Friday, April 21, 2017

කැළිකසළ ප්‍රශ්නයේ වගකීම පැවරෙන්නේ කාට ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.04.2017, පි. 5 (Vidusara)


http://www.vidusara.com/2017/04/19/feature2.html


කැලිකසළ ප්‍රශ්නය යළිත් කරළියට පැමිණ තිබේ. ඒ අප්‍රේල් 14 දින කොලොන්නාවේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කුණු කන්ද ආශ්‍රිත භූමියේ කොටසක්‌ නාය යැමෙන් ඇති වූ ඛේදවාචකයත් සමගිනි. මේ සටහන තබන ඉරිදා සවස්‌ වන විට එම අනතුර නිසා විසි පස්‌ දෙනකු පමණ මිය ගොස්‌ ඇති අතර නිවාස රැසක්‌ විනාශ වී තිබේ. මේ සිදුවීමත් සමග කැළිකසළ ගැටලුව විසඳීම සඳහා ගත හැකි හා ගත හැකි ව තිබූ ක්‍රියාමාර්ග ගැන නොයෙක්‌ අදහස්‌ විවිධ මාධ්‍ය ඔස්‌සේ පළ වනු දැකිය හැකි ය. මෙහි ලා සමාජ ජාල ඔස්‌සේ හුවමාරු වන අදහස්‌ අනුව පෙනෙන්නේ මේ ගැටලුව පිළිබඳව සාමාන්‍ය ජනතාව මෙන්ම යමක්‌ දන්නා පිරිස්‌ අතර ඇති දැනුවත්භාවයේ තරම ය.

විවෘත කසළ බැහැරලීමක ඇති වූ මෙවැනි පළමු අනතුර කොලොන්නාව නො වේ. මෙවැනි ම කුණු කන්දක්‌ වන බ්ලූමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිත ව 2009 මාර්තු මාසයේ දී ගිනිගැනීමක්‌ හා කඩා වැටීමක්‌ නිසා ආසන්නයේ පිහිටා තිබූ පැල්පත් නිවාස ගණනාවකට හානි සිදු විය. ඒ අවස්‌ථාවේ දී ජීවිත හානි සිදු නො වූයේ නිවැසියන් ඒ අවස්‌ථාවේ නිවාසවලින් බැහැර ව සිටි නිසා බව කියෑවේ. කොළඹ තරම් කුණු එකතු නො වන බදුල්ලේ කසළ එකතු කරන ස්‌ථානයක්‌ ගිනිගැනීමෙන් ගැටලුවක්‌ ඇති වූයේ මීට මාස කිහිපයකට ඉහත දී ය. එහෙත් කොලොන්නාවේ කුණු කන්දේ නාය යැම මෙතෙක්‌ එවැන්නක්‌ ආශ්‍රිත ව සිදු වූ විශාලතම අනතුර වේ.

වසර ගණනක්‌ තිස්‌සේ කැළිකසළ හෙවත් ඝන අපද්‍රව්‍ය ගැටලුව සඳහා විවිධ විසඳුම් ඉදිරිපත් වූ ආකාරය මෙරට සිදු වන කටයුතු පිළිබඳව අවදියෙන් සිටි ඕනෑ ම අයකු දැක ඇති බවට සැකයක්‌ නැත. ඒ අතර කසළ අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම හා කිසිත් කළ නොහැකි සෙසු අපද්‍රව්‍ය බැහැර ලීම සඳහා සනීපාරක්‌ෂක බිම් පිරවුම් සඳහා වූ යෝජනාව වැනි ක්‍රියාමාර්ග විය. අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ නෛතික වගකීම ඇත්තේ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභ යන පළාත් පාලන ආයතනවලට ය. එහෙත් ඊට සහාය වීම සඳහා පළාත් සභා මෙන්ම මධ්‍යම රජය මගින් ද ගත් විවිධ ක්‍රියාමාර්ග ගණනාවක්‌ ම අපි දැක ඇත්තෙමු. ඒ අතර විවිධ ව්‍යාපෘති ද වේ. එහෙත් ඒ කිසිවකින් මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක්‌ මේ දක්‌වා ලැබී නොමැති බව මේ ආකාරයෙන් විවෘත කසළ කඳු ගොඩගැසීමෙන් හා ඇති වූ ඛේදවාචකයෙන් මනාව පැහැදිලි වේ.

අතීතයේ සිට අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. අතීතයේ දී සිදු කළ කසළ පිළිස්‌සීම මේ වන විට සිදු නො කෙරෙන තරම් ය. නාගරික ඝන අපද්‍රව්‍යවල ඇති අධික තෙත් සහිත බව නිසා එය එතරම් ප්‍රායෝගික නො වේ. එසේ ම කසළ යොදාගනිමින් කොම්පෝස්‌ට්‌ පොහොර නිපදවීම ඇතැම් පළාත් පාලන ආයතන මගින් සාර්ථකව සිදු කරනු ලබයි. එහෙත් ඇතැම් ස්‌ථානවල දී එය දිගුකාලීනව ක්‍රියාත්මක වී නැත. ඒ පිළිබඳ වාර්තා වන අත්දැකීම් අනුව පෙනෙන්නේ අඛණ්‌ඩව ක්‍රියාත්මක කිරීම, අවශ්‍යතාව හා දේශපාලන සහයෝගය මත රඳා පවත්නා බව ය. එසේ ම විශාල ලෙස අපද්‍රව්‍ය එකතු වන කොළඹ වැනි ප්‍රදේශයක දී කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය මහා පරිමාණයෙන් කළ යුත්තකි. එවැන්නක්‌ සඳහා ප්‍රමාණවත් උත්සාහයක්‌ සිදු වී නොමැත. අපද්‍රව්‍ය අතර ඇති ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන් කර ඒ සඳහා යොමු කිරීම පිළිබඳව වැඩි උනන්දුවක්‌ මේ වන විට ඇති වී තිබේ. එහෙත් එය ප්‍රමාණවත් නොමැත.

අපද්‍රව්‍ය ප්‍රමාණය වර්ධනය සඳහා හේතු


නාගරීකකරණය, ජනගහන වර්ධනය, කාර්මිකකරණය හා ඒක පුද්ගල ආදායමේ වර්ධනය යන කරුණු රටක කසළ ජනනය ඉහළ යැම සඳහා බලපාන සාධක අතර වේ. අපේ රටේ ඝන අපද්‍රව්‍ය ගැටලුව වඩාත් බරපතළ ව දැකිය හැක්‌කේ නාගරික ප්‍රදේශවල ය. කොළඹ පමණක්‌ නො ව රටේ සියලු නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය ජනනය මේ සඳහා නිදසුන් ය. ග්‍රාමීය ප්‍රදේශවල ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය සාපේක්‌ෂව අඩු ය. එසේ ම ජනගහනය වර්ධනය වීමත් සමග නිෂ්පාදනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ද ඉහළ යමින් තිබේ. රටේ කාර්මිකකරණය ද මේ තත්ත්වයට බලපා ඇත. ජනතාව ගේ ඒක පුද්ගල ආදායම් වර්ධනය සමග අපද්‍රව්‍ය ජනනය වන ප්‍රමාණය ඉහළ යන බව ද පෙන්වා දී තිබේ. 2003 වර්ෂයේ පළ වූ අධ්‍යයනයකට අනුව ශ්‍රී ලාංකිකයකු විසින් එක්‌ දිනකට ජනනය කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 0.62කි. මෙසේ ජනනය වන අපද්‍රව්‍ය අතරින් සියල්ල ම පළාත් පාලන ආයතනවලින් ගෙන යැම සඳහා බැහැර කරනු නො ලැබේ. 2008 වර්ෂයේ දී පළ වූ වාර්තාවකට අනුව මෙරට පළාත්පාලන ආයතන මගින් එක්‌ දිනකට එකතු කරනු ලබන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 2,838ක්‌ පමණ වේ. ඉන් 59%ක්‌ පමණ එකතු වන්නේ බස්‌නාහිර පළාත ඇතුළත වන අතර, කොළඹ දිස්‌ත්‍රික්‌කය ඉන් 44%කට දායක වේ.

