Saturday, May 14, 2016

බටහිර ජීවන රටාව අනුගමනය ජෛව විවිධත්වයට හානිකරයි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 20.04.2016 (Vidusara)

Not available online on Vidusara website 
(Topic - Western lifestyle causes negative impact on biodiversity)



සමස්තයක් ලෙස ගතහොත් වර්තමානයේදී ලෝකය අනුගමනය කරන්නේ බටහිර ආකෘතියේ සංවර්ධන ආකෘතියක් හා බටහිර ආකාරයේ ජීවන රටාවකි. ඒ නිසා ඇති වී තිබෙන පරිසර ගැටලූ හා සම්පත් ක්ෂය වීම මේ වන විට ලෝකයේ අවධානයට ලක්ව ඇත. මේ සඳහා විසඳුම ලෙස තිරසර සංවර්ධනය, හරිත ආර්ථිකය වැනි සංකල්ප ඉදිරිපත්ව තිබේ. එහෙත් තවමත් මේවාට ප‍්‍රධාන සංවර්ධන ආකෘතියේ එතරම් තැනක් ලැබී නොමැත.

මේ අතර රුසියාවේ ටොම්ස්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂයකයෙක් වන රොබර්ටෝ කැසෝලා ගාටි විසින් සිදුකරන ලද, පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයකින් පෙන්වාදී ඇත්තේ බටහිර ආකෘතියේ ජීවන රටාව දිගින් දිගටම අනුගමනය කළහොත් එය ලෝකයේ පරිසරයට යහපත්  නොවන බවයි.

ඔහු මේ අධ්‍යයනය සිදුකර ඇත්තේ ලෝක ප‍්‍රකට සුචි දෙකක් වන සජීවී මිහිතල සුචිය (Living Planet Index - LPI) හා මානව සංවර්ධන සුචිය (Human Development Index - HDI) යන සුචි සංසන්දනය කිරීමෙනි. සජීවී මිහිතල සුචිය යනු ලෝක ජෛව විවිධත්වයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරන සුචියකි. එයින් ලෝකයේ පෘෂ්ටවංශී සත්ත්ව විශේෂවල ගහන ප‍්‍රවණතා හා විවිධ පරිසර පද්ධතිවල ජීවී ගහනවල ප‍්‍රවණතාද නිරූපණය කෙරේ. සත්ත්ව විශේෂ වේගයෙන් අඩුවෙමින් යන පරිසර පද්ධතිද ඉන් හඳුනාගත හැකිය. මානව සංවර්ධන සුචිය යනු මානව සංවර්ධනය අනුව රටවල් පෙළගස්වනු ලබන සුචියකි. මෙහිදී ඒක පුද්ගල දළ ජාතික ආදායම, ආයු අපේක්ෂාව හා අධ්‍යාපනය වැනි අංශ මානව සංවර්ධනය මැනීම සඳහා යොදාගන්නා අතර රටවල් අතර සංසන්දනයක් සිදුකරනු ලැබේ.

පරිසර ආරක්ෂාවට සාපේක්ෂව මානව සංවර්ධනය


කිසියම් මානව ගහනයක් හෝ සමාජයක් දේශිය ජීවන රටාවක සිට, නොදියුණු ජීවන රටාවකට හා ඉන් පසුව දියුණු තත්ත්වයක් කරා යන වර්ධනයේදී එම සමාජයට ඒ රටේ, කලාපයේ මෙන්ම ලෝකයේ වෙනත් තැන්වල ඇති විවිධ ස්වාභාවික සම්පත්ද යොදාගැනීමට සිදු වේ. මේ නිසා සම්පත්වලට ඇති වන බලපෑම පිළිබඳව උක්ත සුචි දෙක යොදාගනිමින්, ආර්ථික-පරිසර විද්‍යාත්මක හා ඓතිහාසික විශ්ලේෂණයක් මේ පර්යේෂකයා විසින් සිදුකර ඇත.

