Wednesday, January 20, 2021

මිනිසුන් ඇඳි පැරණිම සත්ත්ව රූප ඉන්දුනීසියාවෙන්?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2021.01.20, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2021/01/20/feature1.html




ඌරන්ගේ රූප ඇතුලත් චිත්‍රය


ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ස්ථානයකින් අනාවරණය වී ඇති ඌරෙකුගේ චිත්‍රයක් ලෝකයේ මේ වන විට හමු වී තිබෙන මිනිසුන් විසින් නිර්මාණය කළ සත්ත්ව රූප සහිත පැරණිතම ලෙන් සිතුවම විය හැකි බව පසුගියදා පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. අදින් වසර 45,500කට පමණ පෙර කාලයක දී අදින ලද බවට කාලනිර්ණය කර ඇති මෙම චිත්‍රය හමු වී ඇත්තේ සුලවෙසි දූපතේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති ලියෑන්ග් ටෙඩෝංග්නෙ (Leang Tedongnge) නම් ප්‍රදේශයෙන් ලෙනකින් මේ චිත්‍ර හමු වී ඇත.

2017 වර්ෂයේ දී එම ලෙනෙන් මේ චිත්‍ර සොයාගන්නා ලද්දේ එරට පුරාවිද්‍යාඥයෙකු කළ ගවේෂණයක දීය. මේ සිතුවම් එම ලෙනෙහි ඇතුල් බිත්තියේ ඇඳි ඇති ඒවාය. රතු පැහැ ගුරුගල් (ochre) යෙදාගනිමින් ඇඳ තිබෙයි.

මේ චිත්‍රයේ පැහැදිලිව පෙනෙන්නේ ඌරෙකුගේ චිත්‍රයකි. එම සතා තවත් ඌරන් දෙදෙනෙකු දෙස බලා සිටින බව නිරූපණය කරන අතර තවත් ඌරෙකුගේ රූපයක ඡායාවක් ද දැකිය හැකිය. එසේම මිනිස් අත් දෙකක සටහන් ද එහි දැකිය හැකිය. කෙසේ වෙතත් මේ චිත්‍රයේ විශාල කොටසක් හානයනට ලක් වී ඇති නිසා මේ රූපයෙන් කියවෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව හඳුනාගැනීම අද අපහසු වී ඇත.

කෙසේ වෙතත් උක්ත චිත්‍රවලින් අවධානය කරනු ලබන්නේ ඒ මානවයන් දඩයම් කිරීම සඳහා වඩාත් උනන්දුවක් දැක්වූ සතුන් පිළිබඳව විය හැකි බව පෙනෙයි. මේ චිත්‍රවලින් දැක්වෙන්නේ ඌරන් තිදෙනෙකුගේ චිත්‍රය. ඒවායේ එම සතුන් මහත දේහ සහිතව නිරූපණය කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වන පර්යේෂකයන් පවසන්නේ එවැන්නක් නිරූපණය යන්නේ ඔවුන් වඩාත් කැමැත්තක් දැක්වූයේ විශාලතම හා වඩාත් මහතම ඌරා දඩයම් කිරීමට වීම නිසා විය හැකිය. එයින් එම මිනිසුන්ට අවශ්‍ය වූ මස් හා ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ලැබෙයි.

මේ චිත්‍ර නිර්මාණය කළ මානවයින් උපකරණ භාවිතය ගැන යම් දැනුමක් තිබූ අය බව පැහැදිලිය. එසේම, එසේම චිත්‍රයේ නිර්මාණය අනුව නිර්මාණකරණය ගැන ඔවුන් දැන සිටි බව ද දැකිය හැකිය. එය තමන් වාසය කළ පරිසරය හා වටපිටාව ගැන ඒ මානවයින්ට තිබූ අවබෝධය පැහැදිලි කරන්නකි.