කෙසේ වෙතත් මේ සියල්ලට ම පදනම් වන්නේ අද අප අනුගමනය කරන ජීවන රටාව ය. එය අප නිපදවන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යැමට බලපා ඇත. බටහිර ශෛලියේ පරිභෝජනවාදී ජීවන රටාව නිසා ආහාර ඇතුළු වෙනත් ද්‍රව්‍ය අවශ්‍ය තරමටත් වඩා වැඩියෙන් පරිභෝජනය කිරීමට පෙලැඹීම එයට හේතුවයි. මෙය අතීතයේ අපේ පැවැති සරල හා අල්පේච්ඡ දිවිපෙවෙතට වෙනස්‌ ය. එහෙත් වර්තමාන සමාජ රටාව තුළ මේ ජීවන රටාවෙන් මිදීමට හැකි බවක්‌ නො පෙනේ. මේ පිළිබඳව ආකල්පමය වෙනසක්‌ ඇති කිරීමට විවිධ පිරිස්‌ හා ආයතන ගත් උත්සාහය මේ දක්‌වා සාර්ථක වී ඇති බවක්‌ නො පෙනේ. එසේ නම්, කළ යුත්තේ මේ පවත්නා තත්ත්වයට විසඳුම් සෙවීම ය.

මේ හා සමාන තත්ත්ව වෙනත් දියුණු වන රටවල ද දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස සමාජවාදී රටක්‌ ලෙස සැලකෙන චීනයේ අපද්‍රව්‍ය ජනනය වීම අධික වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒ සඳහා බලපා ඇත්තේ වේගවත් කාර්මිකකරණයක්‌ හා නාගරිකකරණයක්‌ සිදුවීම ය. 2000 දශකය මුල දී චීනය ලෝකයේ වැඩි ම නාගරික ඝන අපද්‍රව්‍ය ජනනය කරන රට බවට පත් වූයේ ඇමෙරිකාව පසු කරමිනි. මේ වන විට ලෝකයේ කසළ ජනනය වැඩී වීමේ ඉහළ ම වේගය වාර්තා කර ඇත්තේ ද චීනය බව ලෝක බැංකු වාර්තාවක සඳහන් වේ.

එහෙයින් කසළ පිළිබඳ ගැටලු ආමන්ත්‍රණය කිරීමේ දී ඒ පිළිබඳ ගත හැකි තනි පියවරක්‌ නො ව ගත හැකි පියවර ගණනාවක්‌ ඇති බව තතු දන්නවුන් ගේ මතයයි. එය අපද්‍රව්‍ය මූලාශ්‍රයේ දී හෙවත් අපද්‍රව්‍ය ජනනය වීමේ සිට ම ගත හැකි ක්‍රියාමාර්ගවලින් යුක්‌ත ය. අපද්‍රව්‍ය ජනනය වන ප්‍රමාණය අවම කළ හැකි නම් එය පළමුව වැදගත් ය. දෙවනුව වැදගත් වන්නේ ප්‍රතිචක්‍රිකරණය හා කොම්පෝස්‌ට්‌ නිපදවීම සඳහා යොමු කිරීමයි. තුන්වැනි ව වැදගත් වන්නේ කිසිත් කළ නොහැකි කසළ නිසි ලෙස බැහැර ලීම ය. ඒ පිළිබඳව විමසීමේ දී පෙනෙන්නේ අපද්‍රව්‍ය පිළිබඳ වගකීම කසළ ජනනය කරන ජනතාව වෙත මෙන්ම කසළ බැහැර කිරීමේ යෙදී සිටින ආයතන හා රජය වෙත ද පැවරෙන බවයි.

පුද්ගල වගකීමෙන් මිදිය නොහැකි ය


කසළ කඳු ලෙස ගොඩගැසුණ ද ඒවා අතරින් වැඩි ප්‍රමාණයක්‌ ජනනය වන්නේ ගෘහාශ්‍රිත ව ය. වාණිජ හා කාර්මික අංශයෙන් ජනනය වන කසළ ප්‍රමාණය ද ඉහළ ය. ගෘහස්‌ථ මට්‌ටමින් කසළ ජනනය වීම පාලනය සඳහා ගත හැකි පියවර ගණනාවක්‌ වේ. 3R සංකල්පය (Reduce, Reuse, Recycle) මෙහි වැදගත් බව කලක්‌ තිස්‌සේ පුන පුනා පවසා තිබේ. ඉන් පළමුවැන්න විවිධ ද්‍රව්‍ය භාවිතය අවම කිරීමයි. දෙවැන්න ප්‍රතිභාවිතයයි. එමගින් අපද්‍රව්‍ය ලෙස ජනනය වන ප්‍රමාණය අඩු කළ හැකි ය. තෙවැන්න එසේ භාවිත කළ ද්‍රව්‍ය හැකිතාක්‌ ප්‍රතිචක්‍රිකරණය කිරීමයි. මේ සඳහා යොදාගත හැකි අපද්‍රව්‍ය වන ද්‍රව්‍ය අතර ඇති පොලිතින්, ප්ලාස්‌ටික්‌, වීදුරු යනාදී ද්‍රව්‍ය වේ. කෙසේ වෙතත් ඉහත සඳහන් සංකල්ප භාවිතය ප්‍රමාණවත් තරම් වර්ධනය වී තිබේ ද? අප එවැනි දේ භාවිතය අවම කිරීමට හා නැවත භාවිතය සඳහා යොමු වී තිබේ ද? ප්‍රතිචක්‍රිකරණය කළ හැකි දේ අතරින් කොපමණ ප්‍රතිශතයක්‌ අප ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු කරන්නේ ද? මේ අප හමුවේ ඇති ගැටලු ය. 90% ඉක්‌මවූ සාක්‌ෂරතාවක්‌ ඇති රටක්‌ ලෙස අපට ඉහත පියවර සඳහා යොමු ව ඇති ප්‍රමාණය ගැන සතුටු විය හැකි ද? ඒ සඳහා විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති දියත් වී ඇතත් ජනතාවට පහසු හා නිසි ක්‍රමවේදයක්‌ ගොඩනැගී තිබේ ද? අනෙක්‌ අතට කසළ ප්‍රවාහයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අතරින් වැඩි වශයෙන් ඇති දිරාපත් වන අපද්‍රව්‍ය ප්‍රමාණය (මේ ප්‍රමාණය ප්‍රදේශය අනුව විවිධ විය හැකි බව අධ්‍යයන අනුව පෙනේ. එහෙත් එය 50%කට වඩා අධික ය.) අවම කිරීම සඳහා හේතු වන කොම්පෝස්‌ට්‌ නිපදවීම ප්‍රවර්ධනය ගැන බොහෝ දැනුවත් කිරීම් සිදු කර ඇත. එහෙත් ගෘහාශ්‍රිත ව එය සිදු වන ප්‍රමාණය ගැන අපට සතුටු විය හැකි ද? එහෙත් මේ ක්‍රියාමාර්ගය අනුගමනය කර දිරාපත් වන කසළ ප්‍රයෝජනවත් කාර්යයක්‌ සඳහා යොදාගනු ලබන්නේ කොපමණ පිරිසක්‌ විසින් ද යන්න විමසිය යුතු කරුණකි. ඉහත කරුණු සඳහා සැම පුද්ගලයකුට ම හා පවුලකට ම වගකීමක්‌ ඇත. එය ඉටු කළ හැකි හා ඉටු කළ යුතු වගකීමක්‌ වන අතර ඒ සඳහා අපේ දායකත්වය ඉහළ නැංවිය යුතු බව පැහැදිලි ය. එසේ ම මේ කටයුතු මගින් අපද්‍රව්‍ය ජනනය අඩු කළ හැකි බැවින් බැහැර ලිය යුතු අපද්‍රව්‍ය ප්‍රමාණය ද අඩු වන බව පැහැදිලි ය.

