Tuesday, November 22, 2022

ඊජිප්තු දේශගුණ සමුළුවේ දී මොකද වුනේ?

ධනේෂ් විසුම්පෙරුම

නියමිත කාලයට වඩා අතිරේකව පැය තිස්හයකටත් වඩා කාලයක් තිස්සේ දිග්ගැසුනු ඊජිප්තුවේ ශාම් එල් ෂේක් නගරයේ දී පැවැති දේශගුණ සමුළුව හෙවත් දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුව (COP27) පසුගිය 20 දා පෙරවරුවේ අවසන් විය. 

මේ සමුළුවේ දී ඇති වූ වැදගත් ප්‍රධාන පියවර පිළිබඳව මෙසේ සැකෙවින් දැක්විය හැකිය (සමුළුව අවසන නිකුත් වූ ශාම් එල්-ෂෙයික් ක්‍රියාකාරී සැලැස්ම සඳහා සබැඳිය ලිපිය පහළින් දැක්වේ).


අලාභ සහ හානි සඳහා වූ අරමුදලක්

දේශගුණ වෙනස් වීම නිසා සිදුවන විවිධ ආපදා ඇතුළත් අලාභ සහ හානි සඳහා මූල්‍ය සහාය ලබා දීමට ජගත් මට්ටමේ අරමුදලක් පිහිටුවීමට එකඟ වීම මෙවර සමුළුවේ දී  සිදු වූ වැදගත්ම සිදුවීමකි. මෙය ගංවතුර, නියඟය, කුණාටු වැනි දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ආපදාවලින් බැට කෑ දියුණුවන රටවල් දිගු කලක් තිස්සේ (UNFCCC සම්මුතිය ඇතිකරගත් දා පටන්ම වාගේ) ඉල්ලා සිටි දෙයකි. මෙය අවශ්‍ය වන්නේ එවැනි ආපදාවලින් හානියට පත්වන භෞතික හා සමාජයීය යටිතල පහසුකම් ආදිය ගොඩනැංවීම් සඳහාය. හරිතාගාර වායු විමෝචන අඩුකිරීම හා අනුහුරු වීම සඳහා වූ පියවර සඳහා අරමුදල් සපයන ලද නමුත්, දේශගුණ අලාභ සහ හානි සඳහා වූ වෙනම ප්‍රතිපාදන සැපයීමක් මෙතෙක් පැවතියේ නැත.

කෙසේ වෙතත් මෙවැනි වෙනම අරමුදලක් ඇති කිරීමට දියුණු රටවල් එකඟ නොවූ අතර, ඔවුන් පැවසූයේ පවත්නා අරමුදල් ඒ සඳහා යොමු කළ යුතු බවයි. ඒ විරෝධය මේ සමුළුවේ දී ද දැකිය හැකි වුවත් අවසාන දෙදින තුළ යුරෝපා සංගමය හා ඇමරිකාව මේ සඳහා එකඟ වූයේ අවදානම් ඇති රටවලට ප්‍රමුඛතාවය ලබා දීමට හා තවමත් දියුණුවන රටවල් ලෙස ගැනෙන ඇතැම් රටවල් ද ස්වේච්ඡාවෙන් ආධාර ලබා දීමට එකඟවිය යුතුය යන කරුණත් සමඟය. එහි දී අවධානය යොමු වූයේ ඉහළ විමෝචන ප්‍රමාණයක් නිකුත් කරන විශාල ආර්ථිකයක් ඇති දියුණුවන රටවල්ය.

මේ අරමුදල පිහිටුවන ආකාරය ගැන හෝ එයට අරමුදල් සැපයෙන ආකාරය හෝ අරමුදල් ලබා දෙන නිර්ණායක ආදිය ගැන නිශ්චිත පිළිවෙලක්, එකඟතාවයක් තවමත් සැකසී නැත. එසේම සිදුවන අලාභ සහ හානි සඳහා මේ සැපයෙන මුදල් ප්‍රමාණවත් වනු ඇතිද යන්න ද කිව නොහැකිය. එහෙත් මෙය සංකේතාත්මකව වුව ද වැදගත් කරුණක් වන්නේ සමස්තයක් ලෙස දේශගුණ සාධාරණත්වය හා සම්බන්ධව මෙය ඉතා වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක් වන බැවිනි. එය මුදල් හෝ වන්දිවලටත් වඩා සහයෝගීතාවය පිළිබඳ පිළිගැනීමක් සේ සලකනු ලබන බැවිනි බොහෝ දියුණුවන රටවල් ඇතුළු පාර්ශ්ව රැසක් මෙය සතුටුදායක මොහොතක් ලෙස සලකන ලදි. ඒ පැරිස් ගිවිසුමට පසුව දේශගුණ සටනේ ඇති වූ වැදගත්ම ඉදිරි පියවර ලෙසය.

