Friday, April 7, 2017

ලෝකයේ මුල්වරට ගංගාවලටත් නෛතික පුද්ගලභාවයක්‌ ඇති බවට පිළිගැනීමක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.04.2017, පි. 5, (Vidusara)


http://www.vidusara.com/2017/04/05/feature1.html




ජලය හා ගංගා, ඇළ, දොළ ආදී විවිධ ජල මූලාශ්‍ර ඈත අතීතයේ පටන් මිනිසා ගේ ජීවිතය හා තදින් බැඳී පවත්නා ස්‌වාභාවික සම්පත් ය. ජලය මිනිසුන් ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් විය. මිනිසුන් කෘෂිකාර්මික දිවිපෙවෙතකට හුරු වීමේ දී ජලය ඔවුනට නැති ව බැරි සම්පතක්‌ විය. එසේම ශිෂ්ටාචාර සාර්ථක ලෙස ස්‌ථාපිත වීමේ දී ඒවායේ පැවැත්ම සඳහා ජලය පැවැතීම මෙන්ම ජලයේ සුලබතාව වැනි කරුණු ඉතා වැදගත් විය. ජලය, ශිෂ්ටාචාරවල අවනතිය සඳහා ද බලපෑ මූලික සාධකයක්‌ බව සැලකේ. එහෙයින් ම සමස්‌ත මානව ශිෂ්ටාචාරයේ උන්නතිය සඳහා ජලය කෙතරම් වැදගත් වී ද යන්න පැහැදිලි ය.

ජලය ශිෂ්ටාචාරයකට කෙතරම් වැදගත් ද යන්න තේරුම්ගැනීමට අපට ඇති හොඳ ම උදාහරණය අපේ රටේ පැරැණි ශිෂ්ටාචාරයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳව කරුණු විමසීමයි. අපේ ශිෂ්ටාචාරය ගංගා ෙද්‍රdaණි හා වැව් ආශ්‍රිත ව කෙතරම් බැඳී පැවැති ශිෂ්ටාචාරයක්‌ වී ද යන්න මෙරට ඉතිහාසය හා පුරාවිද්‍යාව දත් අයට පමණක්‌ නො ව පැරැණි නටබුන් පිරුණු වියළි කලාපයේ ඇවිද යන ඕනෑ ම අයකුට පැහැදිලි වේ. එසේ ම අද පවා මෙරට ගොවිතැන පදනම් වූ කෘෂිකාර්මික සමාජයේ දී ජලය අතිශයින් වටිනා සම්පතක්‌ වේ. එය තේරුම්ගත හැක්‌කේ ජලය හිග කාලවකවානුවල දී මෙරට ජනතාව මුහුණ දෙන තත්ත්වය දැකීමෙන් පමණකි.

එහෙත් කාලයත් සමග ලෝකයේ වටිනාකම් වෙනස්‌ වී ඇත. අද අප අනුගනමය කරන්නේ එදා අපේ අතීත මුතුන්මිත්තන් අනුගමනය කළ සමාජ ආර්ථික රටාව නො වේ. මේ වන විට අප අනුගමනය කරන ආර්ථික රටාවට අනුව ලෝකයේ සියලු ස්‌වාභාවික සම්පත් වෙළෙඳ භාණ්‌ඩ බවට පත් වෙමින් තිබේ. ජලය ද එවැනි එක්‌ වෙළෙඳ භාණ්‌ඩයක්‌ ලෙස සැලකීමට උත්සාහ ගන්නා ආකාරය (commodification of water) ගැන කලක්‌ තිස්‌සේ ජගත් මට්‌ටමින් අසන්නට ලැබේ. එහෙත් ලෝකය පුරා ජනතාව ගේ හා සමාජ ක්‍රියාකාරීන් ගේ හඩ ඊට එරෙහි ව නැගී තිබේ. එහෙත් ජලය අද දක්‌වා ම සැලකෙන්නේ පොදු දේපොළක්‌ (public good) ලෙස ය.