මේ පිළිබඳව තවත් වැදගත් කරුණක්‌ වන්නේ පරිශ්‍රවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ඒවා ජනනය වන ස්‌ථානයේ දී හෙවත් නිවෙස්‌ හා වාණිජ පරිශ්‍රවල දී ම වර්ග කිරීම ය. මේ වගකීම ඇත්තේ ද ජනතාවට ය. කලක්‌ තිස්‌සේ බොහෝ දෙනා පුරුදු ව සිටියේ සියලු කසළ එක්‌ බඳුනක බහා කසළ එකතු කරන රථය වෙත ලබා දීමට ය. එහෙත් මේ වන විට බොහෝ පළාත් පාලන ආයතනවල ඒ සඳහා විශේෂිත රථ යොදවා වෙන් කරන ලද කසළ ගෙන යැම සිදු කරනු ලැබේ. ඒ සඳහා පෙලඹවීමක්‌ ලෙස වර්ග නො කළ කසළ එකතු කරනු නො ලබන බවට මේ ආයතනවලින් මාස කිහිපයකට ඉහත දී දැනුම් දී ඇත. ඒවා අතර ඇති ප්‍රතිචක්‍රිකරණය කළ හැකි කඩදාසි, වීදුරු, පොලිතින් හා ප්ලාස්‌ටික්‌ ආදිය ඒ සඳහා යොමු කරනු ඇතැයි අපි සිතමු. අප එසේ සටහන් කළේ එය නිසි ලෙස සිදු නො වන බව මේ වැඩපිළිවෙළ හඳුන්වා දුන් මුල් කාලයේ මාධ්‍යවල වාර්තා වූ නිසා ය.

සනීපාරක්‌ෂක බිම් පිරවුමක අවශ්‍යතාව


මෙසේ බැහැර කරනු ලබන කසළ සම්බන්ධ වගකීම පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලට ය. කොම්පෝස්‌ට්‌ කළ හැකි හා ප්‍රතිචක්‍රිකරණය කළ හැකි මෙන්ම නැවත භාවිත කළ හැකි කසළ ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන කසළ බැහැර ලීම සඳහා කිසියම් වූ බිම් පිරවුමක්‌ අවශ්‍ය වේ. එහෙත් මේ දක්‌වා අපේ රටේ සිදු කරන්නේ විවෘත බැහැරලීම් (open dump) බව පෙනේ. මේ විවෘත බිම් පිරවුම් පසුපස ඇති දේශපාලනය හා විවිධ අයථා ගනුදෙනු ප්‍රසිද්ධ රහසකි. එහෙත් නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක්‌ සඳහා අවශ්‍ය වන්නේ සනීපාරක්‌ෂක බිම් පිරවුමකි (sanitary landfill).

සනීපාරක්‌ෂක බිම් පිරවුමක්‌ සම්බන්ධ යෝජනාව කලක පටන්ම ඇති එකකි. 1990 දශකයේ දී යෝජනා වූ මීපේ මෙන්ම වඩාත් මෑත දී පුත්තලමේ අරුවක්‌කාලු වැනි ස්‌ථාන කිහිපයක්‌ ම ඒ සඳහා යෝජනා වූ අතර විවිධ හේතු නිසා ඒවා යටපත් විය. කෙසේ වෙතත් කුඩා පරිමාණයේ එවැනි බිම් පිරවුම් කිහිපයක්‌ රටේ ක්‍රියාත්මක වේ. දොම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන්නේ එවැනි නියමු ව්‍යාපෘතියකි. එසේ ම කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශ වැනි විශාල ලෙස අපද්‍රව්‍ය එකතු වන ප්‍රදේශවල ජනනය වන කිසිත් කළ නොහැකි අපද්‍රව්‍ය සඳහා යෝග්‍ය ස්‌ථානයක විශාල පරිමාණයේ බිම් පිරවුමක්‌ පිහිටුවීම කඩිනමින් කළ යුත්තක්‌ වේ. ඒ සඳහා වැය වන පිරිවැය හා අවශ්‍ය සංවිධානය සඳහා මධ්‍යම රජයේ හා පළාත් පාලන ආයතනවල මැදිහත් වීම වැදගත් වේ.

එහෙත් සනීපාරක්‌ෂක බිම් පිරවුමක්‌ ස්‌ථාපිත කිරීම සිදු කළ යුත්තේ ඒ නිසා ඇති විය හැකි පාරිසරික බලපෑම පිළිබඳව නිසි සැලකිල්ල යොමු කිරීමෙන් අනතුරු ව ය. මෙය මනා අධ්‍යයනයකින් පසුව කළ යුත්තකි. එසේ ම ඒ සඳහා විද්‍යාත්මක සාධක යොදාගත යුතු ය. එසේ ම සියලු පාර්ශ්වකරුවන් ගේ සහභාගිත්වය ද මෙහි දී අවශ්‍ය ය. ඒ සඳහා පමා වීමෙන් සිදු වන්නේ මීතොටමුල්ල වෙනුවට වෙනත් තැනක විවෘත කසළ බැහැර ලීමක්‌ හෙවත් කුණු කන්දක්‌ ඇති වීම පමණක්‌ වනු ඇත.

http://www.vidusara.com/2017/04/19/feature2.html

Friday, April 14, 2017

අනාගත ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම හා උෂ්ණත්වය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 12.04.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/04/12/feature3.html




ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සඳහා මූලික හේතුව මිනිසුන් විසින් විමෝචනය කරනු ලබන හරිතාගාර වායු විමෝචන බවට මේ වන විට ඉතා පුළුල් පිළිගැනීමක්‌ ඇත. ඒ පිළිබඳව විද්‍යාඥයන් අතරින් අතිශය බහුතරයක්‌ තුළ කිසිදු සැකයක්‌ නොමැති තරම් ය. වර්තමානයේ පවත්නා තත්ත්වය යටතේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම කෙතරම් වේ ද යන්න ගැන ද බොහෝ දුරට පැහැදිලි අදහසක්‌ පවතී. ඒ අනුව පවත්නා අධ්‍යයන අනුව මේ සියවස අවසන් වන විට සෙල්සියස්‌ අංශක 1.5ත් 4.8ත් අතර ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ යා හැකි බව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලයේ (IPCC) පස්‌වැනි ඇගැයීම් වාර්තාවේ සඳහන් විය. මේ පරාසයේ කුමන මට්‌ටමක්‌ ඇති වේ ද යන්න තීරණය වන්නේ ලෝකය කටයුතු කරන ආකාරය අනුව වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ තරම කොපමණ ප්‍රමාණයක්‌ වනු ඇති ද යන්න මත ය. නිදසුනක්‌ ලෙස ගත හොත් උෂ්ණත්වය අංශක 4.8ක්‌ දක්‌වා ඉහළ යනු ඇත්තේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම මිලියනයකට කොටස්‌ 1,000ක සීමාව ඉක්‌මවා ගිය තත්ත්වයක දී ය. (වර්තමානයේ දී ඒ ප්‍රමාණය කොටස්‌ 400 ඉක්‌මවා තිබේ).

එසේ ම, මේ වන විට දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ජගත් මට්‌ටමින් සම්මත කරගෙන ඇති පැරිස්‌ දේශගුණ ගිවිසුම යටතේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ පවත්වාගැනීමට අදහස්‌ කෙරේ. එසේ ම අවස්‌ථාවක්‌ තිබේ නම් උෂ්ණත්වය ඉහළ යැම අංශක 1.5ක සීමාවේ පවත්වා ගැනීමට ද උත්සාහ ගැනීම සඳහා ද එකඟ වී ඇත්තේ එම අගයයන් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම් වැළැක්‌වීම සඳහා හේතු වන බවට විද්‍යාඥයන් අතර පිළිගැනීමක්‌ ඇති බැවිනි. කෙසේ වෙතත් මේ තත්ත්වය අපට අපේක්‌ෂා කළ හැක්‌කේ ලෝකය අපේක්‌ෂා කරන අන්දමින් ලෝකයේ කටයුතු සුබවාදී ලෙස සිදු වුව හොත් පමණකි.

එසේ නො වුව හොත් විය හැක්‌කේ කුමන ආකාරයේ දෙයක්‌ ද යන්න තරමක්‌ ගැටලු සහිත කරුණකි. එවැනි තත්ත්ව ගැන සිදු කරනු ලබන අධ්‍යයන ද කලින් කල වාර්තා වේ. පසුගිය දා ප්‍රකාශයට පත් වූ එක්‌ අධ්‍යයනයකට අනුව, දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා ලෝකය සැලකිය යුතු පියවරක්‌ නො ගත හොත්, වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය හා උෂ්ණත්ව වර්ධනය මෙතෙක්‌ සිතුවාට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බව පෙන්වා දී තිබේ. ඒ අනුව අදින් වසර මිලියන 200කට පෙර පැවැති ට්‍රයාසික යුගයෙන් පසුව පැවැති ඉහළ ම කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණයට අදින් වසර 100-200 අතර කාලයේ දී ළගා විය හැකි ය. එසේ ම 23 වැනි සියවසේ දී ඇති විය හැකි දේශගුණ තත්ත්වය හමුවේ ඇති වන උෂ්ණත්වය හා සමාන තත්ත්වයක්‌ ගත වූ වසර මිලියන 420ක කාලය තුළ දැකිය නොහැකි තරම් ය. එහෙත් එසේ වන්නේ මිනිසුන් මේ වන විට ඇති සියලු ෆොසිල ඉන්ධන දහනය කළ හොත් ය.