 

උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම

ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම, පූර්ව කාර්මික අවධියේ දී ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවීමට නොදී පවත්වා ගැනීම පැරිස් දේශගුණ ගිවිසුමේ එක් ඉලක්කයකි. එහෙත් මේ වන විට පෙන්වා දී ඇති පරිදි මේ අගය ඉක්මවීම මීලඟ වර්ෂ පහ තුළ සිදුවීඹට සියයට 50ක අවස්ථාවක් පවතී. එසේම ඒ අගය ස්ථිර ලෙස ඉක්මවීම 2031 වන විට සිදු වීමට ද අවස්ථාවක් පවතී.

මේ අංශක 1.5 සීමාවේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ ඉලක්කය සඳහා කැපවන බව මේ සමුළුවේ දී යළිත් තහවුරු කරන ලද නමුත් ඒ සඳහා ගන්නා අතිරේක පියවරක් පිළිබඳව සඳහන් නොවේ. මේ සඳහා අවශ්‍ය එක් පියවරක් ලෙස සඳහන් වූ ලෝකයේ හරිතාගාර වායු විමෝචන උපරිම අගයට ළඟා වීම 2025 වර්ෂයේ දී හෝ ඊට පෙර සිදු කිරීමට ගෙන ආ යෝජනාවට එකඟතාවයක් පළ නොවීය. ලොක්යේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ට සීමා කිරීමේ දී විමෝචන ප්‍රමාණය උපරිමයට පැමිණ අඩු කිරීම කඩිනමින් සිදු කිරීම විද්‍යාත්මක දත්ත අනුව ඉතා වැදගත්ය. මේ පිළිබඳව දියුණු රටවල් මෙන්ම දියුණුවන රටවල් අතරින් දූපත් රාජ්‍යවල වැඩි උනන්දුවක් පැවති නමුත් සමුළුවේ දී ඒ පිළිබඳ වැදගත් වන තීරණයක් නොගැනීම කණගාටුවට කරුණකි.

මේ සඳහා හේතු වූ එක් කරුණක් වන්නේ පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම සම්බන්ධව ඇති වූ තත්ත්වයයි.


පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම

පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම පිළිබඳව මේ සමුළුවේ දී වැදගත් ඉදිරි පියවරකට පැමිණ නොමැති බව පෙනේ. සමස්තයක් ලෙස සියලු පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම පිළිබඳ තිබූ අදහස ඉදිරියට ගෙන යෑමට අපහසු වූ අතර, ගල්අඟුරු භාවිතය අඩු කිරීම (phase down) පමණක් සඳහන් වේ. එය බොහෝ දුරට 2021 වර්ෂයේ ග්ලාස්ගෝ සමුළුවේ දී ඇති වූ පොරොන්දුව හා සමානය. අනෙක් අතට මේ සම්පත් ඇති ඇතැම් දියුණුවන රටවල් ද මේ සීමා කිරීම් සඳහා එකඟ නොවූ බව පෙනේ.

එසේම මේ සමුළුවේ දී එකඟ වූ ක්‍රියාකාරී සැලැස්මේ  ඇත්තේ “අඩු විමෝචන හා පුනර්ජනනය කළ හැකි බලශක්තිය” ද අතුළුව (low emission and renewable energy) ගන්නා පියවර මගින් හරිතාගාර වායු විමෝචන අඩු හැරීම පිළිබඳවය. මේ මගින් ගල් අඟුරු වැනි පොසිල ඉන්ධනවලට වඩා විමෝචන අඩු ගෑස් භාවිතය සඳහා අවස්ථාවක් ලබා ගත හැකි බැවින් එහි යම් ආකාරයක හිදැසක් ලෙස නිරීක්ෂකයන් විසින් සඳහන් කර තිබේ. මේ සමුළුව සඳහා පොසිල ඉන්ධන ක්ෂේත්‍රයේ පිරිස්වල සහභාගිත්වය ඉහළ බව පෙන්වා දී තිබිණි.

කෙසේ වෙතත් මේ සමුළුවේ දී ඇති කරගත් වෙනත් වර්ධනය තුළ ඉදිරි සමුළුවල දී පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීමක් සිදු කරගත හැකිය යන අපේක්ෂාව ඇතැම් පාර්ශ්ව සතුව තිබේ.

ශාම් එල්-ෂෙයික් ක්‍රියාකාරී සැලැස්ම (Sharm el-Sheikh Implementation Plan) - https://unfccc.int/documents/624444 (මෙය Non-official session documents නම් ලේඛන කාණ්ඩට අයත් Advance unedited version සංස්කරණයකි).

