Tuesday, January 31, 2017

වසූරිය රෝගය සිතූ තරම් පැරැණි නැහැ?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.12.2016, පි. 05 (Vidusara)

http://www.vidusara.com/2016/12/21/feature3.html



වසූරිය රෝගය යනු සියවස්‌ කිහිපයක්‌ තිස්‌සේ ලෝකය බියෙන් වෙළාගත් බිහිසුණු රෝගයකි. විශේෂයෙන් 17-18 වැනි සියවස්‌වල දී යුරෝපය හා ලෝකයේ සෙසු රටවල් ගණනාවක අතිවිශාල පිරිසක්‌ වසූරිය හේතුවෙන් මරුමුවට පත් වූ බව වාර්තා වී ඇත. එසේ ම මේ මිය ගිය පිරිස්‌ අතරින් සැලකිය යුතු තරම් පිරිසක්‌ කුඩා ළමයින් වීම ද විශේෂ සිදුවීමකි. රෝගය නිසා ඇති වූ අතුරු ප්‍රතිඵල අතර අන්ධභාවය ද විය. වසූරිය සඳහා මුල් වරට ප්‍රතිශක්‌තිකරණ එන්නතක්‌ හඳුන්වා දෙන ලද්දේ 18 වැනි සියවස අවසානයේ දී වුව ද, වසූරිය රෝගය නිසා මිනිසුන් මිය යැම 20 වැනි සියවස දක්‌වා ම සිදු විය. ඒ නිසා 20 වැනි සියවසේ දෙවැනි භාගයේ දී වසූරිය මර්දනය සඳහා පුළුල ප්‍රතිශක්‌තිකරණ ව්‍යාපාරයක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භ කරන ලදි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස රෝගය ලෝකයෙන් තුරන් කිරීමට හැකියාව ලැබිණි. අවසන් වසූරිය රෝගියා ලෝකයෙන් වාර්තා වූයේ 1977 වර්ෂයේ දී ය. ප්‍රතිශක්‌තිකරණ එන්නත් කිරීම හඳුන්වා දුන් පළමු රෝගය මෙන්ම, ප්‍රතිශක්‌තිකරණයේ ප්‍රතිඵලයක්‌ ලෙස මේ දක්‌වා ලෝකයෙන් මුලිනුපුටා දැමූ එක ම රෝගය වන්නේ ද වසූරිය රෝගය වේ.

වසූරිය රෝගය පිළිබඳ වාර්තා අනුව මේ රෝගය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මිනිසුන්ට වැළැඳී ඇති දිගු ඉතිහාසයක්‌ ඇති රෝගයක්‌ සේ සැලකිණි. පැරැණි ඊජිප්තුව, ඉන්දියාව හා චීනය වැනි රටවලින් මේ රෝගය පිළිබඳ ලක්‌ෂණ හා සමාන රෝග පිළිබඳ පැරැණි වාර්තා ලැබී ඇත. එක්‌ ඓතිහාසික වාර්තාවකට අනුව මිසර අධිරාජයකු වූ පොදු වර්ෂ පූර්ව 12 වැනි සියවසේ පමණ විසූ පස්‌වැනි රම්සෙස්‌ රජු වසූරිය රෝගයෙන් පෙළී ඇති බවක්‌ සැලකේ. මේ වාර්තාවලින් කියෑවෙන්නේ වසූරිය රෝගය පිළිබඳව බව නිගමනය කර ඇත්තේ, රෝගය පිළිබඳ ශාරීරික ලක්‌ෂණ අනුව බව පැහැදිලි ය.

කෙසේ වෙතත් මෑතක දී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව, වසූරිය රෝගය වසර දහස්‌ ගණනක්‌ පැරැණි රෝගයක්‌ නො විය හැකි බව නිගමනය කර තිබේ. මේ ලිපිය ඒ පිළිබඳව ලියෑවුණකි.