පැරැණි වායුගෝලීය කාබන් සාන්ද්‍රණය ගැන අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය අපූරු අධ්‍යයනයකි. එහි දී පර්යේෂකයන් අතීතයේ වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පිළිබඳව ගණනය කිරීම් 1,241ක්‌ පමණ ප්‍රමාණයක්‌ යොදාගනිමින් වසර මිලියන 420ක්‌ පමණ විශාල කාල පරාසයක්‌ සඳහා කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පිළිබඳ අඛණ්‌ඩ වාර්තාවක්‌ සකස්‌ කර ඇත. ඒ සඳහා ඔවුන් නව පර්යේෂණ සිදු කර නොමැති අතර මේ දක්‌වා ප්‍රකාශිත අධ්‍යයන 112ක්‌ පමණ ප්‍රමාණයකින් අනාවරණය කරගෙන ඇති දත්ත යොදාගෙන තිබේ. සමස්‌තයක්‌ ලෙස ගත වූ වසර මිලියන 420ක පමණ කාලය මේ දත්ත මගින් ආවරණය වී තිබේ.

අතීතයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය මෙතරම් යෑයි දැන් Rජු ව මැනීම කළ නොහැකි ය. ඒ නිසා යොදාගනු ලැබෙන්නේ ඒ සඳහා වූ වක්‍ර සාධක (proxy) ක්‍රමවේදයකි. ඒ පාෂාණීභූත වී ඇති ශාක සත්ත්ව ෆොසිල ආශ්‍රයෙන් ලබාගන්නා දත්ත යොදාගැනීමකි. ෆොසිලගත ශාක, ෆොසිල බවට පත් වූ බෙල්ලන්, පසේ හා සාගරයේ කාබන් සමස්‌ථානික සංයුතිය වැනි දත්ත මෙවැනි සාධක අතර වේ. ඒවා ආශ්‍රයෙන් අතීතයේ සිට මේ දක්‌වා වූ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ගණන් බැලීමට හැකියාවක්‌ ලැබී ඇත. මෙයින් අනාවරණය වන වැදගත් කරුණක්‌ වන්නේ වසර මිලියන ගණනක්‌ වන මේ කාලසීමාවේ දී කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ස්‌වාභාවිකව විචල්‍ය වූ බවයි. සිසිල් තත්ත්ව පැවැති 'හිමාගාර' (icehouse) කාලවකවානුවල දී වායුගෝලයේ මේ වායු සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 200-400 අතර වූ බව දැක්‌වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, කාබොනිෙµරස්‌ යුගයේ (වසර මිලියන 300කට පෙර) හා පශ්චාත් ක්‍රීටේසීය යුගයේ දී (වසර මිලියන 80කට පෙර) පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පූර්ව කාර්මික අවධියේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය තරම් අඩු මට්‌ටමකට ආසන්න විය. උණුසුම් 'හරිතාගාර' (greenhouse) කාලවකවානුවල දී ඇතැම් විට මිලියනයකට කොටස්‌ 3,000 තරම් වූ අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ දක්‌වා කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය වෙනස්‌ වී තිබේ. ඩෙවෝනියන් යුගයේ (වසර මිලියන 400කට පෙර) හා ට්‍රයාසික යුගයේ දී (වසර මිලියන 220-200කට පෙර) පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 2,000ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. වසර මිලියන 215ක්‌ පමණ පෙර එක්‌ අවස්‌ථාවන මිලියනයකට කොටස්‌ 3,700ක්‌ පමණ ඉහළ මට්‌ටමකට ඉහළ ගිය අවස්‌ථාවක්‌ වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, වසර මිලියන ගණනක්‌ ඈත අතීතයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය අධික තත්ත්වයක්‌ තිබූ අවස්‌ථාවල දී වුව ද ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගියේ අඩුවෙනි. වෙනත් තාරකා මෙන්ම සූර්යයා දීප්තිමත් වී ඇත්තේ ක්‍රමයෙන් බව පෙන්වා දී තිබේ. ඒ නිසා කාබන් ඩයොක්‌සයිඩ් වායුවේ හා සූර්යාලෝකයේ ශුද්ධ තාප බලපෑම ඈත අතීතයේ දී වඩා අඩු විය. මේ තත්ත්වය හේතුවෙන් පෘථිවියේ ජීවයේ පැවැත්ම සඳහා යෝග්‍ය වූ තත්ත්වයක්‌ පැවතී තිබේ. සූර්යයා ගේ ප්‍රතිදානය ඉහළ යද්දී දිගුකාලීනව දේශගුණයේ උණුසුම් වීමක්‌ ඇති නො වූයේ මේ නිසා බව දක්‌වා ඇත. ශුද්ධ දේශගුණ බලපෑම (net climate forcing) ඇති වූ වෙනස්‌ වීම බෙහෙවින් අඩු වීම නිසා ලෝකයේ දේශගුණය සාපේක්‌ෂව ස්‌ථාවර ව පැවතී ඇති අතර, එය ජීවයේ පැවැත්මට හිතකර වූ තත්ත්වයක්‌ ද වී තිබේ.

මේ පර්යේෂකයන් පවසන පරිදි, සමස්‌තයක්‌ ලෙස ගත් විට පසුගිය වසර මිලියන 420ක කාලය ඇතුළත දිගුකාලීන කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය වසර මිලියනයකට කොටස්‌ 3.4ක්‌ පමණ ප්‍රමාණයක්‌ බැගින් අඩු වී තිබේ.

අනාගතය පිළිබඳ දැක්‌ම භයානකයි?


කෙසේ වෙතත් ලෝකය මේ වන විට පවතින්නේ සාපේක්‌ෂව සිසිල් සමයක වුවත් මේ වන විට දැකිය හැකි දේශගුණ වෙනස්‌ වීමේ වේගය ඉතා අසාමාන්‍ය වූවක්‌ වීම මෙහි දී අනාවරණය වූ තවත් වැදගත් කරුණකි. එබැවින් මේ පර්යේෂණය මගින් අනාගතය සම්බන්ධව ඇති කර ඇත්තේ එත්කරා ආකාරයක අනතුරු හැගවීමකි.

ඉහළ යන කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම පාලනය කිරීමට මිනිසුන් අසමත් වේ නම් හා මේ වන විට ඇති ෆොසිල ඉන්ධන සියල්ල දහනය කළ හොත්, වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය 2250 වර්ෂය වන විට මිලියනයකට කොටස්‌ 2,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා ඉහළ යා හැකි ය. ඒ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම ළගා විය හැකි උපරිම මට්‌ටම බව මේ අධ්‍යයනයේ සඳහන් වේ. මෙවැනි ඉහළ මට්‌ටමක පැවැති කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණයක්‌ අවසන් වරට දැකිය හැකි වූයේ අදින් වසර මිලියන 220-200 අතර කාලයකට ඉහත පැවැති ට්‍රයාසික යුගයේ දී ය.

