Wednesday, July 31, 2024

අපේ පුස්තකාලවල ඉරණම

ධනේෂ් විසුම්පෙරුම

2024-07-31

කලක් තිස්සේ ටික ටික ලියමින් සිටි මේ සටහන අවසන් කිරීමට මට සිතුනේ මෑත දිනයක මගේ මිතුරෙකු පැවසූ කරුණක් නිසාය. ඔහු කී පරිදි, ඔහු "දැන් පොත් ගන්නේ අඩුවෙන්"ය. ඊට හේතුව ලෙස ඔහු කීවේ, ඔහුගෙන් පසුව පොත්වලට කුමක් වේද යන්න නොදන්නා බවයි. පරිසරය මෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂය පිළිබඳ උනන්දුවක් දක්වන හා විශිෂ්ට දැනුමකින් යුක්ත ඔහුගේ දරුවන්‌ උනන්දුවක් දක්වන අංශ ඊට වඩා වෙනස් බව මම දැන සිටියෙමි.

මම පොත් ගැනීම අඩු කර දැන් කලක් ගත වී තිබේ. මම උනන්දුවක් දක්වන අංශවල වුවත් මගේ විශේෂිත උනන්දුවක් ඇති මාතෘකාවලට අදාළ පොත් මිස සෙසු පොත් දැන් මිලට ගන්නේ නැති තරම්ය. ඒ සඳහා මූලික හේතුව ඉඩ නොමැති වීම වන අතර, දෙවැනි හේතුව වන්නේ ආයතනික පුස්තකාල පරිහරණයට මට ඕනෑ තරම් අවස්ථාව තිබීමයි.

අපි බොහෝ දෙනා පෞද්ගලික පුස්තකාල නඩත්තු කරන්නෙමු. එසේම පොත්වලට ප්‍රේම කරන්නෙමු. අප මෙතරම් ප්‍රේම කරන පොත්වලට, අපෙන් පසුව අනාගතයේ දී අත්වන ඉරණම කෙබඳු විය හැකිදැයි අපි සිතා බැලිය යුතුය. 

පෙර සඳහන් කළ පරිදි මේ ගැන කලක සිට ලිවීමට සිතා සිටියේ සිදුවීම් දෙකක් නිසාය.

ගංවතුරින් පාලනය වූ පොත්


මට මුලින්ම මේ ගැන සිතුනේ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි පැරණි සිවිල් නිලධාරියෙකු සතු වූ පුස්තකාලයට සිදුවන දේ පිළිබඳව ඔහුම පැවසු කරුණක් නිසාය. ඒ වසර පහලොවකට පමණ පෙර මා ඔහුගේ නිවසට ගිය අවස්ථාවක දී ය. ඔහු සතුව 1950 දශකයේ පමණ සිට එකතු කළ පොත් එකතුවක් විය. ඒ එකතුව දෙස බලමින් ඔහු පැවසුවේ අපේ පොත්වලට අනාගතයේ දී සිදුවන දේ ගැන කලින් සිතිය යුතු බවයි. ඔහුගේ දූ දරුවන් ඒ පොත් පත් පරිශීලනය නොකරන බව ඔහු කීවේ කම්පාවක් නොමැතිවයි. එසේම ඔහු මද සිනහවකින් කීවේ, "මගේ නං පොත් ටික ටික අවුරුදු කීපයකට වරක් නැතිවෙනවා" කියාය. ඒ කෙසේදැයි ඇසු විට ඔහු කීවේ පොත් රාක්කවල පහළ තට්ටුවල පොත් ගංවතුර නිසා විනාශ වී ඉවතලන්නට සිදුවන බවයි. ඒ නිවස පිහිටි අතුරු මාවත බරපතළ ගංවතුර අවස්ථාවල දී වතුරට යටවේ. ඔහු ඒ පොත්වලට කළේ කුමක්දැයි නොදනිමි. අද වන විට ඔහු ඒ පොත්-පත් පමණක් නොව ගිහි ජීවිතයෙන් ද ඇත්ව මහණ දම් පුරන්නෙකි.



නොදන්නා අත්වලට යන පොත්


තවත් අප දන්නා වියතකුගේ වසර හැට හැත්තෑවක් පමණ කාලයක් තිස්සේ එකතු වු පොත් එකතුව ඔහු මියගිය පසු නිවසේ උදවිය විසින් වෙනත් අයට රැගෙන යන්නට දී ඇත. ඔහුගේ දූ දරුවන් අතර ඔහුගේ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන්නවුන් නොවිණි. මට දැනගන්නට ලැබුනු ආකාරයට පොත්වලින් කොටසක් හිතවත් අයෙකුගේ මැදිහත්වීමෙන් රජයේ විශ්ව විද්‍යාලයකට ලබා දී ඇත. එහෙත් අනෙක් පොත් විවිධ පුද්ගලයින් විසින් පැමිණ රැගෙන ගොස් තිබේ. එක් අයෙකු පැමිණ 'වෑන් ලෝඩ් එකක' පුරවා පොත් රැගෙන ගිය බව මට අසන්නට ලැබිණි. 


