Saturday, March 12, 2016

මහනුවර රථවාහන තදබදය, වායු දූෂණය හා මාර්ග වසා තැබීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 09.03.2016, පි. 5 

Vidusara - Kandy traffic, air pollution and closed road

http://www.vidusara.com/2016/03/09/feature2.html



මධ්‍යම පළාතේ අගනුවර වන මහනුවර නගරයේ පවත්නා රථවාහන තදබදය පිළිබඳව සංවාදයක්‌ මේ වන විට සමාජයේ සාකච්ඡාවට ලක්‌ ව ඇති ආකාරය දැකගත හැකි ය. මෙහි දී අවධානයට ලක්‌ වූ කරුණු අතර, නගරයේ අධික රථවාහන තදබදය, වාහන ධාවනය පිළිබඳ යම් යම් සීමා හඳුන්වා දීම හා දළදා මාළිගය අසලින් වැටී ඇති මාර්ගය විවෘත නො කිරීම පිළිබඳව යම් සංවාදයක්‌ ද දැකගත හැකි ය.

මහනුවර නගරය පිහිටා ඇත්තේ හාත්පසින් වට වූ පහත් භූමියක්‌ ලෙස ය. ප්‍රධාන වශයෙන් හන්තාන හා හුන්නස්‌ගිරි කඳුවැටිවලින් ද, බහිරවකන්ද වැනි තවත් කඳුවලින් ද වට වී ඇති පහත් බිමක්‌ ලෙස මහනුවර නරගය හැඳින්විය හැකි ය. මේ නිසා එය සමාන කළ හැක්‌කේ බේසමකට ය. මේ භූගෝලීය පිහිටීමේ ප්‍රතිඵලය වන්නේ මේ ප්‍රදේශයේ එකතු වන වායු විමෝචන, මේ ප්‍රදේශයෙන් පිටවීම සිදු වන්නේ සෙමින් වීම ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් විවිධ වායු දූෂක ඇතුළත් වාතය නගරයේ වැඩි සාන්ද්‍රණයකින් දැකිය හැකි ය.

විද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට මහනුවර නගරයේ දැකිය හැකි වායු දූෂණ ගැටලුව කොළඹ නගරයට වඩා ඉහළ ය. මේ නිසා නගරයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වැසියන් අතර ශ්වසන රෝග බහුල බව ද වාර්තාවල සඳහන් වේ. රථවාහන මෙන්ම ඉන්ධන බලාගාර පිහිටා ඇති කොළඹ නගරයේ විමෝචනය වන වායු දූෂක ප්‍රමාණය අධික වුව ද, මුහුදට ආසන්න ව පිහිටා ඇති බැවින් දූෂිත වාතය විසිරී ඉවත් වී යයි. මේ නිසා කොළඹ නගරයේ දූෂිත වාතයේ සාන්ද්‍රණය වසරේ වැඩි කාලයක්‌ තිස්‌සේ ඉහළ අගයක්‌ නො ගනී. (මුහුදු සුළෙග් බලපෑම අඩු කාලවල දී කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යන බව අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ).

දළදා මාළිගය අසල මාර්ගයේ අර්බුදය


මහනුවර නගරයේ වාහන තදබදය සමග ම සාකච්ඡාවට ගැනෙන තවත් කරුණක්‌ වන්නේ මේ වන විට වසා දමා ඇති මාර්ගය එනම් දළදා මාළිගය අසලින් වැටී ඇති මාර්ගය විවෘත කිරීම ය. මේ මාර්ගය A 26 දරන මහනුවර සිට මහියංගනය හරහා පදියතලාව දක්‌වා දිවෙන මාර්ගය වේ. එසේ ම ඊට හාරගම මාර්ගය වැනි මාර්ග කිහිපයකින් මහනුවර නගරයට පිවිසෙන ජනතාවට ඇති ප්‍රධාන මාර්ගයයි. දළදා මාළිගයේ ආරක්‌ෂාව සඳහා මේ මාර්ගයේ කොටසක්‌ වසා දමන ලද්දේ මීට වසර ගණනාවකට පෙර වන අතර ඒ කාලය අතර කෙටි කාලයක්‌ එය විවෘත ව තබා ඇත. දළදා මාළිගයට පැමිණෙන ඕනෑ ම අයකුට පෙනෙන පරිදි, ඒ මාර්ගය වසා දැමීමෙන් පසු ප්‍රදේශයේ ඇති වී තිබෙන්නේ ඉතා නිස්‌කලංක වටපිටාවකි. එය ආගමික ස්‌ථානයක්‌ සඳහා ඉතා යෝග්‍ය තත්ත්වයක්‌ බව ඕනෑ ම ආගමක අනුගාමිකයකුට වැටහෙන කරුණකි. දළදා මාළිගය යනු මෙරට බෞද්ධයන් ගේ වැදගත් ම පූජනීය ස්‌ථානයක්‌ බව අප අමතක නො කළ යුතු ය.