එමගින් රූපයේ දැක්වෙන ප‍්‍රස්තාරය සැකසීමට මේ පර්යේෂකයා සමත්ව ඇත. එහි දැක්වෙන්නේ පරිසර ආරක්ෂාවට (EP) සාපේක්ෂව මානව සංවර්ධනය (HD) කාලය සමග මානව ගහනවල වෙනස්වන අන්දමයි. ඒ අනුව නූතන ලෝකයේ මානව ජනගහනය කාණ්ඩ පහකට බෙදා දැක්වීමට මේ පර්යේෂකයා සමත්ව ඇත.

1 කාණ්ඩය - සැබෑ ස්වදේශික ජීවන රටාවක් (indigenous lifestyle) ගතකරන පිරිස මේ කාණ්ඩයට ඇතුළත් වේ. ඔවුහු පරිසරය හා මුළුමනින්ම ගැලපීමකින් යුතුව ජීවත් වෙති. මිලියන 300ක පමණ වන මේ පිරිස කුඩා කණ්ඩායම් ලෙස ලෝකය පුරා ජීවත් වේ. අප‍්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ මෙන්ම අග්නිදිග ආසියාවේ ඇතැම් ප‍්‍රදේශවල මෙවැනි පිරිස් දැකිය හැකිය.

2 කාණ්ඩය - මීට අයත් වන්නේ නොදියුණු (undeveloped) හෙවත් තෙවැනි ලෝකයේ (Third World) රටවල් ලෙස හඳුන්වන ජනතාවයි. ලෝක ජනගහනයෙන් බිලියනයක් පමණ වන මේ පිරිස මානව සංවර්ධන සුචියට අනුව සංවර්ධනයේ සීමාවෙන් පහළ ජීවත් වෙති. මේ ජනගහනයෙන් වැඩි පිරිසක් අප‍්‍රිකාවේ වෙසෙති.

3 කාණ්ඩය - දියුණු වන (developing) රටවල වෙසෙන ජනතාව වන අතර, ඊට ලෝක ජනගහනයෙන් බිලියන 3.5ක් පමණ පිරිසක් මීට අයත් වේ. මේ ජනගහනයෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ දකුණු ඇමරිකාව, අග්නිදිග ආසියාව හා ඉන්දියාව වැනි කලාපවලය.

4 කාණ්ඩය - දියුණු (developed) රටවල වෙසෙන ජනතාව අයත් මේ කාණ්ඩයට බිලියන දෙකක පමණ ජනගහනයක් අයත් වේ. ඉන් වැඩි පිරිසක් වෙසෙන්නේ උතුරු ඇමරිකාවේ, යුරේසියාවේ හා ජපානයේය.

5 කාණ්ඩය - තිරසර රටවල් (sustainable countries) ලෙස හැඳින්විය හැකි රටවල් කිහිපයක වෙසෙන මේ ජනතාව ප‍්‍රමාණයෙන් මිලියන 500ක් පමණ වේ. මීට ස්වීඩනය, නෝරවේ හා ජර්මනිය වැනි යුරෝපා රටවල් කිහිපයක හා ඇමරිකාවේ වෙසෙන පිරිසක් මේ ගණයට අයත් වේ. ඉහළ පරිසර ආරක්ෂාවක් හා ස්වභාව සංරක්ෂණයක් සහිත මේ ජනතාව තිරසර ජීවන මට්ටමකට ළගා වී සිටියි.

සංවර්ධනයේදී වැඩිම බලපෑම සිදුවන කාණ්ඩය 

මේ විවිධ කාණ්ඩවල ජනතාව දියුණු මට්ටමකට පත් වන විට, ලෝකයේ සම්පත් සඳහා වන ඉල්ලූමේ ඇතිවන වෙනස්වීම් නිසා ජෛව විවිධත්වයට බලපෑම් ඇති වේ. 1 කාණ්ඩයේ ජනතාවගෙන් පරිසරයට බලපෑමක් නැති තරම්ය. එවැනි තැනක මානව සංවර්ධනය අඩු නමුත් පරිසර ආරක්ෂාව ඉහළය. රටක් හෝ ජනතාවක් ආර්ථික සංවර්ධනය සඳහා යොමු වන විට පරිසර ආරක්ෂාව ක‍්‍රමයෙන් අඩු වේ. 2 කාණ්ඩයේ ජනතාව පසුවන්නේ මෙවැනි අවස්ථාවකය. අප‍්‍රිකානු හා ඇතැම් ඉන්දු-පැසිෆික් රටවල් මීට නිදසුන් සේ පර්යේෂකයා දක්වයි.