2022.11.22

Monday, November 21, 2022

ඇඳුමෙන් මිනිසුන් මැනීම (කැම්පස් කතා 3)

මේක මං සරසවියේ දෙවන වසර ස්ටුඩන්ට් කාලෙ කතාවක්. අඩුම ගානෙ වසර 25කට කලින් උනේ.

අපි කීප දෙනෙක් මාස කීපයක්ම ආචාර්ය මණ්ඩලයේ මිස් කෙනෙක්ගේ පර්යේෂණයකට සහාය දුන්නා. ඒ සඳහා අපි ගම්පහ පැත්තේ ප්‍රකට විහාරයක් ආශ්‍රිත වනාන්තරකට ගියා. පර්යේෂණය පරිසරය ගැනයි. ඇතැම් අවස්ථාවල අපි කොල්ලො කීප දෙනෙක් ගියා. ඇතැම් දවස්වල මිස් අපිත් එක්ක ගියා.

දවසක් එහෙම ගිහින් ආපහු නුවරපාරට එන්න අතුරු පාරේ කඩයක් ගාවින් බස් එකේ නගින හිටියේ අර මිසුයි, මමයි විතරයි. ඒ කාලෙ අර ජර්නි බස් තිබ්බ දවස්. බස් එකේ සෙනග.

කොන්දොස්තර මෙහෙම කීවා.

"ඔය අක්කා ඇතුළට යන්න" - ඒ් අර මිස්ට.

"මහත්තයා මෙතනින් ඉස්සරහට යන්න" ඒ මට.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් "අක්කා" උනෙත්, මම "මහත්තයෙක්" උනෙත් ඇඳුම නිසා. මිස් එදා ඇඳලා හිටියේ කැෂුවල් ඇඳුමක්. ෆීල්ඩ් එකට යන්නනේ. මං සාමාන්‍ය විදියට ෂර්ට් එක ඇඳලා යට කරලා හිටියේ.

අද එතුමිය මහාචාර්යවරියක්.

2022.11.21

Thursday, November 17, 2022

ජීවනෝපාය හා කාලගුණය (තවදුරටත්)

දේශගුණ දිනපොත - 3

ධනේෂ් විසුම්පෙරුම


ආපහු වහින්න ගත්තනේ. මට මතක් උනේ මේ වැස්ස නිසා ජීවනෝපාය අහිමි වන අය ගැනයි. ඒ කීපයක් මීට කලින් කතා කළා - පලතුරු බීම, කිරි වගේ සීතල දේ අලෙවි කරන කඩවලට වැස්ස තද සීතල දවස්වලට බිස්නස් නෑ. උද්‍යාන අවට තියන මොබයිල් වෑන් සමහරක් වැස්ස දවස්වලට ඇත්තේ නෑ (- මිනිස්සු ඒ වගේ තැන්වලට එන්නේ නැති නිසා). වැස්ස වැඩි නං තුන් රෝදවලට හයර් නෑ වගේම බසුත් හිස් (- මහ වැසි දවසට මමත් වැඩිපුර ගෙදර ඉදලයි වැඩ. අත්‍යාවශ්‍ය දේකට ගියොත් හැර). ඉතින් මේ වගේ නිතර වහින්න ගත්තොත් මේ පිරිස් අසරණයි. ආදායම් නැති වෙනවා. එකක් මිනිස්සු ඒ වගේ දේ පරිභෝජනය අඩු කරන නිසා. අනෙක මිනිස්සු ගමන් බිමන් යෑමට අඩු වන නිසා.

ඒ වගේ ජීවනෝපාය ගොඩක් තියනවා. වීරසුමන වීරසිංහ මහතාගේ FB ගිණුමෙන් ගත් මේ ඡායාරූපය කියන්නේ ඒ වගේ කතාවක්... මේ වගේ විවෘත වීදි/ ජංගම කඩවලින් ජීවත්වන අය වැස්ස දවස්වලට පත්වන්නේ අසීරු තත්ත්වයකට - එකක් ඒ වගේ දිනවලට බිස්නස් නෑ. යන්න එන්නත් අමාරුයි. ඒ වගේම දිගටම වැස්සොත් තවත් ගැටලුවක් - මේ විකුණන සමහර දේවල් ගොඩක් කල්තියාගන්න බෑනේ.



