Tuesday, July 19, 2016

ලොව සිව්දිගින් සම්භවය වී අපේ කෑම මේසයට ආ ආහාර භෝග

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 13.07.2016, පි. 14-15

(Vidusara, 13.07.2016, pp. 14-15, Food crops we consume were originated in all parts of the world)

http://vidusara.com/2016/07/13/feature5.html

මිරිස්‌ නොමැති ව පිළියෙල කළ ආහාර වේලක්‌ ගැන ශ්‍රී ලංකාවේ අපට සිතිය නොහැකි ය. අපේ ආහාර වේලේ ඇතුළත් බතල, අර්තාපල්, වට්‌ටක්‌කා වැනි ආහාර සාමාන්‍යයෙන් අපේ ආහාර වේලේ සුලබ ආහාර අතර වේ. කජු, අන්නාසි හා ගස්‌ලබු වැනි පලතුරු අපට නැති ව ම බැරි ආහාර අතර වේ. එහෙත් මේ සඳහන් කළ ශාක අපේ රටට හඳුන්වා දී ගත වී ඇත්තේ වසර පන් සියයකට අඩු කාලයක්‌ බව කිව හොත් ඒ බව ඇතැම් විට විශ්වාස කිරීම අසීරු ද විය හැකි ය. ඉහත සඳහන් සඳහන් කළ සියලු භෝග වර්ග දකුණු හා මධ්‍යම ඇමෙරිකාව නිජබිම කරගත් ශාක වේ. මෑත කාලයේ දී අපේ රටට හඳුන්වා දී ඇති ස්‌ට්‍රෝබෙරි වැනි පලතුරු ද ඇමෙරිකාව නිජබිම් කරගත් ශාක අතර වේ.

මේ ආකාරයෙන් ලෝකයේ එක්‌ ප්‍රදේශයක සම්භවය වන හා වගා කරනු ලබන භෝග ශාක විශේෂ වෙනත් ප්‍රදේශවලට හඳුන්වා දීම මිනිසුන් විසින් මානව ඉතිහාසය පුරා ම සිදු කරන ලද්දකි. ඒ මිනිසුන් ගේ පැවැත්මට ආහාරය වැදගත් වූ නිසා ය. මෙවැනි බොහෝ ආහාර භෝග වර්ග

රැසක්‌ අපේ එදිනෙදා පරිභෝජනයේ පවතී. එළවළු හා පලතුරු වර්ග රැසක්‌ මේ අතර වේ. එපමණක්‌ නො ව ඖෂධ, දැව, විසිතුරු ශාක ආදි වෙනත් භාවිත සඳහා යොදාගන්නා ශාක වර්ග ගණනාවක්‌ ද අපේ රටට විදේශීය රටවලින් හඳුන්වා දුන් ශාක අතර වේ. සමස්‌තයක්‌ ලෙස ගත හොත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි හාර දහසකට අධික ශාක වර්ග අතරින් 25%ක්‌ පමණ ප්‍රමාණයක්‌ විදේශීය රටවලින් හඳුන්වා දුන් ශාක වේ. මේ හඳුන්වා දුන් ශාක අතරින් ඇතැම් ශාක මේ වන විට ස්‌වාභාවිකකරණයට ලක්‌ ව ඇති බව ද සැලකිය යුතු කරුණකි.

අපේ රටෙන් මේ සඳහා නිදසුන් ඕනෑ තරම් දැක්‌විය හැකි ය. අපේ රටේ වැදගත් ආර්ථික භෝග දෙකක්‌ වන තේ හා රබර් යනු විදේශීය රටවලින් මෙරටට හඳුන්වා දුන් භෝග දෙකකි. අපේ රටට මේ ශාක දෙක ම හඳුන්වා දෙන ලද්දේ 19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී පමණ ය. බොහෝ ඖෂධමය ශාක පවා අපේ රටට විදේශීය රටවලින් පැමිණි ඒවා වේ. ශාක ඖෂධමය ප්‍රයෝජන සඳහා යොදාගෙන තිබේ. මේ බොහෝ ශාක අපේ ජන ජීවිතවවලට බද්ධ ව ඇත්තේ වෙන් කළ නොහැකි ආකාරයෙනි.

