Wednesday, February 25, 2015

තෙල් මිල අඩු වීමේ නොදකින අර්බුදයක්?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-02-11 (Vidusara) - Not available online

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය වර්ෂය තුළ කැපී පෙනෙන ආකාරයෙන් අඩු වී තිබේ. පසුගිය වර්ෂයේ ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් 110 පමණ මට්ටමේ පැවැති බොරතෙල් බැරලයක මිල පසුගිය ජනවාරි මාසය වන විට ඩොලර් 50ටත් වඩා අඩු මට්ටමකට ළඟා විය. එය අඩකින් පමණ මිල පහළ යාමකි. තෙල් මිල ඩොලර් 50ක අගයට වඩා පහළ ගියේ 2009 වර්ෂයෙන් පසුව වන අතර මේ හා සමගාමීව ලෝකයේ රටවල් ගණනාවක අලෙවි කරනු ලබන ඛණිජතෙල් වර්ගවල මිල ගණන්ද අඩු කර ඇත. නැතහොත් එ්වා අඩු කිරීම සඳහා රට තුළින්ම පෙළඹවීමක් ඇති වී තිබේ.

මේ ආකාරයෙන් තෙල් මිල පහළ වැටීම නිසා තෙල් නිෂ්පාදනය කරන රටවල ආදායම් අඩු වන බව පැහැදිලි කරුණකි. පෙට්‍රෝලියම් අපනයනය කරන රටවල සංවිධානයේ (OPEC) පසුගිය නොවැම්බර් මාසයේ අගභාගයේදී පමණ පැවැති රැුස්වීමකදී ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන රටවල් සැපයුම පාලනය කිරීම ගැන යෝජනා ඉදිරිපත් කරන ලදි. මේ වන විට දිනකට තෙල් බැරල් මිලියන 30ක් පමණ නිෂ්පාදනය කරනු ලැබේ. මේ තෙල් නිෂ්පාදනය අඩු කිරීමේ යෝජනාවට සහයෝගය ලබාදුන් රටවල් අතර වෙනිසුවේලාව, ඉරානය වැනි රටවල් විය. එහෙත් තෙල් නිෂ්පාදනය අඩු කිරීමට සවුදි අරාබිය එකඟ වී නොමැත. මේ අනුව තෙල් මිල කලක් යන තුරු අඩු අගයක් පවත්නා බව සිතිය හැකිය. ඇතැම් විශේෂඥයන් පවසන ආකාරයට තෙල් මිල වසර දෙකක් පමණ තරම් සැලකිය යුතු කාලයක් මේ අඩු මට්ටමේ පවා පැවතීමට ඉඩ පවතී.

මේ ආකාරයෙන් තෙල් මිල පහළ යෑමට හේතු වූ කරුණු ගණනාවක් ගැන සාකච්ඡුාවී ඇත. ලෝකයේ ආර්ථික වර්ධනයේ ඇති වී තිබෙන අඩාල වීම මෙන්ම තෙල් හා ගෑස් සැපයුම ඉහළ යෑම මේ අතර වේ. එසේම මේ වන විට රුසියාව හා යුරෝපා-ඇමරිකා රටවල් අතර ඇති වී තිබෙන අර්බුදය නිසා රුසියාවේ ආර්ථීකය දුර්වල කිරීමට ඇති අවශ්‍යතාවයද මීට බලපා ඇත. රුසියානු ආර්ථිකයේ ඉතා වැදගත් තැනක් ගන්නා තෙල් මිල පහළ ගියහොත් එරට ආර්ථිකය දුර්වල කළ හැකි වීම මීට හේතුවකි. තවත් හේතුවක් සේ දක්යා ඇත්තේ තෙල් නිෂ්පාදනයේ වැදගත් තැනක් ගන්නා ෂේල් තෙල් නිධි කර්මාන්තය අඩාල කිරීමයි. මේ ෂේල් තෙල් නිධිවල නිපදවන තෙල්වල පිරිවැය අධික වන අතර ලෝකයේ තෙල් මිල බැරලයකට ඩොලර් 50කඩ වඩා අඩු වූ විට ෂේල් තෙල් වාණිජමය වශයෙන් ඵලදායී නොවත තත්ත්වයට පත් වේ. ඇමරිකාවේ නිෂ්පාදනයෙන් තෙල් අතරින් අධික ප‍්‍රමාණයක් ප‍්‍රමාණය ෂේල් නිධිවලින් ලබාගැනේ.