මේකට තියන විසඳුම මොකද්ද? එකක් තමයි පෙට්ටි කඩ වගේ ආවරණයක් තිබීම. එහෙම නැත්තං වැස්සට ආවරණයක් සහිත ජංගම ට්‍රයිසිකලයක් තිබීම. එතකොට වැස්සත් මේ අයට බිස්නස් එක කරගන්න පුළුවන්. ඒත් ඒ අඩුවෙන් - මොකද වැස්සම පාරේ මිනිස්සු අඩු වනවා (ඒත් ජංගම උනොත් එයාට පාරිභෝගිකයා ළඟට යන්න පුළුවන්). අනෙක තමයි අලෙවි කරන ද්‍රව්‍ය ගණන වැඩි කිරීම - විවිධාංගීකරණය... පොඩි පොඩි වෙනත් දේ විකුණන්න. මේ වෙනස්කම් කරන්න පටන් ගන්න යම් ආධාරයක් නං ඕන වෙයි.

මේ ආකාරයට වැස්ස අක්‍රමවත් වීම (අකල් වැසි ඇතුළුව), වැස්ස සුලබ වීම, කෙටි කාලයක් තුළ ඇතිවන තද වැස්ස (තීව්‍රතාව) වගේ වෙනස්කම් ලෝකයේ අද තියන දේශගුණ වෙනස් වීමේ ප්‍රතිඵල ලෙසයි විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ.

2022.11.17

Sunday, November 13, 2022

දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අභියෝගය හෙළි වන දේශගුණ සමුළුව

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2022.11.16, පි. 7

(මෙම ලිපිය එහි සඳහන් සමුළුව අවසන් වීමට පෙර ලියැවුනක් බව කරුණාවෙන් සලකන්න. සමුළුවේ ප්‍රතිදාන පිළිබඳව පසුව ලිපියක සඳහන් වේ.)

මේ දිනවල ඊජජිප්තුවේ ශාම් එල් ෂෙයික් නගරයේ දී දේශගුණ වෙනස් වීම පිළිබඳ වාර්ෂික සමුළුව පැවැත්වේ. නොවැම්බර් මස 6 දින ආරම්භ වූ එය 18 වන දින දක්වා පැවැත්වෙනු ඇත. මෙය දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුව බැවින් COP 27 නමින් හැඳින්වේ.

ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස් වීම සම්බන්ධව අද ලෝකය පසුවන්නේ කොතැන ද, එය වැළැක්වීමට ගෙන ඇති පියවරවල සාර්ථකත්වය මෙන්ම ඉදිරියේ දී ගනු ලබන පියවර මොනවාද යන්න මෙහි දී සාකච්ඡා කෙරේ. මේ පිළිබඳව මෑත දී පළ වූ වාර්තා අනුව පවත්නා තත්ත්වය බරපතළ බවත්, කඩිනමින් පියවර ගත යුතු බවත් පැහැදිලිය.

උෂ්ණත්වය ඉලක්ක අත්පත් කරගත හැකි ද?


පැරිස් ගිවිසුමේ දී ලෝකයේ රටවල් එකඟ වූයේ 2100 වර්ෂය වන විට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට හෝ හැකිනම් 1.5කට සීමා කිරීම වැදගත් බවයිය. ඒ කාර්මිකකරණයට පෙර පැවති උෂ්ණත්වයට සාපේක්ෂවය. පසුගිය වර්ෂයේ පැවැති සමුළුවේ දී මේ සෙල්සියස් අංශක 1.5 සීමාව යළිත් අවධාරණය කරන ලද්දේ දේශගුණ වෙනස් වීමේ බරපතළ අහිතකර බලපෑම් වැළැක්වීමට එහි ඇති වැදගත්කම නිසාය. මේ ඉලක්ක දෙක අතර ඇති වෙනස දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය මගින් පැහැදිලි කරන්නේ මෙසේය.

උෂ්ණත්වය ඉහළ යෑම අංශක දෙකක් නොව 1.5කට සීමා කළහොත්,
  • ඉහළ යන මුහුදු මට්ටම නිසා නිවාස අහිමිවන පිරිස මිලියන 10කින් අඩු වනු ඇත..
  • ජල සුරක්ෂිතතාවය අහිමිවන පිරිස 50%කින් අඩු වනු ඇත.
  • කොරල් පර අහිමි වීම 99%ක සිට 70%ක් දක්වා අඩු වනු ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් ලෝකයේ උෂ්ණත්වය අංශක 1.1කින් පමණ ඉහළ ගොස්ය. ඒ ඉහළ යෑම අංශක 1.5කට සීමා කිරීම ඉතා බරපතළ අභියෝගයක් බව පෙනේ.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් නිකුත් කරන ලද ‘දේශගුණ හිදැස වාර්තාව 2022’ (Emissions Gap Report 2022 -  මෙතැනින් බාගන්න) නම් වාර්තාවට අනුව ලෝකයේ ඉහළ යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ඉක්මවා යා නොදී සීමා කළ හැකි ප්‍රායෝගික ක්‍රියාපටිපාටියක් මේ දක්වා නොමැත. පසුගිය වර්ෂයේ දේශගුණ සමුළුවෙන් පසුව, හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඒ ඒ රාජ්‍ය විසින් ලබා දී ඇති සැලසුම් ද මේ උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම සඳහා “ප්‍රමාණවත් නොවේ”. ඒ නිසා උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 මට්ටමට සීමා කිරීම ඇත්තේ දැඩි අර්බුදයකය. මේ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන විමෝචන ඉලක්ක හා සත්‍ය වශයෙන් ඇති විය හැකි තත්ත්වය අතර වෙනසයි. ඊට අනුව කාබන් විමෝචන අඩු කිරීම සඳහා ඇති නව උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචන අඩු වන්නේ 1%ක් තරම් අඩු ප්‍රමාණයකිනි. මෙය අපේක්ෂිත ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු නොසලකා හැරිය හැකි අගයයකි.

