Wednesday, April 4, 2018

නියැන්ඩර්තාල් මානවයින් සංකේත භාවිත කළ බවට නිසැක සාධක මතු වේ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.03.2018, පි. 09 (Vidusara)

Not available online


පරිණාමීය වශයෙන් නූතන මිනිසාගේ සමීප ඥාතියකු වන නියැන්ඩර්තාල් ආදි මානවයින් පිළිබඳව කරුණු රැුසක් මෑත කාලයේදී සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත. Homo neanderthalensis ලෙස විද්‍යාත්මකව නම් කර ඇති මේ මානවයින්, යුරෝපයේ සැලකිය යුතු පෙදෙසක ව්‍යාප්ත වී සිටි අතර, නිරිතදිග, මධ්‍යම හා උතුරු දිග ආසියාවටද ව්‍යාප්ත වී ඇත. ඔවුන්ගේ වාසස්ථාන, භාවිත කළ මෙවලම් මෙන්ම පොසිල හමුවන්නේ මෙම ප‍්‍රදේශවලිනි. නූතන මානවයින්ගේ පැමිණීම හමුවේ ඔවුන් අදින් වර්ෂ 40,000කට පමණ පෙර මිහිතලයෙන් වඳ වී ගිය බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. එසේම මෑතකාලීන ප‍්‍රවේණික පර්යේෂණවලින් හෙළි වී ඇති ආකාරයට ඔවුන් නූතන මිනිසා සම`ග අභිජනනය කර තිබෙයි.

මේ අතර නියැන්ඩර්තාල් මානවයින්ගේ ප‍්‍රජානනය (cognition) පිළිබඳව වැදගත් වන පර්යේෂණයක් පසුගියදා ප‍්‍රකාශයට පත් විය. ඒ අනුව මෙතෙක් සිතා සිටියාට වඩා එම මානවයින්ගේ ප‍්‍රජානනය ඉහළ මට්ටමක තිබූ පෙන්වා දී ඇත. ස්පාඤ්ඤයේ ප‍්‍රදේශ තුනක පිහිටා ඇති ලෙන්වලින් ලැබී ඇති චිත‍්‍රවල කාලනිර්ණය මගින් මේ සඳහා අවශ්‍ය සාධක ලැබී තිබෙයි. එම චිත‍්‍ර අදින් වසර 65,000කට පෙර අඳින ලද චිත‍්‍ර බවට දින නිර්ණය කර ඇත. මෙතෙක් කලක් මෙම චිත‍්‍ර නිර්මාණය කරන ලද්දේ නූතන මානවයින් බව විශ්වාස කරන ලද නමුත් මෙම අධ්‍යයනයේ ප‍්‍රතිඵල අනුව එම අදහස වෙනස් වෙයි.


නූතන මිනිසා සහ නියැන්ඩර්තාල් මානවයා අතර වෙනස


බොහෝ කාලයක් තිස්සේ නූතන මානවයින් (Homo sapiens sapiens) හා නියැන්ඩර්තාල් මානවයින් අතර ඇති ප‍්‍රධානතම වෙනස ලෙස සාකච්ඡුාවට ලක් වූයේ නියැන්ඩර්තාල් මානවයින් සංකේත තැනීම හෝ භාවිත නොකිරීමයි. එහෙත් නූතන මානවයින් ආභරණ, රූප මෙන්ම ගුහා චිත‍්‍රද නිර්මාණය කර තිබේ. මේ සියල්ල සැලකෙන්නේ සංකේතාත්මක හැසිරීමේ (symbolic behavior) නිෂ්පාදන ලෙසය. සංකේතාත්මක හැසිරීම ලෙස සඳහන් වන්නේ සංකේතවලට ප‍්‍රතිචාර දැක්වීමට හෝ එ්වා භාවිත කිරීමට පුද්ගලයින්ට ඇති හැකියාවයි. මෙය ප‍්‍රජානන ශක්තිය හා සම්බන්ධය.