එහෙත් ඉන්පසුව මේ මාර්ගයේ පැමිණෙන වාහන නුවර වැව වටා ගමන් කර නගරයට පිවිසිය යුතු විය. මේ සඳහා කිලෝමීටර් එක හමාරක පමණ දුරක්‌ අමතරව ගමන් කළ යුතු වූ අතර, ඒ නිසා හා ඇති වන වාහන තදබදය නිසාත් මේ සඳහා වැඩි කාලයක්‌ ගත වේ. එහි දී විමෝචනය වන වායු දූෂක නගරයේ වායු දූෂණය සඳහා දායක විය හැකි බව සත්‍යයකි. මේ පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවලින් ද මීට සාධක ලැබී තිබේ. මේ නිසා අදාළ මාර්ගය වෙනුවට විකල්ප ද කලක සිට යෝජනා වී තිබේ. වැවට ඉහළින් නව මාර්ගයක්‌ ඉදි කිරීම, වැවට යටින් උමං මාර්ගයක්‌ තැනීම හා උඩවත්ත කැළේ හරහා මාර්ගයක්‌ ඉදි කිරීම මේ විකල්ප අතර වේ. එහෙත් මේ සියල්ල සැලකිය යුතු බලපෑමක්‌ සහිත ඒවා ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, වැවට ඉහළින් මාර්ගයක්‌ ඉදි කිරීම නගරයේ සුන්දරත්වයට බලපෑමක්‌ ඇති කරන අතර උඩවත්ත කැළේ හරහා මාර්ගයක්‌ ඉදි කිරීම ද එම සුවිශේෂ පරිසරයට සැලකිය යුතු බලපෑමක්‌ ඇති කරන්නකි.

එහෙත් මහනුවර නගරයේ රථවාහන තදබදයට හා වායු දූෂණයට එක ම හේතුව දළදා මාළිගය අසලින් වැටී ඇති මාර්ගය වසා තැබීම නම් නො වේ. දළදා වීදියේ වසා ඇති කොටස විවෘත කිරීමෙන් මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරීම සඳහා ලැබෙන දායකත්වය 10%ක්‌ පමණ තරම් බව පසුගිය දා මේ පිළිබඳව ඩේලි නිව්ස්‌ පුවත්පතට ලිපියක්‌ සම්පාදනය කරන පේරාදෙණිය සරසවියේ ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා පවසා තිබිණි. මහනුවර නගරය හුරු පුරුදු කවරකු හට ද මෙය පුදුමයක්‌ නො වේ. නගරයට වැඩි වාහන ප්‍රමාණයක්‌ පැමිණෙන්නේ කටුගස්‌තොට හරහා සහ පේරාදෙණිය හරහා ය. කටුගස්‌තොට හරහා ප්‍රධාන මාර්ග තුනක්‌ ඔස්‌සේ පැමිණෙන වාහන නගරයට ඇතුළු වේ. පේරාදෙණිය හරහා ප්‍රධාන මාර්ග දෙකක්‌ ඔස්‌සේ පැමිණෙන වාහන නගරයට ඇතුළු වේ. එසේම තවත් මාර්ග ගණනාවක්‌ ද තිබේ. අනෙක්‌ අතට පෙර කී මාර්ගය විවෘත කිරීමෙන් තව තවත් වාහන වැඩි වශයෙන් ඒ ඔස්‌සේ නගරයට ඇතුළු වීමට ඉඩ තිබේ. එබැවින් රථවාහන තදබදයට හා වායු දූෂණයට විසඳුම් සෙවිය යුත්තේ සමස්‌ත මාර්ග පද්ධතියම පිළිබඳව සලකා බැලීමෙනි.