එසේ ම අදින් වසර මිලියන 200කට පෙර සූර්යයා ගේ ආලෝකය මීට වඩා අඩු හෙවත් ඇඳිරි වූවක්‌ විය. එහෙයින් එදා පැවැති ශුද්ධ දේශගුණ බලපෑම ප්‍රමාණය අනාගතයේ එවැනි තත්ත්වයක දී අප අත්විඳින මට්‌ටමට වඩා අඩු විය. එහෙත් අද තත්ත්වය වෙනස්‌ ය. එබැවින් මෙවැනි තත්ත්වයක්‌ ඇති වුව හොත් 23 වැනි සියවස වන විට ලෝකයේ දේශගුණ තත්ත්වය අදින් වසර මිලියන 420කින් මෙපිට ඇති වී නොමැති තරම් වූ ඉහළ උෂ්ණත්වයක්‌ වෙත ළගා වීමේ අවදානමක්‌ ඇත. මෙය ලෝකයට සිදු කරන ලද එක්‌තරා අනතුරු හැගවීමකි. කෙසේ වෙතත් එවැන්නක්‌ සිදු වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන පාලනය සඳහා කිසිදු පියවරක්‌ නො ගෙන, ෆොසිල ඉන්ධන සියල්ල දහනය කර අවසන් වුව හොත් බව මේ පර්යේෂකයන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

මූලාශ්‍රය: Nature Communications, DOI: 10.1038/NCOMMS14845

http://www.vidusara.com/2017/04/12/feature3.html

Friday, April 7, 2017

ලෝකයේ මුල්වරට ගංගාවලටත් නෛතික පුද්ගලභාවයක්‌ ඇති බවට පිළිගැනීමක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.04.2017, පි. 5, (Vidusara)


http://www.vidusara.com/2017/04/05/feature1.html




ජලය හා ගංගා, ඇළ, දොළ ආදී විවිධ ජල මූලාශ්‍ර ඈත අතීතයේ පටන් මිනිසා ගේ ජීවිතය හා තදින් බැඳී පවත්නා ස්‌වාභාවික සම්පත් ය. ජලය මිනිසුන් ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් විය. මිනිසුන් කෘෂිකාර්මික දිවිපෙවෙතකට හුරු වීමේ දී ජලය ඔවුනට නැති ව බැරි සම්පතක්‌ විය. එසේම ශිෂ්ටාචාර සාර්ථක ලෙස ස්‌ථාපිත වීමේ දී ඒවායේ පැවැත්ම සඳහා ජලය පැවැතීම මෙන්ම ජලයේ සුලබතාව වැනි කරුණු ඉතා වැදගත් විය. ජලය, ශිෂ්ටාචාරවල අවනතිය සඳහා ද බලපෑ මූලික සාධකයක්‌ බව සැලකේ. එහෙයින් ම සමස්‌ත මානව ශිෂ්ටාචාරයේ උන්නතිය සඳහා ජලය කෙතරම් වැදගත් වී ද යන්න පැහැදිලි ය.

ජලය ශිෂ්ටාචාරයකට කෙතරම් වැදගත් ද යන්න තේරුම්ගැනීමට අපට ඇති හොඳ ම උදාහරණය අපේ රටේ පැරැණි ශිෂ්ටාචාරයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳව කරුණු විමසීමයි. අපේ ශිෂ්ටාචාරය ගංගා ෙද්‍රdaණි හා වැව් ආශ්‍රිත ව කෙතරම් බැඳී පැවැති ශිෂ්ටාචාරයක්‌ වී ද යන්න මෙරට ඉතිහාසය හා පුරාවිද්‍යාව දත් අයට පමණක්‌ නො ව පැරැණි නටබුන් පිරුණු වියළි කලාපයේ ඇවිද යන ඕනෑ ම අයකුට පැහැදිලි වේ. එසේ ම අද පවා මෙරට ගොවිතැන පදනම් වූ කෘෂිකාර්මික සමාජයේ දී ජලය අතිශයින් වටිනා සම්පතක්‌ වේ. එය තේරුම්ගත හැක්‌කේ ජලය හිග කාලවකවානුවල දී මෙරට ජනතාව මුහුණ දෙන තත්ත්වය දැකීමෙන් පමණකි.

එහෙත් කාලයත් සමග ලෝකයේ වටිනාකම් වෙනස්‌ වී ඇත. අද අප අනුගනමය කරන්නේ එදා අපේ අතීත මුතුන්මිත්තන් අනුගමනය කළ සමාජ ආර්ථික රටාව නො වේ. මේ වන විට අප අනුගමනය කරන ආර්ථික රටාවට අනුව ලෝකයේ සියලු ස්‌වාභාවික සම්පත් වෙළෙඳ භාණ්‌ඩ බවට පත් වෙමින් තිබේ. ජලය ද එවැනි එක්‌ වෙළෙඳ භාණ්‌ඩයක්‌ ලෙස සැලකීමට උත්සාහ ගන්නා ආකාරය (commodification of water) ගැන කලක්‌ තිස්‌සේ ජගත් මට්‌ටමින් අසන්නට ලැබේ. එහෙත් ලෝකය පුරා ජනතාව ගේ හා සමාජ ක්‍රියාකාරීන් ගේ හඩ ඊට එරෙහි ව නැගී තිබේ. එහෙත් ජලය අද දක්‌වා ම සැලකෙන්නේ පොදු දේපොළක්‌ (public good) ලෙස ය.

ජලය මිනිසුන් ගේ ජීවිතවලින් වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවට වන නිදසුන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විටින් විට අපට අසන්නට ලැබේ. ජලය හා ජල මූලාශ්‍රය තම සංස්‌කෘතික උරුමය තුළ පූජනීය සේ ලෙස සලකන ජන කොටස්‌ ලෝකයේ විවිධ ප්‍රදේශවල වාසය කරති. එවැනි උත්සාහයක්‌ නිසා ලෝකයේ මුල් වරට ජල මූලාශ්‍රයක්‌ වන ගංගාවක්‌ වෙත නෛතික පුද්ගලභාවයක්‌ ලැබීම පසුගිය මාසයේ දී වාර්තා වූ සුවිශේෂ සිදුවීමකි.

නවසීලන්තය ලොවට දුන් ආදර්ශය


පසුගිය මාර්තු මස පහළොස්‌ වැනි දා නවසීලන්තයෙන් වාර්තා වූ පුවතකට අනුව එරට පිහිටා ඇති ප්‍රධාන ගංගාවක්‌ වන වන්ගානුයි (Whanganui) නම් ගංගාවට මිනිසකු හා සමාන නෛතික අයිතියක්‌ ඇති බවට වූ නීතියක්‌ පාර්ලිමේන්තු පනතක්‌ මගින් සම්මත කරගෙන ඇත. ඒ අනුව එය නෛතික පුද්ගලභාවයක්‌ (legal entity) සහිත ලෙසින් පිළිගනු ලැබිය යුතු නෛතික තත්ත්වය හිමි සේ තීරණය වී ඇත. මෙය ගංගාවකට පුද්ගලයකුට හා සමාන වූ නෛතික අයිතියක්‌ ලබා දුන් ලෝකයේ පළමු අවස්‌ථාව සේ සැලකේ.

මෙය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නවසීලන්තයේ උතුරු දූපතේ වාසය කරන මාඕරි ආදිවාසී ගෝත්‍රික වන්ගානුයි ඉවි නම් ජන කොටස්‌ විසින් ගෙන යන ලද අරගලයක ප්‍රතිඵලයකි. මාඕරි බසින් තේ අවා තුපුආ (Te awa tupua) යන නමින් ද හැඳින්වෙන මේ ගංගාව ආශ්‍රිත ප්‍රදේශය ඈත අතීතයේ පටන් ම මාඕරි ගෝත්‍රික ජනාවාස විශාල වශයෙන් ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශයකි. එය ඔවුන් ගේ සියලු කටයුතු සඳහා වැදගත් වූ අතර ගමනාගමනය සඳහා විශේෂයෙන් වැදගත් වී ඇත. ඔවුන් මේ ගංගාව ජීවත් වන භූදර්ශයක්‌ සේ මෙන්ම ඔවුන් ගේ ම සාමාජිකයකු සේ සලකා තිබේ.

කෙසේ වෙතත් නවසීලන්තය අද පාලනය කරන්නේ එරට මීට සියවස්‌ කිහිපයකට පෙර ජනාවාස කරගත් බටහිර ජාතිකයන් බැවින් මේ අයිතිය දිනාගැනීමේ සටන පහසු එකක්‌ වී නැත. ඔවුන් ගේ මේ ඉල්ලීම ඔවුන් වසර 160කට ආසන්න කාලයක්‌ තිස්‌සේ රජයෙන් සිදු කර ඇති බව සඳහන් වේ. ඒ එම ගංගාව ඔවුන් ගේ ආදිවාසියකු සේ සලකන ලෙස පවසමිනි. මෙය අදාළ ගෝත්‍රික ජන කොටස්‌ සමග පැවැති දීර්ඝතම සාකච්ඡාවක අවසානය වූ බව එරට රජයේ නියෝජිතයන් ද සඳහන් කර ඇත.

