ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 22.06.2016, පි. 5
(Vidusara, 27.06.2016, p. 6 - Climate Change, Oil Companies and Politics)
http://www.vidusara.com/2016/06/22/feature1.html2015 අග දී ඇති කරගන්නා ලද පැරිස් දේශගුණ ගිවිසුම යනු දේශගුණ වෙනස් වීම වැළැක්‌වීම සඳහා ජගත් මට්‌ටමෙන් ක්‍රියාත්මක වීමට නියමිත එක ම වැඩපිළිවෙළ වේ. 2020 වර්ෂයේ පටන් ක්‍රියාත්මක වීමට නියමිත වැඩපිළිවෙළක් වන එය මේ වන විට අපට ඇති එක ම බලාපොරොත්තුව ද වේ. මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පළමුව බලාත්මක තත්ත්වයට පත් වීම සඳහා (enter into force) ලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනවලින් 55%ක් නිකුත් කිරීමට දායක වන රටවල් 55ක් එය අපරානුමත කිරීම (ratification) අවශ්‍ය වේ.
පසුගිය අප්‍රේල් මාසයේ දී අත්සන් කිරීමට විවෘත කරන ලද පැරිස් ගිවිසුමට මැයි මස අවසන් වන විට පාර්ශ්ව 177ක් අත්සන් කර ඇත. මීට ලෝකයේ වෙනත් රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අයත් ය. ඉන් රටවල් 17ක් පමණ පසුගිය මැයි මස 20 වන විට එය අපරානුමත කර තිබිණි. එහෙත් එසේ අපරානුමත කර ඇති රටවල් සියල්ල ම පාහේ කුඩා රටවල් හා හරිතාගාර වායු විමෝචන අවම ප්‍රමාණයක් නිකුත් කරන රටවල් වූ බැවින් ඔවුන් ගේ සමස්‌ත හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ලෝකයේ සමස්‌ත විමෝචනවලින් 0.04%ක් පමණ ප්‍රමාණයක් විය. මේ අතර, ප්‍රංශය පසුගිය සතියේ දී මේ ගිවිසුම අපරානුමත කළේ ය. ගිවිසුම අපරානුමත කළ දෙවැනි යුරෝපා රට බවට ප්‍රංශය පත් වන අතර, එය එසේ කළ G7 කණ්‌ඩාමේ පළමු රට බවට ද පත් වේ. (ඉහත සඳහන් කළ විමෝචන ගණනය කිරීම්වලට ප්‍රංශයේ හා හංගේරියාවේ විමෝචන අයත් නො වේ).
මේ අනුව පැරිස් ගිවිසුම ඉක්‌මනින් බලාත්මක තත්ත්වයට පත් වීම සඳහා වැඩි විමෝචන ප්‍රමාණයක් නිකුත් කරන රටවල් එය අපරානුමත කිරීම වැදගත් වන බව පැහැදිලි ය. හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අනුව ලෝකයේ පළමු තැන සිටින චීනය මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයට පෙර පැරිස් ගිවිසුම අපරානුමත කිරීමට අපේක්‌ෂා කරන බව පවසා ඇත. එසේ ම එම ලයිස්‌තුවේ තෙවැනි තැන පසු වන ඉන්දියාව ද මේ වර්ෂය ඇතුළත පැරිස් ගිවිසුම අපරානුමත කිරීමට කටයුතු කිරීමට යන බවක් එරට අගමැතිවරයා පසුගිය දා ඇමෙරිකාවේ සිදු කළ සිය සංචාරය අතරතුර දී පැවසා තිබිණි. ඇමෙරිකාව ද මේ වර්ෂය ඇතුළත ගිවිසුම අපරානුමත කරනු ඇති බව ප්‍රකාශ වී තිබේ. (ඇමෙරිකානු විපක්‌ෂයේ ජනාධිපති අපේක්‌ෂකයා කර ඇති ප්‍රකාශවලට අනුව ඔහු ජයග්‍රහණය කළ හොත් පැරිස් ගිවිසුමට යම් අභියෝගයක් එල්ල විය හැකි වුව ද, ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි එපමණකින් පමණක් ඇමෙරිකාවට මේ ප්‍රවණතාව ආපසු හැරවීමට නොහැකි ය).
සියල්ල යහපත් ව සිදු වුව හොත් මේ වසර අග දී හෝ බොහෝ විට ලබන 2017 දී පැරිස් දේශගුණ ගිවිසුම බලාත්මක විය හැකි ය. එහෙත් "දේශගුණ සටනේ ඉදිරි මග මේ වන විට සක්‌සුදක් සේ පැහැදිලි ය" යනුවෙන් පැවසීම උගහට ය. ලෝකයේ සියලු රටවල සහයෝගය පැරිස් ගිවිසුම සාක්‌ෂාත් කරගැනීම සඳහා ලබාගත හැකි වේ නම් එය ලෝකයට යහපතක් වනු ඇත. එහෙත් එහි මූලික හරි අරමුණු නිසි ආකාරයෙන් ඉටු කරගැනීමට තෙල් සමාගම් හා ඒවා මගින් හසුරුවනු ලබන දේශපාලන බලවේග ඉඩ ලබා දේ ද යන්න තවමත් ගැටලුවකි. අපට එසේ සිතෙන්නේ ලෝකයේ සිදු වන විවිධ වර්ධනයන් දෙස බලන විට ය.
