්ධානයේ අපේක්‌ෂාව වන්නේ ලබන වර්ෂය අවසන් භාගය වන විට මේ කණ්‌ඩායමට රටවල් 50ක පමණ සහයෝගය ලැබෙනු ඇතැයි යන්න ය.

මේ කණ්‌ඩායමේ අරමුණ වන්නේ ගල් අගුරු භාවිතය හැකි තාක්‌ ඉක්‌මනින් අවසන් කිරීම සඳහා කැප වීමෙන් කටයුතු කිරීමයි. එහි දී විදුලිය නිපවීම සඳහා ගල් අගුරු භාවිතය අවසන් කිරීමේ ඉලක්‌ක ඇති කරගැනීම හා ගල් අගුරු මගින් විදුලිය නිපදවීම වැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය නො කිරීම වැනි දේ මේ කණ්‌ඩායමේ අපේක්‌ෂාව වේ. ඒ සඳහා වූ ප්‍රකාශයක්‌ ද නිකුත් කර තිබේ.

මෙය දේශපාලන වශයෙන් කෙතරම් දුරට යථාර්ථයක්‌ විය හැකි ද යන්න තවමත් පැහැදිලි නැත. මේ ප්‍රයත්නය සාර්ථක වේ ද, අසාර්ථක වේ ද යන්න කීමට තවමත් කල් වැඩි ය. මේ නව සන්ධානය කිසිදු නෛතික බැඳීමක්‌ ඇති කණ්‌ඩායමක්‌ නො ව ස්‌වෙච්ඡාවෙන් කිසියම් වූ එකගතාවට පැමිණි රටවල්, ප්‍රාන්ත හා වෙනත් කණ්‌ඩායම් ඇතුළත් කණ්‌ඩායමක්‌ පමණි.

එහෙත් ගල් අගුරු භාවිතය අවසන් වන බව, අවසන් විය හැකි බව හා එය කඩිනමින් සිදු විය හැකි බව මේ නව පියවර මගින් ලෝකයට කිසියම් සංඥාවක්‌ ලබා දී තිබේ. විචාරකයන් මෙය දේශපාලන වශයෙන් ගල් අගුරු පිළිබඳ ව කැමැත්ත දක්‌වන පාර්ශ්වයේ ජරාජයක්‌ ලෙස (political watershed) ලෙස හඳුන්වා දී ඇත්තේ මේ කරුණ නිසාවෙනි.

මෙවර සමුළුවේ දී සිදු වූ වැදගත් සිදුවීමක්‌ සේ ඇතැම් පාර්ශ්ව මේ සන්ධානය හඳුන්වා දෙන ආකාරය දැකිය හැකි ය. එහෙත් මේ පිළිබඳ ව ගල් අගුරු මත බෙහෙවින් රඳා පවත්නා ඇතැම් රටවල් එතරම් අවධානයක්‌ දැක්‌වූ බවක්‌ දැකිය නො හැකි ය. කෙසේ වෙතත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑමට මුහුණ දී ඇති රටවල් මේ නව සන්ධානය නිසා උද්දාමයට පත් ව ඇති බවක්‌ පෙනෙයි. එය වැදගත් ය. එසේ ම පරිසර හා සමාජ ක්‍රියාකාරී කණ්‌ඩායම් ද මේ පිළිබඳ ව සිය සතුට පළ කර තිබේ.

ගල් අගුරු හා දේශගුණ වෙනස්‌ වීම


ගල් අගුරු යනු කාර්මික විප්ලවයේ පටන් අද දක්‌වා වැදගත් ම බලශක්‌ති ප්‍රභවයක්‌ වූ ෆොසිල ඉන්ධනයකි. එය අද වන විට ද ලෝකයේ විදුලි බල සැපයුමෙන් 40%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සපයන ප්‍රධානතම ඉන්ධනයක්‌ වෙයි. මේ වන විට ද ඇතැම් දියුණු රටවල මෙන් ම දියුණු වන රටවල් රැසක ද ප්‍රධානතම ඉන්ධනයක්‌ ලෙස ගල් අගුරු භාවිත වෙයි. සෙසු ෆොසිල ඉන්ධන ඉදිරි දශක 5 - 6කට අඩු කාලයක දී අවසන් වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබුව ද තවත් වසර 100 - 150ක්‌ හෝ ඊටත් මදක්‌ වැඩි කාලයක්‌ සඳහා භාවිතයට ප්‍රමාණවත් ගල් අගුරු සංචිත තිබීම ඒ පිළිබඳ අවධානය යොමු වීමට හේතුවකි.