චිත්‍ර හමු වූ ලෙන

කාලනිර්ණය


ලියෑන්ග් ටෙඩෝංග්නෙ ලෙනෙන් හමු වූ චිත්‍ර කාලනිර්ණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ යුරේනියම්-තෝරියම් කාලනිර්ණයයි (Uranium–thorium dating). හුනුගල් මත ස්වාභාවිකව පවත්නා යුරේනියම් හුණුගල සමග ජලයේ පැමිණ ලෙන් බිත්තියේ තැන්පත් වෙයි. මේ විකිරණශීලී යුරේනියම් තෝරියම් බවට පත්වීමට ගත වන කාලය දන්නා බැයින් මේ මූලද්‍රව්‍යවල ප්‍රමාණ සංසන්දනය කිරීමෙන් චිත්‍රය සඳහා අවම කාලයක් ගණනය කිරීමට හැකිය. මේ චිත්‍රයේ ඌරාගේ පාදය ප්‍රදේශයෙන් ලබාගත් ඛණිජ නිදර්ශකයක් විශ්ලේෂණය කිරීමෙන් මේ චිත්‍රය අවම වශයෙන් වසර 45,500ක් පමණවත් පැරණි බවට කාලනිර්ණය කර ඇත. මේ ක්‍රමය මගින් චිත්‍රය මත තැන්පත්ව ඇති ඛණිජවල කාලය නිර්ණය කර ඇති අතර, ඒ නිසා චිත්‍රය ඊට වඩා පැරණි විය හැකිය.

කෙසේ වෙතත් මේ සම්පූර්ණ චිත්‍රය ඇතැම් විට කාලවකවානු කීපයකදී සිදු කළ එකක් විය හැකි බව ද මේ පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙයි. එයට හේතුව ලෙස සඳහන් වී ඇත්තේ එක් අර්ධව පෙනෙන චිත්‍රයක එකිනෙකට වෙනස් වර්ණ දෙකක ගුරුගල් භාවිත කර ඇති නිසාය.

මේ අසලම ඇති තවත් ලෙනකින් හමු වූ තවත් ඌරෙකුගේ චිත්‍රයක් ද මේ අධ්‍යයනයේ දී කාලනිර්ණය කර ඇත. ඒ අනුව එය අදින් වසර 32,000කට පමණ පෙර කරන ලද නිර්මාණයක් බව පැහැදිලිය. මේ ආසන්නයේ ඇති ලියෑං බුලු බිටියු (Leang Bulu Bettue) නම් ස්ථානයෙන් ලැබී ඇති මෙවලම් කාලනිර්ණය කර ඇත්තේ අදින් වර්ෂ 40,000කට පෙර කාලයකට අයත් ලෙසය. ඒ ඒවා තැන්පත්ව තිබූ අවසාධිත ස්තර කාලනිර්ණය කිරීමෙනි. මේ මෙවලම් ගුරුගල් සකස් කිරීම සඳහා යොදා‌ගෙන තිබූ ඒවා වීම ද විශේෂයකි.


ලෝකයේ පැරණිම ලෙන් චිත්‍ර


අතීත මානවයා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර පිළිබඳ පුරාවිද්‍යාඥයන්ගේ මෙන්ම වෙනත් අංශවල ප්‍රවීණයන්ගේ අවධානය ද යොමු වූයේ කලකට ඉහත පටන්ය. මානවයාගේ නිර්මාණාත්මක බව පළමුව ඇති වූයේ කුමන ප්‍රදේශයකද යන්න යළිත් සාකච්ඡාවට ලක්ව ඇත. කලක් තිස්සේ පැවති අදහස වූයේ මානවයාගේ නිර්මාණාත්මක බව ඇති වූයේ යුරෝපයේ බවයි. මෙය එක්තරා ආකාරයකින් යුරෝපා කේන්ද්‍රීය අදහසක් වුවත්, එය ඒ වන විට පැවති සාධක මත එළැඹි නිගමනයකි.