එසේ තිබිය දී, හුදෙක්‌ මේ සියල්ලට විසඳුමක්‌ ලෙස දළදා මාළිගය අසල ඇති මාර්ගය විවෘත කරගැනීම සඳහා පමණක්‌ බල කරමින් උද්ඝෝෂණ පැවැත්වීම දැකිය හැකි ය. මේ කණ්‌ඩායම් පසුපස වෙනත් අරමුණු සහිත පිරිසක්‌ සිටින්නේ ද යනුවෙන් සමාජයේ හා සමාජ ජාල තුළ ඇති වී තිබෙන සැකය සාධාරණ බව පෙනෙන්නේ මේ නිසා ය.

පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය


මහනුවර නගරයේ රථවාහන තදබදය සඳහා විසඳුමක්‌ ලෙස කාර්යබහුල වේලාවල දී නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක වාහන ධාවනය තනි අතට සිදු කිරීම ආරම්භ කර ඇති බව ඉතා මෑත දී වාර්තා විය. කොළඹ නගරයේ දී අප අත්දැක ඇති ආකාරයට, මේ පියවර වාහන තදබදය සඳහා සුදුසු විසඳුමකි. වායු දූෂණය අඩු කිරීම සඳහා එය දායක වනු ඇත්තේ සීමා සහිතව ය. නගරයේ වායු දූෂණයට විසඳුම සෙවිය යුත්තේ රථවාහන පැමිණීම සීමා කිරීමෙන් හෝ වාහනවලින් නිකුත් වන වායු දූෂක අවම කිරීමෙනි. එය කළ හැකි නම්, රථවාහන තදබදයට ද විසඳුමක්‌ ලැබෙනු ඇත. නගරයේ ඇති ගොඩනැගිලි අතරින් රැසක්‌ පැරැණි ගොඩනැගිලි වන නිසා නගරයේ මාර්ග පුළුල් කිරීම ද අසීරු කරුණක්‌ වන නිසා වාහන ධාවනය සීමා කිරීම වැදගත් වේ.

ඒ සඳහා ගත හැකි හොඳ ම ක්‍රමවේදය පොදු ප්‍රවාහන සේවා විධිමත් ව ප්‍රවර්ධනය කර ජනතාව ඒ වෙත යොමු කිරීම ය. දුම්රිය සේවාව විධිමත් කිරීම හා නගර සේවා බස්‌ රථ සේවාවක්‌ ඇති කිරීම මේ සඳහා ගත හැකි පියවර අතර වේ. මේ පිළිබඳ යම් යම් යෝජනා ඉදිරිපත් ව ඇති බව ද වාර්තා වී තිබේ.

පේරාදෙණිය දෙස සිට මහනුවරට ළගා විය හැකි ප්‍රධාන දුම්රිය මාර්ගය ඔස්‌සේ ගම්පොළ දෙසින් මෙන්ම කඩුගන්නාව දෙසින් ද මගීන්ට පැමිණිය හැකි ය. අනෙක්‌ දුම්රිය මාර්ගය පැමිණෙන්නේ මාතලේ දිසාවෙනි. මේ නිසා එම දුම්රිය මාර්ග දෙක පුළුල් කිරීම හා කෙටිදුර ධාවනය වන දුම්රිය ප්‍රමාණය ඉහළ නැංවීම මගින් නගරයට පැමිණෙන රථවාහන ප්‍රමාණය අඩු කළ හැකි ය. ඒ දුම්රිය ගමන් ගාස්‌තු අඩු බැවින් ඒ සඳහා මගී ආකර්ෂණය ඇති වන හෙයිනි.