මේ තත්ත්වය අපේ රටට පමණක්‌ නො ව ලෝකයේ බොහෝ රටවලට පොදු කරුණකි. වර්තමාන තායිලන්තයේ හා ඉන්දියාවේ ආහාර වේල සඳහා ද මිරිස්‌ නැති ව ම බැරි දෙයකි. එසේ ම යුරෝපයේ රටවල් ගණනාවක ප්‍රධාන ආහාරයක්‌ වන අර්තාපල් යුරෝපයට පැමිණයේ ඇමෙරිකාවෙනි. ආසියානු සම්භවයක්‌ ඇති කුරුඳු ශාකය දැන් දකුණු ඇමෙරිකානු රටවල ද වවනු ලබන අතර, ඇමෙරිකානු සම්භවයක්‌ ඇති කජු ශාකය ඉන්දියාවේ වැවිලි වගාවකි. අනෙකක්‌ තබා ආගන්තුක ආක්‍රමණික ශාක ලෙස අප විසින් හඳුන්වනු ලබන ශාක අතරින් වැඩි ප්‍රමාණයක්‌ ද මිනිසුන් විසින් වුවමනාවෙන් ම අතීතයේ දී වෙනත් ප්‍රදේශවලට ගෙන යන ලද ශාක වේ.

ඓතිහාසික භෝග හුවමාරු

මෙවැනි එක්‌ හුවමාරුවක්‌ ලෝකයේ සෙසු එවැනි අවස්‌ථාවලට වඩා අධ්‍යයනයට ලක්‌ ව තිබේ. ඒ නව ලෝකය යනුවෙන් හඳුන්වනු ලබන ඇමෙරිකානු මහාද්වීපවලින් ලෝකයේ සෙසු මහාද්වීපවලට ද, ලෝකයේ සෙසු මහාද්වීපවලින් ඇමෙරිකාවට ද විවිධ ශාක හා සතුන් ශාක හා වෙනත් ද්‍රව්‍ය හඳුන්වා දුන් සිදුවීමයි. 15 වැනි සියවස අවසාන භාගයේ දී යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණීමෙන් පසුව (මෙය ක්‍රිස්‌ටෝපර් කොලම්බස්‌ විසින් ඇමෙරිකාව 'සොයාගනු ලැබීම' ලෙස ද හැඳින්වේ) ඇමෙරිකාව ජනාවාස කරගැනීම ආරම්භ විය. ඉන්පසුව ඇති වූ වෙළෙඳාම හා සමග ඇමෙරිකාවට විවිධ ශාක හා සතුන් හඳුන්වා දුන් අතර ඇමෙරිකාවෙන් විවිධ ශාක හා සතුන් යුරෝපයට, අප්‍රිකාවට හා ආසියාවට හඳුන්වා දෙනු ලැබිණි. මේ හුවමාරුව ශාක හා සත්ත්වයන්ට සීමා නො වූ අතර ලෙඩ රෝග, සංස්‌කෘතිය හා අදහස්‌, මිනිසුන්, තාක්‌ෂණය ආදි වශයෙන් මේ හුවමාරුව ඉතා පුළුල් වූවක්‌ විය. මේ සිදුවීම හැඳින්වෙන්නේ 'කොලම්බියානු හුවමාරුව' (Columbian exchange) යනුවෙනි. මේ අදහස මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ ඇල්ෆ්‍රඩ් ක්‍රොස්‌බි විසින් 1972 වර්ෂයේ දී පමණ ය.

ශාක හුවමාරුවක්‌ සේ ගත් විට, කොලම්බියානු හුවමාරුව සැලකිය යුතු තරම් වාර්තා සහිත හුවමාරුවක්‌ සේ සැලකිය හැකි ය. එහෙත් වාර්තා වී නොමැති නමුත්, අතීතයේ සිට මිනිසුන් ශාක හා සතුන් රටින් රටට ගෙන ගොස්‌ තිබේ. දුම්කොළ වැනි ශාක පවා අපේ කලාපයට පැමිණෙන්නේ ඒ ආකාරයෙනි. එපමණක්‌ නො ව, ඉන්දියාවෙන්, අග්නිදිග ආසියාවෙන්, මෑත පෙරදිග ප්‍රදේශවලින් ආදි වශයෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අපේ රටට ඉතිහාසයේ විවිධ කාලවකවානුවල දී විවිධ ශාක ගෙනැවිත් තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව, දේශාටකයන්, වෙළෙන්දන් පමණක්‌ නො ව පදිංචිය සඳහා පැමිණි සංක්‍රමණිකයන් ඇතුළුව විවිධ පිරිස්‌ පැමිණි රටකි. ඔවුන් ශාක ආදිය රැගෙන පැමිණි බව සිතිය හැකි ය.