ෆොසිල ඉන්ධන සමාගම්වල බලපෑම් හා අනාගතය
දියුණු රටවල දේශපාලනය සඳහා තෙල් සමාගම්වලට කළ හැකි බලපෑම් යනු අප බොහෝ කාලයක සිට සාකච්ඡාවට ලක් කර ඇති කරුණකි. බ්‍රිතාන්‍යයේ පළ වන 'ද ගාඩියන්' පුවත්පත පසුගිය අප්‍රේල් මාසයේ දී පමණ වාර්තා කළ පුවතකින් දැක්‌වුණේ 2013 දී පමණ ලෝකයේ එක් ප්‍රකට තෙල් සමාගමක් විසින් එවන ලද එක්‌තරා ලිපියක් හේතුවෙන් යුරෝපා සංගමය ඔවුන් පැනවීමට ගිය පරිසරය පිළිබඳ නීති අත්හැර දැමීමට හෝ දුබල කිරීමට හෝ ක්‍රියා කර ඇති බවයි. ඒ ලිපිය එක්‌තරා ආකාරයක තර්ජනයක් එල්ල කර තිබේ. එහි සංක්‌ෂිප්ත අදහස වන්නේ යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන සඳහා බලපාන නීති දැඩි කිරීමට කටයුතු කළ හොත් හා පිරිසිදු බලශක්‌තිය අධික ලෙස ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ හොත් මහා පරිමාණ තෙල් සමාගමක් වන එහි කටයුතු යුරෝපයෙන් ඉවතට ගෙන යැමට අදාළ සමාගම අදහස් කරන බවයි. මෙසේ විරෝධයට ලක් වූ කරුණු අතර, විදුලි බලාගාරවල දූෂණය අඩු කිරීම හා පුනර්ජනනය කළ හැකි බලශක්‌ති භාවිතය ඉහළ නැංවීමට නීති සැකසීම වැනි කරුණු වේ. මේ ලිපියේ බලපෑම කෙසේ වුව ද, යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන හා බලශක්‌ති අංශයේ විමෝචන සම්බන්ධ කටයුතුවල කිසියම් ආකාරයකට සෙමින් ක්‍රියාත්මක වන ස්‌වභාවයක් මෑත කාලයේ දී දැකිය හැකි වූ බව පැහැදිලි ය. ඊට නීති දුර්වල කිරීම හෝ අත්හැර දැමීම වැනි කටයුතු ඇති බව එම පුවත්පත පවසයි.පුවත්පත්වල හා ග්‍රීන්පීස් වැනි සංවිධානවල හෙළිදරව් කිරීම් හා මැදිහත් වීම් නිසා පසුගිය වර්ෂයේ දී යුරෝපා සංගමය ගල්අගුරු පිළිබඳ ප්‍රමිති තීරණය හා සම්බන්ධව ඉන්ධන සමාගම් හා ඒවායේ නියෝජිතයන් ගේ මැදිහත්වීම් වළක්‌වාලීමට හැකියාව ලැබී තිබේ. මීට පෙර විවිධ රටවල නියෝජිත කණ්‌ඩායම්වලට එක් ව සිටි එවැනි නියෝජිතයෝ දුර්වල දූෂක සීමා ඇති කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කළ බව හෙළිදරව් වූයේ මෑතක දී ය.
මේ අතර පසුගිය සතියේ වාර්තා වූ පුවතකට අනුව ඇමෙරිකාවේ විශාලතම ගල්අගුරු සමාගමක් වන පීබොඩි එනර්ජි (Peabody Energy) සමාගම විසින් දේශගුණ වෙනස් වීම පිළිබඳව සැක මතු කරන හා පරිසර නීති නීතිවලට විරෝධය පළ කරන කණ්‌ඩායම් විස්‌සකට අධික ගණනකට අනුග්‍රහය දක්‌වා තිබේ. වෙළෙඳ ආයතනවල සිට බුද්ධි මණ්‌ඩල වැනි විවිධ ආකාරයේ කණ්‌ඩායම් ඇතුළත් වූ මේ අය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ පසුගිය මාසයේ දී ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා ය. මේ අතර බැරැක් ඔබාමා ගේ හරිතාගාර වායු විමෝචන කපාහැරීමේ සැලසුම්වලට එරෙහි ව කටයුතු කළ සංවිධාන පවා වේ. සාමාන්‍යයෙන් සිදු වන ආකාරයට එරට දේශපාලන පක්‌ෂ දෙකට ම ආධාර කර ඇති මේ සමාගම ඉන්ධන සමාගම් වඩාත් ප්‍රිය කරන රිපබ්ලිකන් පක්‌ෂයට වැඩි ආධාර ප්‍රමාණයක් ලබා දී ඇත. මෙවැනි කටයුතුවල යෙදෙන්නේ යෑයි මෙතෙක් දැන නො සිටි සමාගමක් වීම නිසා මේ පුවත එරට තුළ යම් සාකච්ඡාවකට ලක් ව තිබුණේ එරට පරිසර ක්‍රියාකාරීන් පවා ඔවුන් ගෙන් එතරම් පුළුල් ආකාරයේ අරමුදල් සැපයීමක් අපේක්‌ෂා කර නො තිබූ නිසා ය. මේ දක්‌වා එළි වී ඇති ලිපිලේඛනවලට අනුව මේ අරමුදල් සැපයීම් නිසා ඇමෙරිකාවේ පමණක් නො ව ජගත් මට්‌ටමේ දේශගුණ වෙනස් වීම සම්බන්ධ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව අනුමාන කෙරේ.