මේ ලෙනෙන් හමු වූ චිත්‍ර ලෝකයේ පැරණිම සත්ත්ව චිත්‍ර වන්නේ යුරෝපයෙන් හමු වූ පැරණිම චිත්‍ර පිළිබඳ දින වකවානු ඉක්මවා ගිය නිසාය. මෑතක් දක්වා ලෝකයේ සොයාගෙන තිබූ පැරණිතම සත්ත්ව රූප ඇතුළත් සිතුවම් අතර ප්‍රංශයේ හා ස්පාඤ්ඤයෙන් හමු වු චිත්‍ර වැදගත්ය. ප්‍රංශයේ වච්වෙට්-පොන්ට්-ඩිආරක් (Chauvet-Pont-d'Arc) නම් ස්ථානයේ ලෙනකින් ලැබුණු චිත්‍රවල දින නියම කර ඇත්තේ අදින් වසර 36,000ක් පමණ කාලයක් පැරණි බවයි. ස්පාඤ්ඤයේ අල්ටමීරා (Altamira) ගුහාවේ ඇති බයිසන් ගව චිත්‍රවල කාලනිර්ණය කර තිබූනේ ද ඒ හා සමාන කාලයකටය.

සුලවෙසි දූපතේ පවත්නා චිත්‍ර ගැන හෙළි වන කරුණුවලින් එම පිළිගැනීම වෙනස් විය. මුලින්ම ආසියාවේ ද පැරණි ලෙන් චිත්‍ර ඇති බව පෙන්වා දෙන ලද්දේ 2014 වර්ෂයේ සිදුකරන ලද අධ්‍යයනයකිනි. සුලවෙසි දූපතෙන් හමු වූ එම චිත්‍ර අදින් වසර 39,900ක් පමණ පැරණි බවට කාල නිර්ණය කරන ලදි. (එම චිත්‍රවලට ඉන් පෙර ලබා දී තිබූ දිනය වූයේ වසර 12000ක් පමණ පැරණි බවයි.) මෙය නිර්මාණාත්මක කුසලතාවයක් ඇති මානවයින් ආසියාවේ කළ නිර්මාණ සම්බන්ධව ලැබුණු පැරණි දිනයකි.

අප මාතෘකා කරගත් චිතුයට ලබා දී ඇති දිනයත් සමඟ එය තවත් ඈතට යයි. මේ පර්යේෂණයෙන් පෙන්වා දී ඇති චිත්‍ර අයත් කාලවකවානුවට පෙර පවා මේ මානවයන් චිත්‍ර නිර්මාණය කරන්නට ඇත. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවෙන් ලැබී ඇති මානව සාධක අනුව අදින් වසර 65,000කට පමණ පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි මානවයින් එසේ පැමිණියේ ද ඉන්දුනීසියාව හරහාය.

නමුත්, මානවයින් කළ පැරණිම ලෙන් චිත්‍ර මේවා නොවේ. මීට පෙර ස්පාඤ්ඤයේ කැස්ටිලෝ (El Castillo) ගුහාවෙන් ලැබුණු අත් සටහන් ඇතුළත් චිත්‍ර වසර 40,800ක් පමණ පැරණි ඒවා බවට කාලනිර්ණය කර තිබුණු අතර, ඒ බව වාර්තා වූ 2012 වන විට ලෝකයේ වඩාත්ම පැරණි ගුහා චිත්‍ර ඒවා විය. එහෙත් මේ දින වනවානු තවත් ඈතට ගෙන යමින් මානවයින් කළ ලෝකයේ පැරණිතම චිත්‍ර ලෙස අද වන විට සැලකෙන්නේ දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ගල් කැබැල්ලක සඳහන්ව ඇති සලකුණකි. ඒවා වසර 73,000ක් පමණ පැරණිය. ඒ පිළිබඳ පර්යේෂණය පළ වූයේ 2018 වඒෂයේ දීය.

මෙය හුදෙක් ප්‍රදේශයක් හෝ මහාද්වීපයක් පිළිබඳ කරුණකට වඩා මානව පරිණාමය සම්බන්ධ කරුණකි. මානයන්ගේ මේ නිර්මාණාත්මක හැකියාව යුරෝප‌යේ මෙන්ම ආසියාවේ ද ස්වාධීනව වර්ධනය වූවක් වීමට ඉඩ ඇත. එමෙන්ම ඇතැම් විට මානවයා අප්‍රිකාවෙන් පිටතට ගමන් කරන අවස්ථාවේ දී ද මානවයින්ට ඒ හැකියාව තිබුණා විය හැකිය. මේ සම්බන්ධව අනාගතයේ දී අනාවරණය වන කරුණු අනුව අපට දැන ගත හැකි වනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව අග්නිදිග ආසියාවේ ඇති සාධකවලට වැදගත් තැනක් හිමි වන බව නම් මේ වන විට පැහැදිලිය.

(මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.abd4648)

ඡායාරූප - Science Advances සඟරාවෙනි

Wednesday, January 13, 2021

"ලස්සන රස විඳින්න පුරුදුවෙයව් යකුනේ!" (ඉස්කෝලෙ කතා 7)

අපට 10-11 වසරවල සිංහල ඉගැන්වූ ටීචර් සුදුයි, හැඩයි, ලස්සනයි. ඒ කාලෙ වයස අවුරුදු තිස් ගණන්වල වගෙ ඉන්න ඇති. 

එතුමිය උගන්වනකොට අපේ පංතියෙ සමහර උන් එක එක එව්ව කියනව (මං ඒ කාලෙ නං එහෙම නෑ හොඳේ). මිස්ටත් මේක අවුල්. දවසක් එතුමියට ඒක ටිකක් වැඩියෙන් දැනුනා.

අපෙ පංති භාර ගුරුතුමිය පහුවදා උදෙන් ඇවිත් ‘‘තොපිලට තෙරෙන්නෙ නැද්ද යකුනෙ යමක් රස විදින්න’’ කියල කිව්ව. අපි තුෂ්නිම්භූත උනා. 

"හැම එකම දිහා වල්කමින් බලන්න එපා යකුනෙ... ලස්සන රසවිදින්න පුරුදු වෙයව්" කියල, සාහිත්‍ය පොතේ තිබූ සැළලිහිණියේ එන "නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර තන" කියන කවි පදය ලියල, සරල කාන්තා රුපයකුත් ඇඳලා ගියා.

අපේ උන් එදා ඉඳන් සිංහල ටීචර්ට මුකුත් කිව්වෙ නැහැ. ලස්සන රස විඳින්න ඇති. අපි එදා ඉගෙන ගත්ත පාඩම තමයි "ලස්සන රස විදින්න" කියන එක. ඒක තමයි අපි තාමත් කරන්නෙ.

වසර විසිගණනකට පස්සෙ දැනට දශකයකට පමණ පෙර එතුමිය යළි මට හමු වුනා. එක්තරා සමිතියක රැස්වීමකදි. ඒ වන විට විශ්‍රාම ගොස් සිටි එතුමිය සතුව තරුණ කාලෙ තිබූ සුන්දරත්වයේ සේයාව එහෙමම තිබ්බා. ඉතින් එදා මට මේ කතාවත් මතක් උනා. 


ධනේෂ් විසුම්පෙරුම

2021.01.13

Thursday, January 7, 2021

යාපහුවෙන් ගල්ටැංවැවට ආ සිංහයෝ! (ගමන් කතා 5)



මං මුලින්ම ඉබ්බාගමුව - පොල්පිතිගම - මඩගල්ල පාරෙ ගියෙ 1990 ගණන්වල. ඉන්පස්සෙ 2006 මුලදි විතර ඒ පාරෙන් මඩගල්ල, මොරගොල්ලාගම, රැස්වෙහෙර හරහා අනුරාධපුරය දක්වා දිගු ගමනක් ගියා. ඊටත් මද කලකට පසු 2007-2008 කාලෙ අපි ඒ පැත්තෙ සෑහෙන ඇවිද්දා. ඒ හිරියාල හත්පත්තුවේ පරණ පන්සල් වගේම වෙනත් සුන්දර තැන් බලන්න. 