කෙසේ වෙතත්, කාබන් විමෝචන සම්බන්ධ ව ගත් විට ගල් අගුරු වැදගත් තැනක්‌ ගනියි. ගල් අගුරු භාවිතයෙන් වායුගෝලයට නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය විශාල ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ගල් අගුරු දහනය වීම නිසා සිදු වන විමෝචන ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන අතරින් 40%ක්‌ පමණ විය හැකි බව වාර්තා වෙයි. මේ අනුව දේශගුණ වෙනස්‌ වීම සඳහා ගල් අගුරු දක්‌වන දායකත්වය සැලකිය යුතු එකක්‌ බව පැහැදිලි ය. එය නො සලකා හළ නොහැක්‌කකි.

එක්‌ විශ්ලේෂණයකින් දක්‌වා ඇති ආකාරයට බලශක්‌ති උත්පාදනය සඳහා ගල් අගුරු භාවිත කිරීම අවසන් කිරීම පැරිස්‌ ගිවිසුමේ ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා වැදගත් වෙයි. පසුගිය වර්ෂයේ දී පළ වූ එවැනි එක්‌ විශ්ලේෂණයකට අනුව, මේ සියවස මැද භාගය වන විට ගල් අගුරු භාවිතය අවසන් කිරීම අවශ්‍ය වනු ඇත. එහෙත් එය කලාපයෙන් කලාපයට, රටින් රටට වෙනස්‌ වන්නකි. නිදසුනක්‌ ලෙස ගත හොත් යුරෝපා සංගමයේ ගල් අගුරු භාවිතය 2030 වර්ෂය වන විට අවසන් කළ යුතු අතර, චීනය 2040 වර්ෂයේ දී අවසන් කළ යුතු වේ. ලෝකයේ සෙසු රටවල්, 2050 වර්ෂය වන විට ගල් අගුරු භාවිතය අවසන් කිරීම වැදගත් වන බව Implications of the Paris Agreement for Coal Use in the Power Sector නම් පසුගිය වර්ෂයේ දී නිකුත් වූ මේ වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වන විටත් ගල් අගුරු භාවිතයෙන් ඉවත් වීම සඳහා ඇතැම් රටවල් ප්‍රතිඥා දී තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, එවැනි රටක්‌ වන බ්‍රිතාන්‍යය, 2025 වන විට එරට තුළ ගල් අගුරු භාවිතය අවසන් කිරීමට තීරණය කර ඇත. මේ වන විට ද එරට ගල් අගුරු භාවිතය සැලකිය යුතු තරම් අඩු කිරීමට ක්‍රියා කර තිබේ. එසේ ම ජර්මනිය වැනි ගල් අගුරු මත තදින් යෑපෙන රටවල් තුළ ද ගල් අගුරුවලින් ඈත් වීම සඳහා එල්ල වන පීඩනයක්‌ දැකිය හැකි වේ.

ගල් අගුරුවල ඇති වෙනත් ගැටලු


ගල් අගුරු භාවිතයේ ඇති සෙසු ගැටලු මේ පිළිබඳ ව ඇති බරපතළ ස්‌වභාවය පෙන්වා දෙන්නකි. ගල් අගුරු නිසා විමෝචනය වන පරිසර දූෂකවලින් ඇති වන සෞඛ්‍ය ගැටලු පිළිබඳ ව පැහැදිලි අවබෝධයක්‌ මේ වන විට ලෝකයට ඇත. වාර්ෂික ව ලෝකය පුරා සිදු වන මරණ අතරින් 800,000ක්‌ පමණ ගල් අගුරු නිසා සිදු වන බව මේ වන විට පෙන්වා දී තිබේ. විශේෂයෙන් මේ ඉන්ධනය දහනය වීමත් සමග නිකුත් වන විවිධ වායු දූෂක නිසා ඇති වන විවිධ සෞඛ්‍ය ගැටලු මේ තත්ත්වයට හේතු වී තිබේ. මේ ගැටලු ප්‍රකට කරුණු වන බැවින් විස්‌තර කිරීම අවශ්‍ය නො වේ.

අනෙක්‌ අතට මේ පරිසර දූෂක නිසා තවත් විවිධ පාරිසරික ගැටලු ඇති විය හැකි බව ද ප්‍රකට කරුණකි. විශේෂයෙන් භාවිතයට ගන්නා ගල් අගුරුවල තත්ත්වය බාල වන්නට වන්නට නිකුත් වන පරිසර දූෂක ප්‍රමාණය ඉහළ යා හැකි ය. සල්ෆර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඔක්‌සයිඩ, අංශුමය ද්‍රව්‍ය, රසදිය වැනි විෂ සහිත ද්‍රව්‍ය ගල් අගුරු දහනයේ දී විමෝචනය විය හැකි පරිසර දූෂක අතර වෙයි. මේවා මගින් ඇති විය හැකි පරිසර ගැටලු පිළිබඳ ව බොහෝ දේ සාකච්ඡාවට ලක්‌ ව ඇත.