වයිරස DNA පිළිබඳ අධ්‍යයනයක්‌


එම අධ්‍යයනය සඳහා යොදාගෙන තිබුණේ ලිතුවේනියාවේ විල්නියස්‌ නගරයේ ඩොමිනිකන් නිකායේ පැරැණි පල්ලියක භූගත කුටියක තැන්පත් කර තිබූ, අර්ධ වශයෙන් මමියක්‌ බවට පත් ව තිබූ ළමා මළ සිරුරකින් ලබාගත් වසූරිය වයිරස ශේෂ ය. එම ළමයා 17 වැනි සියවසේ දී ජීවත් වූ කුඩා ළමයකු වන අතර, වයස අවුරුදු 2- 4 අතර බවට නිගමනය කර ඇත. විකිරණශීලී කාබන් කාලනිර්ණයෙන් පෙනී ගොස්‌ තිබුණේ එම ළමයා වර්ෂ 1650 වසර පමණ කාලයේ දී මිය ගොස්‌ තිබූ බවයි. (වඩාත් නිශ්චිතව පවසන්නේ නම් ළමයා මිය ගොස්‌ ඇත්තේ වර්ෂ 1643-1665 අතර කාලයේ දී ය.)

මේ කාලය වසූරිය රෝගය යුරෝපයේ රටවල් රැසක වසංගතයක්‌ බවට පත් ව තිබූ කාලයක්‌ වූ අතර, මරණ ද විශාල වශයෙන් සිදු වූ කාලයකි. ඒ කාලයට අයත් මමියක්‌ බවට පත් වූ උක්‌ත සිරුරේ තිබී වසූරිය වයිරස හමු වීම හා එම වසූරිය වයිරසවල DNA ලබාගැනීමට හැකි වීම මේ අධ්‍යයනය සඳහා යොමු වීමට පර්යේෂකයන්ට හැකියාව ලැබුණු කරුණ වේ. එම මමියේ තිබූ වසූරිය වයිරස නිදර්ශක අතර ජීවී වයිරස තිබී නැතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ඒ සඳහා පර්යේෂකයන් විසින් අවසර ලබාගෙන ඇත.

මේ වයිරස ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය කළ පර්යේෂකයන්ට වසූරිය ඇති කරන වැරියෝලා වයිරසයේ සම්පූර්ණ ගෙනෝමය අනුක්‍රමගත කරගැනීමට හැකියාව ලැබී තිබේ. එය මෙතෙක්‌ අනුක්‍රමගත කරන ලද පැරැණි ම මිනිස්‌ වයිරස ගෙනෝමය ලෙස ද සැලකේ.

මේ ගෙනෝමය යොදාගනිමින් වසූරිය වයිරසයේ පරිණාමය පිළිබඳව අවධානය යොමු කිරීමට පර්යේෂකයන්ට අවස්‌ථාව ලැබී තිබේ. ඒ අනුව මේ දක්‌වා විවිධ පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇති 1940 සිට 1977 දක්‌වා කාලයට අයත් විවිධ වයිරස මාදිලි සාම්පලවල DNA සමග සංසන්දනය කිරීමෙන් වයිරසයේ වයිරසයේ පරිණාමීය ඉතිහාසය පිළිබඳව කරුණු අනාවරණය කරගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබිණි.

වසූරිය වයිරසයේ පරිණාමීය ඉතිහාසය


ඒ කරුණු මත පදනම් ව, වසූරිය වයිරස සියලු මාදිලිවලින් ලබාගත් පරිණාමීය දත්ත අනුව වසූරිය වයිරසයේ පරිණාමීය ඉතිහාසයක්‌ ගොඩනැගීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. මේ වයිරසයේ පූර්වජයා 1580 පමණ කාලයකට අයත් වන බව පර්යේෂකයන් ගේ නිගමනය වී තිබේ. එනම් වසූරිය වයිරසයේ ආරම්භය සිදු ව ඇත්තේ මෙතෙක්‌ සිතුවාට වඩා මෑත කාලයේ දී විය යුතු ය. ඒ අනුව මෙතෙක්‌ කලක්‌ විශ්වාස කළ පරිදි වසූරිය යනු වසර දහස්‌ ගණනක්‌ පැරැණි රෝගයක්‌ නො ව වසර සිය ගණනක සීමිත ඉතිහාසයක්‌ ඇති රෝගයකි.