ඉහත කී සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට නම්, වර්තමාන ප්‍රතිපත්ති අනුව 2030 වන විට විමෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 45%කින් පමණ අඩු කළ යුතු බව උක්ත වාර්තාවේ පැවසේ. එසේම උෂ්ණත්වය ඉහළ යෑම අංශක 2කට සීමා කිරීමට නම්, 2030 දී නිකුත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 30%කින් පමණ අඩු කළ යුතුය. මෙය පහසු කරුණක් නොවන බව පැහැදිලිය.

මේ අතර බලශක්ති පරිවර්තන කොමිසම (Energy Transitions Commission) මගින් සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කයට අත්පත් කරගැනීමට නම්, 2030 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු ප්‍රමාණය දක්වා තිබේ. ඒ අනුව 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගිගාටොන් 26.6ක් දක්වා අඩු කළ යුතුය. එහෙත් පසුගිය වර්ෂයේ සමුළුව වන විට ලබා දී තිබූ ප්‍රතිඥා ඉටු කරනු ලැබුවහොත් එය ගිගාටොන් 41.9ක් පමණ තරම් විය හැකිය. මේ අනුව විමෝචන තවත් කෙතරම් අඩු කළ යුතුද යන්න පැහැදිලිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ සමුළුවට පෙර පැවසුවේ කය දේශගුණ වෙනස්වීම කෙරේ ලෝකය නැවත අවධානය යොමු කළ යුතු බව හා එසේ නැතහොත්, මහා ව්‍යසනයකට මුහුණ දීමට ලෝකය සූදානම් විය යුතු බවයි.


උෂ්ණත්වය ඉහළ යා හැකි ප්‍රමාණය


ජගත් කාබන් ව්‍යාපෘතිය (Global Carbon Project) මගින් සමුළුව අතරතුර ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, කාබන් විමෝචන ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශ 1.5ට අගය ඉක්මවීම ඉදිරි වර්ෂ නවය ඇතුළත සිදුවීමට 50‍% ක පමණ අවස්ථාවක් තිබේ. මාසික බලශක්ති දත්ත යොදාගනිමින් ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගණන් බලා ඇති මේ වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී ලෝකයේ මුළු විමෝචන ප්‍රමාණය 1%කින් පමණ ඉහළ යා හැකිය. ඒ අගය වාර්තාගත මට්ටමක පවතිනු ඇති බව පැහැදිලිය.

පෙර සඳහන් කළ දේශගුණ හිදැස වාර්තාව 2022ට අනුව විමෝචන පාලනය කඩිනමින් කළ නොහැකි වුවහොත් හා තත්ත්වය වෙනස් නොවුවහොත් මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8කින් පමණ ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් පොරොන්දු වී ඇති, ජාතිකව නිර්ණය කළ දායකත්ව අතර ඇති සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ හැකි වුව ද ලෝකයේ උෂ්ණත්වය අංශක 2.4ත් 2.6ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් ප්‍රකාශ කර ඇති, බාහිර මූල්‍ය ආධාර ලැබිය යුතු කොන්දේසි සහිත ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කළ හැකිවුවහොත් උෂ්ණත්වය අංශක 2.4ක් ද, කොන්දේසි රහිත ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කළහොත් 2.6ක් ද වශයෙනි.

එසේම දේශගුණ ක්‍රියාකාරිත්ව විමසුම (Climate Action Tracker - මෙතැනින් පිවිසෙන්න) නම් විශේෂඥ කණ්ඩායම ද ප්‍රකාශ කර තිබුනේ අලුතින් ලබා දී ඇති ප්‍රතිඥා සමඟ වුවත්, ලෝකයේ උෂ්ණත්වය අංශක 2.7කින් ඉහළ යෑම සිදුවිය හැකි බවයි. එනම් තවත් ප්‍රබල පියවර ගැනීම වැදගත්ය.


ඉදිරි පියවර කෙසේ වේද?