මේ ආකාරයෙන් තෙල් මිල පහළ යෑම අංශ ගණනාවකින්ම බලපාන සාධකයක් වන බව පැහැදිලිය. මෙය පාරිභෝගිකයන්ගේ පැත්නෙත් සහනයක් වේ. ලාභ තෙල් නිසා ප‍්‍රවාහනය ලාබදායක වන අතර, ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතාද මේ සමඟ ඉහළ යනු ඇත. එසේම එය ඇතැම් කර්මාන්තවලටද සහනයක් වනු ඇතැයි සැලකිය හැකිය.

කෙසේ වෙතත් තෙල් මිල පහළ යෑම නිසා පාරිසරික වශයෙන්ද සැලකිය යුතු ආකාරයේ බලපෑමක් ඇති විය හැකිය. මේ පිළිබඳව පසුගිය මාස කිහිපයක කාලය ඇතුළත වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡුාවට ලක්ව ඇත. මේ ලිපිය එ් කරුණු පිළිබඳව සිදුකරන විමසීමකි.

තෙල් භාවිතය ඉහළ යෑම


තෙල් මිල පහළ යෑම නිසා සිදුවෙමින් ඇති හා සිදුව ඇති වැදගත් දෙයක් වන්නේ ජනතාව වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතයට යොමු වීමයි. එසේම ජනතාව වැඩි වැඩියෙන් ගමන් බිමන් යෑමට මෙන්ම වෙනත් ආකාරයෙන් තෙල් භාවිතයද ඉහළ යා හැකිය. පසුගිය දශකයක පමණ කාලයේ පැවැතියේ මෙහි ප‍්‍රතිවිරුද්ධ තත්ත්වයයි. එනම් තෙල් මිල ඉහළ මට්ටමක පැවැති සමයේ බොහෝ දෙනා තෙල් භාවිතය අඩු කළහ. ගමන් බිමන් ආදිය අඩු කිරීමට දියුණු රටවල ජනතාව පවා පෙළඹුනේ තෙල් මිල හා ආර්ථික අර්බුදයත් එකට පැවැති කාලයේදීය. එසේම කර්මාන්තවලද තෙල් භාවිතය අඩු විය.

වර්තමාන තෙල් මිල පහළ යෑම නිසා ජනතාවගේ තෙල් භාවිතය ඉහළ ගියහොත් ඇතිවිය හැකි එක් ගැටලූවක් වන්නේ තෙල් දහනයේදී නිපදවෙන හරිතාගාර වායු විමෝචන ඉහළ යෑමයි. එසේම අහිතකර සෞඛ්‍ය තත්ත්වවලට හේතු වන වායු ¥ෂණය ඉහළ යෑමටද මෙය හේතුවක් වනු ඇත. මේ කරුණු දෙකම පාරිසරික වශයෙන් බරපතළ ප‍්‍රතිවිපාක ඇතිකරන කරුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

හරිත බලශක්තිය


මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන්, සුළං බලය හා සූර්ය ශක්තිය වැනි පුනර්ජනනය කළ හැකි බලශක්තිය පිළිබඳව ඇති අවධානය හා එ් අංශයේ ආයෝජනය අඩු විය හැකි බව පෙන්වාදී ඇත. මේ බලශක්ති පිළිබඳව කඩිනම් අවධානයක් යොමු කිරීම අනවශ්‍ය බව ඉදිරියේදී තර්ක කළ හැකිය. පොසිල ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පුනර්ජනනය කළ හැකි බලශක්තිය ප‍්‍රවර්ධනය කළ අතර, මිල පහළ යෑමත් සමඟ මේ අංශයේ සමාගම්වල කොටස් මිල පහළ යෑමටද ඉඩ ඇති බව පෙන්වාදී ඇත. මේ නිසා මේ පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන කටයුතු අඩාල වීමටද ඉඩ තිබේ. ඇතැම් පාර්ශ්ව පෙන්වාදී ඇති ආකාරයට, තෙල් මිල යළි ඉහළ ගිය කාල වකවානුවක් වන විට සූර්ය හා සුළං බලයේ වියදම් අඩු වී තිබීමට නම් මේ පර්යේෂණ අඛණ්ඩව ඉදිරියට යා යුතුය.

පුනර්ජනය කළ හැකි බලශක්ති අංශයේ පිරිවැය ඉහළ වන බැවින් ඊට ලබාදී ඇති සහන අඛණ්ඩව පවත්වා ගෙන යෑම ඉදිරියේදී ගැටලූවක් විය හැකිය. එසේම තෙල් මිල පහළ යෑමත් සමඟ තෙල් හා පුනර්ජනනය කළ හැකි බලශක්තිය අතර ඇති පිරිවැය පරතරයද ඉහළ යයි. මේ නිසා වැඩි වශයෙන් සහනාධාර ලබාදීම අවශ්‍ය වනු ඇත. එහෙත් මහජන මුදල් මෙවැනි කාර්යයක් සඳහා යෙදවීම සම්බන්ධව ගැටලූ ඇති විය හැකිය. මේ තත්ත්වය තුළ පුනර්ජනනය කළ හැකි ඉන්ධනවල අනාගතය තරමක් අනතුරුදායක බව පැවසිය යුතු වේ.