කෙසේ වෙතත් මෑත කාලයේ දී නියැන්ඩර්තාල් මානවයින් විසින් කිසියම් ප‍්‍රමාණයක සංකේතාත්මක හැසිරීමක් දක්වා ඇති බවට සාධක යුරෝපයේ විවිධ ප‍්‍රදේශවලින් ලැබෙන්නට පටන් ගෙන ඇත. ජිබ්රෝල්ටරයෙන් ලැබී ඇති අදින ලද සංකේතයක්, ක්‍රොයේෂියාව හා ඉතාලියෙන් ලැබී ඇති සැරසුම් ලෙස භාවිත කර ඇති ද්‍රව්‍ය මෙන්ම ස්පාඤ්ඤයෙන් ලැබී ඇති ආභරණ සේ සිතිය හැකි බෙලිකටු නිෂ්පාදන මේ සාධක අතර වෙයි. එසේම ප‍්‍රංශයෙන් ලැබී ඇති අර්ධ කවාකාර හිරිටැඹවලින් නිර්මාණය කළ බැමි කිසියම් චාරිත‍්‍රයක් සඳහා සිදුකරන ලද ඉදිකිරීමක් සේ සැලකේ.

නියැන්ඩර්තාල් මානවයින් විසින් අඳින ලද බව සැලකෙන ගුහා චිත‍්‍ර කිසිවක් මේ දක්වා ලැබී නොතිබීම විශේෂයකි. යුරෝපා රටවලින් අයිස් යුගයේ සතුන් වැනි විවිධ ගුහා චිත‍්‍ර රාශියක් හමු වී තිබුනද, ඒවා සියල්ල නූතන මානවයින්ගේ නිර්මාණ සේ සලකන ලදි. එයට හේතුව එසේ නොවන බව සිතීම සඳහා නිසැක සාක්ෂි නොතිබීමයි. කෙසේ වෙතත් මීට පෙර 2012 වර්ෂයේදී, එවැනි චිත‍්‍ර කිහිපයක් අදින් වසර 40,800කට පමණ ඉහත ලෙස දින නියම කරන ලදි. එය කලින් සිතූ දිනයට වඩා පැරණි දිනයක් වුවද නූතන මානවයා බටහිර යුරෝපයට පැමිණයේ අදින් වසර 42,000කට පමණ පෙර වන බැවින් එම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ මෙන්ම නූතන මානවයින්ගේ වීම සඳහාද ඉඩ ඇති බව පෙන්වා දෙන ලදි. නූතන මානවයින් යුරෝපයට පැමිණි කාලවකවානුවට වඩා පැරණි දින නියම කළ හැකි නිර්මාණ වේ නම් එය එ් පිළිබඳව නිශ්චිත තීරණයකට පැමිණීම සඳහා වැදගත් සේ සැලකිනි.


මෑතදී සිදු කළ අධ්‍යයනය


මෑතදී එ් සඳහා අවස්ථාවක් ලැබී ඇත. එ් අනුව ස්පාඤ්ඤයේ පිහිටි ලෙන් තුනක චිත‍්‍ර සඳහා දින නියම කිරීමට පර්යේෂකයන් පිරිසකට හැකියාව ලැබී තිබෙයි. ස්පාඤ්ඤයේ ඊසානදිග ප‍්‍රදේශයේ පිහිටා ඇති ලා පැසීගා (La Pasiega) ලෙන, බටහිර ස්පාඤ්ඤයේ මල්ටවියේසෝ (Maltravieso) ලෙන හා නිරිත දිග ස්පාඤ්ඤයේ පිහිටි අර්ඩාලේස් (Ardales) යන ලෙන් එම ලෙන් අතර වේ. මෙම ගුහාවල රූපමය (figurative) මෙන්ම රූපමය නොවන (nonfigurative) චිත‍්‍රද දැක ගත හැකිය. මෙහිදී පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ එ්වායේ තිබූ රූපමය නොවන චිත‍්‍ර පිළිබඳවය. මේ වර්ගයට අයත් වන්නේ තිත්, රේඛා, සංකේත හා අත් සලකුණු යනාදියයි. මෙවැනි චිත‍්‍රවල දින වකවානු වඩා පැරණි විය හැකි බවට මීට පෙර සිදුකර ඇති අධ්‍යයනවලදී හෙළි වී තිබීම ඊට හේතුව වෙයි.

