ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 20.07.2016, පි. 5
(Vidusara, 20.07.2016, Target of the Conservation message)
http://www.vidusara.com/2016/07/20/feature1.htmlනූතන සමාජයේ බොහෝ විට දැකිය හැක්‌කේ පරිභෝජනවාදී ආකල්ප කුලුගැන්වෙන තත්ත්වයකි. පොදුවේ ගත් විට සමාජයේ දැකිය හැකි විවිධ ප්‍රවණතා මෙන්ම ජනමාධ්‍ය ඔස්‌සේ අප දකින දේ අපව පොලඹවන්නේ සම්පත් තිරසර ආකාරයෙන් පරිහරණය කිරීමට නම් නො වේ. ජනමාධ්‍ය ඔස්‌සේ අද දකින, අසන හා කියවන බොහෝ වැඩසටහන්, ලිපි හා වෙළෙඳ දැන්වීම් ආදිය බොහොමයක මේ තත්ත්වය දැකිය හැකි ය. ඇතැම් විට සම්පත් හැකිතාක් වැඩි වැඩියෙන් පරිහරණය කිරීම සඳහා ය. කිසිදු ඵලක් නොමැති දෙයක් භුක්‌ති විඳීම සඳහා ය. අත්‍යවශ්‍ය නො වන දේ පවා භුක්‌ති විඳීමට හා රැස් කිරීමට පෙලඹවීම පිණිස ය. මේ සියල්ල අද අප අනුගමනය කරන බටහිර ආකෘතියේ ජීවන රටාවේ ලක්‌ෂණ වේ. මේ සියලු දේ මගින් අප පොලඹවන්නේ වැඩි වැඩියෙන් සම්පත් පරිභෝජනය සඳහා ය. නිෂ්පාදනය සඳහා ය.
මෙසේ විවිධ ද්‍රව්‍ය පරිහරණයේ දී හුදෙක් සිදු වන්නේ සම්පත් අධි පරිභෝජනය හා සම්පත් ක්‌ෂය වීම පමණක් ම නො වේ. සම්පත් අධි පරිහරණය හා ඒ නිසා ම සිදු වන ක්‌ෂය වීම බරපතළ ගැටලූවක් බව සැබෑවකි. ඒ නිසා ඇතැම් සම්පත්වල තිරසර පරිහරණයට ද අභියෝගයක් ඇති විය හැකි ය. විශේෂයෙන් අනාගත පරපුරේ පරිහරණය සඳහා අවශ්‍ය සම්පත් ප්‍රමාණය ගත් විට මේ ගැන යළි සිතා බැලීමට සිදු වේ. එහෙත්, අද දවසේ දැකිය හැකි පරිභෝජනයේ ප්‍රතිඵලය වන අපද්‍රව්‍ය ජනනය පිළිබඳ ගැටලුව මෙහි දී අප ගේ සැලකිල්ලට ලක් විය යුතු කරුණක් වේ.
නිදසුනක් ලෙස ගත හොත්, නැවත නැවත භාවිතයට ගත හැකි වීදුරු බෝතල වෙනුවට දැන් දැන් අපට සිදු ව ඇත්තේ වරක් භාවිතයෙන් පසු ඉවත ලිය හැකි ප්ලාස්‌ටික් බෝතලයක් හෝ ටෙට්‌රා ඇසිරුමක එන ද්‍රව්‍ය මිල දී ගැනීමට ය. මේවා දිරා යැමට බොහෝ කාලයක් ගත වන ඒ නිසා ම බොහෝ පාරිසරික ගැටලූ ඇති කළ හැකි ද්‍රව්‍ය අතර වේ. ඒ ඒවා පරිසරයට බැහැර කළ විට දිරා යැමට කලක් ගත වන බැවිනි. එහෙත් පහසුව හා සෞඛ්‍යාරක්‌ෂාව මුල් කරගත් අපි එය දෙවැනි ගැටලුවක් සේ අමතක කර දමමු. එහෙත් අපට කලක් තිස්‌සේ පුරුදු වීදුරු බෝතල හා බඳුන් එසේ නො වේ. ඒවා නැවත නැවත භාවිත කළ හැකි අතර, බිඳී ගිය ද සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ය. එහෙත් ඒවා මුලින් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයාට අධික පිරිවැයක් දැරීමට සිදු වන අතර, නැවත භාවිතය සඳහා එකතු කිරීමේ දී ද යම් ශ්‍රමයක් හා මුදලක් වැය වීම සිදු වේ. ඊට සාපේක්‌ෂව, ප්ලාස්‌ටික් ඇසුරුම් හා ටෙට්‌රා ඇසුරුම් යොදාගැනීම නිෂ්පාදකයාට ලාබදායක ය.