නගර සේවා බස්‌රථ සේවාවක්‌ ආරම්භ කිරීම ද මේ සඳහා වැදගත් පියවරකි. එය සමගාස්‌තු සේවාවක්‌ වන්නේ නම් වඩාත් යෝග්‍ය බව මේ ගැන අදහස්‌ දක්‌වන්නවුන් පෙන්වා දී ඇත. ඒ හා සමගාමීව, දුරගමන් බස්‌ රථ නගරයට ඇතුළු වීම සීමා කරමින් දුරගමන් බස්‌නැවතුම්පොළවල් නගරයෙන් පිටත පිහිටුවීම වැදගත් ය. එසේ ම නගරයට පැමිණෙන බස්‌ රථවල ගමනාන්ත මහනුවරට සීමා නොකර මහනුවර හරහා වෙනත් ප්‍රදේශවලට දිගු කිරීම ද යෝග්‍ය පියවරකි. අතීතයේ දී මේ පියවර පැවැති බව ඇතැම් බස්‌රථ ගමන්මාර්ග දෙස බැලූ විට පෙනේ.

කෙසේ වෙතත්, ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙත යොමු වීමට නම්, දියුණු, පහසුකම් සහිත හා කලට වේලාවට ගමන් කළ හැකි විශ්වසනීය පොදු ප්‍රවාහන සේවාවක්‌ අවශ්‍ය බව පිළිගත යුතු කරුණකි. ඒ සඳහා වන මැදිහත් වීමක දී රජයට අයත් දුම්රිය සේවාව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයට වැදගත් කාර්යයක්‌ සිදු කළ හැකි ය. අනෙක්‌ අතට, පෞද්ගලික වාහනවලින් ගමන් කර, වාහන නවතා ගමන් කළ හැකි ක්‍රමවේදයක්‌ (Park and Ride) සඳහා පහසුකම් සැපයිය හැකි වාහන නැවතුම් පොළවල් මහනුවර නගරයෙන් පිටත සන්ධිස්‌ථානවල පිහිටි බස්‌නැවතුම්පොළ හා දුම්රිය ස්‌ථාන ආශ්‍රිතව ඉදි කිරීම ද අත්‍යවශ්‍ය ය. කෙසේ වෙතත් කොළඹ නගරයේ මේ විසඳුම ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු ඇති නො වීමට පියවර ගැනීම ද වැදගත් ය.

පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක්‌ තිබේ නම්, පෞද්ගලික වාහන ධාවනය සීමා කිරීමට පියවර ගැනීම කළ හැකි ය. නිදසුනක්‌ ලෙස නගරයට පිවිසෙන පෞද්ගලික වාහනවලින් ගාස්‌තු අය කිරීම, ඔත්තේ-ඉරට්‌ටේ අංක සහිත වාහන සඳහා නගරයට පිවිසිය හැකි නිශ්චිත දින නියම කිරීම වැනි පියවර දැක්‌විය හැකි ය. විදුලියෙන් ධාවනය වන වාහන සඳහා එවැනි සීමා ඉවත් කිරීම ද ප්‍රායෝගික ය. අනෙක්‌ අතට මහනුවර නගරයට පැමිණීමේ අවශ්‍යතාවක්‌ නොමැති වාහන සඳහා නගරය මගහැර යා හැකි වෙනත් මාර්ග තැනීමෙන් (by pass roads) පහසුකම් සැපයිය හැකි ය.

මහනුවරින් ආදර්ශයක්‌?


කෙසේ වෙතත් ඉහත සඳහන් යෝජනා ද ඇතුළු යෝජනා රැසක්‌ මේ පිළිබඳව කටයුතු කරන ආයතන හා කමිටුවල බලධාරීන් සාකච්ඡාවට ගෙන ඇති ඒවා ය. එහෙත් සාධනීය පියවර පවා ක්‍රියාත්මක කිරීමට එතරම් උත්සාහ නො ගැනෙනා බවට ද විවේචන ඇත. ඒ එම යෝජනා ඇතැම් පිරිස්‌වල අසතුටට හේතු විය හැකි නිසා විය හැකි ය. මේ නිසා උමං මාර්ග හා ගුවන් පාලම් වැනි යෝජනාවලට වැඩි සැලකිල්ලක්‌ ඇති වී තිබේ. එහෙත් සිදු විය යුත්තේ එය නො වේ. නගරයට එන වාහනවලට පහසුකම් සැපයීම මෙන්ම නගරයේ වායු දූෂණය පාලනයට නිසි පියවර ගැනීම ද වැදගත් ය. එන නගරයේ මෙන්ම දිස්‌ත්‍රික්‌කයේ ම වැසියන් ගේ සෞඛ්‍යය සඳහා බලපාන්නකි.

