ධනේෂ් විසුම්පෙරුම
මේ සිදුවීම වූයේ 1990 දශකයේ මැද දීය. ඒ යුද්ධය අතර, සාම තවලම් දැක්කවූ හා පැකේජ පොදි බැදි කාලයයි. ඊනියා සාම වෑයමට එරෙහිව සමාජයේ යම් මතයක් ඇති කිරීමට ක්‍රියාකාරී කාර්යයක් කළ සංවිධානයක් වූයේ චින්තන පර්ෂදයයි. ඒ විවිධ සම්මන්ත්‍රණ, දේශන හා පත්‍රිකා බෙදීම් ආදිය සංවිධානය කරමිනි. එවකට කොළඹ සරසවියේ උගනිමින් සිටි මමද ඊට සුළු වශයෙන් හෝ සහායවීමට වාසනාව ලදිමි.
කැලණියේ පිහිටි නාලක හිමියන්ගේ පන්සලේ සිට දිනක් රාත්‍රියේ ත්‍රීරෝද රථයක නැගී අප කණ්ඩායමක් පිටත්වූයේ කොළඹ නගරයේ පෝස්ටර් ඇලවීමටය. රියදුරු හැර අප හතර පස් දෙනෙකු පමණ එදා රියේ ඉන්නට ඇත.
අද මෙන් නොව එදා පාරේ තැන් තැන්වල ආරක්ෂක මුර කපොලුය. ත්‍රස්ත තර්ජනය නිසා වාහන පරීක්ෂාව දැඩිව සිදුකරන ලදි. අප ගිය ත්‍රීරෝද රියද එවැනි තැනක නතර කෙරිණි.
"කොහේද යන්නේ" ... "මොනවද වාහනේ තියෙන්නේ" ... "කට්ටිය බහින්න බලන්න" ...
මේ සුපුරුදු ප්‍රශ්න මැද පොලිස් නිලධාරියාට ගැටලුවක් වූයේ රියේ වැඩි පිරිසක් ගමන් කිරීමයි.
"ත්‍රීවීල් එකක මච්වර කට්ටිය කොහෙද යන්නේ?"
අප හා සිටි වැඩිහිටියා වූ ඒ වන විට මොරටුව සරසවියේ අවසන් වසර සමත්ව සිටි සොහොයුරා අප යන කටයුත්ත කීවේය.
"කෝ බලමු මොනවද ඔය අලවන්න යන ඔය පෝස්ටර් කියලා..." ඒ හමුදා සෙබළකුගේ අණ විය. අපි පෝස්‌ටර් කීපයක් දිග හැරියෙමු.
ඒවායේ වූයේ රටේ ඒකීය භාවය, රට රැකීම ආදිය ගැන හා පැකේජ විරෝධීව ලියැවුණු දේය. ලයිට් එලියෙන් මේවා කියැවූ ඔවුන්ගේ ප්‍රතිචාර වෙනස් විය.
"මේවා තමයි අද ගහන්න ඕන පෝස්ටර්" එක් හමුදා සෙබළෙක් කීවේය.
"මල්ලි ඕනෑ නම් ඉස්සරහත් තව එක්කෙනෙක් දාගෙන යන්න." රියදුරාට එසේ කීවේ අර පොලිස් නිලධාරියාය.
"හරි මල්ලිලා යන්න."
ඔවුන්ගේ රාජකාරියට ස්තුති කළ අපි අපේ කටයුත්තට පිටත්වීමු.
No comments:
Post a Comment