අනෙක් අතට මෙවැනි ද්‍රව්‍ය පරිහරණය කරන අපට ක්‌ෂණිකව අමතක වන කරුණ වන්නේ එහි දී බැහැර කරනු ලබන ප්ලාස්‌ටික් හා ප්ලාස්‌ටික් මිශ්‍ර ද්‍රව්‍යවලට සිදු වන්නේ කුමක් ද යන්න ය. ඒවා එකතු වන්නේ අපේ අපද්‍රව්‍ය ප්‍රවාහයට ය. අප එයට විසඳුමක් සොයන්නේ වෙන ම ය. එහෙත් එය ද අප පෙර කී ජීවන ක්‍රමයේ ම ප්‍රතිඵලයකි. අපද්‍රව්‍ය ජනනයේ දී ම අවම කළ හැකි නම්, එම ගැටලුව විසඳාගත හැකි බව අපට අමතක වී ගොසිනි. මේ නිසා අපද්‍රව්‍ය ජනනය කිරීම අවම කිරීම පිළිබඳ පණිවිඩය දැන් බොහෝ දුරට අමතක ව ගොස් කීව ද නිවැරැදි ය. මේ ආකාරයෙන් ම පරිසරය හා සම්බන්ධ වෙනත් බොහෝ කරුණුවල දී ද වැදගත් කරුණ අමතක ව ගොස් ඇති බව කීවොත් එය නිවැරැදි ය.
සංරක්‌ෂණය පණිවිඩයේ ඉලක්‌කය
මෙවැනි තත්ත්වයක් තුළ සංරක්‌ෂණ පණිවිඩය නිසි ලෙස ජනතාව අතරට ගෙන යැමේ දී එහි ඉලක්‌කගත පිරිස නිවැරැදි ලෙස තෝරාගැනීම වැදගත් වේ. නොඑසේ නම්, සිදු වන්නේ සංරක්‌ෂණ පණිවිඩය සඳහා යොදාගන්නා සම්පත් හා කාලය ද අපතේ යැමක් විය හැකි ය. මේ අනුව පොදුවේ පරිසර සංරක්‌ෂණ පණිවිඩය ජනතාව අතරට ගෙන යැමේ දී මුහුණ දෙන අභියෝග පිළිබඳව ජගත් මට්‌ටමේ දී බොහෝ දේ වරින් වර සාකච්ඡාවට ලක් ව තිබේ. පරිසර අධ්‍යාපනයේ අසාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා වන්නේ ද මෙවැනි පසුබිමක් යටතේ දී ය. නිදසුනක් ලෙස ගත හොත්, සංරක්‌ෂණය සඳහා ජනතාව පෙළගැස්‌වීම එක්‌තරා ආකාරයක අභියෝගයකි. ඊට එක් නිදසුනක් ලෙස මෑතක දී අප දුටු එක් අධ්‍යයන වාර්තාවකින් හෙළි වන කරුණක් දැක්‌විය හැකි ය.