ජනතාව ගේ අවශ්‍යතා ද සැලකිල්ලට ගනිමින්, පරිසර හිතවාදී විසඳුමක්‌ ලබා දී රටට ම වැදගත් ආදර්ශයක්‌ හෙවත් මොඩලයක්‌ බිහි කරන්නට මෙය කදිම අවස්‌ථාවකි. ඊට අදාළ තත්ත්ව ගණනාවක්‌ ම මහනුවර තිබේ. මහනුවර නගරයේ ජනගහනය මෙන්ම දෛනිකව නගරයට පැමිණෙන පිරිස ද කොළඹ නගරයට සාපේක්‌ෂව අඩු ය. එසේ ම මහනුවර නගරයේ පවත්නා දේශගුණ තත්ත්වය වඩාත් සෞම්‍ය ය. මේ සඳහා අවශ්‍ය වන්නේ ඊට අදාළ බලධාරීන් ගේ අවධානය හා ජනතාව ගේ සහයෝගයෙන් ඍජුව පියවර ගැනීමයි.

http://www.vidusara.com/2016/03/09/feature2.html

Sunday, March 6, 2016

මිනිසුන් වානරයන් වෙතින් වෙන් වීමේ දින වකවානු පිළිබඳ විවිධ මත

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 02.03.2015, පි. 5 (Vidusara)


http://www.vidusara.com/2016/03/02/feature2.html



මිනිසුන් හා වානරයන් අතර ඇති පරිණාමික ඥාතිත්වය පිළිබඳව අද වන විට විවාදයක්‌ නොමැත. ඒ පිළිබඳ විද්‍යාත්මක තොරතුරු පසුගිය සියවස්‌ එක හමාරකට ආසන්න කාලයේ දී අනාවරණය වී තිබේ. මිනිසුන්, ගොරිල්ලන් හා චිම්පන්සින් වැනි වානරයන් (apes) අයත් වන්නේ ජීව විද්‍යාත්මකව හොමිනිඩේ (Hominidae) නමින් හඳුන්වන ලබන කුලයට ය. මීට අයත් වන්නේ ඔරංඋටං, ගොරිල්ලන්, චම්පන්සින් හා බොනොබෝවන් සහ මිනිසුන් ය. හොමිනිඩේ කුලය අයත් වන්නේ අග්‍රේශ ගෝත්‍රයට ය. (Primates).

මේ සතුන් එකිනෙකා ගෙන් වෙන් වීම ආරම්භ වන්නේ ඈත අතීතයේ දී ය. කිසියම් දවසක මිනිසුන් හා වෙනත් මහා වානර විශේෂවලට පොදු වූ ආදිතමයෙක්‌ හෙවත් පූර්වජයෙක්‌ ජීවත් වී තිබේ. කිසියම් හේතුවක්‌ නිසා මේ පොදු පූර්වජයා ගෙන් පැවත එන සතුන් ශාඛා ඔස්‌සේ වෙන් ව පරිණාමය වීමෙන් අද දැකිය හැකි එකිනෙකට වෙනස්‌ වූ විශේෂ ඇති වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් ගොරිල්ලන් අයත් ශාඛාව හා මිනිසුන් හා චිම්පන්සින් අයත් ශාඛාව වෙන් වීම පිළිබඳව දැක්‌විය හැකි ය. එසේ ම ඊට වඩා පසු කාලයක දී ඇති වූ මිනිසුන් හා චිම්පන්සින් අයත් ශාඛාවේ වෙන් වීම් ද මෙවැනි වූ තවත් සිදුවීමකි. අනෙක්‌ අතට මිනිසුන් අයත් ශාඛාවේ ද විවිධ බෙදීම් ඇති වී විවිධ මානවරූපී විශේෂ ගණනාවක්‌ අතීතයේ දී ජීවත් වී වඳ වී ගොස්‌ තිබේ.

