ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.06.2017පි 11, (Vidusara)
http://www.vidusara.com/2017/06/21/feature6.html
Homo sapiens හෙවත් නූතන මානවයාගේ මෙතෙක් අප දැන සිටි පැරැණි ම පොසිල අදින් වසර 195,000ක් පමණ පැරැණි ය. ඒවා ලැබී ඇත්තේ නැෙගනහිර අප්‍රිකාවේ වර්තමාන ඉතියෝපියාව පිහිටා ඇති ප්‍රදේශයෙනි. අදින් වසර 160,000ක් පමණ පැරැණි පොසිල ද එරටින් ලැබී තිබේ. ඒ අනුව නූතන මානවයා ගේ සම්භවය අදින් වසර 200,000ක් පමණ කාලයකට පෙර සිදු වූ බව වැඩි දෙනා ගේ පිළිගැනීම ය. Homo heidelbergensis හෝ Homo rhodesiensis යන මානවයන් ගෙන් නූතන මානවයා අප්‍රිකාවේ දී සම්භවය වී ඇති බව මේ දක්‌වා ලැබී ඇති පොසිල සාධක මත පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මේ දිනය පිළිබඳව සැක මතු කරන අධ්‍යයන ද ඇතැම් විට ප්‍රකාශයට පත් ව ඇත. ඒවායින් නූතන මානවයා ගේ සම්භවය පිළිබඳ දිනය, වඩා ඈතට ගෙන යැමට යෝජනා කරයි. නිදසුනක් ලෙස ගත හොත් දකුණු අප්‍රිකාවේ ෆ්ලෝරිස්‌බාද් ප්‍රදේශයෙන් හමු වූ අදින් වසර 259,000කට පෙර කාලයකට දින නියම කරන ලද හිස් කබලක නූතන මානවයාට සමීප ලක්‌ෂණ ඇති බව එක් අධ්‍යයනයකින් පෙන්වා දී තිබිණි. ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් සිදු කරන ලද තවත් අධ්‍යයනයකට අනුව නූතන මානවයා ඔහු ගේ සමීපතම ඥාතියා වන නියෑන්ඩර්තාල් මානවයා ගෙන් වෙන් වූයේ වසර 500,000කට පමණ පෙර විය හැකි ය. මේ මාසය මුල ප්‍රකාශයට පත් වූ අධ්‍යයන දෙකකින් ද නූතන මානවයා ගේ සම්භවය පිළිබඳ දිනය අදින් වසර 300,000කට පමණ පෙර සිදු වූ බවට යෝජනා කර ඇත. එය මොරොක්‌කෝවෙන් හමු වූ මානව පොසිල සාධක මත පදනම් ව සිදු කරන ලද පර්යේෂණයකි. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature22336 හා 10.1038/nature22335) මේ ලිපිය ඒ අධ්‍යයන ආශ්‍රයෙන් සැකසුණකි.
මොරොක්‌කෝ කැණීමෙන් ලද පොසිල
උතුරු අප්‍රිකාවේ පිහිටි මොරොක්‌කෝවේ අත්ලාන්තික් වෙරළට ආසන්න ව පිහිටා ඇති ජෙබෙල් ඉර්හුඩ් (Jebel Irhoud) නම් ස්‌ථානයෙන් මානව පොසිල මුලින් ම ලැබී ඇත්තේ අහම්බෙනි. ඒ 1961 වර්ෂයේ දී ඛනිජ සොයා සිදු කරන ලද කැණීමකිනි. ඒ අවස්‌ථාවේ දී ලැබුණු පොසිල මානව සාධක පිළිබඳව එම දශකයේ දී වැඩිදුර අධ්‍යයන සිදු කර ඇත. එහෙත් එම මානව පොසිල අස්‌ථි කොටස් හා ගල් ආයුධවල නිශ්චිත භූගෝලීය වයස මෙතෙක් අනාවරණය වී නො තිබිණි. ඒබැවින් එම මානව අස්‌ථි ශේෂ පිළිබඳව විවිධ මත ඉදිරිපත් විය. ඉන් එක් අදහසකින් කියෑවුණේ එම ශේෂ උතුරු අප්‍රිකාවේ විසූ නියෑන්ඩර්තාල් මානවයන් ගේ බවයි. තවත් මතයකට අනුව ඒවා කිසියම් ආදි මානවයකුට අයත් වන අතර, ඔවුන් පසු කලක දී නූතන මානවයන් ගෙන් ප්‍රතිස්‌ථාපනය වී තිබේ.