එසේ නම් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ වසූරිය රෝගය පිළිබඳව තිබූ වාර්තා පැහැදිලි කළ හැක්‌කේ කෙසේ ද? පෙර සඳහන් කළ විවිධ ඓතිහාසික වාර්තාවල දී වසූරිය රෝගය හඳුනාගෙන ඇත්තේ බිබිලි වැනි පලු ආදී ශාරීරික ලක්‌ෂණ පමණක්‌ පදනම් කරගැනීමෙනි. එවැනි රෝග ලක්‌ෂණ වෙනත් රෝගවලට පවා ඇති විය හැකි අවස්‌ථා රැසක්‌ පවතී. එබැවින් ඒ වාර්තාවල දැක්‌වෙන්නේ වෙනත් රෝග ඇති වු අවස්‌ථා විය හැකි ය.

එසේ ම පර්යේෂකයන්ට අනාවරණය වූ අපූරු කරුණක්‌ වූයේ වසූරිය වයිරසයේ දැකිය හැකි පරිණාමික වෙනස්‌ වීම් අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඇති වී තිබෙන්නේ එයට එරෙහි ව ප්‍රතිශක්‌තිකරණය හඳුන්වා දුන් පසු ව ය. ඒ අනුව මේ වෙනස්‌ වීම් ප්‍රතිශක්‌තිකරණයට වයිරසය දැක්‌වූ ප්‍රතිචාරයක්‌ ලෙස හඳුනාගත හැකි ය. එඩ්වඩ් ජෙනර් 18 වැනි සියවස අවසානයේ දී පමණ වසූරිය සඳහා ප්‍රතිශක්‌තිකරණ එන්නතක්‌ නිපදවූ පසු වයිරසය පැහැදිලි මාදිලි දෙකක්‌ බවට පරිණාමය වී ඇති බව මේ වන විට ද අනාවරණය වී ඇති කරුණකි. ඉන් එකක්‌ වන්නේ වඩා භයානක හා මරණීය එකක්‌ වූ වැරියෝලා මේජර් (Variola major) ලෙස හඳුන්වන වයිරස මාදිලිය වන අතර අනෙක වන්නේ වඩා අඩු බලපෑමක්‌ ඇති කරන වැරියෝලා මයිනර් (Variola minor) නම් වයිරස මාදිලියයි. කෙසේ වෙතත් ජගත් මට්‌ටමෙන් ව්‍යාප්ත වූ ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන් හමුවේ මේ වයිරස දෙකට මහා ගහන අවරෝධයකට (major population bottleneck) මුහුණ දීමට සිදු වු බව මේ පර්යේෂකයන් පෙන්වා දී ඇත.

වසූරිය ගැන නො විසඳුණු ගැටලු


කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් පසුව ද වසූරියේ ඉතිහාසය සම්බන්ධව ගැටලු නැතිවා නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ස්‌පාඤ්ඤ ජාතිකයන් වසූරිය ඇමෙරිකානු මහාද්වීපයට හඳුන්වා දුන් බවත්, ඒ නිසා එහි විසූ ස්‌වදේශීකයන් විශාල වශයෙන් මිය ගිය බවත් පැවසේ. එය එසේ නම් වසූරිය 1580 වර්ෂයට පෙර බිහි වූවක්‌ විය යුතු ය. මේ ගැටලුවට පිළිතුරු සැපයීමේ දී වසූරිය රෝගයෙන් මිය ගිය මධ්‍යම හා දකුණු ඇමෙරිකානු ස්‌වදේශිකයන් ගේ සුසාන භූමි අධ්‍යයනය කිරීමේ වැදගත්කමක්‌ ඇති බව දක්‌වා ඇත.