ඉහත 3 කාණ්ඩයේ ජනතාව හෙවත් දියුණු වන අවධියේ පසුවන අවස්ථාවේදී ජනගහනය ඉහළ යාමත් සමග, ආර්ථිකය වර්ධනය වන අතර ස්වාභාවික සම්පත් භාවිතය හා පරිසර පද්ධති සූරාකෑම උපරිම මට්ටමට පත් වේ. මේ තත්ත්වයේදී පරිසර ආරක්ෂාව අවම වන අතර, මානව සංවර්ධනය ඉහළ යයි. මේ තත්ත්වය වර්තමානයේ ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, චීනයේ ඇතැම් ප‍්‍රදේශවල, ඇතැම් දකුණු ඇමරිකානු හා අප‍්‍රිකානු රටවල පවතී.

දියුණු වන තත්ත්වයේ සිට දියුණු තත්ත්වයට පත් වූ පසුව පරිසරය යළිත් යථා තත්ත්වයට පත්වීමට පටන් ගනියි. ඒ මානව සංවර්ධනයද ඉහළ මට්ටමක පවතින අතරය. 4 කාණ්ඩයේදී සිදුවන්නේ මෙයයි. නිදසුන් වන්නේ යුරෝපය හා උතුරු ඇමරිකාව සේ දක්වා තිබේ. 5 වන කාණ්ඩයේදී සිදුවන්නේ පරිසර ආරක්ෂාව හා මානව සංවර්ධනය යන දෙකම එකම මට්ටමක පැවතීමය.

සංවර්ධනයෙන් ඇති වන පරිසර අර්බුදය

ගැටලූව ඇත්තේ ලෝකය මේ සංවර්ධනය ලබාගැනීමට අනුගමනය කරන්නේ කවර ක‍්‍රමවේදයක්ද යන්න මතය. තිරසර ජීවන රටාවක සිටින පිරිස හැරුණු විට ලෝක ජනගහනයෙන් සංවර්ධිත යැයි සැලකෙන මට්ටමක පසුවන්නේ බිලියන 2ක් පමණ පිරිසකි. දියුණු යැයි සම්මත රටවල් තම සම්පත් උපරිම ප‍්‍රමාණයෙන් පරිභෝජනය කරති. ඒ නිසා වර්තමානයේ ලෝකයේ සම්පත් පරිභෝජනය ලෝක 1.5ක් තරම්ය.
එවැනි තත්ත්වයකදීතවත් බිලියන 5ක් පමණ පිරිසක් වර්තමාන බටහිර (පර්යේෂකයාට අනුව යුරෝපීය-ඇමරිකානු) ආකෘතියේ සංවර්ධන ආකෘතියක් දිගටම අනුගමනය කරමින් සංවර්ධනය සඳහා යොමුවුවහොත්, මිනිසුන්ට තවත් ලෝක 5ක් පමණ සම්පත් අවශ්‍ය බව පර්යේෂකයා පවසයි. අනාගතයේදී සිදුවන ජනගහන වර්ධනයත් සමග බටහිර සංවර්ධනය හඹායන ජනතාවගේ ප‍්‍රමාණය තවත් ඉහළ යා හැකිය. මෙවැනි තත්ත්වයකදී ජෛව විවිධත්වය හා පරිසරය පත්වන්නේ බලවත් අනතුරුදායක මට්ටමකට බව අමුතුවෙන් කිවයුතු නොවේ.

විශේෂයෙන් වේගවත් සංවර්ධනයක් දැකිය හැකි 3 හා 4වැනි කාණ්ඩ යනු සම්පත් අධික ලෙස පරිභෝජනය කරන අවධියකි (රූපයේ α ලෙස සලකුණු කර ඇති අවධිය*. අදාළ කාණ්ඩවල සිටින රටවල් මේ අවධිය මගහැර හැකි ඉක්මනින් 5වැනි කාණ්ඩයට යොමුවීම වැදගත් බව මේ පර්යේෂකයා පවසයි. අධික වේගයෙන් සිදුවන සංවර්ධනයකින් බටහිර ආකාරයේ ජීවන රටාවක් වෙත යොමු වන මේ අවධිය වළක්වා නොගත හොත්, ජෛව විවිධත්වය හා පරිසර පද්ධතිවල පැවැත්ම තර්ජනයට ලක්වනු ඇති බව ඔහුගේ අදහසයි.