මේ තත්ත්වය මත 2004 වර්ෂයේ සිට ජෙබෙල් ඉර්හුඩ් ස්‌ථානයේ වඩා පුළුල් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර ඇත. එහි දී මානව අස්‌ථි ශේෂ 16ක්, ගල් ආයුධ හා සත්ත්ව අස්‌ථි ශේෂ
රැසක් හමු වී තිබේ. මේ මානව අස්‌ථි ශේෂ අතර අවම වශයෙන් මිනිසුන් 5 දෙනකුට අයත් වූ හිස්‌කබල්, දත් හා දිගු අස්‌ථි තිබී ඇත. හිස්‌කබල් කොටස්, මුහුණේ හා හනු අස්‌ථි කොටස් ඊට ඇතුළත් වේ. මේ සමග මධ්‍ය ශිලා යුගයට අයත් ගල් ආයුධ රැසක් ද ලැබී තිබේ.
හමු වූ ගල් ආයුධ කාල නිර්ණයෙන් පොසිලවල කාලය නිර්ණය කර ඇති අතර, පොසිල අස්‌ථිවල ස්‌වභාවයෙන් පර්යේෂකයන් මේ නූතන මානවයා ගේ පැරැණි ම සාධක බව නිර්ණය කර තිබේ.
පොසිල කාලනිර්ණය
මේ කැණීම්වලින් මානව පොසිල සමග ලැබී ඇති ෆ්ලින්ට් ගල් ආයුධ තාප සංදීප්තතා කාලනිර්ණයට (thermo luminescence) ලක් කිරීමෙන් පෙනී ගොස් ඇත්තේ ඒවා වසර 315,000ක් තරම් පැරැණි බවයි. (පරාසයක් ලෙස ගත හොත් එය වසර 280,000ත් 350,000ත් අතර කාලයකට අයත් වේ.) එසේ ම එම ස්‌ථානයෙන් මින් පෙර හමු වී ඇති දත් පිළිබඳව මානව දත් සම්බන්ධව සිදු කළ විකිරණශීලී යුරේනියම් කාලනිර්ණයකින් ඒ සඳහා වසර 286,000ක දිනයක් ලැබී ඇත. (ඒවා මීට පෙර කාලනිර්ණය කර තිබුණේ වසර 160,000කට ය). එසේ ම මේ මානව පොසිල සමග හමු වී ඇති විවිධ සතුන් ගේ ශේෂ කාලනිර්ණය අනුව ද ඉහත ගල් ආයුධ සඳහා ලැබුණු දින වනවානු සනාථ කරන බව පර්යේෂකයන් ගේ අදහස වේ.
මේ කරුණු අනුව පොසිල වසර 300,000ක් පැරැණි ය යන්න මේ පර්යේෂකයන් ගේ නිගමනයයි. ඒවා මීට පෙර Homo sapiens පොසිල සඳහා ලබා දී තිබූ පැරැණි ම දින වකවානුවලට වඩා වසර 100,000ක් පමණ පැරැණි ය. වෙනත් ආකාරයකින් කිව හොත් මේ පර්යේෂණය මගින් නූතන මානවයා ගේ සම්භවය වසර 100,000ක් පමණ කාලයකින් ඈතට ගෙන යයි.