එහෙම ගිය ගමනකදි වරක් අපේ වාහනය ගල්ටැංවැව කියන හන්දියෙ පොඩි කඩේක නැවැත්තුවා තේ එකක් බොන්න. මේ හතරමං හන්දිය හැදෙන්නෙ ඉබ්බාගමුවේ සිට පොල්පිතිගම හරහා මඩගල්ලට යන ප්‍රධාන පාරට (B 159) තවත් පාරවල් දෙකක් සම්බන්ධ වීමෙන්. ඒ ප්‍රධාන පාර ඉබ්බාගමුව පැත්තෙ සිට ඇවිත් මේ හන්දියෙදි දකුණට හැරෙනවා. එතනදි කෙලින්ම යන පාර යාපහුව පැත්තට යන අතුරු පාරක්. වමට යන එක හිරිපිටියෙ සිට ගල්ටැංවැවට එන B 609 පාර. (ඒ අන්තිමට කී පාර අද නොවැදගත් නමුත්, අතීතයේ වැදගත් වූ පාරක්!)

ඉතිං එදා ගල්ටැංවැව හන්දියෙදි  මීට කලින් නුදුටු දසුනක් අපි දැක්කා. ඒ තමයි හංදිය මැද අඹපු සිංහ රූප කීපයක් තබා තිබෙනවා. යාපහුවෙ අකෘතියට කළ සිංහ රූප බව පැහැදිලිව පෙනුනා. දැන් ඒක වටරවුමක් වගෙයි. 

ඉතින් මම ඒ කඩේ හිටි අක්කාගෙන් ඇහුවා ඒ ගැන 

"මේ සිංහ රූප කොයි කාලෙ කරපු ඒවද?"

මේකට උත්තර දුන්නෙ කඩේ හිටපු ගමේ පොරක්.

"අම්මෝ මේවා රජකාලෙ ඉදල තියෙන්නෙ. යාපහු රාජධානි කාල‌ෙ..."

ඒ පොර හිතන්න ඇත්තෙ අපි බබ්බු කියලා. සමහරු නං එහෙම කිව්ව ගමන් පත්තරේටත් ලියනවා, ෆේස්බුක් දානවා. ඒවා ජනප්‍රවාදත් කියනවා. ඒත් ඊට මාස කීපයකට පෙර මේ හන්දියෙ තිබ්බෙ නැති එකක් දැන් තියෙන්නෙ කොහොමද කියලා හිතන්න අපට කල්පනාව තිබ්බා. (පොර වගේ උදෙන්ම දාල හිටියෙ නෑනෙ).  

මේ හන්දිය නවීකරණය කරල විවෘත කරලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ බව අපි එතන තිබ්බ පුවරුවක තියනවා පස්සෙ දැක්කා. ඒ පැත්ත අයත් වන්නෙ යාපහුව මැතිවරණ බලප්‍රදේශයට (ආසනයට).


මේ පින්තූර නං Google Street View  එකෙන්.

ධනේෂ් විසුම්පෙරුම

2021.01.07 

Saturday, January 2, 2021

"ගුණේන්ද්‍රයා ආයෙත් ඇවිත්" - ටෙලි නාට්‍ය සහ ජීවිතය (දුව කී කතා 2)



දැනට මාස කීපයකට පෙර දවසක් කුස්සියේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්න දුව එකපාරට මෙහෙම කිව්වා - 


"අන්න අර ගුණේන්ද්‍රයා ආයෙත් ඇවිත්. එක පාරක් ඇවිත් මංගලීව අනාථ කරලා ගිහින් දැන් ආයෙත් ඇවිත්"...

ඒක ඇහිලා අග මුල මාරු වූ මං මේ මොකක්ද කියන්නේ කියලා ජනේලෙන් එබිලා බැලුවා - බැලින්නම් අපේ ගෙදර ඉස්සර හිටපු ලොකු පූසා (සරණ) ආපහු මේ පැත්තෙ ඇවිල්ලා... දැන් එයා ඉන්නෙ ටිකක් ඈත (කැලෑව පැත්තෙ - දුව කියන විදියට) තියන ගෙවල් ආශ්‍රිතවයි. එයා ඉඳහිට අර උවමනාව හැදුනම එනවා අපේ ගෙවල් පැත්තට... ඇවිත් අපේ ගෙදර (හා ළඟ ගෙවල් ආශ්‍රිතව) ඉන්න සුදු පූසි‌ගෙ පැටවුන්ගෙ තාත්තා වෙලා යනවා...

