Monday, May 8, 2017

අපද්‍රව්‍ය ගැටලුවට නිවසේ දී යෙදිය හැකි පිළියම්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර. 03.05.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/05/03/feature1.html


කැළිකසළ හෙවත් අපද්‍රව්‍ය මේ වන විට අපේ රටේ දැවෙන ප්‍රශ්නයකි. අපේ නගරවල මෙන්ම නගරවලින් පිටත දී ද ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් තිබේ. මේවා බැහැර ලිය හැකි ස්‌ථාන ද සීමිත ය. ඒවා මග දෙපස හා කුණු කඳු ලෙස බැහැර කිරීම නිසා තවත් ගැටලු රැසක්‌ ම ඇති වන බව අපි දැන් අත්දැකීමෙන් දනිමු.

එසේ නම් කැළිකසළ ගැටලුව සඳහා අපට කළ හැක්‌කේ කුමක්‌ ද? ඒ පැනයට විසඳුම් ලබා දීමට අපට ද හැකියාව තිබේ. මේ පිටුවේ දැක්‌වෙන්නේ අපට ගත හැකි එවැනි සරල පියවර මගින් අපේ නිවෙස්‌වල ජනනය වන අපද්‍රව්‍ය අඩු කළ හැකි ආකාරය හා ජනනය වන අපද්‍රව්‍ය සඳහා ලබා දිය හැකි පිළියම් කිහිපයකි.

අපද්‍රව්‍ය අවම කිරීම


අප නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම (reduce) අපද්‍රව්‍ය සඳහා ඒවායේ ප්‍රභවයේ දීම ලබා දිය හැකි හොඳ ම විසඳුමක්‌ වේ. අප භාවිත කරන ඇතැම් ද්‍රව්‍ය අපට ඒ පමණින් අවශ්‍ය ද යන්න අප අප ගෙන් ම අසාගත යුතු ප්‍රශ්නයකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් අවස්‌ථාවල දී අපි අපේ නිවසේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර ද්‍රව්‍ය මිල දී ගනිමු. එසේ නැතිනම් ආහාර ගන්නා විට කෑමට නොහැකි තරම් ආහාර ප්‍රමාණයක්‌ කෑම පිගානට බෙදා ගනිමු. එය සෙසු ද්‍රව්‍ය සම්බන්ධ ව ද එසේ ම ය.

හැකි අවස්‌ථාවල දී ප්ලාස්‌ටික්‌ පොලිතීන් වැනි ද්‍රව්‍ය ප්‍රතික්‌ෂේප කිරීම ඒවා භාවිතය අවම කිරීමට හේතු වේ.






මේ සම්බන්ධව අපට කළ හැකි දේ සමහරක්‌ මෙසේ ය.
  • ප්ලාස්‌ටික්‌ හා පොලිතීන් බෑග් භාවිතය අඩු කිරීම ඒ සඳහා යෝග්‍ය විකල්ප අතර රෙදි බෑග්, පන් මලු හා වේවැල් කූඩ වේ. මේවා දිගු කාලයක්‌ භාවිත කළ හැකි අතර, භාවිතයෙන් පසු දිරාපත් වේ.
  • කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කියෑවීම සඳහා ඉලෙක්‌ට්‍රොනික මාධ්‍ය භාවිත කිරීම මේ සඳහා ස්‌මාට්‌ දුරකථන හා පරිගණක පාවිච්චිය අද වන සුලබ ය.
  • හැම විට ම කඩදාසිවල දෙපැත්ත ම භාවිතය එක්‌ පැත්තක්‌ භාවිත කළ කඩදාසි කටු සටහන් සඳහා යොදාගැනීමට ද හැකි ය. මෙමගින් අප භාවිත කරන කඩදාසි ප්‍රමාණය අඩකින් අඩු කළ හැකි ය.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇසුරුම් සහිත භාණ්‌ඩ මිල දී ගැනීමෙන් වැළැකීම මෙමඟින් ඇසුරුම් පරිසරයට එක්‌ වීම අඩු වේ. බොහෝ විට මේ ඇසුරුම් පොලිතීන් වැනි පහසුවෙන් දිරා නො යන ද්‍රව්‍යවලින් කළ ඒවා ය.
  • වරක්‌ භාවිත කර ඉවත ලන දේ වෙනුවට නැවත භාවිත කළ හැකි දේ භාවිතය ප්ලාස්‌ටික්‌ බීම බෝතල් වෙනුවට වීදුරු බීම බෝතල් ද, ප්ලාස්‌ටික්‌ ජල බෝතල් වෙනුවට තමන් ගේ ම ජල බෝතලයක්‌ ද අපට පාවිච්චි කළ කළ හැකි ය.
  • කුඩා ප්‍රමාණවලින් භාණ්‌ඩ මිල දී ගැනීම වෙනුවට හැකි හැම විට ම කල්තබාගත හැකි ද්‍රව්‍ය, අවශ්‍යතාව අනුව වැඩි ප්‍රමාණවලින් මිල දී ගැනීමෙන් අපට ලැබෙන ඇසුරුම් ප්‍රමාණය අඩු වේ.
  • ඇතැම් විට අප ඉවත දැමීමට සූදානම් වන විවිධ භාණ්‌ඩ සුළු අලුත්වැඩියාවකින් පසු තවත් කාලයක්‌ භාවිත කළ හැකි ය. ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් ය.