කෙසේ වෙතත් ඇතැම් ශාක කුමන කාලයක දී මෙහි ගෙන ආවේ දැයි සොයාගැනීම අසීරු ය. මේ තත්ත්වය කෙතරම් ද යත්, ඇතැම් අවස්‌ථාවල දී නොදැනුවත්කම නිසා 'දේශීය' යන විශේෂණය යොදා හඳුන්වන විදේශීය ශාක ද දැකිය හැකි ය. කලකට පෙර විදේශීය රටවලින් හඳුන්වා දුන් බතල හා දෙල් ශාක මීට නිදසුන් වේ. එසේ ම මෑත කාලයේ දී හඳුන්වා දුන් වැඩිදියුණු කළ භෝග ප්‍රභේද නිසා, එම විදේශීය භෝගයේ ම අතීතයේ දී හඳුන්වා දුන් භෝග ප්‍රභේද, දේශීය ප්‍රභේද යෑයි සිතන බව ද සිතිය හැකි ය. එම ප්‍රභේදවලට දේශීය විශේෂණ යොදා ඇති අවස්‌ථා ද හමු වේ.

හඳුන්වා දුන් ශාක සම්බන්ධව වාග් විද්‍යාත්මකව විශේෂ අවස්‌ථා ද හඳුනාගත හැකි ය. ඒ අදාළ ශාකවලට පොදු නම් ව්‍යවහාර වන අවස්‌ථාවල දී ය. වෙනත් රටකින් හඳුන්වා දුන් බැවින් මෑතක්‌ වන තුරු ම වැඩි වශයෙන් රට දෙල් යනුවෙන් හැඳින්වූ Artocarpus altilis ශාකය දැන් වැඩි වශයෙන් හැඳින්වෙන්නේ දෙල් යනුවෙනි. එහෙත් මෙරට පමණක්‌ දැකිය හැකි අතීතයේ දෙල් යනුවෙන් හැඳින්වූ Artocarpus nobilis ශාකයේ ප්‍රයෝජනයට ගැනීම අඩු වී ඇති අතර, එය වල් දෙල් හෝ බැදි දෙල් යනුවෙන් හඳුන්වනු දැකගත හැකි ය. අනෙක්‌ අතට වසර පන් සියයකට පමණ පෙර මෙරටට හඳුන්වා දුන් කජු ශාකය (එම නම ද විදේශීය ය) තවමත් එම නමින් හඳුන්වන අතර, ඉන් පසු කලක හඳුන්වා දුන් ඊට සමාන රසක්‌ හා බීජයක්‌ ඇති ඇති ශාකයක්‌ අප හඳුන්වන්නේ රට කජු යනුවෙනි.

අනෙක්‌ අතට අපේ රට ද අයත් දකුණු ආසියාවේ ගෘහාශ්‍රිතකරණය කර මෙහි ම සම්භවය වූ ආහාර භෝග වර්ග රැසක්‌ ද ඇති බව අප අමතක නො කළ යුතු කරුණකි. පොල්, කුරුඳු, අඹ, ඉගුරු, කෙසෙල් ආදි භෝග වර්ග මීට අයත් ය. ඒ අතරින් අපේ රටේ යම් යම් ශාක ගෘහාශ්‍රිතකරණය වූයේ ද යන්න තහවුරු කළ හැක්‌කේ ඒ පිළිබඳ නිසි පර්යේෂණවලින් අනතුරු ව ය.

භෝග සම්භවය පිළිබඳ පර්යේෂණ හා සංකල්ප


ආහාර භෝගවල සම්භවය පිළිබඳ අධ්‍යයන ආරම්භ වන්නේ 19 වැනි සියවස අවසානය් දී පමණ ය. ඒ උද්භිදවිද්‍යාව, වාග් විද්‍යාව, ශාක භූගෝල විද්‍යාව හා ප්‍රවේණි විද්‍යාව වැනි විෂයවල දියුණුව හා සමගිනි. මේ සමග මිනිසුන් විසින් පරිභෝජනය කෙරෙන ආහාර භෝග ශාකවල සම්භවය පිළිබඳව පළමුව අදහස්‌ පළ කරන ලද්දේ අල්පොන්සේ ඩි කැන්ඩොල් නම් විද්‍යාඥයා විසින් 1880 දශකයේ දී පමණ ය.