එහෙම ගියාට පස්සෙ ඉදහිට විසිට් එකක් දැම්මට ආයෙමත් එන්නේ ඒ උවමනාව හැදුනාම තමයි. මේ සිද්ධිය මං දන්නව උනාට දුව දන්නවා කියලා මං හිතුවෙ නෑ. අනෙක එයා පාවිච්චි කළ නම් හා වචන...

මම දුවගෙන් ඇහුවා ඇයි එහෙම කිව්වේ කියලා

"ඇයි ඉතිං අර වෙදහාමිනේ එකේ ගුණේන්ද්‍ර මංගලීව අනාථ කළා වගේ වැඩක්නෙ සරණ මේ කරන්න යන්නෙ. අර කැලෑව පැත්තෙ ඉදන් සැරින් සැරේ ඇවිත් සුදු පූසිට පැටවු හදලා යනවනේ. ආයෙ එනවද මේ පැත්තකට වත්?"

එයා ටෙලි නාට්‍යවලින්ම සමාජය ගැන ඉගෙන ගෙන තියන දේවල් කියලයි ඉන් පස්සෙ මං කල්පනා කළේ...


කොරෝනා නිවාඩුවේ ආ ටෙලිනාට්‍ය හා චිත්‍රපට වැස්ස!


අපේ ජීවිතේ වසර විස්සක් වගෙ කාලයක් තුළ බලන්න ලැබුණු ක්ලැසික් කියලා කටපුරාම කියන්න පුළුවන් ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටත් ගණනාවක්ම මේ කොරෝනා නිවාඩු කාලේ එයාට දකින්න ලැබුණා. ඒකත් පොත් කියවන්න ලැබීමත් මේ නිවාඩුවේ ලැබුණු එක වාසියක්.

කළුවර ගෙදර, ස්වයංජාත, වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ ඒ අතර තියෙන කීපයක්. මේවා බැලුවට පස්සෙ එයාට අද තියන ටෙලිනාට්‍යවල ඇත්ත තත්ත්වය තේරිලා තියනවා. මේ තියෙන්නෙ එවැනි අවස්ථාවක කී කතාවක්.

ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි, ගම්පෙරළිය, කලියුගය වගෙම විරාගය, සාගරයක් මැද වගෙ හරයක් ඇති කතා තියන ගණනාවක් චිත්‍රපටි බලන්නත් එයාට අවස්ථාව ලැබුණා. ඒ වගෙම ගොළු හදවත, ගැහැණු ළමයි වගේ කරුණාසේන ජයලත්ගෙ ඒවත් කීපයක් බැලුවා තමයි.

මේ ගොඩක් ඒවා මම වරක් හෝ කීපවතාවක් බලලා තිබ්බට මේ වතාවෙත් බැලුවා. කොහොමත් ඒ වගේ එකක් යනකොට ඒවා අදාළ කාලයේ ඉතිහාසය, තියන සිදුවීම් ආදිය ගැන අටුවා ටීකා සපයන්නත් සමහර වෙලාවට මෙ ගැටපද විවරණය කරන්නත් මට සිද්ද වෙනවනේ.

ඉතින් අර ගුණේන්ද්‍රයා නිසා අපේ ගෙදරම වගේ ඉන්න පූසාට (එයාට දැන් කියන්නෙ පිපූ කියලා) මෙතන රඟපාන්න වෙලා තියෙන්නෙ අන්තෝනිගෙ චරිතය. මතකනෙ? ගුණේන්ද්‍ර ඉන්නකොට ඉතින් අන්තෝනිට නෝ චාන්ස්! එයා එනවිට තග දාලා එලවා ගන්නවා.

මේ ඡායාරූපවල තනිවම ඉන්නෙ "ගුණේන්ද්‍ර" (සරණ - නපුරු පාට පේනවනෙ! අනෙක් පින්තූරෙ ඉන්නෙ "අන්තෝනි" (පිපූ - අහිංසක පෙනුමට ඉන්නෙ) හා "මංගලී" (සුදු පූසි)... 

ධනේෂ් විසුම්පෙරුම
2021.01.02