මේ අනුව යම් ආකාරයකින් අදාළ ගංගාවට හානියක්‌ සිදු කිරීම හෝ දූෂණය කිරීම හෝ නීතියට අනුව අදාළ ගෝත්‍රයේ සාමාජිකයකුට හානියක්‌ සිදු කිරීම හා සමාන වේ. ඉදිරියේ දී අදාළ ස්‌වදේශිකයන් අතරින් පත් කරනු ලබන භාරකාරයන් දෙදෙනකු ගංගාව සම්බන්ධ කටයුතු සඳහා පත් කිරීමට නියමිත වේ. ඉන් එක්‌ අයකු රජය විසින් නම් කෙරෙන අතර, අනෙක්‌ තැනැත්තා වන්ගානුයි ඉවි ජන කොටස විසින් තෝරාගනු ලැබීමට නියමිත ය.

ස්‌වාභාවික සම්පතකට නෛතික පුද්ගලභාවයක්‌ හිමි කර දීම හා සම්බන්ධ ව මෙවැනි සිදුවීමක්‌ එතරම් ගැටලුසහගත විය නොහැකි බව නවසීලන්තයේ ගිවිසුම් සම්බන්ධ අමාත්‍යවරයා පවසා ඇත. එය හුදෙක්‌ භාර හෝ පවුලේ සමාගම් හෝ සමිති ආදිය නෛතික පුද්ගලයකු සේ සලකනවා වැනි ය යන්න ඔහු මෙහි දී පෙන්වා දී තිබේ. මේ අනුව උක්‌ත තීරණය ඓතිහාසික වශයෙන් වැදගත් තීරණයක්‌ බව පෙනේ.

ඉන්දියානු ප්‍රාන්ත අධිකරණයක්‌ ගත් තීන්දුව


මේ තීරණය පිළිබඳව ප්‍රචාරයට පත් වී වැඩි දිනක්‌ යැමට පෙර එවැනි ම සිදුවීමක්‌ ඉන්දියාවෙන් ද වාර්තා විය. ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ අධිකරණයක්‌ පසුගිය මාර්තු මස 20 දින ලබා දුන් තීන්දුවකින් ප්‍රකාශ කළේ ගංගා නදිය හා එහි ප්‍රධාන අතු ගංගාව වන යමුනා නදියට මිනිසුන් හා සමාන ව නෛතික පුද්ගලභාවයක්‌ ඇති බවයි. මේ අනුව අදාළ ගංගා දෙක දූෂණය කිරීමට හෝ හානි කිරීමට කටයුතු කිරීම නීතිමය වශයෙන් මිනිසකුට හානි කිරීම හා සමාන වේ.

මෙම අධිකරණ තීන්දුව ලබා දීමේ දී අදාළ විනිසුරුවරුන් දෙපොළ ඉහත සඳහන් නවසීලන්ත ගංගාවේ සිදුවීම ගැන ද සඳහන් කර ඇති බව අනතර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබේ. එසේ ම ගංගා හා යමුනා නදී හා ඒවායේ අතු ගංගා, අයිතීන් කාර්යභාරයක්‌ හා වගකීම් ඇති නෛතික පුද්ගලයන් ලෙසත් සැලකිය යුතු බව මෙහි දී දක්‌වා තිබේ.

එසේ ම උක්‌ත අධිකරණය නියෝගයට අනුව ගංගා හා ඒවායේ අතු ගංගා ආරක්‌ෂා කිරීම හා සංරක්‌ෂණය කිරීම සඳහා වූ වගකීම හිමි නෛතික භාරකරුවක්‌ තිදෙනකු පත් කිරීමට ද නියම කර ඇත. (මෙසේ භාරකරුවන් පත් කර ඇත්තේ එම ගංගා නිසි වයස්‌ සම්පූර්ණ නො වූ ළමයින් සේ නීතිය ඉදිරියේ දී සැලකීම නිසා බව එක්‌ වාර්තාවක දැක්‌වේ). ඉදිරි මාස තුනක්‌ ඇතුළත මේ නදී පිරිසිදු කිරීම හා නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා වූ කළමනාකරණ මණ්‌ඩලයක්‌ පත් කිරීමට ද නියම කර තිබේ.

ඉන්දියාවේ මේ ගංගා දෙක මුහුණ දී ඇති ගැටලුව නවසීලන්තයේ සිදු වූ සිදුවීම හා සමානු නො වූ අතර එය බරපතළ ගැටලුවක්‌ වූ බව ලෝකයට රහසක්‌ නො වේ. හින්දු ආගමිකයන් විසින් පූජනීය සේ සලකනු ලබන මේ ගංගා දෙකේ ජල දූෂණය වර්තමාන ඉන්දියාවේ සාකච්ඡා වන බරපතළ ගැටලුවකි. ඊට කාර්මික ජල දූෂණය මෙන්ම ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය නිසා සිදු වන ජල දූෂණය ද ඇතුළත් වේ. ඒ තත්ත්වය විසඳීම සඳහා ඉන්දියාව විශාල මුදලක්‌ වියදම් කරයි. මේ ගංගා දෙකේ දූෂණය වැළැක්‌වීම සඳහා විවිධ පිරිස්‌ අධිකරණ ක්‍රියාමාර්ගයවලට එළැඹ ඇති අතර උක්‌ත තීන්දුව ලබා දී ඇත්තේ ද එවැනි නඩුවක දී ය. මෙවැනි සංකීර්ණ ගැටලුවක්‌ උක්‌ත තීන්දුව මගින් විසඳාගත හැකි ද යන්න කාලය තීරණය කරනු ඇත.

ස්‌වාභාවික සම්පත් නෛතික පුද්ගලයන් සේ සැලකීම


එක්‌ සතියක්‌ ඇතුළත ලෝකයට නව්‍ය ආකාරයක නෛතික පුද්ගලභාවයක්‌ සහිත තිදෙනකු එක්‌ ව ඇත. ඒ ස්‌වාභාවික සම්පත් ය. මේ තිදෙනා ම ගංගා වේ. එය ස්‌වාභාවික සම්පත් හා මිනිසා අතර සිදු වන අන්තර්ක්‍රියාවේ නව මානයක්‌ වේ ද යන්න අද අප හමුවේ ඇති පැනයයි.

නෛතික පුද්ගලභාවයක්‌ සහිත වශයෙන් පුද්ගලයකු ලෙස සලකනු ලැබීම යනු ගංගාවක්‌ සම්බන්ධව වැදගත් කරුණක්‌ බව සැබෑවකි. ස්‌වාභාවික සම්පතකට නෛතික හිsමිකමක්‌ ලැබීම වැදගත් සන්ධිස්‌ථානයකි. මේ අනුව අදාළ සම්පතට ද එහි අයිතිය හා පැවැත්ම රැකගැනීම සඳහා අධිකරණයට යා හැකි ය. එසේ ම ගිවිසුම් ඇති කරගැනීමට ද හැකි ය. එහෙත් ඒ සම්බන්ධව තීරණය කරනු ලබන්නේ ද, ඒවා ක්‍රියාත්මක කරනු ලබන්නේ ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නා වූ භාරකාරයන් විසිනි. එනම් මිනිසුන් විසිනි.