ගල් අගුරු හා දියුණු වන රටවල්


කෙසේ වෙතත් ගල් අගුරු යනු මේ වන විට ලෝකයේ ඇති ලාබදායක ම ඉන්ධන ප්‍රභව අතරින් එකකි. විශේෂයෙන් පුනර්ජනනය කළ හැකි ඉන්ධන අතරින් ලාබදායක ඉන්ධනයක්‌ වන ජල විදුලිය වැනි ඉන්ධන හැරුණු විට අනෙක්‌ ලාබදායක ඉන්ධන ප්‍රභවය වන්නේ ගල් අගුරු ය. එසේ ම ජල විදුලිය යනු වසර පුරා එක ම ආකාරයෙන් ලබා ගත හැකි බලශක්‌ති ප්‍රභවයක්‌ නො වන නිසා ෆොසිල ඉන්ධනයක්‌ ලෙස ගල් අගුරුවලට සැලකිය යුතු තැනක්‌ හිමි වේ. මේ නිසා දියුණු වන රටවල බලශක්‌ති උත්පාදනයේ විශේෂ වැදගත්කමක්‌ ගල් අගුරුවලට ලැබී ඇත.

අපේ රට වැනි රටක වුව ද ගල් අගුරු වැනි ලාබදායක ඉන්ධනයක ඇති වැදගත්කම විදුලිබල අංශ විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ගල් අගුරු නො තිබෙන්නට අපේ රටේ විදුලිබල නිෂ්පාදන පිරිවැය මේ වන විට අදට වඩා සැලකිය යුතු තරමකින් ඉහළ යා හැකි බව සත්‍යයකි. ඛනිජ තෙල් වැනි වෙනත් තාප ඉන්ධන ප්‍රභව මගින් විදුලිය උත්පාදනය කිරීම සඳහා අධික වියදමක්‌ දැරීමට අපේ රටට සිදු වූයේ මෑත අතීතයේ දී ය. එහෙත් ජල විදුලිය හා සමාන්තර ව තාප විදුලිය තුලනය කර පවත්වාගනිමින් මේ වන විට රටේ විදුලි සැපයුම ලබා දීමේ දී නොරොච්චෝලේ පිහිටා ඇති මෙගාවොට්‌ 900ක ගල් අගුරු බලාගාරයෙන් සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටු වේ.

මෙහි දී මතු වන ගැටලුව වන්නේ දියුණු වන රටවල කාබන් විමෝචන සඳහා ගල් අගුරුවල දායකත්වය කෙතරම් වේ ද යන්න ය. චීනය වැනි රටක කාබන් විමෝචන ඉහළ අගයක්‌ ගත්ත ද සෙසු දියුණු වන රටවල් රැසක කාබන් විමෝචන ප්‍රමාණය සාපේක්‌ෂ ව අඩු අගයක්‌ ගන්නා බැවින් එම රටවලට ගල් අගුරු භාවිත කිරීමේ දී විමෝචන පිළිබඳ ගැටලුවක්‌ නොමැත. මේ වන විට පවත්නා ප්‍රවණතාවය අනුව, සමස්‌තයක්‌ ලෙස ගත හොත් ආසියානු රටවල 2040 වර්ෂය පමණ වන විට විදුලි බල උත්පාදනයෙන් තුනෙන් එකක්‌ පමණ ගල් අගුරු මගින් සැපයෙනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. මේ අනුව ආසියානු කලාපයේ බලශක්‌ති සැපයුම සම්බන්ධ ව තවදුරටත් සැලකිය යුතු වැදගත්කමක්‌ ගල් අගුරුවලට හිමි වීම අපේක්‌ෂා කළ හැකි ය.

එහෙත් ගල් අගුරු භාවිතය ඉහළ යැමේ දී ඒ සමග එන හානි ද ඇති බව අප සිහි තබාගත යුතු වෙයි. බාල තත්ත්වයේ ගල් අගුරු, ඒවායේ ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය වැනි කරුණු මත නිකුත් වන පරිසර දූෂක රඳා පවතී. එසේ ම හැකි තාක්‌ පිරිසිදු තාක්‌ෂණය හැකි උපරිම ආකාරයෙන් යොදාගැනීමෙන් සිදු විය හැකි හානිය අවම කරගැනීම මේ රටවල ප්‍රමුඛතාවක්‌ වී නො තිබීම කණගාටුව ට කරුණකි. හුදෙක්‌ ලාබදායක බලශක්‌තිය අවශ්‍ය වූ පමණින් ම ගල් අගුරු භාවිතය ප්‍රවර්ධනය කිරීම වෙනුවට අවශ්‍යතාව අනුව යෝග්‍ය පිරිසිදු තාක්‌ෂණික ක්‍රම සහිත ව වඩාත් පිරිසිදු ගල් අගුරු භාවිත කිරීම මෙහි දී වැදගත් වෙයි.

http://www.vidusara.com/2017/11/29/feature2.html