මේ පරිණාමික ශාඛා වෙන් වූයේ කවර දා ද යන්න පරිණාම විද්‍යාඥයන් ගේ අවධානයට ලක්‌ වූ පර්යේෂණාංශයකි. විශේෂයෙන් වානරයන් ගෙන් මිනිසුන් වෙන් වූ කාල වකවානුව පිළිබඳව ගත වූ සියවස්‌ එක හමාරක පමණ කාලය තුළ විවිධ මක ඉදිරිපත් වී ඇත. අද වන විට පරිණාමීය වශයෙන් ඇති වූ වර්ධනයන් පිළිබඳ කාල නිර්ණය කිරීම සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්‍රම දෙකක්‌ හඳුනාගත හැකි ය. ඉන් පළමුවැන්න ෆොසිල සාධක මගින් ලැබෙන දින වකවානු ය. ෆොසිල සඳහා දින නිර්ණය කිරීමේ කාල නිර්ණ ක්‍රම මගින් මෙහි දී කාලය නිර්ණය කරනු ලැබේ. දෙවැනි ක්‍රමය වන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සිදු කරන අධ්‍යයන වේ. මෙහි දී සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍යවල ඇති වී තිබෙන වෙනස්‌කම් යොදාගනිමින් දින වකවානු ගණනය කිරීම සිදු වේ.

මේ දක්‌වා සිදු කර ඇති පර්යේෂණවලින් මේ පරිණාමික ශාඛා වෙන් වීමට ලබා දී ඇති දින වකවානු විවිධ ය. එය වඩා මෑත කාලයකට ගෙන ආ 1960 දශකයේ දී සිදු කරන ලද පර්යේෂණයක්‌ මගින් දක්‌වා තිබුණේ මිනිසුන් හා අප්‍රිකානු මහා වානරයන් වෙන් වූයේ අදින් වසර මිලියන 5කට පමණ පෙර කාලයක දී බව ය. එය ෆොසිල සාධකවලින් පෙන්වා තිබූ කාලයට වඩා බෙහෙවින් මෑත දිනයක්‌ වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් පසුකාලීනව කරන ලද ප්‍රවේණික අධ්‍යයනවලින් දක්‌වා තිබුණේ මෙය මිලියන 4-6 අතර කාලයකට පෙර සිදු වූවක්‌ විය හැකි බවයි. කෙසේ වෙතත්, ෆොසිල සාධකවල දින වකවානු හා මේවා අතර ඇති නො ගැලපීම යම් ආකාරයක ගැටලුවක්‌ වූ බව සැබැවි. මේ පිළිබඳව මෑත කාලයේ දී සිදු කළ, පහත සැකෙවින් විස්‌තර කරන පර්යේෂණ කීපයක ප්‍රතිඵල මගින් පෙන්වන්නේ මේ කාලවකවානු තවදුරටත් සංශෝධනය වන බවයි.

ගොරිල්ලන් හා මිනිසුන් වෙන් වීම


ගොරිල්ලන් හා මිනිසුන්, චිම්පන්සින් හා බොනබෝවන් ඇතුළත් පරිණාමීය ශාඛාවේ වෙන් වීම ඇති වූ දිනය පිළිබඳව කලක්‌ තිස්‌සේ පැවැති විශ්වාසය වූයේ එය වසර මිලියන 6-7 අතර කාලයකට පෙර සිදු වන්නට ඇති බවයි. එහෙත් 2012 වර්ෂයේ දී Proceedings of the National Academy of Sciences සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් පෙන්වා දුන් ආකාරයට මේ වෙන් වීම සිදු වූයේ අදින් වසර මිලියන 8කට හෝ ඊට පෙර කාලයක දී ය. මේ අධ්‍යයනයේ ඇති තවත් වැදගත්කමක්‌ වූයේ එහ දී ප්‍රවේණික අධ්‍යයන හා ෆොසිල සාධක අතර යම් සමානත්වයක්‌ ඇති බව ප්‍රකාශයට පත් වීමයි. (මූලාශ්‍රය- Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1211740109)