නුතන මානව පොසිල බව හඳුනාගැනීම
ජෙබෙල් ඉර්හුඩ්වලින් ලැබුණු හිස්‌කබල් අයත් වූයේ කවර මානවයකුට දැයි හඳුනාගැනීමට ද මෙහි දී උත්සාහ දරා ඇත. එම පොසිලවල දත් නූතන මානවයා ගේ දත්වලට වඩා මදක් විශාල ය. එහෙත් ඒවා නියෑන්ඩර්තාල් හෝ වෙනත් ආදි මානවයකු ගේ හෝ දත්වලට වඩා ගැළපෙන්නේ නූතන මානවයා ගේ දත්වලට ය. එසේ ම ලැබුණු මානව අස්‌ථි ශේෂ ආශ්‍රයෙන් ගොඩනගන ලද මුහුණ, නූතන මානවයා ගේ මුහුණ හා සමාන බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මේ පොසිල හිස්‌කබල් නූතන මානවයා ගේ හිස්‌කබලට වඩා මදක් දික් වූ ස්‌වභාවයක් ගනියි. (නූතන මානවයා ගේ ස්‌නායු කපාලය හෙවත් හිස්‌කබලේ මොළය ඇතුළත ප්‍රදේශයේ හැඩය වඩා රවුම් ය). ඒ අනුව ජෙබෙල් ඉර්හුඩ් මානවයා ගේ ස්‌නායු කපාලය (brain case) හා මොළය නූතන මානවයා ගේ මොළයට වඩා වෙනස් ආකාරයකට සංවිධානය වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ව්‍යqහවිද්‍යාත්මක ව නූතන මානවයා ගේ පරිණාමයේ අනුපිළිවෙළ සම්බන්ධ සාධක මින් ලැබෙන බවයි. නිදසුනක් ලෙස ගත හොත්, නූතන මානවයා ගේ මුහුණේ ස්‌වභාවය ඇති වූයේ ඔවුන් ගේ මොළයේ හැඩය ඇති වීමට පෙර විය හැකි ය. මේ අනුව මොළයේ හැඩය හා ඇතැම් විට මොළයේ ක්‍රියාකාරීත්වය Homo
sapiens මානවයා ගේ පරිණාමය තුළ දී වෙනස් වී ඇති බව පර්යේෂකයන් ගේ අදහසයි.
ජෙබෙල් ඉර්හුඩ්වලින් ලබාගත් මානව ශේෂවලින් DNA ලබාගැනීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වී තිබීම අවාසනාවකි.
මානව පරිණාමය සංකීර්ණය
නූතන මානවයා ගේ පරිණාමික ඉතිහාසය මේ අධ්‍යයනය මගින් වඩාත් සංකීර්ණ කර ඇති බව පෙනේ. පර්යේෂකයන්ට අනුව ජෙබෙල් ඉර්හුඩ් පොසිල නූතන මානවයා ගේ නම් ඒවායේ දින වකවානු වැදගත් ය. නැෙගනහිර අප්‍රිකාවෙන් ලැබුණු ශේෂ අනුව සාමාන්‍යයෙන් මානව සම්භවය සඳහා පිළිගන්නා දිනය වන්නේ අදින් වසර 200,000කට පමණ පෙර එය සිදු වූ බවයි. එහෙත් මේ නව පර්යේෂණය අනුව එම කාලය වසර 300,000 දක්‌වා ඈතට යයි. ඒවා මෙතෙක් හමු වූ පැරැණිම නූතන මානව පොසිල වේ.