මෙම ගුහාවලින් ලැබුණු චිත‍්‍රවල කාලනිර්ණය සිදු කිරීම මේ පර්යේෂණයේදී සිදු කර ඇත. එ් සඳහා යොදාගෙන ඇත්තේ යුරේනියම්-තෝරියම් කාලනිර්ණ ක‍්‍රමයයි. එහිදී කාලයත් සම`ග යුරේනියම් තෝරියම් බවට විකිරණශීලී ක්ෂයවීමට ලක් වීම මත කාලනිර්ණය කිරීම සිදු කෙරේ. එ් අනුව අදාළ චිත‍්‍ර මතුපිට සෑදී ඇති සියුම් කාබනේට තට්ටුවකින් කොටසක් ලබාගෙන එ්වායේ ඇතුළත් යුරේනියම් හා තෝරියම් ප‍්‍රමාණය පිළිබඳව පරීක්ෂා කිරීම සිදුකර ඇත. එවිට ලැබෙන දිනනිර්ණය ඊට යටින් ඇති චිත‍්‍රයට ලබා දිය හැකි අවම දිනය වෙයි. මේ ප‍්‍රයත්නය අනුව ලැබී ඇති දින ලෙන් තුනේ නිදර්ශකවලය විවිධ දින ලැබී තිබුනද එ් සියල්ලේම ඇති පැරණිම දින වකවානු අතර ඇති පැරණිම දිනය අවම වශයෙන් අදින් වර්ෂ 64,800ක් පමණ වේ.


නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳව තහවුරු වන කරුණු


මෙම චිත‍්‍ර සඳහා ලැබුණු උක්ත දිනය වැදගත් වන්නේ එම ලෙන් චිත‍්‍ර ඇඳ ඇත්තේ නූතන මානවයා යුරෝපයට පා තැබීමට අවම වශයෙන් වසර විසිදහසකට පමණ පෙර අඳින ලද එ්වා වීම නිසාය. මේ අනුව එම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ චිත‍්‍ර බවට පැහැදිලි සාධක ලැබී ඇත.

මෙහි ඇති වැදගත්කම වන්නේ මේ අනුව නියැන්ඩර්තාල් මානවයින්ගේ ප‍්‍රජානන හැකියාව පිළිබඳ මෙතෙක් පැවැති විවාදය අවසන් කළ හැකි නිසාය. මෙම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ නම්, එම චිත‍්‍ර ඇඳීම සඳහා ඔවුන්ට යම් ප‍්‍රජානන හැකියාවක් තිබිය යුතුය. එ් අනුව මෙතෙක් විශ්වාස කළාක් මෙන් නොව නියැන්ඩර්තාල් මානවයින් හටද සංකේත චිත‍්‍ර ඇඳීම පිළිබඳ හැකියාව තිබී ඇත. එ් අනුව නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳ පර්යේෂණවල නව අංශයක් විවෘතව තිබෙයි.

නියැන්ඩර්තාල් මානවයින් ඔවුන්ගේම වූ අදහස් මෙසේ සංකේතවලට නැගූ බව මේ අනුව පෙනේ. මෙය වැදගත් වන්නේ මෙවැනි සිතුවම් මුලින්ම අනාවරණය වන විට එය නියැන්ඩර්තාල් මානවයින්ගේ අවධියේ අවසන් සමයේ වූ බැවින් එ්වා නූතන මානවයාගේද විය හැකි බවට අදහසක් තිබීම නිසාය. නියැන්ඩර්තාල් මානවයින් නූතන මානවයින් සිදු කළ දේ අනුකරණය කළා මිස තමන් කරන්නේ කුමක්ද යන්න දැන නොසිටි බව ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත. මෙම නව සොයාගැනීමට ලබාදි ඇති කාලනිර්ණය අනුව එම මතය බිඳවැටෙයි.