මේ අතර මිනිසුන් හා ගොරිල්ලන් අතර ඇති වූ වෙන් වීම සිදු වූයේ අදින් වසර මිලියන 10කට හෝ ඊට පෙර බව පසුගිය මස Nature සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ඒ සඳහා පදනම් වී ඇත්තේ ඉතියෝපියාවේ කොරෝරා ප්‍රදේශයෙන් (Chorora Formation) ලැබුණු Chororapithecus abyssinicus නම්, මේ වන විට වඳ වී ගොස්‌ ඇති අප දන්නා පැරැණි ම ගොරිල්ලා විශේෂයේ ෆොසිල වූ දත් සමූහයක්‌ පිළිබඳව කළ අධ්‍යයන ය. එසේ ම අදාළ ෆොසිල හමු ව ඇති ස්‌තර සඳහා ලැබී ඇති කාලවකවානුව වන්නේ අදින් වසර මිලියන 8ක්‌ පමණ ඉහත කාලවකවානුවකි. මේ වානර විශේෂය පිළිබඳව විද්‍යාත්මක ලෝකයට අනාවරණය වූයේ 2007 තරම් මෑත කාලයක දී ය. මේ සත්ත්වයා ගොරිල්ලන් විශේෂයක්‌ බව තහවුරු වූයේ මේ දත් හා අද ජීවත් වන ගොරිල්ලන්ට ඇති සමානතාව නිසා ය. වසර මිලියන 8කට පෙර ගොරිල්ලන් වෙන ම විශේෂයක්‌ ලෙස වර්ධනය වී තිබුණේ නම්, ගොරිල්ලන් හා මිනිසුන්ට පොදු වූ පූර්වජයා වාසය කර ඇත්තේ මීට වඩා පෙර කාලයක බව පැහැදිලි ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ගොරිල්ලන් හා මිනිසුන් අයත් ශාඛා වෙන් වීම සිදු ව ඇත්තේ වසර මිලියන 8කට වඩා පෙර දී ය. ඒ වන් වීම අදින් මිලියන 10-11කට පමණ පෙර කාලයක දී සිදු වන්නට ඇති බව මෙහි දී නිගමනය කර ඇත. මේ දිනය මෙතෙක්‌ විශ්වාස කළ කාලවකවානුවට වඩා වසර මිලියන දෙකක්‌ පමණ පෙර කාලයකි. එසේ ම මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට මේ සත්ත්ව විශේෂය ජීවත් ව ඇත්තේ යුරේසියාවේ නො ව අප්‍රිකාවේ ය. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature16510)

චිම්පන්සින් ගෙන් වෙන් වූ දිනය


2012 වර්ෂයේ දී ප්‍රකාශිත, පෙර සඳහන් කළ Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ ඉහත සඳහන් අධ්‍යයනයෙන් මිනිසුන් හා චිම්පන්සින් එකිනෙකා ගෙන් වෙන් වූයේ අඩු වශයෙන් වසර මිලියන 7-8ක්‌ පමණ කාලයකට පෙර බව දක්‌වා තිබිණි. එසේ ම මෙහි දී අදාළ කාල වකවානුව මිලියන 13ක්‌ පමණ තරම් ඈත විය හැකි බව ද දක්‌වා තිබිණි. මෙහි දී කලින් පැවැති වසර මිලියන 4-6 අතර කාලය වඩා වඩා ඈත කාලයකට ගෙන යැමක්‌ විය.