එසේ ම උතුරු අප්‍රිකාව ද මානව පරිණාමයේ වැදගත් තැනක් ගන්නා බව හෙළි වී තිබීම ද වැදගත් කරුණකි. එසේ නම් මානව පරිණාමය සිදු වී ඇත්තේ නැෙගනහිර අප්‍රිකාවේ පමණක් නො වේ. මේ අනුව පර්යේෂකයන් ගේ අදහස වන්නේ නූතන මානව විශේෂයේ මුල් ම සාමාජිකයන් අප්‍රිකානු මහාද්වීපයේ විවිධ ප්‍රදේශවල පරිණාමය වන්නට ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අදින් වසර 300,000කට පමණ ඉහත දී නූතන මානව විශේෂයේ යම් පැතිරීමක් (dispersal) තිබූ බවයි. එසේ නැත හොත් ඒ ප්‍රදේශවල වාසය කළේ අපේ විශේෂයේ වඩා ප්‍රාථමික ආකාරයක් විය හැකි ය. මේ කාලයේ දී සහරාව ගංගා හා විල් බහුල වූ ගහකොළින් වැසුණු පරිසරයක් වූ අතර, නැෙගනහිර අප්‍රිකාවේ දැකිය හැකි වූ වන සතුන් මොරොක්‌කෝවේ මේ ප්‍රදේශවලද වාසය කළ බව මේ පොසිල සාධක අනුව පැහැදිලි ය.
කෙසේ වෙතත් මේ පර්යේෂණයෙන් හෙළි වී ඇති කරුණු පිළිබඳව මේ විෂය පිළිබඳ විද්‍යාඥයන් අතර කිසියම් මතභේදයක් ඇති බවක් පෙනේ. ඇතැම් අය ඒ නිගමන හා එකග වුව ද තවත් අය ඒ පිළිබඳ සැක කරන බව පෙනේ. මේ මානවයින් Homo sapiens විය හැකි ද යන්න ගැන මේ ඇතැම් විද්‍යාඥයන් සැක ඇති කර ඇත්තේ මේ හිස්‌කබල් හා නූතන මානවයා ගේ හිස්‌කබල් අතර යම් යම් වෙනස්‌කම් ඇති නිසා ය. විශේෂයෙන් කැපී පෙනන කම්මුල් හා නළලක් නො තිබීම නිසා මොරොක්‌කෝ පොසිල නූතන මානවයා ගේ ලෙස නො සැලකිය යුතු බව එක් විශේෂඥයකු ගේ මතය වී තිබේ. එසේ ම නූතන මානවයාට සමාන වූ මුහුණක් ඇති ආදි මානව විශේෂයක් පිළිබඳ සාධක මීට පෙර ස්‌පාඤ්ඤයෙන් ලැබී ඇති බව ද තවත් විද්‍යාඥයකු පෙන්වා දී ඇත.
ආහාරය පිළිබඳ සාධක
මොරොක්‌කෝ කැණීම් මත එම මානවයා ගේ ආහාරය සම්බන්ධව ද මෙහි දී කරුණු අනාවරණය වී ඇත. ඒ එම ස්‌ථානයෙන් හමු වූ විවිධ අස්‌ථි හා කවච වැනි සත්ත්ව ශේෂ අධ්‍යයනය කිරීමෙනි. එහි දී විවිධ සත්ත්ව විශේෂ 472ක් පමණ විශේෂ මට්‌ටමට හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් මිනිසුන් විසින් ආහාරයට ගන්නා ලද විශේෂ හඳුනාගන්නා ලද්දේ කැපුම් සලකුණු හා කැඩීම් සලකුණු මගිනි. එසේ ම වෙනත් සතුන් විසින් මේ සතුන් ආහාරයට ගන්නා ලද බවක් ඒ ලක්‌ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ අඩු වශයෙනි.
හමු වී ඇති සාධක අනුව ගැසල් නම් ඇන්ටිලෝප් සතුන් මේ මානවයන් විසින් වැඩි වශයෙන් ආහාරයට ගනු ලැබ ඇති බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. එසේ ම සීබ්‍රා, ඉත්තෑවා, හාවා, ඉබ්බා හා මත්ස්‍යයන් වැනි වෙනත් සතුන් මෙන්ම පැස්‌බර බිත්තර ද ඔවුන් ආහාරයට ගෙන තිබේ. එසේ ම මෙහි දී හමු වූ කුඩා සතුන් ගණන අඩු වූ නිසා මේ මානවයන් දඩයම් කිරීමට උනන්දුවක් දැක්‌වූ බව පර්යේෂකයන් ගේ අදහස වේ.