කෙසේ වෙතත්, මහා පරිමාණ ෆොසිල ඉන්ධන තෙල් සමාගම්වල අනාගතය පිළිබඳව කර්මාන්තයේ විශේෂඳයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව, සිය ව්‍යාපාර ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස් නො කළ හොත් වසර 10ක් ඇතුළත මේ සමාගම් කඩා වැටීමට ඉඩ තිබේ. විශේaෂයෙන් අද පවත්නා අඩු ඉන්ධන මිල, වර්ධනය වන දේශගුණ නීති රීති හා මේ සමාගම්වල
වැරැදි උපාය මාර්ග යන අභියෝග මේ තත්ත්වයට හේතු වී ඇත. ඒ අනුව අනාගත පැවැත්ම උදෙසා තෙල් සමාගම් සිය උපාය මාර්ග වෙනස් කිරීම සඳහා කටයුතු කළ යුතු ය. ඒ සඳහා යෝජනා වී ඇති පියවර අතර, හරිත බලශක්‌තිය වෙත විවිධාංගීකරණය වීම, ඔවුන් ගේ මෙහෙයුම් අඩු කිරීම හා වෙනත් සමාගම් හා ඒකාබද්ධ වීම දක්‌වා තිබේ.
දියුණු රටවල ප්‍රතිපත්ති වර්ධනය වේ
මෑත කාලයේ බලාපොරොත්තු තැබිය හැකි වර්ධනයක් දැකිය හැකි වූ එක් අවස්‌ථාවක් ලෙස G7 සමුළුව දැක්‌විය හැකි ය. එහි දී ඇති වූ එකගතාවකට අනුව, ෆොසිල ඉන්ධන සඳහා ආණ්‌ඩු ලබා දෙන අකාර්යක්‌ෂම සහනාධාර 2025 වර්ෂය වන විට අහෝසි කිරීමට කැප වන බවට එකග වී තිබේ. එසේ ම ඔවුන් ලෝකයේ සෙසු රටවලින් ඉල්ලා ඇත්තේ ද එවැනි ෆොසිල ඉන්ධන සහනාධාර අහෝසි කිරීම සඳහා ඔවුන් හා එක් වන ලෙස ය.පසුගිය දා ජපානයේ දී පවැති G7 සමුළුවේ නායකයන් ගේ ප්‍රකාශනයෙන් හරිතාගාර වායු විමෝචනවලින් තුනෙන් දෙකකට පමණ හේතු වන බලශක්‌ති නිෂ්පාදනයේ හා භාවිතයේ ඇති දායකත්වය දේශගුණ වෙනස් වීම වැළැක්‌වීමට කරන බලපෑම තේරුම්ගත් බව සඳහන් වේ. මෙවැනි ප්‍රතිඥාවක් එම රටවල සමුළුවක මුලින් ම ඇතුළත් වූයේ 2009 දී පමණ වන අතර, එහෙත් එදා එහි කිසිදු කාල රාමුවක් අන්තර්ගත නො වී ය.
කෙසේ වෙතත් මේ කණ්‌ඩායමේ රටවල් අතර මේ සහනාධාර අඩු වීමක් දැකිය හැකි වුව ද එය හැම රටකට ම පොදු කරුණක් නො වේ. නිදසුනක් ලෙස ගත හොත් මෑත කාලයේ දී බ්‍රිතාන්‍යය හා ජපානය තෙල් හා ගල් අගුරු සඳහා යම් යම් සහන ඉහළ නංවා තිබේ. කැනඩාව ද ස්‌වාභාවික වායු සම්බන්ධ ව එවැනි පියවරක් මෑතක දී ගෙන තිබිණි. කෙසේ වෙතත් මේ නව එකගතාව අනුව 2025 වන විට රජයෙන් සහනාධාර ලබා දීම නවතා දැමීමට බදු සහන ද අයත් විය යුතු ය.
http://www.vidusara.com/2016/06/22/feature1.html