පසුගිය වර්ෂයේ ග්ලාස්ගෝ දේශගුණ සමුළුවේ දී රටවල් පොරොන්දු වුයේ මේ සමුළුව ආරම්භ වන විට වඩාත් ඉදිරියට ගිය දියුණු කළ වැඩි අභිලාෂයක් ඇති ‘ජාතිකව නිර්ණය කළ දායකත්ව’ ලබා දීමට ය. එනම් ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ගන්නා පියවර තවත් දැඩි කිරීමටය. එහෙත් ඊජිප්තු සමුළුව ආරම්භ වන විට එසේ අලුත් ප්‍රතිඥා ලබා දී ඇත්තේ රටවල් 29ක් පමණකි. මේ නිසා සමුළුවේ දී සිදුවන දේ වඩා වැදගත්ය.

වාර්තාවල සඳහන් පරිදි පොසිල ඉන්ධන සඳහා සම්බන්ධතා ඇති පිරිස් දේශගුණ සමුළුවට සහභාගි වීම ඉහළ ගොස් ඇත. එය පසුගිය වසරට වඩා 25%ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස්ය. මෙය වැදගත් වන්නේ පොසිල ඉන්ධන වෙනුවට පිරිසිදු බලශක්තිය ශක්තිමත් වීම හරිතාගාර වායු විමෝචන පාලනය සඳහා වැදගත් නිසාය. මේ පිළිබඳව දැකිය හැක්කේ තරමක් මිශ්‍ර තත්ත්වයකි. යුරෝපයේ ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන වෙත යොමු වීම ඉහළ ගොස් ඇතැයි සඳහන්ය. ජර්මනියේ ගල්අඟුරු භාවිතය මේ වර්ෂයේ දී පෙරවර්ෂයට වඩා ඉහළ ගොස්ය. එසේම කාලසීමාව ඉක්මවා ගිය ගල්අඟුරු බලාගාර වසා දැමීම පමා කරන මෙන් බ්‍රිතාන්‍යය ද බලශක්ති සමාගම්වලට දැනුම් දී තිබේ. මේ සඳහා බලපා ඇත්තේ යුක්රේනයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයේ ප්‍රතිඵලය වන තිබෙන බලශක්ති අර්බුදයයි. කෙසේ වෙතත් යුරෝපයේ මෙන්ම ලෝකයේ දියුණු කාර්මික රටවල් ගණනාවක්ම පිරිසිදු බලශක්තිය සම්බන්ධ ආයෝජන ඉහළ නැංවීමට යොමුව ඇති බව අන්තර්ජාතික බලශක්ති ආයතනයේ (IEA) ‘ජගත් බලශක්ති විමසුම 2022’ (World Energy Outlook 2022, මෙතැනින් බාගන්න) නම් වාර්තාව පෙන්වා දෙයි. එහි දක්වා ඇත්තේ ලෝකය මේ අවස්ථාවේ දී මුහුණ දී ඇති තත්ත්වය වඩා තිරසර බලශක්ති පද්ධතියක් සඳහා යොමුවීමට අවස්ථාවක් බවයි. එහෙත් එය එසේම වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

මේ අතර ඊජිප්තු දේශගුණ සමුළුව අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුයේ ඇමරිකාව 2030 වන විට සිදුකරන බවට පොරොන්දු වී ඇති විමෝචන අඩුකිරීම සිදුකරන බවයි. එය 2005 මට්ටමට වඩා 50-52%ක් පමණ අඩුකිරීමක් වන අතර එරට දේශපාලන ත්තත්වය අනුව මෙය කෙතරම් ප්‍රායෝගික විය හැකි ද යන්න විචාරකයන් විමසා තිබේ. එසේම 2030 වන විට මීතේන් විමෝචන 30%කින් අඩු කිරීම උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට හැකි වැදගත්ම පියවරක් බව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. මෙය ද තරමක් විවාදාපන්න මාතෘකාවකි.

මේ දේශගුණ සමුළුව හා එහි දී ගන්නා තීරණ දේශගුණ සටනේ දී ඉතා වැදගත්ය. මේ සටහන ලියන අවස්ථාව වන විට එහි දී එළැඹෙන අවසන් තීරණ සම්බන්ධව යමක් කීමට කල් වැඩිය. කෙසේ වෙතත් ගන්නා තීරණ, දෙනු ලබන ප්‍රතිඥා හා ඇති වන එකඟතා නොව වැදගත් වන්නේ ඉදිරියේ ක්‍රියාත්මක කරන දේය.

මූලාශ්‍රය
Climate Action Tracker, https://climateactiontracker.org/

Friday, November 4, 2022

දේශගුණ අර්බුදයෙන් ලෝකය ගලවාගත හැකි ද?