කෙසේ වෙතත් වගා කරන භෝග වර්ගවල සම්භවය පිළිබඳව එකිනෙකට ස්‌වාධීන වූ ප්‍රදේශ ඇති බවට වූ පිළිගත් අදහස ඉදිරිපත් කරන ලද්දේ නිකොලායි වැවිලොව් විසින් 1920 දශකයේ දී පමණ ය. සම්භව කේන්ද්‍ර (centres of origin) ලෙස හඳුන්වන ලද මේ සංකල්පය අනුව, අදාළ භෝගවල ගෘහාශ්‍රිතකරණය කළ කලාපය හඳුනාගැනීමට භෝගයේ ඉහළ ම විවිධත්වය මගින් හැකියාව ඇති බව ඔහු ගේ අදහස විය. විවිධත්වය හා එම භෝගයේ වල් දර්ශ මගින් අදාළ භෝගවල සම්භව කේන්ද්‍රය සලකුණු විය. වැවිලොව් මුලින් ම ඉදිරිපත් කළේ එවැනි ප්‍රදේශ 8ක්‌ වන අතර එහි උප කාණ්‌ඩ සමග 12ක්‌ වේ. ඒවා නම්, චීන කේන්ද්‍රය, ඉන්දියානු කේන්ද්‍රය, ඉන්දු-මලයානු කේන්ද්‍රය, මධ්‍යම ආසියානු කේන්ද්‍රය, මෑත පෙරදිග කේන්ද්‍රය, මධ්‍යධරණී කේන්ද්‍රය, ඇබිසීනියානු කේන්ද්‍රය, දකුණු මෙක්‌සිකෝව හා මධ්‍යම ඇමෙරිකා කේන්ද්‍රය, පේරු-ඉක්‌වදෝර-බොලීවියානු කේන්ද්‍රය, චිලී කේන්ද්‍රය හා බ්‍රසීල-පැරගුවේ කේන්ද්‍රය යනුවෙනි. (අවසන් කේන්ද්‍ර තුන දකුණු ඇමෙරිකානු කේන්ද්‍රයේ උප කේන්ද්‍ර සේ සලකා තිබේ.)

වැවිලොව් ගේ මේ සම්භව කේන්ද්‍ර මතවාදය ප්‍රයෝගික එකක්‌ වූ අතර සැලකිය යුතු පිළිගැනීමකට ද ලක්‌ විය. ඒ මත පදනම් ව එතැන් පටන් විද්‍යාඥයන් අදහස්‌ දක්‌වා ඇති අතර, පසු කාලයක දී ඒ මතය තවදුරටත් දියුණු වී ඇත. මේ අනුව සම්භව කේන්ද්‍ර සංකල්පය වෙනුවට විවිධත්ව කේන්ද්‍ර (centres of diversity) යන කල්පිතය ද ඉදිරිපත් ව තිබේ. කිසියම් භෝගයක සම්භවය වූ ස්‌ථාන හඳුනාගැනීමට අසීරු විම හා පැරැණි ප්‍රභේද ඉහළ විවිධත්වය හා වල් දර්ශ අධික ලෙස හමු වන ප්‍රදේශ හඳුනාගැනීම වඩා පහසු වීම නිසා මේ විවිධත්ව කේන්ද්‍රය වඩා එකග විය හැකි යෙදුමක්‌ විය. අද වන විට මේ සංකල්ප දෙක ම ඒ අංශවල කටයුතු කරන විද්‍යාඥයන් අතර භාවිත වේ.

මේ අතර පසුගිය දා Proceedings of the Royal Society B සගරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් මේ පිළිබඳ වෙනත් අංශයක්‌ ගැන ද අවධානය යොමු කර ඇත. එයට හේතු වී ඇත්තේ ද ඇතැම් අවස්‌ථාවල දී භෝග සම්භවය වූ නිශ්චිත ස්‌ථානයක්‌ හඳුනාගැනීම ඉතා අසීරු වීම ය. විශේෂයෙන් නිවර්තන කලාපයේ පුරාවිද්‍යාත්මක ශේෂ ආරක්‌ෂා නො වීම ද මීට එක්‌ හේතුවකි. එසේ ම එක්‌ ප්‍රදේශයක සම්භවය වූ භෝග ශාක පවා වෙනත් කලාපයක ඇති ඒවායේ වල් දර්ශවල ප්‍රවේණි ද්‍රව්‍යවලින් හා වෙනත් කලාපවල ගෘහාශ්‍රිතකරණය කළ ප්‍රභේදවලින් ද දියුණු විය හැකි ය. මේ අනුව 'විවිධත්වයේ ප්‍රාථමික කලාප' (primary regions of diversity) නමින් නව කල්පිතයක්‌ පර්යේෂකයන් පිරිසක්‌ ඉදිරිපත් කර තිබේ. එම කලාපයට අදාළ භෝගය මුලින් ම සම්භවය වූ ප්‍රදේශය (පළමු ගෘහාශ්‍රිතකරණය) ඇතුළත් වන අතර, එමෙන් ම භෝගයේ පැරැණි වගා කළ ප්‍රභේදවල අධික විවිධත්වයක්‌ ඇති භූගෝලීය ප්‍රදේශය (භෝග විවිධත්වය ඇති වූ ප්‍රදේශය), ඒ භෝගයේ වල් දර්ශවල සුලබතාව අධික ප්‍රදේශය ද මීට ඇතුළත් වේ.