පොත්වල ඉරණම ගැන ලියැවුන දේ

මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් පොත් එකතු දෙක් එරික් ඉලියප්පආරච්චිගේ 'මගේ පුස්තකාල' නම් කෘතියේ එවැන්නක් ගැන සඳහන්ය. ඔහු පළමුවැන්න ගැන මෙසේ කියයි. 

"සුලේමාන් ටෙරසයේ පිහිටි සමාජ විද්‍යාඥයින්ගේ අගනා පුස්තකාලය රාක්ක සමග විකුණා දමනු ලැබුණේය. එදා සුලේමාන් ටෙරසය බස්රාවකට හෝ අලිප්පෝවකට හෝ සමාන විය. "අපේ රටේ දැනුමේ ඉරණමේ හැටි මෙහෙමයි" කවුදෝ කීවේ සුසුම් ලමිනි. මා ඇතුළු ඒ පොත් තුට්ටුවට දෙකට මිලට ගත් සියල්ලන්ට මිනිස් ශිෂ්ටාචාරය විසින් වරෙන්තු නිකුත් කරනු ඇත." (පිටුව 111)

ඉලියප්පආරච්චි තවත් වටිනා පුස්තකාලයක් ගැන ඒ කෘතියේම මෙසේ පවසා ඇත.

"වටිනා පුද්ගලික පුස්තකාල ද මේ ඉරණමට ලක්වන බව පරණ පොත් කඩවලට හා පදික පොත් වෙළෙඳුන්ට අත්සන් සහිතව ලැබෙන පොත්වලින් පැහැදිලි වේ. හිරිහැටියේ අනුර බණ්ඩාරනායකගේ නම සහිත ඉංග්‍රීසි පොත් රැසක් පදික වේදිකාවට පැමිණියේය. මිල දී ගත් නගරය ද ලන්ඩන්, පැරිස්, නිව්යෝක් වශයෙන් ඒවායෙහි ලියා තිබිණි. ඒ පොත් අනුව ඔහු මෙරට විසූ දුර්ලභ ගණයේ නිහඬ ප්‍රාඥයෙකි" (පිටුව 111)

අනුර බණ්ඩාරනායක යනු බොහෝ සේ පොත පත කියැවු අයෙකු බව රහසක් නොවේ. ඉලියප්පආරච්චි පවසන මේ සිදුවීම කරුණාරත්න අමරසිංහයන් දින වකවානු සහිතව ලියා ඇත. ඒ අනුව එය සිදුව ඇත්තේ 2016 අගෝස්තු මාසයේ 09 වැනි අඟහරුවාදා හෙවත් අනුරගේ මරණයේ වසර 8කට පසුවය! අමරසිංහයන් වෙනත්  මාතෘකාවක් ගැන ලියන සටහනක උක්ත සිදුවීම ගැන ලියා ඒ සටහන මෙසේ අවසන් කරයි. 

"මෙරට විශිෂ්ට දේශපාලන නායකයෙකු වීමට උපනිශ්‍රය ඇතිව උපන් අනුර බණ්ඩාරනායකගේ අකල් අභාවයෙන් අනතුරුව ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ තිබුණු විවිධ විෂය පථයන්ට අයත් අගනා පොත්පත් මහ මග පදික වේදිකාවට කුණු කොල්ලයට විකිණී යෑම කොතරම් ඛේද ජනකද?" (අදාළ සටහන මෙතැනින් කියවන්න)


අපේ වගකීම කුමක් ද?

පොත් යනු දැනුමයි. තවදුරටත් අපට ඕනෑ නැතිනම් සහ අපෙන් පසුව ඒවා පත් විය යුත්තේ, ඒවා පත්විය යුත්තන් අතට බව දැන් මගේ ද අදහසයි. අප ආදරය කළ පොත් නැසෙනු දැකීමට අපි නොකැමැත්තෙමු. ඒ පොත්, අප මෙන්ම ඒවාට ආදරය කරන්නවුන් අතට පත් වීම එක්තරා ආකාරයක සැනසුමකි.

මේ සිතිවිල්ල අනුගමනය කරමින්, මම මගේ පොත් එකතුවෙන් මට අනවශ්‍ය යැයි සිතූ පොත් හා වාර්තා දෙසීයක් පමණ දෙවරක දී බැහැර කරන්නට උත්සාහ දැරීමි. සමහරක් අවශ්‍ය මිතුරන්ට මෙන්ම, සුදුසු යැයි මා සිතූ ආයතනයක පුස්තකාලයකට ද දුනිමි. ඒ ලද අත්දැකීම අනුව මා සිතන්නේ වඩාත් යෝග්‍ය වන්නේ ආයතනයකට ලබාදීම බවයි. 