ජලය මිනිසුන් ගේ ජීවිතවලින් වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවට වන නිදසුන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විටින් විට අපට අසන්නට ලැබේ. ජලය හා ජල මූලාශ්‍රය තම සංස්‌කෘතික උරුමය තුළ පූජනීය සේ ලෙස සලකන ජන කොටස්‌ ලෝකයේ විවිධ ප්‍රදේශවල වාසය කරති. එවැනි උත්සාහයක්‌ නිසා ලෝකයේ මුල් වරට ජල මූලාශ්‍රයක්‌ වන ගංගාවක්‌ වෙත නෛතික පුද්ගලභාවයක්‌ ලැබීම පසුගිය මාසයේ දී වාර්තා වූ සුවිශේෂ සිදුවීමකි.

නවසීලන්තය ලොවට දුන් ආදර්ශය


පසුගිය මාර්තු මස පහළොස්‌ වැනි දා නවසීලන්තයෙන් වාර්තා වූ පුවතකට අනුව එරට පිහිටා ඇති ප්‍රධාන ගංගාවක්‌ වන වන්ගානුයි (Whanganui) නම් ගංගාවට මිනිසකු හා සමාන නෛතික අයිතියක්‌ ඇති බවට වූ නීතියක්‌ පාර්ලිමේන්තු පනතක්‌ මගින් සම්මත කරගෙන ඇත. ඒ අනුව එය නෛතික පුද්ගලභාවයක්‌ (legal entity) සහිත ලෙසින් පිළිගනු ලැබිය යුතු නෛතික තත්ත්වය හිමි සේ තීරණය වී ඇත. මෙය ගංගාවකට පුද්ගලයකුට හා සමාන වූ නෛතික අයිතියක්‌ ලබා දුන් ලෝකයේ පළමු අවස්‌ථාව සේ සැලකේ.

මෙය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නවසීලන්තයේ උතුරු දූපතේ වාසය කරන මාඕරි ආදිවාසී ගෝත්‍රික වන්ගානුයි ඉවි නම් ජන කොටස්‌ විසින් ගෙන යන ලද අරගලයක ප්‍රතිඵලයකි. මාඕරි බසින් තේ අවා තුපුආ (Te awa tupua) යන නමින් ද හැඳින්වෙන මේ ගංගාව ආශ්‍රිත ප්‍රදේශය ඈත අතීතයේ පටන් ම මාඕරි ගෝත්‍රික ජනාවාස විශාල වශයෙන් ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශයකි. එය ඔවුන් ගේ සියලු කටයුතු සඳහා වැදගත් වූ අතර ගමනාගමනය සඳහා විශේෂයෙන් වැදගත් වී ඇත. ඔවුන් මේ ගංගාව ජීවත් වන භූදර්ශයක්‌ සේ මෙන්ම ඔවුන් ගේ ම සාමාජිකයකු සේ සලකා තිබේ.

කෙසේ වෙතත් නවසීලන්තය අද පාලනය කරන්නේ එරට මීට සියවස්‌ කිහිපයකට පෙර ජනාවාස කරගත් බටහිර ජාතිකයන් බැවින් මේ අයිතිය දිනාගැනීමේ සටන පහසු එකක්‌ වී නැත. ඔවුන් ගේ මේ ඉල්ලීම ඔවුන් වසර 160කට ආසන්න කාලයක්‌ තිස්‌සේ රජයෙන් සිදු කර ඇති බව සඳහන් වේ. ඒ එම ගංගාව ඔවුන් ගේ ආදිවාසියකු සේ සලකන ලෙස පවසමිනි. මෙය අදාළ ගෝත්‍රික ජන කොටස්‌ සමග පැවැති දීර්ඝතම සාකච්ඡාවක අවසානය වූ බව එරට රජයේ නියෝජිතයන් ද සඳහන් කර ඇත.

මේ අනුව යම් ආකාරයකින් අදාළ ගංගාවට හානියක්‌ සිදු කිරීම හෝ දූෂණය කිරීම හෝ නීතියට අනුව අදාළ ගෝත්‍රයේ සාමාජිකයකුට හානියක්‌ සිදු කිරීම හා සමාන වේ. ඉදිරියේ දී අදාළ ස්‌වදේශිකයන් අතරින් පත් කරනු ලබන භාරකාරයන් දෙදෙනකු ගංගාව සම්බන්ධ කටයුතු සඳහා පත් කිරීමට නියමිත වේ. ඉන් එක්‌ අයකු රජය විසින් නම් කෙරෙන අතර, අනෙක්‌ තැනැත්තා වන්ගානුයි ඉවි ජන කොටස විසින් තෝරාගනු ලැබීමට නියමිත ය.