එම අධ්‍යයනය ජල සංරක්‌ණය කිරීම පිළිබඳ පණිවිඩය ගෙන යා යුත්තේ කවුරුන් වෙත ද යන්න සම්බන්ධ ව කළ අධ්‍යයනයකි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් පිරිසක් යොදාගනිමින්, බොහෝ දුරට අන්තර්ජාලය පාදක කරගනිමින් සිදු කළ එම අධ්‍යයනයේ දී හෙළි වූ පරිදි ඔවුන් ජල පරිභෝජනය මත පිරිස් කාණ්‌ඩගත කරගෙන තිබේ. ඉන් එක් පිරිසක් වන්නේ ජල සංරක්‌ෂණයක් කිසිසේත් සිදු නො කරන පිරිස් වන අතර, තවත් පිරිසක් වන්නේ ජලය ගැන මදක් හෝ සිතන පිරිසයි. එහි දී හෙළි ව ඇති අපූරු කරුණක් වූයේ, තවදුරටත් ජල සංරක්‌ෂණය කළ යුතු නම් ඒ සඳහා ඉලක්‌ක කරගත යුත්තේ දැනටමත් ජලය මදක් හෝ ඉතිරි කරන්නට පෙලඹී ඇත්තේ මේ දෙවැනි කාණ්‌ඩයේ පිරිස් බව ය. ඔවුනට පැහැදිලි වී ඇති ආකාරයට දැනටමත් කිසියම් ජල සංරක්‌ෂණයක යෙදී සිටින මේ පිරිස් අතර වුව ද යම් යම් අංශවල තවදුරටත් සංරක්‌ෂණ අදහස් සඳහා අවස්‌ථා තිබේ. ඒ ඔස්‌සේ කටයුතු කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් අත්පත් කරගත හැකි ය. තම එදිනෙදා ජල භාවිතයේ දී කිසිදු ආකාරයක සංරක්‌ෂණයක් සිදු නො කරන පිරිස්‌වලට වඩා වැඩි සංරක්‌ෂණ අවස්‌ථාවක් ඇත්තේ මේ පිරිස ගැන අවධානය යොමු කිරීමෙනි. (මූලාශ්‍රය: Environmental Management, DOI: 10.1007/s00267-016-0706-2)
උක්‌ත අධ්‍යයනය මගින් කියෑවෙන එක් වැදගත් කරුණක් වන්නේ සංරක්‌ෂණ පණිවිඩය මගින් මේ වන විට පවා ඉලක්‌ක කරගෙන ඇති පිරිස් අතර වුව ද තවදුරටත් ගුණාත්මක වශයෙන් යම් වර්ධනයක් සිදු කළ හැකි බවයි. එය සංරක්‌ෂණ පණිවිඩයේ මෙන්ම පරිසර අධ්‍යාපනයේ සාර්ථකත්වයට ද වැදගත් වන බව පැහැදිලි ය. විශේෂයෙන් මේ වන විට ද යම් ප්‍රමාණයකින් හෝ පරිසර සංවේදී තත්ත්වයක පසු වන පිරිස අතර පවා තවදුරටත් වර්ධනයක් කළ හැකි වීම එක්‌තරා ආකාරයක ජයග්‍රහණයකි. සංරක්‌ෂණය පණිවිඩය තේරුම්ගන්නා පිරිස් ඊට අලුතින් එක් වන්නේ නම් එය එය වැදගත් බව සත්‍යයකි. එහෙත්, ඉහත දැක්‌වූ ආකාරයට දැනටමත් පරිසර සංවේදී පිරිස් මගින් සංරක්‌ෂණය සඳහා වැඩි ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකි වීම ඊටත් වඩා ඵලදායී ය. ලෝකයේ බොහෝ රටවල දී පරිසරය පිළිබඳව සිදු කරන සියලු කටයුතුවල පාහේ නියෑළෙන්නේ බොහෝ විට ආකල්පමය වශයෙන් එක ම පිරිසක් වීම තුළින් පැහැදිලි වන්නේ ද මේ කරුණ ම බව අපට සිතේ. එය ඇතැම් විට ඔවුන් ගේ සමාජ පසුබිම හා බැඳී පවතින්නක් විය හැකි ය. නිදසුනක් ලෙස ගත හොත්, මහා පරිමාණ පස් හා බොරලු කැපීමකට විරුද්ධ ව පාරට බසින ජනතාව හා විල්පත්තුව වැනසීමට එරෙහි ව විරෝධතා දක්‌වන පිරිස සමාජමය හෝ පංතිමය වශයෙන් දෙපිරිසක් විය හැකි ය. එහෙත් ඔවුන් තුළ පොදු සාධකයක් තිබිය හැකි ය. ඒ මේ අය සෙසු ජනතාවට වඩා පරිසරය පිළිබඳව වඩා සංවේදී වීම ය. (අප මෙහි දී සඳහන් කරන්නේ මෙවැනි කටයුතුවලට වෙනත් පෞද්ගලික අරමුණුවලින් තොර ව අවංක ව පැමිණෙන පිරිස් පිළිබඳ ව ය).