කෙසේ වෙතත් මෙහි තවත් පැත්තක්ද තිබේ. ඛණිජ තෙල් වැඩි වශයෙන් අදාළ වන්නේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට වන අතර සුළං හා සූර්ය බලය අදාළ වන්නේ වැඩි වශයෙන් විදුලි බල ක්ෂේත‍්‍රයටය. (විදුලි බල අංශය සඳහා වැඩි වශවෙක් අදාළ වන පොසිල ඉන්ධනය ස්වාභාවික වායුවයි.* මේ නිසා තෙල් මිල පහළ යෑමෙන් නිසා පුනර්ජනනය කළ හැකි බලශක්ති ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් ඇති නොවනු ඇති බවටද අදහස් පළ වී තිබේ. තෙල් මිල සමඟ ගෑස් මිලද අඩු වීමේ අවස්ථාවක් ඇතිවුවහොත් පුනර්ජනනය කළ හැකි බලශක්තියට යම් බලපෑමක් ඇති වේ.


ස්වාභාවික පරිසරයට යහපතක්?


මේ අතර තෙල් කැනීම්වලදී පරිසරයට සිදුවන හානිය අඩු වීමටද යම් අවස්ථාවක් පවතී. තෙල් ලබා ගන්නා ඇතැම් ක‍්‍රමවේද ලාබදායක වන්නේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80ක පමණ මට්ටමේ පවතින්නේ නම් පමණකි. මේ නිසා අඩු තෙල් මිලක් ඇති විට ගැඹුරු මුහුදේ සිදුකරන තෙල් කැනීම්, ආක්ටික් ප‍්‍රදේශවල සිදුකරන තෙල් කැනීම් හා ශල්ක නිධිවලින් (ිය්කැ* තෙල් ලබාගැනීමට ඇති උනන්දුව අඩු විය හැකිය. මීට හේතුව වන්නේ තෙල් මිල පහළ ගියහොත් එ් නිධිවලින් තෙල් ලබාගැනීම ලාබදායක නොවන බැවිනි. මෙය එක්තරා ආකාරයකින් සාධනීය ප‍්‍රතිඵලයක් සේ සැලකිය හැකිය. එහෙත් තෙල් මිල ඉහළ ගිය වහා මේ කැනීම් යළි ආරම්භ විය හැකි බව අමතක කළ නොහැකි කරුණකි.

කෙසේ වෙතත් මේ කරුණු සියල්ල සලකා බලන විට වර්තමාන තෙල් මිල පහළ යෑම තාවකාලික එකක් වන අතර, එ් නිසා ඇති වනු ඇතැයි පෙන්වාදී ඇති සාධනීය බලපෑම්ද තාවකාලික වේ. එහෙත් එ් නිසා ඇති වී තිබෙන නිශේධනීය බලපෑම් ඊට වඩා බරපතළ දිගු කාලීන එ්වා විය හැකිය. නිදසුනක් ලෙස වැඩි වැඩියෙන් විමෝචනය වන හරිතාගාර වායු විමෝචන වායුගෝලයේ කාලයක් පැවතී දේශගුණ වෙනස් වීම තීව‍්‍ර කරනු ඇත. එය යළිත් හැරවිය නොහැකි බලපෑමකි. මීට සති කිහිපයකට පෙර නිකුත් වූ එක් අධ්‍යයනයකින් පෙන්වා දී තිබුනේ ලෝකයේ අහිතකර දේශගුණ වෙනස් වීම වැළැක්වීමට නම් ගල් අඟුරු, තෙල් හා ගෑස් නිධි අතරින් වැඩි ප‍්‍රමාණයක් භාවිත නොකළ යුතු බවයි. එසේ නම් හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ ඇති වැදගත්කම අමුතුවෙන් පෙන්වා දීම අවශ්‍ය නොවේ.

මේ කරුණු සියල්ල විමසන විට, අවසන් වශයෙන් පැවසිය හැක්කේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අවිනිශ්චිතතාවයක් ඇති බවයි. මෙය තෙල් මිල යළි ඉහළ යන කාල වකවානුව පිළිබඳවද පොදු විය හැකිය.

No comments:

Post a Comment