විසඳුම කවරේද ?

මේ අධ්‍යයනයෙන් උක්ත තත්ත්වයෙන් මිදීම සඳහා යොදාගත හැකි යම් යම් විසඳුම් පිළිබඳවද යෝජනා කර තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, දියුණු වන හා දියුණු රටවල් (3-4 කාණ්ඩ) හැකිතරම් කඩිනමින් තිරසර තත්ත්වයට (5 කාණ්ඩය) පත්වීමට පියවර ගත යුතු වේ. මේ සඳහා කාර්යක්ෂම හා පුනර්ජනනය කළ හැකි බලශක්තිය, අපද්‍රව්‍ය චක‍්‍රය සංවෘත කිරීම, කාබන් නිෂ්ක‍්‍රිය ප‍්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම, කාබනික ආහාරවේලක් සඳහා පුරඅදු වීම, ස්වාභාවික සම්පත් භාවිත කරන ප‍්‍රමාණය සැලකිය යුතු තරමින් අඩු කිරිම, පරිසර සංරක්ෂණය සඳහා නීති රීති ක‍්‍රියාත්මක කිරීම හා වනජීවී සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවර ගැනීම වැනි අංශ ගැන අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.

එසේම 2-3 කාණ්ඩවල ඇති රටවලට අවශ්‍ය වන තාක්ෂණය තිරසර තත්ත්වයේ පවත්නා 5 කාණ්ඩයට පිවිසෙන රටවලින් සැපයිය යුතුව තිබේ. මේ තාක්ෂණය වැදගත් වන අංශ අතර තිරසර තාක්ෂණය ඉතා වැදගත් වේ. පාරිසරික සම්පත් අධි භාවිත කිරීමේ අවදියට එළැඹිමට නොදී මේ දියුණුවන රටවල ජීවන රටාව තිරසර බවට පත් තිරීම මෙහි අරමුණ වේ.

මේ පර්යේෂකයා පෙන්වා දෙන පරිදි පරිසරයේ තිරසර පැවැත්ම සඳහා වඩාත්ම ගැලපෙන්නා වූ ජීවන රටාව ස්වදේශිකයන් ගත කරන ජීවන රටාවයි. එය ඇතැම් දියුණු රටවල් අනුගමනය කරන තිරසර ආර්ථික සැලැස්මටද වඩා පරිසර හිතකාමී වෙයි. එසේ වන්නේ ස්වදේශික සමාජයේ දැකිය හැකි ජීවන රටාව හා පරිසරය අතර දැකිය හැකි දැඩි අන්තර්සම්බන්ධතාවය නිසාය. විශේෂයෙන් එවැනි සමාජයක දැකිය හැකි සාම්ප‍්‍රදායික ඔසු වර්ග, ආහාර සම්පත් ආදි විවිධ ස්වාභාවික සම්පත් පිළිබඳ දැනුම දියුණු සමාජයක දැකිය නොහැකිය. මේ නිසා සංවර්ධනයේ නාමයෙන් මේ ස්වදේශික සාම්ප‍්‍රදායික ජීවන රටාවක් ගත කරන පිරිස් නූතන සංවර්ධනයට පොළඹවාලීමට කටයුතු කළහොත් විශාල අත්‍යවශ්‍ය දැනුම සම්භාරයක් ලෝකයට අහිමි විය හැකි බව මේ පර්යේෂකයාගේ අදහසයි. (මූලාශ‍්‍රය: International Journal of Environmental Studies, DOI: 10.1080/00207233.2016.1148447)



උපුටාගත් රූපය





x අක්ෂය - Time/ Population - කාලය/ ජනගහනය
y අක්ෂය - HD/ HP - මානව සංවර්ධනය/ පරිසර ආරක්ෂාව

EP -  පරිසර ආරක්ෂාව (Environment Protection)
HD -  මානව සංවර්ධනය (Human Development)