කෙසේ වෙතත් මේ පිළිබඳ කරුණු ගැඹුරින් සලකා බලන විට ගංගාවලට අදාළ වන්නේ කුමන ආකාරයේ නීති ද, කුමන ආකාරයක තත්ත්වයන් ද, ඇති වන සංවිධාන ව්‍යqහය ආදිය තවමත් පැහැදිලි නැත. එසේ ම ඕනෑ ම නෛතික කටයුත්තක්‌ සඳහා නීතිය පිළිබඳ විශේෂඥ දැනුම, ඒ සඳහා අවශ්‍ය මුදල් ආදිය අවශ්‍ය වේ. එසේ ම ගංගා වෙනුවෙන් අවසානයේ දී ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන බාහිර බලපෑම් ද නො සලකා හළ නොහැකි වනු ඇත. එබැවින් මෙහි දී ඇති වී තිබෙන්නේ අවසානයක්‌ නො ව, වඩා දීර්ඝ වූ නීතිමය ක්‍රියාවලියක ආරම්භයක්‌ පමණක්‌ විය හැකි බව මේ ගැන මූලික විශ්ලේෂණයක්‌ කරන Conversation.com වෙබ් අඩවියේ සටහනක්‌ තබන එරින් ඔ'ඩොනල් හා ජූලියා ටැල්බට්‌-ජෝන්ස්‌ ප්‍රකාශ කර තිබේ.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ නෛතික අයිතියක්‌ ලැබීම වැදගත් සිදුවීමක්‌ බව සත්‍යයක්‌ වුවත් එසේ ලැබෙන අයිතිය භාවිත කරනු ලබන ආකාරය මත එහි ඵලදායිත්වය රඳා පවත්නා බව ය.

http://www.vidusara.com/2017/04/05/feature1.html

Sunday, April 2, 2017

නියැන්ඩර්තාල් මානවයාගේ ආහාරය හා හැසිරීම පිළිබඳ නව තොරතුරු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 22.03.2017, පි. 5 (Vidusara)

Vidusara: Not available online


නියැන්ඩර්තාල් මානවයන් යනු වඳවී ගිය ආදි මානවයන් අතරින් නූතන මානවයා හට වඩාත් සමීපතම වූ මානවයා සේ සැලකෙන මානවයාය. අප මේ වන විට දන්නා කරුණු අනුය නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයන් යුරේසියාව නමින් අද හඳුන්වනු ලබන ප‍්‍රදේශය ඇතුළත සමකාලීනව වාසය කළ අතර අතර, අන්තර් අභිජනනය කළ බවටද සාධක ඇත. නූතන මානවයාගේ ජෙනෝමයේ නියැන්ඩර්තාල් ජාන ඇති බව මේ වන විට අනාවරණය වී ඇති කරුණකි. හේතු කිහිපයක් නිසා නියැන්ඩර්තාල් මානවයින් වඳව ගියේ අදින් වසර 40,000කට පමණ පෙර බව සැලකේ.

කෙසේ වෙතත් මේ නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාරය කෙබඳු ආකාරයක් ගත්තේද යන්න ගැන තරමක් මතභේද පවතී. ඇතැම් අධ්‍යයනවලින් පෙන්වාදී ඇති පරිදි මේ ආදි මානවයින් අධික ලෙස මාංශභක්ෂක වූ ආහාර රටාවක් පෙන්නුම් කර ඇත. එහෙත් තවත් අධ්‍යයනවලින් අනාවරණය කර ඇති ආකාරයට ඔවුන්ගේ ආහාර රටාව මගින් පෙන්වාදී ඇත්තේ එය ඔවුන් ජීවත් වූ ප‍්‍රදේශයේ ආහාර සුලභතාවය මත රඳා පැවතුණු කරුණක් වූ බවයි. ඔවුන් ශාකමය ආහාර ගත් බවද අනාවරණය වී තිබේ.

මේ අතර පසුගියදා ප‍්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින් නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාරය පිළිබඳව හා ඔවුන් හා නූතන මිනිසුන් අතර තිබූ සම්බන්ධතා පිළිබඳව වැදගත් කරුණු රැුසක් පෙන්වාදී ඇත.

මේ අධ්‍යයනයේදී නියැන්ඩර්තාල් මානවයින්ගේ දත්වල ඝන වූ මැලියම් අතර තැන්පත්ව තිබූ ආහාර හා බැක්ටීරියා හඳුනාගැනීමක් සිදුකර තිබේ. දත්වල වීදුරුමස් හා දත අතර ප‍්‍රදේශයේ බැක්ටීරියා විශාල ප‍්‍රමාණයක් එ්කරාශීව සාදන ජෛව පටලයක් දත් මැලියම් (tooth plaque) නම් වන අතර, මෙය ඉවත් නොකළහොත් එය මත ඛනිජමය ද්‍රව්‍ය තැන්පත්වී කැල්කියුලස් (calculus) ලෙස හඳුන්වන ඝන ස්තරයක් බවට පත් වේ. අතීතයේ විසූ මානවයින්ගේ දත්වල මේ කැල්සනීභූත ස්තරයේ ඇති ද්‍රව්‍යවලින් DNA ලබාගැනීමට මේ කණ්ඩායමේ පර්යේෂකයන් අතරින් දෙදෙනකු මුලින්ම උත්සාහ කර ඇත්තේ මීට දශක දෙකකට පමණ පෙරදීය. එහෙත් එදා පැවති තාක්ෂණිය අනුව එම තැන්පතුවල තිබූ ක්ෂුද්‍රජීවීන් හෝ ආහාර හඳුනාගැනීම සඳහා ඔවුන්ට එදා හැකියාවක් ලැබුනේ නැත. කෙසේ වෙතත්, පැරණි DNA විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය දියුණු වීමත් සම`ග දත්වල මැලියම්වල ඇතුළත් ද්‍රව්‍යවල DNA විශ්ලේෂණය සඳහා අවස්ථාවක් ලැබී ඇත.

මෙහිදී අතීතයේ විසූ නියැන්ඩර්තාල් ආදි මානවයින් පස් දෙනෙකුගේ දන්ත මැලියම්වල අඩංගුද්‍රව්‍ය යොදාගනිමින් හා එ්වායේ ඇතුළත් ෘභ් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකින් මේ අධ්‍යයනය සමන්විත වේ. ඉන් නිදර්ශක දෙකක් ස්පාඤ්ඤයේ එල් සිඞ්රොන් නම් ගුහාවකින් හමු වූ අදින් වසර 50,000ක් පමණ පැරණි ඒවාය. තවත් දෙකක් බෙල්ජියමේ ස්පයි ගුහාවෙන් හමු වූ වසර 42,000ක් පමණ කාලයක් පැරණි මානව අවශේෂ වේ. අනෙක ඉතාලියේ බ්‍රෙයුඉල් ගුහාවෙන් හමු වූ නිදර්ශකයකි. එසේම මෙහිදී අනාවරණය වූ දත්ත සමඟ වනගතව විසූ චිම්පන්සින්ගේ හා නූතන මිනිසුන්ගේ දත්වල තිබූ ද්‍රව්‍යවල

DNA සමඟ සංසන්දනය කිරීමක්ද සිදුකර ඇත. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට ඓතිහාසික චිම්පන්සින් හා මානවයින් සමඟ මේ නියැන්ඩර්තාල් දන්ත නිදර්ශකවල ක්ෂුද්‍රජීවී ගහනයේ විවිධත්වය සංසන්දනය කිරීමෙන් මේ පර්යේෂකයන්ට පෙනීගොස් ඇති වැදගත් කරුණක් වී ඇත්තේ, නියැන්ඩර්තාල් මානවයින්ගේ දත්වල ක්ෂුද්‍රජීවී ගහනය (microbiota) වඩා සමීප වන්නේ ඓතිහාසික චිම්පන්සින්ගේ ක්ෂුද්‍රජීවී ගහනයට බවයි.

ආහාර භාවිතය පිළිබඳ අනාවරණ

මෙහිදී අනාවරණය වූ කරුණු අනුව බෙල්ජියමේ හා ස්පාඤ්ඤයේ ගුහා දෙකෙන් හමු වූ නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාර රටාව පිළිබඳ කැපී පෙනෙන වෙනස්කම් ඇති බව පෙනේ. එහිදී හෙළි වූ සාධකවලට අනුව, ස්පයි ගුහාවේ විසූ මානවයින් වූල් රයිනෝ (Ceratotherium simum) හා වල් බැලළුවන් (Ovis aries) වැනි මාංශභක්ෂක ආහාරවලට මුල්තැනක් දුන් බව පෙනී ගොස් ඇත. එසේම එහි තිබී හමු වූ සත්ත්ව අස්ථි ශේෂ අනුව වෙනත් සතුන්ද ආහාරයට ගත් බව පැහැදිලිය. නමුත් ස්පාඤ්ඤයේ විසූ නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳ කළ අධ්‍යයනයවලින් හෙළි වී ඇත්තේ ඔවුන් ප‍්‍රධන වශයෙව් ශාකමය ආහාරවේලක් ලබාගත් බවයි. මේ ස්ථාන දෙකේම විසූවන් හතු වර්ග ආහාරයට ගත් බව ප‍්‍රවේණික ද්‍රව්‍ය මගින් අනාවරණය වී තිබේ.
ස්පාඤ්ඤයේ එල් සිඞ්රොන් ගහාවෙන් ලැබුණු සාධක අනුව එම මානවයින් හතු වර්ග (Schizophyllum commune), කැළෑ පාසි වර්ග (Physcomitrella patens) හා පයින් ශාකයේ (Pinus koraiensis) ගෙඩි වැනි ද්‍රව්‍ය ආහාරයට ගෙන ඇති බව පෙනී ගොස් ඇත.