ධනේෂ් විසුම්පෙරුම 

මේ සතියේ ඇරඹෙන දේශගුණ සමුළුවට පෙරවදනක් 


දේශගුණ වෙනස්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ වාර්ෂික සමුළුව ඊජිප්තුවේ ශාම් එල් ෂෙයික් නගරයේ දී නොවැම්බර් මස 6 දින ආරම්භ කිරීමට නියමිතය. එය උක්ත ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුවයි (COP 27). මේ සමුළුව පැවැත්වෙන්නේ විවිධ ආන්තික කාලගුණ තත්ත්වවලින් ලෝකයම දැඩි ලෙස පීඩාවට ලක් වූ කාලවකවානුවක දී ය. ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස් වීම සම්බන්ධව අද ලෝකය පසුවන්නේ කොතැන ද? මේ පිළිබඳව මෑත දී පළ වූ වාර්තා හා අදහස් කීපයක් විමසීමට අපි සිතුවෙමු. 

උෂ්ණත්ව ඉලක්කය ඉක්මවීම වැළැක්විය නොහැකියි? 


මේ සමුළුව ආරම්භ වීමට පෙර එක්සත් ජාතීන්ගේ ආයතනයකින් අනතුරු හැඟවීමක් සහිත වාර්තාවක් නිකුත් වී තිබේ. ඒ වාර්තාවට අනුව ලෝකයේ ඉහළ යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ඉක්මවා යා නොදී සීමා කළ හැකි ප්‍රායෝගික ක්‍රියාපටිපාටියක් මේ දක්වා නොමැත. මේ බව පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් නිකුත් කරන ලද වාර්තාවකිනි. එහි සඳහන් වන පරිදි පසුගිය වර්ෂයේ දේශගුණ සමුළුවෙන් පසුව, හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඒ ඒ රාජ්‍ය විසින් ලබා දී ඇති සැලසුම් ද මේ උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම සඳහා “ප්‍රමාණවත් නොවේ”. ඒ නිසා උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 මට්ටමට සීමා කිරීම ඇත්තේ දැඩි අර්බුදයකය. ‘දේශගුණ හිදැස වාර්තාව 2022’ (Emission Gap Report 2022) නම් මේ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන විමෝචන ඉලක්ක හා සත්‍ය තත්ත්වය අතර වෙනසයි. ඊට අනුව කාබන් විමෝචන අඩු කිරීම සඳහා ඇති නව උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචන අඩු වන්නේ 1%ක් තරම් අඩු ප්‍රමාණයකිනි. මෙය අපේක්ෂිත ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු නොසලකා හැරිය හැකි අගයයකි. 

ඉහත කී සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට නම්, වර්තමාන ප්‍රතිපත්ති අනුව 2030 වන විට විමෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 45%කින් පමණ අඩු කළ යුතුය. එසේම උෂ්ණත්වය ඉහළ යෑම අංශක 2කට සීමා කිරීමට නම්, 2030 දී නිකුත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 30%කින් පමණ අඩු කළ යුතුය. මෙය පහසු කරුණක් නොවන බව පැහැදිලිය. ඒ සඳහා කටයුතු කළ නොහැකි වුවහොත් හා තත්ත්වය වෙනස් නොවුවහොත් මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8කින් පමණ ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් පොරොන්දු වී ඇති, ජාතිකව නිර්ණය කළ දායකත්ව අතර ඇති සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ හැකි වුව ද ලෝකයේ උෂ්ණත්වය අංශක 2.4ත් 2.6ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් ප්‍රකාශ කර ඇති, බාහිර මූල්‍ය ආධාර ලැබිය යුතු කොන්දේසි සහිත ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කළ හැකිවුවහොත් 2.4ක් ද, කොන්දේසි රහිත ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කළහොත් 2.6ක් ද වශයෙනි. 

මේ වනවිට දන්නා පරිදි මේ සෙල්සියස් අංශක 1.5 සීමාව යනු දේශගුණ වෙනස් වීමේ බරපතළ අහිතකර බලපෑම් වැළැක්වීම නම් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සීමා කළ යුතු අගය ලෙස පැරිස් දේශගුණ ගිවිසුම මගින් ද පිළිගැනෙන ඉලක්කයයි. එය අත්පත් කරගත නොහැකි නම් ඉලක්ක කරගත යුතු අගය ලෙස සඳහන් වන්නේ අංශක 2යි. එහෙත් ඉහත සඳහන් වාර්තාවේ එන අගයයන් ඒ දෙකම ඉක්මවා යයි. 

 මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් බීබීසී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුනේ ලෝකය දේශගුණ වෙනස්වීම කෙරේ නැවත අවධානය යොමු කළ යුතු බවයි. එසේ නැතහොත්, මහා ව්‍යසනයකට මුහුණ දීමට ලෝකය සූදානම් විය යුතු බව ද ඔහු සඳහන් කර ඇත. මේ අතර ඊජිප්තුවේ විදේශ අමාත්‍ය ෂාමි ෂුක්රි, ද ගාඩියන් පුවත්පතට පවසා තිබුනේ සෙල්සියස් අංශක 1.5 ඉලක්කය මේ වන විට අන් කවරදාටත් වඩා දුර්වල එකක් වී ඇති බවයි. ඔහු මේ සතියේ ඇරඹෙන දේශගුණ සමුළුවේ සභාපති ධූරය දැරීමට නියමිත පුද්ගලයාය. 

පිරිසිදු බලශක්තිය ශක්තිමත් වීම 


එහෙත් තවදුරටත් අපේක්ෂා තබාගත හැකි තත්ත්ව පිළිබඳව ද ඇතැම් වාර්තාවලින් පෙන්වා දී තිබේ. අන්තර්ජාතික බලශක්ති ආයතනයේ (IEA) ‘ජගත් බලශක්ති විමසුම 2022’ (World Energy Outlook 2022) නම් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ලෝකය මේ අවස්ථාවේ දී මුහුණ දී ඇති තත්ත්වය වඩා තිරසර බලශක්ති පද්ධතියක් සඳහා යොමුවීමට අවස්ථාවක් බවයි. මේ වෙනස්කම් සඳහා බලපා ඇති මූලික සිදුවීම වන්නේ යුක්රේනයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය නිසා ඇති වී තිබෙන බලශක්ති අර්බුදයෙයි. යුරෝපයේ මෙන්ම ලෝකයේ වෙනත් ප්‍රදේශවල දියුණු කාර්මික රටවල් ගණනාවක්ම පිරිසිදු බලශක්තිය සම්බන්ධ ආයෝජන ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියකට එළැඹීම මේ සඳහා උදාහරණ ලෙස ඒ වාර්තාවේ දක්වා තිබේ. මේ රටවල් අතර බ්‍රිතාන්‍යය හා ජපානය ද වේ. මෙසේ පිරිසිදු බලශක්තිය වෙත යොමු වීම හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා හේතුවක් ද වේ. 

මෙවැනිම තත්ත්වයක් ‘දේශගුණ ක්‍රියාකාරිත්වයේ තත්ත්වය’ (State of Climate Action 2022) නම් ලෝක සම්පත් ආයතනය (WRI) මගින් නිකුත් කර ඇති වාර්තාවක ද සඳහන් වේ. ඊට අනුව ප්‍රවාහන අංශයේ වඩා තිරසර ඉන්ධනවලට මාරුවීමක් දැකිය හැකිය. මේ පිළිබඳව එහි දැක්වෙන වැදගත් කරුණු කීපයක් මෙසේය. බලශක්ති උත්පාදනය සම්බන්ධව ගත් විට, 2019 හා 2021 වර්ෂ අතර කාලයේ දී ලෝකයේ සූර්යබලයෙන් සිදුවන විදුලි ජනනය 47%කින් ද, සුළං විදුලිබල ජනනය 31%කින් ද ඉහළ ගොස් තිබේ. එසේම ප්‍රහාන අංශයේ දී වෙනස්කම් ඇති වී තිබේ. 2021 වර්ෂයේ දී අලෙවි වූ කාර් රථ අතරින් 9%ක් පමණ විදුලියෙන් ධාවනය වන කාර් රථ වේ. මෙය පෙර වර්ෂයේ අලෙවි වූ ප්‍රතිශතය මෙන් දෙගුණයකි. එසේම 2021 වර්ෂයේ දී අලෙවි වූ මුළු බස් රථවලින් 44%ක් පමණ විදුලි බස් රථ වේ. 2013 දී මේ ප්‍රමාණය 2%ක් පමණ වූ නිසා දශකයක් ඇතුළත දස ගුණයකින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, අප දැක් වූ මුල් වාර්තාවෙන් දැක්වෙන ආකරයට, මේ අපේක්ෂා සහගත පියවරවල පරිමාණය ඇති වී තිබෙන අර්බුදයට ප්‍රමාණවත් ද යන්න මෙම වාර්තාවෙන් ද පෙන්වා දී තිබේ. 2030 වන විට පැරිස් ගිවිසුමේ ඉලක්ක වෙත යෑමට නම් ඒ සඳහා සිදුකරන බොහෝ කාර්ය වේගවත් කළ යුතු මෙහි ද දක්වා තිබේ. 

මූලාශ්‍රය 
 The Closing Window – Climate crisis calls for rapid transformation of societies (Emission Gap Report 2022), www.unep.org/resources/emissions-gap-report-2022