ස්‌වාභාවික සම්පතකට නෛතික පුද්ගලභාවයක්‌ හිමි කර දීම හා සම්බන්ධ ව මෙවැනි සිදුවීමක්‌ එතරම් ගැටලුසහගත විය නොහැකි බව නවසීලන්තයේ ගිවිසුම් සම්බන්ධ අමාත්‍යවරයා පවසා ඇත. එය හුදෙක්‌ භාර හෝ පවුලේ සමාගම් හෝ සමිති ආදිය නෛතික පුද්ගලයකු සේ සලකනවා වැනි ය යන්න ඔහු මෙහි දී පෙන්වා දී තිබේ. මේ අනුව උක්‌ත තීරණය ඓතිහාසික වශයෙන් වැදගත් තීරණයක්‌ බව පෙනේ.

ඉන්දියානු ප්‍රාන්ත අධිකරණයක්‌ ගත් තීන්දුව


මේ තීරණය පිළිබඳව ප්‍රචාරයට පත් වී වැඩි දිනක්‌ යැමට පෙර එවැනි ම සිදුවීමක්‌ ඉන්දියාවෙන් ද වාර්තා විය. ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ අධිකරණයක්‌ පසුගිය මාර්තු මස 20 දින ලබා දුන් තීන්දුවකින් ප්‍රකාශ කළේ ගංගා නදිය හා එහි ප්‍රධාන අතු ගංගාව වන යමුනා නදියට මිනිසුන් හා සමාන ව නෛතික පුද්ගලභාවයක්‌ ඇති බවයි. මේ අනුව අදාළ ගංගා දෙක දූෂණය කිරීමට හෝ හානි කිරීමට කටයුතු කිරීම නීතිමය වශයෙන් මිනිසකුට හානි කිරීම හා සමාන වේ.

මෙම අධිකරණ තීන්දුව ලබා දීමේ දී අදාළ විනිසුරුවරුන් දෙපොළ ඉහත සඳහන් නවසීලන්ත ගංගාවේ සිදුවීම ගැන ද සඳහන් කර ඇති බව අනතර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබේ. එසේ ම ගංගා හා යමුනා නදී හා ඒවායේ අතු ගංගා, අයිතීන් කාර්යභාරයක්‌ හා වගකීම් ඇති නෛතික පුද්ගලයන් ලෙසත් සැලකිය යුතු බව මෙහි දී දක්‌වා තිබේ.

එසේ ම උක්‌ත අධිකරණය නියෝගයට අනුව ගංගා හා ඒවායේ අතු ගංගා ආරක්‌ෂා කිරීම හා සංරක්‌ෂණය කිරීම සඳහා වූ වගකීම හිමි නෛතික භාරකරුවක්‌ තිදෙනකු පත් කිරීමට ද නියම කර ඇත. (මෙසේ භාරකරුවන් පත් කර ඇත්තේ එම ගංගා නිසි වයස්‌ සම්පූර්ණ නො වූ ළමයින් සේ නීතිය ඉදිරියේ දී සැලකීම නිසා බව එක්‌ වාර්තාවක දැක්‌වේ). ඉදිරි මාස තුනක්‌ ඇතුළත මේ නදී පිරිසිදු කිරීම හා නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා වූ කළමනාකරණ මණ්‌ඩලයක්‌ පත් කිරීමට ද නියම කර තිබේ.