එසේ ම, වසූරිය රෝගය පැමිණියේ ලෝකය කුමන ප්‍රදේශයක සිට ද, එම වයිරසයේ පූර්වජයා කවුරුන් ද, මිනිසුන්ට වැළඳීමට පෙර කුමන සතුන් තුළ මේ වයිරසය තිබුණේ ද හා මිනිසුන් වෙත රෝගය මුල්වරට ව්‍යාප්ත වූයේ කවදා ද වැනි ගැටලුවලට පිළිතුරු සැපයීමට මේ අධ්‍යයනයෙන් අවස්‌ථාවක්‌ ලැබී නැත. රෝගය සම්බන්ධ ඉතිහාසය සෙවීමේ දී මේ කරුණුවලට පිළිතුරු සෙවීම ද වැදගත් වේ.

වසූරිය වයිරසයට ආසන්න වශයෙන් හෝ සමීප යෑයි හඳුනාගෙන ඇති Orthopoxvirus ගණයට ම අයත් ජර්බිල් (gerbil) නම් කාන්තාරවල වෙසෙන කුඩා ක්‌ෂීරපායීන්ට වැළඳෙන වයිරසය (taterapox) හා ඔටුවන්ට වැළඳෙන වයිරසය (camelpox) යන වයිරස දෙක පවා වසූරිය වයිරසයට ඥාතිත්වයක්‌ දක්‌වන්නේ ඉතා දුරස්‌ථ ව බව මෙහි දී හෙළි ව ඇත. ඒ වයිරසවලින් වසූරිය වයිරසය ඇති වූ බව සිතීම අපහසු බව විද්‍යඥයන් ගේ අදහස වේ. මේ අනුව වසූරිය වයිරසයේ පූර්වජයා මේ දක්‌වා අනාරවණය වී නැති එකක්‌ වීමට හෝ මේ වන විටත් වඳ වී ගොස්‌ ඇති වයිරසයක්‌ වීමට ඉඩ ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ.

(මූලාශ්‍රය: Current Biology DOI: 10.1016/j.cub.2016.10.061)


වසූරිය රෝගය


වසූරිය යනු මානව ඉතිහාසයේ වඩාත් විනාශකාරී ප්‍රතිඵල අත් කර දුන් දැඩි ලෙසින් බෝ වන රෝගයකි. එය වැරියෝලා (Variola‌) වයිරසය (VARV), නම් පොදු නමින් හැඳින්වෙන Orthopoxvirus නම් ගණයට අයත් වයිරසයක්‌ මගින් ඇති වේ. මේ රෝගය වැළැඳුණු රෝග ලක්‌ෂණ පෙන්වන පුද්ගලයකු ගෙන් නිකුත් වන ශ්‍රාව බිඳිති මගින් ඔවුන් හා සමීප සම්බන්ධයක්‌ දක්‌වන පුද්ගලයකුට වැළැඳීමේ අවදානමක්‌ ඇති බැවින් වේගයෙන් රෝගය පැතිර යැම දැකිය හැකි විය.

වසූරිය රෝගය සඳහා ප්‍රතිශක්‌තිකරණ එන්නතක්‌ නිපදවන ලද්දේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු වූ එඩ්වඩ් ජෙනර් විසින් 1796 වර්ෂයේ පමණ දී ය. ඉන් පසුව ලෝකය පුරා ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන් ආරම්භ විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවූ පසුව 1960 දශකයේ දී ක්‍රියාත්මක වූ වසූරිය තුරන් කිරීමේ වැඩසටහනකින් පසුව වසූරිය ලොවෙන් තුරන් කළ හැකි විය. ස්‌වාභාවිකව වසූරිය රෝගය වැළැඳුණු රෝගියකු අවසන් වරට වාර්තා වී ඇත්තේ 1977 වර්ෂයේ දී සෝමාලියාවෙනි. මේ රෝගය ලෝකයෙන් තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1980 වර්ෂයේ දී ය.

අද වන විට මේ වයිරසය සජීවී මට්‌ටමෙන් දැකිය හැක්‌කේ ඇමෙරිකාවේ හා රුසියාවේ ඉතා ආරක්‌ෂිත මට්‌ටමේ පර්යේෂණාගාර දෙකක පමණක්‌ බව සඳහන් වේ.

http://www.vidusara.com/2016/12/21/feature3.html

No comments:

Post a Comment