(ඇතැම් භෝගවල ද්විතීයික විවිධත්ව කේන්ද්‍ර (secondary centres of diversity) හඳුනාගත හැකි ය. එයින් අදහස්‌ වන්නේ නව ප්‍රදේශයකට හඳුන්වා දුන් පසු ඒ ප්‍රදේශවල හටගන්නා විවිධත්වයයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවට හඳුන්වා දුන් බාර්ලි හා ඕට්‌ස්‌ වැනි ශාකවල අධික විවිධත්වයක්‌ ඇති වී තිබේ).

මේ අනුව ඔවුන් නම් කර ඇති 'විවිධත්වයේ ප්‍රාථමික කලාප' 23 පහත සඳහන් වේ. මේ සමග ඇති සිතියමේ ඉන් ප්‍රධාන කලාප හා ඒවායේ සම්භවය හා ගෘහාශ්‍රිතකරණයට ලක්‌ වූ ප්‍රධාන භෝග දැක්‌වේ. මෙයින් පැහැදිලි වන පරිදි ඇතැම් භෝග වර්ග කලාප කිහිපයක ම සම්භවය හා ගෘහාශ්‍රිතකරණයට ලක්‌ වී ඇත.
  1. මධ්‍යම අප‍්‍රිකාව (Central Africa - CAF)
  2. නැගෙනහිර අප‍්‍රිකාව (East Africa - EAF)
  3. ඉන්දියානු සාගර දූපත් (Indian Ocean Islands - IOI)
  4. දකුනුදිග අප‍්‍රිකාව (Southern Africa - SAF)
  5. බටහිර අප‍්‍රිකාව (West Africa - WAF)
  6. කැරිබියානු ප‍්‍රදේශ (Caribbean - CAR)
  7. මධ්‍යම ඇමරිකාව හා මෙක්සිකෝව (Central America and Mexico - CAM)
  8. උතුරු ඇමරිකාව (North America - NAM)
  9. ඇන්ඩියානු දකුණු ඇමරිකාව (Andean South America - SAM-A)
  10. සෞම්‍ය දකුණු ඇමරිකාව (Temperate South America - SAM-Tem)
  11. නිවර්තන දකුණු ඇමරිකාව (Tropical South America - SAM-Tro)
  12. මධ්‍යම ආසියාව (Central Asia - CAS)
  13. නැගෙනහිර ආසියාව (East Asia – EAS)
  14. දකුණු ආසියා (South Asia - SAS)
  15. අග්නිදිග  (Southeast Asia - SEA)
  16. බටහිර ආසියාව (West Asia - WAS)
  17. දකුණු හා නැගෙනහිර මධ්‍යධරණී ප‍්‍රදේශ (South and East Mediterranean - SEM)
  18. ඊසානදිග යුරෝපය (North Eastern Europe - EEU-N)
  19. අග්නිදිග යුරෝපය (South Eastern Europe - EEU-S)
  20. වයඹදිග යුරෝපය (North Western Europe - WEU-N)
  21. නිරිතදිග යුරෝපය (South Western Europe - WEU-S)
  22. පැසිෆික් කලාපය - ඔස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය (Pacific Region- Australia and New Zealand - PAC-ANZ)
  23. නිවර්තන පැසිෆික් කලාපය (Tropical Pacific Region - PAC-T)


සිතියම - (ලිපියේ ප්‍රධාන කතුවරයාගේ වසර ඇතිව උපුටාගෙන තිබේ. Reproduced here with the permission of the lead author)

මූලාශ්‍රය: Proceedings of the Royal Society B, DOI: 10.1098/rspb.2016.0792 - මෙතැනින් බාගන්න

http://vidusara.com/2016/07/13/feature5.html

No comments:

Post a Comment