මේ අනුව නියැන්ඩර්තාල් මානවයින් තම ආහාරය සඳහා තමන් වාසය කළ ප‍්‍රදේශයේ දැකිය හැකි වූ ආහාර වර්ග මත පදනම් වූ බවට පැහැදිලි සාධක මෙම පර්යේෂණය මගින් ලැබී ඇති බව පැහැදිලිය. එනම් ඔවුන් අදාළ ප‍්‍රදේශවල ආහාර සුලභතාවය අනුව බහුවිධ යැපුම් උපායමාර්ග අනුගමනය කර ඇති බවද පැහැදිලිය. මේ බව තහවුරු කිරීම සඳහා වැඩිදුර ප‍්‍රවේශයක් අවශ්‍ය බව මේ පර්යේෂකයන් විසින් පෙන්වාදී තිබේ.
කෙසේ වෙතත් ආහාර පිළිබඳව මේ පර්යේෂණයෙන් අනාවරණය වූ කරුණුවල සත්‍යතාවය සම්බන්ධව ඇතැම් විiාඥයන් සැක මතුකර ඇති බව මේ පිළිබඳව ඉදිරිපත්ව ඇති අදහස් අනුව පෙනේ. එවැනි එක් අදහසකට අනුව අද වන විට වඳවී ගොස් ඇති එහෙත් අතීතටේ නියැන්ඩර්තාල් මානවයින් විසින් ආහාරයට ගත් ශාක හා සතුන්ගේ DNA දත්ත වර්තමාන විද්‍යාඥයන් සතුව ඇති ශාක හා සත්ත්ව හා ශාක DNA දත්ත සමුදායවල ඇතුළත් නොවිය හැකිය.

ඖෂධ භාවිතය පිළිබඳ සාධක

එල් සිඞ්රොන් ගුහාවේ එක් මානවයකුගේ දත්වල තිබී පොප්ලර් ශාක (Populus trichocarpa) ශේෂ හා Zymoseptoria tritici, Phaeosphaeria nodorum, Penicillium rubens, හා Myceliophthora thermo-phila වැනි දිලීර පළිබෝධ සහිත ආහාර ගත් බවට සාධක හමුවීහ විශේෂත්වයක් ගනියි. එය තම ආබාධ සඳහා ඔසුවක් ලෙස භාවිත කර ඇති බවට සාධකයක් ලෙස මේ පර්යේෂකයින් විසින් පෙන්වාදී තිබේ. මීට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ පොප්ලර් ශාක කොටස් හා පෙනිසිලින් පුස්වල DNA මේ මානවයින්ගේ දත්වලින් හමුවීමයි.

පොප්ලර් ශාකයේ ඇතැම් කොටස්වල ස්වාභාවික වේදනා නාශකයක් වන සැලිසිලික් අම්ලය ඇතුළත් වේ. එය වේදනා නාශකයක් ලෙස යොදාගන්නා ඇස්පිරින් වල ඇතුළත් ප‍්‍රධාන සංඝටකය වන අතර එම අවශ්‍යතාවය සඳහා මිනිසුන් විසින් ඓතිහාසික වශයෙන් භාවිතයට ගෙන තිබේ. එය මුඛයේ ඇති වූ ගෙඩියක් සඳහා වේදනා නාශකයක් ලෙස එම මානවයින් විසින් යොදාගන්නා ලද බවක් මේ පර්යේෂකයන් විසින් යෝජනාව කර ඇත. එසේම පෙනිසිලින් පුස් යනු පෙන්සිලින් සඳහා වූ මූලාශ‍්‍රයයි. මේ පර්යේෂකයක් විශ්වාස කරන්නේ ආහාර මාර්ගයේ Enterocytozoon bieneusi නම් මිනිසුන්ට පාචනය ඇතිකරන බැක්ටීරියා ආසාදනයක් සඳහා ප‍්‍රතිකාර ලෙස පෙනිසිලින් ඇතුළත් පුස් සහිත ආහාන ඇතැම් විට යොදාගන්නට ඇති බවයි. අදාළ බැක්ටීරියාව පිළිබඳ සාධකද හමුව තිබීම සේ සඳහා වැඩිදුර තහවුරු කිරීමකි.

මේ ආකාරයෙන් ස්වයං-ප‍්‍රතිකාර කිරීම්වල නියැන්ඩර්තාල් ආදි මානවයින් යෙදුනේ නම් එය වැදගත් සොයාගැනීමක් බව පැහැදිලිය. එසේම පෙන්සිලින් වැනි ද්‍රව්‍යයක් ඔසුවක් ලෙස භාවිත කළේ නම් එය සිදුව ඇත්තේ නූතන මානවයින් විසින් එ් පිළිබඳව විසිවැනි සියවසේදී අනාවරණය කරගැනීමට හතළිස් දහසකට හෝ පණස් දහසකට පමණ පෙර වීම සුවිශේෂ සිදුවීමකි.

නූතන මානවයා සමඟ වූ සම්බන්ධතා

වඳවී ගොස් ඇති නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් අතර තිබූ සමීප සම්බන්ධතා ගැනද මෙහිදී කරුණු අනාවරණය වී ඇත. නිදසුනක් ලෙස ගතහොත්, නියැන්ඩර්තාල් මානවයින්ගේ මුඛයේ දැකිය හැකි වූ ක්ෂුද්‍රජීවීන් නූතන මානවයින්ගේ මුඛය තුළ දැකිය හැක්කේ ඉතා දුර්ලභවය.

මෙම පර්යේෂණයේදී නූතන මානවයින් හා නියැන්ඩර්තාල් මානවයින් අතර ඇති සම්බන්ධව ගැන කරුණු අනාවරණය කරගැනීමට උපකාරී වූ එවැනි එක් ක්ෂුද්‍රජීවීයකු වන්නේ Methanobrevibacter oralis නම් ජීවියාය. මෙම ජීවියා නූතන මානවයාගේ මුඛයේද හමුවන අතර, නියැන්ඩර්තාල් මානවයින්ගේ දත් විශ්ලේෂණයෙන්ද හමු වී ඇත. එහෙත් මේ ක්ෂුද්‍රජීවීන්ගේ ජෙනෝම විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇති ආකාරයට එහි නූතන මානවයා තුළ හමුවන දර්ශය හා නියැන්ඩර්තාල් මානවයින් අතර හමුවන දර්ශය ප‍්‍රවේණිකව වෙන් වී ඇත්තේ අදින් වසර 112,000ත් 143,000ත් අතර කාලයකට පමණ කාලයකට පෙරදී බව පෙනී ගොස් ඇත. එම වෙන්වීම සිදුව ඇත්තේ නියැන්ඩර්තාල් මානවයාගේ හා නූතන මානවයාගේ පොදු පූර්වජයා වෙන්වීමෙන් වසර දහස් ගණනාවකට පසුවය.

එ් අනුව මේ බැක්ටීරියාව නියැන්ඩර්තාල් මානවයා හා නූතන මානවයා අතර හුවමාරු වී ඇති බව උක්ත විiාඥයන්ගේ අදහසයි. මේ විශේෂ දෙක අතර එම සම්බන්ධතාවය ඇති වූයේ මෑත පෙරදිග ප‍්‍රදේශවලදී බව සැක කෙරේ. මේ සමීප සම්බන්ධතාව අවම වශයෙන් සිපගැනීමකට හෝ ආහාර හුවමාරු කරගැනීමක් හෝ විය හැකිය. මේ අනුව මේ මානව විශේෂ දෙක අතර අන්තර්-සම්බන්ධතා මෙතෙක් සිතුවාට වඩා සුහද වූ ඒවා විය හැකි බවද මේ පර්යේෂකයන්ගේ අදහස වේ. කෙසේ වෙතත් මේ විශේෂ දෙක අතර අභිජනනයක් සිදුව ඇති බව ප‍්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ අනුව පැහැදිලිය.

(මූලාශ්‍රය - Nature, DOI: 10.1038/nature21674)