නැවත භාවිත කිරීම




අප ඉවත ලන ද්‍රව්‍ය නැවත භාවිත කිරීම ද (reuse) කසළ අර්බුදය සඳහා විසඳුමකි. අප භාවිතයට ගන්නා ඇතැම් ද්‍රව්‍ය සඳහා අපට වෙනත් විකල්පයක්‌ නොමැත. ඇතැම් ද්‍රව්‍ය අසුරා දෙන්නේ ෂොපින් මලුවල ය. තවත් ද්‍රව්‍යවල ඇසුරුම ප්ලාස්‌ටික්‌ හෝ වීදුරුවලින් නිම කර ඇත. එහෙත් මේ ඇසුරුම් වරක්‌ භාවිතයෙන් පසු බැහැර ලීම වෙනුවට ප්‍රයෝජනවත් ලෙස යළි නැවත භාවිත කිරීමෙන් ඒවා කසළ ගොඩට එක්‌ වීම වැළැක්‌වීමට හා ප්‍රමාද කිරීමට හැකි ය.

·

මේ අපට එසේ ගත හැකි පියවර කීපයකි.
  • අපට ලැබෙන ප්ලාස්‌ටික්‌ බඳුන් හා බෝතල් මල් හා එළවළු වැනි පැළ සිටුවීමට පෝච්චි ලෙස භාවිත කළ හැකි ය. අයිස්‌ක්‍රීම් බඳුන් මීට නිදසුන් වේ. මෙහි දී එක හා සමාන ප්‍රමාණයේ බඳුන් එක ස්‌ථානයක තැබීමට හැකි ය.
  • අප විවිධ ද්‍රව්‍ය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේ දී ලැබෙන ෂොපින් බෑග් හෙවත් ග්‍රොසරි බෑග් යළි යළිත් භාවිත කිරීමෙන් අප භාවිතයට ගන්නා බෑග් ප්‍රමාණය අඩු වේ.
  • විවිධ ද්‍රව්‍ය ඇසීරීම සඳහා යොදගත් කඩදාසි, කාඩ්බෝඩ් පෙට්‌ටි, වීදුරු බෝතල් හා ටින් වැනි දේ වෙනත් කාර්ය සඳහා යොදාගැනීමට අපට හැකි ය. විවිධ ද්‍රව්‍ය දැමීම සඳහා බඳුන් ලෙස මේවා යොදාගත හැකි ය. එසේ ම මේවා භාවිතයෙන් විසිතුරු දේ තැනීමට ද අපට හැකි ය.
  • ජෑම්, කෝඩියල් වැනි ඇතැම් ද්‍රව්‍ය අඩංගු වීදුරු බඳුන් භාවිතයෙන් පසු ආපසු බාර දුන් විට ඒ සඳහා කිසියම් මිල අඩු කිරීමක්‌ බොහෝ වෙළෙඳසල්වලින් ලබා දෙයි.
  • මේ කරුණු සඳහා අපට යොදාගත නොහැකි වුව ද මේ සමහර ද්‍රව්‍ය ඒවා භාවිතය සඳහා අවශ්‍ය අයකු වෙත ලබා දිය හැකි ය. නිදසුනක්‌ ලෙස පුවත්පත් කඩදාසි විවිධ දේ එතීම සඳහා යොදාගැනීම දැක්‌විය හැකි ය.

ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කිරීම


අප භාවිත කරන ඇතැම් දේ භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කළ හැකි ය. කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු හා ප්ලාස්‌ටික්‌ මේ අතර වේ. එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කිරීම පිණිස එකතු කරන්නන්ට ලබා දීමෙන් අපට මුදලක්‌ ද ලබාගත හැකි ය. එමෙන් ම මේ වන විට බොහෝ පළාත් පාලන ආයතනවල කසළ එකතු කරන රථ මගින් මේවා වෙන වෙන ම රැස්‌ කරනු දැකිය හැකි ය. ඒ අනුව කසළ වෙන් කර ලබා දීම වැදගත් බව පැහැදිලි ය.

·

  • කඩදාසි හා කාඩ්බෝඩ් - විවිධ කඩදාසි වර්ග ප්‍රතිචක්‍රියකරණය සඳහා එකතු කිරීම සිදු කරනු ලැබේ. පුවත්පත්, ලියන කඩදාසි, පොත්, කාඩ්බෝඩ් හා කඩදාසි පෙට්‌ටි ආදි බොහෝ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කරනු ලැබේ.
  • වීදුරු බෝතල් ආදිය - භාවිත කළ නොහැකි, අනවශ්‍ය වීදුරු බෝතල් ආදිය ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කළ හැකි ය. මෙහි දී විවිධ වර්ණවල වීදුරු බෝතල හා බඳුන් වෙන් වෙන් ව එකතු කිරීම වැදගත් වේ.
  • ලෝහමය ද්‍රව්‍ය - ලෝහවලින් නිපදවන ලද විවිධ භාණ්‌ඩ තවදුරටත් භාවිත කළ නොහැකි වූ විට ඒවා ද එම ද්‍රව්‍ය එකතු කරන පිරිස්‌ වෙත ලබා දිය හැකි ය. ඒවා සඳහා ගෙවනු ලබන මිල ද ඉහළ ය.

කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය




නිවෙස්‌වලින් ඉවත ලන දිරාපත් වන ආහාර ද්‍රව්‍ය මෙරට නාගරික කැළිකසළ ප්‍රවාහයෙන් වැඩි ප්‍රමාණයක්‌ සඳහා හේතු වේ. නිවසේ දී කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය කිරීම මේ අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් කාර්යයක්‌ සඳහා යෙදවීමක්‌ පමණක්‌ නො ව, අප බැහැර ලන කසළ ප්‍රමාණය අඩු කිරීම සඳහා ද හේතු වේ.

ඉඩමේ ප්‍රමාණය අනුව පහසුවෙන් කොම්පෝස්‌ට්‌ නිපදවිය හැකි බඳුන් මේ වන විට හඳුන්වා දී ඇත. මේවා සිමෙන්ති මෙන්ම ප්ලාස්‌ටික්‌වලින් ද නිර්මාණය කර තිබේ. මේවා සඳහා මුළුතැන්ගෙයින් බැහැර කරන එළවළු හා පලතුරු කොටස්‌ මෙන්ම ගෙවත්ත අතුගෑමේ දී එකතු වන කොළ රොඩු ද යොදාගත හැකි ය. එසේ ම කෑමෙන් පසු ඉතිරි වන ඉඳුල් ද සාර්ථකව මේ සඳහා භාවිත කළ හැකි ය.

එපමණක්‌ නො ව, ගෙවත්තේ ඉඩ ප්‍රමාණය අනුව කොම්පෝස්‌ට්‌ නිපදවීම සඳහා වළ ක්‍රමය හා ගොඩ ක්‍රමය වැනි ක්‍රම ද යොදාගත හැකි ය. කොම්පෝස්‌ට්‌ පොහොර ගෙවතු වගා සඳහා යොදාගත හැකි ය.

http://www.vidusara.com/2017/05/03/feature1.html

No comments:

Post a Comment