ඉතින් ඔබත් පොත් ඇසුරු කරන්නෙකු නම්, වටිනා පොත් පත් තිබේ නම්, ඔබෙන් පසු ඒ පොත් පරිස්සමින් කියවන්නෙකු සමීපතමයන් අතර නොමැති නම්, ඔබෙන් පසුව සුදුසු අයෙකුට හෝ ආයතනයකට ඒ පොත් ලබා දීමට කාරුණීක වන්න. 

එසේම ඒ තීරණය කලින් ගත යුතුය. 

ඡායාරූපය - මම මගේ එකතුවෙන් කලකට පෙර බැහැර කළ පොත් අතරින් කිහිපයක්.


Monday, July 29, 2024

ඔබ ආයෙමත් ඇවිදින් - රඹුටන්, මැංගුස්, ගඩුගුඩා හා දූරියන්

Climate Diary - දේශගුණ දිනපොත 06

ධනේෂ් විසුම්පෙරුම



ආපසු රඹුටන්, මැංගුස්, ගඩුගුඩා හා දූරියන් පාරට ඇවිත්. ඒක අමුත්තක් නෙමෙයි - මොකද මේ තමයි සාමාන්‍යයෙන් ඔය පලතුරු වෙළෙඳපොලට එන කාලය. ඒ කියන්නේ ජුලි-අගෝස්තු මාස.

ඒත් මේ අවුරුද්දේ මාර්තු මාසෙ දී වගෙත් මේවා වෙළෙඳපොලේ තිබ්බා. ඒකට හේතුව මේ අවරුද්ද මුල් කාලෙදි මේ පලතුරු හැදෙන තෙත් කලාපයට සැලකිය යුතු වැස්සක් වැටීම වෙන්න ඕන. සමහර අවුරුදුවල නොවැම්බර් දෙසැම්බර් මාසවල දීත් මේ පලතුරු සුලබ උනා.

මේක වර්ෂාපතනයේ වෙනස් වීම එක්ක ඇති වන වෙනසක් වගේ පේන්නේ. අපේ වර්ෂාපතන රටාව වෙනස් වෙලා - සාමාන්‍යයෙන් වහින්නේ නැති කාලවල දී පවා සැලකිය යුතු වැස්සක් වැටෙන අවස්ථා දැන් දැන් තිබෙනවා. පලතුරු වාර ගණන දෙකක් තුනක් වීම සාධනීය වෙනසක් විදියට ගන්නත් පුළුවන්. හැබැයි මේක  හැමදේටම සාධනීය නෑ - ගොයම් කපන්න ආසන්නයේ වැටෙන වැස්සෙන් ග‌ොයමට හානි වෙනවා. අනෙක මේක හැම අවුරුද්දකම වෙන්නේ නෑ.

තවත් වැදගත් දෙයක් - මේ පලතුරු ‌හතරම විදේශීය සම්භවයක් ඇති පලතුරු. ගඩුගුඩා හැර අනෙත් තුන වර්තමාන මලයාසියාව ප්‍රදේශයේ සම්භවය වූ පලතුරු වන අතර, ගඩුගුඩාවල සම්භවය පොදුවේ අග්නිදිග ආසියාවේ බව පැවසෙනවා. මේවා 18-19 සියවස්වල දී අපේ රටට හඳුන්වා දීමෙන් පසු රටේ ජනතාව විසින් වැළඳගනු ලැබුවා. 'පලතුරු ලෝකයේ රජු' යැයි පැවසෙන දූරියන් කියන්නේ මේ රටේ වැඩිම මිලකට අලෙවි වන පලතුරක් වෙන්න ඕන. තවත් විදේශීය සම්භවයක් ඇති පලතුරු වන කජු හා අන්නාසි උනත් මිල අධික පලතුරුයි.

මේ වගේ බොහෝ විදේශීය එලවළු හා පලතුරු මිනිසුන් විසින් ලෝකයේ අනෙක් රටවලට ගෙන ගොස් තම පරිභෝජනය සඳහා වවා ගැනීම නිසා ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙනවා. ඇතැම් එළවළු හා පලතුරු අපට කෙතරම් සමීප ද කියනවා නම්, ඒවා විදේශීය රටවලින් අපේ රටට හඳුන්වා දුන්නාද යන්න විශ්වාස කරන්න පවා නොහැකි තරම්. ඒ පිළිබඳව ලියැවුණු ලිපියක් මෙතැනින් කියැවිය හැකියි (අදාළ මුල් පර්යේෂණ පත්‍රිකාවට සබැඳියක් එහි ඇති) - https://dhaneshw.blogspot.com/2016/07/blog-post.html

2024-07-29