මේ පණිවිඩය ගෙන යා හැකි අය
මේ කරුණු පිළිබඳව ගැඹුරින් හැදෑරීමේ දී අපට පැහැදිලි වන කරුණක් වන්නේ පරිසර සංවේදීතාව පිළිබඳව බලපාන වැදගත් දෙයක් වන්නේ ඒ ඒ පුද්ගලයා ගේ ආකල්ප බවයි. පොදුවේ ගත් විට මේ ආකල්ප පිළිබඳ කරුණ හුදෙක් සංරක්‌ෂණ පණිවිඩයේ සාර්ථකත්වට පමණක් නො ව වෙනත් බොහෝ දේ සඳහා ද වැදගත් වේ.
පරිසරය සම්බන්ධව ගත් විට මේ ආකල්පමය වෙනස දැකගත හැකි හා බලපාන්නා වූ තවත් වැදගත් අංශයක් වන්නේ පරම්පරා වෙනසයි. එය සංරක්‌ෂණය සඳහා වන දායකත්වය සඳහා බලපාන්නකි. සම්පත් සංරක්‌ෂණය මෙන්ම බලශක්‌ති සංරක්‌ෂණය වැනි ඇතැම් කරුණු අද වැඩිහිටි පරපුරේ ඇතැම් පිරිස් වෙත ඒත්තු ගැන්වීම හා ඒවා අනුගමනය කිරීමට පෙලඹවීම තරමක් අසීරු ය. පොදුවේ ගත් විට ඔවුන් වෙත සංරක්‌ෂණ පණිවිඩය ම ඒත්තු ගැන්වීම අසීරු ය. නිදසුනක් ලෙස ගත හොත් විදුලි හා ජල පරිහරණයේදී අප ගත යුතු සංරක්‌ෂණවාදී පියවර ඒත්තු ගැන්වීම වඩාත් අසීරු වී ඇත්තේ වැඩිහිටි පරපුර වෙත ය. අපේ පෞද්ගලික අත්දැකීම් අනුව මෙය උගත්කම අනුව වෙනස් නො වන තරම් ය. වැඩිහිටි පරපුරේ බොහෝ උගත් අය අතර මෙන්ම සාමාන්‍ය දැන උගත්කමක් ඇති අය අතරට ද මේ සංරක්‌ෂණ පණිවිඩය ගෙන යැමේ අසීරුතාව අප අත්දැක තිබේ. ඔවුන් බොහෝ දෙනා තවමත් ජීවත් වන්නේ 'මයි කාර් - මයි පැට්‍රොaල්' න්‍යාය අනුගමනය කරන පසුබිමක හා තමන් දරන අදහස් වෙනස් කිරීමට අකැමැති වන තත්ත්වයක ය. ඔවුන් සඳහා වෙනස් උපක්‍රම අනුගමනය කිරීමට සිදු වනු ඇත.
මේ සියලු කරුණු අනුව අපට එක් දෙයක් පැහැදිලි ය. එනම්, සංරක්‌ෂණයේ දී මිනිසුන් දරන ආකල්ප අමතක කළ නොහැකි දෙයක් බව ය. එබැවින් අනාගත පරපුර කුඩා කාලයේ පටන් නිසි ආකාරයෙන් පරිසර අධ්‍යාපනයක් ලැබීම වැදගත් වන්නේ මේ නිසා ය. එය පාසල් අවධියේ පටන් ම විධිමත් හා අවිධිමත් ආකාරයෙන් සිදු විය යුත්තකි.
http://www.vidusara.com/2016/07/20/feature1.html