එහෙත් මේ චිත‍්‍රද නූතන මානවයාගේ විය හැකි බවට ප‍්‍රකාශ කරන තවත් මතයක්ද ඇති විය හැකිය. එයට හේතුව නූතන මානවයා අප‍්‍රිකාවෙන් පිටවීම මෙතෙක් සිතූ දිනයට පෙර සිදු වී ඇති බවට මේ වන විට ඇති සාධක නිසාය. එහෙත් යුරෝපයට නූතන මානවයා කලින් පැමිණි බවක් පොසිල හෝ වෙනත් සාධකවලින් මෙතෙක් අනාවරණය වී නොමැත. එහෙයින් පවත්නා සාධක සැලකිල්ලට ගැනීමේදී මෙම චිත‍්‍ර නූතන මානවයාගේ නොව නියැන්ඩර්තාල් මානවයාගේ විය හැකි බව පැහැදිලිය.

යුරෝපයේ දැකිය හැකි සෙසු පැරණි ගුහා චිත‍්‍ර මේ ක‍්‍රමය භාවිතයෙන් දින නියම කළ හැකි නම්, නියැන්ඩර්තාල් මානවයින්ගේ ව්‍යාප්තිය තරම්ම ඔවුන්ගේ ගුහාචිත‍්‍ර ද කෙතරම් ව්‍යාප්ත වී තිබුනිදැයි සොයාබැලිය හැකි බව මේ පිළිබඳ විශේෂඥයෝ යෝජනා කරති. පුරාශිලා යුගයට හෙවත් අයිස් යුගයට අයත් බව සැලකෙන යුරෝපයේ දැකිය හැකි විවිධ ගුහා චිත‍්‍ර අතරින් කෙතරම් ප‍්‍රමාණයක් නියැන්ඩර්තාල් මානවයින්ගේ විය හැකිද යන්න එවිට අනාවරණය වනු ඇත.


පරිණාමය සම්බන්ධ වැදගත්කම


විශේෂයෙන් මෙවැනි චිත‍්‍ර නිර්මාණය කිරීම සඳහා දියුණු හෝ නවීන ප‍්‍රජානනයක් පෙන්විය යුතුය. එනම් සුදුසු ස්ථානයක් තීරණය කිරීම, ආලෝකය ලැබෙන ආකාරය සැලසුම් කිරීම හා වර්ණ මිශ‍්‍ර කර චිත‍්‍ර ඇඳීමේදී චින්තනයෙහි කිසියම් දියුණුවක් තිබීම අවශ්‍ය වෙයි. මේ අනුව නියැන්ඩර්තාල් මානවයින් සතුව එවැනි ප‍්‍රජානනයක් තිබූ බව පැහැදිලිය.

මෙහිදී වැදගත් වන තවත් කරුණක් තිබේ. මේ ආකාරයෙන් මානව පරිණාමයේදී සංකේතාත්මක චින්තනයේ (symbolic thought) ආරම්භය පිළිබඳ උක්ත පර්යේෂණයෙන් කිසියම් නව පැහැදිලි කිරීමක් ලැබී ඇති බව පෙනේ. එය මේ දක්වා සලකන ලද්දේ මානව පවුලේ සෙසු සාමාජිකයන්ගෙන් නූතන මානවයා වෙන්කිරීම සඳහා යොදාගන්නා සාධකයක් ලෙසය. එහෙත් මේ පර්යේෂකයන්ගේ සොයාගැනීම අනුව නූතන මානවයින් හා සෙසු ආදි මානවයින් වෙන්කරගැනීම සඳහා එම සාධකය යොදාගැනීම ගැන ගැටලූ මතුවිය හැකිය.

මුලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aap7778

No comments:

Post a Comment