Wednesday, May 8, 2013

අලුත් සැලූනයක් සොයා යන්නට සිදු විය!

බොහෝ සාමාන්‍ය සිදුවීමක් වන කොණ්ඩය කැපීම ගැන මෙවැන්නක් ලිවීමට මින් ඉහත මට නොසිතුනද එවැන්නක් ලියන්නටම සිතිණි.

සෑම මසකටම වරක් පාහේ කොණ්ඩය කැපීමට ගිය සැලූන් එක වෙනුවට වෙනත් සැලූන් එකක් වෙත යෑමට ගිය මාසයේ මට සිදුවිය. ඒ අදාළ සැලූනය හිමි සුනිල් අයියා අසනීපයෙන් පසුවීම හේතුවෙන් සැලූන් එක දින ගණනාවක් තිස්සේ වසා තිබීම නිසාය. එය වඩාත් දැනෙන්නේ වසර 19ක් පමණ කාලයක් එක දිගට මාස්පතාම පාහේ (එක් මාසයකදී හැර) මේ සැලූනයෙන්ම කොණ්ඩය කැපීමට පුරුදුවී සිටි නිසාය. අලුත් සැලූනයක් සොයා යෑම කරදරයක්ම විය. එහි සේවය එතරම් වරදක් නොවූවද පුරුදු සැලූනයෙන් ඈත් වීම ගැන කණගාටුවක් ඇත.

1994 වර්ෂයේ අවසන් භාගයේදී විජේරාම හන්දියේ පිහිටි ‘සුනිල් සැලූන්‘ එකට මම මුලින්ම පිවිසිදා පටන් මේ කාලය තුළ බොහෝ දේ වෙනස් වී ඇත. මේ කාලයේදී ‘සුනිල් සැලූන්‘ ආයතනය තැන් තුනක පවත්වාගෙන යන ලදි. විජේරාම හන්දියද සැලකිය යුතු තරම් වෙනස් වී ඇත. එසේම සුනිල් සැලූන් (Saloon) සිට සුනිල් සැලෝන් (Salon) ලෙස නමද වෙනස් විය. සුනිල් අයියාගේ ගෝලයන් මාරුවන අයුරු හා අවසානයේ වසර ගණනාවක් තිස්සේ ඔහු තනිවම සැලූනය කරගෙන යන අයුරුද දුටිමි. මේ කාලය ඇතුළත සුනිල් අයියා තාක්ෂණික වශයෙන් ඉදිරියට ගොස් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය පටන් ගත්තේය. එසේම මගේ කොණ්ඩයේ ස්ටයිල් එකද එක් වරක් වෙනස් විය.

බෙහෙවින් සාමාන්‍ය තැනක් වූ මේ සැලූනය, මට බොහෝ කතාබහට හා මිනිසුන් හ‍ඳුනාගැනීම සඳහා තැනක් විය. දන්නා හඳුනන අය රැසක්ම මෙහි එන බව ඔවුන් හමුවීමෙන් දැනගැනීමට ලැබිණි. ඥාතීන්, බොහෝ පැරණි මිතුරන් හා විශ්ව විද්‍යාලයේ මගේ ගුරුවරුන්ද මේ අතර විය. ඇතැම් විට ඔවුන් ගැන බොහෝ රස කතාද අසන්නට ලැබිණි.

මෙහි ඇතිවූ කතාබහ සුනිල් අයියාගේ වෘත්තියේ සිට ජාතික දේශපාලනය දක්වාත්, එදිනෙදා සිදුවීම්වල සිට ඒ ප්‍රදේශයේ ඇතිවූ විවිධ ගැටලු පිළිබඳවත් වශයෙන් විවිධ විය. සුනිල් අයියාගේ සැලූනයේ තිබෙන දිවයින පුවත්පත ඇතැම් විට මේ සාකච්ඡාවලට මුල් විය. අන්තර්ජාලය නොමැති කාලයේ දිනපතා දිවයින පුවත්පත කියැවීමට මට ඉදහිට ලැබුණු අවස්ථාවක් මෙහිදී උදා විය. එසේම, මට මතක හැටියට දශක හතරකට අධික කාලයක් පුරා දිව යන, සුනිල් අයියාගේ විවිධ අත්දැකීම්ද මෙහිදී අපේ සාකච්ඡාවට ලක් විය. එසේම විවිධ ගුවන් විදුලි නාලිකාවල වැඩසටහන් ගැනද අපි සාකච්ඡා කළෙමු.

බෙහෙවින් පුද්ගලික සටහනක් වුවත් අදහස ලියා තැබීමට මට සිතුනේ, මෙවැනි සුළු දේ ගැන පවා අප කෙතරම් කරදර වන්නේද යන්න සිතට දැනුණු නිසාය.

No comments:

Post a Comment