ඉන්දියාවේ මේ ගංගා දෙක මුහුණ දී ඇති ගැටලුව නවසීලන්තයේ සිදු වූ සිදුවීම හා සමානු නො වූ අතර එය බරපතළ ගැටලුවක්‌ වූ බව ලෝකයට රහසක්‌ නො වේ. හින්දු ආගමිකයන් විසින් පූජනීය සේ සලකනු ලබන මේ ගංගා දෙකේ ජල දූෂණය වර්තමාන ඉන්දියාවේ සාකච්ඡා වන බරපතළ ගැටලුවකි. ඊට කාර්මික ජල දූෂණය මෙන්ම ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය නිසා සිදු වන ජල දූෂණය ද ඇතුළත් වේ. ඒ තත්ත්වය විසඳීම සඳහා ඉන්දියාව විශාල මුදලක්‌ වියදම් කරයි. මේ ගංගා දෙකේ දූෂණය වැළැක්‌වීම සඳහා විවිධ පිරිස්‌ අධිකරණ ක්‍රියාමාර්ගයවලට එළැඹ ඇති අතර උක්‌ත තීන්දුව ලබා දී ඇත්තේ ද එවැනි නඩුවක දී ය. මෙවැනි සංකීර්ණ ගැටලුවක්‌ උක්‌ත තීන්දුව මගින් විසඳාගත හැකි ද යන්න කාලය තීරණය කරනු ඇත.

ස්‌වාභාවික සම්පත් නෛතික පුද්ගලයන් සේ සැලකීම


එක්‌ සතියක්‌ ඇතුළත ලෝකයට නව්‍ය ආකාරයක නෛතික පුද්ගලභාවයක්‌ සහිත තිදෙනකු එක්‌ ව ඇත. ඒ ස්‌වාභාවික සම්පත් ය. මේ තිදෙනා ම ගංගා වේ. එය ස්‌වාභාවික සම්පත් හා මිනිසා අතර සිදු වන අන්තර්ක්‍රියාවේ නව මානයක්‌ වේ ද යන්න අද අප හමුවේ ඇති පැනයයි.

නෛතික පුද්ගලභාවයක්‌ සහිත වශයෙන් පුද්ගලයකු ලෙස සලකනු ලැබීම යනු ගංගාවක්‌ සම්බන්ධව වැදගත් කරුණක්‌ බව සැබෑවකි. ස්‌වාභාවික සම්පතකට නෛතික හිsමිකමක්‌ ලැබීම වැදගත් සන්ධිස්‌ථානයකි. මේ අනුව අදාළ සම්පතට ද එහි අයිතිය හා පැවැත්ම රැකගැනීම සඳහා අධිකරණයට යා හැකි ය. එසේ ම ගිවිසුම් ඇති කරගැනීමට ද හැකි ය. එහෙත් ඒ සම්බන්ධව තීරණය කරනු ලබන්නේ ද, ඒවා ක්‍රියාත්මක කරනු ලබන්නේ ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නා වූ භාරකාරයන් විසිනි. එනම් මිනිසුන් විසිනි.

කෙසේ වෙතත් මේ පිළිබඳ කරුණු ගැඹුරින් සලකා බලන විට ගංගාවලට අදාළ වන්නේ කුමන ආකාරයේ නීති ද, කුමන ආකාරයක තත්ත්වයන් ද, ඇති වන සංවිධාන ව්‍යqහය ආදිය තවමත් පැහැදිලි නැත. එසේ ම ඕනෑ ම නෛතික කටයුත්තක්‌ සඳහා නීතිය පිළිබඳ විශේෂඥ දැනුම, ඒ සඳහා අවශ්‍ය මුදල් ආදිය අවශ්‍ය වේ. එසේ ම ගංගා වෙනුවෙන් අවසානයේ දී ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන බාහිර බලපෑම් ද නො සලකා හළ නොහැකි වනු ඇත. එබැවින් මෙහි දී ඇති වී තිබෙන්නේ අවසානයක්‌ නො ව, වඩා දීර්ඝ වූ නීතිමය ක්‍රියාවලියක ආරම්භයක්‌ පමණක්‌ විය හැකි බව මේ ගැන මූලික විශ්ලේෂණයක්‌ කරන Conversation.com වෙබ් අඩවියේ සටහනක්‌ තබන එරින් ඔ'ඩොනල් හා ජූලියා ටැල්බට්‌-ජෝන්ස්‌ ප්‍රකාශ කර තිබේ.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ නෛතික අයිතියක්‌ ලැබීම වැදගත් සිදුවීමක්‌ බව සත්‍යයක්‌ වුවත් එසේ ලැබෙන අයිතිය භාවිත කරනු ලබන ආකාරය මත එහි ඵලදායිත්වය රඳා පවත්නා බව ය.

http://www.vidusara.com/2017/04/05/feature1.html

No comments:

Post a Comment