එහෙත් 2016 වර්ෂය මුල දී Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ අධ්‍යයන වාර්තාවක චිම්පන්සින් හා මිනිසුන් වෙන් වීම අදින් වසර මිලියන 6.6ක්‌ පමණ කාලයකට ඉහත දී සිදු වන්නට ඇති බව සඳහන් විය. එහි දී භාවිත කර ඇත්තේ ප්‍රවේණික ද්‍රව්‍යවල ඇති වූ වෙනස්‌ වීම් පිළිබඳ ක්‍රමවේදයකි. වඩා සවිස්‌තරව පවසන්නේ නම්, ප්‍රවේණි ද්‍රව්‍යවල සිදු වූ විකෘති අනුව අතීතයට සිදු කරන කාලය මැන බැලීමකි. එය මිනිසුන් ගේ හා චිම්පන්සින් ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල ඇති වෙනස්‌කම් හා මේ විකෘති ඇති වන වේගය සංසන්දනය කිරීමෙන් සිදු කළ පර්යේෂණයකි. එහි ප්‍රතිඵල අනුව අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ විකෘති ඇති වීමේ වේගය වර්තමානය වන විට අඩු වී ඇති බවයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මේ විකෘති ඇති වීම සෙමින් සිදු වන (mutational slowdown) බවයි. ඒ අනුව මෙතෙක්‌ පැවැති විශ්වාසයට වඩා මෑත කාලයක දී මිනිසුන් හා චිම්පන්සින් එකිනෙකා ගෙන් වෙන් වූ බව මෙහි දී යෝජනා කර තිබේ. (මූලාශ්‍රය( Proceedings of the National Academy of Sciences,DOI: 10.1073/pnas.1515798113)

අප ඉහත සඳහන් කළ, පසුගිය මාසයේ Nature සඟරාවේ පළ වූ අධ්‍යයනයෙන් දැක්‌වෙන ආකාරයට චිම්පන්සින් හා මිනිසුන් එකිනෙකා ගෙන් වෙන් වන්නට ඇත්තේ අදින් වසර මිලියන 8කට පමණ ඉහත දී ය. මේ අනුව අදාළ කාල වකවානු කලින් විශ්වාස කළ කාලවකවානුවේ සමීපයට ගෙන යැමක්‌ සේ සැලකිය හැකි ය.

පර්යේෂණ සම්පූර්ණ ද?


මේ මත පිළිබඳව විමසා බැලීමේ දී පෙනෙන්නේ, පරිණාමයේ මේ වැදගත් සිදුවීම් දෙක සඳහා වඩා පිළිගත් නිශ්චිත දිනවකවානුවක්‌ ලබා දීම සඳහා තවත් සාධක ලැබිය යුතු බවයි. විමසිල්ලෙන් බැලූ විට පෙනෙන වැදගත් කරුණක්‌ වන්නේ ෆොසිල සාධක යොදාගනිමින් කරන අධ්‍යයනවලින් ලැබෙන දින වකවානු හා ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයනවලින් ලබාගන්නා දින වකවානු අතර යම් ආකාරයක පරස්‌පරයක්‌ හා නො ගැලපීමක්‌ ඇති බවයි. මෙය මානව පරිණාමය සම්බන්ධයෙන් පමණක්‌ නො ව වෙනත් කරුණුවල දී ද පෙනී ගොස්‌ ඇති කරුණකි. ඇතැම් විට මේ ක්‍රමවේදවල අප අද නො දන්නා කිසියම් අඩුපාඩුවක්‌ තිබිය හැකි ය.

විද්‍යාත්මක ක්‍රමයේ දී මේ ආකාරයෙන් යෝජනා වන දින වකවානු වෙනත් පර්යේෂණවලින් යළිත් වෙනස්‌ වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. යම් දිනයක්‌ සඳහා වැඩි පිළිගැනීමක්‌ ලැබෙන්නේ ඒවා තහවුරු වීම සඳහා තවදුරටත් සාධක ලැබීමෙනි. ඒ අනුව ඉදිරියේ දී මානව පරිණාමය සම්බන්ධව ලැබෙන ෆොසිල හා ප්‍රවේණි විද්‍යාත්මක පර්යේෂණ අනුව ඉහත කී දිනවකවානු වඩාත් පැහැදිලි වනු ඇති බව පමණක්‌ අපට පැවසිය හැකි ය.

http://www.vidusara.com/2016/03/02/feature2.html